2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

මහින්ද - මෝදි දොර වසාගෙන කළු කෝපි බොමින් රහස් කතාවක

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 365

එ.ජා.ප.යටත් පොහොට්ටුවටත් පිම්බෙන්න එපායි ජනපති කියයි
ලෝකයේ අනාගත ගමන් මග රනිල් වියට්නාමයේදී පහදයි
ෆොන්සේකාගේ කතාවට රාජ්‍යතාන්ත්‍රික දඬුවමක්?
හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමැතිනී තලතාගෙන් ජනපති ප්‍රශ්න කරයි
ගෝඨාභය ත්‍රිපුද්ගල මහාධිකරණයට
උතුරේ ප්‍රශ්නය නොවිසඳුණොත් වෙන දේ ගැන සම්පන්දන්ගෙන් අනාවැකියක්

මේ සතිය ආන්දෝලනාත්මක බවට පත්වූයේ ආන්දෝලනාත්මක කතා හේතුවෙනි. දේශපාලන වේදිකාව රත්කළ එම කතා සිදුකළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. ජනාධිපතිවරයා රත්නපුර නිවිතිගල පැවැති උත්සවයකදි කියා සිටියේ ඇතැමුන් කියන පරිදි තමන් කිසිදු අවස්ථාවක කල්තබා ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැතැයි කියාය. කලින් ජනාධිපතිවරණයක් කැඳවිය හැකි එකම බලධාරියා වන්නේ තමන් බැවින් තමන් ඒ ගැන රටට ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කළේය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරි ජනපතිවරණයෙන් පසු පත්වන ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත බව ඔහු පැවසීය. ඒ නිසා රටේ ජනතාව මීළඟට කල්පනා කළ යුත්තේ ජනාධිපති ඡන්දයක් ගැන නොව රටට හොඳ අගමැතිවරයකු පත්කර ගැනීම ගැන බව සිරිසේන මහතා අවධාරණය කළේය. එසේ අලුතෙන් පත්කර ගන්නා අගමැතිවරයා රටට ආදරය කරන දේශීයත්වය සහ අපේ සංස්කෘතිය අගය කරන වගකීමක් ගැන අවබෝධය ඇති වංචාවෙන් හා දූෂණයෙන් තොර පුද්ගලයකු විය යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. එසේම පොහොට්ටු පක්ෂයත් එ.ජා.ප.යත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවක සිටින වග සඳහන් කළ හෙතෙම ඔවුන් කෙසේ සිතුවත් ශ්‍රී.ල.නි.ප.ය නොමැතිව කිසිවකුට අලුත් ආණ්ඩුවක් හැදීමට හැකියාවක් නැතැයිද කීය.

ජනාධිපතිවරයාගේ මෙම කතාවේ තවත් බොහෝ සංවේදී තැන් ඇතත් අප සඳහන් කළේ අත්‍යවශ්‍ය කරුණු පමණි. මේ කතාව කළ පසු එ.ජා.ප.යට එයින් හිත් රිදීමක් සිදුවූ බව ප්‍රකාශ විය. එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය තනි ගමනට සැමවිටම සූදානම් බවය. හරීන් මෙන්ම එ.ජා.ප.යේ තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද ජනාධිපතිවරයාගේ කතාව ගැන පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර තිබිණි. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පොදු අදහස වන්නේ මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමඟ ගැටුමකට නොයා යුතු බව යැයිද දැනගන්නට ඇත.

ඒ අතර අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව සහ හමුදාපතිවරයා විවේචනය කරමින් පසුගිය සති කිහිපය තිස්සේම ප්‍රකාශ නිකුත් කළේය. ඊට පෙර ඔහු පොලිසිය හා එහි විශේෂ කාර්ය බළකාය විවේචනය කළේය. මෙම විවේචනවලට පදනම් වූ හේතු මොනවාද යන්න පැහැදිලි නැතත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පොන්සේකා මහතාගේ ආරක්ෂකයන් ගණනාවක් පාතාල සබඳතා මත අත්අඩංගුවට ගත් බව වාර්තා විය. ඒ සමඟ ෆොන්සේකා මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විවේචනය කළේය. රාජපක්ෂ ආණ්ඩුව කාලේවත් නොකළ දේ දැන් තමන්ට සිදුවන බව වරක් ෆොන්සේකා අමාත්‍යවරයා කීය.

පොලිසිය ගැන කළ විවේචනයට පසුව ඔහු විසින් යුද හමුදාවත් හමුදාපතිවරයාත් ඉලක්ක කරගෙන නොයෙක් විවේචන සිදුකරන ලදී. වත්මන් යුද හමුදාපතිවරයා එම තනතුරට පත් කරන්නට ද උදව් පදව් කළ සරත් ෆොන්සේකා මහතා හිටි ගමන් යුද හමුදාපතිවරයා විවේචනය කරන්නට විය. ඔහුගේ විවේචනවලදී මුලින්ම සඳහන් කළේ තමන් මේ රටේ යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවුවද 2015 ජනවාරි 08න් පසු කිසිදු අවස්ථාවක තමාගෙන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන උපදෙස් නොගත් බවයි. ඒ වාගේම දැන් යුද්ධයක් නැතත් යුද හමුදාවේ ශක්තිය අඩු කරමින් කඳවුරු ඉවත් කිරීමෙන් යුද ශක්තිය දුර්වල වන්නේ යැයි කී ෆොන්සේකා මහතා වත්මන් යුද හමුදාපතිවරයාට යුද්ධය ගැන ප්‍රායෝගික අවබෝධයක් නැතැයි කීය. ඔහු යුද සමයේ ලිපිගොනු භාරව සිටි බ්‍රිගේඩියර්වරයකු යැයිද කී හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් යුද හමුදාවේ ශක්තිය අඩු කිරීමට ගත් තීන්දුව ගැන යුද හමුදාවෙන් කරුණු පැහැදිලි කිරීමක් නිකුත් කැරිණි. එමගින් කියා ඇත්තේ යුද හමුදාවේ ශක්තිය යථා යෝග්‍යකරණයට ලක්කරන බවය. යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨයන්ට හමුදාවේ යුද සූදානම ගැන ප්‍රකාශ කරන්නට නොහැකි බව හමුදාවේ නිවේදනයේ දැක්විණි. අවශ්‍ය අවස්ථාවලදී පමණක් විශ්‍රාමික යුද හමුදාපතිවරුන්ගෙන් උපදෙස් හා අවවාද අනුශාසනා ලබාගන්නා බවද එහි සඳහන්ය. රජය හා ආරක්ෂාක හමුදා නායකත්වය තමන්ගේ පෞද්ගලික දේශපාලන හේතු මත විවේචනය කිරීම යුද හමුදාව තරයේ හෙළාදකින්නේ යැයිද හමුදාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් කර තිබිණි. ජාතික ආරක්ෂාවට අදාළ කරුණු මෙසේ විවේචනය නොකළ යුතු බවත් හමුදාව වෘත්තීයමය හමුදාවක් ලෙස ක්‍රියාකරමින් ජාතික ආරක්ෂාව තහවුරු කරන වගත් හමුදාවේ ප්‍රකාශයෙන් දැඩි ලෙස අවධාරණය කර ඇත.

මෙම නිවේදනයෙන් පසු ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කැලණියේදී නැවතත් හමුදාව සහ හමුදාපති දැඩි ලෙස විවේචනය කළේ සැර වචනවලිනි. වත්මන් යුද හමුදාපතිවරයා වල්ගය පාගාගෙන ඇතැයි කී හෙතෙම ඔහු යුද්ධයෙන් පසු වසර 5ක් රට හැරගොස් ඇමෙරිකාවේ රස්සාවක් කළ කෙනෙක් යැයිද ඔහුට මේ තනතුර හිමිවූයේ ඔහුට ඉහළින් සිටි නිලධාරීන් වැරදි කර තිබූ හෙයින් යැයිද කියා සිටියේය. එසේම හමුදාපතිවරයා ඉඩි අමීන්ට සමාන කර තවත් ඉතා කර්කශ විවේචන ගණනාවක් ඔහු විසින් එල්ල කරනු ලැබීය. මේ ආකාරයට හමුදාවත් හමුදාපතිවරයාත් විවේචනය කිරීමෙන් පසු ආරක්ෂක රාජය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කළේ ඇතැමුන් දේශපාලන හේතු මත ජාතික ආරක්ෂාව ගැන කරන ප්‍රකාශ හෙළා දකින බව කියමිනි. හමුදාවේ සංග්‍රාමික ශක්තිය දියුණු කරමින් රජය රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයිද අමාත්‍ය විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව ගැන මේ ආකාරයට කතා කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැඩි ලෙස නොසතුටට පත්ව සිටින බව සඳහන් වේ. රටේ ආරක්ෂක අමාත්‍යවරයා වන්නේද ජනාධිපතිවරයාය. ඒ සම්බන්ධව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් සමඟ ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගෙන තිබිණි. දැනට වියට්නාම සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කොට ෆොන්සේකා අමාත්‍යවරයාගේ ක්‍රියා පිළිවෙත ගැන කිසියම් දැඩි පියවරක් ගතයුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළ බව වාර්තාවෙයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථම වරට ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ දෙමාපිය සමරු ස්මාරකය තැනීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වූ නඩුවට මුහුණදීම පිණිසය. පසුගිය 9දා උදෑසන අලුත්කඩේ ත්‍රිපුද්ගල මහාධිකරණ භූමියට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකීය නඩුවේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරුන් 5 දෙනකු සමඟ අධිකරණ සංකීර්ණයට පැමිණියේය. මෙම නඩුව සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, කෑගල්ල, මහනුවර හා ත්‍රිකුණාමලය ‘ප්‍රදේශවල’ නීතිඥ සංගම් ගණනාවක නීතිඥවරුන් ස්වේච්ඡාවෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත්ව සිටීම විශේෂයකි.

ගෝඨාභය පැමිණ සුළු වේලාවකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද උසාවියට පැමිණියේය. මන්ත්‍රී නාමල් රාජපක්ෂද මන්ත්‍රීන් වන බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පියංකර ජයරත්න ආදී තවත් සෑහෙන පිරිසක්ද උසාවියට පැමිණ සිටියහ. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැමිණ නොසිටි අතර ඔහු පැමිණියේ විනාඩි කිහිපයකට පසුය. කෙසේ හෝ නඩුවේදී තමන් ඉදිරියේ මේ ගැන මූලික විරෝධතාවක් මතුකරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කීය. ඒ සමඟ චූදිතයන්ට අධි චෝදනා පත්‍රය කියවා භාර දුන්නේය. අධිකරණය සියලු විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර පාස්පෝට් උසාවියට භාර ගත්තේය. ඒ සමඟ ඔවුහු ඇප මත මුදාහරිනු ලැබූහ. ලබන මස නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරිණි.

කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක් ඉන්දීය රජයේ ආරාධනයෙන් එරට සංචාරයක නිරත වෙති. විපක්ෂනායක ආර්. සම්පන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් මන්ත්‍රීන් වන ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් ද මෙම දූත පිරිසට අයත්ය. ඔවුහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විදේශ ඇමැතිනිය මෙන්ම එරට කතානායකවරිය ප්‍රමුඛ දේශපාලන නායකයන් රැසක්ම මුණගැසුණහ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ කළ සාකච්ඡාවේදී කතානායකවරයා සහ පක්ෂ නායකයන් සමඟ ඔහු විවෘතව සාකච්ඡා කර තිබුණේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. ඒ ගැන ඉන්දියාවේ තිබෙන උනන්දුව සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය මෝදි මහතා කරුලා දැනුම්වත් කළේය. ඉන්ධන මිල ඉහළ ගොස් රටේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් හටගෙන තිබියදී කතානායක කරුලා සමඟ විනාඩි 40ක පමණ වේලාවක් ගතකළ ඉන්දීය නායකයා දෙරට අතර ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කළ යුතු යැයිද කීය. එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික උදව් පදව් කිරීමට සූදානම් යැයි පැවසූ හෙතෙම ශ්‍රී ලංකාවට දුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට යන ගමන සම්බන්ධව කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දූත පිරිසට පැසසුම් කළේය.

මෙම සාකච්ඡාවේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අග්‍රාමාත්‍ය මෝදි මහතාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගන්නට ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙසයි. එසේ නොකළොත් වියපත් දේශපාලකයකු වන තමන්ටද පාලනය කළ නොහැකි බලවේග උතුරු නැගෙනහිර හිස ඔසවනු ඇතැයි ඔහු බරපතළ අනාවැකියක් පළ කළේය. අනතුරුව අගමැති මෝදි සහ සම්පන්දන් අතර වූ වචන හුවමාරුව මෙසේ විය. “සර්.... 2014 වසරේ ඔබ අගමැති වුණා... එදා ඉඳල අපි ඔබතුමාට කරදර කළේ නැහැ. දැන් අපි ඔබට කරදර කරන්නේ ඔබේ සහය අපට අවශ්‍ය නිසයි.” සම්පන්දන්ගේ ඒ කතාවට සිනා සී පිළිතුරු දුන් අගමැති මෝදි “විපක්ෂ නායකතුමනි, ඔබට ඕනෑ වෙලාවක මට කරදර කරන්න.... මම ඒ වගේ කරදරවලට කැමැතියි... කොහොම වුණත් ලංකාව ඉදිරියට ගන්න කවුරුත් සාමූහිකව වැඩ කරන්න ඕන....” යයි කීය.

අනතුරුව ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් හා විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් එරට කතානායක මහාජන් මහත්මිය ප්‍රමුඛ අමුත්තෝ ශ්‍රී ලාංකික දූත පිරිස මුණගැසුණහ. විදේශ අැමැතිනිය කතානායක කරු ඇතුළු පිරිසට ලබාදුන් රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එරට ජ්‍යෙෂ්ඨතම කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙක් සභාපති වූහ.

මේ දිනවල වියට්නාමයේ පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුව සඳහා එරටට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය ග්යෙන්ෂුන් ෆුක් මහතා මුණගැසුණේය. දියුණුවන රටක් ලෙස ශ්‍රී ලංකාව සමඟ ආර්ථික තරගයේ යෙදී සිටින වියට්නාම ආර්ථික දර්ශනය ගැන එරට අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළේය. එහිදී වියට්නාම නායකයා රනිල් වික්‍රමසිංහ මහතාට කීවේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම දේශපාලන පක්ෂ සහ ජනතාව අතරද සබඳතා දියුණු කළයුතු වගයි. ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල වියට්නාම රාජ්‍යයේ පැවැත්වෙන බැවින් ඊට ශ්‍රී ලංකාවේ උදව් අවශ්‍ය යැයි එරට අග්‍රාමාත්‍යවරයා පැවසීය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දෙරට අතර බෞද්ධ දූත පිරිස් හුවමාරුව සඳහා පියවර ගත හැකි බවය. දෙරට අතර බෞද්ධ සබඳතා හොයා බලන්නට ඒකාබද්ධ විද්වත් කමිටුවක් පත්කළ යුතු වගද අගමැති රනිල් වියට්නාම නායකයාට පෙන්වා දුන්නේය. දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනයට උදව් වන ලෙස ඍජු ගුවන් සේවාවක් අරඹන ලෙසටද යෝජනා කැරිණි.

මෙම හමුවෙන් පසු හැනෝයි නුවරදී ලෝක ආර්ථික සමුළුව ආරම්භ කැරිණි. එහිදීද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වීය. ලෝක ආර්ථිකයේ ආසියානු දායකත්වය මෙන්ම නව ලෝකය කරා ආර්ථිකය මෙහෙයවිය යුතු ආකාරය ගැන අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වීය.

ඉතා කලාතුරකින් සිදුවන ආකාරයට මේ සතියේ කැබිනට් රුස්වීම් දෙකක් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා කැඳවා තිබිණි. මෙම කැබිනට් හමු දෙකටම විදේශගතව සිටින අග්‍රාමාත්‍යවරයා එක් නොවීය. සතියේ මුල් අමාත්‍ය හමුව අඟහරුවාදා පැවැත්විණි. එහිදී බරපතළ විවාදයකට ලක්වූයේ යෝජිත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. එහි වගන්ති මගින් ත්‍රස්තවාදය වැළැක්වීමට විධිමත් පියවර ගෙන නැතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ හා චම්පික රණවක ආදීහු කරුණු දැක්වූහ. බෙදුම්වාදය වරදක් ලෙස නොදැක්වීම ත්‍රස්ත වැරදි සම්බන්ධයෙන් නියම කර ඇති දඬුවම් යනාදිය ගැන බරපතළ විවාද හට ගැනිණි. කෙසේ හෝ සංශෝධන සහිතව පනත සම්මත කර ගන්නට තීන්දු විය.

අනතුරැව ගිය අඟහරුවාදා රාත්‍රී ජනාධිපති නිවසට අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, තලතා අතුකෝරාළ හා තිලක් මාරපන යන මහත්ම මහත්මීන් සමග ආරක්ෂක අංශ ප්‍රධානීන් කැඳවූ ජනාධිපතිවරයා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන දැඩි ලෙස ප්‍රශ්න කර තිබිණි. මේ ගැන ආරක්ෂක අංශ හිත් නරක් කරගෙන ඇතැයි කී ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධරයන් අත්අඩංගුවට නොගත යුතු බව පෙන්වා දී ඇතැයි කියැවේ. රාජ්‍ය නොවන සංවිධානවල පදයට ආණ්ඩුව නටන්න අවශ්‍ය නැති බව කියා ඇති ජනාධිපතිවරයා හමුදාව මෙලෙස අසීරුවට පත් කිරීම ගැන තමන් විරුද්ධ බව තරයේම කියා ඇත. විජේදාස රාජපක්ෂ හා තිලක් මාරපන අමාත්‍යවරුද එම ස්ථාවරයට සහාය පළකර ඇතැයි කියැවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු මහ බැංකු අධිපති කබ්රාල්, නාමල් රාජපක්ෂ හා ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරුන් සමඟ ඉන්දියාවට ගියේ විශේෂ දූත මෙහෙවරකටය. රාජපක්ෂ මහතාට මෙම චාරිකාව සඳහා ඇරයුම් කළේ භාරතීය ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විසිනි. ඔහු මහින්දට සිය ‘විරාත්’ විෂ්ණු සංගමයේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ඇරුයුම් කළේය. මහින්ද ඉන්දියාවට පැමිණීම ගැන ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයා හා අනාගත රාජ්‍ය නායකයා ඉන්දියාවට පැමිණෙන බවය.

මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස රැඳී සිටියේ නවදිල්ලියේ ‘ලමැරිඩියන්’ හෝටලයේය. ඔහු ප්‍රථම දිනය ගත කළේ ඉන්දීය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා කරන්නටයි. එහිදී හිටපු ජනාධිපතිවරයා ‘ද හින්දු’ වාර්තාකරුට කීවේ තමන්ගේ සහෝදරයා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විය හැකි බවයි. බදාදා මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසීමට නියමව තිබුණේ සන්ධ්‍යාවේය. මෝදි මහතාගේ විශේෂ නිල රථයක් හෝටලය වෙත පැමිණ රාජපක්ෂ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කැඳවාගෙන අගමැති නිල නිවස වන රේස්කෝස් පාරේ අංක 7 දරන ස්ථානයේ පිහිටි ‘ලෝක් කල්යාන් මාර්ග්’ මන්දිරය වෙත ගියේය. මහින්දලා එහි යනවිට ප්‍රධාන දොරටුව වෙත පැමිණි අගමැති මෝදි හිටපු ජනාධිපතිවරයා සුහදව පිළිගෙන කැඳවාගෙන සාකච්ඡා ශාලාවට පැමිණියේය. ප්‍රධාන සාකච්ඡාව සඳහා එක්වූයේ මහින්ද සහ මෝදි අගමැතිතුමා පමණය.

“ඔබතුමා මගේ කිට්ටු මිත්‍රයෙක්. අපිට තනතුරු තියෙන්න පුළුවන්... නැති වෙන්න පුළුවන්. ඒත් මිත්‍රකම තියෙන්න ඕන.” කියමින් මෝදි අගමැතිවරයා කතාව ඇරඹීය.

“ඉන්දියාව ශ්‍රී ලංකාවේ සුහද සහෝදරයකු යැයි” මහින්ද ඊට ප්‍රතිචාර දැක්වීය. අනතුරුව සිදුවූ කතාබහේදී මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගැන විශේෂයෙන් සඳහන් කරමින් එය පෞද්ගලික අභිමථාර්ථ වෙනුවෙන් කළ එකක් යැයි කීය. තම රටට තිබෙන ආර්ථික ප්‍රශ්න ගැනත් තම පක්ෂයට තිබෙන අභියෝග ගැනත් මහින්ද ඊළඟට විස්තර කළේ තමන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ටත් තම දරැවන් හා සහෝදරයන්ටත් තිබෙන නඩු හබ සහ නීති ප්‍රශ්න ගැන ඉන්දීය අගමැතිවරයාට සවිස්තරව කරැණු දැක්වීය. ඉන්දු-ලංකා සබඳතාවල ඉතිහාසය මෝදි මහතා සඳහන් කරද්දී මහින්ද “ඔබතුමා මහ ඇමැති කාලෙයි මම මුලින්ම හමුවුණේ” යැයි මතක් කළේය. මෙම කතාබහ යන අතරතුර මෝදි අගමැති රසකැවිලි හා එළවළු වලින් සාදන ලද ඉන්දියානු කෙටිකෑම සංග්‍රහයක් කළේය. අනතුරුව දෙදෙනා සුප්‍රකට කළු කෝපි කෝප්පය බැගින් පානය කොට තවත් බොහෝ පෞද්ගලික සහ රාජ්‍යතාන්ත්‍රික කාරණා ගැන කතා කළහ. එම කරුණු ශ්‍රී ලාංකික දේශපාලනයේ අතිශය සංවේදී කරුණු බව සඳහන්ය. අනතුරුව විපක්ෂ නායක සම්පන්දන්ලා පැමිණ කළ කතාබහ ගැන අදහස් හුවමාරු කර ගැනිණි. සම්පන්දන් වියපත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස තමන්ගෙන් දේශපාලන විසඳුමක් ඉල්ලීම ගැන මෝදි බොහෝ කාරුණිකව අදහස් දැක්වීය.

එම කතාබහ අවසානයේ නාමල් මන්ත්‍රීවරයා කැඳවා ඔහු සමඟද සුළු වේලාවක් කතාබහ කළේය. ක්‍රීඩා ගැන කතා කරමින් තමන් දිනකට පැයක් යෝග ව්‍යායාමවල යෙදෙන බව මෝදි අගමැති කියන විට මහින්ද හා නාමල්ද තමන්ලා යෝග අභ්‍යාස කරන බව කීහ. මේ ආකාරයට ක්‍රීඩා ගැනද ඉන්දියාවේ දරැවන්ට ක්‍රීඩා පුහුණුව ලබාදීමට නාමල්ගේ සහභාගීත්වය ගැනද මෝදි අගමැතිවරයා ස්තූති කළේය. පැයකට ආසන්න කාලයක් මහින්දලා සමඟ පැවති කතාබහ අවසානයේ ඔවුන් පිටත්ව යද්දී නිල රථය ළඟට පැමිණි ඉන්දීය නායකයා ‘ඔබතුමන්ට ඕනෑ වෙලාවක මාව හමුවෙන්න පුළුවනි’ කියමින් මහින්දලාට සමු දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස ගිය බ්‍රහස්පතින්දා උදෑසන නවදිල්ලියේ ජන්පත්හි පිහිටි ගාන්ධිවරුන්ගේ පෞද්ගලික නිවසට පැමිණියේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං සහ කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි මුණගැසීමටයි. පැයක පමණ කාලයක් ඔවුන් සමග සුහද සාකච්ඡාවක යෙදුණු මහින්ද හා ඔවුන් වැඩිපුර කතා කළේ යුද්ධය හමාර කිරීම ගැන තොරතුරුය. ඉන්දියාවට එකල තිබූ බොහෝ ප්‍රශ්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සමඟ කතාබස් කොට සුහදව විසඳාගත් බව කී මන්මෝහන් සිං හිටපු අගමැතිවරයා ගෝඨාභය රාජපක්ෂ ගැන බොහෝ තොරතුරැ විමසීම විශේෂයකි. රාහුල් ගාන්ධි අධ්‍යාපනය, තරුණ කටයුතු, සංස්කෘතික සබඳතා ගැන බොහෝ කරුණු විමසීය.

යුද ජයග්‍රහණයෙන් පසු තම රජය උතුරට සේවය කළ බවත් ආණ්ඩු ගණනක් කල්දැමූ පළාත් සභා ඡන්දය තැබුවේ තමන් බවත් මහින්ද කීය. වත්මන් රජය තුළ තිබෙන යම් යම් ගැටලු නිසා ඒ බොහෝ කටයුතු සිදුවන බව තමන්ට පෙනෙන්නට නැතැයිද ඔහු කීය. අනතුරුව පෞද්ගලික තොරතුරු ද කතාබස්කොට සුහද හමුව හමාර කැරිණි.

සතියේ විශේෂ අමාත්‍ය මණ්ඩල හමුව පැවතුණේ බ්‍රහස්පතින්දාය. අග්‍රාමාත්‍යවරයාද ඇතුළුව ඇමැතිවරුන් රැසක්ම ඊට සහභාගි නොවූහ. පැමිණ සිටියේ ඇමැතිවරුන් 33 දෙනෙකි. රැස්වීම ආරම්භයේ සිටම ජනපතිවරයා තදින්ම දෙහි කැපුවේ පොලිසිය සහ නීති අංශ ආරක්ෂක හමුදා ප්‍රධානීන් සම්බන්ධව ගන්න පිළිවෙත වෙනස් කළ යුතු බව කියමිනි. නඩු නැතුව ආරක්ෂක ප්‍රධානීන් සිරගත කර තිබෙන බවට චෝදනා කළ හෙතෙම දැන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන රවීන්ද්‍ර විජේගුණරත්න ගන්න හදනවා යැයි කීය. ඔහුට එරෙහිව වරදක් තිබේ නම් නඩු පවරනවාට විරුද්ධ නැතත් ආරක්ෂක ප්‍රධානීන් රිමාන්ඩ් කිරීම ගැන තමන් එකඟ නොවන බව ජනපති කියද්දී රාජිත සේනාරත්න ඇතුළු ඇමැතිවරුන් කෙනෙක් දෙදෙනෙක් එම මතයට එකඟ නොවී අදහස් දැක්වූහ. එවිට අමාත්‍ය චම්පික රණවක සහ අමාත්‍ය මංගල සමරවීර අතර මෙම කාරණය ගැන උණුසුම් මත ගැටුමක් හටගැණිනි. චම්පික රණවිරුවන් දඩයම් නොකල යුතු බව කියමින් තදින් කතාකළේය. මංගල කීවේ නීතිය කාටත් එකසේ භාවිතා කලයුතු බවය. ජනපතිවරයා ද සිය මතය වෙනස් කළේ නැත. අගමැතිවරයා රටට පැමිණි පසු මේ ප්‍රශ්න ගැන ඔහු සමඟ කතාකරන බව ජනපති පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාව සහ හමුදාපතිවරයා ගැන කරන විවේචන හෙළාදුටු ජනාධිපතිවරයා සමඟ ඇමැතිවරුන් බොහෝ දෙනෙක් එකඟ වූහ. ෆීල්ඩ් මාර්ෂල් ධුරය දරමින් ඔහුට මෙබඳු විවේචන කරන්නට කිසිම යුතුකමක් හෝ අයිතියක් නැතැයි ජනාධිපතිවරයා තරයේම ප්‍රකාශ කළේය. මේ ගැන වහා පියවරක් ගතයුතු යැයි ද කීය. එහෙත් මේ විවේචන කරන විට සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කැබිනට්ටුවේ සිටියේ නැත.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30