2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කාදිනල් හිමිගෙන් පාස්කු ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීමක්

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

  • ​​සෞඛ්‍ය ඇමැතිනියට විරුද්ධව වෛද්‍ය සභාව නඩු මඟට
  • සජිත් පිලේ නව ව්‍යවස්ථාවට හරින්ලා අසතුටින්
  • මුස්ලිම් මළසිරුරු ආදාහනයට එරෙහි පෙත්සම් විසිවෙයි
  • කොටි සැකකරුවන් යාපනයට මාරුකරන්න විග්නේෂ්වරන් සටනක
  • කොමිෂන් සභා කිහිපයකට පාර්ලිමේන්තු සභා අනුමැතිය
  • අවුරුද්දකට ආ සභාපතිවරු අස්වෙන්න අවසර ඉල්ලයි
  • විපක්ෂ මන්ත්‍රීන් 10ක් මහර අර්බුදය ගැන සොයාබලති

ගෙවුණු සතියේ දේශපාලන පසෙකලා කෝවිඩ්, සුළි කුණාටු ආදීය මහජනයාට මාතෘකා විය. එහෙත් වැදගත් දේශපාලන සිදුවීම් කිහිපයක්ද ගෙවුණු සතියේ සිදුවිය. ඒ අතර අය වැය විවාදය පාර්ලිමේන්තු විටින් විට උණුසුම් කළේය. අධිකරණ සම්බන්ධවද අවස්ථා කිහිපයකදී කාගෙත් අවධානය යොමුවිය.

ඓතිහාසික කැබිනට් රුස්වීමක් පසුගිය 30 වැනිදා පැවැත්විණි. ඒ අනුව කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් භෞතිකව රුස් නොවුණු කැබිනට් මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ Zoom තාක්ෂණ භාවිත කරමින් රැස්විය. මෙම කැබිනට් හමුවේ ප්‍රධානතම මාතෘකාව වූයේ කෝවිඩ් වැළඳුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සම්බන්ධ කතිකාවයි. මෙහිදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලිසබ්‍රි මහතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් සිදුකළේය. ඔහු භූමදානය වෙනුවෙන් අවසර ඉල්ලා සිටියේය.

මට මුස්ලිම් සමාජයෙන් බලපෑම් තියෙනවා. බලපෑම් විතරක් නෙවෙයි තර්ජනත් තියෙනවා යනුවෙන් ඔහු කියා තිබුණි. එසේම &ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින ඔයාට අපේ ජනතාවගේ මූලික ආගමික අයිතිවාසිකම්වත් රුකගන්න බෑ* කියා මුස්ලිම් සමාජය තමාට දෝෂාරෝපණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මේ ආදී වශයෙන් තවදුරටත් කරුණු දැක්වූ අලි සබ්‍රි මහතා අවසානයේ නැවත නැවත මුස්ලිම් භූමදානය වෙනුවෙන් අවකාශ ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමට ඉදිරිපත් විය.

සබ්‍රි ඇමතිතුමා මේකේදී කාරණා කිහිපයක් සලකා බලන්න ඕනෑ. මේ රටේ බහුතර ජනතාවගේ මතයත් සලකා බලන්න අවශ්‍යයි. මිනිස්සු බයෙන් ඉන්නේ සිරුර භූමදානය කළොත් නැවත වසංගතය එන්න ඉඩ තිබෙනවා කියලා මිනිස්සු තුළ විශ්වාසයක් තිබෙනවා. මේකට බහුතර සමාජයෙන් විරෝධය එල්ලවෙන්න පුළුවන්. මේකට අධිකරණ කටයුත්තකුත් තියනවා. ඒ අනුව කටයුතු කළොත් තමා හොඳ. ආදී වශයෙන් මෙවර ජනාධිපති පැහැදිලි කළේ අවධාරණාත්මකවය. අධිකරණ තීන්දුව ලැබුණේ මෙදිනය. ඒ අනුව කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙදින එය සිදුවූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදීය.

කෙසේ වෙතත් Zoom කැබිනට් හමුවේ බන්දු ගුණවර්ධන මහතා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් මේ හා සම්බන්ධව අදහස් දැක්වූහ. ඇතැම් අය මධ්‍යස්ථ මත ප්‍රකාශ කළ අතර අවසර ලබාදීමේ ගැටලුවක් නොමැති බව විශ්වාස කරන්නෝද සිටියහ. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවට සහ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය ඉඩදීමට අවසානයේ තීන්දුව විය.

ස්වාධීන කොමිෂන් සභා සඳහා ජනාධිපති නාමයෝජනා ලබාදීම පසුගිය සතියේ සිදුවූ වැදගත් සිදුවීමක් වූයේය. මීට ඉහතදී ද කතානායකවරයා වෙත මෙම නම් ලැයිස්තු තාවකාලිකව යොමුකර තිබුණි. මානව හිමිකම් කොමිසමේ පත්වීම් සම්බන්ධව කතානයකවරයා පනත අනුව සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් එහිදී පෙන්වා දෙන ලදී. ඒ හේතුවෙන් ජනාධිපති අදාළ නාමලේඛන තුළ සංශෝධනය කිහිපයක් සිදුකිරීමට කටයුතු කළේය. අවසානයේ සඳුදා සවස් වනවිට ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධ නාමලේඛන ජනාධිපති විසින් පාර්ලිමේන්තු සභාව වෙත යවනු ලැබුවේය.

මේ සියල්ල අතරේ ආණ්ඩු හමුවේ අලුත් ප්‍රශ්නයක් දිග හැරෙන්ට විය. ජනාධිපති හමුවට පැමිණිම ජ්‍යෙෂ්ඨ සංස්ථා මණ්ඩලය සභාපතිවරු කිහිප දෙනෙක් විශේෂ ඉල්ලීමක් කළහ. අපි මේ ආයතන භාරගත්තේ අවුරුද්දක කාලයක් සඳහා පමණයි. ඒ නිසා දැන් අපිව මුදාහරින්න. ඔවුහු ඉල්ලා සිටියහ. මෙහිදී මුල්ම ඉල්ලීම ඉදිරිපත්වූ මේ ආයෝජන මණ්ඩලයේ සභාපති ජෝන්ස් කීල්ස් ආයතනයේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතාගෙනි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පවා ජනාධිපති හමුවේ තැබුවේය. මීට අමතරව අපනයනය සංවර්ධනය මණ්ඩලයේ සභාපති සුභසිංහ මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ප්‍රධානීහු මෙලෙස තනතුරුවලින් ඉවත්වීමට ඉල්ලීම් ඉදිරිපත් කළහ.

මේ අතර සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව එළිදැක්වීමට ගොස් සිදුවූ අලකලංචියක් පිළිබඳවද දේශපාලන ආරංචි ලැබුණි. මෙය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වුණ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුවූ සිදුවීමකි. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කළේය. නව ව්‍යවස්ථා ඉදිරිපත් වනතුරු ඒ පිළිබඳ තතු බොහෝදෙනා දැන සිටියේ නැත. ව්‍යවස්ථාවේ සැකසීම රහසේ සිදුවී තිබුණි. එනිසාම ලද සැණින් මෙය කියවා බැලූ නවක මන්ත්‍රීවරු රුසක් මීට විරෝධය පෑහ. එය ඒකාධිපති ව්‍යවස්ථාවක් බව ඔවුහු කියන්නට වූහ.

දේශපාලන ආරංචි අනුව මෙම ව්‍යවස්ථාවේ පක්ෂ නායකයා පත්කර ගන්නා ආකාරය පක්ෂ නායකයා ඉවත් කරන ආකාරය පිළිබඳ කිසිදු සඳහනක් තිබී නැත. පක්ෂයේ විධායක සභාවට යෝජනා වී තිබූ සමාජිකයන් සංඛ්‍යාව සියයකි. විධායක සභාවේ සියලුදෙනා පත් කරන්නේද පක්ෂයේ පක්ෂ නායකයා විසිනි. පක්ෂයේ තනතුරු පත්කිරීමේ බලය පක්ෂ නායකයාට හිමිය. මේ අනුව මතුවූ විරෝධයේ ප්‍රධාන චරිතයක් වී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. ව්‍යවස්ථාව සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතා කරුණු පැහැදිලි කරන විට හරීන් ප්‍රනාන්දු මහතා සභාවෙන් නැගිට ගිය බව අසන්නට ලැබුණි.

පසුව පැතිර ගිය ආරංචි අනුව පක්ෂ ව්‍යවස්ථාව සැකසීමට ජලනි ප්‍රේමදාස මහත්මියද මූලිකත්වය ගත් බව කියැවිණි. මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ෆර්මාන් කාසීම්, තිසර විජේවර්ධන, ලක්ෂ්මන් ෆොන්සේකා, රවී ජයවර්ධන යන අයගේ නම් සඳහන් විය. මෙම ආරංචි අනුව සජබ ව්‍යවස්ථා අර්බුදය පිළිබඳ බොහෝ කතා නිර්මාණය වී තිබුණි. 

මෙම අර්බුදය හමුවේ ව්‍යවස්ථාව සම්බන්ධව අධ්‍යයනයට දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. රංජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, කබීර් හෂීම්, මනූෂ නානායක්කාර, තලතා අතුකෝරළ, නිරෝෂන් පෙරේරා ආදී පිරිසක් ඊට ඇතුළත් වූහ. ලැබී ඇති තොරතුරු අනුව ගෙවුණු සතිය පුරා අවස්ථා කිහිපයක දී ඔවුන් හමුවී ඇත. එසේම සිකුරාදා ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යන බවද කියැවුණි. කෙසේ වෙතත් අප මෙම සටහන තබන මොහොත වනවිටත් සජබ ව්‍යවස්ථාව සම්මත වී නැත.

මහර බන්ධනාගාරයේ සිදුවීම ගෙවුණු සතියේ දැවැන්ත මාතෘකාවක් විය. ඒ අතර සිදුවූ ඇමැති මාරුව පිටුපසද වෙනම කතාවක් තිබුණි. විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කිරීමට ජනපති කටයුතු කළේය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට පැවරුණි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අමාත්‍යය ධූරයේ මාරුවීම පිළිබඳ කටකතා මීට සති කිහිපයකට ඉහත සිටම පැතිරී තිබුණි. නමුත් අවසාන සිදුවීම වූයේ මහර සිදුවීමයි. සිදුවීමෙන් පසු ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනපති හමුවට පැමිණ විශේෂ ඉල්ලීමක් කළේය. කාන්තාවක් ලෙස තමන්හට මෙවන් සිදුවීමකදී ඇතිවන අපහසුතා පිළිබඳ පැහැදිලි කළ ඇය වෙනත් වගකීමක් පවරන්නේ නම් සතුටුවන බව කියා සිටියේය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳ සාවධානව සලකා බැලුවේය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රජාව සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරියකි. එම නිසාම ජනාධිපතිවරයා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු නව අමාත්‍යාංශයක් ඇයට පැවරුවේය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ඇයට හිමිවිය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරියගේද වගකීමද යම් පමණකට බෙදීයාමක් සිදුවිය. කෙසේ වෙතත් සමස්ත ලෝකයේ වසංගතය පාලනය උදෙසා අමාත්‍ය ධූර නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් පවතී. එංගලන්තය එන්නත් ඇමැති කෙනෙක්ද පත් කළේය. එමනිසාම ජනාධිපති පත්වීම කෙරෙහි විපක්ෂයේ ප්‍රබල විරෝධයක් පවා නොවුණි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ වගකීම පැවරුණු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රථමයෙන්ම මහර බන්ධනාගාර නිරීක්ෂණයට ගියේය. සිදුවීම සම්බන්ධව සිදුවන විමර්ශන සම්බන්ධව සොයාබැලීමට සිදුවූ නිසාවෙන් ඔහු අතිශයින්ම කාර්යබහුල විය. මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුව බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගැනීම අරඹා තිබුණි. ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම කමිටුව පත්කෙරිණි. එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය පත්කරනු ලැබීය.

සමගි ජනබලවේගයද මහර ගැටලුව පිළිබඳ විශේෂිත අවධානයකින් කටයුතු කරමින් සිටියේය. එය කොතරම් විසල් උනන්දුවක් වීද යත් ගැටුම් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය විමසීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් බන්ධනාගාරයට වෙත ගියහ. නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, රෝහිණී කවිරත්න, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරු මෙසේ මහර බන්ධනාගාරයට ගිය පිරිස වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බන්ධනාගාර නිරීක්ෂණයට නීතිමය බලයක් ඇති බැවින් මෙය ගමන පිළිබඳ කිසිවකුට ප්‍රශ්න කළ නොහැකි විය.

මෙහිදී විශේෂ සිදුවීමක් සිදුවිය. විපක්ෂ මන්ත්‍රීවරුන් හමුවට ආ බන්ධනාගාර අධිකාරිවරයා විශේෂ ඉල්ලීමක් කළේය. 

ඔබතුමාලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට මේව බලන්න අයිතියක් තියෙනවා. ඒ වුණත් අපිව බයිට් කරන්න එපා යැයි ඔහු කීවේය. මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු සහ බන්ධනාගාර අසලට පැමිණ සිටි සිරකරුවන්ගේ ඥාතීන් අතරද සංවාදයක් ඇතිවිය. හරීන් ප්‍රනාන්දු සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ හඬනගන බවට ඔවුනට පොරොන්දු වූහ. එසේම කෝවිඩ් අවදානම පිළිබඳවද ඔවුන් දැනුවත් කිරීමට මන්ත්‍රීවරු කටයුතු කළහ. එසේම මෙම සිදුවීම මතින් දේශපාලනය නොකරන බව මන්ත්‍රීවරු මෙහිදී ජනතාවට කියා සිටියහ.
ගෙවී සතියේ කොවිඩ් සඳහා සොයාගත් දේශීය ඖෂධය පිළිබඳ තොරතුරු සමස්ත රටේම අවධානය දීනා ගත්තේය. කෝවිඩ් මර්දන කාර්යසාධක බලකායේ ඊට පවා අවධානය යොමු වූ අතර ජනාධිපති මේ සම්බන්ධව පරීක්ෂා කිරීමට මහචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කළේය. ධම්මික බණ්ඩාර වෙද මහතා දේශීයව නිපදවා ඇති එම ඖෂධය ආසාදිතයන්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී බදාදා (2) පස්වරුවේ පැවැත්විණි. මෙහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දේශීය ඖෂධය උගුරක් තොලගෑවේය. ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරෑප සහිත විස්තරය සමාජ මාධ්‍ය ජාලා රසවත් කරන්නට දායක විය. මේ සම්බන්ධව විවිධ උපහසාත්මක ප්‍රකාශ රුසක් සමාජ ජාල ඔස්සේ සංසරණය විය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය තවත් ගැටලුවකට මැදි විය. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස්දෙනකු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීම ඊට හේතුව විය. පසුගියදා ඔවුන් පස්දෙනා එම ධූරවලින් ඉවත් කරන බව දන්වමින් සෞඛ්‍ය ඇමති විසින් ඔවුන්ට ලිපියක් යැවීම මීට හේතුව වූයේය. වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත ඔවුන් එහි සාමාජිකත්වයෙන් ඉවත් කරන එම ලිපිය හරහා කියැවුණි.

එසේ නමුත් තමන් සභාපති ධූරයෙන් ඉවත්වන බව එහි සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. එහෙත් අනෙක් සාමාජිකයන් සඳහන් කර ඇත්තේ ඉවත් නොවන බවයි. වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීමේ බලය වෛද්‍ය ආඥා පනත අනුව සෞඛ්‍ය ඇමතිට ඇතත් ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැතැයිද සාමාජිකයෝ පෙන්වා දෙමින් සිටිති. මේ පිටුපස තත් දේශපාලන කාරණාවක් ඇති බව අපට ආරංචිය. මෙම සියල්ලන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කරන ලද්දෝය. පසුගිය කාලය පුරා ඔවුන් එම ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන නොගොස් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවශ්‍යතාව මත කටයුතු කළ බවට රජය චෝදනා නැගීය.

උතුරුකරයට ගෙවුණු සතිය කිසිසේත්ම යහපත් නොවුණි. බුරවි සුළි කුණාටු සමඟ දේපල හානි රුසක් උතුරෙන් වාර්තා විය. ඒ අතර දකුණ කැළඹෙන තවත් ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සිදුකළේය. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කොටි ත‍්‍රස්තවාදී රුඳවියන් 86 දෙනා වහාම යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවිය යුතු බව ඔහු මාධ්‍ය වෙත කීය. ඊට හේතු දෙකක් ඔහු සඳහන් කර තිබුණි. මැගසීන් බන්ධනාගාරයේ කෝවිඩ් ව්‍යාප්තිය සහ මහර බන්ධනාගාර කැරුල්ල එම හේතු දෙක විය.

මේ අතර බ්‍රහස්පතින්දා 03 වැනි දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා කොළඹ අගරදගුරු නිල නිවස වෙත පැමිණියේය. මෙහිදී ඇතිවූ සංවාදයේදී දේශපාලන ඩීල් එපා, පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැත්තම් වෙන අයට වගකීම දෙන්න වෙයි’’ යැයි යනුවෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා ඇති බව වාර්තා විය. අගරදගුරු හිමියන් ප්‍රහාර සම්බන්ධ විමර්ශන පිළිබඳ නොසතුටින් සිටින බව පසුගිය සමයේ වූ දේශපාලන ආරංචි මේ සමඟ තහවුරු විය. වාර්තා පරිදි අගරදගුරු හිමිපාණන් මෙහිදී පළකර තිබුණේ මෙවන් අදහසකි.

දැන් අපේ කතෝලික ජනතාව, දෙනෙත් විවෘත කරගෙන බලාගෙන ඉන්නේ මේ මහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත තත්ත්වය කවදාද එළියට එන්නේ කියන එක ගැන. කණ්ඩායමක් අල්ලාගෙන ඉන්නවා, නමුත් ඒ කණ්ඩායම ගැනත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනත් මොනවද තත්ත්වය කියලා මේ විග්‍රහය කෙරෙනවා ද කියන එක ගැන අපි අඳුරේ ඉන්නේ. දැන් මේ කොමිෂන් සභාවේ වැඩකටයුතු දෙසැම්බර් මාසයේ 20 වෙනි දා වනවිට ඉවර කරන්න තියෙනවා කියන නිව්ස් එක අද පත්තරේ ගියා.

ප්‍රශ්න කිරීම් අරවා මේවා සිදුවෙලා තියෙන්නේ, දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශනය කරපු නිලධාරීන්, ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි අවධානයක්, වැඩි දින ගණනක් යොමුවෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම, ඒකට අනුග්‍රහ දැක්වීම ඒ කාරණාවලට මුදල් හදල් ලබාදීම ඒවා පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ප්‍රමාණයක විමර්ශනයක් හෝ කරුණු විපරම් කිරීමක් සිදුවෙනවා ද කියන ප්‍රශ්නය තාමත් අපේ හිතේ ඇතිවෙලා තියෙනවා.

මෙම කරුණු කාරණාවලට අමතර අය වැය විවාදයේදී ද තවත් මාතෘකා රුසක් කරලියට ආවේය. ඊට මතර මහර සිදුවීම මහ විරු සැමරුම මෙන්ම බුරවි සුළි කුණාටුව කරලියේ මාතෘකා වූයේය.

 චමිඳු නිසල් ද සිල්වා

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00