2019 ජුලි 27 වන සෙනසුරාදා

සජිත්ද රනිල්ද වාදයෙන් එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම රත්වෙයි

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 373

► එ.ජා.ප. අපේක්ෂක තෝරන්න රනිල් - කරු - සජිත් සාකච්ඡාවක්

► ජනපතිවරණය නියමිත පරිදි: පළාත් සභා කතා යට යයි

► කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට රිදෙන වාග් ප්‍රහාරයක්

► විපක්ෂයේ ලොක්කන්ගේ නඩු අහන විනිසුරන්ට එල්ලවන බලපෑම් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

► ගෝඨාභය ශ්‍රී ලංකාවට පැමිණෙයි: දෙසතියකින් ප්‍රචාරක වැඩ අරඹයි

► පොළොන්නරුවේ ගොවි පුතකු නිසා හැමෝම තමන් පාගන්න හදන බව ජනපති කියයි

ජනාධිපතිවරණයද පළාත් සභා ඡන්දයද යන කථිකාව රට තුළ ගොඩනැගී තිබියදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍යයට සඳහන් කර තිබුණේ ජනපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද පවත්වන්නට අදාළ සංඥාව තමන්ට ලැබුණු බවය. එහෙත් මෙරට ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ මැ.කෝ ගේ කතා පසෙක තබා ජනාධිපතිවරණයට සූදානම් වන ආකාරය පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා ඒ ගැන නීතිපති මාර්ගයෙන් උසාවියේ මතය විමසන්නට උත්සාහ කරන බවද සඳහන්ය. එහෙත් ස්වාධීන නීති විශාරදයන්, හිටපු නීතිපතිවරුන් හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගණනාවක් පොලිටිකල් රහස් තිරයට පැවසුවේ ජනාධිපතිවරයාට මිස නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට නීතිමය අවකාශයක් නැති බවය.

අගමැතිවරයා, විපක්ෂ නායක සහ කතානායකවරයාද සිටිනුයේ මැතිවරණ කාලසටහන අනුව ජනාධිපතිවරණය කලින් පැවැත්විය යුතුය යන මතයේය. ඒ නිසා දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම තම තමන්ගේ සන්ධාන සකස් කිරීමටත්, ප්‍රතිපත්ති සම්පාදනයටත්, අපේක්ෂකයන් තෝරාගැනීමටත් කටයුතු කරමින් සිටී. ඒ කිසිම පක්ෂයක් පළාත් සභා ඡන්ද ගැන කිසිදු උනන්දුවක් නැත. මේ හේතුව නිසා පළාත් සභා ඡන්දය ජනපතිවරණයට පෙර පැවැත්වෙන බවට වූ ප්‍රචාර යථාර්ථයක් නොවන්නට ඉඩ ඇතැයි පැවසේ.

එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් වී සන්ධානගත වන්නට සූදානම් පක්ෂ ලබන අගෝස්තු 05දා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් ස්ථාපිත කෙරෙන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. ඒ සඳහා සුළු ජාතික පක්ෂ ගණනාවක්ද සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ගණනාවකද සහාය ලැබෙන බව කියැවේ. මෙම පෙරමුණ තවමත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන අවධානය දක්වා ඇති බවක් වාර්තා නොවේ. දැනට පෙනෙන්නට ඇති ආකාරයට එ.ජා. පෙරමුණ එක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටත් ඔහු එ.ජා.ප.යෙන් තෝරාගැනීමටත් සැරසෙන බව දැනගන්නට ඇත.

පසුගිය කාලයේ එ.ජා. පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතාබහ වෙද්දී නම් ගණනාවක් යෝජනා වී තිබිණි. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය ප්‍රධාන වශයෙන්ද, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න ආදී නම් දෙවැනුවද යෝජනා විය. එහෙත් මේ බොහෝ දේ කතාවට පමණක් සීමා වූ අතර පසුගිය සතියේ දැනගන්නට ලැබුණු එ.ජා.ප. අභ්‍යන්තර තොරතුරක සඳහන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකවරයා කැඳවා ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිරවම තමන් ඉදිරිපත් වන බැවින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන ලෙස දැන්වූ බවය. සජිත් එම අදහස සමඟ එකඟ නොවී තර්ක කරන්නට ගොස් වාදයකින් හමුව කෙළවර වූ බවද තහවුරු නොකළ ආරංචි මාර්ග කීය.

එහෙත් ගිය සඳුදා අරලියගහ මන්දිරයේදී පැවති එ.ජා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නැවතත් මෙම මාතෘකාව මතු කෙරිණි. අප වෙත වාර්තා වන ආකාරයට මේ ගැන යෝජනාව මුලින්ම ගෙන ආවේ පක්ෂයේ සභාපති කබීර් හෂීම් අමාත්‍යවරයාය. ජනාධිපතිවරණයක් ආසන්නයේ එළැඹෙන නිසා ඒ ගැන එ.ජා.ප.ය තීන්දුවක් ගත යුතු බවත් තමන් සිතන පරිදි 2020 ජනාධිපති ධූරය සඳහා සුදුසුම අපේක්ෂකයා එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ඒ සමඟ කබීර් තවදුරටත් කීවේ “සර් දැන් අපේක්ෂකයා තවත් පක්ෂ ගණනාවක් එක්ක සන්ධානගත වෙන්න ගිවිසුමක් ගහන්නලු යන්නෙ.. ඒත් පක්ෂයේ සභාපති හැටියට මම ඔය කියන ගිවිසුම ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. අපිත් මේවා ගැන දැනගත යුතුයි...” කබීර් එසේ කියා හමාරවන විට අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසුවේ තමන්ද පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් බවත් ඒ ගිවිසුම ගැන තමන්ටත් කිසිම දැනුවත් බවක් නැති වගත්ය.

අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ඉන් අනතුරුව කරුණු දක්වන්නට විය. “අපේක්ෂකයා හැමදාම ගිවිසුම් ගහනකොට සුළු ජාතික පක්ෂවලට වැඩි බලයක් යන විදියටයි ගිවිසුම් සකස්වෙලා තිබුණෙ. ශ්‍රී.ල.නි.ප.යත් එක්ක යනකොටත් එහෙමමයි තිබුණෙ.. ඒක වෙනස් වෙන්න ඕන... කොහොම නමුත් කලින් කිව්ව වගේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට තමා දැන් ජනතා ඉල්ලීම තියෙන්නෙ.. පාක්ෂිකයා සජිත් ඉල්ලනවා. ඒ නිසා එතුමා ජනාධිපති ඡන්දයට දාන එකයි සුදුසුම ක්‍රමය..”

ඊළඟට තලතා අතුකෝරාළ අමාත්‍යවරිය අදහස් දක්වන්නට වූවාය. “දැන් අපේ සමහරු සජිත් ප්‍රේමදාස මහතා ගැන එක එක ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම රවි කරුණානායක ඇමැතිතුමා විවේචනය කරනවා. පාලිත හාමුදුරුවො මංගල ඇමැතිතුමාට ගහනව... මේවා හොඳ නැහැ. මංගල ඇමැතිතුමත් මේ ආණ්ඩුව ගේන්න ගොඩක් වැඩ කළා...”

තලතාට පසුව අදහස් දක්වන්නට වූයේ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාය. “මේ ඡන්දය යූ.ඇන්.පි.යට ඉතාම තීරණාත්මකයි. මේ ඡන්දය පැරදුණොත් අපිට තවත් අවුරැදු 10කට බලය ගන්න හිතන්න එපා... දැන් බලන්න අවුරැදු 25කින් අපිට ජනාධිපති කෙනෙක් පත්කර ගන්න බැරි වුණා. ඒ නිසා පාක්ෂිකයයි දුක් විඳින්නෙ. කවුරු කොහොම කිව්වත් ජනාධිපතිවරණයෙදි වැදගත් වන්නෙ ජනතාවගෙ ඡන්දයයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් මන්ත්‍රී කණ්ඩායමවත් නෙවෙයි ඡන්දය දෙන්නෙ. ඒ නිසා අපේ අගමැතිතුමාගෙ මූලිකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට මේ පාර අවස්ථාව දෙන්න ඕන. ඒක තමුන්නාන්සෙම කළොත් ඉතාම හොඳයි.”

ඒ සමඟ හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ ආදීන් දිගින් දිගටම කීවේ අපේක්ෂකත්වයට සජිත් ගෙන ආ යුතු වගයි. ඊළඟට පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයකු වන ජයවික්‍රම පෙරේරා මහතා අදහස් දක්වන්නට විය. “නායකතුමනි මම අපේ පක්ෂයේ බල මණ්ඩලය කැඳවා මීටිමක් තිබ්බ... එතෙන්දිත් පාක්ෂිකයො කිව්වෙ සජිත් ඇමැතිතුමාගෙ නමයි... මේ කතාබහ යද්දී රවි කරුණානායක අමාත්‍යවරයා සභාවට පැමිණ කතා කරමින් තමන් චන්ද්‍රිකා රජයේ සිට එ.ජා.ප.යට පැමිණ පක්ෂයට බලය ගන්නට බොහෝ කැපකිරීම් කළ” බව කීය. එහෙත් තනි පුද්ගලයන්ට බලය දීම සුදුසු නැතැයි කියමින් ඔහු සජිත් ප්‍රේමදාසගේ ආගමනයට එරෙහිව කරුණු දක්වන්නට විය. එවිට සජිත් නැගිට පිළිතුරු දෙන්නට පටන් ගත්තේය. “මම මේවා කතා කරන්න නෙවෙයි අද මෙතෙන්ට ආවෙ. කවුරුත් දන්නවා දවස් 52 ආණ්ඩුව කාලෙ ආණ්ඩුව බේරගන්න මම වැඩ කළ හැටි. ඒක නායකතුමත් දන්නවා. නමුත් පක්ෂයෙන් යන්න හදපු මන්ත්‍රීලට සල්ලි දෙන්න කියල පක්ෂයෙන් සල්ලි අරන් ඒවා කාටවත් නොදී සාක්කුවෙ දාගත්ත අය මට ඩීල්කාරයා කියන්න පටන් ගත්තා... ඒ කාලෙ පොහොට්ටුව එක්ක ඩීල් දාපු අයත් මම දන්නව... ඒවා අහන්න ඕන නම් කියන්න පුළුවන්...” යැයි සජිත් කියාගෙන යද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්ව සංවාදය හමාර කරමින් තමන් මේ ප්‍රශ්නය ගැන කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමඟ කතාකොට තීන්දුවක් ගන්නා බව කීය. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව නොතිබියදී දැන්ම ජනාධිපති අපේක්ෂකයකු ගැන සාකච්ඡා කළ යුතු නැතැයිද අගමැතිවරයා පැවසීය. එ.ජා.ප.ය ඇතුළු පක්ෂ එකතු වී ස්ථාපිත කරන පුළුල් සන්ධානය ස්ථාපිත කළ පසු ඒ ගැන කතා කරමු යැයි අගමැතිවරයා වැඩිදුරටත් කීය. කෙසේ හෝ එ.ජා. පක්ෂයේ අපේක්ෂකයා ගැන උණුසුම් කතාබහක් මෙහිදී ඇතිවුවද එ.ජා.පෙ. ජනාධිපති අපේක්ෂකයා ගැන අවසන් තීරණයක් ගත්තේ නැත.

මේ සතියේ ආන්දෝලනයට තුඩු දුන් අනෙක් සිදුවීම වූයේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කටුවපිටිය දෙව්මැඳුර විවෘත කරමින් පාස්කු ප්‍රහාරයට තුන්මස පිරෙන දා සිදුකළ කතාවයි. උන්වහන්සේ ව්‍යංගයෙන් තොරව කෙළින්ම රජයටත් රජයේ නායකයන්ටත් චෝදනා කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධවයි. උන්වහන්සේගේම වචනවලින් සඳහන් කළහොත් “මෙම විනාශය සිදු වූයේ හිතුවක්කාර දඩබ්බර ප්‍රතිපත්තියක් නැති නායකයන්ගේ වරද නිසායි. එම නිසා මේ රට කරන්න පුළුවන් කාට හෝ භාර දී ගෙදර යන්නැයි තමන් මෙම නායකයන්ට කියන වග” කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. මෙරට නායකයන්ගේ කොන්ද පණ මදි යැයි කී උන්වහන්සේ නායකයන් ක්‍රියා කළ යුත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ වුවමනා ඉටු කරන්නට නොවේ යැයිද පැවසූහ. වනාතවිල්ලුවේදී සහ මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කර දැමූ බවටද චෝදනා කළහ. ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ ගැටුම් නිසා ඔක්තෝබරයේ සිට ආරක්ෂක මණ්ඩලය රුස් වී නැත. ලැබුණු ඔත්තුව නායකයන් තුට්ටුවකටවත් ගණන් නොගැනීම මේ මහා විපතට මුල බවද උන්වහන්සේ කීහ. මේ ආකාරයට කටුවපිටියේ දී දැඩි ලෙස රජය විවේචනය කළ උන්වහන්සේ ඊට පසුදා බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති විපතට පත්වූවන්ට පින් පැමිණවීමේ පින්කමට එක්වී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා භික්ෂූන් වහන්සේලා ගැන කළ ප්‍රකාශය හෙළා දකින බව කියමින් සැබෑ කතෝලිකයන් එලෙස අන්‍යාගමිකයන් ගැන මත පළ නොකරන බවත් තමන් කිසිසේත්ම එවැනි දේ අනුමත නොකරන වගත් කීය.

මෙම ප්‍රකාශවලින් වඩාත්ම සිත් රිදවාගත් බව පෙනුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයට පසුදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයා නම සඳහන් නොකර සැර ආවේගශීලී කතාවක් කරමින් කාදිනල් හිමිපාණන් එල්ල කළ චෝදනාවලට ව්‍යංගයෙන් පිළිතුරැ සැපයීය. “තමන්ට කොන්දක් නැතැයි ඇතැමුන් කියන බවත් පොළොන්නරුවේ ගොවි පවුලක උපන් තමන්ට කොන්ද හොඳට ඇති බව” පැවසූ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය ගැන ප්‍රධාන රජයේ නිලධාරීන් වගකීම් පැහැර හැරි බවත් ඔවුනට විරුද්ධව දැනටමත් පියවර ගෙන ඇති වගත් කීය.

වැඩිදුරටත් ඒ ගැන කරුණු දැක්වූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඇතැමුන් තීන්දු තීරණ ගන්නේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අනුව යැයි පැවසීය. තමන් දැන් දරන තනතුරේ පදිංචිව සිටීමට නොපැමිණි බව කී ජනාධිපතිවරයා මේ ගැන විවාදයකට වුවත් සූදානම් යැයි කීය. තමන් ධනපති පවුලකින් හෝ රදළ වලව්වකින් බලයට ආවේ නම් මෙබඳු විවේචන එල්ල කරන්නට කවුරුවත් ඉදිරිපත් නොවන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය. තමන් සාමාන්‍ය ගොවි පවුලක කෙනෙක් නිසා පාග පාගා එළව එළවා තමන්ට පහර දෙන්නේ යැයිද ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම සඳුදා ද, මන්ත්‍රී කණ්ඩායම් හමුව අඟහරුවාදා ද පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී.ල.නි.ප.ය සහ පොහොට්ටුව අතර පැවැත්වෙන සන්ධාන සාකච්ඡාවල ප්‍රගතිය මුලින්ම විමසා බැලිණි. එහිදී තීන්දු වූයේ දෙපක්ෂය අතර සාකච්ඡා හමාරකොට ඉදිරි මාසය තුළ තීන්දුවක් ගත යුතු බවය. ලංකාවේ ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කරන්නටත් ඊ.පී.එෆ්. වැනි අරමුදල්වල තිබෙන රුපියල් බිලියන 200කට අධික මුදල අනතුරේ හෙළන්නටත් ආණ්ඩුව ගෙනෙන්නට යන නව මූල්‍ය පනත පරාජය කරන්නටත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නටත් වහා පියවර ගත යුතු යැයි මහින්ද රාජපක්ෂ හා බන්දුල ගුණවර්ධන මහත්වරු පෙන්වා දුන්හ. ඒ සමඟ විදේශ රටවලින් මෙරටට කැලි කසළ තොග පිටින් ගෙන ඒමේ වගකීම පසුගිය රජය පිට පටවන්නට හදන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීය. “මම පරිසර අධිකාරියේ හිටපු සභාපති කෙනෙක්. බස්නාහිර පළාත් සභාවෙ පරිසර ඇමැති හැටියටත් කාලයක් හිටියා. අපි ඊට අවසර දෙන්න ගැසට් ගැහුවය කියන එක අමූලික බොරුවක්... මෙන්න ගැසට් එක” කියමින් උදය ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. එවිට මන්ත්‍රී කණ්ඩායම දිනේෂ් ගුණවර්ධනට හා උදයට කීවේ මෙය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසය. බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙරටට මේ ආණ්ඩුව කුණු ගෙන්වන්න හදන්නේ අපූරු ක්‍රමයකට වගයි. එංගලන්තයේ කුණු සිංගප්පූරුවට ගෙන්වා ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම අනුව නැවත මෙරටට ප්‍රතිඅපනයනය කරන මුවාවෙන් කුණු ගෙනෙන්නට හැකි බව බන්දුල පෙන්වා දුන්නේය.

 

අනතුරුව මරණ දඬුවමට එරෙහිව එ.ජා.ප. මන්ත්‍රීවරයකු ගෙනෙන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිපතිට යොමුකර අවශ්‍ය නිර්දේශ ලබා නොගෙන ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් කතානායකවරයා මැතිසබා සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇතැයි මන්ත්‍රීවරු ගණනාවක්ම පෙන්වා දුන්හ.

මෙම පක්ෂ නායක හමුවට පසුදා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ උදේ 9.30ටයි. එහිදී ප්‍රධාන වශයෙන්ම කතාබහ වූයේ විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්ට සහ අධිකරණ සේවා කොමිසමේ ප්‍රධාන ලේකම්ට යවන ලද ලිපියකි. එම ලිපියෙන් දක්වා තිබුණේ මෙරටට දැන් පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නිසලසෝයි මහතාට අපේ අධිකරණ විනිශ්චයකාරවරුන් ගණනාවක් මුණගැසීමට අවශ්‍ය බවය. එයට අදාළ නඩු ගණනාවක විස්තර එම ලිපියේ සඳහන් විය. කටුනායක දී සිදු වූ රොෂේන් චානක තරුණයාගේ මරණය, වැලිකඩ බන්ධනාගාරයේ රුඳවියන් ඝාතනය, රතුපස්වල ඝාතන සිද්ධිය සහ ඊට සමාන තවත් නඩු ගණනාවක් විභාග කරන විනිසුරුවරුන් එ.ජා. විශේෂ නියෝජිතයාට මුණගස්වන ලෙස වැඩබලන විදේශ ලේකම්වරයා අධිකරණ ලේකම්වරුනට දන්වා තිබිණි. මේ ගැන සාකච්ඡා කළ විපක්ෂය මෙයින් විදේශ බලවේග විපක්ෂයට බලපාන නඩුවලට මැදිහත් කිරීමට රජය උත්සාහ දරන බවට පැහැදිලිව පෙනී යන නිසා ඒ ගැන පාර්ලිමේන්තුවේ හඬ නගන්නටත් කතානායක ලවා වහා මෙය වැළැක්වීමටත් පියවර ගත යුතු යැයි ඔවුහු පෙන්වා දුන්හ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන අදහස් දක්වමින් කීවේ දැන් ආණ්ඩුවට මහ ලොකුවට කතා කළ අධිකරණ ස්වාධීනත්වය ගැන කියන්නේ කුමක්ද කියායි. දිනේෂ් ගුණවර්ධන කීවේ වහා මේ ගැන දැඩි විරෝධය දැක්විය යුතු බවයි. මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පෙන්වා දුන්නේ විදේශ අමාත්‍යංශයේ ලේකම්ට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මෙලෙස ලිපියක් ලියන්නටත් අවසර නැති බවයි. ඒ ගැන පාර්ලිමේන්තුවේ දී හඬ නැගීම ගැන දීර්ඝව සාකච්ඡා කළ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැනද අවධානය දැක්වීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දිවයිනට පැමිණියේය. මාස දෙකකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ ගත කළ ගෝඨාභය හොඳින් සුව වීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත මෙරටට පැමිණීමට අපේක්ෂා කළත් හිටපු ජනාධිපති මහින්ද ඔහුට උපදෙස් දුන්නේ කැමති නම් තවත් ටික දිනක් එහි විවේකයෙන් සිට පසුව මෙරටට පැමිණෙන හැටියටයි. අගෝස්තු 11 පක්ෂ මහා සම්මේලනය පැවැත්වෙන අතර එදින ගෝඨාභයගේ නම විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ප්‍රකාශයට පත් කළ පසු කෙරෙන දේශපාලන රැස්වීම් හා සෙසු කටයුතු සියල්ල දැනටමත් සැලසුම් කර හමාර බැවින් “ගෝඨා ටිකක් තව විවේක ගත්තාට කමක් නැහැ”යි මහින්ද කීවාට ගෝඨා කීවේ සිංගප්පූරුවේ වුවත් සති ගණනක් ගත කිරීම අපහසු බවය. එබැවින් කලින් යොදාගත් පරිදි 23දා දිවයිනට පැමිණෙන බව ඔහු පැවසීය.

ගෝඨා 23දා හෝ ඊට ආසන්න දිනෙක දිවයිනට පැමිණෙන නිසා සිංගප්පූරුවේ සිට ඔහු එන ගුවන්යානයේම මෙරටට පැමිණීමට විපක්ෂ මන්ත්‍රීන් දෙතුන් දෙනෙක් සැලසුම් කර තිබූ බවද කියැවිණි. කෙසේ හෝ මේ සියලු දෙනාට නොදැනෙන්නට 23 රාත්‍රී ගෝඨාභය සිය බිරිඳ සමඟ මෙරටට පැමිණියේ සිංගප්පූරු ගුවන් සේවයේ යානයකිනි. ඔහු කොළඹට පැමිණි දිනයේ කිසිදු උත්සවයක් හෝ මන්ත්‍රී පිළිගැනීමකින් තොරව නිහඬව පිටව යාමට ඔහුට අවශ්‍ය වී තිබිණි. ඒ අනුව විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පැමිණ ගෝඨා නිවෙසට ගියේ මාධ්‍යයටද නොදැනෙන්නටය.

ඔහු නිවෙසට ගිය පසු ගෝඨාගේ සුව දුක් බලන්නට බොහෝ දෙනෙක් මිරිහාන නිවෙසට පැමිණියහ. මුලින්ම ආවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාය. මේ දෙදෙනා පැමිණ ගෝඨාගේ සුව දුක් විමසමින් සෑහෙන කාලයක් ඉදිරි දේශපාලන කටයුතු ගැනද කතාබහ කළෝය. 

පසුගිය අඟහරුවාදාට යෙදී තිබුණු උපන් දිනය නිමිත්තෙන් ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අනුරාධපුරයේ බ්ලූමවුන්ටන් හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබිණි. ඒ අවස්ථාවට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, පී. හැරිසන් සමඟ චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිනිය එක්ව සිටියහ. එතනදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ රනිල් කළ සාකච්ඡාව ඉදිරි ජනාධිපතිවරණය ගැනය. එහිදී පැහැදිලි ලෙසම අගමැතිවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා. පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ තමන් බවය. යම් හෙයකින් එය අපහසු වුවහොත් කරු ජයසූරිය මහතා ඉදිරිපත් වනු ඇතැයි කී රනිල් වෙනත් අපේක්ෂකයන් ගැන කිසිවකු වෙහෙස විය යුතු නැතැයිද පැවසීය. එය රනිල් කළ තීරණාත්මක දැනුම් දීමක් විය.

ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව ප්‍රමුඛ දේශපාලන සන්ධානයේ සාමාජිකත්වය ලබාගත් කුඩා දේශපාලන පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කිරීම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයාගේ නිල නිවෙසේ දී ගිය සිකුරාදා දහවල් සිදු කෙරිණි. ඒ අවස්ථාව සඳහා කුඩා පක්ෂ ගණනාවක් එක්ව සිටියද ඒකාබද්ධ විපක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ නායකයෝ පැමිණ නොසිටියහ. ඔවුන්ගෙන් ඇතැමෙක් නව සිහළ උරැමය වැනි පක්ෂ සිය සන්ධානයට එක්කර ගැනීම ගැන විරෝධය පළ කර තිබූ අතර කල් තබන මෙම අත්සන් තැබීම ගැන හවුල්කාර පක්ෂ දැනුම්වත් නොකිරීමද විරෝධයට හේතු වූ බව කියැවිණි.

 

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30