2020 මැයි 16 වන සෙනසුරාදා

ප්‍රභාකරන්ට දොස් කී සුමන්තිරන් මහින්දගේ ගෙදර

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

  • රණවිරුවන්ට කොරෝනා බෝ කිරීමේ වගකීම රජය භාරගත යුතු යැයි සජිත්ගෙන් චෝදනා
  • ව්‍යවස්ථා සභාවේදී මැකෝගේ පුතාගේ ප්‍රශ්නය සාකච්ඡාවට
  • ඡන්දය ගැන දිනේෂ් ජී. එල්. මත දෙකක
  • රැස්වීම් නැතුව ඡන්ද කරන්න බැරි බව ජ.වි.පෙ. නායකයා කියයි
  • කොරෝනා වර්ධනය ගැන ගම්මන්පිලගෙන් හෙළිරුව්වක්
  • නීතිපති මැතිවරණ කොමිසමට බැහැ කියයි
  • බන්ධනාගාර ගත කළ රාජිත නිරෝධානයට 

සති හතකට පසු රටේ මෙතෙක් පැවති ලොක්ඩවුන් එක ලිහිල් වුවද දේශපාලන ක්ෂේත්‍රයේ ලොක්ඩවුන් එක තවමත් ක්‍රියාත්මකය. මේ සතිය වනවිටත් ඉදිරි මහ මැතිවරණය පවත්වන දිනය අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබේ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය තවත් සති දෙකක් පමණ ක්‍රියාත්මක වනු ඇතැයි වාර්තා වන නිසා සියලු පක්ෂවල දේශපාලන කාර්යාල ද වසා දමා තිබේ. එහෙත් සිරිකොත හා නෙළුම් මාවත කාර්යාලවල මේ සතියේ සිට සීමිත දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත. සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය තවමත් විවෘත කර නැත. ජ.වි.පෙද සිය මූලස්ථානයේ සිට සීමිත කටයුතු දියත් කර තිබේ. ඔවුන් මෙවර මැයි දිනය පවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති අන්තයේ නුවරඑළිය අගමැති මැඳුරට ගියේ තොණ්ඩමන් ඇතුළු වතුකර නායකයන් මුණගැසී ඒ ප්‍රදේශයේ කොරෝනා සහන කටයුතු ගැන සොයා බැලීමටත් ඉදිරි මහ ඡන්දය ගැන ප්‍රදේශයේ දේශපාලන නායකයන් සමඟ අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමත්ය.

ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතා ගිය සඳුදා හදිසියේම විසිර ගිය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව කැඳවා තිබිණි. එය 11 සඳුදාම පැවැත්විය යුතු බැවින් කරු මුලින්ම ආරාධනා කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටයි. ඔහු ඒ වනවිට සිටියේ නුවරඑළියේය. සඳුදා දිනය තමන්ට තරමක් අපහසු බවත් කොළඹට පැමිණෙන්නේ දහවල් බවත් මහින්ද කරුට කීය. එසේනම් රාත්‍රී කාලයේ හෝ මෙම හමුව පැවැත්වීම උචිත බව කරු යෝජනා කළේය. ඒ අනුව සඳුදා සවස 4.30ට කතානායක නිවසේදී ව්‍යවස්ථාදායක සභාව රැස්විය. මේ ගැන මුලින් ප්‍රකාශ කර තිබුණේ ස්වාධීන කොමිෂන් සභා ගණනාවකින් ව්‍යවස්ථා දායක සභාව වෙත එවන ලද වාර්තා ගණනාවක් සාකච්ඡා කිරීමට එය කැඳවන ලද බවය. පාර්ලිමේන්තුවත් විසිර ගොස් තිබුණද එම කාලය තුළ අවම වශයෙන් මසකට වරක්වත් එම සභාව හිටපු කතානායකවරයාට කැඳවීමට බලය තිබේ.

ඒ අනුව සඳුදා සවස 4.30ට කතානායක නිල නිවසේදී ව්‍යවස්ථා සභාව හමුවිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සාමාජිකයෝ ඊට එක්වූහ. මෙය සාමාන්‍ය රැස්වීමක් වුවද ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු ගැන සාකච්ඡා කිරීමටත් ඒවායෙන් එවා තිබූ වාර්තා සමාලෝචනයටත් පියවර ගැනුණි. පළාත් සභා පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධව මෙහිදී පක්ෂ නායකයන්ගේ අවධානය යොමු කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එය විසඳීමට ප්‍රතිඥා දුනි. ඉන්පසු සාකච්ඡාවට ගැනුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ පුත්‍රයා පිටරටක සිට මේ රටට කැඳවාගැනීමේ සිද්ධියයි. මේ ගැන මැතිවරණ ප්‍රධානියා ද ව්‍යවස්ථා සභාවට ලිපියක් එවා තිබුණි. මෙහිදී මැ.කෝගේ පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඔහු තමන්ගේ තනතුරේ බලය අවභාවිත කර ඇත්තේද යන්න ගැන අවධානයට ලක්විය. නමුත් මේ ගැන අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා හිටපු කතානායකවරයා ප්‍රමුඛ සියලු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සඳහන් කළේ එය හුදෙක් පියෙකු තම පුත්‍රයා වෙනුවෙන් සද්භාවයෙන් කළ ක්‍රියාවක් බවය. එහිදී ඔහු තමන්ගේ තනතුරේ බලය අවභාවිත කර නැතැයිද බොහෝ දෙනා ප්‍රකාශ කළහ. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වරදක් කර නැතැයි නිගමනය කෙරිණි.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා නියෝග කරමින් නිකුත් කළ ගැසට්ටුව අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලමින් ජ්‍යෙෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 7ක් ගොනු කර තිබිණි. එම පෙත්සම් ගිය සඳුදා අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලක් හමුවේ සලකා බැලුණි. මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව ප්‍රකාශ වූ අතර එහි සාමාජික රත්නජීවන් හූල් වෙනුවෙන් පෞද්ගලික නීතීඥවරයකු පෙනී සිටින බව ප්‍රකාශ විය. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ දෙමළ සන්ධාන මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සම් විභාග සිදුකර හමාර කරන තුරු ඡන්දය පැවැත්වීමේ කටයුතු අත්හිටුවන්නට මැතිවරණ කොමිසමට අතුරු තහනමක් ලබා දෙන්නැයි උසාවියෙන් ඉල්ලා සිටියේය. එහෙත් අගවිනිසුරැවරයා එය ප්‍රතික්ෂේප කරමින් ලබන 18 සහ 19 දෙදින නඩු සියල්ල විභාග කරන බව දැන්වීය. ඒ සඳහා පූර්ණ විනිසුරැ මඬුල්ලක් පත් කරන්නැයි වග උත්තරකාර පාර්ශවයේ නීතීඥවරැ ඉල්ලා සිටියහ.

මෙම කටයුතු අතරතුර මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කරන්නට සූදානම් වන බැවින් එසේ කිරීමෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු දියත් වන නිසා කොරෝනා මර්දනයට එයින් බාධාවක් සිදුවන බව සුමන්තිරන් නීතීඥවරයා අධිකරණයට දැන්වීය. නමුත් ඒ ගැන මැතිවරණ කොමිසමට නියමයක් නොකළ අධිකරණය උසාවි නියෝගයක් ලැබෙන තෙක් මැතිවරණ සංවිධාන කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යන්නැයි මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.

ඒ සමඟ මැතිවරණ කොමිසම අවශ්‍ය මැතිවරණ කටයුතු සඳහා සෞඛ්‍ය අංශයේ උපදෙස් පැතීය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ කමිටුවක් මගින් ඡන්දය පැවැත්වීම ගැන සැකසූ නිර්දේශ කොමිසමට භාර දුන්නේය. ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ඇඟිලිවල දම් පැහැ තීන්ත තැවරීමෙන් රෝගය ව්‍යාප්ත වීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය බලධරයන් විසින් පෙන්වා දී තිබිණි. ඒ නිසා ඇඟිල්ලට තීන්ත විඳීමේ උපකරණ ලබාගෙන ඒ මගින් ඇඟිලි පාට කිරීමේ ක්‍රමයක් පසුගියදා කොමිසම අත්හදා බැලීය. ඒ සමඟම ඡන්දයට අවශ්‍ය මුඛ ආවරණ සහ සෞඛ්‍යාරක්ෂිත දෑත් පිරිසිදු කාරක මිලට ගැනීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.

පසුගියදා රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසමෙන් විමසා තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා චීනයෙන් ගෙන්වන ආරක්ෂිත කඩදාසි ඇණවුම් කරන්නද කියායි. මුලින් එය පමා කරන ලෙස කීවද දැන් එම කටයුතු ඉදිරියට කරගෙන යෑමට අනුමැතිය දී ඇතැයි දැනගන්නට තිබේ. 

කෙසේ වෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව අධිකරණ නියෝගයක් නොලැබුණත් මැතිවරණය ජූනි මස 20 දින නොපැවැත්වෙනු ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් රජයේත් විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් බහුතරයක් කියන්නේ මහ මැතිවරණය ඉක්මනින් තබා හමාර කරන ලෙසය. ඊට හේතු වී ඇත්තේ පවත්නා කොරෝනා ප්‍රශ්නය නිසා නිතරම ජනතාව ඡන්ද අපේක්ෂක හිටපු මන්ත්‍රීන්ගෙන් විවිධ සහනාධාර අපේක්ෂා කරන බැවිනි. ආධාර බෙදලා දැනටමත් අපි නට්ටං වෙලා යැයි කියන මන්ත්‍රීන් පිරිස විශාලය. අප වෙත වාර්තා වෙන ආකාරයට ජූලි මස දෙවැනි සතියේ පමණ මහ මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ සැලසුමයි. එය බොහෝවිට ජූලි 11 වැනි දිනක පැවැත්වීමට ඉඩ ඇතැයි ද කියැවේ. එහෙම් මේ තොරතුරු සියල්ල නිල නොවන ආරංචිය.

පවත්නා අර්බුදකාරී තත්ත්වය ගැන සාකච්ඡාවකට ගිය අඟහරැවාදා උදෑසන මැතිවරණ කොමිසම විශේෂ රැස්වීමක් පැවැත්වීය. එහිදී නොයෙක් තර්ක විතර්ක මැද තීන්දු කර ඇත්තේ මේ සතියේ මැතිවරණයට අදාළ මනාප අංක නිකුත් නොකිරීමටයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඊට හේතු ලෙස පෙන්වා දී ඇත්තේ ලබන 18 දා සහ 19 දා මහ මැතිවරණයට අදාළව නඩු 7ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙන බැවින් එහි තීරණය අනුව ක්‍රියා කිරීම යෝග්‍ය බවය. මෙම මස 15 දිනට මනාප අංක ලබා නොදී ඒ ගැන තීන්දුවක් ගැනීම මැයි මස 25 දින රැස් වී සිදු කළ යුතු යැයි ද කොමිසම තීරණය කර ඇත.

අඟහරැවාදාම සවස මැතිවරණ කොමිසම මෙරට පිළිගත් පක්ෂවල ලේකම්වරැන් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණි. එහි අරමුණ වූයේද මහ මැතිවරණය ගැන තීන්දුවක් ගැනීමයි. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ එහි මහ ලේකම් නීතීඥ සාගර කාරයවසම් මහතා කීවේ තම පක්ෂය ඕනෑම මොහොතක ඡන්දයට සූදානම් බවය. මැතිවරණය ජුනි 20 තැබීම ගැන ඔහු එකඟත්වය පළ කළේය. එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියා සිටියේ පවත්නා නඩු කටයුතු ඉවර වනතෙක් මනාප අංක නිකුත් නොකළ යුතු බවකි. එම සන්ධානයේම ජ්‍යෙෂ්ඨයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්පසු පැවසුවේ මනාප අංක ලබාදී මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගත යුතුය කියායි. ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර ඊළඟට කතා කළේය. ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසම ගන්නා තීන්දුවකට එකඟ බවත් වෛද්‍ය උපදෙස් මත තීරණයක් ගත යුතු වගත්ය. මන්ත්‍රීන්ට තවදුරටත් මෙම තත්ත්වය අල්ලාගෙන සිටීම අපහසු යැයි ද දයාසිරි කීය. කොරෝනා වසංගතය ඉක්මනින් හමාර නොවන නිසා අපට ඒ සමඟ තවකලක් ජීවත් වන්නට සිදු වෙතැයි ද ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් මේ මැතිවරණයේදි ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න අපට පොඩි රුස්වීමක්වත් තියාගන්න බැහැ. ජනතාව දැනුවත් කරන්න බැහැ. ඒ නිසා දැන්ම මැතිවරණ තියන්නේ නැතුව මේක කල් දාන්න යැයි ඉල්ලා සිටියේය. අනතුරැව මෛත්‍රී ගුණරත්න මහතා කීවේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා සහන සැලසුම් මණ්ඩලයේ සභාපති වීම සාධාරණ නැත කියායි. එවිට එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා තම පක්ෂයේ කිසිදු තනතුරක් නොදරන වගයි. එවිට අසාද් සාලි මහතා ද නිශාම් කාරියප්පර් මහතා ද ඒ ගැන අදහස් දක්වන්නට වූ අතර මහින්ද දේශප්‍රිය සභාපතිවරයා පැවසුවේ තමන් ඒ ගැන පොදු ජන පෙරමුණ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන්නට සූදානම්ය කියායි. මේ ආකාරයට දිගින් දිගටම පැවැති රැස්වීම අවසානයේ මෙම මස 25දා පමණ නැවත රැස්වීම හා මැතිවරණ දිනය තීන්දු කිරීම ගැන ප්‍රකාශ කරන වග මැතිවරණ කොමිසම පැවසීය. එයින් ගම්‍ය වන්නේ ලබන ජුනි මස 20 දින කලින් නියම කරගත් පරිදි මහ මැතිවරණය නොපැවැත්වෙන බවය.

පිවිතුරැ හෙළ උරැමයේ නායක මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙරට කොරෝනා රෝගය සම්බන්ධයෙන් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් කර තිබූ ප්‍රකාශවලට පිළිතුරැ දීමට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එමගින් ඔහු අවධාරණය කළේ විපක්ෂය කියන ලෙස රජයට කොරෝනා රෝගය පාලනය කරගැනීමට නොහැකිව ඇත යන්න බොරැ ප්‍රකාශයක් බවය. ඉන්දියාව ලංකාවට වඩා හොඳින් රෝගය පාලනය කරගෙන ඇතැයි විපක්ෂය නගන චෝදනාවට පිළිතුරු දුන් උදය ගම්මන්පිල මහතා කීවේ ඉන්දියාවේ රෝගය වර්ධන වේගය 142%ක් තරම් ඉහළ බවය. රැසියාවේ 151%ක ගුණයකින්, සිංගප්පූරැවේ 21%ක ගුණයකින් රෝගය වර්ධනය වන අතර ශ්‍රී ලංකාවේ වර්ධනය 13%න් ගුණයකි. එසේම රෝගයට පාත්‍ර වූවන් සුවවීමේ අනුපාතය 34%ක් බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ජර්මන් තානාපතිවරයා කොළඹදී මුණගැසුණි. ඔහු ජර්මන් තානාපතිගෙන් ඉල්ලා සිටියේ මෙරට කොරෝනා මර්දනය සඳහා තාක්ෂණික ආධාර ලබා දෙන ලෙසයි. සජිත්ගේ ඉල්ලීම සලකා බලා ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය උපකාර සිදු කරන්නට අපේක්ෂා කරන බව ජර්මන් තානාපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට කීය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කොරෝනාව සම්බන්ධයෙන් සිය පක්ෂ මතය ප්‍රකාශ කළේ 12දාය. ඔහු කීවේ රණවිරැවන් කොරෝනා රෝගයට ගොදුරැ කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු වගයි. කොරෝනාව දේශපාලන වාසි සඳහා යොදා නොගෙන වෛද්‍ය උපදෙස් පිළිගෙන ක්‍රියාකිරීම රජයේ වගකීම යැයි ඔහු පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මේ සඳහා හොඳින් වැඩ කරද්දි දේශපාලන නායකයන් තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීම වරදක් යැයි මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම රජයේ උසස් තනතුරැවලට විශේෂයෙන්ම ලේකම් තනතුරැවලට හමුදා නිලධාරීන් පත්කිරීම අනුමත නොකරන්නේ යැයි ඔහු සඳහන් කළේය.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමිසමට විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එම පැමිණිල්ල ඉදිරිපත් කළේ රාජ්‍ය ඇමැතිවරුන්ට තමන්ගේ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා ආණ්ඩුවේ නිල වාහන ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීන්දුවට එරෙහිවය. මෙය සහමුලින්ම නීති විරෝධී හා සම්ප්‍රදාය විරෝධී තීන්දුවක් බව පැමිණිල්ල භාරදීමෙන් පසු මන්ත්‍රීවරයා කීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මේ දිනවල දෙමළ ජාතික සන්ධානය තුළ අර්බුදකාරී චරිතයකි. ඔහු මාධ්‍ය හමුවේ කොටි සංවිධානයේ සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කරන බව කීමත් ප්‍රභාකරන් ගත් මග වැරදි බව කීමත් නිසා පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඔහුට එරෙහිව යුද ප්‍රකාශ කර ඇත. චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා සුමන්තිරන් පක්ෂයේ දරන සියලු තනතුරුවලින් ඔහු ඉවත් කළ යුතුයැයි පක්ෂ නායක සම්පන්දන් මහතාට දැන්වීය. සී. සිද්ධාර්ථන් හිටපු මන්ත්‍රීවරයා කීවේ මෙය ඔහු විසින් නොකළ යුතුව තිබූ ප්‍රකාශයක් බවයි. එහෙත් පක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සුමන්තිරන්ගේ කතාව ගැන එතරම් උදහස් වී සිටියේ නැත. ඔහු කීවේ මෙය සුමන්තිරන් මහතාගේ පෞද්ගලික අදහසක් බවය. ඒ ගැන එතරම් ගණන් ගත යුතු නැති බව සම්පන්දන්ගේ අදහස වී තිබිණි.

ඒ අතුරතුර සුමන්තිරන් මන්ත්‍රීවරයා ගිය අඟහරැවාදා රාත්‍රියේ හදිසියේම විජේරාම මාවතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගියේය. අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඔහු මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීම තවත් ආන්දෝලනාත්මක පුවත් මවන්නට සමත් වී තිබේ. සුමන්තිරන් එදින රාත්‍රී 7.30ට පමණ මහින්ද හමුවූයේ කලින් පක්ෂ නායක හමුවේදී ඉල්ලා සිටි පරිදි දෙමළ රුඳවියන් පිළිබඳ සාකච්ඡා කරන්නටයි. ඒ සමඟ ත්‍රස්ත චෝදනා මත බන්ධනාගාර ගණනාවක වසර කිහිපයක් තිස්සේ රඳවා සිටින තැනැත්තන්ගේ නාම ලේඛනයක්ද සුමන්තිරන් මහතා ඉදිරිපත් කළේය. එය පිළිගත් අග්‍රාමාත්‍යවරයා තමන් මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව පැවසීය.

යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. එම තීන්දුව ගනු ලැබුවේ මෙතෙක් ඔහු වෙනුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ ඇප නියෝගය අවලංගු කරන ලෙසත් එය නීති විරෝධී හා දෝෂ සහගත එකක් බවත් කොළඹ මහාධිකරණය විසින් තීන්දු කිරීම නිසාය. ඇප නියෝගය අවලංගු කළ පසු රාජිත වහාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සී.අයි.ඩී.යට නියෝග කළාය.

ඒ අනුව බදාදා සවස රාජිතගේ බත්තරමුල්ල හා කළුතර නිවෙස්වලට රහස් පොලිසිය ගියද ඔහු ඒවායේ රුඳී සිටියේ නැත. සමහරැන්ගේ මතය වූයේ රාජිත නැවතත් රෝහල් ගතවන්නට ඉඩ ඇති බවයි. නමුත් රාජිතගේ ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් දුන් නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වූයේ බන්ධනාගාර ආඥා පනත අනුව කිසිදු සැකකරැවකුට රටේ කිසිම පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්නට නීතිමය හිමිකමක් නැති බවයි. එසේ කළහොත් එය වරදක් බවද තීන්දු ප්‍රකාශයේ දැක්විණ. ඒ අනුව බදාදා සවස රාජිතගේ නීතිඥවරැන් වන කේ.ඩී. නවරාසා හා ගුණරත්න වන්නිනායක මහත්වරැන්ගේ උපදෙස් මත එම නීතිඥවරැද සමඟ සී.අයි.ඩී.යට ගිය හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ගෙන ආවේ රාත්‍රී 7.30ට පමණය.

ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවට ව්‍යාජ චෝදනා නිර්මාණය කළ බවට රාජිතට චෝදනා එල්ල වී තිබිණි. එම මාධ්‍ය හමුවේදී සුදුවෑන්වලින් මිනිසුන් පැහැරගෙන මොණරාගල කැලෑබද පළාතකට ගෙනගොස් මරා දමා වැවක කිඹුලන්ට කන්නට දුන් බවද ප්‍රකාශ විය. මේ ගැන සී.අයි.ඩී.යට ලැබුණු පැමිණිල්ලක් මත රාජිත ගැන පරීක්ෂණ පවත්වා මාධ්‍ය හමුවට එක්වූ අයද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් එහි සත්‍යය කතාව පාපොච්චාරණය කර තිබිණි. අනතුරැව මෙම නඩු කටයුත්ත ආරම්භ විය. මූලික විභාග අවස්ථාවේ රාජිතට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප ලබාදුන් නමුත් මේ සතියේ නීතිපතිගේ ඇපෑලක් පිළිගත් මහාධිකරණය ඇප අවලංගු කළේය. ඒ අනුව රාජිත ලබන 27 දක්වා රිමාන්ඩ් කෙරිණි. කොරෝනා රෝගය නිසා ඔහු මුලින් මීගමුව පල්ලන්සේන තරැණ වරදකරැවන්ගේ මධ්‍යස්ථානයට ගෙනගොස් නිරෝධායනය කර පසුව වැලිකඩට ගෙන ඒමට නියමිතය.

රාජිත අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ ඔහුගේ පුත් හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා කීවේ සැබෑ ජනතා සේවකයකු වන සිය පියා අත්අඩංගුවට ගැනීම ගැන ජනතාව කෝපයට පත්ව සිටින බවය. අධිකරණය මෙහිදී සාධාරණය ඉටුකරනු ඇති බවද ඔහු කීය. රාජිත අත්අඩංගුවට ගත් අවස්ථාවේ එ.ජා.ප.යේ රනිල් පිල හා සජිත් පිල යන කණ්ඩායම් දෙකම නියෝජනය කරන හිටපු මන්ත්‍රීන් පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.

යහපාලන රජයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සී.අයි.ඩීයට කැඳවා පැය 5ක් තිස්සේ ප්‍රශ්න කළේ ගිය බ්‍රහස්පතින්දාය. ඔහු කැඳවා තිබුණේ පසුගිය ජනාධිපතිවරණ දිනයේ පුත්තලමේ රැඳීසිටි පිරිසකට මන්නාරමට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 95ක් වැයකොට බස්රථ සැපයීමට නියෝගයක්දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. ප්‍රශ්න කිරීමෙන් අනතුරැව පිටතට පැමිණි මංගල සඳහන් කළේ ජනතාවගේ ඡන්ද අයිතිය රුක දෙන්නට තමන් ක්‍රියා කිරීම වරදක් වන්නේ කෙසේද කියාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ මාස 3ක වැටුප වන රැපියල් 295,000ක මුදල කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළේය. ඊට අදාළ ලිපිය ජනාධිපති වරයා සිය ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාට භාර දුනි. ඒ සමඟ ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ජින් පින් අතර දුරකතන සංවාදයක් ගිය බදාදා පවත්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එහිදී ගෝඨාභය ජනාධිපතිවරයා තමන් කොරෝනා රෝගය මර්දනයට ගත් පියවර විස්තර කළේය. චීන ජනාධිපතිවරයා ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන ලැබූ ප්‍රගතිය අගය කළ අතර සෑම විටම මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවේ සහයට සිටින බවද කීය.

  ප්‍රකාශ් ඉරැගල්බණ්ඩාර

 

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:47
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00