2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කැබිනට්ටුවේදී ෆයිසර් - කබීර් ඡන්ද ආරවුලක

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

♦ ව්‍යවස්ථා යෝජනාවලට මහ සඟරුවනෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න

♦ මෛත්‍රී කටාරයට මහින්ද ඉන්දියාවට 

♦ ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලන් මවන්න එපායැයි අගමැති කියයි

♦ ජන්දෙ තියන්නෙ දිනන්න පුළුවන් දවසකයැයි ඇමැති සොයිසා මහින්දට පවසයි

♦ බස්නාහිරින් ඡන්දය ඉල්ලන්න චම්පිකට ලජ්ජලු

♦ මංගල බොක්කෙන්ම විරුද්ධ වූ වැඩි පඩි යෝජනාවක්

රටේ දැන් උනන්දුව දැල්වෙමින් ඇත්තේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවයි. මහා සංඝරත්නය මෙන්ම විවිධ විද්වත් සංවිධාන ගණනාවක් ද ව්‍යවස්ථා සම්පාදනය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළත් වාර්තාව ගැන ප්‍රශ්න මතුකර තිබේ. මේ ගැන මුලින්ම ප්‍රශ්න ගණනාවක් මතු කළේ මල්වතු හා අස්ගිරි කාරක සංඝ සභා දෙකයි. එම සංඝ සභා දෙකේ මතයවූයේ රටට අහිතකර යෝජනා ගණනාවක් මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇතුළත් බැවින් ඒවාට එකඟවීමට නොහැකි බවය. බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමි වන තැන, රාජ්‍යයේ සවභාවය සම්බන්ධයෙන් යෝජනා, බලය බෙදීම සම්බන්ධ යෝජනා, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන මෙන්ම යෝජනා මාලාවේ සිංහල ඉංග්‍රිසි සහ දෙමළ පිටපත්වල ඇතුළත් එකිනෙකට පරස්පර යෙදුම් ගැන ප්‍රශ්න මතුකළ මල්වතු අස්ගිරි සංඝ සභා අවසානයේ ප්‍රකාශ කළේ ඒ වනවිට විදේශගතව සිටින මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා පෙරළා ශ්‍රී ලංකාවට වැඩම කළ පසු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මහනුවර කැඳවා ව්‍යවස්ථා යෝජනා ගැන වඩාත් පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවයි.

මල්වතු අසිගිරි මහනාහිමිවරුන් විදේශ ගතව සිටියදී එම සංඝ සභා රැස්වූ අකාරයටම කෝට්ටේ කල්‍යාණී සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාව පසුගිය සඳුදා කොළඹ දී රැස්වන විට එහි මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි ද විදේශ ගතව සිටියහ. එහෙත් එම සංඝ සභා දෙක වෙනුවෙන් නිකායේ අනුනායක මහචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ සිය නිකාය ව්‍යවස්ථා යෝජනා ගැන දරන මතය ප්‍රකාශ කළෝය. කෝට්ටේ සංඝ සභාව රජයෙන් ඉල්ලා සිටි ප්‍රධානම ඉල්ලීම වූයේ ව්‍යවස්ථා යෝජනාවලිය තාවකාලිකව ඉවත් කරගන්නා හැටියටයි. පසුව ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන අවශ්‍ය නම් ඉදිරියට යා හැකි බවද බෙල්ලන්විල නායක හිමියෝ වදාළහ. නව ව්‍යවස්ථා යෝජනාවලින් රටේ ඒකීය භාවය ජාතික ආරක්ෂාව හා බෞද්ධගාමට හිමි තැන ආදිය ගැන විකල්ප යෝජනා ගණනාවක් සිය නිකාය සතු බවද උන්වහන්සේ පැවසූහ. මහා සංඝරත්නයේ අදහස් උදහස් පිළිගැනීම හෝ නොගැනීම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ කාර්යයක් බව ප්‍රකාශ කළ බෙල්ලන්විල නාහිමියෝ තමන් වහන්සේලා නිතරම ජාතික ප්‍රශ්න ගැන ස්වකීය නිකායේ මතය ඉදිරිපත් කරන්නේ යැයි සඳහන් කළහ.

අනතුරුව යෝජිත ව්‍යවස්ථා ලියැවිල්ල ගැන විරෝධතාව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. එහි සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සිය සංගමයේ මතය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ රටේ ඒකීයභාවය රකින්නට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ වත්මන් රජය ව්‍යවස්ථෘ යෝජනා වලියෙන් ශ්‍රී ලංකාව ප්‍රාන්ත ගණනාවකින් යුත් එක්සත් රාජ්‍යයක් ලෙස දෙමළ බසින් හඳුන්වා ඇතැයි ප්‍රකාශ කළේය. ඒ සඳහා යොදාගෙන ඇති ඔරුමිත්ත නාඩු යෙදුමෙන් එය හැඟවෙන බැවින් බරපතළ තත්ත්වයක් උද්ගතවන බව නීතිඥ සංගම් සභාපතිවරයා කීය.

මේ තත්ත්වය නිසා රජයෙන් අදාළ කරුණු පැහැදිලි කරගැනීමට ප්‍රශ්නාවලියක් යොමු කිරීමට නීතිඥ සංගමය තීන්දු කළේය. ව්‍යවස්ථා නීතිය ගැන ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් සැකසූ ප්‍රශ්න 12කින් සමන්විත ප්‍රශ්නාවලියට රජය කඩිනමින් පිළිතුරු ලබාදෙනු ඇතැයි නීතිඥ සංගම් සභාපතිවරයා කීය. අනතුරුව මෙම මස 28 දින නැවත රැස්වන සංගමය ඒ ගැන අවසන් තීන්දුව ගනු ඇතැයි ද හෙතෙම පැවසීය. ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේ අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය හදිසියේ කළයුතු නොවන මොහොතක එවැන්නක් කරන්නට යන්නේ ඇයිද කියායි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද යෝජිත ව්‍යවස්ථා ලියැවිල්ල ගැන පසුගිය දින ගණනාව පුරාම විවිධ උත්සව හා සම්මන්ත්‍රණවලදී ස්වකීය මතය ප්‍රකාශ කළෝය. ජනාපතිවරයා වව්නියාවේදී සඳහන් කර තිබුණේ ව්‍යවස්ථා යෝජනා මාලාවක් රට හමුවේ තබා තිබෙන බැවින් ඒ ගැන අසත්‍ය ආරංචි පතුරැවා ජනතාව බියට පත් නොකළ යුතු බවයි. සමහර මාධ්‍ය වාර්තා දුටුවිට තමන් පුදුමයට පත්වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ජනතාවට නොදන්වා කිසිදු ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවද ජනාපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අතර මහා සංඝරත්නය මේ සම්බන්ධව දක්වන දැඩි විරෝධය ගැන අමෙරිකාව - බ්‍රිතාන්‍යය - යුරෝපා ප්‍රජාව ප්‍රංශය හා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක තානාපතිවරුන් විදේශ අමාත්‍යංශයෙන් සහ තවත් රජයේ ප්‍රධානීන් ගණනාවකගෙන් කරුණු විමසා තිබිණි. අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් සඳහන් කර තිබුණේ අවශ්‍ය නම් තමන්ද මහනුවරට ගොස් මහානායක හිමිවරුන් මුණගැසීමට සූදානම් බවයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මහනුවර ප්‍රදේශයේ උත්සව ගණනාවකට සහභාගිවිය. ප්‍රදේශයේ මහාසංඝරත්නය ප්‍රමුඛ විද්වත් පිරිස් ද මුණගැසුණි. මහනුවර වත්තේගම රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකදී එහි වැඩම කරසිටි අස්ගිරි පාර්ශවයේ අනුනායක ආචාර්ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් අනුශාසනයක් කරමින් කියා සිටියේ තමන්ට මෙම ව්‍යවස්ථා යෝජනා ගැන කතාකරනවා නම් බොහෝ දේ කිවහැකි බවය. උතුරේ මහ ඇමැතිවරයා ෆෙඩ්රල් ක්‍රමයක් ගැන කතාකරන බව පැවසූ උන්වහන්සේ එවැනි දේකට කිසිසේත්ම එකඟ නොවන බව වදාළහ. එසේම අවශ්‍ය ප්‍රමාණයට වඩා පළාත් සභාවලට බලතල දීමෙන් ඉදිරියේදී විශාල ගැටලු ඇතිවන බවද නාහිමියෝ පැවසූහ. මේ ගැන දැනට විදේශ ගතව සිටින මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් මෙරටට පැමිණීමෙන් පසු නිකායේ අදහස ප්‍රකාශ කරන්නේ යැයිද ධම්මදස්සී අනුනාහිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව කියා සිටියේ ව්‍යවස්ථාවේ මූලික රාමුව සකස් කොට හමාරවූ පසුව මහනායක හාමුදුරුවරුන් මුණගැසෙන වගයි. රටේ එකඟත්වයක් නොමැතිව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට රජය කිසිසේත්ම අදහස් නොකරන බවද අගමැති රනිල් සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ජාතික සහ ආගමික උත්සව ගණනාවකදී ව්‍යවස්ථාවේ ප්‍රශ්න සහගත ස්ථාන ගැන කතා කළේය. මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ අධිපතිව වැඩවිසූ ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස ශ්‍රී ලංකා විද්‍යාලයට ගිය ගමනේදී රාජපක්ෂ මහතාට බෙල්ලන්විල විමලරතන නාහිමියන් මුණගැසුණි. උන්වහන්සේ සමඟ ව්‍යවස්ථා කෙටුම්පත ගැන සාකච්ඡා කළ හිටපු ජනාධිපතිවරයාට බෙල්ලන්විල නාහිමි කියා සිටියේ මෙම ව්‍යවස්ථා යෝජනාවල සඳහන් ජාතිය - ආගම - බලය බෙදීම - රජයේ ස්වභාවය ආදී කාරණා ගැන තිබෙන සාධාරණ නොවන යෝජනා සියල්ලට තම සංඝ සභාව විරුද්ධ බවය.

පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයැවීමෙන් සංවිධානය කළ වියත් මග සම්මන්ත්‍රණයක් ගම්පහදී පැවැත්විණි. එහිදීත් රටේ අනාගතයට තීරණාත්මකව බලපාන නව ව්‍යවස්ථා යෝජනා ගැන හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ විද්වතුන් ගණනාවක් විරෝධය පළකළහ. ප්‍රදේශයේ විද්වතුන් - නායක හිමිවරුන් හා වෘත්තිකයන් ගණනාවක්ද මෙම හමුවට එක්ව සිටියෝය. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට කොළඹ පැවති අෙගා්න්ෂු ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේ සුහද හමුවකදී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මුණගැසුණේය. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ, හිටපු කතානායක චමල් රාජපක්ෂ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක්ද එහි රැස්ව සිටියහ. අමාත්‍ය සොයිසා සහ එම මහත්මිය පමාවී එහි පැමිණෙන විට හිටපු ජනාධිපතිවරයා ඔහුට තමන් අසල අසුන් ගන්නැයි කියමින් විහිළුවට මෙන් කීවේ “මට නිතර නිතර බණින නිසා ළඟින්ම වාඩිකරගන්න ඕනෑ.” කියායි. එවිට සොයිසා මහත්මිය රාජපක්ෂ මහතාට කීවේ “අනේ මෙයා ඔය කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා සර්”යනුවෙනි. “ඕවා අපි ගණන්ගන්නෙ නැහැ” යැයි කියමින් මහින්ද මහතා අමාත්‍යවරයාගෙන් විමසුවේ “දැන් ඇත්තටම ඕගොල්ලෝ මේ පළාත් පාලන ඡන්දය තියන්නේ කවදාද” ප්‍රශ්නයයි. එවිට සොයිසා අමාත්‍යවරයා කීවේ “ඒක තියන්නේ අපිට දිනන්න පුළුවන් දවසකනේ.” කියාය. එවිට නැවතත් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේ ජනවාරිවල ඡන්දය තියයිද යනුවෙනි. “කොහොමවුණත් සර් දිනන්න පුළුවන්නම් තියාවි” යැයි කීය. එහෙම නම් මාර්තු අප්‍රේල් දිහාවට ඡන්දය කල්යයිනේ” මහින්ද අදහසක් පළකළේය. සොයිසා අමාත්‍යවරයා ඒ ප්‍රශ්නයට සිනාසුණ මිස උත්තර දුන්නේ නැත.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරුවාදා උදෑසන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහෙත් ඊට ටික වේලාවකට පෙර එ.ජා.ප. මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝගනේෂන් යන මහත්වරු කැබිනට් ශාලාවෙන් පිටතදී මුණගැසී සාකච්ඡා කළෝය. “ඇමැතිතුමා ඔබතුමාලා නුවරඑළියේ අලුත් ප්‍රාදේශීය සභා ගණනක් හදන්න ගිහිල්ල දැන් දිගින් දිගටම පළාත් පාලන ඡන්දය කල්යනවා. මොකද්ද මේකේ ඇත්ත තත්ත්වේ කියා මුලින්ම ප්‍රශ්න කළේ කබීර් හෂීම්ය. “නැහැ දැන් ඒකේ වාර්තාව ඉවරයි. කිසිම ප්‍රමාදයක් නැහැ.” මනෝගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය. “එහෙමනම් ඉතින් ඡන්දය කල්දාන්න හේතුවක් නැහැනේ. මම මේ ගැන අද කැබිනට් එකේදී කතා කරන්න ඕන. දිගින් දිගටම ඡන්ද කල්දැමීමෙන් ආණ්ඩුවට මිනිස්සු බණිනවා... හරි අපි මේ ගැන ෆයිසර් ඇමැතිවරයාගෙන් අහමු...” යැයි කී කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගෙන් විමසුවේ දිගින් දිගටම ඡන්දය ප්‍රමාද කරන්නේ කුමක් නිසාද යන ප්‍රශ්නයයි. මහ මැතිවරණය ඉවර වුණ ගමන් තමයි මේ ඡන්දය තියන්න තිබුණේ ඒත් කළේ නැහැ. දැන් හොඳටම ප්‍රමාදයි. එවිට ෆයිසර් අමාත්‍යවරයා සඳහන් කළේ නව කොට්ඨාස මැතිවරණ ක්‍රමයට ඡන්දය තබන්න යාමෙන් හටගත් ගැටලු නිරාකරණයට කල් ගතවූ වගයි. එතැනදී කබීර් හෂීම් මහතා අමනාපයෙන් මෙන් සඳහන් කළේ අපි මුල ඉඳලම කිව්ව මේ ඡන්දය පැරණි මනාප ක්‍රමයට තියලා ඉදිරියේ අනිත් ක්‍රමයට ඡන්දය තියමු කියලා... ඔයාලා අපි කියන දේ ගණන් ගත්තේ නැහැ. එක එක වෙලාවට එක එක දේවල් කියනවා. ජනතාව ආණ්ඩුවට බණිනවා... කබීර් ලොකු දොස්මාරයක් දැමීය.” මෙතන වුණේ මේකයි බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ හදාපු කොට්ඨාස සීමා වෙනස්කරලා නැවත හදන්න වුණා ඒකයි. හැම පක්ෂයම ඒක වැරදිය කිව්ව. යනුවෙන් ෆයිසර් ඇමැතිවරයා උත්තර බඳිද්දී කබීර් හෂීම් සඳහන් කළේ “ඔය මොනම ක්‍රමයට හරි අපිට ඉක්මනින් ඡන්දයක් ඕනෑ කියායි. ෆයිසර් අමාත්‍යවරයා ද තවදුරටත් වාදයට පැටලෙමින් “ඔයාල මට දොස් කියන්න එන්න එපා ඔය සීමානීර්ණ නිවැරදි කරන කමිටුවෙ යූ.ඇන්.පී.යෙන් මිස්බා මහත්මයා හිටියා... දැන් මට වැරදි කියල වැඩක් නැහැ මම කළේ කියපු දේයි. ෆයිසර් නැවතත් සැරෙන් කීය. එවිට දිගින් දිගටම ඇදීයන මේ වාදය ජනාධිපතිවරයා විසින් නිහඬ කරන ලදී.

ලංකා විදුලි බල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීම ගැන ඊළඟ යෝජනාව ඉදිරිපත් කෙරිණි. “මේ විදියට විදුලි බලමණ්ඩලේට විතරක් ලොකු වැටුපක් වැඩිවීමක් දෙන එකට මම එකඟ නැහැ. මම මේකට බොක්කෙන්ම විරුද්ධයි.” මුදල් ඇමැති මංගල සමරවීර කීය. එවිට රවුෆ් හකීම් ඇමැතිවරයා පැවසූවේ මේ විදිහට විදුලි බල මණ්ඩලයට පමණක් පඩිදෙන්න ගියොත් ජල මණ්ඩලේ තෙල් සංස්ථාව වගේ හැමතැනම ලොකු පඩි ඉල්ලලා ස්ට්‍රයික් කරාවි යනුවෙනි. එහෙත් ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා සඳහන් කළේ වැටුප් වර්ධක යෝජනාව ආවේ සාමූහික එකඟතා ගිවිසුමක් අනුව බවයි.
අමාත්‍ය චම්පික රණවක බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමන්ට එල්ලවී තිබෙන බාධක සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය. තමන්ගේ අමාත්‍යංශයට බස්නාහිර සංවර්ධන කටයුතු සඳහා වෙන්කළ මුදල්වත් ලබානොදීමෙන් බරපතළ අගතියක් සිදුකර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගංවතුර පාලනේට හදාපු වැඩපිළිවෙළට රුපියල් කෝටි අටසිය පනහක් වෙන්කළා ඒත් ඒත් සල්ලි දුන්නෙ නැහැ. මුදල් අමාත්‍යංශය කියනව සල්ලි නැතිලු. ඉතින් මට වැඩකරන්න වෙලා තියෙන්නේ සල්ලි නැතුව. එවිට සරත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජයෙන්ම හැමදේටම මුදල් නොඉල්ලා මුදල් සොයාගෙන වැඩකළ යුතු අවස්ථාවක් තිබෙන වගයි. “මට ගංවතුර වැඩේට දුන්නෙ නැහැ. පැල්පත් මුඩුක්කු වෙනුවට ගෙවල් හදන්න සල්ලි ලැබුණෙ නැහැ. ඒත් මහනුවර පැල්පත් මුඩුක්කු වෙනුවට ගෙවල් හදන්න පකිස්ථාන් ණය මුදලක් දුන්නා. මහනුවර ද පැල්පත් මුඩුක්කු වැඩි කොළඹ ද. ආණ්ඩුවට මේව කරන්න මොක්ක හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ...” අමාත්‍ය රණවක නැවතත් කීය. එවිට චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ද සඳහන් කළේ ගාල්ලේ ගංවතුර විපත් ආධාර පළතේ මැති ඇමැතින්ට නොදී ස්වදේශ අමාත්‍යවරයාට පමණක් ලබාදීම වරදක් වගය.

තමන්ගේ අමාත්‍යංශයට බස්නාහිර සංවර්ධනයට මුදල් වෙන් නොකළ ද පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ජනපති හා අගමැති දෙදෙනාට 40%ක පමණ ඡන්ද ප්‍රමාණයක් වැටුණේ බස්නාහිර පළාතෙන් බව අමතක නොකරන්නයි කී රණවක අමාත්‍යවරයා “මේ විදියට නම් අපේ මිනිස්සුන්ට සලකන්නෙ මට නම් බස්නාහිරින් ආයෙත් ඡන්දය ඉල්ලන්න ලජ්ජයි... ලජ්ජයි නෙවෙයි විලිලැජ්ජයි තමුන්නාසේල මතක තියාගන්න මෙහෙම ගියොත් දෙදහස් විස්සේදී ජනතාව මේවට බරපතළ දඩුවමක් දෙනව... ඒ හන්ද දැන්වත් රටේ සංවර්ධන ප්‍රමුඛතාව හඳුනාගෙන වැඩ කරන්න...” යැයි කීය. චම්පික රණවක අමාත්‍යවරයා කතාව හමාර කරන විට අගමැතිවරයා සඳහන් කළේ “මටත් මේක ලොකු ප්‍රශ්නයක්... අපි චම්පික ඇමැතිතුමා ඉල්ලන මුදල් දෙන්න ඕන.” කියායි. ඒ සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත්කොට කඩිනමින් තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අනතුරුව අනුර යාපා ඇතුළු ඇමැතිවරු මේ සතියේත් ජීවන වියදම් ප්‍රශ්නය මතු කළහ. ජනාධිපතිවරයා ද කීවේ ජීවන වියදම පාලනය අසාර්ථක බවයි. එවිට සරත් අමුණුගම මංගල සමරවීර හා චම්පික රණවක අමාත්‍යවරුන් එහිදී යෝජනා කළේ රටේ ජීවන වියදම පාලනය එක තැනකින් සිදුකළ යුතු වගයි. නිකරුණේ කමිටු දමා වැඩක් නැත යන්න ඔවුන්ගේ මතය විය.

කල්ගිය පළාත් පාලන ඡන්දය ගැන තීන්දුවක් ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා සවස අරලිය ගහ මැඳුරේදී විශේෂ පක්ෂ නියෝජිත හමුවක් කැඳවා තිබිණි. ඒ සඳහා ශ්‍රී.ල.නි.ප.යෙන් නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ජ.වි.පෙ. අනුර කුමාර දිසානායක, මනෝගනේෂන්, රවුෆ් හකීම්, ආදී පක්ෂ නායකයෝ පැමිණ සිටි අතර ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාද විෂය භාර ඇමැති ලෙස එක්විය. දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාට එහි පැමිණීමට නොහැකිවූ නිසා ඔහු අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී සිය අදහස් ඉදිරිපත් කළ බව දැනගන්නට ඇත. මෙහිදී පක්ෂ නායකයන්ගෙන් ජ.වි.පෙ අනුර කුමාර දිසානායක ඇතුළු කිහිපදෙනෙක්ම ඉක්මනින් ඡන්දය තබන ලෙස ඉල්ලා ඇත. එ.ජා.ප.යේ ඇතුළු සුළු පක්ෂ කිහිපයක් ද මෙම මතයම ඉදිරිපත් කර තිබේ. කෙසේ හෝ පක්ෂ නායකයන් බහුතරය ජනවාරියේ ඡන්දය තැබිය යුතුයැයි ඉල්ලාසිටි බැවින් අගමැතිවරයා ෆයිසර් අමාත්‍යවරයාට උපදෙස් දී ඇත්තේ ජනවාරියේ ඡන්දය තැබීමට අවශ්‍ය පරිදි ගැසට් නිවේදනය සකස්කොට නිකුත් කරන ලෙසය. ඒ අනුව ජනවාරි අවසන් සතියේ ඡන්දය තැබීමට හැකිවන ලෙස ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතය. ඡන්ද දිනය මැතිවරණ කොමිසම විසින් තීන්දු කළ යුතු යැයිද කියැවිණි.

කෙසේ හෝ මෙම රැස්වීම පැවැත්වෙන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් රජ්‍යයේ නිල සංචාරයකට සහභාගී වෙමින් සිටියේය. ඔහුට මෙම හමුවේ සිදුවූ දෑ මහින්ද අමරවීර අමත්‍යවරයා දුරකතනයෙන් විස්තර කළබව වාර්තා විය. කෙසේ හෝ මෙහිදී ජනාධිපතිවරයා තමා මෙරට නොමැති අවස්ථාවේ ඡන්දය ගැන තීන්දුවක් ගැනීම සම්බන්ධව මහින්ද අමරවීර ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා නව ව්‍යවස්ථාව ගැන කතාකරමින් පාර්ලිමේන්තුවට බෝම්බයක් දමා හෝ මෙම ව්‍යවස්ථාව පරාජය කරන බව කීම ගැන කතානායක කරු ජයසූරිය මහතාට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද පැමිණිලි ගණනාවක් ලැබී තිබිණි. මේ කතාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකරන ලද බලවත් තර්ජනයක් වන නිසා මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාවද පතා පියවරක් ගන්නා ලෙස මැති ඇමැතිවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ ගැන දැඩි අවධානය දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා ඊළඟ පාර්ලිමේන්තු සභාවාරයේදී මේ ගැන කරුණු විමසා තීන්දුවක් ගන්නා බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළේය.

පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විය. එහිදී කටාර්හි එමීර්වරයා හා අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු ජනාධිපතිවරයා දෙරට අතර ආර්ථික සබඳතා තරකර ගැනීම ගැන සාකච්ඡා කළේය. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා ඉන්දියාවේ නිල සංචාරයකට පිටත්ව ගියේය. එරට මහාරාෂ්ට ප්‍රාන්තයේ ඖරංගාබාද්හි පැවැත්වෙන ආචාර්ය අම්බෙඩ්කාර් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් ලැබී තිබිණි. ඔහුට එම නිල ඇරයුම කළේ මහාරාෂ්ට්‍ර මහා ඇමැති දේවේද්‍ර පර්නැන්ඩේස් මහතා විසිනි. මෙම චාරිකාවේදී ඉන්දීය මධ්‍යම රජයේ නියෝජිත පිරිසක් ද මහින්ද රාජපක්ෂ මහතා මුණගැසෙන අතර ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටද රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව වාර්තා විය.    

I ප්‍රකාශ ඉරුගල්බණ්ඩාර