2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ඡන්දය දා මැතිසබයට පොලු තැබු මැති අැමැතිලා!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 374

  • තමන් බලය අත්හල නායකයකු යැයි මෛත්‍රී එ.ජා. සමුළුවේදි පවසයි
  • රතනහිමි, අනුරයාපා, විජයදාසලා ඡන්දයට නැහැ
  • අතුරුදන් පනතට බය වෙන්න එපා; අගමැති රණවිරුවන්ට කියයි
  • විපක්ෂයේ ඡන්දෙන් ආණ්ඩුව ගොඩයයි
  • උප්පරවැට්ටියකින් ඡන්දයට තිත තැබුවා; මහින්දගෙන් ගෝරියක්

පළාත් සභා මැතිවරණ එකම දිනක පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නට රජයට සිදුවිය. ඊට හේතුව රජය කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයට මැතිසබයේ 2/3ක ඡන්දයට අමතරව ජනමත විමසුමක්ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂි තීන්දුවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනාගෙන් දෙදෙනකු ජනමත විමසුමක් අවශ්‍ය බව පවසද්දි එක් විනිසුරුවරයෙක් මැතිසබා අනුමැතිය පමණක් ප්‍රමාණවත්යැයි තීන්දු කර තිබිණි.

මෙම නඩු තීන්දුව පසුගිය 14 බ්‍රහස්පතින්දා මැතිසබයේ කතානායකවරයාටත් ජනාධිපතිවරයාටත් අගවිනිසුරුවරයා විසින් යවන ලදී. තීන්දුව නිලවශයෙන් අඟහරුවාදා මැතිසබයට ඉදිරිපත් වුවත් ජනමාධ්‍යයේ කනින් කොනින් පැතිරගිය ආරංචිවලින් කියැවුණේ 20 වැනි සංශෝධනයට ජනමත විමසුමක් උසාවිය නියම කර ඇති බැවින් එයට විවාදයට නොගෙන අත්හරින බවයි. ඒ අනුව ලබන මස 2දා නිල කාලය හමාරවන උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභාවල ඡන්ද කල්දැමීම අත්හිටුවීමට සිදුවිය. ඒ සමඟ ප්‍රකාශයක් කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් දෙසැම්බර් මස 9 දින මෙකී පළාත් සභා මැතිවරණ පවත්වන වගයි.

20 වැනි සංශෝධනය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට පිටත්ව යාමට පෙර අගමැතිවරයා, දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ ජනාධිපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණි. එහිදී ඇතිවී තිබෙන තත්ත්වය අනුව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට පළාත් සභා ඡන්ද ක්‍රමය සංශෝධනය හා කාන්තා නියෝජනය ඉහළ දැමීමට යෝජනාවූ බව කියැවිණි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගැනීමට තීන්දු කිරීමත් සමඟදේශපාලන ක්ෂේත්‍රය කැළඹිණි. රජයේ ප්‍රධාන හවුල්කරුවන් වන එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප.ය තමන්ට වඩාත් වාසිදායක ලෙස මැතිවරණයට යාමට ක්‍රමෝපාය සොයන්නට විය එ.ජා.ප.ය මුලසිටම කැමති වූයේ පළාත් පාලන ඡන්දය ජනවාරියේ තබා ඉන් පසු පළාත් සභා ඡන්ද පවත්වන්නයි. ජනාධිපතිවරයාද ඒ ගැන විරෝධයක් නොදක්වා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිය පළාත් සභා ඡන්දයකදී වඩාත් මතුවිය හැකිබව සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී තිබූ බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මේ සැලැසුම සහමුලින්ම අවුල් විය. එහෙත් ඉදිරියේදී සිදුවිය හැක්කේ කුමක්ද යන්න ජනපතිවරයා අමෙරිකාවට යාමට පෙර නිකුත් කළ විශේෂ ප්‍රකාශයක් මගින් තහවුරු කෙරිණි. ඔහු මේ ගැන අදහස් ප්‍රකාශ කළේ උතුරුමැද ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් සමඟ කළ සාකච්ඡාවකදීය.

මෙම හමුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඉදිරි පළාත් සභා හා පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට රජය තීන්දු කළ බවයි. ආණ්ඩුවට සහාය පළකරන ඇතැම් කණ්ඩායම් මේ යෝජනාවට එකඟ නැතත් තම මූලිකත්වය යටතේ දැනටමත් පළාත් පාලන ආයතනවලට කොට්ඨාස ක්‍රමය හඳුන්වා දී ඇතැයි ප්‍රකාශ කළේය. රටේ සියලු ඡන්ද එක් මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීම වැදගත් නිසා ඉදිරි පළාත් සභා ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා වග ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයක් සමඟ පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ඉඩක් පවතින බවට ආරංචි පැතිර ගියේය. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේ පළාත් සභා ඡන්දය කල්දැමීමට රජය තවත් දේශපාලන උප්පරවැට්ටියක් යොදන බවය. මහින්ද රාජපක්ෂ මහතාද එම අදහස අනුමත කළේය. මැතිසබා න්‍යාය පත්‍රයේ දැනටමත් සඳහන් පළාත් සභා මැතිවරණ සංශෝධන පනත කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කර මෙකී මැතිවරණ කල්දමන්නට සැරසෙන බව උදය පැවසීය. පළාත් සභා ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම, කාන්තා නියෝජනය ඉහළ දැමීම ආදී හේතු සමාජයට ඉදිරිපත් කරමින් ඡන්ද කල්දැමීමට රජය උප්පරවැට්ටි යොදන්නේ කිසිසේත්ම මෙම ඡන්ද ජයගැනීමට හැකියාවක් නැති නිසා යැයිද හෙතෙම සඳහන් කළේය. කෙසේ හෝ ලබන 2දා පළාත් සභා තුනක නිලකාලය හමාරවන බැවින් කුමන හේතු ඉදිරිපත් කොට ඡන්දය කල්දැමුවද එදා සිට ඡන්දය තබනතුරු ඒ පළාත් සභා තුන ආණ්ඩුකාර පාලනයකට නතුවන බව ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අරලිය ගහ මන්දිරයේ දී මුණගැසුණු කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් හා සංවර්ධන නිලධාරින් හමුවේ ප්‍රකාශ කළේ රජය ජනවාරි මාසයේ පළාත් පාලන ඡන්දය පවත්වන්නට සූදානම්ය කියාය. ලබන දෙසැම්බරයේ අයවැය කටයුතු හමාර වූ පසු ජනවාරියේ පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස රජය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතැයිද අගමැතිවරයා සඳහන් කර තිබිණි. මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කාන්තා නියෝජිතයන්ට සෑහෙන නියෝජනයක් හිමිවන බැවින් ඒ අය 2018 පෙබරවාරියේ සිට ජනතා සේවය අරඹන නිසා රජයේ නව සැලැසුම් බොහෝමයක් ප්‍රාදේශීය මට්ටමින් දියත් කළ හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අගමැතිවරයා කීය.

ගතවූ බ්‍රහස්පතින්දා දිනයේ මැතිසබයේ තවත් ආන්දෝලනාත්මක පනතත් විවාදයට ගැනීමට නියමිතව තිබිණි. ඒ අතුරුදන්වූවන්ගේ විශේෂ කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා ගෙනඑනු ලබන පනතයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය රණවිරු සංවිධාන සහ තවත් ජාතික බලවේග රාශියක් මෙම නීතිය සම්මත නොකරන ලෙස රජයට බලකර සිටියහ. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය මේ ගැන දැඩිලෙස විරෝධය පළ කරමින් මෙමගින් රණවිරුවන් දංගෙඩියට ගෙනයාමට ඉඩ සැලසෙන බවට චෝදනා නැගීය. මහා සංඝ රත්නයද ඒ ආකාරයටම කරැණු දැක්වූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළ ගැසට් පත්‍රය සකස්කොට ලබාදී තිබුණේ කලකට පෙරයි. ඒත් ඔහු මාස ගණනක් ඊට අත්සන් තැබුවේ නැත. ජිනීවා මානව හිමිකම් කොමිසම යුරෝපා සංගමය ආදී ආයතනවලින් මෙම නීතිය පමාවීම ගැන රජයට දොස් එල්ලවෙද්දී ජනාධිපතිවරයා ඊට අත්සන් තැබීය. අනතුරුව පනත කෙටුම්පත් කළ අතර සැප්තැම්බර් 21 දා එය මැතිසබයට ඉදිරිපත් කරන්නට නියමිත විය. ඒ ගැන රට තුළ උණුසුම් මතවාද පැතිර යද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට කීවේ වහාම මේ ගැන රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කොට අතුරුදන්වූවන්ගේ පනතේ ආදීනව මෙන්ම එහි භයානක බවද පෙන්වා දෙන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා පිටත්ව යෑමට පෙර දිනේෂ් - බන්දුල - මහාචාර්ය තිස්ස විතාරණ - ජයන්ත සමරවීර ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානින් ගණනාවක් ජනපතිවරයා මුණගැසුණෝය.

ඔවුන්ට අමතරව ජනාධිපතිවරයාට තවත් ආරක්ෂක අංශ ප්‍රධානින් ගණනාවක්ද හිටපු හමුදාපති ජගත් ජයසූරිය ප්‍රමුඛ පිරිසක්ද මෙම පනත රණවිරුවන්ට ඉතාමත් අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇතිබැවින් පනත සම්මත නොකළ යුතු බව දන්වා තිබිණි. 
ජනපති හා ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් අතර හමුවේදී ඔවුහු අතුරුදන්වූවන්ගේ පනතේ ආදීනව ගැන ජනපතිවරයාට දැඩිලෙස කරුණු දැක්වූහ. දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ මේ පනත අපට යෝජනා කළ අමෙරිකාව, එංගලන්තය පමණක් නොව නෝර්වේ ආණ්ඩුවද පනත මැතිසබයේ සම්මත කර නැත කියාය. එවිට බන්දුලලා කීවේ ඉන්දියාව පවා පනත කෙටුම්පත් කර මූලික කටයුතු කර තිබෙනමුත් පනත ක්‍රියාවට නැංවූයේ නැත යන අදහසය. මෙය යුද්ධයට අමතරව සෙසු කාරණාවලදීත් බලපවත්වන්නට ඉඩ ඇතැයිද ඔව්හු දීර්ඝව පෙන්වා දුන්හ. සියල්ලට සාවධානව සවන්දුන් ජනාධිපතිවරයා මෙය දැන්ම සම්මතකර නොගැනීම යහපත් බව තමන්ටද පෙනී යන බැව් ඒකාබද්ධයේ නියෝජිතයන්ට කීය. තමන් පනත ගෙනඒමට නියමිත 21දා ලංකාවේ නැතිබවත් මේ ගැන පූර්ණ අධ්‍යනයක් කළ යුතු බැවින් පනත 21දා නොගෙන කල්දමන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දෙන බවත් ජනාධිපතිවරයා පසුව සඳහන් කළේය.

ඉන්පසුව කුරුණෑගල පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතුරුදන්වූවන්ගේ පනත ගැන දීර්ඝ විග්‍රහයක් කළේ මේ ගැන ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් පරිදි බව වාර්තා විය. එහිදී අගමැතිවරයා දැඩිලෙස අවධාරණය කර තිබුණේ අතුරුදන්වූවන්ගේ පනත කිසිසේත්ම අතීතයට බලපාන්නේ නැති බවත් එය ක්‍රියාත්මකවන්නේ කතානායකවරයා අත්සන් තැබූ දවසේ සිට ඉදිරියට වගත්ය. මේ නිසා උතුරේ යුද්ධයට සම්බන්ධවූ කිසිම රණවිරුවකු මෙම පනත ගැන අනියත බියක් ඇති කරගන යුතු නැතැයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. කෙසේ හෝ 21 දා මැති සබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෙම පනත පසුව ආණ්ඩුව විසින්ම මැතිසබා න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ගත්තේය.

පසුගිය අඟහරුවාදා දහවල් මැතිසබයේදී පැවැත්වුණ පක්ෂ නායකයන්ගේ හමුවවකදී අතුරුදහන්වූවන්ගේ පනත සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගැනීම ගැන රජය නිවේදනය කළේය. 20 සංශෝධනය වෙනුවට මෙයට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගෙන නොතිබූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ගෙන එන බව දැන්වීය. එම පනත මගින් පළාත් සභා මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමටත් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත් යෝජනා කෙරේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විපක්ෂ නියෝජිතයන් මෙයට දැඩි ලෙස විරෝධය පළකර මේ මාසයේ ආයු කාලය හමාරවන පළාත් සභා තුනේ ඡන්ද ඉතා ඉක්මනින් පත්වන ලෙස ඉල්ලා සිටියේය. සුළු පක්ෂවල මතය වූයේද පළාත් සභා ඡන්ද ඉක්මනින් පැවැත්විය යුතු වගයි.

මේ ගැන සාකච්ඡාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබය නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක ප්‍රධානින්ට ගිය අඟහරුවාදාම අරලිගහ මන්දිරයට ඇරුයුම්කර තිබිණි. චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සමඟ කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුද ඊට එක්වූහ. රැස්වීමට පැමිණි රවුෆ් හා රිෂාඩ් දෙදෙනාම තදින් කීවේ පළාත් සභා මැතිවරණය කුමන ක්‍රමයකට හෝ ඉතාමත් ඉක්මනින් පැවැත්විය යුතු බවයි. එසේ නොකළොත් රජයට බලවත් අවාසියක් සිදුවිය හැකියැයි රවුෆ් හකීම් පෙන්වා දුන්නේය. රිෂාඩ් හා රවුෆ් නැවතත් කීවේ කුමන ඡන්ද ක්‍රමයට ඡන්දය තිබ්බත් සුළු පක්ෂවලට හානි නොවන ඡන්ද ක්‍රමයකට මැතිවරණය තැබිය යුතු බවය. නව ඡන්ද ක්‍රමයේද ගැටලු පවත්නා බව ඔව්හු කීහ. එසේම නව සංශෝධන ගැසට් කොට කැබිනට් අනුමැතියටද යායුතු යැයි ඔව්හු වැඩිදුරටත් අවධාරණය කළෝය. පළාත් සභා ආණ්ඩුකාර පාලනයකට යාම ගැන විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව සතුටු නැතැයි රවුෆ් කීය.
මේ සියල්ල ගැන අවධානය දැක්වූ අගමැතිවරයා පළාත් සභා ඡන්ද ගැන ගතයුතු පියවර ජනාධිපතිතුමා අමෙරිකානු සංචාරය හමාරකොට පැමිණි පසු ගැනීමට අපේක්ෂා කරන වග ප්‍රකාශ කළේය. 

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩමුදල් ගෙවීම සඳහා මේ සතියේත් මහා සංඝරත්නය ආධාර ඉල්ලමින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ චාරිකා කළෝය. මේ චාරිකාවේදී ජනතාව මුදල් ප්‍රදානය කරන අතරතුර එහි පැමිණි නාඳුනන පිරිසක් පාත්තර රැගෙන ගමන් කළ හිමිවරුන්ගේ පාත්තරවලට උදෑසන හීල් දානයට කියමින් පාන් පේස්ට්‍රි, මාළු පාන් ආදිය දැමීමටගත් උත්සාහය නිසා තරමක කලබගෑනියක් හටගැනිණි. මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී එම විරෝධතා නොතකා වැඩමකළ අතර මෙම විරෝධය සංවිධානය කළේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවටද චෝදනා කළෝය. කෙසේ හෝ ලලිත් අනූෂ වෙනුවෙන් මහසඟරුවන මේ ආකාරයට කැපවීමෙන් ක්‍රියාකරද්දී කොළඹ මහාධිකරණයට ඉදිරිපත් වූ ලලිත්ලාගේ ඇප අයදුම්පත පසුගිය බදාදා විභාගයට ගනු ලැබීය. එය විමසීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා කොන්දේසි සහිතව මේ දෙදෙනාට ඇප ලබාදීමට තීන්දු කළේය. ඒ අනුව බදාදා ලලිත්ලාට ඇප ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා මෙවරද නිව්යොර්ක් නුවරට ගියේය. ඔහු එ.ජා. මහා මණ්ඩලය අමතන්නේ තුන්වැනි වරටය. නිව්යොර්ක් නුවරට පැමිණි ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද එක්ව සිටියහ. අමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු අමෙරිකානු නියෝජිතයන්ද නවාතැන් ගෙන තිබුණේ මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නවාතැන් ගත් හෝටලයේමය. මහ සමුළුව ඇමතීමට පෙර එ.ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිවාරයට එක්වූ සිරිසේන මහතා මෙවර වෙනත් රටවල් ගණනාවක නායකයන් කිහිපදෙනකුද හමුවීමට නියමිත විය. ඒ අනුව පකිස්ථානයේ හා නේපාලයේ අගමැතිවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා කළබව වාර්තා විය. අනතුරැව නිව්යෝර්ක්හි එ.ජා. මූලස්ථානයේ පැවැති 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සභාරුස්වීම සඳහා ජනාධිපතිවරයා එක්විය. 

මහ සමුළුව ඇමතූ ජනාධිපතිවරයා තමන් ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට අධික බලතල සහිත විධායක ජනාධිපති ධූරයේ බලය මැතිසබයට පැවරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ බව කීය. රටේ සාධාරණ සමාජයක් නිර්මාණයට එම බලය උපයෝගී කරගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වර්ෂ 2025 දක්වා බලපත්වන ආර්ථික සැලසුමක් රටේ ක්‍රියාත්මක කර ඇතැයි සඳහන් කළේය. රටේ සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් යනගමන යම් යම් අන්තවාදී බලවේග අපේක්ෂා කරන ආකාරයට ඉතා වේගයෙන් යා නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා නැවත රටේ යුද්ධයක් ඇතිනොවීම සඳහා හෙමින් නමුත් ස්ථාවර ඉදිරි ගමනක රජය යෙදී සිටින බව පැවසීය. මෙම දේශනයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයන් වෙනුවෙන් ලබාදෙන විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයට ජනාධිපති සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය එක්වූහ. එහිදී ශ්‍රී ලංකාවේ සුන්දරත්වය වර්ණනා කළ අමෙරිකානු නායකයා මෙරටට හැකි සැම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කළේය.

යට කීලෙස පළාත් සභා මැතිවරණ ලබන වසරට කල්දැමීම සඳහා වූ විශේෂ ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනමත විමසුමක් නියම කිරීමෙන් පසු ආණ්ඩුව තමන්ගේ දේශපාලන උපක්‍රමය වෙනස් කරමින් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්දැමීම සඳහා වෙනත් නීතියක් උපයෝගී කරගත්තේය. එනම් පළාත් සභා මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම හා පළාත් සභා මන්ත්‍රීන් සඳහා 30%ක කාන්තා නියෝජනයක් ලබාදීමය. ඒ සඳහා වූ සංශෝධනය හදිසියේ හා කඩිමුඩියේ ගෙන ඒමට ආණ්ඩුවට මතක්වූයේ 20 වැනි සංශෝධනයට ජනමත විමසුමක් ඕනෑ බවට ශ්‍රේෂ්ඨාධිකරණය කළ තීන්දුවෙන් පසුවය. මෙය ඡන්දවලට බය ආණ්ඩුව ඡන්දය කල්දැමීමට කළ උප්පරවැට්ටියක් බවට විපක්ෂය දැඩිලෙස චෝදනා කළේය. එහෙත් රජයට එය ගාණක් නොවීය. නීතිපතිවරයා කතානායකට උපදෙස්දී තිබුණේ මෙම පනත මැතිසබයේ 2/3 බහුතර ඡන්දයකින් සම්මතකර ගතයුතු බවය.

මේ සංශෝධන කතාවේ ඇත්ත තේරුම පළාත් සභා ඡන්දය තවත් සෑහෙන කාලයකට කල්දැමීමයි. ඒ සඳහා මැතිසබයේ 2/3ක ඡන්දය සොයාගැනීමට රජයට සෑහෙන වෙහෙසක් දරන්නට විය. ඒ සඳහා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු පිරිසගෙන් හා දෙමළ සන්ධානයෙන් සහය ඉල්ලා සිටියේය. එම පක්ෂ දෙකට අයත් ඡන්ද නොවන්නට මේ සංශෝධන පනත 2/3ක බහුතරයෙන් මැතිසබයේ සම්මත වන්නේ නැත. පසුගිය කාලයේ පහසුවෙන් රජය ලබාගත් 2/3 ඡන්දය දිනාගැනීම මෙවර අසීරු විය. එම පක්ෂ දෙක එක් නොවුණේ නම් රජයට මැතිසබයේ ලැබෙන්නේ ඡන්ද 132ක් පමණි.

ආණ්ඩුවේ මැතිඇමැති පිරිසක් ඡන්දය දා මැතිසබයේ නොසිටීම ගැනද නොයෙක් කතා ප්‍රචාරය විය. කෙසේ හෝ මැතිසබයේ 2/3 අහිමිවීමේ අනතුරින් රජය බේරුණේ ජ.වි.පෙ. හා දෙමළ සන්ධානය උදව් කළ නිසාය. එහෙත් ආණ්ඩුව කරන කියන සැම දෙයකටම ජ.වි.පෙ.ට හා දෙමළ සන්ධානයට මේ ආකාරයට උදව්කළ හැකිද යන්න ප්‍රශ්නයකි. ඒනිසා රජය ව්‍යවස්ථාව සම්මත කරගන්නට යෑමට පෙර තමන්ගේ මැතිසබා බලය පිරිහෙමින් තිබෙන්නේද යන්න ගැන කල්පනාවෙන් සිටිය යුතුය.පළාත් සභා මැතිවරණ සංශෝධන පනත දිනයේ පාර්ලිමේන්තුවේ සෑහෙන උණුසුමක් දක්නට ලැබිණි. ආණ්ඩුවට 2/3 බලය අහිමි කිරීමට ඒකාබද්ධ විපක්ෂය අර අඳිද්දි රජය දෙමළ සන්ධානය සහ ජ.වි.පෙ. පනතට පක්ෂවන්නට මුලින්ම එකඟ කර ගත්තේය. මෙම සංශෝධනයට මුල සිටම එරෙහිව සිටි ආණ්ඩුවේ සිටින රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරැන් දිනාගන්නට ජනපතිවරයාම අමෙරිකාවේ සිට මැදිහත්විය. ඔහු නිව් යෝක් සිට මේ දෙදෙනාට දුරකතන ඇමතුම් දී රජය සමඟ ඡන්ද දිය යුතු යැයි කියද්දී ඔවුන් කීවේ මන්ත්‍රීන් පත්කිරීමේ අනුපාතය මිශ්‍ර ක්‍රමයට 60%ක් හා අනුපාතයෙන් 40%ක් ලෙස නොව මෙම ක්‍රම දෙකටම 50% අනුපාතය අවශ්‍ය බවයි. ජනපතිවරයා ඊට එකඟ වූ විට ඔවුහු පනතට සහාය පළ කළෝය. 

ආණ්ඩුව නියෝජනය කරමින් එදින මැතිසබයේ නොසිටි මන්ත්‍රීහු ගණනාවක් වූහ. විදේශගතව සිටි අනුරයාපා, අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා මෙන්ම නිවාඩු ලබා සිටින රන්ජිත් මද්දුමබණ්ඩාරද මේ අතර වූහ. මේ හැර පොළොන්නරුවේ සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයාද සිටියේ නැත. දෙමළ සන්ධානයේ සිද්ධාර්ථන් මෙන්ම විජයකලා මහේෂ්වරන් හා මලික් සමරවික්‍රමද දක්නට නොසිටියහ. ආණ්ඩුවේ ප්‍රධානීහු මේ ගැන දැනුවත්ව වහා ක්‍රියාත්මක වූහ. විජයකලාව රැගෙන ඒමට යාපනයටත් මලික් රැගෙන ඒමට නුවරටත් හෙලිකොප්ටර යානා යවනු ලැබීය. සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාට පැමිණෙන්නැයි ඇරයුම් කළද හෙලිකොප්ටරයෙන් කොළඹ ඒමට බැරි තරම් රාජකාරි ඇතැයි කී ඔහු පැමිණියේ නැත. 
සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයා සිටියේ පොළොන්නරුව ගමේය. ඔහුටද හෙලිකොප්ටරයක් යවන්නට කතා කළ විට ගම්ලත් මන්ත්‍රීවරයා කීවේ තමන්ට රජයේ හෙලිකොප්ටර අවශ්‍ය නැති බවත් කොළඹ පැමිණියත් තමන්ට මේ පනතට පක්ෂව ඡන්දය දින නොහැකි බවත්ය. ඒ නිසා පොළොන්නරුවෙන් බිහිවූ ජනාධිපතිතුමාට අගෞරව වනසේ ඡන්දය නොදීමට අදහස් නොකරන නිසා ගමට වී සිටීම හොඳබවයි.

කෙසේ හෝ ඔවුන් නැතත් රජය වහා ක්‍රියාත්මක වී අවශ්‍ය පිරිස ගෙන්වා ගත්තේය. රාත්‍රී 7.30 ඡන්දය විමසන තෙක්ම මේ උණුසුම පැවතුණි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීන් ගණනාවක්ද එදින සභාවේ සිටියේ නැත. විදුර වික්‍රමනායක, ගීතා කුමාරසිංහ, ප්‍රේමලාල් ජයසේකර, ප්‍රසන්න රණතුංග ආදි කිහිප දෙනෙක් පැමිණ නොසිටියහ. එයින් ගීතා හා විදුර අසනීපයෙන් පසුවෙති. ප්‍රසන්න රණතුංග විදේශගතව සිටි බව පැවසේ. කෙසේ හො මේ හේතු නිසා මැතිසබය රත් වූ දිනයක් ලෙස ඒ ඡන්ද දිනය ගෙවී ගියේය.

ඡන්ද කල්දැමීම ගැන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මුලසිටම විරෝධය දැක්වුවද එම පනත සඳහා ඡන්දය විමසන අවස්ථාවේ ඒකාබද්ධයේ පිරිසක් පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන මන්ත්‍රී කණ්ඩායම තුළ විවිධ කතා පැතිරෙන්නට පටන්ගෙන ඇත. සමහරු ඡන්දයට නාවේ මන්ද යන්න කාටත් ප්‍රශ්නයක් විය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා කීවේ මෙම ඡන්දයෙන් ජ.වි.පෙ. සැබෑ මුහුණුවර හෙළිදරව්වූ බව හා ආණ්ඩුවේ 2/3 කතාව හමාරවූ බවය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු වාර්තාව බ්‍රහස්පතින්දා මැතිසබයට ඉදිරිපත් කළේය. එය සකස්කළේ ව්‍යවස්ථා සම්පාදනයට පදනම සකසාගැනීමටයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් මෙම වාර්තාවට දැඩි විරෝධය පළකර ඇත.

 

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර
   සේයාරුව I ඉෂාන් සංජීව

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00