2019 ජනවාරි 12 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දයට අලුත් ප්ලෑනක්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

• පදවි ප්‍රාප්ති සමරුව සමඟ ජනපති “ටීම්එක” ශක්තිමත් කරයි.

• නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට විරෝධය.

• එ.ජා.පෙ. සන්ධානයට සිවිල් සංවිධානවලටත් රනිල්ගෙන් ඇරැයුම්.

• දෙමළ සන්ධාන විරෝධය විසිවෙයි: මහින්දට විපක්ෂනායක පුටුව.

• කටවරද්දා ගත් දයාසිරි මහින්දට කනගාටුව පළකරයි.

• ස්වාධීන රූපවාහිනී අර්බුදයට හේමසිරි ප්‍රනාන්දුගෙන් විසඳුමක්.

පළාත් සභා සඳහා අලුත් ආණ්ඩුකාරවරුන් පත්කරමින් ජනාධිපතිවරයා නව වසරේ රාජකාරී ආරම්භ කළේය. හිටපු පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉවත් නොකෙරුණේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දරන මාර්ෂල් පෙරේරා මහතා පමණි. ඔහු ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ පියාණන්ය.

මෙවර ආණ්ඩුකාර ධුර පිරිනැමීමේදී දකින්නට ලැබුණ විශේෂ ලක්ෂණ ගණනාවකි. ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා තමන්ගේ “ටීම් එක ශක්තිමත් කර ගැනීම සඳහා අදාළ පත්වීම් කළ බවයි. පේෂල ජයරත්න, සරත් ඒකනායක, අසාද් සාලි, රජිත් කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න, හිස්බුල්ලාහ් ආදි ආණ්ඩුකාර පදවි ලද්දන් සෑම දෙනෙක්ම පාහේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික තෝරාගැනීම් බව සඳහන් විය.

උතුරේ සමහර දේශපාලනඥයන් (හිටපු පළාත් සභා සභාපති සිවඥානම් වැනි අය) පවා ආණ්ඩුකාරධුරයට රෙජිනෝල්ඩ් කුරේ පත්කරන ලෙස ඉල්ලා සිටියද ජනාධිපතිවරයා ඊට එකඟ නොවීය. ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන් දවසේ රෙජිනෝල්ඩ් කුරේ හිටපු ආණ්ඩුකාරවරයා සහ සබරගමුව හිටපු ආණ්ඩුකාරවරිය වූ නිලූකා ඒකනායක ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියෝය. බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන්ට නැවත ආණ්ඩුකාර පදවි හිමිවනු ඇති බවයි. එහෙත් ඔවුනට තනතුරු හිමි නොවූ අතර ජනාධිපතිවරයා ඔවුන්ට කියා තිබුණේ දින දෙක තුනකින් පැමිණ තමන් හමුවන ලෙසයි. ඒ අනුව රෙජිනෝල්ඩ් කුරේ මහතා ස්වර්ණභරණ අධිකාරි සභාපති ලෙසද නිලූකා ඒකනායක මහත්මිය දැව සංස්ථා සභාපති ලෙසද පසුව පත්කළේය.

මෙවර ආණ්ඩුකාර පත්කිරීම්වලදී සිදු වූ තවත් විශේෂ කරුණක් වූයේ පළාත් සභා ඉතිහාසයේ මුල්වරට උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට දෙමළ ජාතිකයකු ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට මුස්ලිම්වරයකු ද පත්කිරීමයි. එසේම මෙම පත්කිරීම්වලදී එක්තරා ආගමක් නියෝජනය නොවූ බවටද සමහරුන් මැසිවිලි නැගූ බව වාර්තා විය. දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට එම ධුරය දැරූ මාර්ෂල් පෙරේරා මහතාම පත්කළ නමුත් පසුව ඔහු ඌවට මරුකළ අතර කීර්ති තෙන්නකොන් දකුණට පත්කළ බව වාර්තා විය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්වී වසර 4 සම්පූර්ණ වූයේ මේ සතියේය. ගිය අඟහරුවාදා ඒ සඳහා උත්සව ගණනාවක් සංවිධානය කර තිබිණි. බණ්ඩාරනායක ගුණසමරු උළෙලක් මෙන්ම මොරගහකන්ද ව්‍යාපාරය යටතේ ඉදිවූ ලග්ගල නගරය ජනතා අයිතියට පත්කිරීම ද මෙදින සිදුවිය. එබැවින් අඟහරුවාදා පවත්වන්නට නියමිත වූ අමාත්‍ය මණ්ඩල හමුව පැවතුණේ ගිය සඳුදාය.

කැබිනට් සාකච්ඡාවේදී රවි කරුණානායක අමාත්‍යවරයා මුලින්ම විරෝධය පළකළේ පසුගිය සතියේ රාජ්‍ය බැංකුවකින් විදේශ ණය පියවීම සඳහා මුදල් ණයට ගැනීමට කැබිනට්ටුව ගත් තීරණයට. තමන් විරුද්ධ වූ බව කැබිනට් තීන්දුවල සඳහන් නොවන වග කියමිනි. අනතුරුව රවි කරුණානායක අමාත්‍යවරයා ප්‍රශ්න කළේ රජය සුරා බද්ද ගැන ක්‍රියාත්මක කළ නව නීති නිසා බදු ආදායමේ වැඩිවීමක් තිබේද කියායි. ඊට මුදල් ඇමැති මංගල කීවේ තමන් සතුව අදාළ දත්ත මේ මොහොතේ නැති බවය. අනතුරැව අමාත්‍යාංශවලට උපදේශකයන් බඳවා ගැනීම ගැන යෝජනාවක් ඉදිරිපත් විය. එම උපදේශකයන් කළින් සිටි ආකාරයටම එක් අමාත්‍යංශයකට දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් පත්කරගන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපති දැනුම් දුන්නේය. පාසල් සිසු රක්ෂණය දීර්ඝ කිරීමට ද ක්‍රීඩා ගුරුවරු බඳවාගන්නට ද අධ්‍යාපන අමාත්‍යවරයාට අනුමැතිය හිමිවිය.

එ.ජා.ප.යේ රංගේ බණ්ඩාර හා රවීන්ද්‍ර සමරවීර වැනි ජ්‍යෙෂ්ඨයන්ටත් කැබිනට් අමාත්‍ය පදවි ලබාදීම සඳහා ජාතික ලැයිස්තුවෙන් පත්කර සිටින මලික් සමරවික්‍රම හා තිලක් මාරපන යන අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙස පසුපෙළ මන්ත්‍රීහු බලපෑම් කරමින් සිටිති. ඔවුන්ගේ මතය ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීන්ට මේ ආකාරයට අමාත්‍යාංශ පැවරිය නොයුතු බවයි. ශේෂාන් විතානගේ හා චමින්ද විජේසිරි යන මන්ත්‍රීන් කියා තිබුණේ මේ අය ඉවත් නොවුණොත් අයවැයේදී ඔවුන්ගේ වැය ශීර්ෂ වලට ඡන්දය නොදී පරාජය කරන බවයි. ඒ අනුව මෙම මන්ත්‍රීන්ගේ ඉල්ලීම ඉටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අතර රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ තමන්ට කැබිනට් පදවියක් ලැබෙන තුරු ජනතාව පුල පුලා බලාසිටින වගයි. මේ ආකාරයට ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ඉවත් නොකර මුස්ලිම් කොංග්‍රසයෙන් තනිව පත්වී සිටින අලි සෆීර් මවුලනා රාජ්‍ය අමාත්‍යවරයා රජයට එක්කරගෙන ජාතික රජයක් ගොඩනැගීමට ද යෝජනා විය. මේ ගැන විශේෂයෙන් ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව මෙවැන්නක් කරන්නට මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කොට පියවර ගන්නා බවය.

පසුගිය සඳුදා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි. මෙහිදී සාකච්ඡාවට ලක්වූයේ අලුතෙන් ස්ථාපිත කරන්නට යන සන්ධානය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනැගීම පිළිබඳවයි. දැනටත් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ ඊට එක්ව සිටින බව පක්ෂ මහලේකම් අකිල විරාජ් මහතා ප්‍රකාශ කළේය. ඒ සමඟ සන්ධානය පුළුල්කිරීම පිණිස 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පෙරමුණ ගත් සිවිල් සංවිධාන සියල්ල එක්කරගැනීමට තීන්දුවක් ගැනිණි. එසේම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නව සමසමාජ පක්ෂය ද ඊට එක්කරගන්නට අවශ්‍ය බව ප්‍රකාශ විය. මේ වසර තුළ පැමිණෙන ඕනෑම මැතිවරණයකට මුහුණදී ජයග්‍රහණය කිරීමේ අරමුණින් නව සන්ධානය ස්ථාපිත කරන බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම මෙහිදී ප්‍රකාශ කළෝය. මෙම ගැටුමේදී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරු අමාත්‍ය මලික් සමරවික්‍රමට දැඩි ප්‍රහාරයක් එල්ලකළහ.

අලුතෙන් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් අතරින් නැගෙනහිර පළාත සඳහා පත්කළ එම්.එල්.එම්. හිස්බුල්ලාහ් මහතාට දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවකින් විරෝධය එල්ලවී තිබේ. එසේම බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ද එබඳුම විරෝධයක් එ.ජා.ප.යෙන් එල්ලවී ඇතැයි දේශයට වාර්තා වෙයි. පසුගියදා එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් මුණගැසුණු මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු වන එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා අගමැති රනිල්ට දන්වා ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ තැනත්තාට තමන් එකඟ නොවන බවය. හිස්බුල්ලාහ් මහතාගේ ඇතැම් අතීත ක්‍රියාකලාපයන් ද දෙමළ සන්ධාන හා මුස්ලිම් කොංග්‍රස ප්‍රධානීන්ගේ විරෝධයට හේතු ලෙස ඔවුහු ප්‍රකාශ කරති. දෙමළ ජනතාවට ඔහු ගෙන් සාධාරණය ඉටුනොවුණහොත් ප්‍රශ්න මතුවිය හැකි බවද සුමන්තිරන් මහතා කියා තිබුණි. රවුෆ් හකිම්ගේ අදහස වී තිබුණේ පොදු මුස්ලිම්වරුන්ගේ අභිලාශයන් අනුව හිස්බුල්ලාහ් ක්‍රියානොකරනු ඇති බවය. එම නිසා ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්කොට ඔහු ඌව පළාතට හෝ වෙනත් පළාතකට ස්ථාන මාරු කරවන ලෙස දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මේ ගැන එ.ජා.ප. ජ්‍යෙෂඨයන් ජනාධිපතිවරයා ද දැනුවත් කර තිබිණි. නමුත් හිස්බුල්ලාහ් මහතාට ස්ථාන මාරුවක් ලබාදීම ගැන මෙතෙක් ජනාධිපතිවරයා කිසිදු තීරණයක් ගෙනනැත.

මැතිසබයේ විපක්ෂ නායක පදවිය සම්බන්ධ ප්‍රශ්නය තවමත් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. කතානායක කරු ජයසූරිය මේ ගැන මැතිසබයටත් පාර්ලිමේන්තුවේ පක්ෂනායකයන්ගේ රැස්වීමටත් දන්වා සිටියේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තමන් තීන්දු කළ බවය. එසේම විපක්ෂනායක පදවිය තීන්දු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට දෙමළ ජාතික සන්ධානය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද කරු ජයසූරිය මහතා මැතිසබයට දැන්වීය. එහෙත් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා මේ සතියේත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ තමන් තවදුරටත් විපක්ෂනායකවරයා බවය. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතාට එම තනතුර හිමිනොවන බව තම මතය යැයි සම්පන්දන් මහතා වැඩිදුරටත් කීය.

එහෙත් දෙමළ ජාතික සන්ධාන ජ්‍යෙෂ්ඨයකු වන ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මහින්ද මහතා විපක්ෂ නායක පදවියට පත්කරන්නට කතානායකවරයා ගත් තීන්දුව නිවැරදි බවය. දෙමළ ජාතික සන්ධානය ඊට එරෙහි විය යුතු නැතැයිද හෙතෙම සඳහන් කර තිබිණි. එසේම දෙමළ ජාතික සන්ධානයට එම ධුරය ඉල්ලාසිටීමට කිසිම අයිතියක් නැතැයි සිද්ධාර්ථන් මහතා කීය. යම් හෙයකින් දෙමළ ජාතික සන්ධානය විපක්ෂනායක පදවිය බලහත්කාරයෙන් තබාගන්නට ගියහොත් තම පක්ෂය දකුණේ ජනතාවගේ අප්‍රසාදයට පත්වන බව කී හෙතෙම මහින්ද රාජපක්ෂ මහතාට මෙම තනතුර පැවරිය යුතුය යන්න තම පෞද්ගලික මතය යැයි සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කලකට පසු එකම උත්සවයකට සහභාගී වූහ. ඒ හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සමරුම වෙනුවෙනි. කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා උත්සවය සංවිධානය කර තිබුණි. මේ සඳහා ජනාධිපතිවරයා මුලින්ම පැමිණි අතර නව මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද ඊට එක්වූහ. අනතුරුව ජනාධිපතිවරයා පුෂ්පෝපහාර පුද කළේය. ඒ වනවිටත් චන්ද්‍රිකා මැතිනිය පැමිණ නොතිබිණි. ඉන් පසු සුළු මොහොතක් එහි ගතකළ ජනාධිපතිවරයා පිටත්ව යෑමට සැරසෙද්දී හිටපු ජනපතිනිය උත්සව සභාවට පැමිණියාය. එහෙත් ඇය මුණනොගැසුණු ජනාධිපති මෛත්‍රී ඒ මොහොතේ තමන්ගේ නිල රථයට නැගී පිටත්ව යනු පෙනුණි. උත්සව සභාවට පැමිණි හිටපු ජනපතිනිය පිළිගත් දයාසිරි ජයසේකර මහතා ඇය සමඟ බොහෝවේලා පිළිසඳරේ යෙදෙනු දක්නට ලැබිණි.

ජනතා විමුක්ති පෙරමුණ දීපව්‍යාප්තව සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර තිබේ. එම සම්මන්ත්‍රණ නම් කර ඇත්තේ ජනතාවාදි පාලනයක් උදෙසා විද්වත් පෙළගැස්ම යනුවෙනි. ජ.වි.පෙ. නායක අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාවේ කොළඹ පැවති සමුළුව අමතමින් ජ.වි.පෙ. නායකයා සඳහන් කළේ ප්‍රධාන පක්ෂ දෙකම හොරකම නීතිගත කර ඇතිබවයි. එම පක්ෂ දෙකේම නායකයන්ට හොරකම හා දූෂණය ගැන චෝදනා එල්ලවී තිබියදීත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම අනුගාමිකයන්ද “අපේ හොරා අපට හොඳයි” ප්‍රතිපත්තිය අනුගමනය කරන වග සඳහන් කළේය. අද ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ ප්‍රධානම ඉලක්කය තම අමාත්‍යාංශය ගුණාත්මකව සංවර්ධනය කිරීම නොව ගොඩනැගිලි ඉඳිකාරන්නේ කොහේද යන්න ගැන සොයාබලා ඒවාට උනන්දුවීම බව පැවසූ හෙතෙම මේ ක්‍රමයට තවත් කල්ප ගණනකට රට දියුණු නොවන බව අවධාරණය කළේය.

පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන “සැර” ප්‍රකාශ ගණනාවක් සිදුකළ බව මහින්ද රාජපක්ෂට මෙන්ම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ද වාර්තා වී තිබිණි. “මේ රටේ හොරෙක් නොවන එකම ජනාධිපතිවරයා වත්මන් ජනපති පමණයි...” යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ... පොහොට්ටුවට ගිය අය ගැන පියවර ගන්නවා. ආදී වශයෙන් දයාසිරි කළ ප්‍රකාශ ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කළවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ “ඒවා කියූ මිනිහාගෙන්ම ඒවා ගැන අහගන්න කියාය.” මහින්ද ඊට පිළිතුරු සපයන්න ගියේ නැත. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දයාසිරි ජයසේකර අමතා මහලේකම් පදවියට පත්කර දින දෙක තුනක් ඇතුළත මේ කරන ප්‍රකාශ මොනවා දැයි ප්‍රශ්න කළේය. එහිදී තදින් දයාසිරිට අවවාද කළ ජනාධිපතිවරයා තමන් දැන් නිකම්ම මන්ත්‍රීවරයකු නොව ශ්‍රී.ල.නි.ප. මහලේකම් බව මතක තබාගත යුතු යයිද කීය. පක්ෂය දැන් කණ්ඩායම් සියල්ල එකතුකරගෙන අලුත් ගමනක් යන්නට හදන විට ඊට බාධා නොකළ යුතු බව කී ජනපති දයාසිරිට තදින් අවවාද කළ බව සඳහන් විය.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසු එ.ජා.නි.ස. මන්ත්‍රීන්ගේ කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රැස්වීම ආරම්භයේදීම නැගී සිටි දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවල තමන් කළ යම් යම් ප්‍රකාශ මාධ්‍ය මගින් විකෘති කර ප්‍රචාරය කර ඇතැයි කීය. ඒවා තමන්ට වුවමනා ආකාරයට සංස්කාරණය කොට ප්‍රචාරය කිරීම වැරදි සහගත බවත් කීය. ඒ ගැන අදාළ මාධ්‍යකරුවන්ට තමන් දෝෂාරෝපණය කළ බව කී ජයසේකර මහතා එම ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන නොවන බවත් එයින් එතුමාගේ සිත් රිදීමක් වූයේනම් බෙහෙවින් කනගාටුවන බවත් කීය. එවිට හිටපු ජනාධිපතිවරයා දයාසිරිට කීවේ “තමන් දැන් නිකම් මන්ත්‍රීවරයකු නොවන බවත් වැදගත් පක්ෂයක ප්‍රධාන ලේකම් බවත් සිහියේ තබාගෙන කටයුතු කරන ලෙසයි... එවිට දයාසිරි කීවේ ජනාධිපතිතුමන්ද තමන්ට ඒ ආකාරයට උපදෙස් දුන් වගයි.

අලුතෙන් උතුරු පළාත් සභාව සඳහා පත්කරන ලද ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා මුණගැසුණි. ඒ කොළඹ 7 පිහිටි විපක්ෂ නායක නිල නිවසේදීය. උතුරු පළාත් සභාවක්ද දැනට ක්‍රියාත්මක නොව නිසා ඉදිරි කාලයේ උතුරේ ජනතාවට ආණ්ඩුකාරවරයා ලෙස තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව ගැන අදහස් උදහස් හා යෝජනා තමන් වෙත ලබාදෙන්නැයි නව ආණ්ඩුකාරවරයා දෙමළ සන්ධාන නායකයාගෙන් ඉල්ලාසිටියේය.

ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් පසුගිය සතියේ ගෙනගිය සටන සමතයකට පත්කිරීම සඳහා රජය මුලින්ම පොලිසිය පොලිස් කැරළි මර්දන ඒකක කැඳවීය. ඒ සමඟ සේවකයන් සහ පොලිසිය අතර තවත් ආරවුල් හට ගැනුණි. අලුතෙන් ප්‍රධාන විධායක නිලධරයකු පත්කිරීම සහ වැඩ තහනම් කළ සේවකයන් 13 දෙනෙකු නැවතත් සේවයට කැඳවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන මෙම සේවක අරගලය දියත් විය. සටන දින ගණනාවක් යද්දී උග්‍ර තත්ත්වයට පත්වීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අර්බුදය විසඳීම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට පැවරීය. හේමසිරි මෙයට වසරකට පමණ පෙර අයි.ටී.එන්. හි හිටපු සභාපතිවරයකු වන නිසා ඔහු ප්‍රශ්නය සමතයකට පත්කිරීමට පැමිණීම විරෝධතාකරුවන්ගේ හා පාලනාධිකාරියේ පිළිගැනීමට හේතුවිය. හේමසිරි අයි.ටී.එන්. මෙත පැමිණ සේවක - පාලක දෙපක්ෂය සමඟම සාකච්ඡාකොට අයි.ටී.එන්. අර්බුදයට පැය 1 ½ ක් ඇතුළත විසඳා හමාර කළේය. ජනාධිපතිවරයා නම් කළ නීතිඥ රසාංග හරිෂ්චන්ද්‍ර එහි ප්‍රධාන විධායක නිලධරයා ලෙසද පත්කැරිණි. ඔහුගේ විසඳුම පිළිගත් සේවකයෝ ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ලබාදීම ගැන හේමසිරි ප්‍රනාන්දුට අත්පොලසන් දී සතුට පළකළේය.

මහමැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිසබය අනුමැතිය ලබාගන්නට ආණ්ඩුව අකමැතිවන්නේ නම් දැනට කාලය හමාරවී තිබෙන පළාත් සභා 6 මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වා පළාත් සභා සක්‍රීය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් සිය දේශපාලන උපදේශකයන් සමඟ මෙන්ම පොහොට්ටුවේ ප්‍රධානින් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේ. මෙහි ප්‍රශ්නයට තුඩුදී තිබෙන සීමානිර්ණය වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා විසින් ගෙන්වාගත් අතර පැරණි මැතිවරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට පසුගියදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ද එකඟවූහ. නමුත් ඊට අදාළව යෝජනාවක් මැතිසබයේ සම්මත විය යුතුය. එවැනි යෝජනාවක් රජය සම්මත නොකළහොත් අලුත් ක්‍රම යටතේ ඡන්දය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බව කියැවේ. මේ සඳහා අවශ්‍ය නෛතික තීරණ හා දේශපාන තීරණගැනීමට අදාළ වටපිටාව නිර්මාණය කරගැනීමට ද ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇතිබව දැනගන්නට ඇත.

අප වෙත ලැබෙන වාර්තා අනුව ලබන අප්‍රේල් මස අවසන් භාගයේ හෝ මැයි මස මුල් භාගයේ මේ පළාත් සභා 6 ඡන්ද පැවැත්වීම ජනපතිවරයාගේ අරමුණ බව කියැවේ.

►ප්‍රකාශ ඉරුගල් බණ්ඩාර

 
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30