2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ආණ්ඩුව උණුවතුරට දැමූ ජැටියේ තීන්දුව

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

  • එජාප ප්‍රබල චරිත දෙකකට සජබ දොර වසයි
  • ඉන්දියාවෙන් ලංකාවට දෝස්මුරයක්
  • වරායේ තීන්දුව කනපිට පෙරලූ ආණ්ඩුවේ දහදෙනා
  • ජිනීවා වැඩේට ආණ්ඩුවෙන් තද පිළිතුරක්
  • ජූනියර්ලාගේ කතාවලට සීනියර්ලා කලබල වෙනවද? ජොන්ස්ටන් අසයි

තීරණාත්මක දේශපාලන සතියක් ගෙවී ගියේය. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද නොනිමි අර්බුද රැසකට ශ්‍රී ලංකාව මැදිවිය. ජැටියෙන් පටන්ගෙන නිදහසින් කෙළවර වූ සතිය උදාවූ වසරේ මෙතෙක් ගතවූ තීරණාත්මක දේශපාලන සතිය වූ බව නිසැකය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මත වේදිකාගත වූ ඉන්දු ලංකා කතාව පෙබරවාරි පළමුවැනි සඳුදා එක්තරා සංධිස්ථානයකට පැමිණියේය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට ලක් රජය තීරණය කළේ එදිනය. සඳුදා පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුකර ගනු ලැබුවේය. කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාව සමග සහයෝගයෙන් සංවර්ධනය කිරීමට මේ සමඟම තීන්දුව විය. මේ තීන්දුව පිටතට සරලව පෙනුණද ආණ්ඩුවේ අභ්‍යන්තරය මේ තීන්දු සමඟම ගිනියම් වී තිබුණි. උණුසුම් වූ කැබිනට්ටුව පිළිබඳ විවිධ වාර්තා, දේශපාලන ආරංචි පැතිර ගිය අතර ඒ සියල්ල කැටිකොට අප කැබිනට් උණුසම පිළිබඳ කතාව ගලපා ගතිමු.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභ්‍යාග්‍යයේ දැක්මට අනුව කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ චෝදනා මුඛයෙනි. වරාය සම්බන්ධයෙන් මතුවූ විරෝධයට කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ද වගකිවයුතු බව ඔහු සෘජුවම කීවේය. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නය නිසා දැඩි කැපවීමෙන් ගොඩනැගූ ආණ්ඩුව ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත් වූ බව කී අමාත්‍යවරයා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට යම් පමණකින් හානිවූ බවද කීවේය. නම සඳහන් නොකරමින් ඇමැති රෝහිත කළ චෝදනා සුළුපටු නොවීය. එක්තරා තැනකදී ඔහු &කමිටු වාර්තාව එන්න කලින් එළියට ගිහිල්ලා ප්‍රශ්නය අවුල් කළා. යනුවෙන් ද කියා තිබුණි.

වරාය සටනට සහයෝගය ලබාදුන්නේ රටම දන්නා පරිද්දෙන්  විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ය. රෝහිත නම් නොකීවද චෝදනාව කාටද යන්න අමාත්‍ය මණ්ඩලය දැන සිටියේය. ඒ අතර වරාය ඇමැතිගේ සහායට ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ යන ඇමැතිවරුද කරුණු දක්වන්නට වූහ. කොරෝනා සහ ආර්ථික ප්‍රශ්න හමුවේ අසීරුවෙන් දුවන ආණ්ඩුවට ආණ්ඩුවේම ඇමැතිවරු පිරිසක් අකුල් හෙළන බව ඔවුහු කීහ. කැබිනට්ටුව උණුසුම් වෙමින් තිබුණි.

නැගෙනහිර ජැටිය ආයෝජනය කිරීම ප්‍රශ්නයක් බවට පත්කළේ අපේම ඇමැතිවරු පිරිසක්. ඒ අය ආණ්ඩුව ගැන හෝ ජනාධිපතිවරයා ගැන කල්පනා නොකර වෘත්තීය සමිති නායකයොයි, අපේ හාමුදුරුවරුයි එකතු කරගෙන කොහේවත් නැති ඉන්දීය විරෝධයක් ගොඩනැගුවා. ඒකෙන් වුණේ අපේ ආණ්ඩුව අපහසුතාවයට පත්වුණු එක. ජනතා විශ්වාසය බිඳවට්ටපු එක.

චෝදනාව බරපතළ විය. ආණ්ඩුවක් ලෙස සාමූහික වගකීම පිළිබඳවද මෙම කණ්ඩායම ප්‍රශ්න කළහ. අමාත්‍ය විමල් වීරවංශ මෙම චෝදනාවලට පිළිතුරු බැඳීමට ඉදිරිපත් විය. පළමුවරට මෙම කාරණය එළියට ගෙන ගියේ රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් යැයි ඔහු කියා සිටියේය. එම අමාත්‍යවරයා මොන බල්ලා බිරුවත් අපි නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග එකතුවෙලා කරනවා කියූ බව වීරවංශ මහතා සිහිපත් කළේය. මෙවන් කතාවක් කියා තිබුණේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාය. එහෙත් ඇමැති ජෝන්ස්ටන් ඇමැති විමල්ට පිළිතුරු බැන්දේය. ඔහු කීවේ ජූනියර් කෙනෙක් කී කතාවක් අසා සීනියර් කෙනෙක් වගකීම් විරහිතව කටයුතු නොකළයුතු බවයි.

මේ කතාබහ තවත් දුරදිග ගිය අතර පක්ෂනායක රුස්වීම් නොමැති වීම පිළිබඳවද විමල් වීරවංශ සිය කනස්සල්ල පලකළේය. විමල්ගේ සහායට වාසු පැමිණි අතර තරුණ ඇමැති නාමල්ද ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න එළියට ගෙනයාම පිළිබඳ සෘජු අදහස් දැක්වූයේය.

පැහැදිලිවම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ජනතා පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ විතරක් නෙමෙයි එළියේ ජනතාවත් එක්ක කතාකරන්නත් අපිට අයිතියක් තියෙනවා. එහෙම නැතිවුණොත් අපි දන්නෙ නෑ කොයි වෙලාවක මේක කඩාගෙන වැටෙයිද කියලා. එහෙම වෙනකල් බලාගෙන ඉන්නද කියන්නේ? එහෙම බෑ. අපි හැමෝම මහන්සියෙන් ගොඩනගපු ආණ්ඩුව. ආදී වශයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී සිය මතය දක්වා තිබුණි. &ජනාධිපතිතුමා ආරක්ෂා කරනවා කියන්නේ. අර රජ්ජුරුවන්ගේ ඔළුවෙ වහපු මදුරුවා මරන්න කඩුවෙන් කොටපු වඳුරා වගේ වැඩකරන එක නෙවෙයි. ඒකට හිතලා මතලා වැඩකරන්න ඕන* කියාද ඔහු මෙහිදී කියා තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංවාදයට මැදිහත් නොවීමද කැපී පෙනුණි. අවසානයේ ජනාධිපතිවරයා උණුසුම් තත්ත්වය සමනය කරමින් කරුණු ඉදිරිපත් කළේය.

අපි ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය ගැනත් හිතන්න ඕන. පසුගිය ආණ්ඩුව ඉන්දියාව එක්ක ගිවිසුම් 17ක් අත්සන් කරලා තිබෙනවා. කොළඹ වරායේ ජැටියට අදාළවත් ගිවිසුම් ගහලා. අපි බලයට ආවහම ඒ ගිවිසුම් කිහිපයක්ම අවලංගු කළා. අපි මත්තල දුන්නේ නැහැ. සාම්පූර් දුන්නේ නැහැ. ගෑස්වලට ඕපන් ටෙන්ඩර් කැඳෙව්වා. දැන් ඉන්දියාව පැත්තෙන් බරපතළ විදියට කනස්සල්ල පළවෙමින් තිබෙනවා. අපි ආණ්ඩු කරගෙන යද්දී මේ කාරණා ගැනත් හිතන්න ඕන.

අර්බුදවලින් ගහණ වූ සතියේ ජිනිවා කතාවද කෙළවරක විය. ජැටිය ගැන කතා අතරේ ඒ පිළිබඳ පිරිසක් විමසා සිටියහ. ඉකුත් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ඇතුළත් වීඩියෝවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළේය. එය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ චෝදනා සුළුපටු නොවූ අතර ලංකාවේ ක්‍රියාකලාපය ඔවුන් දෝෂදර්ශනයට ලක් කර තිබිණි. මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත විරෝධය ගොනු කළේය. “මෙම ට්විටර් පණිවිඩය මේ සම්බන්ධයෙන් දක්වා ඇති ක්‍රියා පටිපාටියෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීමකි. එය මුළුමනින්ම පක්ෂග්‍රාහීයි.* යනුවෙන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

මේ අතර ජීනිවා පූර්විකාව වීඩියෝවකින්ද නොනැවතී වාර්තාවක් දක්වා දික් ඇදුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මෙම වාර්තාව ඉදිරිපත් කෙරිණි. එම වර්තාවද ලක් රජය ප්‍රතික්ෂේප කළේය. විෂය පථයට පටහැනි වීම සහ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලිඛිතව ජිනීවා වෙත දැන්වූවේය. කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධව සහ ශ්‍රී ලංකාවේ පිළිතුර සම්බන්ධව නිවැරුදී තතු මෙවර සැසියේදී අනාවරණය වනු ඇත. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය මේ මස 22 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන අතර සමුළුවේ කටයුතු බහුතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවීමට නියමිත බව දැගන්නට ලැබේ. එසේ නමුත් දේශපාලන අරංචි මාර්ග පවසන්නේ මෙවර සැසිය ශ්‍රී ලංකාවට වඩාත් අයහපත් ලෙස බලපානු ඇති බවයි.

ජැටියේ කතාව සතිය පුරා පළමු පුවත වූයෙන් ඒ වටා තවත් කතා රාශියක් නිර්මාණය විය. මෙතෙක් නිහඬව සිටි ඉන්දියාව ලංකාවේ තීරණය සමඟ තරමක් උරණ වූ බව පෙනී ගියේය. පළමුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය. “ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රෛපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තු වේ යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය. මෙම නිවේදනය පෙබරවාරි පළමුවැනිදා නිකුත් වූ අතර දෙවැනිදා ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති, අගමැති සහ විදේශ ඇමැති හමුවීමට පියවර ගෙන තිබේ. මෙම තීරණය හරහා සිදුවිය හැකි දෙය ගෝපාල් බග්ලේ මහතා මෙහිදී පැහැදිලි කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පෙබරවාරි 4 වැනිදා වනවිට වරාය අර්බුදය සම්බන්ධව ඉන්දියානු ප්‍රතිචාර එන්න එන්නම ප්‍රබල වෙමින් තිබුණි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේදී දැඩි රාජ්‍ය තාන්ත්‍රික වචන උපයෝගී කර ගනිමින් අදහස් ප්‍රකාශ කළේය. ඉකුත් දිනෙක ඉන්දීය සාගර කලාපයේදී නාවික හමුදා යාත්‍රාවක හැපී ඉන්දීය ධීවරයන් තිදෙනකු මියයාම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බව සඳහා කළ ඔහු එය ඝාතනයක් ලෙසින්ද හඳුන්වන ලදී. මෙම ප්‍රකාශය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදීමත් සමඟ ඉන්දියාව ලංකාවට එරෙහිව ආරම්භ කළ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ කොටසක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට අමතර කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් ඩොලර් මිලියන 400ක ණය මුදලක්ද ඉතා කඩිනමින් ගෙවන ලෙස ඉන්දීය බලධාරීන් විසින් මෙරටට දන්වා ඇතැයි නිල නොවන මට්ටමෙන් වාර්තාවෙයි. එසේම ආණ්ඩුව ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණු තවත් ණය මුදල් ලබා නොදීමටද ඉන්දියාව තීරණ කර ඇති බව කියැවේ. මෙම සියලු ආරංචි අනුව ශ්‍රී ලංකාව ගෙවුණු සතියේ රාජතාන්ත්‍රික අර්බුයක් කරා ගමන් අරඹා ඇති බව අවබෝධ වෙයි.

මේ සියල්ල අතරේ (03) තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන්ගේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. ජනවරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කවර පාර්ශ්වයක් සමඟ හෝ ගැටීමට කිසිවිටෙකත් බිය නොවී කටයුතු කිරීම ආණ්ඩුව තුළ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10හි ස්ථාවරය යැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළඋරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන පිරිස මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ. මෙහිදී ආණ්ඩුවේ පිරිසක් ඉලක්ක කරගත් ප්‍රහාරයක් දියත් වන බව පෙනී ගිය අතර සියල්ල නැගෙනහිර ජැටිය වටා භ්‍රමණය වෙමින් තිබුණි.

සිදුවෙමින් පවතින සියල්ල විපක්ෂයේ වාසියටද හේතු බව පෙනී ගියේය.  විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් 2015 පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබූ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා අද අපේ රට ලෝකයේ සුපිරි බලවතුන්ගේ පොරපිටියක් වී ඇති බවත්, චීනය අපේ රටට අනවශ්‍ය ආකාරයෙන් සම්බන්ධ කර ගැනීම මත ඉන්දියාව අපේ රට සමග උරණ වූ බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇමෙරිකාව කියනවා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදෙන්න කියලා. මෙහෙම ගියොත් තව ටිකක් කල් යනකොට තව කවුරුහරි ත්‍රිකුණාමලයත් ඉල්ලයි. මෙම තත්ත්වය ඇතිවුණේ අනවශ්‍ය ආකාරයෙන් චීනය රට තුළට ගෙන්නලා රටේ ප්‍රධාන ස්ථාන ඒ අයට ලබාදුන් නිසයි. චීනයෙන් ණය ගත්තා පෝට් සිටි, වරායවල්, ගුවන්තොටුපළවල් හදන්න. නමුත් ශත පහක්වත් ආදායමක් නෑ. ණය ගත්තා, චීන කම්කරුවන් වැඩ කෙරුවා. ගත්ත ණයෙන් 90%ක් නැවත චීනයටම ගියා. මේ ආයතන මගින් තව අවුරුදු 10කටවත් ආදායමක් ලබාගන්න බෑ.

මේ අතර සමගි ජනබලවේගය මූලික කොටගත් නව දේශපාලන සංධානයද මෙම මස බිහිවන බවට දේශපාලන ආරංචි තහවුරු කළේය. සමගි ජනතා සන්ධානය නමින් බිහිවන මෙම සන්ධානයේ ව්‍යවස්ථාව මේ වනවිටත් සැකසෙමින් ඇති බව කියැවේ. රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් ඇතුළු පිරිසකට මෙම සංධානයේ තනතුරු ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර මීට සමගාමීවම එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු වූ තනතුරු නොලද පිරිසක්ද සමගි ජනබලවේගය සමඟ එක්වනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සිටින ප‍්‍රබල දේශපාලන චරිත දෙකකට පමණක් සමගි ජනබලවේගයේ දොර විවර නොකිරීමට එම පක්ෂය තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

කොවිඩ් අභියෝග මැද වුවද 73 වැනි නිදහස් දින සමරුව කොළඹදී සැමරීමට රජය කටයුතු කළේය. මෙහිදී ජනපති සිදුකළ කතාව දෙස දේශපාලන කරළියේ අවධානය යොමුවිය. පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශ සියල්ලන්ගේ අවධානය දිනා ගත්තේය. මීට අමතර ජනාධිපතිවරයා සිය කතාවේදී රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයින්ට විකිණීමට රජය කටයුතු නොකරන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම මර්මස්ථාන දියුණු කිරීම සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කරමින් අසත්‍ය කරුණු ප්‍රචාරණය කරන අයවලුන්ගේ යටි අරමුණු සම්බන්ධයෙන් විචාර බුද්ධියෙන් ජනතාව කටයුතු කළ යුතු බව කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරු නිදහස් දින සැමරුමට සහභාගී වූහ. විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර ඇමැතිවරු පැමිණ නොසිටියහ. ඒ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද නිදහස් දින සැමරුමට සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් විය. ඊට හේතුව වූයේ විපක්ෂනායකවරයා නිදහස් දින සැමරුමට සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳ සමගි ජනබලවේගය තුළ ඇතිවූ කථිකාවකි. ඇතැමුන් එහිදී පෙන්වා දී තිබුණේ භාෂණයේ නිදහස අහිමි කිරීමට විරෝධය පා විපක්ෂය නිදහස් උළෙල වර්ජනය කළ යුතු බවකි. නමුත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයට පෙන්වා දී තිබුණේ මෙය දේශපාලනික උත්සවයක් නොවන බවයි. ජාතික උත්සවයක් නිසාවෙන් විපක්ෂනායකවරයා ලෙස එම උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බව ඔහු කියා තිබුණි. අවසානයේ පක්ෂයේ එකඟතාව ප්‍රේමදාස මහතාට හිමිවූයෙන් එය ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්විය.

පාස්කු ප්‍රහාර සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳවද ගෙවුණු සතියේ අවධානය යොමුවී තිබුණි. මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් නොවීම සම්බන්ධව කාදිනල්තුමන් පසුවූයේ කනස්සල්ලෙන්ය. ආණ්ඩුවේ ප්‍රධානීන් වෙතද කාදිනල්තුමන් මේ බව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ නමුත් හැත්තෑ තුන්වැනි නිදහස් දිනය වෙනුවෙන් බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී පැවති දේව මෙහෙයකදී කාදිනල්තුමන් ප්‍රසිද්ධියේ මේ සම්බන්ධව කතා කළේය

“ඒ ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිවරයා වෙත භාර දීලා තියෙන්නෙ. වෙනදා වගේ රතු පලස යට ඒ නිර්දේශ සඟවන්න අපේ රටේ නායකයෝ උත්සාහ කළොත් කතෝලික ජනතාවට මෙරටේ ජීවත් විය නොහැකි පරිසරයක් ඇති වෙනවා.” යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ කදිනල්තුමන් රටේ පොදු සම්පත් විකුණා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙන බවත් ඒ පිළිබඳ නිහඬව ඉන්න බැරි බවත් කියා සිටියේය.

මේ සියල්ල සිදුවන අතරේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කතාව තිරගත වෙමින් තිබුණි. ශ්‍රී ලංකා තීරණය සමඟ ඉන්දියාවේ ක්‍රියාකාරකම් එන්න එන්නම වෙනස් මුහුණුවරක් ගත්තේය. ඉන්දියාව හදිසියේම කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් හමුවී සාකච්ජා කීරීමට පියවර ගත්තේය. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මෙම හමුව පැවති අතර ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කරුණා සහ පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කළේය. නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සහ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා වූ බව කියැවුණි. කෙසේ වෙතත් මෙයද ඉන්දීය රාජතාන්ත්‍රික මෙහෙයුම් කොටසක් ලෙස දේශපාලන විචාරකයන් හුවා දැක්වූයේය.

මේ අතර ජපන් තානාපතිවරයාද විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවීමට පියවර ගත්තේය. නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමට ගන්නා ලද කැබිනට් තීරණයෙන් ජපානයටද තදින් දැනී තිබුණි. ඒ අනුව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සංවාදයේ නිරතව ඇතැයි වාර්තා වෙයි. ඊට අමතරව ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සහයෝගීතාවට අදාළ කාරණා රුසක් ගැනද එහිදී අවධානය යොමුකර තිබේ. ද හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකපාර්ශ්වික තීරණය පිළිබඳ ජපන් රජයද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි. ජපානය සමඟ ක්‍රියාත්මක කිරීමට ගිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජයෙන් අහෝසි කළ නිසාවෙන් උද්ගත වෙමින් ඇති තත්ත්වය සුභදාය නොමැති බව ආරංචි මාර්ග අනුව කියැවේ.

මේ අතරින් පසුගිය සතියේ බදාදා ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහනේ ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ජාතික සම්බන්ධීකරණ අනුකමිටු සඳහා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත්ය. ඒ අනුව එක් එක් කමිටු සඳහා විෂයන්ට අදාළවන සේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කරමින් ජාතික සම්බන්ධීකරණ අනුකමිටු 5ක් මෙහිදී පිහිටවනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩසටහන සහ අනුකමිටු ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධීකරණය පවත්වාගත යුතු ආකාරය පැහැදිලි කළේය. එසේම විදුලිය සහ ජල පහසුකම් නොමැති නිවාස හඳුනාගෙන ඒ සඳහා ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර විසඳුම් දීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ වගකීම බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා සමෘද්ධි අරමුදල් ඇතුළු රජයේ ප්‍රතිපාදන යොදාගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙහිදී කොවිඩ් එන්නත සම්බන්ධවද මැති ඇමතිවරුන් අතර කතාබහක් ඇතිවිය. එහිදී පෙබරවාරි මස මැද භාගය වනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබාදීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීය.
මේ අතර එන්නත සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණේ පෙබරවාරි 4 වැනිදාය. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් -19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඔහු කියා කියා තිබුණි. “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක ඇනවුමක් ලබාදුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබාදිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත ලබාදීමට කැමැත්ත පළකරලා තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතට ඉදිරි දින කිහිපයේදී ලංකාවේ ලියාපදිංචිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා” යනුවෙන් අමාත්‍යවරයා අදහස් දක්වා තිබේ.

නිදහස් දිනය දා එක්සත් ජාතික පක්ෂයද 73 වැනි ජාතික නිදහස් දිනය සමරමින් නිදහස් චතුරශ්‍රය ආසන්නයේ ඇති එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට උපහාර දැක්වීය. එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ ඇතුළු එජාප නායකයෝ මේ අවස්ථාවට එක්වූහ. මෙහිදී එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේය. නිදහස් ලබා ගෙවුණු වසර 73ක කාලය පිළිබඳව යළි කල්පනා කළ යුතු බවත් ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් නිදහසක් ලැබී ඇත්ද යන්න සිතා බැලීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් ජාතීන් ලෙස එකමුතු වී ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු වී සංවර්ධනය කරා යමින් ජනතාවට අවශ්‍ය දේ ඉටුකර දීමට ක්‍රියා කළ යුතු බව විජයවර්ධන මහතා අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩු විරෝධය විවිධ තේමාවන් ඔස්සේ සිය සටන් මෙහෙයවමින් සිටියේය. වරාය සටන නම් කෙළවරකට පැමිණියෙන් ඔවුන් නව තේමාවන් ඔස්සේ සටන දියත් කළේය. ජනාධිපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ? යනුවෙන් ඔවුන් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. දේශපාලන පලිගැනීම් සම්බන්ධව කොමිසම වලංගු වන්නේ තමන්ට නොව ගෝඨාභය රාජපක්ෂ හට බව අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් සහ සරත් ෆොන්සේකා ආදී අයට සිදුවූ දෑ සිහිකරමින් ඔහු මේ බව සිහිපත් කළේය. එමනිසා තමන් ඇතුළු කණ්ඩායමට දේශපාලන පළිගැනීම සිදුකිරීම අවශ්‍ය නැති බවද ඔහු කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් සුදුසු වෙනත් අයෙකු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉංග්‍රීසි පුවත්වතකට කී කතාවක්ද දේශපාලන කරළියේ අවධානයට යොමුවී තිබුණි. විපක්‍ෂයට නායකත්වය දීමටද සුදුසු පුද්ගලයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතා බව අගමැතිවරයා කී බව එහි සඳහන් විය. මීට අමතර ඇමති අලි සබ්‍රි මාධ්‍යයට කී කතාවක්ද බොහෝ දෙනා විමසූහ. තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථයද වත්මන් රජය මුහුණ දියයුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර තිබුණා

 

 චමිඳු නිසල් ද සිල්වා

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00