2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ගෝඨා-මහින්ද-බැසිල් රහස් සාකච්ඡාවක

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 432

  • සජබ කැළඹූ රන්ජන්ගේ තීන්දුව
  • නිරෝධායනයට යොමු වූ මැති ඇමැතිවරු
  • ශ්‍රීලනිපයේ සභාපති තමා බව චන්ද්‍රිකා කියයි
  • වරාය සටනට ජ.වි.පෙ.ත් බසී
  • වාසුදේව පොසිටිව් වීමෙන් තැතිගත් පිරිස
  • ජනපති හරීන් ගැන සජබ ලොක්කන් සමඟ දුරකතන සාකච්ඡාවක

අලුත් කතා මැවුණු පරණ කතා දික්ඇදුණු තවත් උණුසුම් දේශපාලන සතියක් ගෙවීය. රනිල් වික්‍රමසිංහ වික්‍රමයද ජනපති හරීන් හබයද කොළඹ වරායේ නැගෙනහිර ජැටියද මුල් පෙළ ජවනිකා වූයේය. භූමදානය කතාවද කොමිෂන් කතාද වියැකී යන්නට වූ අතර රන්ජන් මහඋළුගෙදර යාම, පිල්ලෙයාන් ගෙදර ඒමද කාගේත් අවධානය දිනාගත් ජවනිකා වූයේය. මේ සියල්ල කරළියේ රඟදෙන සිදුවීම් වූ අතර තිරය පිටුපස වෙනම ජවනිකාද තිබුණි.

සතිය ඇරඹුමේම පාර්ලිමේන්තු කොරෝනා කතාවේ තවත් අදියරකට පමුණුවමින් ඇමැති වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් පොසිටිව් විය. ඉහත සතියේ පැවැති සියලු පාර්ලිමේන්තු රැස්වීම්වලට වාසුදේව මහතා සහභාගී වූයෙන් තත්ත්වය බරපතළ වූයේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔහු සංචරණය කළ ස්ථාන සහ සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය කර ගැනීමට සිදුවිය. අවසානයේ තවත් පාර්ලිමේන්තු ඇමතිවරු 10 දෙනෙක් නිරෝධායනයට නියම වූහ. පාර්ලිමේන්තුව මෙම මැති ඇමතිවරුන්ගේ නම් හෙළි කළේ නැත.

කෙසේ නමුත් වාසුදේව නානායක්කාර ඇමැතිවරයා සභා ගැබ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පේළියේ කෙළවරේ විසිවැනි අසුනේ බවත් කියැවුණි. දේශපාලන ආරංචිමාර්ග අනුව ඔහු ආසන්නයෙන් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන සහ ඇමැති මහින්ද අමරවීරගේ අසුන් ඇත. එසේම ඇමැති විමල් වීරවංශ, රාජ්‍ය ඇමැති නිමල් ලංසා, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සහ ජයන්ත සමරවීර හා විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ද වාසු ආසන්නයෙන් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඇත. වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් පොසිටිව් වීම සමඟ මෙම පිරිස තැතිගත් බව කියැවේ.

එසේම මේ සමඟම ජනාධිපති අගමැති පාර්ශ්වයෙන්ද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙත විශේෂිත උපදෙස් ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. තවද වාසුදේව නානායක්කාර මහතා සහභාගී වූ උපන්දින සාදයක් පිළිබඳ කතාවක්ද පැතිර ගියේය. සියල්ල වඩා මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍යයේ වාසුදේව නානායක්කාර මහතා සම්බන්ධයෙන් ඇතිවූයේ විශාල කැළඹීමකි. ඔහුව උපහාසයට බඳුන් කරන්නෝ සමාජ මාධ්‍යයේ කැපී පෙනුණාහ.

අනතුරුව රටම කැළඹූ සිදුවීම වූයේ රන්ජන් රාමනායක සිදුවීමයි. ඒ අනුව ඔහුට එරෙහිව පවරා තිබුණු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවේ තීන්දු පසුගිය සඳුදා (11) ප්‍රකාශයට පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ ඇතිව වසර 4ක සිරදඩුවමක් නියම වූයේය. අධිකරණයෙන් බන්ධනාගාර බස් රථයට නංවන අතරතුරු රාමනායක මහතා මාධ්‍යයට හඬ ගා කතා කළේය. &කුඩුකාරයො ගැන කිව්වා කියලා තමයි මාව හිරේ දාන්නේ... මම කීයටවත් සමාව ඉල්ලන්නෙත් නෑ.... කියපු කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නෙත් නෑ... යනුවෙන් රාමනායක මහතා කීය.

රන්ජන් සිරගත කිරීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරණු ලැබුවෙන් සමගි ජනබලවේගය ඇතුළු ඔහුට හිතෛෂී පාර්ශ්ව නිරුත්තර විය. එහෙත් සමාජ මාධ්‍ය තුළින් රන්ජන් වෙනුවෙන් දැවැන්ත හඬක් නැගුණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස රන්ජන් නමින් සටහනක් තැබුවේය. මාගේ කලණ මිතුරාණෙනි, අපි ඔබව මොහොතකට හෝ අත් නොහරිමු. ඔබේ නිදහස වෙනුවෙන් අපි, නීත්‍යානුකූලවත්, ප්‍රජාතන්ත්‍රවාදීවත් අරගල කරන්නෙමු.!

මේ අතර රන්ජන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටිය යුතු බව සමගි ජනබලවේයේ අභ්‍යන්තරයේ පිරිසක් කියමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ කෙසේ වෙතත් සියල්ල පක්ෂයක් ලෙස එකට රන්ජන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව තීරණය කළයුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය විය. රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධවද උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණි. මේ සියල්ල අතරේ වැලිකඩ බන්ධනාගාරය වෙත රුගෙන යෑමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය රන්ජන් රාමනායක මහතාව පිටත්කර හරිනු ලැබීය.

ජනාධිපති හරීන් ගැන කළ ප්‍රකාශය ගෙවුණු සතිය තුළ ටිකක් දුරදිග ගියේය. ජනාධිපතිගේ කතාව තර්ජනයක් ලෙස භාරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පළමුව පොලිස්පතිට පැමිණිලි කළේය. ජනාධිපති ප්‍රකාශයට එරෙහිව සමගි ජනබලවේගය බදාදා (13) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී වරප්‍රසාද යටතේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය. එදිනම සවස ජනාධිපති ප්‍රකාශයට එරෙහිව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිහඬ විරෝධයක්ද විපක්ෂය විසින් සංවිධානය කර තිබිණි.
මෙම හබය පිළිබඳ දේශපාලන කරළියේ තිරය පිටුපසද සුවිශේෂී සංවාද කිහිපයක් ඇති විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ පාසල් සගයකු වන සමගි ජනබලවේගයේ වත්මන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර දුරකථන සංවාදයක් ඇතිවී තිබේ. හරීන් හබය පිළිබඳ වූ එම සංවාදයේදී සුහද අදහස් හුවමාරු වී ඇති අතර මෙම හබය තවදුරටත් ඉදිරිය ගෙන යා යුතු නැති බව සාකච්ඡා වී තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධව ගනු ලැබූ ක්‍රියාමාර්ග පක්ෂයේ තීරණ බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා ඇත.

මෙම සංවාදයට අමතරව එජාපයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සහ ජනාධිපතිවරයා අතරද &හරීන් හබය* පිළිබඳ සංවාදයක් හටගෙන තිබේ. මන්ත්‍රීවරුන්ගේ සංයමයක් නැති කතා හේතුවෙන් තමන්ට සැරෙන් කතා කරන්නට සිදුවූ බව ජනපතිවරයා කියා ඇත. එසේම මෙතැන තර්ජනයක් නොමැති බවත් ඇත්තේ සංයමයක් නැති මන්ත්‍රීවරුන්ට පිළිතුරු ලබාදීමක් පමණක් බවත් ජනපති පවසා අැතැයි වාර්තා වෙයි.

ගෙවුණු සතියේ ආණ්ඩුව අභ්‍යන්තරයේ තීරණාත්මක සුවිශේෂී සාකච්ඡාවක් සිදුවූයේය. ඒ සඳහා සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන ආණ්ඩුවේ ප්‍රධානීන් පමණි. ජනාධිපති කාර්යාලයේ පැවති මෙය පැය එකහමාරක් පමණ කාලයක් පැවැත්විණි. සාකච්ඡා වූ කරුණු පිළිබඳ කිසිවකුට නිවැරුදි අවබෝධයක් නොවූ අතර පක්ෂ සංවිධානය, ආණ්ඩුවේ කටයුතු විධිමත් කිරීම, පළාත් සභා මැතිවරණය, ආණ්ඩු ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආදිය පිළිබඳ රාජපක්ෂවරුන් සාකච්ඡා කරන්නට ඇතැයි සෙසු පිරිස් අනුමාන කළහ.

එක්සත් ජාතික පක්ෂය පසුගිය සතියේ ගත් දේශපාලන තීන්දු දේශපාලන කරළියේ තවත් අපූරු රංගනයක් වූයේය. බදාදා (13) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමේදී තවදුරටත් පක්ෂ නායකත්වය තමන් වෙත තබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාද නව මහලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් පත්වීම් ලැබූහ. උප සභාපතිවරයා වශයෙන් සාගල රත්නායක මහතා පත්විය. අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස පත්වීම ලැබුවේය. එමෙන්ම ජාතික සංවිධායක තනතුර නවීන් දිසානායක මහතාටම බාර විය. තනතුරු බෙදීගිය ආකාරය පිළිබඳ සතුටු වූවෝ මෙන්ම නොසතුටු වූවෝද සිටියහ.
මේ අතර තමා ජාතික සංවිධායක ධුරය යළි භාර නොගත් බවත් ඒ සම්බන්ධයෙන් වන තීරණය දින 10ක් ඇතුළත ප්‍රකාශ කරන බවත්, නවීන් දිසානායක මහතාගෙන් කියැවිණි. තවද කෘත්‍යාධිකාරි මණ්ඩල රුස්වීමට විජයකලා මහේෂ්වරන් ඇතුළු නියෝජිතයන් 4 දෙනකු සහභාගි වී නොමැති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තනතුරු බෙදීම ගැන අමනාප වූ අය අතර එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් වූ රවී කරුණායක ඉදිරියෙන්ම සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහු නියෝජ්‍ය නායකකමක් බලාපොරොත්තුවෙන් සිටි බව කියැවුණි. අනතුරුව හංසයා ලකුණින් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔහු සැරසෙන්නේ යැයි කතාවක්ද පැතිර ගියේය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් 12 වැනිදා කතරගම ගොස් තිබුණි. රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්‍ෂමන් විජේමාන්න, මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ අතර වූහ. මෙම ගමනට සැලකියයුතු ආධාරකරුවන්ද පිරිසක්ද සහභාගී වූයෙන් යම් කුකුසක් දේශපාලන කරළියේ නිර්මාණය වී තිබුණි. එජාපය සමඟ කළකිරීමෙන් මේ ගමන ඔවුන්ගේ නව දේශපාලන පෙරමුණක ආරම්භයක්ද යන සැකය විය. එහෙත් අධිෂ්ඨාන පූජාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රවි කරුණානායක නව දේශපාලන පෙරමුණක් ගැන කථාව ප්‍රතික්ෂේප කර තිබුණි. මෙය එජාපයේ කැඩීගිය පාර්ශ්ව යළි එක්කිරීම සහ රට වසංගතයෙන් මුදවා දෙන ලෙස කරන ලද දේව කන්නලව්වක් බව රවි කරුණානායක ප්‍රකාශ තිබුණි.
වරාය අවුලද ලිහාගන්නට ගෙවුණු සතියේ ආණ්ඩුව විශේෂ උත්සාහයක් දැරුවේය. වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් බදාදා (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වීය. කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුන් හමුවේ කියා සිටියේය.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබුණු බව ජනපති මෙහිදී සඳහන් කළේය. යහපාලන රජය ජැටිය විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත්ව තිබූ බව මෙහිදී කියැවිණි. එම ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. පසුව මේ පිළිබඳ නිවේදනයක්ද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබුණි.

සති අන්තය වන විට රන්ජන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධව සංවාදය අන්දෝලනාත්මක ස්වරූපයක් ඉසිලුවේය. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව, 91 ව්‍යවස්ථාව, 105 ව්‍යවස්ථාව අනුව රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන්නේ නැත." යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. එහෙත් මැතිවරණ කොමිසම කියා තිබුණේ වෙනත් කතාවකි. රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය මාස 6ක කාලයක් වලංගු බවත් මාස 6ක් ඉක්ම යාමෙන් අනතුරුව මන්ත්‍රී ධූරය අහෝසි වන බවත් කොමිසමේ ප්‍රකාශකයකු කියා තිබුණි.

මේ අතර හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නැවතත් දේශපාලන කරළියට පැමිණීම පසුගිය සතියේ කැපී පෙනුණි. පළමුව හිටපු ජනපතිනිය කරළියට පැමිණියේ හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දින සැමරුමේදීය. බණ්ඩාරනායක පිළිරුවට කල් ඇතිව පුෂ්පෝහාර දැක්වීමට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන් තවමත් ශ්‍රීලනිප සභාපති බවත් එසේම දේශපාලන මණ්ඩලයේම සමාජිකයකු මෙන්ම අනුශාසකවරයකු බව ද කීවාය. සිරිසේන තමන්ට පක්ෂ රුස්වීම්වලට කතා කරන්නට ඉඩ නොදෙන බව ද ඇය කීය.

අනතුරුව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ද බණ්ඩාරනායක පිළිරුවට උපහාර දක්වන්නට පැමිණියහ. මෙහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය විමසූ අතර ඇයගේ පැමිණීම පිළිබඳ සතුටු වන බව කියමින් ඔහු ප්‍රශ්නය මගහැර ගියේය. සමගි  ජන බලවේගයේ කුමාර වෙල්ගම ද බණ්ඩාරනායක ජන්ම දින සැමරුමට එක්වීම සුවිශේෂී විය. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා හින්දු පුවත්පතට ලබා දුන් සාකච්ඡාවේ ඇතුළත් කරුණු විවේචනය කරමින් ලිපියක් ද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔහු වෙත යොමු කර තිබුණි. හිටපු ජනපතිනිය සිය ඥාති පුත්‍රයකු වූ රන්ජන් රාමනායක නමින් ද ලිපියක් ලියා සමාජ මාධ්‍යයේ පළ කර තිබුණි. විජය කුමාරතුංගගේ "වරදට එරෙහිව අවි ඔසවන්නේ.. රටකට දැයකට හිත ඇති මිනිසුන්" ගීතය ද සිහි කරමින් රන්ජන්ව ධෛර්යමත් කරමින් එම සටහන ලියා තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ ද සිය දේශපාලන කටයුතු කරළියට ගෙන ඒමට ගෙවුණු සතිය භාවිත කරමින් සිටියේය. ඔවුහු අඟහරුවාදා (12) “වරාය අයිතිය විදේශීය රටවලට විකිණීම හෙළා දකිනු" මැයින් කොළඹදී විරෝධතාවයක් ද සංවිධානය කළහ. වෘත්තීය සමීති සමඟ එක්ව විරෝධය ක්‍රියාත්මක වූයෙන් ලාල් කාන්ත මහතා ජවිපෙ දේශපාලන කරළියේ කලකට පසුව නැවත කැපීපෙනෙන්නට විය. ඒ අතර පරිසරය ආරක්ෂා කර ගැනීමේ උත්සාහක් ලෙසින් ඇරඹි  “ඩෝසරය" වැඩසටහන ඔවුහු රට පුරා ක්‍රියාත්මක කළහ. ඔවුහු "Sorry කවුද දිනුම්" නමින් අලුත් සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවක් ද ආරම්භ කළහ. පවතින දේශපාලන වටපිටාව තුළ තමන් වෙත ජනතා ආකර්ශනය ලබාගැනීමේ අරමුණින් ජවිපෙ සියලු ක්‍රියාකාරීන් උද්‍යෝගයෙන් කටයුතු කරන බවත් ඔවුනට ඒ සඳහා උපදෙස් ලැබී ඇති බවත් දේශපාලන ආරංචි අතර කියැවිණි.

යාපනය සරසවියේ ස්මාරකය ඉවත් කිරීම සහ නැවත ඉදිකිරීමේ උත්සවයට අදාළව දකුණේ මෙන්ම උතුරේ ද සංවාදයක් ගෙවුණු සතියේ නිර්මාණය විය. සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සඳුදා (11) උතුරු පළාත පුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබුණි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් මෙම හර්තාලය මෙහෙයවනු ලැබීය. සිසුන් මාරාන්තික උපවාසයකට ද එළැඹි අතර උපකුලපතිවරයා ස්මාරකය නැවත ගොඩනගන්නට පොරොන්දු වී අනතුරුව මුල්ගල ද තැබුවේය. දකුණේ ඇතැම්හු පසුව මීට විරෝධය දැක්වූහ. මෙම සිදුවීමට අදාළව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයෝ පිරිසක් ද ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කළහ.

සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් බ්‍රහස්පතින්දා (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණි. ඒ අතර එදිනම පස්වරුවේ දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation - PVT Ltd)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මේ අතර පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා යොමු කළ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ද සිකුරාදා වන විට නිකුත් විය ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තා මගින් ඔවුන් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් මන්ත්‍රී කොවිඩ් අවදානම සිකුරාදා දිනය අවසන් වන විටත් පහව ගොස් නොතිබුණි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද කොරෝනා අවධානමකට ලක්වූහ. පාර්ලිමේන්තු භෝජනාගාරයේ වේටර්වරියකට වෛරස ආසාධනය වීම ඊට හේතුව විය.

 චමිඳු නිසල් ද සිල්වා

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00