2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

ජනපති අගමැති හමුවේ බැසිල් දැමූ යෝකරය

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 531

  • මහින්ද පත්කළ කමිටු වාර්තාව කැබිනට්ටුවට නොඑයි
  • ගම්මන්පිල කතා කරද්දී සංවේදී වෙයි
  • රුවන් පත්වීමෙන් පස්සේ රනිල් නායකත්වය ගැන කියූ කතාව
  • යන්න හදන අයට සජිත්ගෙන් තද කතාවක්
  • සමාජ මාධ්‍ය මඩ ප්‍රචාරවලට ජවිපෙ පිළිතුරු දෙයි
  • පාස්කු විමර්ශන කොමිසමේ ආවේගශීලී වූ හරීන්

දෙදහස් විස්සේ තිරගතවන විස්සේ කතාවේ පූර්ව ප්‍රචාරක පට දෙස මුළු රටම දෑස් දල්වා බලා සිටියි. විස්සෙන් තොර දේශපාලන කතාවක් නොවන තරමට විස්සෙන් දේශපාලනඥයෝ ඇවිස්සී සිටිති. එනිසාම ගෙවුණු සතියේ දේශපාලන කරළිය බඹරයක් වී එකම තැන කැරකුණා සේය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විපක්ෂයටත් වඩා ආණ්ඩුව තුළ වැඩි ඝෝෂාවක් වූ බව පෙනෙන්නට තිබුණි. ද්විත්ව පුරවැසිභාවය, ජනාධිපතිට නඩු පැවරිය නොහැකි බව, ඒකීයභාවය සඳහා වූ හත්වැනි උප ලේඛනය, විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම ආදිය මෙම ඝෝෂාවට හේතු වූයේය. ආණ්ඩුවේ පිරිසක් මේවාට විරෝධය පෑහ.

මෙම විරෝධයේ කොණක බැසිල් රාජපක්ෂ මහතාගේ නම නිතර නිතර අසන්නට ලැබුණි. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව තිබූ කරුණු වෙනස් කළේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නට ඕනෑ නිසා බව විපක්ෂයද කියන්නට විය. ආණ්ඩුවේ තිරය පිටුපස සිටි ඇතැමුන්ද මේ කතාව මුමුණමින් සිටියහ.

කල්ඇතුවම වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදී අමාත්‍යවරු කැබිනට්ටුවේදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පෙන්වා දී තිබුණි. එම විරෝධය නිසාම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංශෝධනයේ අඩුපාඩු සෙවීමට කොමිටියක් පත් කළේය. එම කමිටුවේ වාර්තාවද පසුගිය අඟහරැවාදා (15) අරලිය ගහ මන්දිරයේදී අගමැති අතට පත්විය. මෙහි බොහෝ කරැණු ඇතුළත් වූයේය. ඇමැති මණ්ඩල සීමාව තවදුරටත් පවත්වාගෙන යාම, විගණන කොමිසම 19ට අනුවම පවත්වා ගැනීම, පොලිස් පත්වීම් රාජ්‍ය සේවා කොමිසමට ලබාදීම, මැතිවරණ කොමිසමට පස් දෙනෙක් පත්කිරීම, ජනාධිපති පමණක් වලංගු වන පරිදි ද්විත්ව පුරවැසි භාවයේ බාධාව ඉදිරියට පවත්වාගෙන යාම ඒ අතර විය.

අඟහරුවාදා අගමැති අතට පත් මෙම වාර්තාව බදාදා කැබිනට්ටුවට ඉදිරිපත් වන බවට විශාල රාවයක් පැවතුණි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති සහ අගමැති වෙන වෙනම හමුවීමට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

සහ බැසිල් රාජපක්ෂ මහතා හමුවූයේ කැබිනට්ටුවට පෙරදා රාත්‍රියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුව කැබිනට්ටුවට කලියෙන් බදාදා පෙරවරුවේ සිදුවිය.

මම එන එකට නම් විරෝධය තියෙන්නේ මට පාර්ලිමේන්තු එන්න ඕනෑ නැහැ.  එළියේ ඉඳන් වැඩකරන්න ලේසියි. මම එළියේ ඉඳන් පක්ෂය හැදුවේ. එළියේ ඉඳන් තමා ප්‍රාදේශීය සභා දිනුවේ. එළියේ ඉඳන්ම තමා ආණ්ඩුවක් හැදුවේ. ඒ නිසා මං එන එකට අපේම කණ්ඩායම විරැද්ධ නම් මගේ අදහසක් නැහැ දැම්ම පාර්ලිමේන්තු එන්න. හැබැයි ඒ ගොල්ලන්ට කියන්න මේ සංශෝධනය 151 හොයලා දිනවලා පෙන්නන්න කියලා. මං මේ සංශෝධනය වැඩෙන් අයින් වෙනවා.

මේ ආදී වශයෙන් බැසිල් රාජපක්ෂ ජනාධිපති අගමැති හමුවේ කී බවට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මෙය ආවේගශීලී මත දැක්වීමක් විය. බැසිල්ගේ නම කියමින් කතා නොකරන ලෙස පෙර කැබිනට් හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරුන්ට අවවාද කර තිබුණේය. නමුත් තැන් තැන්වල කනින් කොනින් නිතර බැසිල් නාමය විස්ස සමඟ ප්‍රතිරාව නැංවිණි. බැසිල්ගේ සිත් වේදනාව පසුපස වූ හේතුවද එයම වූවක් මෙනි. කෙසේ නමුත් අවසානයේ ජනාධිපති, අගමැති සොහොයුරෝ සිය සහෝදරයා අස්වසාලීමට කටයුතු කළහ.

මෙම සිදුවීමත් සමඟම පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීපතම මැති ඇමතිවරු පිරිසක් ඔහු හමුවීමට ගියහ. සර් පස්සට යන්න එපා. සර් පස්සට ගියොතින් අපිට 20 වැනි සංශෝධනය සම්මත කරගන්න වෙන්නේ නෑ. සංශෝධනය කරගන්න තියෙන ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී කරගමු යැයි කීවේය.

ගෙවුණු සතිය මුලදී කාගේත් අවධානය දිනූ එජාප අර්බුදය එක්තරා කෙළවරකට පැමිණියේය. අවසානයක් නොවුණත් එය පරිච්ඡේදයක නිමාව විය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකත්වයට පත්කර ගත්තේය. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූයේ සඳුදා (14) රුස්වූ විට ඊට තිස් නව දෙනකු පමණ සහභාගී වූ බව කියැවුණි. එහිදී රවී කරුණායක සහ වජිර අබේවර්ධන මත ගැටුණේය.

උප නායකයා හැටියට දීර්ඝ කාලයක් වැඩකරලා තියෙනවා. දැන් එතැනදී අමුතුවෙන් නියෝජ්‍ය නායකයෙක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ ධූරයේ හිටපු නිසා ඒ ධූරයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබතුමා ඒකමතිකව මාව පත් කරාවි කියන එකයි මගේ විශ්වාසය යැයි රවි කියා තිබුණි. රවිට දොස් කී වජිර මම පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. හැබැයි සියලු දෙනාම එකතුවෙලා මට නියෝජ්‍ය නායකකම භාරදෙනවා නම් මං කැමතියි ඒක අරගෙන කරගෙන යන්න. යනුවෙන් කියා තිබුණි.

කෙසේ නමුත් අවසානයේ නියෝජ්‍ය නායකත්වය වෙනුවෙන් ඡන්දයක් පැවැත්විණි. එහිදී පක්ෂනායක රනිල් වික්‍රමසිංහ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය. ඡන්ද 28ක් රුවන් විජයවර්ධනටද ඡන්ද 10ක් රවී කරුණානායකට ලැබී තිබිණ. ඡන්දය ගණන් කර අවසන් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියූ බවද අසනට ලැබුණි. මේ ඡන්දය නියෝජ්‍ය නායක තනතුර සඳහා පවත්වන ඡන්දයක් පමණයි. නායකත්වය සඳහා වෙනම ඡන්දයක් පවත්වනවා.

විස්සේ රැඟුම් අතර කැබිනට් රැස්වීම බදාදා හැන්දෑවේ පැවැත්වුණි. සුපුරුදු පරිදි මෙවරද රට තොට විත්ති කැබිනට් තීරණ සියල්ල අවසානයේ නැවත පිරිස විස්ස ළඟ නැවතුණි. කෙසේ නමුත් විස්ස ගැන අගමැති කමිටු වාර්තාව කැබිනට්ටුවට ඉදිරිපත් වූයේ නැත. එහෙත් වාසු, විමල්, උදය පෙර කී කතාවම කියන්නට විය. අපි කතා කරන්නේ ආණ්ඩුව රැකගන්නට බව ඔවුහු කීහ. එහෙත් මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරමක් තදින් සිටියේය. ජනපති කීවේ මෙවන් කතාවකි.

මම ආණ්ඩුවක් ගත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා කියලා. ඉස්සෙල්ලා අපි 19ය අහෝසි කරලා ඉතුරු වැඩ ටික බලාගමු. අපි හොඳ ව්‍යවස්ථාවක් හදන්න කමිටුවක් පත්කරලා තිබෙනවා ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. ඉස්සෙල්ලා අපි 19ය අහෝසි කරලා ඉමු. පස්සේ අපි හොඳ ව්‍යවස්ථාවක් ගේමු. නරක දේවල් අයින් කරමු. ඒකට මගේ කිසිම විරෝධයක් නෑ. අනික බැසිල් රාජපක්ෂ එන්න ඕනෑ කියලා එකක් නෑ. බැසිල්ට පාර්ලිමේන්තු එන්න ඕනේ නෑ කියලා එයා මට දැනුම් දුන්නා. මෙතැන බැසිල්ගේ ප්‍රශ්නයක් ඇතිකර ගන්න අවශ්‍යතාවක් නෑ.

ජනාධිපති කතාවෙන් පසු අමාත්‍ය උදය ගම්මන්පිල කතා කරන්නට විය. මං ආණ්ඩුවට බොහෝම ආදරය කෙනෙක් බව කියමින් උදය ඇරැඹූ කතාව දීර්ඝ වූයේය. 20 ඇතැම් කරැණු නිසා විපක්ෂයේ අයට අපට පහරදීමට ඇති අවස්ථාව වැඩි බව ඔහු කීවේය. කතාව අතරතුර උදය සංවේදී විය. ඇස්වල කදුළු පිරුණු බවද දේශපාලන ආරංචි අතර විය. කෙසේ නමුත් උදය අසල සිටි අමාත්‍ය රමේෂ් පතිරණ  හැඟීම්බර නොවන ලෙස ගම්මන්පිල මහතාට කියා තිබුණි. අවසානයේ ජනාධිපතිවරයා 20ට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදුකර ගමු යැයි කියා තිබුණි. විමල් වීරවංශද, වාසුදේව නානායයක්කාරද සංශෝධනයේ ඇතැම් වගන්ති ගැන කතා කළේ අසතුටිනි. එහෙත් ජනපතිගේ කතාවෙන් පසු ඒ කතා නැවතුණි.

සමගි ජන බලවේගයද විසිවැනි සංශෝධනය අල්ලාගෙන සිය ආණ්ඩු විරෝධී ව්‍යාපාර දැඩිව මෙහෙයවනු පසුගිය සතියේ නිරීක්ෂණය විය. එහෙත් විපක්ෂයේ මන්ත්‍රී සහාය විස්සට ලැබීම ගැන කතාව ආණ්ඩුවේ ඇතැමුන් කී නිසා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තරමක් ආවේගශීලී වී සිටියේය. මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පිළිබඳ පැතිර ගිය කතාව ඉන් මීට ප්‍රධාන හේතුවක් වූ බව කියැවුණි. අඟහරැවාදා (15) &20 පරදවමු - බල වියරුවට එරෙහි වෙමු* තේමාව යටතේ 19න් ඉදිරියට ජාතික ව්‍යාපාරය කොළඹ නව නගර ශාලාවේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. ප්‍රේමදාස මහතා මෙහිදී කතාකර තිබුණේ ටිකක් තදටය.

අපි දන්න ආකාරයට සමගි ජනබලවේගයේ කිසිම කෙනෙක් තමන් වදාපු අම්මා තාත්තා පාවා දීලා, ලොවට බිහිකරපු දෙමාපියන්ට අපහාස කරමින් මුදල් සූට්කේස්වලට යටත් වෙන්නේ නැහැ. මොන යම් හෝ ආකාරයකින් යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එහෙම තීන්දුවක් ගත්තොත් එම කණ්ඩායම් සමග කිසිදු දේශපාලන සම්බන්ධතාවක් අපි ඉදිරියට පවත්වන්නේ නැහැ. මෙම ප්‍රකාශ සමඟ සමගි ජනබලවේගයේ තවත් පිරිසක් වෙනම කතාවක් කියා තිබුණි. ආරංචි වූ පරිදි හකීම්, බදියුදීන් ආණ්ඩුවට යනවා නම් ඊට ඉඩදීම සුදුසු බව ඔවුන් කියූ බව දේශපාලන ආරංචි විය.

මේ අතර බ්‍රහස්පතින්දා (17) විශේෂ සිදුවීමක් සිදුවිය. සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප නැවත ගණන් කරන ලෙස මාතලේ දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් තරග වැදී තේරී පත්නොවූ අපේක්ෂකයෙකු වන හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. මෙහිදී පෙත්සම්කාර රංජිත් අලුවිහාරේ මහතා කියා තිබුණේ ඉකුත් මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා සිදුවූ බවය. එසේම මැතිවරණයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් තේරී පත්වූ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය හා තමන් ලැබූ ඡන්ද සංඛ්‍යාව අතර වෙනස ජන්ද 416 ක් පමණක් බවද පෙන්වා දී තිබේ.

මේ අතර විස්සේ සුජාතභාවය පිළිබඳ දැවැන්ත සංවාදයක් ඇතිකිරීමට විපක්ෂය සමත් විය. කෙසේ නමුත් මෙම සංවාද අතර ජනාධිපතිවරයා විස්සේ වගකීම භාර ගත්තේය.

විස්ස හැදුවේ නීති කෙටුම්පත් සම්පාදක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා කීවේය. ඒ අනුව දැන ගන්නට ඇති පරිදි ජනපති අගමැති අතුළු පිරිසක් සකස් කර දුන් සංකල්ප පත්‍රයක් අනුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කර ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි. එහි සිටින ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන් විසින් මෙම සංශෝධනයට අදාළ ලියැවිල්ල සකසා ඇත. ඒකීයභාවය සම්බන්ධව දිවුරැම ඇති හත්වැනි උප ලේඛනය ඉවත්වීම එහිදී සිදුවූ අත්වැරදීමක් බවද බව කියවේ.

විස්ස ගැන නොනිමි කතා අතර සතිය අග වනවිට කියවුණු කතා කිහිපයක් විය. ගැසට් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා තිබුණි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 20 වැනි සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගන්නා බව කැබිනට් මාධ්‍ය හමුවේදී කීවේය. කෙසේ වෙතත් අලුත්ම තත්ත්වය නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර මේ වනවිට දින 14ක් සම්පූර්ණව ඇති බැවින් මින් ඉදිරියට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකි වීමය. ඒ අනුව ලබන 22දා මේ සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇත.

ජාතික ජන බලවේගය ද කතා කළේ විස්ස ගැනමය. ඊට අමතරව ගව ඝාතනය තහනමට  සම්බන්ධ ආණ්ඩු මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයටත් සමඟ සමාජ ජාල තුළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් සිදු කළ බව දක්වමින් විවිධ ප්‍රකාශ දැක්වුණි. "හරක් මස් පෝෂ්‍යදායි ආහාරයක්. ගව ඝාතනය තහනම් කිරීම නිසා මුස්ලිම් ප්‍රජාවේ  දරැවන් අතර මන්දපෝෂණය පැතිර යාමේ විශාල අවදානමක් තිබෙනවා” සහ  “ මස් පිණිස ගවයන් මැරීමේ ඇති වරද කුමක්ද? එම තහනම තවත් ජනවර්ගයකට කරන මහත් අසාධාරණයක්" මේ අතර විය.

කෙසේ වෙතත් එම ප්‍රකාශ ව්‍යාජ ලෙස සකසන ලද ඒවා බව එම පක්ෂය කියා සිටියේය. ජාතික ජන බලවේගය මෑත කාලීනව මුහුණු දී සිටින මෙවන් මඩ ප්‍රහාර සම්බන්ධව ඔවුන් සිටියේ දැඩි ගැටලුවකි. සමස්තයක් ලෙස මෙම ප්‍රහාර එල්ල වී තිබුණේ අනුර කුමාර දිසානායක, නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක ආදී පිරිසක් ඉලක්ක කරගෙනය. මේ ප්‍රචාරයන්ට පිළිතුරු දැක්වීමට ඔවුහු උත්සුක වූහ. අනුව වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නිල ෆේස්බුක් පිටුවේ 2/3 ක්ම ලැබුණත් වසලකම අඩුවක් නැති රාජපක්ෂ මඩ බලකායේ නිර්මාණයකි.” යනුවෙන් පළකොට තිබුණි. 

හරීන්ගේ කෝපය සතිය අග කැපී පෙනුණු සිදුවීමක් විය. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි හරීන් ප්‍රනාන්දු සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධව විමසීමට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ ඔහුව කැඳවා තිබුණි. මෙහි ඇතිවූ උණුසම් තත්ත්වයට හේතු වූ සිදුවීම් දෙකකි. ඉන් එකක් නම් මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරැදින උදෑසන දිව්‍ය පුජාවක් පවත්වන පසුබිමක, පසුගිය වසරේ පමණක්  කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබද විශේෂ විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමට දැන්වීමයි. කෙසේ නමුත් ඊට විරෝධය පෑ අගරදගුරුතුමාගේ නීතීඥයවරයාගේ පැහැදිලි කිරීම් හමුවේ එම ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ අදහසක් පමණක් බවත් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළ බවත් හරින් පිළිගෙන තිබේ.

ඉන් අනතුරැව ගැටලුවට තුඩු දී ඇත්තේ නීතිඥවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයකු පිළිබඳ විමසීමයි. ඒ සමඟ මන්ත්‍රීවරයා නොසන්සුන් වී ඇත. ඔහු ආවේගශීලීව නීතීඥවරයාට විත්ති කූඩුවේ සිට දෝෂාරෝපණය කර තිබේ. මන්ත්‍රීවරයාගේ ආවේගශීලි හැසිරීමත් සමඟ කොමිසමේ සභාපති විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කර ඇති අතර කොමිෂන් සභාව තුළ සාක්ෂිකරැවකු වන ඔබ නීතීඥවරයකුට අගෞරව වන ලෙස හැසිරීම කොමිසමට අගෞරව කිරීමක් සේ සලකන බව කියා ඇති බවට තොරතුරැ වාර්තා ඇත.

මේ අතර පාර්ලිමේන්තු  මන්ත්‍රී නිල නිවාස ගැටලුවද පිළිබඳව ද පසුගිය සතියේදී මතුවිය. මේ වනවිට  මාදිවෙල නිල නිවාස සැප පහසු නොමැති වීම පිළිබඳ ගැටලුවක් ද මතුව තිබේ. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස මේ වනවිට පැරණි තත්ත්වයේ පැවතීම නිසා  පාර්ලිමේන්තුවට සමීප වෙනත් ස්ථානයකින් නිවාස සැපයීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ද සාකච්ඡා වී ඇති බව දැන ගන්නට ලැබුණි. ඒ සමඟම තලවතුගොඩ කළල්ගොඩ ප්‍රදේශයේ රජය විසින් ඉදිකර ඇති නිවාස සංකීර්ණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව කියවේ.

මීට අමතරව නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලු මතුව තිබේ. ඒ මැතිවරණයේ පරාජයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මෙතෙක් තමන් රැඳී සිටි නිල නිවාස භාර නොදීම හේතුවෙනි. මේ හේතුවෙන් දුර බැහැර සිට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීමට පැමිණෙන බොහෝ නවක මන්ත්‍රීවරුන්ට පෞද්ගලික නවාතැන්පොළවල නවාතැන් ගන්නා බව කියා ඇත. තවද කැබිනට් අමාත්‍යවරැන් තමන්ට හිමි නිල නිවසට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි නිල නිවාස ද ලබාගෙන ඇති බවට පසුගිය දා මාධ්‍ය අනාවරණය කරගෙන තිබුණි.

 චමිඳු නිසල්

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00