2019 ජුනි 15 වන සෙනසුරාදා

කැබිනට් අර්බුදය මැද ජනපති අගමැති රට යති

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

  • ජනපතිගේ නියමය නොතකා තේරීම් කමිටුව රැස්වෙයි.
  • ආණ්ඩුව හදාගත් ප්‍රශ්න විසඳන්නට තමන්ට නොහැකි යැයි මහින්ද කියයි.
  • ජනපති අගමැති හමුව අවසන් මොහොතේ අවලංගුයි.
  • මැතිසබා කමිටුවේ කටයුතු රාජ්‍ය රහස් පනතට හානිකර බව දයාසිරි කියයි.
  • හිස්බුල්ලාගේ කතාවට හතර අතින්ම විරෝධය.
  • ජ.වි.පෙ. තුන්වැනි දේශපාලන කඳවුර හදනවාලු.

පැවති දේශපාලන අර්බුද උග්‍රවන තත්ත්වයක් මේ සතිය වනවිට දක්නට ලැබිණි. ජනපතිවරයාට හා අගමැතිවරයාට කැබිනට් මණ්ඩලය රැස් කරගන්නට නොහැකි වන තරමට අර්බුදය බරපතළ අන්තයකට තල්ලු වී තිබේ. මේ සියල්ලට හේතු වූයේ පසුගිය අප්‍රේල් 21දා (පාස්කු ඉරිදා) එල්ල වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයයි. එයට වගකිවයුත්තෝ කවුද යන්න තෝරා බේරාගන්නට ගොස් ආණ්ඩුව වල්මත්ව සිටී. ජනාධිපතිවරයා කමිටු කොමිෂන් සභා පත් කරමින් ආරක්ෂක ලේකම් හා පොලිස්පති ඉවත් කරමින් ඒ ගැන කිසියම් පියවරක් ගන්නා බව පෙන්වීය. ඒ අතර විපක්ෂය අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මෙම ක්‍රියාවට අනුබල දුන් බව කියමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේය. ඒ සමඟ ජ.වි.පෙ. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. විපක්ෂයේ විශ්වාසභංගය විවාද කරන්නට පෙර මැතිසබා තේරීම් කමිටුවක් මගින් මෙම කරුණ ගැන විභාගයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් සපයන්නට රජය තීන්දු කළේ හදිසියේමය. එහෙත් ඊට ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂයද තරයේම විරුද්ධ විය. ඔවුන් තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත්කිරීම පවා ප්‍රතික්ෂේප කළේ ආණ්ඩුව මෙම කාරක සභා වාර්තාවෙන් රිෂාඩ් සුද්ද කරන්නට හදන බවට චෝදනා කරමිනි.

ඒ අතර අතුරලියේ රතන හිමි ත්‍රස්තවාදයට අනුබල දුන් මුස්ලිම් නායකයන්ට එරෙහිව උපවාසයක් ඇරඹීය. එහි ප්‍රතිඵලය වූයේ රජයේ සියලු මුස්ලිම් ඇමැතිවරුන් තනතුරුවලින් ඉවත් වීමය. නමුත් ජනාධිපතිවරයා සහ එ.ජා.ප. ආණ්ඩුව අතර ප්‍රශ්නය බරපතළ තත්ත්වයට පත්වූයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් ආදී ප්‍රබල චරිත පැමිණ සාක්කි දීමත් සමඟය. එම සාක්කිවලින් ව්‍යංගයෙන් ප්‍රකාශ වූයේ මෙම ප්‍රහාරය ගැන රජයේ ඉහළම වගකිවයුත්තන් දැනුම්වත්ව සිටි බවත් ඔවුන් ඒ සඳහා සුදුසු පියවර නොගත් බවත්ය. මෙම සාක්කි විභාග ජනමාධ්‍යයට විවෘත වූ අතර රට පුරා ඒවා ප්‍රචාරය වන්නට පටන් ගත්තේ ක්ෂණිකවය.

ඒ සාක්කි විභාගය යන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ තවත් ආරක්ෂක සේවා ලොක්කන් ගණනාවකට තේරීම් කොමිටිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිටියත් කිසියම් අපැහැදිලි හේතුවක් නිසා ඔවුන් තේරීම් කොමිටිය හමුවට ආවේ නැත. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි නිලධාරීන් කැඳවා සංවේදී ආරක්ෂක තොරතුරු ගැන මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා තමන් ඔවුන් එම කමිටුව හමුවට නොයවන වගය.

ඒ සමඟ ආණ්ඩුවට ජනාධිපතිවරයා ඍජුව හා වක්‍රව අවවාද කළේ මෙම තේරීම් කමිටුව අත්හිටුවන හැටියටය. කතානායකවරයා ඒ ගැන ක්‍රියා කළ යුතු බවත් එසේ නොකළහොත් එහි වගකීම කතානායකවරයා භාරගත යුතු බවත් ජනාධිපතිවරයා ව්‍යංගයෙන් සඳහන් කර තිබිණි. ඒ සමඟ ක්‍රියාත්මක වූ කතානායක කරු ජයසූරිය මහතා මෙයට ලිඛිතවම පිළිතුරක් සැපයීය.

එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද කාරක සභාවක කටයුතු නැවැත්වීමට හෝ වැළැක්වීමට කතානායකවරයාට හැකියාවක් නැති බවය. කමිටුවේ කැඳවීම අනුව එහි කටයුතුවලට සහාය දීම සඳහා නොපැමිණෙන රාජ්‍ය නිලධාරීන්ට ඵලවිපාක විඳින්නට සිදුවනු ඇති බවද කතානායකවරයා අවධාරණය කර තිබිණි.

ඒ අතර ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශ වූයේ අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩු ගණනාවක් පවතින බැවින් රාජ්‍ය නිලධාරීන් එයට සහභාගි නොවිය යුතු බවය. ඒ ගැන තමන්ට නීතිපතිවරයාද උපදෙස් දී ඇතැයි කී ජනාධිපතිවරයා නීතිපතිවරයාගේ උපදේශය කතානායකවරයා වෙතද යවනු ලැබූ බව සඳහන්ය. එහෙත් කතානායකවරයා එය පිළිගත් බවක් නොපෙනුණු අතර කමිටුව විසින් කමිටුවේ කටයුතු ගැන තීන්දුවක් ගත යුතු බව කතානායක මතය විය. එසේම මැතිසබයේ කමිටුවක් විසින් රජයේ වගකිව යුතු නිලධාරීන් කැඳවූ විට ඔවුන් ඊට සහභාගි වීම නීතිමය වශයෙන් ගැටලු සහගතය, යනුවෙන් ලබාදුන් නීති උපදෙස් ගැන ප්‍රශ්න කිරීමට නීතිපතිවරයාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවීමට තීරණය කර ඇත. නීතිපතිවරයා ඇතැම් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට කමිටුව හමුවට නොයන ලෙස උපදෙස් දුන්නේ යැයි සමහර මාධ්‍ය ජාලවල තහවුරු නොකළ පුවත්ද වාර්තා කර තිබිණි. කෙසේ හෝ නීතිපතිවරයා එවන් උපදෙසක් දුන්නේද, එවන් උපදෙසක් දුන්නේ නම් එය ලබාදුන්නේ කවර බලයක් පිටද යන්න මෙහිදී නීතිපතිගෙන් ප්‍රශ්න කරනු ඇතැයි කියැවිණි.

ඒ අතරතුර පාර්ලිමේන්තු කමිටුව සහ ජනාධිපතිවරයා අතර හටගෙන තිබෙන මතගැටුම සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේම ඇතැම් නියෝජිතයන් යෝජනා කර තිබිණි. එහෙත් එහි නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ක්‍රියා කරන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා හමුවීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර ඇත. දැන් ජනාධිපතිවරයා හමුවීම සදාචාර සම්පන්න නොවන නිසා එලෙස ජනපති හමුවීම අනවශ්‍ය බව කමිටු සාමාජිකයෝ පැවසූහ.

ඒ අතර ශ්‍රී.ල.නි.ප. මහලේකම් දයාසිරි ජයසේකර කැඳවූ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පවත්නා සභා රීති මෙන්ම නෛතික තත්ත්වයද ජනතාවට පැහැදිලි කර දෙන්නැයි දන්වා තිබිණි. ඒ අනුව මාධ්‍ය කැඳවූ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභාව ක්‍රියා කරන්නේ මැතිසබයේ ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයට වගයි. පාස්කු ප්‍රහාරය ගැන දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් පවත්නා බැවින් මැතිසබා කමිටුවකට එය විමර්ශනය කළ නොහැකි යැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීය. 1955 රාජ්‍ය රහස් පනත ද මේ මගින් උල්ලංඝනය වන බව පැවසූ දයාසිරි මන්ත්‍රීවරයා මෙම පාර්ලිමේන්තු කමිටුව ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන සැලසුම් සහගතව අවලාද නැගීමේ අරමුණින් ගෙන යන්නක් බැවින් මෙය විහිළුවක් බවද සඳහන් කර තිබිණි.

කෙසේ හෝ පාර්ලිමේන්තු කමිටුව තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් මේ සතියේ සිට අමාත්‍ය මණ්ඩල හමුව පවත්වන්නේ නැතැයි ජනාධිපතිවරයා කලින් කී පරිදි කැබිනට්ටුව රැස් කළේ නැත. ඒ බව ගිය සති අන්තය වනවිට එ.ජා.පයටද ආරංචි වී තිබිණි. එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනෙක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සංවිධානයට මහන්සි වූහ. ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරන්ජිත් මහතාද ඊට මැදිහත් කරගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර හමුවක් ගිය සඳුදා සවස පවත්වන්නට ඇමැති මලික් සමරවික්‍රම ඇතුළු කිහිප දෙනකු මහත් වූ නමුත් ජනාධිපතිවරයා එකහෙළාම එම ඉල්ලීම ඉවත දැමීය. තමන් මෙම කමිටුව ක්‍රියාත්මකව තිබෙන තාක් කල් අගමැති හමුනොවන බව සිය ස්ථාවරය බව දැන්වීය. ඒ අනුව ආණ්ඩුව හා ජනාධිපතිවරයා අතර අර්බුදය උග්‍රවීමෙන් කැබිනට් රැස්වීම පැවැත්වුණේ නැත.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ ගැන ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ ආකාරයට කැබිනට් රුස්වීම නොපැවැත්වීම රටේ නීතියට පටහැනි ක්‍රියාවක් බවය. කැබිනට්ටුවද පාර්ලි‍මේන්තුවට වගකියන ආයතනයකි. ඒ නිසා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ යුතු යැයි ඔහු පැවසීය. කැබිනට්ටුව තවදුරටත් මෙලෙස කැඳවන්නේ නැතිව සිටින්නේ නම් ඒ ගැන පාර්ලිමේන්තුව විසින් කිසියම් තීන්දුවක් ගත යුතුව ඇතැයි සභානායකවරයා කියා තිබිණි. ඒ අතර දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය ආරංචියකින් කියැවුණේ ආණ්ඩුව ඉතා ඉක්මනින් කැබිනට්ටුව කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් නැවතත් කරන බවය. යම් හෙයකින් ජනාධිපතිවරයා එම ඉල්ලීම අනුව කැබිනට්ටුව නොකැඳවන්නේ නම් පාර්ලිමේන්තුව සම්මත කරන විශේෂ යෝජනාවක් මගින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්ටුව කැඳවීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවද ආණ්ඩුවේ සමහරු කියති. එය පවත්නා අර්බුදකාරී තත්ත්වය උග්‍ර කරවන කරුණක් විය හැක.

ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් 4 දෙනා වෙනුවට අලුත් අමාත්‍යවරුන් තිදෙනකු එ.ජා.පයෙන් නම් කළේය. එය ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතියකි. ඒ අනුව රන්ජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම හා රාජිත සේනාරත්න යන ඇමැතිවරු තිදෙනා ඉවත් වූ මුස්ලිම් ඇමැතින්ගේ විෂයන් සඳහා වැඩබලන ඇමැතිවරුන් ලෙස පත් කරන්නැයි අගමැතිවරයා නිර්දේශ කර තිබිණි. එහෙත් අගමැතිවරයාගේ නිර්දේශ එකහෙළාම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා අදාළ විෂයන්හි වැඩ බැලීම සඳහා එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරනු ලැබීය. මෙය තිබෙන බල අරගලය තවත් උග්‍ර කරන්නට හේතුවක් වී ඇති බව සැල වේ. 

මේ ආකාරයට ප්‍රශ්නය ව්‍යාකූල වෙද්දී හදිසි මහ මැතිවරණයක් ගැනද කතා පැතිරෙන්නට පටන්ගෙන තිබේ. ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද මහ මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එහෙත් ඒ සඳහා මැතිසබා යෝජනාවක් ගෙන ආවොත් එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් ඊට ඡන්දය නොදෙන බව ප්‍රකාශ වී ඇත. පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ඊට එකඟ නැති බව ප්‍රකාශිතය. කෙසේ නමුත් දැන් සිංගප්පූරුවේදී සුළු සැත්කමකට භාජනය වී ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්ෂකයා බව බැසිල් රාජපක්ෂ මහතා ද ඉඟිකර ඇත. එහෙත් එ.ජා.පයේ අපේක්ෂකයා රනිල්ද සජිත්ද කරුද යන්න ගැන තවමත් නිශ්චිත තීන්දුවක් නොමැත. කෙසේ හෝ හදිසි මහ මැතිවරණයකට යෑමට විකල්ප නීතිමය ක්‍රමවේදයක් තිබේද යන්න ගැන ජනාධිපති මෛත්‍රීපාල මහතා නීතිපති දප්පුල ද ලිවේරාගෙන් ලිඛිත උපදෙසක් ඉතා රහසිගතව ඉල්ලා ඇත. මෙම සටහන ලියන විටත් නීතිපතිවරයා ඊට අදාළව ජනාධිපතිවරයාට සිය උපදෙස යවා තිබුණේ නැත.

පසුගියදා තනතුරුවලින් ඉවත් වූ මුස්ලිම් ජාතික ඇමැතිවරු මේ සතියේ මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ සංඝ සභා මුණගැසුණහ. උන්වහන්සේලාත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාත් මෙම හිටපු ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබුණේ ඉල්ලා අස්වීම තිබෙන ප්‍රශ්නවලට පිළියමක් නොවන බවයි. එම නිසා නැවතත් ඒ අයගේ තනතුරු බාරගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ තමන්ගේ දේශපාලනය තහවුරු කරන ලෙස උන්වහන්සේලාත් මහින්ද රාජපක්ෂ මහතාත් ඉල්ලා සිටියහ.

රවුෆ් හකීම්, ඒ.එච්.එම්. ෆවුසි, රිෂාඩ් බදුයුදීන්, ඒ.එල්.එම්. හලීම් ඇතුළු හිටපු ඇමැතිවරු මෙම හමුවට පැමිණ සිටියහ. ඒ අතර පාර්ලිමේන්තුවෙන් ආරංචි වූයේ චෝදනාවන්ට ලක්ව සිටින එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අසාද් සාලි මෙන්ම රිෂාඩ් බදුයුදීන් යන මහත්වරු විශේෂ තේරීම් කාරක සභාවට කැඳවා ප්‍රශ්න කරන වගය. මෙයින් අසාද් සාලි හා හිස්බුල්ලා යන මහත්වරුන් දැනටමත් මෙම කමිටුවට කැඳවා ඇත.

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එමගින් ඔහු අවධාරණය කළේ මුස්ලිම්වරු මෙරට සුළු ජාතියක් වුවද ලොව මහ ජාතියක් බවය. ඒ නිසා මුස්ලිම්වරු කාගේවත් බලපෑම්වලට යටත් නොවිය යුතු යැයිද කීය. මෙරටට ඉන්ධන සපයන්නේ අරාබියේ මුස්ලිම් රටවල් යැයි කී හෙතෙම මේ විදියට ක්‍රියා කළොත් ඉන්ධන ලීටරය රුපියල් 450කට මිලදී ගන්නට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි අනතුරු ඇඟෙව්වේ අරාබි රටවල් අපේ තෙල් කෝටාව කපා හරිනු ඇතැයි ව්‍යංගයෙන් පවසමිනි.

හිස්බුල්ලාගේ මෙම ප්‍රකාශයට හතර අතින්ම ප්‍රහාර එල්ල විය. ඇතැම් මුස්ලිම් නායකයන්ම කීවේ ඔහු සීමාව ඉක්මවා අනවශ්‍ය දේ කතා කළ වගය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හිස්බුල්ලා මහතාගේ එම ප්‍රකාශය තරයේම හෙළා දකින වගය. මෙරට බහුතරය කවුද සුළුතරය කවුද කියා හෙතෙම තේරුම්ගත යුතු යැයිද අගමැතිවරයා කීය. මෙරට උපාධි දෙන ආයතනවලට බලපාන නීතිය අනුව එවන් ආයතන ඇරඹිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පමණක් යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එසේ නැතිනම් අදාළ ආයතන රජයට පවරාගන්නා බවද කීය. අගමැතිවරයාගේ  මෙම ප්‍රකාශයෙන් දිනකට පසු ඔහු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දුන්නේ මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත හැකි ක්‍රමවේදය ගැන නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙසක් ඉල්ලා සිටින ලෙසය.

අගමැති රනිල් සහ ජනාධිපති මෛත්‍රී අතර හටගෙන තිබෙන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට මැදිහත් විය හැකි බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර තිබිණි. ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීන් පිරිසක් මහින්දට මෙම යෝජනාව කළ බව කියැවිණි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන කුළල් කාගැනීම්වලට තමන් සම්බන්ධ නොවන බවය. ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ බලවේගය 2015 දී එක්වූයේ තමන්ට එරෙහිව බවත් දැන් ඒ අයම තමන්ගේ හතර මායිම් බේරාගන්නට සටන් කරන්නේ යැයි කී මහින්ද තමන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නට යාම අනවශ්‍ය වැඩක් යැයිද කීය.

එහෙත් මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ එක් විශේෂ ප්‍රකාශයක් කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් මෙරට ආරක්ෂක බුද්ධි අංශ ආදියේ ප්‍රධානීන් කැඳවා මාධ්‍ය හමුවේ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන තමන් තරයේම විරෝධය පළ කරන බවය. මේ කරැණට මැදිහත්ව කතානායකවරයා තත්ත්වය පාලනය කළ යුතු යැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. අද කැබිනට්ටුව පවා රැස්කර ගන්නට නොහැකිව ඇත්තේ තේරීම් කාරක සභාවේ මෙම ක්‍රියාකලාපය නිසා යැයි කී හෙතෙම ජනපති හා අගමැති අතර පවතින ගැටුම් නිසා රට අරාජික වී ඇතැයි දැඩි ලෙස චෝදනා කළේය.

කලකට පසු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාම එකවර විදේශගත වී සිටිති. අගමැති රනිල් පසුගිය බදාදා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යැයි කියමින් දින 4ක පමණ කාලයකට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. එම ගමනේදී ඔහු එරට ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සුවදුක් විමසීමට යනු ඇතැයි දැනගන්නට ලැබිණි. ඒ අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිව්දින නිල සංචාරයක් සඳහා වජිකිස්ථානය බලා පිටත් විය. එරට පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට එක්වීම ජනාධිපතිවරයාගේ චාරිකාවේ අරමුණ බව කියැවිණි. මේ දෙදෙනාම එකවර රටින් පිටව ගියද අදාළ තනතුරුවල වැඩ බැලීම සඳහා පත්වීම් සිදුකළ බවක් දැනගන්නට නොලැබිණි.

අගමැති රනිල් විදේශගත වීමට පෙර ජනාධිපති මෛත්‍රීට විශේෂ ලිපියක් යැවීය. ඒ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් වෙනුවට වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමිනි. නමුත් මෙම තනතුරු සඳහා වැඩ බැලීමට අමාත්‍යවරුන් පිරිසකගේ නම් නිර්දේශ කර එවූ බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වූ අවස්ථාවක එම තනතුරුවලට වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි යැයි පෙන්වා දී ඇති හෙතෙම මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට සිදුවන බවද දන්වා ඇත. 19 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ඇමැතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශය අනුව ජනාධිපති ක්‍රියා කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

දිගුකාලීන දේශපාලන අරමුණු සහිතව මෙරට තුන්වැනි දේශපාලන කඳවුර නිර්මාණයට ජ.වි.පෙ. සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා සරසවි ඇදුරන්, නීතිවේදීන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, වාමාංශික මතධාරීන් ආදී විවිධ කොටස් සමඟ සංවාදයක් ආරම්භ කර ඇතැයිද අනුර දිසානායක මහතා පැවසීය. මෙය සුළු ජනතා කඳවුරක් බවත් එම කඳවුරේ නියෝජිතයකු ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බවත් ජ.වි.පෙ. නායකයා කීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කැලණිය පක්ෂ බලමණ්ඩලය අමතමිනි.

පසුගිය සතියේ නොපැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන අඟහරුවාදා (18දා) පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇත. ඒ අනුව අඟහරුවාදා කැබිනට්ටුව රැස්වන බව කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ මහතා අමාත්‍යවරුන්ට දන්වා ඇතැයි පැවසේ.

කැබිනට්ටුව නොපැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කළේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විභාග කරන මැතිසබා තේරීම් කමිටුව තමන් පිට වරද පැටවීමට තැත් කරන බවට චෝදනා නගමිනි. කෙසේ වෙතත් හටගත් කැබිනට් අර්බුදය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය මනෝගනේෂන් ඇතුළු පිරිසක් පසුගියදා ජනපති හමුවූහ. ඒ ඔහු තජිකිස්තාන සංචාරයට පෙර දිනයේය. සජිත්ලා සමඟ කළ සාකච්ඡා සාර්ථක වීම නිසා කැබිනට්ටුව කැඳවන්නට ජනාධිපතිවරයා තීරණය කළේය.

තනතුරු අත්හරින ලද මුස්ලිම් අමාත්‍යවරුන් නැවතත් තමන් දැරූ තනතුරු භාරගැනීමට තීන්දු කර ඇත. සිංගප්පූරු සංචාරයක යෙදෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡාකොට නැවතත් තනතුරු ලබාගන්නට තනතුරු අත්හරින ලද ඇමැතිවරු තීරණය කළෝය. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙලෙස ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන් තනතුරු බාරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කටයුතු කළ යුතුයැයි පෙන්වාදී තිබිණි. ඒ බව සැලකිල්ලට ගත් මුස්ලිම් අමාත්‍යවරුන් මෙම තීරණය ගත් බව ප්‍රකාශ විය.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30