2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

පළමු වරට රනිල්ගෙන් සැර උත්තරයක්!

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 629

♦ ජනපති හදිසියේ ඩුබායි තානාපති අමතා මධූෂ් මෙරටට ඉල්ලයි.

♦ ජනපති අපේක්ෂකත්වයට කරුගේ නම සාකච්ඡාවට ගැනෙයි.

♦ මහින්ද සිටි හෝටල් කාමරයට විනාඩි දෙකකට පැමිණි පොඩි මිනිහා.

♦ පළාත් සභා ඡන්ද කතාවට නැවත පක්ෂ නායක හමුවක්.

♦ දෙමළ සන්ධානයේ නායකත්වයට රණ්ඩු.

♦ මහින්ද නැති අතරේ බැසිල් ගෝඨා හමුවෙති.

දිගටම දේශපාලන පුවත් ඔස්සේ ඉව අල්ලමින් සිටි මාධ්‍යයට පසුගිය දෙසතිය තිස්සේම පුවත් මවන්නට සිදුවූයේ කුඩු මාෆියාව ගැනයි. මාකඳුරේ මධූෂ් මෙහි කතා නායකයා විය. අනපේක්ෂිත ලෙස ඩුබායිහිදී මධූෂ් කොටුවීමත් සමඟ මෙරට පාතාලයන් සමඟ දේශපාලනඥයන්ද ඇවිස්සී ගිය බව පෙනුණි. දේශපාලන භවතුන් 80කට වැඩි ගණනක් මධූෂ් සමඟ ගනුදෙනු කළ බවට පොලීසියට තොරතුරු ලැබිණි. මෙයින් දියවන්නාවේ සිටින්නන් ගණන දුසිම් දෙකකට ආසන්නය. එහෙත් මේ ගැන සම්පූර්ණ තොරතුරු නොදැන දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ආරක්ෂක අංශවලින් මතු වූ පුවත් ගණනාවක් නිසා සමහර ‘අතේ රෝල්’ මාධ්‍ය වාර්තාද ප්‍රචාරය වූ බව පැවසේ. පෞද්ගලික දේශපාලන කෝන්තර, මඩ හා අවලාද ඔස්සේ මධූෂ් එක් එක් දේශපාලනඥයා සමඟ භෞතීස්ම කිරීමේ උත්සාහයක්ද හඳුනාගන්නට ලැබිණි. එහෙත් සැබෑ කතාව නම් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ගැන සැබෑ තොරතුරු පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවා හරිහැටි නොදැන සිටීමයි.

කෙසේ හෝ මධූෂ් අත්අඩංගුවට ගත් පසු ඒ ගැන මූලික තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය හරහා ජනාධිපතිවරයාට වාර්තා විය. ජනාධිපතිවරයා කුඩුවලට එරෙහිව ප්‍රබල සටනක් ගෙන යන නිසා මෙහි සුල මුල සොයාගන්නට මධූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වාගත හැකි මාර්ග ගැන සොයා බැලීය. ඊට තමන්ම මැදිහත් විය යුතු බව තීන්දු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින ඩුබායි තානාපතිවරයා ජනාධිපති නිවෙසට කැඳවීමට නියම කළේය. එහෙත් ඒ වනවිට තානාපතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා ඩුබායි වෙත ගොස් තිබිණි. අවසානයේ ඔහු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහට කීවේ ඩුබායි තානාපතිවරයා තමන් හා දුරකතනයෙන් සම්බන්ධ කරන ලෙසයි.

ඒ අනුව පසුගිය සතියේ එක් සන්ධ්‍යාවක ඩුබායි තානාපතිවරයා සහ ජනපතිවරයා අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. විනාඩි හත අටකට සීමා වූ මෙම සංවාදයේදී ජනාධිපතිවරයා මධූෂ්ගේ කෙරුවාව ගැන කෙටියෙන් පවසා ඩුබායි එමීර්වරයාවද දැනුවත් කර මධූෂ් ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි ඉල්ලූ බව කියැවිණි. තානාපතිවරයා ඊට පිළිතුරු ලෙස කියා ඇත්තේ තමන් මේ ගැන ඩුබායි විදේශ හා ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරන බවය. ඉන් ඔබ්බට පැවසූ දෙයක් දැනගන්නට නැත. කෙසේ වෙතත් ඩුබායි අධිකරණ ක්‍රියාදාමය අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී මෙරට දේශපාලනය දැනට හිරේ සිටින මාකඳුරේ මධූෂ් විසින් නැවත වරක් සලිත කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් විසින් ආරම්භ කරන ලද කුඩු විරෝධී සටන තීව්‍ර කරමින් මධූෂ්ගේ මෙරට ගෝලයන් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශවලට දුන් නියෝගය අකුරට ක්‍රියාත්මක විය. දැන් මෙරට කුඩු ව්‍යාපාරයේ කොන්ද කැඩෙමින් තිබේ. ඒ ගැන පසුගියදා ආණ්ඩුවේ ඇමැතීන් කිහිප දෙනකුද අදහස් පළකර තිබිණි. සාගල රත්නායක ඇමැතිවරයා කීවේ තම රජය යටතේ පොලිස් විශේෂ කාර්යය බලකාය ශක්තිමත් කොට ඇරඹූ ව්‍යාපාරය නිසා මධූෂ්ලාගේ ඉරණම විසඳන්නට පාර කැපුණු බවයි. හිටපු නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයකු වන රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේ පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමට තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් එදා ආරම්භ කළ සැලැසුම් නිසා මධූෂ්ලා කොටු වූ බවය. ඒ සඳහා මාස අටකට කලින් ලැබුණු ඔත්තු අනුව ක්‍රියාකොට මධූෂ් අත්අඩංගුවට ගත් වගද ඇමැති මද්දුමබණ්ඩාර පැවසීය. ජනාධිපතිතුමාද ඊට අවශ්‍ය සහාය ලබාදුන්නේ යැයි හෙතෙම වැඩිදුරටත් කීය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ රජය මධූෂ් කේ.පී. මෙන් හොර රහසේ ‘සූට්කේසයක’ දමාගෙන හෝ ශ්‍රී ලංකාවට ගෙන එන්නට සැලැසුම් කර තිබූ බවය. නමුත් ඩුබායි පොලීසිය කලින් මැදිහත් වීමත්, මාධ්‍ය මෙම තොරතුරු හෙළිදරව් කිරීමත් හේතුවෙන් වැඩේ නොකෙරුණු වග ඇමැතිවරයා කීය. මේ ආකාරයට මධූෂ්ගේ කතාව විසින් දේශපාලනය රත්කරන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ පාතාලයන් සහ ප්‍රබල කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව තමන්ගේ මෙහෙයුම සාර්ථක වනවිට මේ වැඩවලට උප්පැන්න දෙන්නට බොහෝ පිරිස් සූදානම් වන බවයි. මෙම ප්‍රතිඵලය ලද්දේ තමන් මාස තුනකට පෙර පොලීසිය භාරගෙන ඒ අයට දුන් විවෘත හා පැහැදිලි නියෝග නිසා යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මධූෂ්ගේ උරුමය වෙනුවෙන් දේශපාලන වේදිකා මත ලොකු ලොක්කන් අවි අමෝරාගෙන සටනට බසිද්දී ඡන්ද කතා අමතකව ගියේය. මේ සතියේ නැවත වරක් ඒ බව මතක් කළේ ජනාධිපතිවරයාය. පොළොන්නරුවේ පැවැති වැඩසටහනකදී පැමිණ සිටි පිරිස අමතමින් කතා කළ ජනාධිපතිවරයා කීවේ මේ වසරේ ජනාධිපති සටනට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම ස්ථිර බවයි. එයට බාධා කරන නීතිමය ගැටලු ඉක්මණින් විසඳාගන්නා වගත් ජනාධිපතිවරයා පොළොන්නරුවේදී කීය.

එහෙත් එ.ජා.ප.ය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. පසුගිය කාලයේ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් දිගින් දිගටම සඳහන් කළේ සිය පක්ෂයේ අරමුණ පළාත් සභා ඡන්දයක් නොව ජනාධිපතිවරණය බවයි. එ.ජා.ප.යෙන් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් නිත්‍ය වශයෙන්ම ඉදිරිපත් කෙරෙන්නේ කතානායක කරු ජයසූරිය බව දැනට පක්ෂ අභ්‍යන්තරයේ විවෘත කතාබහට ලක්වෙමින් තිබේ. කරු ජයසූරිය මහතාගෙන් මේ ගැන පසුගිය සතියේ විමසූ බොහෝ දෙනාට කරු කීවේ තමන් මේ ගැන පක්ෂයෙන් කිසිදු ඉල්ලීමක් කර නැති බවය. එහෙත් පක්ෂයේ ඕනෑම පොදු තීන්දුවකට හිස නමන බවද ඒ සමඟ කරු සඳහන් කළේය.

මේ ආකාරයට එ.ජා.ප.ය ජනාධිපතිවරණ සිතියම අඳිද්දී පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන්ද නොයෙක් පුවත් මැවෙමින් තිබේ. රාජපක්ෂවරුන් තිරය පිටුපස දොරගුළුලා කළ සාකච්ඡාවකින් පසුව සැබෑ අපේක්ෂකයා තීන්දු කර ඇතැයි එහි බොහෝ ජ්‍යෙෂ්ඨයෝ පවසති. එහෙත් එළියේ මැවෙන පුවත්වලින් බැසිල්, චමල්, ගෝඨාභය, දිනේෂ් පමණක් නොව, ශිරන්තිගේ නමද කරළියට ගෙනැවිත් ඇත. මේ කතාවලින් පෙනෙන්නේ ජනාධිපති අපේක්ෂකයා ගැන ඇත්තේ මාධ්‍ය යුද්ධයක් බවය. මේ ගැන සාකච්ඡා කරන්නට පසුගියදා මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවෙසේ මහින්ද ඉන්දියාවට යාමට පෙර දා රාත්‍රියේ පැවැති ඒකාබද්ධයේ පක්ෂ නායකයන් 7 දෙනාගේ හමුවට බැසිල් සහභාගි වූයේ නැත. ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කේන්තියට පත්ව සිටි බවද කියැවිණි. කෙසේ හෝ එදින ජී.එල්.ලාගේ නිවෙසේ රාත්‍රී භෝජනයද හමාරකොට මහින්දලා පිටත්ව ගිය පසු බැසිල් ඊට එක්වූ බව පසුව කියැවිණි. ඔහු ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීන් සමඟ පවත්වන ‘ගම සමඟ සංවාදයක්’ වැඩසටහනට ගොස් පැමිණීම පමා වූ බව කියැවිණි. එහෙත් සමහරුන් මෙම අදහස පිළිගත්තේ නැත.

එසේ වුවත් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් තොරව පසුගිය සඳුදා රාත්‍රියේ රාජපක්ෂ රජයේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙතුන් දෙනකුගේ මැදිහත් වීමෙන් බැසිල් සහ ගෝඨා අතර හමුවක් කොළඹදී පවත්වා තිබේ. ඒ වනවිට මහින්ද හිටියේ ඉන්දියාවේය. එහිදී කිසිදු ගැටලුවකින් තොරව ඉදිරි ජනාධිපතිවරණය සැලැසුම් කරන ආකාරය ගැන බැසිල්, ගෝඨාභය ප්‍රමුඛ පැමිණ සිටි පිරිස හමුවේ සිය සැලැසුම හෙළිදරව් කළ බව පැවසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මාලිගාවත්ත ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයකදී කළ කතාව ආන්දෝලනාත්මක විය. ඔහු කතා කළේ අධිකරණයේ ස්වාධීනත්වය ගැනයි. ස්වාධීන අධිකරණය හා ස්වාධීන කොමිෂන් සභාවලට පහර ගැසීමෙන් මත්ද්‍රව්‍ය පාලන ක්‍රියාවලිය අඩපණ වන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය. බංකොළොත් දේශපාලනඥයන්ට අධිකරණය පාපන්දුවක් කරගන්නට ඉඩදිය නොහැකි යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා යමෙක් පාර්ලිමේන්තුවට පැමිණ පදනමක් නැති ප්‍රකාශ කරන්නේ නම් අවසානයේ එහි ප්‍රතිවිපාක විඳින්නේ ජනතාව යැයි සඳහන් කළේය. “රටේ මත්ද්‍රව්‍ය පාලනය කළා පමණයි. කවුරුවත් ඒක නැති කළේ නැහැ.” යැයි කී අග්‍රාමාත්‍යවරයා මත්ද්‍රව්‍ය මර්දනය අද මෙලෙස සිදුවන්නේ තමන්ලා ඇතිකළ ස්වාධීන කොමිෂන් සභා නිසා යැයිද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් ඉලක්ක කළේ කවුද යන්න නාමමාත්‍රව සඳහන් නොවේ. එහෙත් පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ අධිකරණය ගැන, මත්ද්‍රව්‍ය පාලනය කිරීම ගැන දැඩි ලෙස අදහස් දක්වා තිබුණේ ජනාධිපතිවරයාය. එනිසා ඒ ගැන තතු දත් අයට අගමැතිගේ කතාවේ පූර්වාපර සන්ධි ගලපා ගැනීම අපහසු නැත.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ ප්‍රශ්නයක් උද්ගතව ඇත. පක්ෂ නායක සම්පන්දන් මහතාට දැන් වයස අවුරුදු 86 කි. ඔහු පසුවන්නේද අසනීප ගතියෙනි. සම්පන්දන් ළඟම සිටින මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාද අසනීපයෙනි. මේ නිසා ශක්තිමත් ලෙස දෙමළ ජාතික සන්ධානය ඉදිරියට ගෙන යාමට මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පක්ෂ නායකත්වයට පත්කිරීම සඳහා අභ්‍යන්තර කතාබහක් ඇතිවී තිබිණි. ඒ ගැන මුලින්ම මාධ්‍යයට හෙළිදරව් කළේ දෙමළ සන්ධාන මන්ත්‍රී සරවනභවන් මහතාය. සරවනභවන් එසේ කීවද දෙමළ ජාතික සන්ධානය තුළ සිටින හවුල්කාර පක්ෂවලින් තවමත් සුමන්තිරන්ට අනුමැතිය හිමිව නැති බව පසුගිය සතියේ ඒ ගැන නිකුත් වූ ප්‍රකාශවලින් පැහැදිලිය.

සුමන්තිරන්ගේ නාමයෝජනාවට මුලින්ම බාල්දිය පෙරළුවේ දෙමළ සන්ධානයේ හවුල්කරුවන් වන ප්ලොට් සංවිධානයේ නායක ඩී. සිද්ධාර්ථන්ය. සුමන්තිරන්ට තම පක්ෂවල කැමැත්ත නැතිව පක්ෂ නායකත්වයට පත්විය නොහැකි යැයි සිද්ධාර්ථන් මාධ්‍යයට කීය. අනතුරුව ටෙලෝ නායක මන්ත්‍රී එස්. අඩෛක්කලනාදන් කීවේ මේ සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභා සහ පක්ෂ සම්බන්ධීකරණ කමිටුව මගින් තීන්දුවක් ගත යුතු බවය. කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා මෙන්ම මන්ත්‍රී සුමන්තිරන්ද කියා තිබුණේ මේ ගැන මුලින්ම අදහස් පළකළ සරවනභවන් මන්ත්‍රීවරයා පළකළ අදහස් නිවැරදි නොවේ යැයි කියාය. මාවෙයි සේනාධිරාජාම කියා සිටි කරැණු සුමන්තිරන්ද පිළිගෙන තිබිණි. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සංස්කෘතිය අනුව ක්‍රියා නොකරන බව පවසමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා කෙරේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අප්‍රසාදයෙන් පසුවන්නේ යැයිද උතුරෙන් ලැබෙන වාර්තා කියයි.

මේ කතාබහ අතරේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඊ. සරවනභවන් මහතා කැනඩා, ස්විට්සර්ලන්ත සහ ප්‍රංශ රටවල තානාපතිවරුන් අමතා තමන්ගේ අපේක්ෂකත්වයට සහායද ඉල්ලා තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ ‘ද හින්දු’ පුවත්පත සංවිධානය කළ වාර්ෂික දේශනය සඳහා ඉන්දියාව බලා පිටත් විය. මහින්ද සමඟ ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, ලොහාන් රත්වත්ත ඇතුළු මන්ත්‍රීන් පිරිසක්ද එහි ගොස් සිටියහ. ‘හින්දු’ පුවත්පතේ කර්තෘ සහ අධ්‍යක්ෂ එන්. රාම් ඇතුළු ආයතන ප්‍රධානීන් මහින්ද රාජපක්ෂ මහතා උසස් ලෙස පිළිගත් අතර ඔහුට අගමැති නරේන්ද්‍ර මෝදිගේ නියමය අනුව වෙඩි නොවදින රථ සමඟ අතිවිශේෂ ප්‍රභූ ආරක්ෂාවද සපයා තිබුණි. තමන් ඉදිරි ජනපතිවරණය සඳහා ඡන්දය දිනන හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන වග පැවසූ මහින්ද, ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සංශෝධනය කරන්නේ යැයි සඳහන් කළේය. බැංගලෝරයේ පැවැති මෙම සමුළුවේ දෙවැනි දින දේශනය සඳහා ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා පැමිණ සිටියේය. මහින්ද එම දේශන වාරයටද සහභාගි විය. ‘ද හින්දු’ පුවත්පතේ පළවූ පුවතක් නිසා හිත් රිදී සිටින අගමැති මෝදිගේ ආණ්ඩුවේ ස්වදේශ අමාත්‍යවරයාද සමුළුවට පැමිණීමට ආරාධනා භාරගෙන සිටි නමුත් අවසන් මොහොතේ පැමිණීම අවලංගු කර තිබිණි.

බැංගලෝරයේ දේශනයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා තිරුපති කෝවිලේ වන්දනාව සඳහා හයිද්‍රාබාද් වෙත පැමිණියේය. ඊට පෙර ඉන්දියාවේ හිටපු අගමැති එච්.ඩී. දේව් ගවුඩා මහතා මුණගැසී සුහද කතාබහක නිරත විය. හයිද්‍රාබාද් වෙත පැමිණි රාජපක්ෂ මහතාට මහ ඇමැති චන්ද්‍රබාබු නායිදු අවශ්‍ය කරන සියලු පහසුකම් සැපයීය. එහි ටාජ් ක්‍රිෂ්ණා හෝටලයේ නවාතැන් ගත් මහින්දට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට ටාජ් හෝටල් සමාගමේ හිමිකරුවන්ගේ පවුලෙන් ඇරයුමක් ලැබිණි. ඔවුහු ලෝක ප්‍රකට ටාජ් හෝටල් ජාලයේ නිර්මාතෘවරයාගේ තුන්වැනි පරපුර නියෝජනය කරති. ටාජ් මැඳුරේදී මහින්දලා මහ ඉහළින් පිළිගත් ටාජ් පවුලේ අය ඉස්තරම් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා මහින්දට කීවේ “අපට අවශ්‍ය වූයේ ඔබට ගෞරව කිරීමට පමණයි.” කියාය.

ටාජ් හෝටලයේ නවාතැන් ගෙන සිටි මහින්දට එහිදී කදිම අත්දැකීම් දෙකක් ලැබිණි. ඔහුගේ අවශ්‍යතා සොයා බලා වහා සපුරාදෙන ලෙස නියෝග කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු දුන් නියෝගය අනුව හෝටලයට පැමිණි අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන ලේකම්වරයා මහින්ද සිටි කාමරයට පැමිණ ඔහු පැළඳ සිටි කුරහන් සාටකය දැක ඒ ගැන කතා කරන්නට විය. “මම මේ සාටකයේ ඉතිහාසය දන්නවා. අපේ රටෙත් කුරහන් වැවෙනවා. මම රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය ගැනත් හදාරල තිබෙන කෙනෙක්...” යැයි කියමින් සාටකයේ මෙන්ම රාජපක්ෂ පවුලේ දේශපාලන ඉතිහාසය ද මහින්දට සිහිපත් කළේය.

අනතුරුව ටාජ් හෝටලයේ විශේෂ අමුත්තන් සඳහා වෙන්වූ කලාපයේ දැඩි ආරක්ෂක රැකවල් මැද රුඳී සිටි මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට අමුත්තෙක් පැමිණියේය. ඒ ටාජ් හෝටලයේ සේවය කරන ඉතා සුළු සේවකයෙකි. එහෙත් ඔහුට මහින්ද සිටින පළාතකවත් යන්නට නොදුන්නේ ඔහුගේ රැකවරණයට සිටි ඉන්දීය ගුර්කා සෙබළුන් විසිනි. කෙසේ වෙතත් හෝටල් සේවකයා මහින්ද මහතා හමුවන්නටම ඕනෑ යැයි පෙරැත්ත කළ බැවින් අකැමැත්තෙන් මෙන් ආරක්ෂක අංශ බලධරයෝ සීරුවෙන් පැමිණ මේ කරදරකාරයා ගැන මහින්දට කීහ. එවිට මහින්ද ඔහු තමන් හමුවට කැඳවාගෙන එන්නැයි අවසර දුන්නේය. කෙසේ වෙතත් මිනිත්තු දෙකක් තුළ මහින්ද මහතා හමුවී පිටත්ව යන ලෙස නියෝග කරමින් මේ මිනිසාගේ ශරීර පරීක්ෂාවකින් පසුව ඔහු මහින්ද හමුවට ගෙන එනු ලැබීය. මහින්ද රාජපක්ෂ දුටු හෝටල් සේවකයා දෑත් එක්කොට ආචාර කර “සර් මට ඔබතුමාව හැබැහින් බලන්නයි ඕන කළේ” යැයි කීය.

“ඒ ඇයි? මොකක්ද හේතුව? ” කියා රාජපක්ෂ මහතා විමසූ විට “සර්.. සර් නේද කොටි ත්‍රස්තවාදී සංවිධානය නැති කළේ? ඒකයි මම බලන්න ආවෙ.. සේරම හරි. මම ඔබතුමා දැක්කා. දැන් මට හරිම සතුටුයි.. මම යනවා මගේ වෙලාව ඉවරයි“ කියා පිටත්ව ගියේය. අඩුම තරමින් තමන්ට ආචාරකොට පිටත්ව ගිය මිනිහාගෙන් නමවත් අසාගන්නට පෙර ඔහු මහින්ද සිටි කුටියෙන් පිටත්ව යෑම විශේෂයකි.

විපක්ෂයේ සියලු පක්ෂ ඉල්ලා සිටින පළාත් සභා මැතිවරණ මැයි 31 දිනට පෙර පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ගැන මේ සතියේ ඇමැති මණ්ඩලයේදී නැවතත් සාකච්ඡා කැරිණි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඒ ගැන සිය නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. පළාත් සභා ඡන්ද සියල්ල එක්වර පවත්වන්නට නම් දැනට විසිරී නැති පළාත් සභාද විසුරැවීමට අදාළ පියවර ගත යුතු යැයි වජිර සඳහන් කළේය. එසේම පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නට නම් දැනට අනුමත වී තිබෙන නව ඡන්ද ක්‍රමය වෙනුවට පැරැණි ක්‍රමය නැවත පාර්ලිමේන්තුවෙන් අනුමත විය යුතු යැයි ඇමැති වජිරගේ නිරීක්ෂණවල දැක්විණි. ඒ සඳහා මන්ත්‍රීන් 2/3ක අනුමැතිය අවශ්‍ය යැයිද කියැවිණි. මේ නිර්දේශවලින් පසු අදහස් දැක්වූ ජනාධිපතිවරයා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් කැඳවා පළාත් සභා ඡන්ද කඩිනමින් පැවැත්වීමට අදාළ තීන්දුව ගන්නා ලෙස දැන්වීය.

►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00