2017 ජනවාරි 01 වන ඉරිදා

එ.ජා.ප. මන්ත්‍රීන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

 2017 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 11:15 254

දෙදහස් දහසය වසර හමාර වන්නේ ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් සන්ධිස්ථානයකට කැඳවාගෙන යමිනි. දේශපාලන ක්ෂේත්‍රයේ සහ ආර්ථික ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන හැලහැප්පීම් සහ අර්බුද අලුත් අවුරුද්දටත් රැගෙන යාම හැර වෙනත් විකල්ප නැත. ජනතාව වෙත ඇත්තේ පොරොන්දු සහ අපේක්ෂා පමණි. යහපාලන රජය බලයට පත්ව වසර දෙකක් ගතවී තිබේ. මැතිවරණයට පෙර ජනතාව හමුවේ තැබූ පොරොන්දු කන්දේ උස අඩුවී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. පෞද්ගලිකව ජනතාව ඇතිකරගත් ආර්ථික අපේක්ෂා මෙන්ම ජාතික වශයෙන් රට ඇතිකරගත් සංවර්ධන අපේක්ෂා කරා සමාජය ගමන් කරන්නේ ඉබි ගමනිනි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙන් පසුගිය රජය පෙන්වූ ප්‍රගතියට වඩා යමක් පෙන්වන්නට වත්මන් ආණ්ඩුව සමත්ව සිටී.

රජය මැති ඇමැතින්ට වරප්‍රසාද සහ දීමනා පිරිනමන්නට ගන්නා තැත ජනතා සහන විෂයෙන් දක්නට නැතැයි විපක්ෂය මෙන්ම පොදු සමාජයේද අදහසක් පවතී. ගිය අයවැයෙන් පැනවූ බදු බොහොමයක බර දරන්නට වන්නේ ජනවාරියෙන් පසුවය. රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම, සහල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම, ඉන්ධන මිල ගණන් (ලෝක වෙළෙඳපොළේ) ඉහළ නැගීම, පළාත් ගණනාවකට බලපා ඇති නියඟය වැනි හේතු නිසා එළඹෙන පීඩාවන් සමාජය දරාගත යුතුය. දේශපාලන ක්ෂේත්‍රය ගත් කළ ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය අතර හටගෙන තිබෙන අර්බුදවලටත් වඩා සමාජය අන්දමන්ද කරන්නේ ආණ්ඩු පක්ෂය තුළ සිටින ශ්‍රී.ල.නි.ප සහ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් අතර හටගෙන තිබෙන වාග් සංග්‍රාමයන් ගැන අවධානය යොමුකරන විටය.

 පළාත් පාලන කමිටු වාර්තාව හිරවෙයි 

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ සහ මේ සතියේ කැපී පෙනෙන පුවතක් බවට පත්වූයේ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද සුපිරි ඇමැති පනත වෙනුවෙන් හැඳින්වෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනතට එල්ල වූ විරෝධයයි. උතුරුමැද, ඌව, උතුර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් සභාවලදී දැනටමත් මෙම පනත පරාජයට පත්ව තිබේ. ඒ ගැන මහ ඇමැතිවරුන් කොළඹට කැඳවා කරන ලද සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ඇරැයුමක් පවා නොතිබූ බව වාර්තා විය. රැස්වීමට පැමිණි සෙසු මහ ඇමැතින් සිව්දෙනාට අග්‍රාමාත්‍යවරයා සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා දන්වා සිටියේ මහ ඇමැති හෝ පළාත් සභා බලතලවලට නව පනතින් හානියක් නොවන වගයි. එවැනි සැකයක් ඇත්නම් ඊට අදාළ සංශෝධන මහ ඇමැතිවරුන් ඉදිරිපත් කරතොත් ඒවා භාරගන්නටද රජය සූදානම් බව අගමැතිවරයා මහ ඇමැතීන්ට දැන්වීය. ඒ අනුව සංශෝධිත පනතක් ගෙන ඒමට රජය සැරසෙයි. ඒ අතර මෙම පනතට පෙරද ඉන්පසුවද ශ්‍රී.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී.ල.නි.පය මෙම පනතට කිසිසේත්ම සහය නොදක්වන වගය. දැනට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයිද ඩිලාන් රාජ්‍ය අමාත්‍යවරයා කීය. එසේම ශ්‍රී.ල.නි.ප සහය නැතිව පනත පාර්ලිමේන්තුවේදී සම්මත වන්නේ නැතැයිද ඔහු පැවසීය. 

පළාත් සභාවලදී සංවර්ධන පනත පරාජය වීම එ.ජා.ප ශ්‍රී.ල.නි.ප සමගියට බාධාවක් බව එ.ජා.පය පැත්තෙන් ශ්‍රී.ල.නි.පයට දන්වා තිබිණි. පළාත් සභා දෙකක හැර (උතුර හා නැගෙනහිර) අන් සියල්ලේ බලය ශ්‍රී.ල.නි.පය සතුය. එනිසා පසුගිය අඟහරුවාදා දකුණු පළාත් සභාවට සංවර්ධන පනත ඉදිරිපත් කරන්නට පෙර එ.ජා.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අමතා කීවේ කෙසේ හෝ සංවර්ධන පනත පළාත් සභාවේදී සම්මත කරගන්නට ක්‍රියා කරන ලෙසයි. 

පනතේ තිබෙන අඩුපාඩු රජය සමඟ කතාබස් කොට සකස් කරගැනීමට හැකියාව ඇති බවද අමරවීර මහතා ප්‍රධාන අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබිණි. ඒ වනවිට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් බහුතරයක් මහ ඇමැතිවරයාට පවසා තිබුණේ පළාත් සභා බලතල හෑල්ලු කරන මෙම පනත පරාජය කළ යුතු වගයි. කෙසේ හෝ මහ ඇමැති එ.ජා.නි.ස මහ ලේකම්වරයාට කියා තිබුණේ තමන්ට කළ හැක්කේ සංවර්ධන පනත පළාත් සභාවට ඉදිරිපත් කිරීම බවයි. එවිට එ.ජ.නි.ස මහ ලේකම්වරයා නැවතත් විමසා තිබු‍ණේ සභාවට පනත ඉදිරිපත් කොට ඡන්ද ගැන සැකයක් තිබේනම් ඡන්ද විමසීම කල් දැමිය හැකි නොවේද කියායි. තමන් ඒ ගැන පක්ෂ නායකයන් සමඟ කතා කරන්නම්යැයි මහ ඇමැති ශාන් කී නමුත් පළාත් සභාව එදිනම පනත ඡන්දයට දමා පරාජයට පත් කළේය. යම් හෙයකින් නැගෙනහිර පළාත් සභාව කළ ආකාරයට පනත විවාදයට ගෙන ඡන්දය පසුවට කල් තැබුවොත් නිශ්චිත දින ගණනක් තුළ පනත ඉබේම සම්මත වූවා සේ මහ ආණ්ඩුවට සැලැකීමට හැකිවන නීති ප්‍රතිපාදන පළාත් සභා නීති රීතිවල ඇතුළත් බව නීති අංශ ඒ වනවිටත් මහ ඇමැතිවරුන්ට පෙන්වා දී තිබිණි.

 රත්නසිරිට මැතිසබා සගයන්ගේ ගෞරවය 

ඒකාබද්ධ විපක්ෂය මුල සිටම මෙකී පනතට සිය දැඩි විරෝධය පළකරමින් සඳහන් කර තිබුණේ මෙරටට සුපිරි බලතල සහිත සුපිරි ඇමැතිවරයකු අවශ්‍ය නොවන බැවින් තම මන්ත්‍රීන් ඊට සහය නොදක්වන බවය. ජනතා විමුක්ති පෙරමුණ මෙම පනත ගැන දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මෙවැන්නක් රටට අවශ්‍ය නැත කියාය. තම පක්ෂය ඊට දැඩි ලෙස විරුද්ධ බවද එහි ප්‍රකාශක සුනිල් හඳුන්නෙත්ති මහතා කීය. මේ ආකාරයට ප්‍රධාන පක්ෂ ගණනාවක් පනතට දැනටමත් විරෝධය දක්වා තිබේ. නැගෙනහිර පළාත් සභාව පමණක් ලබන මස පනත සාකච්ඡා කරන්නට කල්තැබූ බව වාර්තා විය. 

තත්ත්වය සමාලෝචනය කළ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පොලිටිකල් රහස් තීරයට කියා සිටියේ තමන්ට තිබෙන තොරතුරු අනුව සුපිරි ඇමැති පනත නැවත නොගෙනෙන්නට තිබෙන ඉඩකඩ වැඩි බවයි. 

ආණ්ඩුවේ සිටින ව්‍යපෘති අධීක්ෂණ මන්ත්‍රීන් 58 දෙනාට මසකට රුපියල් ලක්ෂ 7 බැගින් වැයකර කුලී පදනම මත වාහන ලබාදීමට කර තිබූ යෝජනාව අත්හිටුවන්නට රජයට සිදුවිය. ඊට හේතුව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමය. ඒ ගැන මාධ්‍ය හමුවක්ද තබා තොරතුරු රටට කියන්නට ජනමාධ්‍ය ලේකම්වරයා ක්‍රියා කළේය. ඉන්පසුව වාහන අහිමි වූ ව්‍යාපෘති අධීක්ෂණ මන්ත්‍රීන් 58 දෙනා අමාත්‍යංශ ලේකම්වරයාගේ මෙම ක්‍රියාව ගැන ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ලිඛිතව පැමිණිලි කළහ. ඒ අතර මෙම මන්ත්‍රීන් 58 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්ථාවක්ද ඉල්ලා සිටියහ. ඔවුන් මෙම හමුවේදී ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් පළමුවැන්න තමන්ට නිල වාහන අහිමි කිරීමේ සිද්ධියයි. දෙවැන්න ශ්‍රී.ල.නි.පයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කිහිපදෙනෙක් නිතරම රජය ගන්නා පොදු තීරණ ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කරමින් රජය අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙනි. මෙම කාරණාවලට අමතරව මන්ත්‍රීන්ට බලපාන තවත් පොදු ප්‍රශ්න කිහිපයක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරෙන බව දැනගන්නට ඇත. මන්ත්‍රීන්ගේ ඉල්ලීම අනුව මෙම හමුව පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේදී පැවැත්වුණ බවද වාර්තා විය.

 රජයේ දෙවර්ෂ පූර්ණය මහ ඉහළින් 

පසුගිය දින කිහිපයේ ප්‍රකට දේශපාලනඥයන් ගණනාවකගේ දූ පුතුන්ගේ විවාහ මංගල්‍යයන් කොළඹ තරු හෝටල්වලදී පවත්වන්නට යෙදුණි. හිටපු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ දියණිය ලක්ෂිකා අතිනත ගත්තේ හිටපු හමුදාපතිවරයකු වන ජෙරී සිල්වා මහතාගේ දියණියගේ පුත්‍රයා සමඟය. මේ වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද ඇරැයුම් ලබා සිටියහ. 

ජනාධිපතිවරයා අසුන්ගත් මේසයේ අගමැති රනිල් සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, චන්ද්‍රිකා මැතිනිය, මලික් සමරවික්‍රම, ඩී.එම්. ස්වාමිනාදන්, කබීර් හෂීම් වැනි ඇමැතිවරු ගණනාවක්ම වූහ. ඊට එපිට මේසයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර් වෙල්ගම, උදිත ලොකුබණ්ඩාර ඇතුළු පිරිසක් අසුන්ගෙන සිටියහ. විවාහයෙන් පසු මනාල යුවළ අමුත්තන් පිළිගැනීමට ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා සිටින මේසය අසලට මුලින්ම පැමිණියහ. ඔවුනට දෑත් ඔසවා ආචාර කොට සුබ පැතුම් ලබා ඊළඟට ගියේ අල්ලපු මේසයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමුත්තන්ට කතා කරන්නටයි. මහින්ද ඉදිරියට ගිය මනාල යුවළ එක්වරම දණගසා මහින්දගේ දෙපා අල්ලා වැඳ නමස්කාර කළහ. මෙය අල්ලපු මේසයේ සිටි ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සිත් රිදවූ සිදුවීමක් බව පසුව වෙබ් අඩවි ගණනාවක් වාර්තා කළේය. කෙසේ හෝ ඉන් සුළු වේලාවකට පසු ප්‍රධාන අමුත්තන් පිටව ගිය බවද සඳහන් විය. මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා අසළට පැමිණි රෝසිගේ සැමියා වූ අතුල සේනානායක පරණ කතාවක් මතක් කළේය. ඒ කතාව තමන්ට කීවේ මෙරට බොහෝ කලක් පොලිස්පති ධුරය දැරූ තම පියාණන් වන ස්ටැන්ලි සේනානායක මහතා බවද අතුල මහින්දට කීය. “සර් මේ කතාව අපේ තාත්ත මට කීවේ අවුරුදු 40කටත් ඉස්සර. එදා ඔබතුමා අනුර බණ්ඩාරනායක මහත්තය එක්ක රෝස් මීඩ් පෙදෙසේ මැතිනියගේ නිෙවසේ කතා කර කර ඉන්න කොට මගේ තාත්තා මට ඔබ පෙන්නල කිව්ව අතුල ඔය මහින්ද කවදාහරි මිනිහා මේ රටේ නායකයා වෙනවා කියලා. ඒ කතාව ඉතින් ඇත්ත වුණානේ. අතුල සිය පැරුණි කතාව හමාර කරමින් කීය.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයාගේ විවාහයද පසුගියදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්විණි. ඊටද පක්ෂ, විපක්ෂ මැති ඇමැතීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් රැසක්ම සහභාගී වූහ. විවාහය ලියාපදිංචියේදී සාක්ෂිකරුවන් වශයෙන් අත්සන් කළේ හිටපු ජනාධිපති මහින්ද හා සංගීත් නිපුන් සනත් නන්දසිරි යන මහත්වරුය. එ.ජා.ප.යේ දයා ගමගේ, විජේදාස රාජපක්ෂ ඇමැතිවරුද ශ්‍රී.ල.නි.ප.යේ ඒ.එච්.එම්. පවුසි ඇතුළු මැති ඇමැති පිරිසක්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් රැසක්ද මෙම මංගල්ල්‍ය සඳහා පැමිණ සිටියහ. ජනපති මෛත්‍රී හා අගමැති රනිල් කාර්යබහුලත්වය නිසා වෙනත් අවස්ථාවක මනාල යුවළ මුණගැසීමට පොරොන්දු වී සිටියහ. ඉතා චාම්ව එහෙත් සුන්දරව බන්දුලගේ මංගල උත්සවය සංවිධානය කර තිබූ අතර ඉදිරිපත් කළ රැඟුම් ගැයුම් ආදිය පවා දේශීය නිර්මාණ වීම කැපී පෙනුණි.

බොහෝ කල් ඇදී ඇදී යමින් තිබූ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය සමාලෝචන කොමිටියේ වාර්තාව පසුගිය අඟහරුවාදා විෂය භාර අමාත් ෆයිසර් මුස්තාපා මහතාට භාරදීමට නියමිතව තිබිණි. එහෙත් ඒ දිනය වනවිට අමාත්‍ය මුස්තාපා මහතා මක්කම වන්දනාවේ ගොස් ඇතිබවට වාර්තා විය. මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා මාධ්‍යයට කියා තිබු‍ණේ ඇමැතිවරයා වෙනුවට වැඩබලන අමාත්‍යවරයකු පත්කර තිබේද යන්න වාර්තා නොවූ නිසා තම වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට හෝ භාරදීමට සිදුවන වගය. කෙසේහෝ මේ කඹ ඇදිල්ලෙන් වාර්තාව භාරදීම පමාවිය.

කෙසේ හෝ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාව නැවත ගැසට් පතක් මගින් මැති සබයට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය. ඒ ගැන කෙනකුට උසාවි යෑමටද ඉඩකඩ තිබේ. මේ අතර ආණ්ඩුව පැත්තෙන් වාර්තාවන්නේ මෙම වාර්තාව ගැන කිසියම් සංවාදයක් පැවැත්විය යුතු බවකි. මේ කියන කටයුතු එලෙස සිදුවෙයි නම් පළාත්පාලන අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට ලබන මාර්තු මාසය වනවිට කල්දමා ඇති පළාත් පාලන මැතිවරණ පැවැත්වීම අසීරු වනු ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කෙරෙන සංවාදයන්ද දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. ව්‍යවස්ථා සංශෝධනය ගැන සිය පක්ෂ මතය ප්‍රකාශයට පත්කළ දෙමළ ජාතික සන්ධාන මහ ලේකම් මාවෛයි සේනාධිරාජා මහතා මේ සතියේ සඳහන් කළේ සිය පක්ෂය ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත්තට සූදානම් නැති වගයි. තමන්ට අවශ්‍ය ෆෙඩරල් විසඳුමක්යැයිද හෙතෙම සඳහන් කළේය. උතුරේ අර්බුදයට නිසි දිගු කාලීන විසඳුමක් ලැබෙන්නේ ෆෙඩරල් විසඳුමක් තුළින්යැයි සේනාධිරාජා මහතා අවධාරණය කර තිබිණි. උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කළ යුතු යැයි කී සේනාධිරාජා මහතා ඒ සඳහා මුස්ලිම් ජනතාවද එකඟත්වය පෙළකළ යුතුයැයි හෙතෙම අවධාරණය කළේය. කවර තත්ත්වයන් යටතේවත් තම පක්ෂය ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගැනීමට සූදානමක් නැතැයි ද සේනාධිරාජා මහතා පැවසීය. ඔහු ව්‍යවස්ථා සංශෝධනය ගැන මෙසේ පැවසුවේ මඩකලපුවේ පැවති හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා පිළිබඳ සමරු උළෙලේ දේශනයක් පවත්වමිණි.

හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රත්නසිරි වික්‍රමනායක මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. තුන්වරක් මෙරට අගමැති පදවිය දැරූ වික්‍රමනායක මහතා 1960 වසරේ මැති සබයට පිවිස 2015 දක්වාම වාර ගණනක් ශ්‍රී.ල.නි.ප. ආණ්ඩු ගණනාවක උසස් පදවි හෙබැවිය. වසර 2010දී හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අභාවප්‍රාප්ත වීමෙන් පසු ඔහු මුල්වරට අගමැති පදවියට පත් කරනු ලැබීය. අනතුරුව මහින්ද රාජපක්ෂ රජය යටතේත් 2005 සිට 2010 දක්වා අගමැතිවරයා ලෙස ක්‍රියා කළේය. අවංක දේශපාලන නායකයකු ලෙස ජනාදරයට පත් වික්‍රමනායක මහතාගේ දේහය පසුගියදා මැති සබයට ගෙනඑනු ලැබූ අතර රජයේ සහ විපක්ෂයේ මැති ඇමැතීහු ඔහුට සිය ගෞරවය පුද කළහ. කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් ගණනාවක් මැතිසබා පරිශ්‍රයට පැමිණ වික්‍රමනායක මහතාට ගෞවරය පුද කළෝය. ඔහුගේ අවසන් කටයුතු පැවැත්වෙන සෙනසුරාදා රජය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

 සුපිරි ඇමැති පනත සංශෝධන එක්ක නැවතත් 

වත්මන් රජයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ඉදිරි සතිය තුළ ජාතික උත්සව ගණනාවක් සැලසුම්කර තිබේ. ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක සමරුහළේදී ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ. 

ඊට ප්‍රධාන අමුත්තකු ලෙස සහභාගී වීමට ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය සහ එරට පරිගණක තාක්ෂණික රිදී නිම්නයේ නිර්මාතෘ චන්ද්‍ර බාබු නායිදු මහතාට රජය ඇරුයුම් කර ඇත. 

මෙහි ප්‍රධාන උත්සවයක් හම්බන්තොටදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

හම්බන්තොට වරයේ චීන ආයෝජන දියත් කිරීම අක්කර දහස් ගණනකින් යුත් නිදහස් වෙළෙඳ කලාපයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම ඇතුළු වැඩකටයුතු ගණනාවක් රජයේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ක්‍රියාත්මක වෙයි. නව චීන ආයෝජන රටට ලබාගැනීම තුළින් නව සංවර්ධන විප්ලවයක් දියත් කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් බව ප්‍රකාශවී ඇත. එහෙත් හම්බන්තොට ඉඩම් අක්කර දහස් ගණන් චීනයට පැවරීම ගැන මෙන්ම වරාය කළමනාකරණය චීන සමාගමකට පවරාදීම ගැනද දේශපාලන අංශවලින් මෙන්ම ජනතාවගෙන්ද ප්‍රබල වි‍රෝධතා එල්ලවී ඇත.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් හම්බන්තොට ඉඩම් පැවරීමට එරෙහිව විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සහ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දකට චීන සමාගමකට පැවරීමට අදාළ ගිණුමේ කොන්දේසි මැති සබයට වහා ඉදිරිපත් කරන ලෙසයි. ජාතියේ අනාගතයට බලපාන කරුණක් බැවින් ඊට මැති සබයේ අවසරය ලබාගත යුතුය යන්න හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ තර්කයවී තිබේ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයද හම්බන්තොට ඉඩම් චීනයට පැවරීම සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාර ගණනාවක් සංවිධානය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊට නායකත්වය දෙයි. මෙම විරෝධතා ව්‍යාපාර අතර මූලික කටයුත්තක් වන්නේ ලබන මස 5දා හම්බන්තොට වරාය පරිශ්‍රය ඉදිරිපිට දහස්නමක් මහා සංඝ රත්නයේ සහාභාගීත්වයෙන් පැවැත්වෙන මහා සත්‍යග්‍රහයයි. හම්බන්තොට ඉඩම් පැවරීමෙන් අගතියට පත් ප්‍රදේශයේ පුරාණ විහාරස්ථාන ගණනාවක ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සත්‍යග්‍රහය සංවිධානය කර තිබේ. ජාතිය සතු දේපොළ විදේශවලට පවරා නොදෙනුයන තේමාවෙන් පැවැත්වෙන දීර්ඝ විරෝධතා මාලාවක ආරම්භක වැඩසටහන ලෙස භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහය පැවැත්වෙයි. ඉන් පසු ඉඩම් පවරා දීමට එරෙහිව ප්‍රබල විරෝධතාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයද සැලැසුම් කර ඇත. 
 

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00