2021 ජනවාරි 30 වන සෙනසුරාදා

මහාචාර්යවරයාගේ ප්‍රශ්නයට ජනපතිගෙන් සැර පිළිතුරක්

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 956

  • මුරුත්තෙට්ටුවේ හිමියන් අගමැතිගෙන් කළ ඉල්ලීම
  • ජනපති සහ ලලිත් කොවිඩ් එන්නත ගෙන්වා ගන්න කළ මෙහෙයුම
  • අර්ජුන - නවීන් වෙනම ගමනක
  • සජබ වෙනස්කළ එජාපයේ සම්ප්‍රදාය
  • අරුන්දිකට මැති ඇමැතින්ගෙන් චෝදනා

තවත් සති අන්තයක් උදාවන විට වියවුල් සහගත දේශපාලන පසුබිමක් නිර්මාණය වී තිබීම කැපී පෙනුණි. වරාය අර්බුදය කොවිඩ් එන්නත ඇතුළු පාර්ලිමේන්තු කොවිඩ් අවදානම ඇතුළු අභියෝග රුසක් ආණ්ඩු පාර්ශවය ඉදිරියේ ඇත. විපක්ෂයට අපමණ මාතෘකා නිර්මාණය වී ඇති නමුත් එහි අභ්‍යන්තරයේද බෙදීම් ඉරිතැලීම් නිර්මාණය වන ලකුණු පෙන්නට තිබේ.

වරාය සටන උග්‍රවෙමින් පැවතුණු අතර ආණ්ඩුවට එය තදින් දැනෙන්නට පටන්ගෙන තිබුණි. සිකුරාදා වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමටද වරාය වෘත්තීය සමිති තීරණය කළේය. ඒ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර මෙම ගැටලු විසඳාගැනීම වෙනුවෙන් සිකුරාදා තවත් උත්සාහයක් දැරුවේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 78 වැනි ජන්ම දිනය සැමරුමද පසුගිය සතියේය. නාරාහේන්පිට අභයාරාමයේ ජනවාරි 27 වැනිදා ඒ වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කර තිබුණි. මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ ආදී මැති ඇමතිවරු සහභාගී වූහ. දහවල් දානයෙන් පසු ඇතිවූ සුහද සාකච්ඡාවේදී වරාය ගැටලු පැන නැගුණි. මුරුත්තෙට්ටුවේ හිමියන්ද පෙරටුව පිරිස අග්‍රාමාත්‍යවරයාට කීවේ ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව මෙම තීන්දුවට විරුද්ධ බවයි. දැන් අගමැතිතුමාට මේ පිළිබඳ තීන්දුවක් ගන්න වෙනවා. කරුණාකරලා මොනවා හරි පියවරක් ගන්න අගමැතිතුමා. යනුවෙන් පිරිස අදහස මතු කළහ.

ඔයාලත් කැබිනට් එකේදී අදහස මතුකරන්න. මාත් කතා කරන්නම්. ලබන සතියේ කැබිනට් එකේදී අපි අපේ මතය කියමු. හැබැයි ඉන්දියාවත් එක්ක ගනුදෙනුවක් මෙතැන තියෙනවා ඒක සම්පූර්ණයෙන් කඩාකප්පල් නොවෙන විදිහට අපි මේ ගනුදෙනු කරන්න ඕනෑ. ඉන්දියාව තරහ කරගෙනත් බෑ වැඩ කරන්න. අපිට ඉන්දියාවේ සහයෝගයත් අවශ්‍යයි වරාය රුකගන්නත් ඕනෑ. අපි මේක මෙතැන කතා නොකර කැබිනට් මණ්ඩලය ඇතුළේ කතා කරලා විසඳගමු.

මහින්ද රාජපක්ෂ මහතා මෙවන් අදහසක් මතුරන්නට වූ අතර පිරිස ඊට එකඟ වූහ. මුරුත්තෙට්ටුවේ හිමියන්ද මේ දිනවල ආණ්ඩුවේ කටයුතු විවේචන කරන පිරිස අතර කැපීපෙනෙන චරිතයකි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධතා කිසිවිටෙක උන්වහන්සේ පළුදු කර නොගන්නා බව පෙනී යයි. දානය අතර මුරුත්තෙට්ටුවේ හිමියන් අනුශාසනාව සිදුකරමින් ඒ පිළිබඳව අපූරු කතාවක් කියා තිබුණි.

මගෙන් නිතරම අහනවා ඇයි ඔබවහන්සේ ‍නිතරම මහින්ද රාජපක්ෂ මහතා ගෙන්වන්නේ කියලා. මම කීවා අපේ නායක හාමුදුරුවනේ වෙන කවුද ගෙන්වන්න ඉන්නේ කියලා. මේ රටට ආදරේ කරන, මේ රට ගොඩගත්ත, මේ රට නිදහස් කරල දුන්න එකම නායකයාව අපි හැමදාම අගය කරනවා. පසුගිය දවස්වල අපි දන්නවා නේ මොනවද කළේ, මොනවද වුණේ කියලා. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද මුරුත්තෙට්ටුවේ හිමියන්ට සුභපැතීමට අභයාරාමයට ගොස් සුහද කතාබහක නිරත විය.

සමගි ජනබලවේගයේ දේශපාලන අනාගතය සම්බන්ධව තීරණාත්මක සිදුවීම් පෙළක්ද ගෙවුණු සතියේ සිදුවිය. සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳුදා (25) රුස්විය. එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුවිය. ඒ අනුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරන අතර, මහලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව තිබේ.

පක්ෂ සභාපති ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබිම සුවිශේෂීය. එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂයක් ලෙස සභාපති ධුරයට සුළු ජනවර්ගයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පත්කිරීමේ සම්ප්‍රදාය සමගි ජනබලවේගයද අනුගමනය කරනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂා කළහ. ඉම්තියාස් බාකීර් මාකර් මහතාව පක්ෂ සභාපති ධුරයට පත්කළ යුතු බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක්ද සම්මත වී තිබුණි. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සරත් ෆොන්සේකා මහතාට පක්ෂ සභාපතිත්වය හිමිවිය.

පාඨලී චම්පික රණවක නිල වශයෙන් සමගි ජනබලවේගය සමඟ එක්වූ බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නිවේදනය කළේය. එසේම පාඨලී චම්පික රණවකට ළඟදීම පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බවද ඔහු පවසා ඇති බව දේශපාලන ආරංචි ඔස්සේ දැනගන්නට ලැබේ. මේ අතර තනතුරු නොලැබීම පිළිබඳ නොරොක්වූ සිත් ඇති අයද සිටි බව දැන්නට ලැබුණි.

කොවිඩ් එන්නත සම්බන්ධව විවිධ මත පළවෙමින් තිබුණි. ඇතැම් දේශපාලන නායකයන් කීවේ ලංකාවට කොවිඩ් එන්නත ගෙන ඒමට කිසිදු තානාපති කාර්යාලයක් සහයෝගය නොදක්වන බවයි. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති උපදේශක එන්නත්කරණ කමිටුවේ සභාපති ලලිත් වීරතුංග මහතා දිගින් දිගටම විවිධ තානාපති අංශ සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටියහ. ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සමඟ වාර දහයකදී පමණ සාකච්ඡා පැවැත්විණි. රුසියානු සහ චීන තනාපතිවරුන් සමඟද දිගින් දිගටම සාකච්ඡා කළෝය. ලලිත් වීරතුංග මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයටද ගොස් ලංකාවට ඔවුන් ලබා දෙන බව කියන සියයට විස්සක එන්නත් ප්‍රමාණය සම්බන්ධවද සාකච්ඡා කළේය.

අවසානයේ මෙම සාකච්ඡාවල සාර්ථකත්වයේ පළමු පියවර ලෙස ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රුගත් ගුවන්යානය බ්‍රහස්පතින්දා (28) කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය. එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වූයේය. එන්නත් තොගය නිල වශයෙන් භාර ගැනීමට ගුවන් තොටුපළට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැමිණියේය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් එන්නත් තොගය භාරදෙනු ලැබීය.

පසුව එන්නත් තොගය ශීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රුගෙන යෑමට කටයුතු කර තිබුණි. එන්නත් තොගය එදිනම රෝහල් 6ක් වෙත බෙදාහැරීම සිදුවූ අතර 29 සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙළ ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ. මේ අතර චීන රජයද එන්නත් ලක්ෂ 03ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව දැන ගන්නට ලැබේ. එසේම රුසියාවෙන්ද යහපත් ප්‍රතිචාර ලැබෙමින් ඇති බව කියැවේ.

ඉන්දීය අගමැතිවරයාගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් එන්නත බාරගැනීමට කටුනායක ගුවන් තොටුපොළට ගිය ජනාධිපතිවරයා උත්සවය හමාරකොට පැමිණෙද්දී රජයට සම්බන්ධ මෙරට ප්‍රකට මහාචාර්යවරයකුගෙන් එස්.එම්.එස්. පණිවුඩයක් ලැබුණි. එහි ප්‍රශ්නාර්ථයක් සමඟ සඳහන් වූයේ ඉන්දියාවෙන් එවන ලද එන්නත බාරගැනීමට ජනාධිපතිතුමා කටුනායකට ගියේ ඇයි? එයට ජනාධිපතිතුමා නොගොස් රජයේ සාමාන්‍ය නිලධරයකු යැවීමට තිබුණා නොවේද කියායි. මෙම මහාචාර්යවරයාගේ පණිවුඩය දුටු ජනාධිපතිතුමා පුදුමයට පත් විය. ඔහුගේ ප්‍රශ්නයට හැරෙන තැපෑලෙන් ජනාධිපතිතුමා සැර උත්තරයක් යැවීය. එහි සඳහන් වූයේ මහාචාර්යතුමා ජාතික විපතකදී පටු විදියට හිතන්න එපා.. මම ගියේ ඉන්දියාව අපට කළ උදව්වට කෘතගුණ දක්වන්නයි. ඒ වගේම මේ බරපතළ ජනතා ප්‍රශ්නයට රජයේ තිබෙන කැපවීම පෙන්වන්නයි.. කියාය. ජනාධිපතිතුමාගේ සැර උත්තරය ලද මහාචාර්යවරයා ඊට පිළිතුරු යැව්වේ නැත.

මේ අතර නවීන් දිසානායක මහතා සමගි ජනබලවේගයට එක්වීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව සමගි ජනබලවේග ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. එම සාකච්ඡා සාර්ථක මට්ටමක තිබෙන බවද කියැවේ. වසර ආරම්භයේම එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයේ ජාතික සංවිධායක ධූරයට නවීන් දිසානායක මහතා නම් කරනු ලැබීය. එහෙත් ඔහු එම තනතුර මෙතෙක් භාරගෙන නොමැත. ඉකුත් 21දා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය වැඩ බාරගත් අවස්ථාවද දිසානායක මහතා මහහැර තිබේ.

මෙවන් තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයකු ලෙස පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග නවීන් දිසානායක මහතා 28 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූයේය. මම තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමේදී මාව පත්කළත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම තමයි එයට හේතුව යනුවෙන් නවීන් දිසානයක මහතා මෙහිදී පවසා තිබුණි.

ඒ අතර කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමඟ නවීන් දිසානායක මහතා එක්ව ඇති බවද මාධ්‍ය වාර්තාකර තිබුණි. මෙම ව්‍යාපාරයද සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.

අර්ජුන රණතුංග මහතාත් මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණි. මමත් තීරණයක් ගත්තා. මට ලබාදීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය. තනතුරු බලාගෙන මම දේශපාලනය කරන්නේ නෑ. මම තාමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. මම ඉදිරියේදී තීරණය කරනවා. මම කොයි විදිහටද දේශපාලනය කරන්නේ කියලා එසේම තමන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දුන්නේය.

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදනය වීමද සතියේ සුවිශේෂී සිදුවීමක් විය. උණ රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියදී ඔහු මහජන හමුවීම සහ උත්සවවලට සහභාගී වූවා ඇයි චෝදනාවක්ද එල්ලවිණි. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ කරගන්නා ලෙස කථානායක මහින්දයාපා අබේගුණවර්ධන මහතා නැවත නැවතත් දැනුම් දුන්නේය. එහෙත් බ්‍රහස්පතින්දා වනවිටත් 225න් පී.සී.ආර්. පරීක්ෂණ කරගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 92ක් පමණි. කථානායකවරයා තෙවරක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටියේය. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද පී.සී.ආර්. පරීක්ෂණයට මුහුණ දුන්හ. මන්ත්‍රීවරු පී.සී.ආර්. පරීක්ෂණ මගහැරීම පිළිබඳ ගැටලු පැනනගිමින් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීම සමඟ නිර්මාණය වූ සංවාදය පසුගිය සතිය උණුසුම් කළේය. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ හට ක්‍රිකට් වෙනුවෙන් කුමක් හෝ කරන ලෙස ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබුණි. ප්‍රසිද්ධ මාධ්‍යයේදී අර්ජුන රණතුංග පවා නාමල් මේ සඳහා මැදිහත් විය යුතු බව කියා සිටියේය. අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු, ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරීන් සමඟ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සාකච්ජාවක් පැවැත්වූයේය.

ආරංචි අනුව මහේල සහ සංගක්කාරද එකතුකර ගනිමින් නාමල් රාජපක්ෂ අලුත් වැඩපිළිවෙළක් ක්‍රිකට් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීම, තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරගාවලියක් පැවැත්වීම, විනය හා ශාරීරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබාදීම, දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුම් ගතකිරීම සහ ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයකු හා උපදේශකවරයකු පත් කිරීම ආදිය ඉදිරියේදී සිදුවීමට නියමිතය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සතියේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා තමා හමුවට කැඳවීය. රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධව තීරණයක් ගැනීම වෙනුවෙන් නීති උපදෙස් ගැනීම එම සාකච්ඡාවේ අරමුණ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය ප්‍රකාරව රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව මීට පෙරද නීතිපතිවරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබුණෙන් ඔහු මෙවර එම මතය කතානායකවරයා වෙත ඉදිරිපත් කළ බව අසන්නට ලැබුණි. 

කතානායකවරයා අමාත්‍ය අලි සබ්‍රි ගෙන්ද මේ පිළිබඳව කරුණු විමසා ඇත. ඔහු ද නීතිපති මතයම දරන බව නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. ඒ අතර කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරද නීතිඥවරුන් දෙදෙනකු කැඳවා මේ ප්‍රශ්නය පිළිබඳ විමසීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවීමට ඇත්තේ වැඩි ඉඩක් බව ලැබෙමින් පවතින ආරංචි අනුව පෙනී යයි.

කොවිඩ් වෛරසය  ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගිය සතියේ සුවය ලබා නිවෙස බලා පිටත්ව ගියේය. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා තවත් දින කිහිපයක් නිවෙසේ නිරෝධායනය වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. එහෙත් ඉකුත් 28 වැනිදා පෙරවරුවේ වන්නිආරච්චි මහත්මියව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එදිනම රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

උතුරෙන් සහ ජිනීවාවලින් ද මෙරට දේශපාලනය කෙරෙහි ගෙවුණු සතියේ බලපෑම් එල්ල වන්නට විය. යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ ජනතාව ඇතුළු සියලු දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය විසින් රවටා ඇති බව පවසමින් විරෝධතා පෙළපාලියක් 25 වැනිදා දින යාපනයේදී සංවිධානය කොට තිබුණි. යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතා පෙළපාලියේ දී ජිනීවා ගැන ද සඳහන් විය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී සිදු කරන ලද යුද අපරාධ, දෙමළ ජනතාවට සිදු කරන ලද පීඩා සම්බන්ධයෙන් කිසිදු දෙමළ දේශපාලන නියෝජිතයකු විසින් අනාවරණය නොකරන බව විරෝධතාකරුවෝ පැවසූහ. එම නිසාම ජිනීවා මානව හිමිකම් සැසියේද දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව සිදු කරනු ලබන චෝදනා සියල්ලක්ම සාධාරණයක් නොවන බව ඔවුහු කියා සිටියහ.

මේ අතර ඩයස්පෝරාව ජිනීවා සටනට පෙරමග සලකුණු කරමින් සිටියේය. ශ්‍රී ලංකාවේ සාමය පවත්වා ගැනීමට සහ දෙමළ ජනයා ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ තමාට ඇති බලය යොදාගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගෙන් ඉල්ලීමක් ඉල්ලා ඔවුහු ලිපියක් යොමු කළහ. ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 21 දෙනකු මීට අත්සන් තබා ඇති බව දැනගන්නට ලැබුණි. ද්‍රවිඩයන්ට එරෙහි වෛරී කතා සහ අදහස් බහුලව පැන නගිමින් පවතී. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ දේශපාලන සිරකරුවන්ට දිගින් දිගටම වධ හිංසා පමුණුවනු ලබන බවත් සිංහල හමුදාවන්ට අයත් අයට සමාව ලැබෙන බවත් මේ හරහා කියවුණි.

 චමිදු නිසල්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00