2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

හාල් දේශපාලනයේ පාෙල්අඩි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

මේ සතිය වනවිටත් නොවිසදී තිබුණ ප්‍රධාන ප්‍රශ්න අතර සයිටම් ආරවුල සහ සහල් මිල ප්‍රශ්නය කැපී පෙනුණි. සයිටම් ආරවුල දැනට මාස ගණනක් තිස්සේ ඉදිරියට ඇදී යමින් පවතින්නකි. හාල් මිල ප්‍රශ්නයද දැන් මාස කිහිපයක් තිස්සේ පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන්නකි. මේ ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ආදී අමාත්‍යංශ වෛද්‍ය සංගම් හා ශිෂ්‍ය සංගම් සමඟ එකඟතාවකට පත්වීමට උත්සාහ කළ නමුත් දිගින් දිගටම එම උත්සාහයන් අසාර්ථක විය. මෙහිදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ දැනට සයිටම් වෛද්‍ය ශිෂ්‍යයන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට ඉඩකඩ ලබාදිය යුතු බව කියා ඇති බැවින් වෛද්‍ය සංගම් ඊට අවනත විය යුතු වගය. එහෙත් වෛද්‍ය සංගම් සභාපතිවරුන් කීවේ තමන් අධිකරණයට ගරු කරන නමුත් සයිටම් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමේ අවම සුදුසුකම් සපුරා නැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහි අධ්‍යාපනය ලබන බැවින් ඔවුන් ඇතුළත් කරගත්තේ කවර සුදුසුකම් මතද යන්න නිල වශයෙන් තමන්ට දැන්විය යුතු වගයි. 

ජීවිතය දිනන්න බුදුදහම අනුව යන්න - අගමැති

එය තවමත් සම්පූර්ණ කර නැතැයි වෛද්‍ය සංගමයේ ප්‍රධානී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය. ඒ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයන බවද ප්‍රකාශ කර තිබිණි. සයිටම් වෛද්‍ය සිසුන් වෙනුවෙන් කතා කරන එහි දෙමව්පිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ප්‍රශ්නය මෙතැනින් නොවිසඳුණොත් එය ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා ගෙන යන බවයි. ඒ අතර ශිෂ්‍ය සංගම් දිගින් දිගටම කියා සිටියේ සයිටම් යනු හොර උසාවි කඩයක් බැවින් එය වහා අහෝසිකර රජයට පවරාගත යුතුය කියායි.

ගුවන්තොටුපොළත් නැහැ හාලුත් නැහැ - මහින්ද

 

සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදි යන්නේ නැවත ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද ශිෂ්‍ය සංගම්වල යෝජනාවට සමාන අදහසක් ඉදිරිපත් කරමින් මේ සතියේ කියා සිටියේ සයිටම් ආයතනය පමණක් නොව නෙවිල් ප්‍රනාන්දු රෝහලද රජයට පවරාගත යුතු වගයි. මෙම ප්‍ර‍ශ්නය කඩිනමින් නොවිසඳුණොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යන බවද වෛද්‍ය සංගමය කියා සිටියේය. සයිටම් අර්බුදය දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් වෙද්දී සයිටම් පටන්ගන්නට අවසර දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද මේ ගැන වාර ගණනාවක්ම අදහස් දැක්වීය. තම රජය සයිටම් පටන් ගන්නට අවසර දුන්නේ කොන්දේසි සහගතවයැයි කී හිටපු ජනාධිපතිවරයා කොන්දේසි විරහිතව හිතුමතේ ක්‍රියාකරන්නට අවසර දී නැතැයි පැවසීය. මේ ගැන ආණ්ඩුව කමිටු හෝ කොමිෂන් පත්කර ප්‍රශ්නය නොවිසඳා කල් මරන්නේ යැයි ඔහු වත්මන් රජයට චෝදනාවක් නැගීය.

මෙලෙස සයිටම් කතන්දරය දේශපාලන ක්ෂේත්‍රය රත් කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සයිටම් ප්‍රශ්නය විසඳීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන බව ප්‍රකාශ කළේය. ඒ අතර සයිටම් ප්‍රශ්නය ගැන මෙරට වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එහිදී මූලික එකඟතාවක් ඇතිවූයේ සයිටම් ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය කරන විමර්ශන හමාරවනතුරු සයිටම් ආයතනයට සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවිය යුතු බවටයි. ඒ හැර තවත් යෝජනා ගණනාවක්ද සම්මත කර ප්‍රකාශ කළ නමුත් වෛද්‍ය සංගම් හා ශිෂ්‍ය සංගම් කියා සිටියේ සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සිදුවන්නේ මාස 6කට වරක් බවත් ජනවාරියේ සිසුන් බඳවාගත් සයිටම් ඊළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවාගන්නේ ජුනි මාසයේ බැවින් මේ මාස 6 කතාව විශේෂ දෙයක් නොවන බවත්ය. කෙසේ හෝ මෙම අර්බුදය තවමත් වාද විවාද මධ්‍යයේ ඇදි ඇදී යමින් තිබෙන බව පෙනේ. 

ජනපතිගෙන් ගම්මන්පිලට අපූරු  තෑග්ගක්

ඒ අතර දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට කීවේ මාස හයක් යනතුරු සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම තහනම් කරන්නට ගත් තීන්දුව ගැන රජය සමඟ සාකච්ඡා කරන බවය. එය හමාරවන තුරු සිසුන් බඳවාගැනීම දිගටම කරන බවද නෙවිල් ප්‍රනාන්දු කීය. මෙම ප්‍රකාශයත් සමඟ සයිටම් විරෝධි ශිෂ්‍ය ප්‍රජාව, වෛද්‍ය පීඨ ඇති සරසවිවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණ විරෝධතාවක් දැක්වීමට තීන්දු කළේය. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයක් අනුව එරට සිව් දින නිල සංචාරයක් සඳහා පිටත්ව ගියේය. අමාත්‍ය අර්ජුන රණතුංග හා විජිත් විජයමුනි සොයිසා ඇතුළු පිරිසක්ද අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම චාරිකාවට එක්වූහ. මෙම චාරිකාවේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සමඟ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක නිරත විය. එරට ආණ්ඩුවේ ප්‍රධානීන් ගණනාවක්ද මුණ ගැසුණේය. 

මෙම චාරිකාවේදී අග්‍රාමාත්‍යවරයාට එරට මුල් පෙළේ සරසවියක් වන ඩිකෑන් විශ්ව විද්‍යාලයෙන් අචාර්ය උපාධියක් පිරිනැමිණි. අධ්‍යාපනය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ උපාධි නිබන්ධනය විශේෂ අගැයුමට ලක්කරමින් ඔහුට මෙකී ආචාර්ය උපාධිය ලබාදීමට තීන්දු කළ බව ඩිකෑන් සරසවිය ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලාංකික සිසු සිසුවියන් රැසක් අධ්‍යාපනය ලබන ඩිකෑන්* සරසවියේදී අග්‍රාමාත්‍යවරයා සිය උපාධිය පිළිගනිමින් විශේෂ දෙසුමක්ද පැවැත්විය. ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වන බැවින් මනුෂ්‍යයාගේ ජීවිත මාර්ගයද ඒ අනුව වෙනස් කර ගත යුතු යැයි මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කීය. ජීවිතය දිනන්නට නම් පරාජයට මුහුණදීමට ඉගෙන ගත යුතු යැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා සිය දෙසුම අවසන් කළේ ධම්මපදයේ ගාථාවක් කියමිණි. ආචාර්ය උපාධිය ලැබුවද තමන්ගේ නමට ඉදිරියෙන් කිසිදු අවස්ථාවක ඒ බව සඳහන් නොකරන ලෙසද ඒ මොහොතේ අගමැතිවරයා සිය ලේකම්වරයාට දැන්වීය. 

සයිටම් ගින්නට පිදුරු දමන්න එපාලු

 

ජිනීවා මානව හිමිකම් කොමිසම ලබන සතියේ ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව සිටී. ජිනීවා මානව හිමිකම් කොමිසම මෙයට පෙර ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි දන්වමින් ලබාදුන් යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අප රට ලබා ඇති ප්‍රගතිය මෙවර සැසිවාරයේදී සාකච්ඡා කෙරේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අතුරැදන් වූවන්ගේ කොමිසම, සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම, යුද අපරාධ විමර්ශනයට අධිකරණයක් ස්ථාපිත කිරීම ආදි ඉටුකළ යුතු කොන්දේසි ගණනාවක් තවමත් ඉතිරිව ඇත. විශේෂයෙන් අතුරැදන් වූවන්ගේ කොමිසම පිහිටුවීමට ජනාධිපතිවරයා වෙත විදේශ අමාත්‍යංශය කළ යෝජනා ජනාධිපතිවරයා පිළිගෙන නැත. ඒ අතර යෝජිත ව්‍යවස්ථාවේ කෙටුම්පතද තමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු යැයි ඔහු දන්වා තිබේ. යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමේ කතාවද බරපතළ විවාදයකට ලක්ව ඇත. ඒ අතරතුර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කල් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත. මුලින් මාස 6ක් හෝ වසරක් සඳහා කල්ගත යුතු යැයි යෝජනා වූ නමුත් පසුව එය වසර දෙකක් දක්වා දිගු කළ යුතු යැයි රජය අභ්‍යන්තරයෙන් යෝජනා විය. එහෙත් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දේශපාලන පක්ෂ ගණනාවක් විදේශ අමාත්‍යංශ යෝජනාව දැඩි ලෙස විවේචනය කර තිබිණි. ඔවුන් සඳහන් කළේ වත්මන් රජයද මෙම ප්‍රශ්නය වටහාගනිමින් සිටින බවයි.

බස් ගැමුණු ජිනීවා යනවාලු

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සයිටම් අර්බුදයටත් වඩා බරපතළ හාල් මිල ප්‍රශ්නය සමතයකට මේ සතියේ මැදිහත් විය. රජය ක්‍රියාත්මක කළ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවට වෙළෙන්දෝ මැසිවිලි නැගූහ. ඒ අතර පොළොන්නරුවේ සහල් නිෂ්පාදකයන් ප්‍රකාශ කළේ තමන්ගේ වී මෝල්වල වී කෙටීම නතර කර දමන බවය. රජයේ පාලන මිලට සහල් සපයන්නන්ට නම් වී සඳහා නියමකර ඇති කිලෝවකට රු. 44/-ක සහතික මිල අඩුකළ යුතු යැයි ඔවුහු කීහ. මේ ආකාරයේ වාද විවාද මැද හාල් මිල ප්‍රශ්නයට බරපතළ තත්ත්වයට පත්විය. මුදල් අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය නියම කළ පාලන මිලට කිසිම පෞද්ගලික වෙළෙඳසලක සහල් අලෙවි නොවීමය. ස.තො.ස. සමහර ගබඩාවල සීමිත සහල් ප්‍රමාණයක් සැපයූ බැවින් කලකට පසු සහල් පෝලිම් දක්නට ලැබිණි. මේ ආකාරයට වැඩේ දුරදිග යනවිට හාල් මෝල් හිමියන් සිය කාර්යාලයට කැඳවු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ අයගේ ප්‍රශ්න විමසා බැලීය. මුදල් අමාත්‍ය රවි කරැණානායක සහ වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ද ජනාධිපතිවරයා සමඟ වූහ. ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ජනතාවට දරාගත හැකි මිලට සහල් සැපයීම රජයේ මූලික අරමුණ බවය. දේශීය හා ආනයන සහල් වර්ග දෙකට වෙන වෙනම උපරිම සිල්ලර මිලක් පැනවිය යුතු යැයි කී හෙතෙම රජය සහල් ආනනයනයේදී අය කළ බදු අඩුකළ නිසා ඒ සහනය ජනතාවට ලබා දෙන මෙන් ඉල්ලීමක් කළේය. 
ජනාධිපතිවරයා ප්‍රශ්නයට මෙසේ මැදිහත් වෙද්දී එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේ සහල් හිඟය ඇතිවීමට ප්‍රධාන හේතුව රජය මිලදීගත් වී තොග සහල් මෝල් හිමියන් අතර සාධාරණ ලෙස අලෙවි නොකොට දේශපාලන හිතවතුන්ට අලෙවි කිරීම නිසා බවය. ඒ අය වී තොග සහල් නොකර සඟවා ඇතැයිද ඔහු පැවැසීය.

සහල් ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා සාකච්ඡා කරද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කළේය. රාජපක්ෂ කීවේ පසුගිය වසර දෙක තුළ පොහොර සහනාධාරය කප්පාදුව නිසා කුඹුරු වගා අක්කර ලක්ෂ 4ක පමණ වී වගාව අතහැර දැමූ නිසා මේ ආකාරයට රටේ සහල් හිඟයක් හටගත් බවය. තම රජය කාලේ වී තොග අතිරික්තව තිබියදී වත්මන් ආණ්ඩුව පාලනය භාරගත් බව මතක් කළ රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ වී ගබඩා කරන්නට මත්තල ගුවන්තොටුපොළ යොදාගත්තේ යැයි කීවේ උපහාසයෙනි. දැන් ගුවන්තොටුපොළත් නැහැ හාලුත් නැහැ යැයි ඔහු කීය.

මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව එහි උප සභාපති ධුරයක් දැරු කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කළේය. එහි මංගල රැස්වීම පසුගියදා මඩකලපුවේදී පවත්වනු ලැබීය. දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් හැඳින්වෙන නව පක්ෂය ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන ඡන්දය සඳහා ප්‍රථම වරට තරග කරන බව එහි නායක කරුණා අම්මාන් ප්‍රකාශ කර ඇත. නව පක්ෂය ඉතා ඉක්මනින් ලියාපදිංචි කොට ඡන්දය සඳහා සැරසෙන බව කී පක්ෂ නායකයා උතුරු නැගෙනහිර දෙපළාත සඳහාම සිය පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද සඳහන් කර තිබිණි. සිය කණ්ඩායම තනිව මැතිවරණ තරග කරන්නේද ප්‍රධාන පක්ෂයක් සමඟ සන්ධානගත වන්නේද යන්න ඉක්මනින්ම තීන්දු කරන බව කරැණා අම්මාන් වැඩිදුරටත් කියා තිබිණි. තම පක්ෂයට වැඩි මන්ත්‍රී ධුර ගණනක් ලබාගන්නට කරුණා මෙසේ තනිව සටනට එන බව කියැවේ.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ප්‍රධාන වශයෙන්ම කතා කළ ප්‍රශ්න ගණනාවකි. ඉන් පළමුවැන්න වෙහිකල් ලංකා නම් පෞද්ගලික සමාගමට බදු සහන යටතේ වාහන දෙදහස් ගණනක කොටස් ආනයනය කොට එකලස් කිරීමට අවසර දීමයි. මේ ආකාරයට මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කළ මේ යෝජනාවට ඇමතිවරු බොහෝ දෙනෙක් එකඟ නොවූහ. රජයේ බදු ආදායමින් රුපියල් කෝටි දහස් ගණනක් මේ ආකාරයට බදු සහන දීමෙන් රටට අහිමි වන බවද ඔවුහු පෙන්වා දුන්හ. අනතුරුව නේපාලයේ මනිපාල් සරසවියේ ශාඛාවක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අවසර ඉල්ලන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් විය. සයිටම් පෞද්ගලික සරසවිය පිළිබඳ ප්‍රශ්නය උග්‍රව තිබියදී කොතරම් විශාල ආයෝජනයක් වුවද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ මොහොතේ ස්ථාපිත කරන්නට යාම නුවණට හුරු නොවන බව දයාසිරි ජයසේකර, චම්පික රණවක ආදී ඇමැතිවරු පෙන්වා දුන්හ. සයිටම් ප්‍රශ්නය පත්තුවෙලා තියන වෙලාවේ මනිපාල් කතාවක් ගෙනල්ලා ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපා යයි චම්පික රණවක සඳහන් කර තිබුණේය. සහල් මිල ගණන් පාලනය කොට අඩුමිලට පාරිභෝගික ජනතාවට සහල් සැපයීම ගැනද කතාබහ සිදුවූ අතර රටේ ආර්ථිකය බරපතළ තැනකට තල්ලු වෙමින් යන බවට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කළ අනතුරු ඇඟවීම ගැනද ගැඹුරින් සාකච්ඡා විය. එහිදී එක් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කියා තිබුණේ මහ බැංකු අධිපති රජයේ ආර්ථික කවුන්සිලය හමුවේ සිදුකළ එකී අනතුරු ඇඟවීම ඇතුළත් කතාව කැබිනට් මණ්ඩලයටත් කරන්නැයි ඉල්ලීමක් කළ යුතු වගයි. මේ ආකාරයට සංවේදී ප්‍රශ්න ගණනාවක් අමාත්‍ය මණ්ඩලය තුළ පුළුල්ව සාකච්ඡා කොට ඒවාට කඩිනම් විසඳුම් සෙවීම ගැන පූර්ණ අවධානය දැක්වීමට අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය.

කාලයක් තිස්සේ ඇදි ඇදී යමින් තිබුණ පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වෙන බවට කොළ එළියක් දැල්විණි. ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ පසුගියදා කටයුතු නිමකළ මැතිවරණ කොට්ඨාස සීමානිර්ණය වාර්තාව මෙම 17දා (සිකුරාදා) ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ බවයි. ගැසට් එක ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එයට මැති සබයේ අනුමැතිය ලැබිය යුතුය. ඊට පෙර සීමා නිර්ණය කටයුතු සම්බන්ධව අගතියක් සිදුවී තිබේ නම් ඒ අගතියට පත් දේශපාලන පක්ෂවලට හෝ තැනැත්තන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කළ හැක. ඒවා නිශ්චිත දින ගණනක් තුළ විභාග කොට පාර්ලිමේන්තුවට තීන්දුව ලබාදීම අනතුරුව අධිකරණය මගින් සිදුකෙරේ. එම කටයුතු හමාර වූ පසු අඩුම තරමින් දින 75ක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් වන බවද නිල නොවන ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැන්මට සිංගප්පූරැවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත පසුගියදා ගියේය. ඔහු එහිදී වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට මුහුණ දෙනු ඇතැයි සඳහන් වේ.
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවලට අයත් ගොඩනැගිලි සැලැසුම් අනුමත කිරීමේ බලය මහ නගර සංවර්ධන අමාත්‍යංශය විසින් පවරා ගන්නා ලදැයි කියමින් මහ ඇමැතිවරැන් ගණනාවක් විරෝධය පළකර තිබිණි. මේ ආකාරයට පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතු බලතල මධ්‍යම රජයේ අමාත්‍යංශ විසින් පවරා ගැනීමෙන් පළාත් සභා වෙත බලය විමධ්‍යගත කිරීමේ අරමුණ හෑල්ලු වන බවට ප්‍රසිද්ධියේ චෝදනා කළේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පෙරේරා මහතාය. අනතුරුව ඔහු කීවේ තමන් මහ නගර සංවර්ධන අමාත්‍යවරයාගේ මෙම නියෝග පිළිනොගන්නා බවය. ඒ නිසා මෙකී බලතල නැවත පළාත් සභාවලට පවරා නොදුන්නොත් පළාත් සභාවට තිබෙන බලතල අනුව විශේෂ ප්‍රඥප්තියක් සම්මතකොට නිවාස සැලසුම් අනුමත කිරීමේ බලය නැවත පළාත් සභා වෙත පවරාගෙන පළාත් පාලන ආයතන මගින් ක්‍රියාවට නංවන බව මහ ඇමැතිවරයා කීය. මෙයට පිළිතුරැ සැපයූ මහ නගර සංවර්ධන විෂය භාර ඇමැති චම්පික රණවක මහතා කීවේ නාගරික සංවර්ධන අධිකාරියට නිවාස සැලසුම් අනුමත කිරීමේ බලය 1978 සිට 1985 දක්වා හිමිව තිබියදී ප්‍රේමදාස අගමැතිවරයා තමන්ගේ දේශපාලන අරමුණු උදෙසා 1985 දී පළාත් පාලන ආයතන වෙත මෙකී බලය චක්‍රලේඛයකින් පවරාදුන් බවයි. ඒ වනවිට පළාත් සභා ක්‍රමයක් ගැන සිතිවිල්ලක්වත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නොතිබුණ බවද කීය. තමන් කළේ එදා ප්‍රේමදාස මහතා චක්‍රලේඛයක් මගින් පවරා දුන් බලය තාවකාලිකව පවරා ගැනීමත් පමණක් වගය. රටේ පොදු භෞතික සංවර්ධන සැලැසුමක් සැකසීමට සංගණනයක් සිදුකළ යුතු බැවින් මෙම තීරණය ගත් බවද අමාත්‍ය රණවක සඳහන් කළේය. මහ ඇමැති ඉසුර කියන ආකාරයට මෙම බලය පළාත් සභාවලට අයත් නැතැයි කී රණවක මහතා පළාත් පාලන ඡන්දයෙන් පළාත් පාලන ආයතන නැවත ස්ථාපිත කළ පසු ඒවා අදාළ ආයතන වෙත පැවරෙන්නේ යැයිද කීය. පළාත් සභා සමඟ මේ ගැන තමන්ට ගැටුමක් නැතැයිද හෙතම සඳහන් කළේය.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර