2019 ජුනි 08 වන සෙනසුරාදා

පොහොට්ටුවත් එ.ජා.පයත් එපාවූ ජනපති අලුත් ගමනක!

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 420

  • රතන හිමි ජයගනිති: අර්බුදය උග්‍රවෙයි.
  • ෆවුසි නිවෙසේදී ඇමැති දෙදෙනෙක් අස්වෙන්න බැහැ කියති
  • මහින්ද මෛත්‍රී කතාබහ රහසින්
  • හදිසි මහ ඡන්දෙකට සජිත්ලා විරුද්ධලු
  • ඇමැති මංගලට රට වටෙන්ම විරෝධය
  • දෙසැම්බර් 07දා ඡන්ද ප්‍රතිඵලය බැසිල් කලින්ම කියයි

යහපාලන රජය පිහිටවූවාට පසු හටගත් දෙවැනි දේශපාලන පෙරුළිය මේ සතියේ වාර්තා විය. මෙයට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් 26දා මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු බලය පැවරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය තරම්ම පෙරුළිකාර නොවුණත් රජයේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත්වීම අනාගත අර්බුදයක තවත් ප්‍රබල පෙර නිමිත්තකි. ඊට පාර කැපූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දියත් කළ මාරාන්තික උපවාසයයි. උන්වහන්සේ ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විවිධ චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් හා පළාත් ආණ්ඩුකාරවරුන් වූ අසාද් සාලි හා හිස්බුල්ලා යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කර පරීක්ෂණයක් පවත්වන හැටියටයි. මුලදී රතන හිමියන්ගේ සටනට එතරම් පුළුල් ජන සහයෝගයක් ඇති බව නොපෙනුණත් දවසක් දෙකක් ගතවන විට තත්ත්වය උණුසුම් විය.

ත්‍රෛනිකායික මහ නාහිමිවරු උන්වහන්සේගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ජනාධිපතිවරයාට දන්වා සිටියහ. අනුනායක මාහිමිවරු, කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ මැතිසබයේ මැති ඇමැතිවරුන් රැසක් මහනුවරට ගොස් රතන හිමියන්ට සහාය පළ කළෝය. රජය නියෝජනය කරමින් එහි ගියේ අමාත්‍ය චම්පික රණවක හා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහත්වරුය. එයින් අමාත්‍ය වසන්තට මුලින් දැඩි ජනතා විරෝධයක් එල්ල වුවද ඔහු උපවාස භූමියේම රැඳී සිටිමින් සටනට සහාය දුන් බව පෙනුණි. ශ්‍රී.ල.නි.පයෙන් එහි ගිය දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට උපවාස භූමියේදී දැඩි විරෝධයකට මුහුණදීමට සිදුවිය.

බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද දහස් ගණනක් වූ ගිහි පිරිස්ද නුවරට රැස්වූහ. මීගමුව කටුවාපිටිය ජනතාව මෙන්ම තවත් බොහෝ අන්‍යාගමික පිරිස්ද හින්දු පූජකවරුද සටනට එක්ව සිටියහ. මඩකලපුව මන්ත්‍රී වියලේන්ද්‍රන් ද එහි සිට උපවාසයක් ඇරැඹීය. ඊට ද බෞද්ධ භික්ෂු සහාය ලැබිණි. රට පුරා නගර ගණනාවක උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනු දක්නට හැකි විය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට මහනුවරට ගොස් උපවාසයට සහාය පළකරන ලෙස සමහරුන් දන්වා සිටි නමුත් තමන් එහි ගිය පසු ජනතාවගේ උද්‍යෝගය උත්සන්න වී අන්‍ය සහෝදර ජනයාට කිසියම් අගතියක් කළහොත් එය යුක්ති සහගත නොවන නිසා මහින්ද එහි නොගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මහනුවරට පිටත් කළේය.

ඒ අතර අමාත්‍ය බදුයුදීන් රජයේ සෙසු මැති ඇමැතින්, එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් හා මුස්ලිම් නායකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියෝය. එ.ජා.පයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඔහුට උපදෙස් දුන්නේ ප්‍රශ්නය සමථයකට පත්වන තෙක් ඉවත්වන ලෙසයි. තවත් අමාත්‍ය පිරිසක් කීවේ රිෂාඩ් අමාත්‍යවරයා ඉවත් විය යුතු නැති වගයි. මංගල සමරවීර, නවීන් දිසානායක, චම්පික රණවක, මනෝ ගනේෂන් ආදීහු ඒ අතර වූහ. කෙසේ හෝ මුස්ලිම් නායකයන් ගත් තීරණය ගැන දිගින් දිගටම අගමැතිවරයාට කරුණු දක්වද්දී අගමැතිවරයා ලිපිගොනුවක් ගෙන මල්වතු අස්ගිරි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් එවන ලද ලිපි ඒ අයට පෙන්වීය. තමන් හැම පැත්තෙන්ම පීඩාවට පත්ව සිටින බව අගමැතිවරයා ඇඟවූයේය.

මංගල සමරවීර අමාත්‍යවරයා කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් රතන හිමියන්ට ආශිර්වාද කිරීම හෙළා දකිමින් කතා කළේය. උන්වහන්සේ එසේ කිරීම ජාතිවාදී බලවේගවලට අනුග්‍රහයක් වනු ඇතැයිද මංගල කීය. එ.ජා.පයේ කබීර් හෂීම් අමාත්‍යවරයා උදෑසන පැවති ෆවුසි නිවෙසේ රැස්වීමට පැමිණ නොසිටියේය. නමුත් සවස ඔහු අරලියගහ මැඳුරේදී සෙසු අමාත්‍යවරුන් සමඟ එක්විය. ඒ අතර අලිසහීර් මවුලානා හා මොහොමඩ් ඉෂාක් යන මන්ත්‍රීවරුද මෙහිදී පෙන්වා දී තිබුණේ මුස්ලිම් මැති ඇමැතින් එකවර රජයෙන් ඉවත්ව යාමෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන හඬ නගන්නට කෙනෙක් නැතිවන බවයි. එහෙත් රවුෆ් හකීම්ලා සඳහන් කළේ දැන් තිබෙන තත්ත්වය අනුව මේ තීන්දුව ගත යුතු බවය. අනතුරුව ඔවුහු රජයේ පසුපෙළ මන්ත්‍රීන් ලෙස අසුන් ගනිමින් ඇමැති තනතුරු අත්හැරීමට තීන්දු කළෝය. මුස්ලිම් ප්‍රජාවගේ රැකවරණය උදෙසා එම තීන්දුව ගත් බවද ප්‍රකාශ කෙරිණි.

ඒ අතරතුර ජනාධිපති කාර්යාලයේ තවත් මෙහෙයුමක් දියත් වෙමින් තිබිණි. ඒ බස්නා හිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධවයි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මුලින්ම ජනාධිපතිවරයා හමුවිය. එහිදී ඔහු ප්‍රකාශ කළේ තමන් අස්වන්නට වරදක් කර නැති බවය. ඥානසාර හිමියන් සිරගෙදරින් නිදහස් කිරීම ගැන තමන් ප්‍රශංසනාත්මක ප්‍රකාශයක් පවා නිකුත් කළ බව පැවසූ හෙතෙම ඒ ගැන මුස්ලිම් සමාජයේ සමහරුන් තමන්ට දොස් කී වගද පැවසීය. දැන් උන්වහන්සේ ජනාධිපතිවරයාගේ උපදෙස් හෝ අහන්නේ නැතැයි පෙනෙන්නට ඇති වගද කීය. කෙසේ හෝ ජනාධිපතිවරයා ඔහුට තනතුරින් ඉවත්වන ලෙස යෝජනා කළ විට තමන්ගේ මිනිසුන්ගෙන් විමසා උත්තරයක් දෙන්නම් යැයි සඳහන් කර තිබිණි.

අසාද් සාලි ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කළ පසු ඔහු කෙළින්ම ඊට අකැමැත්ත පළ කළේ තමන් නිවැරදි බවත් බස්නාහිර පළාතේ ආරම්භ කර ඇති වැඩ කොටස නිම කිරීමට කාලය වුවමනා බවත් සඳහන් කරමිනි. එහෙත් ජනාධිපතිවරයා ඔහුට දිගින් දිගටම පැවසුවේ දැනට ඉවත්වන ලෙසයි. ඒ සාකච්ඡාව එකඟතාවකින් තොරව හමාර විය. නැවතත් ඔහු ආණ්ඩුකාර හිස්බුල්ලාට දුරකතනයෙන් කතා කොට තීන්දුව ගැන ප්‍රශ්න කළේය. එවිට හිස්බුල්ලා කීවේ තමන් පත් කළේ ජනාධිපතිවරයා නිසා අවශ්‍ය නම් ඉල්ලා අස්වන්නට සූදානම්ය කියාය. පළාතේ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් දීම සඳහා තමන් කලින් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබා දෙන්නැයි ඔහු ආයාචනා කළේය. මේ වනවිට එම තනතුර ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට පවරා තිබේ. එනිසා දැන් කිසිවක් කළ නොහැකි බවත් ඊළඟ මහ ඡන්දයේදී තමන් ඔහු ජාතික ලැයිස්තුවට ඇතුළත් කොට අමාත්‍ය පදවියක් ලබාදෙන වගත් ජනාධිපතිවරයා හිස්බුල්ලාට කීය. ඒ අනුව ඔහු තනතුරින් ඉවත් වන්නට එකඟ විය. ඉන්පසු නැවතත් අසාද් සාලි ආණ්ඩුකාරවරයා ඇමතූ ජනාධිපතිවරයා &හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා තනතුරින් ඉවත් වන්නට සූදානම් බැවින් ඔබද තනතුරින් ඉවත් වන්න ඕනෑ..” යැයි කීය. එහිදීත් අසාද් ඊට එකඟ නොවීය. ජනාධිපතිවරයාට තදින් කේන්ති ගොස් තිබිණි. &අසාද්.. මම ඔයාට මේ තනතුර දුන්නේ ඔයා මගේ දිගුකාලීන යාළුවෙක් නිසා. දැන් රටේ තත්ත්වය තේරුම් ගන්න. ඔයාලට ඕන රට අවුලුවන්නද? ඒක නොකර වහාම හිස්බුල්ලා වගේ රටට හිතවත් තීන්දුවක් ගන්න”.. යැයි තරයේම කීය. ඒ සමඟ අසාද්ට කරන්නට දෙයක් නැති විය. ඔහු තමන්ද ඉවත්වන බව පැවසීය.

ඉවත් වූ ආණ්ඩුකාරවරුන් වෙනුවට අලුත් ආණ්ඩුකාරවරු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන්නටත් පෙර සිටම ඒ සඳහා බලපෑම් කිරීමට කිහිප දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. බස්නාහිර පළාත් සභාව සඳහා මුස්ලිම්වරයකු ආණ්ඩුකාර ධූරයට පත්කළ යුතු යැයි ජනාධිපතිවරයා කල්පනා කළද ඒ තනතුරු භාරගන්නට එපා යැයි මුස්ලිම් නායකයන්ට දිගට හරහට බලපෑම් එල්ල වී තිබිණි. එහෙත් ජනාධිපතිවරයාගේ දැඩි ඉල්ලීම නිසා ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා අවසානයේ ඒ තනතුර භාරගන්නට එකඟ විය. හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු කිහිප දෙනෙක්ම ඊට තරග කළහ. නැගෙනහිරටද එසේමය. නැගෙනහිර ආණ්ඩුකාර පදවිය සඳහා ජනාධිපතිවරයා තෝරාගෙන තිබුණේ දකුණේ හිටපු මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතාය.

පසුගිය දිනවල අමාත්‍ය මංගල සමරවීර මහතා මේ රට බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයත් ඉන්පසුව රතන හිමිගේ උපවාසයට අදාළව නිකුත් කළ ඇතැම් ප්‍රකාශත් නිසා මහා සංඝරත්නය මංගල සමඟ තරමක අමනාපයෙන් පසුවූහ. ඒ සමඟ කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් රතන හිමිගේ සුවදුක් විමසීම ගැනද මංගල දොස් කීය. ඒ සමඟ රාජිත සේනාරත්න, චතුර සේනාරත්න යන මැති ඇමැතිවරු දෙපළද මෙලෙස විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට වූහ. මේ අයට එරෙහිව මහා සංඝරත්නය විවිධ පිළිතුරු ලබා දුන්නද ඔවුනට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත්තේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසිනි. එම බලමණ්ඩලය තීන්දු කළේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ කිසිදු විහාරස්ථානයකට මංගල, රාජිත හා චතුර යන තිදෙනා වැද්ද නොගන්නා බවටය. මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළැයි යන චෝදනාව නිසා ශාසනාරක්ෂක බලමණ්ඩලය මෙම තීන්දුව ගත් බවද එය මුළු රටම ආදර්ශයට ගත යුතු යැයි එහි නායක හිමිවරු කීහ. දෙවනුව අමාත්‍ය මංගලට එරෙහිව මෙබඳු සංඝ ආඥාවක් නිකුත් කළේ මාතර ශාසනාරක්ෂක බල මණ්ඩලයයි. මාතරදී පා ගමනක් හා සත්‍යග්‍රහයක් පැවැත්වූ ප්‍රදේශයේ නාහිමිවරු දිස්ත්‍රික්කයේ කිසිදු විහාරස්ථානයකට අමාත්‍ය මංගල වැද්ද නොගත යුතු යැයි තීන්දු කළහ.

මේ සතියේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් අතර හමුවීම් ගණනාවක්ම තිබිණි. අගමැති රනිල් හා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර හමුවක් ගිය සඳුදා පැවැත්වුණි. එදිනම ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතරද පෞද්ගලික මට්ටමින් හමුවක් පැවැත්විණි. ඉන්පසු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරද හමුවක් පැවැත්විණි. මෙම හමුවීම්වලදී රතන හිමිගේ උපවාසය ගැන ප්‍රධාන වශයෙන්ම අවධානය දැක්විණි. ඊට අමතරව මහින්ද රනිල් හමුවේදී පසුගිය පාස්කු ප්‍රහාරයෙන් කඩාවැටුණු ජන ජීවිත සහ ව්‍යාපාර ආදියට සහාය ලබාදීම ගැනද කතාබහ විය. ඒ ගැන සවිස්තර තොරතුරු මංගල සමරවීර අමාත්‍යවරයා මැතිසබයට ගෙන එන බව කීය.

මේ සියලු කතාබහ අතරතුර මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉවත් වීමත් සමඟ හදිසි මහ මැතිවරණ කතාවක්ද පැතිරෙන්නට විය. මේ සතියේ සිදුවූ ප්‍රධාන දේශපාලන නායකයන්ගේ හමුවීම්වලදී ඒ ගැන සාකච්ඡාවක් සිදුවූ බව දැනගන්නට තිබේ. මහින්ද මෛත්‍රී යන නායකයන් දෙදෙනාම හදිසි මහ මැතිවරණයකට එකඟත්වය පළකර ඇතැයි ස්ථිර නොකළ ආරංචි මාර්ග කියයි. ඒ සඳහා මැතිසබයට යෝජනාවක් ගෙන එන ආකාරය ගැන පවා ඔවුන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් එ.ජා.පයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පසුපෙළ මන්ත්‍රී පිරිසක් ඊට එකඟතාව පළකර නැති බවද සඳහන්ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැනත් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ඇතුළු පිරිස ගැනත් විමර්ශනයට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු සජීවීව ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නොසතුට පළවී තිබේ. ඔහු මේ බව එම කමිටුවේ ජ්‍යෙෂ්ඨයකු වන රවි කරුණානායක අමාත්‍යවරයාට දැන්වූ බවද සඳහන්ය. එසේම ආරක්ෂක අමාත්‍යාංශයට අයත් බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවා ප්‍රශ්න කිරීම ගැනත් මෙහිදී අමාත්‍ය කරුණානායකගෙන් විමසා ඇතැයි කියැවේ. කෙසේ හෝ ඉන්පසු අමාත්‍ය කරුණානායක විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සංවේදී ආරක්ෂක තොරතුරු රැස් කරන නිලධාරීන් මැතිසබා කමිටුවට නොකැඳවන බවයි. නමුත් එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ මේ ආකාරයට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජන ඇතිවේ යැයි කීම විහිළු කතාවක් බවය.

ඇතිවූ අරගලකාරී තත්ත්වය නිසා රජයේ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙක් තම තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ප්‍රකාශයට පත් කළෝය. එහෙත් ඉන් දින දෙක තුනක් යනවිට කතා පැතිර ගියේ ඔවුන් ජනාධිපතිවරයා වෙත මේ බව ලිඛිතව දන්වා නැති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යවරයකු ඉල්ලා අස්විය යුත්තේ ජනාධිපතිවරයා අමතා යැවෙන අස්වීමේ ලිපියක් මාර්ගයෙනි. මේ ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් විමසූ සියලු දෙනාට උදය සෙනෙවිරත්න ලේකම්වරයා පවසා තිබුණේ තමන්ට නම් එබඳු ලිපි නොලැබුණු බවය. එසේ ඉල්ලා අස්වූ බව කියන අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලද ඉල්ලා අස්වී නැති අතර ඔවුන්ගේ නිල වාහනද භාරදී නැත. ඒ අය තවමත් නිල නිවාසවල රැඳී සිටිති. එහෙත් ඇතැම් මුස්ලිම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ තමන්ගේ ඉල්ලා අස්වීම් අග්‍රාමාත්‍ය කාර්යාලයට භාරදුන් බවකි. මැතිසබයේ අමාත්‍යවරුන් හා අමාත්‍යවරුන් නොවන අයට අසුන් පැනවීමේදී ආසන සැකසුම වෙනස් කරන නිසා ඒ ගැන වේත්‍රධාරී කාර්යාලයද කතානායක කාර්යාලයෙන් හා ජනාධිපති කාර්යාලයෙන් නිල නොවන විමසුමක් කළ බවත් එහිදීත් අස්වීමේ ලිපි නොලැබුණු බව කියැවුණු වගත් වාර්තා විය. මේ ගැන පසුගියදා මැතිසබයේදීත් ප්‍රශ්න කෙරිණි.

කෙසේ හෝ එක්තරා ජ්‍යෙෂ්ඨ මුස්ලිම් අමාත්‍යවරයෙක් මේ ගැන කරුණු දක්වමින් කියා තිබුණේ තමන් ඇතුළු ඇමැතිවරුන් තාවකාලිකව තනතුරැ අත්හැරිය බවය. (STAND DOWN) එය ‘ස්ටෑන්ඩ් ඩවුන්’ තත්ත්වයක් යැයි පැවසූ ඔවුන් සහමුලින්ම තනතුරුවලින් ඉවත්වීම ‘ස්ටෙප් ඩවුන්’ (STEP DOWN) තත්ත්වයක් ලෙස විග්‍රහ කර තිබිණි. මේ තාවකාලික තනතුරු අත්හැරීම සිදුකළේ තම සගයන්ට එරෙහිව කෙරෙන පරීක්ෂණ සාධාරණව සිදුකිරීමට අවකාශ සලසා දීම පිණිස යැයිද ඔවුන් සඳහන් කර තිබිණි.

මේ අතර මහනුවර අස්ගිරිය විහාරයට රැස්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු හා අනුනායක හිමිවරු ඉතාමත් වැදගත් යෝජනා මාලාවක් සම්මත කළෝය. එහි යෝජනා 12ක් ඇතුළත් වන අතර ජනවර්ග අතර සමගිය සඳහා වන යෝජනා ගණනාවක්ද වෙයි. එම යෝජනාව මගින් මහ නාහිමිවරුන් අනුශාසනා කර ඇත්තේ මෙරට දිගුකලක් සිංහලයන් සමඟ සහෝදරත්වයෙන් බැඳී ජීවත් වූ මුස්ලිම් ජාතිකයන් නියෝජනය කරන ඇමැතිවරුන් සිය තනතුරු අත්හැරීම සංවේගයට කරුණක් බවයි. එබැවින් ඒ අය වහා නැවතත් තමන්ගේ තනතුරු භාරගෙන පාලන තන්ත්‍රයට පිවිසිය යුතු යැයිද උන්වහන්සේලා අවධාරණය කළෝය. මුස්ලිම්වරුන්ගේ රාමලාන් උත්සවය සමරන දිනයේ මහ නාහිමිවරුන් විසින් ජාතික සමගිය උදෙසා සිදුකළ මෙම ප්‍රකාශය ඉතාමත් වැදගත් බව විචාරක මතයයි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් පොහොට්ටුවට හෝ එ.ජා.පයට උදව් නොදෙන බව ජනාධිපතිවරයා කී බව මාධ්‍යයේ පළ විය. එහෙත් ඊට පෙර සඳහන් වූයේ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා කීවේ තමන් පොහොට්ටුව හා ගමනක් නොයන බවත් එ.ජා.පයේ ජවයක් ඇති නායකයකු ඡන්ද සටනට නම්කළහොත් ඔහුට සහාය දෙන බවත්ය. එයින් වක්‍රව අදහස් කළේ ජනාධිපතිවරයා එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව යැයි එ.ජා. පෙරමුණේම ඇතැම් නායකයෝ කීහ. සජිත් මෛත්‍රී හවුලක් ඇතැයිද ඔවුහු කියන්නට වූහ. එහෙත් මේ කිසිදු තොරතුරක් නිල වශයෙන් සනාථ කර නැත.

කෙසේ හෝ මෙම ප්‍රකාශය ගැන පුවත් පළවී පැය කිහිපයකින් පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අපූරු පෝස්ටරයක්ද ඊට එක්කර තිබිණි. එහි ඡායාරූප තුනක් විය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ එම ඡායාරූප තුනයි. එම සටහනින් බැසිල් ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂයේ අපේක්ෂකයා ළඟ එන පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බවය. ලබන දෙසැම්බර් 09දා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මෙරට ජනාධිපතිවරයා ලෙස නිත්‍ය වශයෙන්ම දිවුරුම් දෙනු ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් සටහනේ සඳහන්ය.

පසුගිය දිනක හදිසියේම ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වන එස්. බී. දිසානායක මහතා මුණගැසුණේය. එස්.බී. හමු වූ දයාසිරි කීවේ &ඉහළින් ඉල්ලීමක් ලැබිලා තියෙනවා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති සටනට මෛත්‍රී ජනාධිපතිතුමාටම නැවතත් ඉදිරිපත් වෙන්න කියලා ලියුමක් දෙන්න කියලා”. ඒ ඇසූ එස්. බී. දිසානායකට තරමක් කේන්ති ගියේය. &මේ වැඩේ හොඳ දෙයක් නෙවෙයි. ඒක එතුමටත් හොඳ නැහැ.. මටනම් බැහැ ඕවට මැදිහත් වෙන්න” එස්.බී. දයාසිරිට කීය.

&මටත් නෙවෙයි මේක ඕන. ඉහළටම තමයි” දයාසිරි නැවතත් කීය.

&ඒක හරියන්නෙ නැහැ. දයාසිරි අපි කියමු පුළුල් පෙරමුණක් සඳහා එතුමට මූලික වෙන්න කියලා. එහෙම ලියුමක් හදමු.” නැවතත් එස්.බී. යෝජනා කළේය. ඒ අනුව එ.ජා.ප විරෝධී ප්‍රගතිශීලී සන්ධානයක් හදන ලෙස ඉල්ලමින් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ගේ අත්සනින් ලිපියක් සකස් කොට ජනාධිපතිවරයාට භාර දීමට තීන්දු විය. එලෙස සකස් කළ ලිපිය ගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාට භාර දුන්නේ නිමල් සිරිපාල හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප මන්ත්‍රීන් විසිනි. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩකඩ ඇතැයි පළමු වරට වාර්තා විය. මෙයට පෙර වාර ගණනාවක් ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් නැවතත් ජනාධිපති සටනට නොඑන බවයි.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30