2019 ජනවාරි 05 වන සෙනසුරාදා

සම්පන්දන් මහින්ද සමඟ සටනට

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 279

► ශ්‍රී.ල.නි.ප සංවිධායක පිරිසක් තනතුරු අත්හරිති.

► ජනපති කිරිඇල්ලට සලකයි.

► රනිල් අනුරපුරේ කප්රුක් පූජාවක

► යුද්ධයේදී හමුදාව පව් නොකළ බව මහින්ද විග්නේෂ්වරන්ට කියයි.

► සේවා දිගුවක් එපා කියා විශ්‍රාම ගත් නාවික හමුදාපති

► ලබන මාසයට පෙර නව ව්‍යවස්ථා කෙටුම්පත ගෙනෙන බවට සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්

පසුගිය වසරේ කැළඹී ගිය දේශපාලන ක්ෂේත්‍රයට නව වසර උදාවූයේ සන්සුන් ආකාරයටය. නැවතත් මැතිසබය ආරම්භ කරන්නේ ලබන 08දාය. එතෙක් බොහෝ දේශපාලනඥයෝ නිවාඩු ගත කරති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය පවුලේ සාමාජිකයන් සමඟ පස්දින පෞද්ගලික සංචාරයක් සඳහා තායිලන්තයට ගියේය. ජනාධිපතිවරයා වෙනුවට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු හෝ වෙනත් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු පත් නොකර ඔහු විදේශගත වුවද මෙරට තත්ත්වය ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් මෙන්ම ආරක්ෂක ලේකම්වරයාගෙන් නිරන්තර වාර්තා ලබාගත්තේය.

මාවනැල්ල හා මහනුවරදී බුදුපිළිම කැඩීමේ සිද්ධිය වහා නවත්වන්නට විශේෂ පොලිස් කාර්ය බලකාය යොදවන ලෙසත් උතුරේ අවතැන් ජනතාවගේ සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය. දෙසැම්බර් 31දා විශ්‍රාම යන නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතාට තවත් මාස 6ක කාලයක් සඳහා සේවා දිගුවක් අවශ්‍යදැයි විමසා අවශ්‍ය කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ට දැන්වීය. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා නාවික හමුදාපතිව කැඳවා තවත් සේවා දිගුවක් අවශ්‍යදැයි විමසූ කල ඔහු ලබාදුන්නේ අනපේක්ෂිත පිළිතුරකි. “ලේකම්තුමා මට දවසකවත් එක්ස්ටෙන්ෂන් එපා. මම එහෙම තවත් කාලයක් ගත්තොත් ඊළඟට ඉන්න කිහිපදෙනකුටම නිකම්ම විශ්‍රාම යන්න සිද්ධවෙනව. ඒක ලොකු අසාධාරණයක්. ඒ නිසා මම බොහෝම සතුටින් විශ්‍රාම යන්න කැමැතියි.”

කිසිදු හමුදා ප්‍රධානියකු මෙතෙක් ලබා නොදුන් ආකාරයේ මෙම පිළිතුර ජනාධිපතිවරයාට වාර්තා කළ ආරක්ෂක ලේකම්වරයා අභිනව නාවික හමුදාපති ලෙස පියල් ද සිල්වා මහතා පත්කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදීය.

මෙම කටයුතු අතර ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ගේ විෂයය කාර්යය ගැසට්ටුව විද්‍යුත් තැපෑලෙන් සිය ලේකම්වරයා මගින් ගෙන්වා ගත්තේය. එහි යම් යම් වෙනස්කම්ද කළ බව වාර්තා විය. ලේක්හවුසිය හා රූපවාහිනිය ජනාධිපතිවරයා සතුව තබාගත යුතු බවට මුල සිටම යෝජනා වුවත් අවසන් මොහොතේ එම ආයතන ජනමාධ්‍ය අමාත්‍යවරයාටම පවරා දීමටත් ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවලට ජනාධිපතිගේ විශේෂ නියෝජිතයන් කිහිපදෙනකු පත් කරන්නටත් නියම කළේය. එහෙත් මෙම පත්වීම් සම්බන්ධව තවමත් කඹ ඇදිල්ලක් පවතී. ඒ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ජනාධිපතිවරයා යටතට පත්කර ගන්නා ලෙස ඉල්ලමින් එහි සේවක උද්ඝෝෂණයක් මේ සතියේ ආරම්භ විය. කෙසේ හෝ අමාත්‍යාංශවලට විෂයය කාර්යයන් පැවරීමේදී පොලීසිය, රජයේ මුද්‍රණාලය ආදී ආයතන තවදුරටත් ජනාධිපතිවරයා යටතේම තබාගන්නට තීන්දු කර තිබිණි.

එ.ජා.පයේ මැති ඇමැතීන්ට විෂයය කාර්යයන් පැවරීමේදීද බොහෝ වෙනස්කම් සිදුකර තිබිණි. රාජ්‍ය බැංකු, මහ බැංකුව ආදී සියලු ආයතන නැවතත් මුදල් අමාත්‍යාංශයටම පවරා තිබේ. මුදල් අමාත්‍ය පදවිය සඳහා සටන් කළ රවි කරුණානායක මහතාගේ විදුලිබල විෂයය යටතට ආයතන හතක් පවරා ඇති අතර ඔහුටම පැවරුණු ව්‍යාපාර සංවර්ධන විෂයය වෙනුවෙන් කිසිම ආයතනයක් පවරා නැත. කලින් රාජ්‍ය ආයතන රැසක් හිමිව තිබූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවරා ඇත්තේ ආයතන 4ක් පමණක් වීම විශේෂයකි. එම ආයතන 4ම අර්ධ ක්‍රියාකාරීත්වයක් ඇති ඒවාය. ඒ ගැන ඔහු දැඩි කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වෙයි. කෙසේ හෝ විෂයය කාර්ය බෙදීම ගැන මුලින්ම අසතුට පළකළේ අමාත්‍ය රවි කරුණානායකය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අසතුටින් අදහස් පළ කළේය. එහෙත් පසුව ජනපතිවරයා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ විෂයය කාර්යය ගැසට්ටුව වෙනස් කර නව විෂයයන් පවරන බව දැන්වීය. රවි කියා තිබුණේ තමන්ට තමන් නොදන්නා විෂයයන් පවරා ඇති බවය. ඒ අතරතුර මුලින් ඇමැති පදවිවල දිව්රුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා සහ මලික් සමරවික්‍රම මහතා සිය තනතුරුවලින් ඉල්ලා අස්වී නැවතත් දිව්රුම් දුන්හ. ඊට හේතුව එකී අමාත්‍යාංශ දෙකට අයත් විෂයය පථයන් හදිසියේ වෙනස් කර තිබීමය.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු 13ක් තවදුරටත් පුරප්පාඩුව පවතී. මේ තනතුරු ලබාගන්නට එ.ජා.පයේ පසුපෙළ විශාල සටනක් දියත් කර තිබේ. ඔවුන්ගෙන් වඩාත් බරපතළම ප්‍රකාශය නිකුත් කළේ සෑහෙන කලක් මැතිසබය නියෝජනය කරන කළුතර මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නය. ඔහු ප්‍රකාශ කළේ තමන්ට තනතුරක් නොලැබුණහොත් කාට කාටත් අමතක නොවන කටයුත්තක් කරන වගය. රංගේ බණ්ඩාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාද තමන්ට තනතුරක් නොලැබීම ගැන ආවේගයෙන් කතා කළේය. ඔහු පවසා සිටියේ ආණ්ඩුව වැටෙන්නට ගිය මොහොතේ හැරවුම් ලක්ෂය ලෙස සඳහන් වූ තමා පක්ෂ වගකිවයුත්තන් විසින් අමතක කළ බවය. “හැරවුම් ලක්ෂය එළියේ.. අනෙක් අය ඇතුළේ” රංගේ කීය.

ඒ අතරතුර එ.ජා.පයේ පසුපෙළ තරුණ මන්ත්‍රීන් වන හේෂාන් විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු 7 දෙනෙක් තමන්ලාට බලවත් අසාධාරණයක් වූ බව කියමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට පටන් ගත්හ. කිසිම ජන පදනමක් නැති ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ට බරපතළ අමාත්‍ය විෂයයන් පැවරීම ගැන ද ඔවුහු තරයේම දොස් කීහ. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාද ප්‍රකාශ කර තිබුණේ තමන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රගතියක් පෙන්වා ඇති නවක මන්ත්‍රීවරයා ලෙස තමන්ට නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෝ ලැබිය යුතුය කියාය. එසේ තනතුරක් නොලැබුණත් තමන් පක්ෂය අතහැර නොයන වගද මන්ත්‍රී මරික්කාර් මාධ්‍යයට කීය.

මේ ආකාරයට රජයේ හවුල්කාර පක්ෂ අතරද මතගැටුම් හටගෙන තිබේ. කඳුරට ජනතා පෙරමුණේ නායක රාධා ක්‍රිෂ්ණන් මහතා තමන්ට කැබිනට් පදවියක් පොරොන්දු වී එය ලබා නොදීම ගැන දොස් කියමින් තමන්ටත් තම පක්ෂයේ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයාටත් සාධාරණය ඉටු නොකළොත් තීන්දුවක් ගන්නා බව කියා තිබිණි. මෙලෙස කැබිනට්ටුවේ තනතුරු ඉල්ලා විශාල පිරිසක් පොරකද්දී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයා මුණගැසී ඉදිරි විෂයයන් පැවරීම ගැන සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත. කෙසේ හෝ ශ්‍රී.ල.නි.පයෙන් රජයට එක්වන අයට තනතුරු ලබා නොදීමේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද සඳහන්ය.

ශ්‍රී.ල.නි.පයේ මෛත්‍රී හිතවාදීන් අතර හටගෙන තිබෙන දේශපාලන කැළඹීමද ප්‍රබලය. මෙම සටනේදී මෛත්‍රී ජනාධිපතිවරයාට ව්‍යංගයෙන් අභියෝග එල්ල කරන්නේ ශ්‍රී.ල.නි.ප. හිටපු මහලේකම්වරයකු වන දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාය. ඔහු තම හිතවත් මන්ත්‍රී කණ්ඩායම සිය නිවෙසේදී මුණගැසෙමින් ශ්‍රී.ල.නි.පයේ අයිතිය ලබාගන්නටත් ශ්‍රී.ල.නි.ප. රැඩිකල් මන්ත්‍රීන්ගේ සහාය රජයට ලබා දී නැවතත් ජාතික රජයක් ස්ථාපිත කිරීමටත් උත්සාහ දරමින් සිටියි. ඊට තිරය පිටුපස සිට සහාය දෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි.

ජනාධිපතිවරයා මෙරට නැති අතරතුර බණ්ඩාරනායක පවුලට පෞද්ගලික අයිතිය ඇතැයි කියන ඩාර්ලි පාරේ ශ්‍රී.ල.නි.ප. මූලස්ථානය අත්පත් කරගන්නට දුමින්ද පිලේ සමහරෙක් උත්සාහ දරණ බව වාර්තාවීම නිසා ජනාධිපතිවරයා තායිලන්තයේ සිටම තම පෞද්ගලික ලේකම්වරයාට නියම කළේ ශ්‍රී.ල.නි.ප. මූලස්ථානය වසා දමන ලෙසය. ඒ වනවිට පක්ෂ මූලස්ථානයේ සිටි ප්‍රසන්න නැමැති සේවක මහතෙක් එය වසා දමා යතුරු බාරදීමට කෙනෙක් සෙව්වද වර්ෂ අවසාන නිවාඩුව හේතුවෙන් කිසිවකු කොළඹ නොසිටි නිසා ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ යතුරු මරදාන පොලීසියට බාරදුන්නේය. මෙයට වසර 30කට පමණ පෙර සිරිමාවෝ මැතිනිය සමඟ අනුර - මෛත්‍රීපාල සේනානායක කණ්ඩායම මෙකී මූලස්ථානයේ අයිතියට ආරවුලක් ඇතිකරගත්තාට පසු ඒ ආකාරයේ අවුලක් ඇතිවූයේ මෙවරය. දුමින්දලා කණ්ඩායමක් තමන්ගේ ස්ථාවරය වෙනස් නොකර එ.ජා.ප.ය සමඟ ජාතික රජයකට යා යුතු යැයි කීවද ජනාධිපතිවරයා මහින්දලා සමඟ සන්ධානගතව ඊළඟ මැතිවරණ තරග කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සමඟ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ඇතිකරගත් එකඟතාව දිගටම ගෙන යාමට තීන්දු කර ඇත. ජනවාරි 01දා නෙළුම් මාවතේදී පොහොට්ටුව පක්ෂ කාර්යාලයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළ මොහොතේ බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය ප්‍රශ්න කළේ “ඔබ කණ්ඩායම ශ්‍රී.ල.නි.පය සමඟ සන්ධානගත වනවාද?” කියාය. එවිට බැසිල් කීවේ “තම පක්ෂය සමඟ එකතු වන්නට එන ඕනෑ කෙනෙක් සමඟ සාකච්ඡාවට සූදානම්” බවය.

දේශපාලන වශයෙන් විරසකව සිටින හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පසුගිය 31දා රාත්‍රියේ සිටියේ කතරගම පූජා භූමියේය. නව වසර පිළිගැනීම නිමිත්තෙන් පැවති වාර්ෂික පිරිත් පින්කම සැමදාම පවත්වනු ලබන්නේ බණ්ඩාරනායක පවුලේ ප්‍රධාන දායකත්වයෙනි. ඊට චන්ද්‍රිකා මැතිනිය සහ ඇයගේ හිතවත් පළාත් සභා මන්ත්‍රීන් කිහිපදෙනකු සහභාගී වූවෝය. මහින්ද රාජපක්ෂ මහතා කතරගම මහ දේවාලයේ පැවති නව වසර පිළිගැනීම සඳහා වන දේව පූජාවට එක්වූ අතර කතරගම රජමහා විහාරාධිපති හිමියන්ද මුණගැසුණේය. මහින්ද අමරවීර සන්ධාන මහලේකම්වරයා ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටි අතර ඔවුන් රාජපක්ෂ මහතා සමඟ දේශපාලන පිළිසඳරක යෙදුණු බව ද සඳහන්ය. කෙසේ වෙතත් මහින්ද හෝ චන්ද්‍රිකා කතරගම ගමනේදී එකිනෙකා මුණනොගැසීම විශේෂයකි.

වර්ෂ අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට දින ගණනක් මිඩංගු කළේය. ඊට පෙර ඔහු ගංවතුරින් විපතට පත් කිලිනොච්චි ජනතාව හමුවී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස රාජ්‍ය නිලධරයන්ට උපදෙස් ලබාදුන්නේය. මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන්ද, අනුරපුර අටමස්ථානාධිපති හිමියන්ද, බැහැදැකීමට අගමැතිවරයා ගියේය. අනතුරුව පොළොන්නරු සෝමාවතී පුදබිමට පැමිණි හෙතෙම පොළොන්නරුවේදීත් අනුරාධපුරයේදීත් විශේෂ කප්රුක් පූජා දෙකකට සහභාගි වූවේය. අනුරපුර රුවන්වැලි සෑ පුදබිමේ පැවති කප්රුක් පූජාවේදී අගමැතිවරයා අසලින්ම අසුන්ගෙන සිටියේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී රංගේ බණ්ඩාරය. ඔහු පසුගිය කාලයේ තමන්ට තනතුරු නොලැබීම නිසා රජය දැඩි ලෙස විවේචනය කළ තැනැත්තෙකි. අගමැතිවරයා සමඟ රංගේ සුහදව අසුන්ගෙන සිටීමෙන් පෙනුණේ ඔහුගේ දේශපාලන ප්‍රාර්ථනාව අද හෙටම ඉටුවන ලකුණුය.

ලබන නිදහස් දිනයට පෙර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මැතිසබයට ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා මේ සතියේ මාධ්‍යයට හෙළි කළේය. එ.ජා.ප.ය හා ජනතා විමුක්ති පෙරමුණද ඊට සහාය ලබාදෙන බව ඔහු සඳහන් කර තිබිණි. තම කණ්ඩායමට රජයට එකතුවෙන ලෙස ආරාධනා ලැබුණත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විධිමත් විසඳුමක් ලැබෙන තුරු රජයට එක් නොවන බව සුමන්තිරන් මහතා කීය.

උතුරු නැගෙනහිර දෙපළාත එකතු කිරීම එහි ප්‍රධාන යෝජනාවක් බව පැවසූ හෙතෙම නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම ගැන විරුද්ධ නොවන බවද ප්‍රකාශ කළේය. නමුත් අනෙක් ආගම්වලටද සමාන සැලකීමක් වුවමනා බව හෙතෙම කීය. මෙම ව්‍යවස්ථාව ගෙන ආවොත් ඊට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීන් පිරිසකගේ ද සහාය හිමිවනු ඇති බව සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අතර උතුරේ හමුදාව ගැන හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශයක් ආන්දෝලනයට ලක් විය. ඔහු පැවසුවේ පසුගියදා උතුරට මහ ගංවතුරක් ගැලූ මොහොතේ ආරක්ෂක හමුදා ජනතාව බේරාගෙන ඔවුන්ට සහන සැලසීමට ක්‍රියා කළේ යුද අපරාධවලට සම්බන්ධ පැරණි පව් වසාගැනීමේ අරමුණින් බවය. මෙය දකුණේ මධ්‍යස්ථ දේශපාලනඥයන්ගේ පවා විරෝධයට ලක්වූ ප්‍රකාශයකි. මේ ගැන මාධ්‍යයට ඍජු පිළිතුරක් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේදී කීවේ මේ රටේ හමුදාව ජනතා සේවය කරන්නේ පරණ පව් වසාගැනීමේ අරමුණකින් නොවන වගය. එසේ වසාගන්නට තරම් හමුදාව පව් කර නැතැයි කී මහින්ද එදා උතුරේ යුද්ධය තම රජය විසින් ගෙන ගියේ ත්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනයාට එරෙහිව නොවන බවද කීය. විග්නේෂ්වරන්ගේ කතාව ගැන කනගාටු වන බවත් උතුරේ ජනතාව විපතට පත්ව ඇති වෙලේ පටු දේශපාලන වාසි ගන්නට කරන මෙබඳු ප්‍රකාශ හෙළාදකින වගත් මහින්ද කීය.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස කතානායකවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය ඊට දිගින් දිගටම විරෝධය පළ කළේය. එයට හේතුව මහින්දලා ශ්‍රී.ල.නි.පයෙන් ඉවත්ව පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගැනීම බව කියැවිණි. ඒ නිසා මහින්දට නොව සම්පන්දන් මහතාටම විපක්ෂනායක පදවිය හිමි බව දෙමළ ජාතික සන්ධාන ප්‍රබලයෝ පවසන්නට වූහ. එහෙත් කතානායකවරයා තම ස්ථාවරය වෙනස් කළේ නැත. ඔහු ප්‍රකාශ කළේ මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වයට අදාළ නීති ප්‍රශ්න තමන්ට නිරාකරණය කළ නොහැකි බවය. ඒ වනවිට ශ්‍රී.ල.නි.ප.යත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් කතානායකට මහින්ද තවදුරටත් එ.ජ.නි.ස.ය නියෝජනය කරන බව දන්වා තිබූ නිසා කරු ජයසූරිය කතානායකවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම ප්‍රශ්නය උසාවියෙන් නිරාකරණය කරගත යුතු වගය.

කතානායකවරයාගේ තීන්දුවෙන් පසු කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ බඩු බාහිරාදිය ඉවත් කරගත් සම්පන්දන් මහතාගේ ලේකම්වරු එතැනින් ඉවත්ව ගියෝය. එහෙත් ඉන් දින කිහිපයකට පසු ඔවුහු නැවතත් හදිසියේම පැමිණ නැවතත් කාර්යාලයේ සේවා කටයුතු ආරම්භ කළහ. දැන් විපක්ෂනායක සම්බන්ධීකරණ ලේකම් ලෙස ක්‍රියා කරන මඩකලපු හිටපු දිසාපති ෂන්මුගම් මහතා එහි කටයුතු බාරව සිටියි. ඒ අතරතුර මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයාගේ ලේකම්ධුරයට පරිපාලන සේවයේ හර්ෂ විජේවර්ධන මහතා පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ගෙන ආවේය. නමුත් ඒ ගැන තවදුරටත් කතානායක උපදෙස් ගත යුතු යැයි තීන්දු කළ අමාත්‍ය මණ්ඩල කාර්යාලය එම පත්වීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් ප්‍රමාද කිරීමට තීන්දු කළ බව දැනගන්නට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව වසරේ රාජකාරි ආරම්භය සඳහා ගිය බදාදා ඩාර්ලි පාරේ ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයට පැමිණියේය. ජනපති සමඟ මන්ත්‍රීන් වන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහ ඇමැති ඉසුර දේවප්‍රිය ආදීහු ද පැමිණියහ. එහි සිටි නිලධාරීන් කිහිපදෙනෙක් ඉවත්කොට නව නිලධාරීන් ඒ සඳහා පත්කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පක්ෂයේ අනාගත සංවිධාන කටයුතු ගැන සමාලෝචනයක් කොට පිටත්ව ගිය බව කියැවිණි.

ජනතා විමුක්ති පෙරමුණ නව වසරේ සිය පක්ෂයේ කටයුතු ආරම්භ කරමින් බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. පක්ෂනායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු ප්‍රකාශ කළේ මේ වසර මැතිවරණ වසරක් වීම කිසිවකුට වැළැක්විය නොහැකි බවය. පළාත් සභා ඡන්දයත් ජනාධිපතිවරණයත් අනිවාර්යයෙන් පැවැත්විය යුතු අතර පසුගියදා අසීරුවෙන් පිහිටුවාගත් වත්මන් ආණ්ඩුවට පවත්නා තත්ත්වය යටතේ දිගු කලක් රට පාලනය කළ නොහැකි නිසා මහ මැතිවරණයක්ද පැවැත්වෙනු ඇතැයි අනුර කීය. එසේම පොහොට්ටුවේ කණ්ඩායම උතුරේත් දකුණේත් ජාතිවාදය වපුරමින් එයින් දේශපාලන වාසි ලබාගන්නට තැත්කිරීම හෙළාදකින වගද හෙතෙම පැවසීය. රට ෆෙඩරල් කිරීම, රට බෙදීම වැනි බොරු මත පතුරුවා ජනතාව මුලාකිරීම ගැන ජ.වි.පෙ. විරෝධය දක්වන වගද ජ.වි.පෙ. නායකයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරය කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙස එහි සංවිධායකයන් පිරිසක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා පක්ෂය පොහොට්ටුව සමඟ එක්වීමට ගත් තීන්දුව විවේචනය කළ බව වාර්තා විය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර