2017 මාර්තු 04 වන සෙනසුරාදා

විකට ජවනිකාවක් වූ බැඳුම්කර ගැසට් පත්‍රය

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

කරුගේ ගෙදරදී මහරෑ අගවිනිසුරු තෝරාගනී

පොදු විපක්ෂය කලින් නොකියා මහ බැංකුවට

ආණ්ඩුවේ බහුතරය සයිටම් එකට පක්ෂයිලු

රට රස්සා රැකගන්න තලතා-අමුණුගම සටනක

 

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව මේ සතියේද රටේ ආන්දෝලනාත්මක දේශපාලන පුවතක් බවට පත්විය. ජනාධිපති කොමිසමක් මගින් ඒ ගැන විමර්ශනය කරන්නට තීරණය කිරීමත් සමඟ උණුසුම අඩු වී ගිය බැඳුම්කර කතාව නැවතත් රත්කරගත්තේ ආණ්ඩුව විසින්මය. 2015 පෙබරවාරි මස අග භාගයේ මහ බැංකුව නිකුත් කළ ආන්දෝලනාත්මක බැඳුම්කර සම්බන්ධයෙන් වගකිවයුත්තේ හිටපු ජනාධිපති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ බව හැඟවෙන ගැසට් පත්‍රයක් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමත් සමඟ ප්‍රශ්නය මතුවිය. 

2015 ජනවාරි මස මුල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නමින් නිකුත් වූ ගැසටය මගින් මෙකී බැඳුම්කර අලෙවිය සඳහා නිල අවසරය ලැබී තිබුණ බවට බැඳුම්කර ගනුදෙනුව නිවැරදි යැයි කියන පාර්ශ්ව ප්‍රකාශ කරද්දී ඒකාබද්ධ විපක්ෂයත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් කීවේ මෙය තනිකරම අසත්‍යයක් හා මවාපෑමක් බවය. 2015 ජනවාරි 08 දා බලයෙන් ඉවත් වූ තමා පෙබරවාරියේ බැඳුම්කර ගනුදෙනුවට අවසර දෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කළ රාජපක්ෂ මහතා මෙය ව්‍යාජ ගැසට් පත්‍රයක් බව පවසා වහාම ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කළේය.

ඒ අතර බැඳුම්කර සිද්ධි විමර්ශනය කරන ජනාධිපති කොමිසම මෙම ගැසට් පත්‍රය හරියටම නිකුත් වූයේ කවදාද යන්න තීන්දු කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සාක්ෂියට කැඳවනු ලැබීය. එහිදී මුද්‍රණාලයාධිපතිවරිය සඳහන් කළේ මෙකී ගැසට් පත්‍රයේ දිනය 2015 ජනවාරි මස 01 දා ලෙස සටහන් වුවද මහ බැංකුවේ නියමය පරිදි එය මුද්‍රණය කළේ 2016.11.18 දා බවයි. ඇයගේ එම ප්‍රකාශයත් සමඟ පැවති තත්ත්වය තවත් ව්‍යාකූල විය. අනතුරුව නැවතත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපති නියෝජ්‍ය රාජ්‍ය ණය අධිකාරී යන අය කොමිසම හමුවට කැඳවනු ලැබූහ. ගිය බදාදා බැඳුම්කර ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරු නීතිඥයන් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවට ගියේ බැඳුම්කර නිකුතුවක් සිදුවන ආකාරය දැක බලාගන්නටයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය බැඳුම්කර මගඩියේ වගකීම තමන් වෙත පැවරීම සඳහා රජය දරන දුෂ්ඨ වෑයමක් බවයි. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ නිල කාලයෙන් පසු නව ජනාධිපතිවරයකු හා මුදල් ඇමැතිවරයකු පත්වී මාස 1 ½ක් ගතවීමෙන් පසුව නිකුත් කළ බැඳුම්කරවලට තමන් කිසිසේත්ම වග නොකියන වගය. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති අදහස් හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූයේ පසුගිය 27දාය. ප්‍රථම ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සිදුකර වසර දෙකක් සපිරැණු 27 දා ඒ සඳහා තෝරාගැනිණ. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන ආදී මන්ත්‍රීවරුද, පළාත් සභා මන්ත්‍රීන් ගණනාවක්ද මෙම  ගමනට එක්වූහ. මේ අය මහ බැංකුවට යනවිට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එහි නොවීය. ඒකාබද්ධ විපක්ෂය මහ බැංකුවට ගියේ කලින් අවසරයක් නොලබා බැවින් මහ බැංකු අධිපතිවරයා වෙනත් රැස්වීමකට ගොස් තිබිණි. විපක්ෂ මන්ත්‍රීන්ට අනතුරැව දැනගන්නට ලැබුණේ අධිපතිවරයා අගමැති සමඟ රැස්වීමක සිටින වගත් ඔහු පැයකින් නැවත පැමිණෙන බවත්ය.

නියමිත වේලාවට පැමිණි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමඟ මහ බැංකු ශ්‍රවණාගාරයේ මෙම විශේෂ හමුව පැවැත්විණි. එහිදී කතාව ආරම්භ කළේ විපක්ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධනය. ඔහු කීවේ මෙම බැඳුම්කර සිද්ධිය නිසා මහ බැංකුවේ විශ්වාසය බිඳවැටුණ බවයි. මෙම ප්‍රශ්නයට මහ බැංකුව සහ මුදල් ඇමැති වගකිවයුතු යැයිද බන්දුල කීය. මෙතන තිබෙන වඩාත්ම හාස්‍යජනක තත්ත්වය ජනවාරි 08 දා බලයෙන් ඉවත් වූ මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 27 දා බැඳුම්කර නිකුතුවට අවසර දීම පුදුම කතාවක් යැයි බන්දුල වැඩිදුරටත් කීය. මුද්‍රණලයාධිපති කියන විදියට මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කළේ 2016 නොවැම්බර් යැයි හෙතෙම පෙන්වා දුන්නේය. බන්දුලගේ මේ කතාව අසා සිටි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ තමන්ද මේ ගැසට් පත්‍රය ගැන බලවත් ලෙස පුදුම වූ වගය. අනතුරඅව විපක්ෂ මන්ත්‍රීන් ගණනාවක් එකවර කියා සිටියේ මේ ගැන චෝදනාලත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය තවමත් නිදැල්ලේ සිටිමින් ගනුදෙනු කරනවා කියාය. රටේ විනිමය අඩුවීම ආර්ථික අර්බුදයකට පාර කපා ඇති වගද ඔවුහු කීහ. ඊළඟට නැවතත් කරඅණු පැහැදිලි කළ මහ බැංකු අධිපති කීවේ මෙම ගැසට් පත්‍රයට අංක ලබාගැනීම වසර මැද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවුවත් ජනවාරි 08 දායින් පසු ගනුදෙනුවලට රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වගකීමක් නැත කියායි. එවිට බන්දුල ගුණවර්ධන කීවේ එසේනම් එය වහා රටට නිවේදනය කළ යුතු වගය. මහ බැංකු අධිපතිවරයා අනතුරැව පැවසුවේ මහ බැංකුව මේ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත්, මාසයක් තුළ අභ්‍යන්තර පරීක්ෂණය හමාර කර රජයේ මුල්‍ය මණ්ඩලය හරහා රටට ප්‍රකාශයක් නිකුත් කරන වගයි.

අභිනව අගවිනිසුරැවරයා තෝරාගැනීමද තරමක ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. 43 වැනි අගවිනිසුරඅ ශ්‍රී පවන් මහතා පසුගියදා විශ්‍රාම යෑමත් සමඟ නව අගවිනිසුරඅවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරයකු තෝරාගත යුතු විය. ඒ සඳහා ඉහළම ජ්‍යෙෂ්ඨත්වය තිබු‍ණේ විනිසුරැ ප්‍රියසාත් ඩෙප් මහතාටය. ඊළඟට ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරඅ වූයේ ඊවා වනසුන්දර හා බුවනෙක අළුවිහාරේ යන මහත්ම මහත්මීන් දෙපළය. කෙසේ හෝ පසුගිය සිකුරාදා උදෑසන 10.00 වනවිට ජනපති කාර්යාලයෙන් ඒ සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කරන ලද නාමයෝජනා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලැබී තිබිණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු විනිසුරැවරයකුගේ නම නාමයෝජනා අතර ඇතැයි කසුකුසුවක් තිබිණි. ඇතැම් විනිසුරුවරු ඒ ගැන තොරතුරැ විමසමින් සිටියහ. කෙසේ හෝ එදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම පත්වීම අනුමත කිරීම සඳහා කතානායකතුමාගේ නිල නිවසේදී රුස්වූයේ රාත්‍රී 9.30ටය. ඊට හේතුව කතානායකවරයා එදින බෙහෙවින් කාර්යබහුලව සිටීමයි. කෙසේ හෝ ව්‍යවස්ථා සභාව රැස්වූ විට ජනාධිපතිතුමා නම් දෙකක් එවා ඇතැයි නිවේදනය කෙරිණි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ කේ.ටී. චිත්‍රසිරි මහතාගේ නම් ඉදිරිපත් විය. මේ දෙදෙනාගේ ජීවදත්ත සටහන්ද වෙන වෙනම ඉදිරිපත් කර තිබුණි.

ව්‍යවස්ථා සභාවට පැවරෙන ඉතාමත් බැරෑරුම් වගකීමක් වන අගවිනිසුරු පත්කිරීම සම්බන්ධයෙන් අනතුරැව දීර්ඝ කතාබහක් ඇතිවිය. එහි සාමාජික අමාත්‍ය චම්පික රණවක සඳහන් කර තිබුණේ ඇතැමුන් කනිෂ්ඨ විනිසුරුවරයකු යැයි කියන කේ.ටී. චිත්‍රසිරි මහතා විනිසුරු වෘත්තියට මහේස්ත්‍රාත්වරයකු ලෙස බැඳී ක්‍රමක්‍රමයෙන් ඉහළට පැමිණි බවය. විනිසුරු වෘත්තිකයෙක් ලෙස ඔහු ප්‍රියසාත් මහතාට වඩා ජ්‍යෙෂ්ඨය යන්න අමාත්‍ය රණවකගේ මතය විය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ පත්වීමේදී ජ්‍යෙෂ්ඨයා වන්නේ ප්‍රියසාත් ඩෙප් මහතා යැයිද රණවක මහතා කීය. ඔහුගේ මතය වූයේ ජ්‍යෙෂ්ඨතාවට වඩා සැලකිය යුත්තේ ජනතාවගේ නඩුහබ වඩාත් ඉක්මනින් අසන ක්‍රමවේදයකට යාම සඳහා අත්දැකීම් බහුල කෙනෙක් පත්විය යුතුය යන්නයි. අනතුරැව සාමාජික විජිත හේරත් මහතා කීවේ ජ්‍යෙෂ්ඨතාව නොව කාර්යක්ෂම බව ඉතාමත් වැදගත් කරුණ බවය. කැරියර් ජජ් (පහළ අධිකරණයේ සිට ඉහළට පැමිණි විනිසුරැවරැන්) අතර චිත්‍රසිරි මහතා ජ්‍යෙෂ්ඨ යැයි විජිත හේරත් මහතාද පෙන්වා දුන්නේය.

ප්‍රියසාත් ඩෙප් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු ලෙස සිටියදී ඉහළ අධිකරණයට පත්කළ බවද පෙන්වා දෙනු ලැබීය. මේ සියලු තර්කවලට පිළිතුරු දුන් ව්‍යවස්ථා සභා සාමාජික හිටපු නීතිපති ජනාධිපති නීතීඥ ශිබිලි අසීස් මහතා ප්‍රියසාද් ඩෙප් මහතාට අවශ්‍ය ජ්‍යෙෂ්ඨතාව ඇති බැවින් මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීම්වලදී පැවති සම්ප්‍රදාය කඩ නොකර ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨයාට අගවිනිසුරැ ධූරය ලැබිය යුතු යැයි ප්‍රබල ලෙස තර්ක කළේය. කතානායක කරු ජයසූරිය, අමාත්‍ය ජෝන් සෙනවිරත්න, ආචාර්ය ඒ.ටී. ආරියරත්න ඇතුළු සෙසු බහුතර සාමාජිකයන්ගේ මතය වූයේද ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාට අගවිනිසුරැ ධූරය හිමිවිය යුතු බවය. අවසානයේ කතානායක කරැ ජයසූරිය මහතා කීවේ මේ ගැන ඡන්ද නොවිමසා ඒකමතිකව තීරණයක් ගනිමු කියාය. ඒ අනුව ප්‍රියසාත් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයට පත් කිරීමට ව්‍යවස්ථා සභාව තීන්දු කළේ පැයක පමණ කතාබහකින් පසුවය. එහෙත් අභිනව අගවිනිසුරැවරයාට නඩු පමාව තුරන් කරන්නටත්, කාර්යක්ෂම ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යාමටත් නිර්දේශ ගණනාවක් ලබාදීමට ව්‍යවස්ථා සභාව අවසානයේ තීන්දු කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී.ල.නි.පයේ නිර්මාතෘවරයකු ලෙස සැලැකෙන එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 63 වැනි ගුණසමරු උළෙලට සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා කදිම කතාවක් කළේය. මේ දිනවල රටේ වැඩිපුරම කතාබහට ලක්වන මුදල් අමාත්‍යංශය මහා භාණ්ඩාගාරය ආදිය ගැන ඔහු සැකෙවින් සඳහන් කළේ මේ රට මෙතරම් පරිහානියට ලක්වුණේ රාජ්‍ය දේපල හා වත්කම් තමන්ට උරැම කරගනිමින් හිටපු ඇතැම් ලොකු ලොක්කන් රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් පොට්ටනි ගැසූ නිසා වගයි. රටේ ජනතාව ගැන නොසලකා තමන් ගැන පමණක් සිතූ අය රටට මේ විපත කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. අතීතයේ මේ රටේ ගරැකටයුතු නායකයන් සිටි වගත්, ඔවුන්ගේ නම් ජනතා හදවත් තුළ අදත් නොමැකී පවතින වගත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල වැඩිපුර කාලය මිඩංගු කරන්නේ රටේ ආර්ථික ප්‍රශ්නය සමථයකට පත්කරන්නටයි. මෙරටට ණය අනුමත කිරීම සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ වාර ගණනාවක් අගමැතිවරයා සාකච්ඡා පවත්වා පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය ගැන කරැණු දැක්වීය. මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මතය ලෙස මෙහිදී ඉදිරිපත්ව ඇත්තේ රජය රුපියලට මීට වඩා නිදහසක් දිය යුතු වගය. එසේම රජයට අයත් හෝටල්, වාණිජ ව්‍යාපාර ආදියෙන් පෞද්ගලිකකරණය කළ හැකි ඒවා අලෙවි කොට මූල්‍ය සම්පත් රැස්කරගත යුතු බවද ඒ අයගේ මතයයි. එසේම විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් මුදල් මහ බැංකුව විසින් මිලට ගෙන දිනෙන් දින අඩුවන මූල්‍ය සංචිතය තරකර ගත යුතු යැයිද මූල්‍ය අරමුදල අගමැති ප්‍රමුඛ ආර්ථික අංශ බලධරයන්ට පෙන්වා දී තිබිණි. මෙරටට නව ආයෝජන අවස්ථා ඇදගැනීම ගැනත් සඳහන් විය. කෙසේ හෝ දැනට අපේ ඊළඟ ණය වාරිකය අනුමත කිරීම සඳහා පැමිණ සිටින නිලධාරීන් සිය මතය ඉදිරිපත් කොට පිටත්ව ගිය පසු මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලෙගාර්ඩ් මහත්මිය ලබන 5 දා පමණ මෙරටට පැමිණ පවතින අර්බුදකාරී තත්ත්වය ගැන රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ. ඇයගේ මෙම ගමන අපට බෙහෙවින් තීරණාත්මකය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන විශේෂ සඳහනක් කළේය. පසුගියදා ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උළෙලකට එක්වූ අගමැතිවරයා රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අලුතින් සිතන්නේ නම් එය රටට හොඳ බව සඳහන් කළේය. එක තැනක සිරවී සිටිමින් පැරැණි අදහස් සමඟ රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි යැයි අගමැතිවරයා වැඩිදුරටත් කීය. මා විටින් විට සිංගප්පූරුවට ගියා. සිංගප්පූරැවෙන් ඉගෙන ගත්තේ මොනවාදැයි සමහරුන් මගෙන් කෑගසා ප්‍රශ්න කළා. අපේ හිටපු ජනාධිපතිතුමා නම් ඉගෙන ගත්තේ ස්වාසිලන්තය, උගන්ඩාව වගේ රටවල්වලිනුයි. පසුගියදා මම ඕස්ට්‍රේලියාවට ගොස් එන ගමන් සිංගප්පූරැ අගමැතිතුමා සමඟ රාත්‍රී භෝජනය ගත්තා. එහිදී මුණගැසුණු සිංගප්පූරු ස්වදේශ කටයුතු ඇමැතිතුමා කීවා හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාත් එහි සිට අද පිටත්ව යන බව. එවිට මම කල්පනා කළා, ඔහු ගුවන් තොටුපොළේදිවත් මුණගැසුණොත් ස්වාසිලන්ත හා උගන්ඩා ක්‍රමය අතහැර සිංගප්පූරු ක්‍රමයට ඒම ගැන සුබ පතන්න. ඒත් අවාසනාවකට වගේ මට ගුවන් තොටුපොළේදී රාජපක්ෂ මහතා හමුවුණේ නැහැ. ඔහු ලංකාවට පැමිණීමට නියමිත වුණේ මම පැමිණි ගුවන් යානයට පසුව පැමිණි ගුවන් යානයෙන්. ඒකයි හමුවුණේ නැත්තේ... අගමැතිවරයා තමන්ගේ දේශපාලන රස කතාව හමාර කරමින් කීය. ඒ අතර රටේ ප්‍රකාශ වන ඇතැම් වෙබ් අඩවි සඳහන් කර තිබුණේ මහින්දගේ සිංගප්පූරු චාරිකාවේදී සිංගප්පූරුවේ ග්‍රෑන්ඩ් හයිට් හෝටලයේදී අගමැති රනිල් හමුවී සාකච්ඡා කළ බවය. ඒ ගැන මාධ්‍ය සහ සමහර දේශපාලන හිතවතුන් මහින්දගෙන්ද විමසා තිබිණි. ඔහු එම කතාව තරයේම ප්‍රතික්ෂේප කරමින් කියා තිබුණේ තමන්ට සිංගප්පූරැවේදී අගමැති රනිල් මුණනොගැහුණු බවය. එහෙත් එරට ක්‍රිකට් සංගමයේ භෝජනාගාරයේදී තමන් වෙනුවෙන් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී අමාත්‍ය සාගල රත්නායක මහතා අහම්බෙන් මුණගැසුණ බව රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ සතියේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමැතිවරැ බහුතරයක් රැස්වීමට පැමිණ සිටියෝය. රටපුරා පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා ගැන ජනාධිපතිවරයා මුලින්ම අවධානය දැක්වීය. දැන් හැමතැනම උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර නිතරම දක්නට තියෙනව. මේව මෙහෙම වෙන එක රටේ ප්‍රතිරූපයට හොඳ මදි... ඒ නිසා යම් ක්ෂේත්‍රයක ප්‍රශ්නයක් ඇතිවුණාම ඒ ගැන විෂය භාර ඇමැතිවරු අදාළ අංශ එක්ක කතා කරලා ප්‍රශ්නය විසඳන්න ඕනෑ. විශේෂයෙන්ම වෘත්තිය සමිති එක්ක කතා කරන්න... එහෙම කරල ප්‍රශ්න වැවෙන්න නොදී විසඳන්න... ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට උපදෙස් දුන්නේය.

විදේශ රැකියාලාභීන් සම්බන්ධව විෂය භාර ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය ගත් තීරණයක් ගැන ඊළඟට ප්‍රශ්නයක් මතුවිය. ඇය තීරණය කර තිබුණේ සෑහෙන මාසික වැටුපකට විදේශ රැකියාවන් ලබාගත හැකි කෙනකුට ඊට අවස්ථාව සලසාදිය යුතු වගයි. එහෙත් ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ රවී කරුණානායක මුදල් ඇමැතිවරයා කීවේ මසකට අමෙරිකානු ඩොලර් 300කටවත් අඩු වැටුප් ලැබෙන විදේශ රැකියා සඳහා පුද්ගලයන් යැවීම නතර කළ යුතු වගය. එවිට තලතා අතුකෝරාළ මහත්මිය ඊට එරෙහිව නැගී සිටියාය. තමන්ගේ අරමුණ විදේශ රුකියා ප්‍රවර්ධනය බව කී ඇමැතිනිය මේ ගැන කලින් අයවැය මගින් තීරණයක් ගෙන ඇති බැවින් එය ආපසු හැරවීමට අමාත්‍ය මණ්ඩලයට බලපත් නැතැයි ඇය කීවාය. අයවැය යෝජනාවක් වෙනස් කරනවනම් ඒක කරන්න පුළුවන් ඇමැති මණ්ඩලයට නොවේ නැවතත් පාර්ලිමේන්තුවටමයි. තලතා පැහැදිලි කළාය. ආචාර්ය සරත් අමුණුගමද තලතා අතුකෝරාළට සහය පළකරමින් කතා කළේය. රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමට වැඩි මෙහෙයක් කරන්නේ විදේශ රුකියාලාභීන් බවත් කී අමාත්‍ය අමුණුගම මහතා විදේශ රුකියා ලාභීන්ගේ ආදායමින් පවුල් ලක්ෂ ගණනක් නඩත්තු වන බවත්, සමහර පවුල්වල අය ත්‍රීරෝද රථ වැනි දේ මිලට පවුල් නඩත්තුවට ආදායමක් හොයාගන්නේ රට රස්සාවලින් නිසා මෙබඳු සීමාවක් පැනවීම මෙරට දුගීකම තුරන් කිරීමට එරෙහිව ගැසූ පාරක් බවත් කීය.

ඒ සමඟ මතුවූයේ සයිටම් වෛද්‍ය ආයතනය පිළිබඳ ප්‍රශ්නයයි. මෙහිදී කරණු දැක්වූ ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසක්ම සයිටම් ආයතනයට පක්ෂව මත පළකරන වග බැලූ බැල්මට පෙනෙනවා කියාය. මේතෙක් රජය සයිටම් ආයතනය පිළිගන්නා බව පොදු ජනතාවට පෙනී යන්නට පිළිවන් යැයිද ඔහු පැවසීය. එවිට අමාත්‍ය චම්පික රණවක සඳහන් කළේ මෙම අර්බුදය නොවිසඳී ඇදී ගියහොත් එය ව්‍යාකූල ව්‍යසනයක් බවට පත්විය හැකි බැවින් වහා රජය මැදිහත්ව මෙය විසඳිය යුතු වගයි. ජේ.ආර්, ප්‍රේමදාස යුගවල උතුරැ කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය මතුවූ විට අවසානයේ එය විසඳුණේ උතුරැ කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමෙන් පසුව යැයිද අමාත්‍ය රණවක පෙන්වා දුන්නේය.

ගෙවුණු සතිය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට දැඩි අවිවේකි සතියක් විය. පසුගිය 23 වැනිදා උදෑසනින් මහනුවර බලා පිටත් වුණේ කලක් තමන්ගේ දේශපාලන පසමිතුරකු වූ වර්තමාන රජයේ වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයාගේ පුතුගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහායි. එදින පෙරවරුවේ පැවති මෙම විවාහ උත්සවයට ජනාධිපති, අගමැති ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් පැමිණ සිටියෝය. බොහෝ වේලාවක් මංගල උත්සවයේ රැඳී සිටි අමාත්‍යවරයා නව යුවලට සුභ පතා විජිත් විජයමුණි අමාත්‍යවරයාට අතට අතදී එතැනින් සමුගත්තේ යළිත් මොණරාගල බලා පිටත්වීමටයි. ඒ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර, මාලිගාතැන්න මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහාය.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ පළමු දෙමහල් ගොනැගිල්ල විවෘත කිරීම මෙදින දහවල් සිදුවුණ අතර මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අකිල විරාජ් අමාත්‍යවරයායි. උදෑසන සොයිසා අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ විවාහෝත්සවයට මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සහභාගී වීම නිසාම පාසලේ උත්සවයට අමාත්‍යවරයා යන විටත් එය ආරම්භ වී තිබිණි. හනික සභාවට මද්දුමබණ්ඩාර මහතා ඇතුළු වනු දුටු අකිල ඇමති අපි මඟුල් ගෙදර එනකොට අපේ මනමාල මහත්තය වෙන අයගේ මඟුල් ගෙවල්වල ගිහිල්ලනෙ යැයි පවසන විට සිනහමුසු මුහුණින් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් ඉලව්වට මඟුලට නැති හිතවත්කම මොකටද මල්ලී. සොයිසා ඇමතිතුමාගේ ඉල්ලීම කොහොමවත් අහක දාන්න බෑනේ. යැයි පැවසීය.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00