2019 මැයි 04 වන සෙනසුරාදා

ත්‍රස්තයන්ට උඩගෙඩි දෙන බලවතුන් අල්ලා ගන්නැයි කාදිනල් හිමියෝ රජයට කියති

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 295

ආරක්ෂක මණ්ඩලයට විපක්ෂ මන්ත්‍රීන් කැඳවීම ගැන එ.ජා.ප. විරෝධය
මහින්ද ගෝඨා හිටපු හමුදා ප්‍රධානීන් එක්ක හැදූ ආරක්ෂක සැලසුම රජයට
♦ අර්ජුනගේ පරිත්‍යාගයට ලොකු චියර් එකක්
♦ පොලිස්පති ඉල්ලාඅස් නොවූ සැබෑ හේතුව
♦ ෆොන්සේකාට නීතිය හා සාමය භාර දෙන්නැයි එ.ජා.ප.ය ඉල්ලයි
♦ උතුරේ මැති ඇමැතිලාටත් හමුදා කඳවුරු ඕනෑ වෙයි

රටේ ආරක්ෂක තත්ත්වය දේශපාලනය කෙරේ ආන්දෝලාත්මක බලපෑමක් කර තිබේ. වසර ගණනාවකට පසු නැවතත් රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මකය. ආරක්ෂක හමුදා ද දැන් මෙහෙයුම්වලට අවතීරණව සිටී. මේ සතිය ආරම්භයට පෙර ගිය ඉරිදා බොරුල්ල අගරදගුරු මන්දිර පරිශ්‍රයේ පිහිටා තිබෙන පල්ලියේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් කාදිනල්තුමා විශේෂ දිව්‍ය පූජාවක් සංවිධානය කර තිබූ අතර ඊට ජනාධිපති අගමැති හා විපක්ෂ නායකවරයා ද එක්ව සිටියහ. මෙම දිව්‍ය පූජා යාගයෙන් පසු වාර කිහිපයක්ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළ කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සඳහන් කළේ රටේ ආරක්ෂාව ගැන තමන්ට සෑහීමට පත්විය නොහැකි බවය. වගකීම් ඉටුනොකළ උදවිය උන්වහන්සේගේ විවේචනයට ලක්විය.

දේශීය මාධ්‍ය හමුවේත් විදේශීය මාධ්‍ය හමුවේත් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ මේ ගැන තමන් දැනුවත් කර තිබුණේ නම් තමන් පාස්කුවේ සියලු පුද පූජා අවලංගු කර මේ මිනිස් ජීවිත බේරාගන්නා බවය. කාදිනල් හිමියන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් දෙස් විදෙස් මාධ්‍යයට දිගින් දිගටම කියා සිටියේ ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව සතුටට පත්ව නැති බවය. මෙලෙස තවදුරටත් රජය ක්‍රියාකරන්නේ නම් පාලන කටයුතු කරගෙන යාමට රජයට අසීරුවනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ. විවිධ ප්‍රායෝගික නොවන පොරොන්දු ලබාදෙමින් ජනතාව සන්සුන් කළ නොහැකියයි ද එතුමෝ පැවසූහ. පාසල්වල ආරක්ෂාව තහවුරු කරන තෙක් පාසල් විවෘත නොකළ යුතු යැයිද උන්වහන්සේ කීහ. මන්ත්‍රීවරු හා ඇමැතිවරුන් පවා මෙම කටයුතුවලට සම්බන්ධව ඇත්නම් අත්අඩංගුවට ගතයුතු යැයිද පැවසූ කාදිනල් හිමියෝ මේ ගැන විමර්ශනයට පත්කළ කොමිසමට ද අනෙක් කොමිෂන් සභාවලට අත්වූ ඉරණම අත් නොවේවායි කීය. මෙහිදි ඉතා බරපතළ ප්‍රකාශයක් කළ උන්වහන්සේ තමන්ලාට නීතිය අතට ගන්නට ඉඩකඩ ලබානොදෙන ලෙස ද පැවසූහ.

කෙසේ හෝ සර්ව ආගමික නායකයන් හා කාදිනල් හිමියන් ආගමික හා ජාතික සමගිය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සමාජයේ ප්‍රබල ප්‍රශංසාවට ලක්වී ඇත. ඒ අතර ආරක්ෂක අංශ දිගින් දිගටම උන්වහන්සේට අවවාද කළේ එතුමන්ටත් ආරක්ෂක තර්ජන ඇති බැවින් සාමාන්‍ය ගමන් බිමන් යාමෙන් වළකින ලෙසයි.

මේ බව දැනගත් අග්‍රාමාත්‍යවරයා තමන්ගේ වාහන ඇණියේ ඇති වෙඩි නොවදින රථ දෙකෙන් එකක් කාදිනල් හිමියන්ගේ පරිහරණයට වහාම නිදහස් කළේය. එම වෙඩිනොවදින රථය රියදුරකුත් සමඟ කාදිනල් නිල මැඳුරට පිටත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදිය. එහෙත් ඊට ස්තූති කළ කාදිනල් හිමිපාණෝ තමන්ට පමණක් ආරක්ෂාව අනවශ්‍ය බවත් ආරක්ෂාව අවශ්‍ය තම ජනතාවට බවත් පවසමින් එම රථය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ තමන්ගේ ආරක්ෂාව දෙවියන් වහන්සේ අත බව කියමිනි. 

කෙසේ හෝ දේශපාලන නායකයන් ආරවුල් හා ඝෝෂාව මැද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය තනතුරින් ඉල්ලා අස්විය. ඔහු තනතුරින් ඉල්ලා අස්වන විට ජනාධිපති කාර්යාලය ඔහුට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් ලබාදීමට යෝජනා කර තිබුණත් ඔහු එයද භාරගත්තේ නැත. මේ ගැන කෙරෙන පරීක්ෂණවලින් පසුව හිටපු ආරක්ෂක ලේකම්වරයා සිද්ධියේ යථාර්ථය ගැන කිසියම් හෙළිදරව්වක් කරනු ඇත යන්න බොහෝ සමාජ මාධ්‍යජාලා වාර්තා කර තිබිණි.

ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අස්වුණේ නැත. ඊට හේතුවක් ප්‍රකාශ නොවුණත් ජනාධිපතිවරයාට තමන් ඉවත් වන බව දැන්වූ හෙතෙම තනතුරින් ඉවත් නොවී දිගටම කටයුතු කරන්නට විය. ඔහු තනතුරින් ඉවත් නොවන්නේ තනතුරින් ඉවත්වූ පසු හෙතෙම අත්අඩංගුවට පත්වේයැයි බියෙන් බව ජයසුන්දර මහතාගේ සමීප හිතවත්හු ප්‍රකාශ කරන්නට වූහ. කෙසේ හෝ ඔහු දිගටම කාර්යාලයේ කටයුතු කරගෙන යාම ජනාධිපතිවරයා අපහසුතාවට පත්කර තිබිණි. ජාතික පොලිස් කොමිසමෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙන්ම පෞද්ගලික නීති විශාරදයන්ගෙන් ද ඔහු මේ ගැන උපදෙස් පතා තිබිණි. පොලිස් කොමිසම එහිදී දන්වා තිබුණේ පොලිස්පති තනතුරේ පත්වීම් බලධරයා ජනාධිපතිවරයා වන බැවින් කොමිසමට කිසිවක් කළ නොහැකි බවය. එහෙත් සෙසු නීති අංශ උපදෙස්දී තිබුණේ ජනාධිපති කොමිසමකින් බෝම්බ ප්‍රහාර සිද්ධිය ගැන පරීක්ෂා කෙරෙන නිසා ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලතල තිබෙන බවකි. ඒ අනුව ගිය සඳුදා පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවූ අතර චන්දන වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති තනතුරට පත්කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආරක්ෂක ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට පසුගිය සඳුදා විශේෂ රැස්වීමක් පැවැත්වීය. මෙම හමුවට පෙර සිටම එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් දැනට රජයට එල්ලවී තිබෙන ආරක්ෂක හා දේශපාලන අභියෝග ජයගන්නට නම් නීතිය හා සාමය අමාත්‍යාංශය එ.ජා.ප. අමාත්‍යවරයකුට ලබාගත යුතුයැයි කීය. ඒ සඳහා සුදුසුම තැනැත්තා මෙරට ත්‍රස්තවාදය මර්දනයට ප්‍රබල මෙහෙවරක් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවද කියැවිණි. මහාචාර්ය ආශු මාරසිංහ, එස්.එම්. මරික්කාර්, සන්දිත් සමරසිංහ, සුජිත් සංජය පෙරේරා ආදී පසුපෙළ මන්ත්‍රින් පිරිසක් මෙම කතාබහට එක්ව සිටියහ. අනතුරුව ඔවුහු ඒ ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් ලිපියකට ද අත්සන් තැබූහ. අනතුරැව පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ විට මෙම ලිපිය මන්ත්‍රින් අතින් අත යවමින් අත්සන් ගත් අතර මන්ත්‍රීන් 50කට වැඩි පිරිසක් ඊට අත්සන් තබා තිබිණි.

මන්ත්‍රි කණ්ඩායම රැස්වූ පසු පසුපෙළ මන්ත්‍රීහු දිගින් දිගටම අදහස් දක්වමින් මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් පොලිසිය අප සතුව නැතැයි කියා ආණ්ඩුවට පැනයා නොහැකි බැවින් නැවත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාගෙන ප්‍රශ්නය විසඳිය යුතු යැයි කීහ. ආශු මාරසිංහ, මරික්කාර් ඇතුළු පිරිස කීවේ මෙහිදී අප බියට පත්නොවිය යුතු වගයි. නමුත් කැබිනට්ටුව ව්‍යවස්ථාවෙන්ම 30 දෙනකුට සීමාකර ඇති නිසා අලුතෙන් ෆොන්සේකා මහතාට අමාත්‍යාංශය පැවරිය නොහැකි යැයිද ඔවුහු පෙන්වා දුන්හ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී විමසා සිටියේ දැන් අපි මේ අමාත්‍යාංශය ඉල්ලා සිටිය යුතුද කියායි. කෙසේ හෝ මේ මොහොතේ නැගී සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා “අගමැතිතුමනි දැන් කැබිනට් එකේ ගණන සම්පූර්ණ නිසා ඇමැතිකම් වැඩි කරන්න බැරිනම් මම පරිත්‍යාගයක් කරන්නම්. මම දැනට දරන කැබිනට් ඇමැතිකමෙන් අයින් වෙන්නම්. ඒක ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට දෙන්න.” යැයි පවසද්දී පසුපෙළ මන්ත්‍රීන් මහ හඬින් අත්පොලසන් දෙන්නටත් “චියර් කරන්නටත්” පටන් ගත්හ. අපිට ආණ්ඩුව හොඳින් කරගෙන යන්න නම් මේ අමාත්‍යාංශය ඉල්ලා ගන්නම ඕනෑ.. පසුපෙළ හඬ නගන්නට විය. එවිට රනිල් වික්‍රමසිංහ මහතා “එහෙම නම් තමුන්නාන්සේල සේරම එක මතයක් දරනවාද” යන ප්‍රශ්නය විමසූ විට සියලු දෙනා තමන් එම තීන්දුව අනුමත කරන්නේ යැයි කීහ. ඒ අනුව අදාළ ලිපිය අත්සන් කොට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තීන්දු කැරිණි. ඒ සමඟ අගමැතිවරයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉවත් කිරීමට අනුගමනය කළයුතු ක්‍රමවේදය පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට පැහැදිලි කළේය. “පොලිස්පතිවරයා තනතුරේ තියාගන්න බැරි නම් ඔහු මේකට වගකිව යුතු නම් එයා අස්කරන එක ජනාධිපතිතුමා කියන්න තිබුණේ අපටයි, අපටයි පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ව්‍යවස්ථාවෙ තිබෙන නියම ක්‍රමයට කළානම් එයාව අයින් කරන්න පුළුවනි.” රනිල් පැහැදිලි කළේය.

මේ වනවිටත් ෆොන්සේකා මහතාට අමතරව නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. අවසානයේ රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනකු සමඟ කතාකොට ඔවුන්ගේද අදහස අනුව නීතිය හා සාමය අමාත්‍ය ධූරය අමාත්‍ය චම්පික රණවකට පවරන්නේ නම් තමන්ගේ විරෝධයක් නැතැයි දැන්විය. එහෙත් එ.ජාප.යෙන් ඒ සඳහා තමන්ට නිර්දේශයක් ලැබිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් සැලසුමක් හා ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. දැනට හටගෙන තිබෙන අයි.එස්. ත්‍රස්ත තර්ජනයට මුහුණ දීම සඳහා ද රජයට උදව් අවශ්‍ය නම් වගකිව යුතු විපක්ෂයක් ලෙස ඊට උදව් කළ යුතුයයි මහින්ද කීය. ගෝඨා සිය පුරවැසිකම ඉවත් කරගෙන ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් සිටින නිසා ඔහු ඊට විධිමත් දායකත්වයක් ලබාදිය යුතුයැයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ගෝඨා මහින්දට යෝජනා කළේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් රැසක් යුද සමයේ ත්‍රස්තවාදය මර්දනයට දායකවී බොහෝ අත්දැකීම් ලබා ඇති නිසා රජයට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කිසියම් සැලසුම සහගත යෝජනා මාලාවක් ලබාදිය හැකි බවයි. “ඒ යෝජනා අපේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් සකස් කරන්නෙ. රජය කැමතිනම් රජයට අවශ්‍ය නම් ඒවගේ අදහස් අරන් යමක් කරන්න පුළුවන් වේවි” ගෝඨාභය වැඩිදුරටත් කීය. ඒ අනුව ගෝඨාගේ ඉල්ලීමෙන් හිටපු හමුදාපතිවරැන් හා පොලිස්පතිවරුන් ගණනාවක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිලනිවසට පැමිණියේ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් යෝජනා මාලාවක් සකස් කිරීමේ මූලික සාකච්ඡාව සඳහාය. මෙම හමුවේදී හිටපු හමුදාපතිවරුන් පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන් සියල්ලන්ම තම තමන්ගේ අත්දැකීම් ගැන තොරතුරු කියන්නට වූහ. එක් හමුදාපතිවරයකු සඳහන් කළේ “මෙරට තිබුණ පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනය කාලේ හෝටල්වල ගාඩ්නර්ලා කෝකියෝ ඩ්‍රයිවර්ලා හැටියටත්, අපේ ආරක්ෂක අංශවල උදවිය වැඩ කළා. එහෙම අපි බුද්ධි තොරතුරු රැස්කළේ.. එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ මෙහෙයවීමෙන් බුද්ධි තොරතුරු ප්‍රධානීන් වන සුරේෂ් සලේ ආදීන්ට දෙස්විදෙස් පුහුණුව ලබාදී බුද්ධි අංශ තරකළ ආකාරයට පැහැදිලි කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතා මේ සියල්ලට සවන් දී පැවසුවේ 2005දී අප ආණ්ඩුව භාරගන්න කොටත් තිබුණේ මේ තත්ත්වයම තමයි.. ඒ නිසා අපි යුද කාලේ ලැබූ අත්දැකීම් ආශ්‍රයෙන් වාර්තාවක් හදලා ආණ්ඩුවට දෙමු. ඒකට අපි පොඩි කොමිටියක් දාගනිමු..” කියාය. ඒ අනුව ගෝඨා සහ හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ගණනාවක් ඇතුළත් කමිටුවක් සකස් කළේය. එහි වාර්තාව ලද සැණින් හමුදා ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරයා මුණගැසී ඔහුට මෙම වාර්තාව ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.

අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රජයේ ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම ගැන පසුගිය කාලයේ එ.ජා.ප.යෙන් නොයෙක් විවේචන එල්ල විය. මේ ගැන එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමද වාර ගණනක් සාකච්ඡා කර තිබිණි. ආණ්ඩුවේ වගකිව යුත්තන් ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැතිව විපක්ෂයේ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ඊට කැඳවීම ගැන එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීහු මේ සතියේ සිය බලවත් විරෝධය මාධ්‍ය හමුවේද ප්‍රකාශ කළහ. දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල හා ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරුන් මේ ආකාරයට ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ කවර හේතුවක් නිසාදැයි එ.ජා.පයේ නීලන් බණඩාර හා තුෂාර ඉඳුනිල් ඇතුළු පසුපෙළ මන්ත්‍රීහු චෝදනා නැගූහ.

ඒ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගින් දිගටම චෝදනා කළේ මෙම ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැෂනල් තවුහිත් ජමාද් සංවිධානයට උදව් දී එය ආරම්භ කරන්නට පාර කැපුවේ පසුගිය රජය බවය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ රාජ්‍ය බුද්ධි අංශ අරමුදල්වලින් මොවුන් කිහිපදෙනකුට ගෙවීම් කර ඇතිබව තහවුරු වන්නේයැයි ද ඔහු පැවසීය. රාජිත නැගූ මෙම චෝදනාව ගැන මාධ්‍යය පසුගියදා මහනුවර මල්වතු හා අස්ගිරි විහාර වෙත පැමිණි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔහු ප්‍රකාශ කළේ මෙය ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක කොටසක් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම ත්‍රස්ත සංවිධානය මෙරට නිර්මාණය කළාය කියන කතාව අසත්‍යයක් බවත්ය.

උතුරෙන් යුද හමුදා කඳවුරු ඉවත් කරන්නැයි පසුගිය කාලය පුරා උද්ඝෝෂණය කළ හිටපු පළාත් සභාවේ හිටපු ඇමැතිනි ආනන්දි ශෂිදරන් ප්‍රථම වරට යුද හමුදා කඳවුරු උතුරෙන් ඉවත් නොකරන ලෙස රජයෙන් ඉල්ලා ඇත. 

මුස්ලිම් අන්තවාදී කොටස් විසින් සිදුකරනු ලබන ප්‍රහාර අවසන්කොට මර්දනය කරන තුරු උතුරේ ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටින බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. පොලිස්පතිවරයාටත් උතුරේ ආරක්ෂක හමුදා ප්‍රධානියාටත් විශේෂ ලිපියක් යවමින් ඇය මෙම ඉල්ලීම කළාය. මෙයට පෙර කාලයේ ශෂිදරන් අමාත්‍යවරිය උතුරේ හමුදා කඳවුරු අසල පැවති උද්ඝෝෂණවලට සහභාගී වෙමින් ඉල්ලා සිටියේ වහා මෙම කඳවුරු ඉවත් කළයුතු බවය. ඒ ආකරයට කලින් ක්‍රියාකළ අමාත්‍යවරිය දැන් මෙලෙස කටයුතු කරන්නේ ඇයිදැයි මාධ්‍ය ප්‍රශ්න කළ විට ඇය සඳහන් කර තිබුණේ කුමක් කරන්නටත් පෙර ජනතාව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් විය යුතු බවය. එසේම මෙම ප්‍රශ්නය විසඳීමට තවත් කාලයක් ගතවනු ඇතැයි කී ඇය එතෙක් හමුදා ආරක්ෂාව උතුරට අවශ්‍ය බව අවධාරණය කළාය.  

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ නායකයන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණි. එම සාකච්ඡාව සඳහා මහින්ද සමඟ දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ආදී ජ්‍යෙෂ්ඨයන් ගණානාවක්ම එක්ව සිටියහ.

රැස්වීම ආරම්භ කරමින් මහාචාර්ය පීරිස් අදහස් දැක්වූ අතර ඔහු ප්‍රකාශ කළේ විපක්ෂය මෙයට පෙර විදේශ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් 50ක් පමණ මෙරටට පැමිණි බව රජයට දැන්වූ නමුත් කිසිවක් සිදුනොකළ බවය. 2017 සිට මේ ගැන කියා ඇතත් එක්තරා අමාත්‍යවරයකුගේ බලපෑම නිසා කිසිදු වැඩක් සිදුනොවූ බව ජී.එල්. කීය. අනතුරැව විමල් වීරවංශ කීවේ විදේශීය බුද්ධි සේවා නිලධාරීන් රැසක් කොළඹට හදිසියේ පැමිණි බවය. ඔවුන් අතර ඇමෙරිකානු නිලධාරීන් 40ක් සිටින බවත් මේ අය හදිසියේ ගෙන්වූයේ ආරක්ෂක ඇමැති ලෙස ජනපති අනුමැතියෙන්දැයි කියූ විමල් ප්‍රශ්න කළේය. එවිට ජනපතිවරයා කීවේ එතැන ඇමෙරිකන් එෆ්.බී.අයි. නිලධාරින් සිටින්නේ 8 දෙනෙක් බවත් ඉතිරි තිස් ගණන ඔවුන්ගේ සහයක සේවකයන් බවත්ය. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ආරක්ෂක තත්ත්වයේ බිඳවැටීමට තුඩු දුන් කරුණු ගණනාවක්ම විග්‍රහ කළේය. මහින්ද රාජපක්ෂ මහතා ද ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු ආකාරය ගැන උපදේශනාත්මක අදහස් දැක්වීමක් කළ අතර බැසිල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේ විපක්ෂය රජයට සහාය දෙන්නට එන විට ආණ්ඩුව විපක්ෂයට චෝදනා නගන්නේ නම් සහාය දෙන්නේ කෙසේද කියාය. එලෙස ක්‍රියාකළොත් තමන්ගේ සහය මේ සඳහා ලබාගතනොහැකියැයි බැසිල් කීය.

මේ කතාබහ යද්දී ජනාධිපති මෛත්‍රීපාල මහතා බෝම්බ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක තත්ත්වය ගැනත් දැනට කර තිබෙන මෙහෙයුම් කටයුතු ගැනත් තොරතුරු කීය. මේ සියල්ල කරද්දී සමහරුන් තමන්ට මඩගසන බව කී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩල නිලධාරින් තිදෙනකු තමන්ට එරෙහිව සැකසූ මඩ පත්‍රිකා ලිපි 600ක් පමණ තැපැල් කරන්නට මහ තැපැල්හලට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පැවසීය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර