2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ජනපතිගේ සැර කතාවට සජිත්ගෙන් බණ පදයක්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 387

අගමැති දිව්රුම දෙදෙනකුට තහනම්
එ.ජා.පය ගාලු මුවදොරට මහ සෙනගක් ගෙනෙයි
මහින්දගේ විපක්ෂ නායකකමට හකීම්, සුමන්තිරන්, කිරිඇල්ලගේ විරෝධය
අගමැතිකම් එපා කී අයටත් ඇමැති ධුර
ජනපති නිසා තමන් ඡන්දය පැරදුණු බව කී මන්ත්‍රී
සමනලයන්ට දොස් නොකියන්න එ.ජ.නි.ස තීන්දුවක

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධුරයට පත් විය. ඒ සමඟ දින 51ක් රට ව්‍යාකූල කළ දේශපාලන බල අරගලය හමාර වූ බව පෙනේ. එහෙත් 2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වන මොහොතේ පැවති උණුසුම් හැඟීම් දැන් නැත. දෙපක්ෂයේම අය ඔරවාගත් මුහුණු ඇතිව දේශපාලන ගනුදෙනුවක යෙදී සිටිති. පසුගිය ඉරිදා රනිල් අගමැති ධුරයේ පත්වීම් ලද්දේ මැතිසබයේ 225 දෙනාම කීවත් තමන් රනිල්ට අගමැතිකම නොදෙන බවට සපථ කළ ජනාධිපතිවරයාම අතිනි. එහෙත් දිව්රුම් දුන් දවසේ ජනාධිපති කාර්යාලයේ සිදුවූ කියුම් කෙරුම් විමසා බලන විට දෙපක්ෂය ඉදිරියට මෙම දේශපාලන ගනුදෙනුව කෙසේ කරනු ඇතිදැයි සිතීම අසීරැය. රනිල් වික්‍රමසිංහ මහතාගේ දිව්රුම් දීම සංවිධානයට මැදිහත් වූයේ එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. ඔහු ජනාධිපතිවරයා මුණගැසී දිව්රුම් දීමේ මූලික කටයුතු ගැන සාකච්ඡා කළ විට ජනාධිපතිවරයා මුලින් කීවේ ඒ අවස්ථාවට රනිල් වික්‍රමසිංහ යුවළත් තවත් එක් අමුත්තකුටත් පමණක් සහභාගි විය හැකි බවය. එහෙත් සජිත් ඒ ගැන නැවත නැවතත් ජනපතිගෙන් ඉල්ලීම් කළ විට “එහෙම නම් දිව්රුම් දෙනකොට පස්දෙනකුට වඩා අමුත්තො ගේන්න එපා..” යැයි නැවතත් කීය. නමුත් පක්ෂයේ ඉල්ලීම වූයේ එ.ජා. පෙරමුණේ නායකයන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද පැමිණිය යුතු බැවින් අමුත්තන් 18 දෙනකුට පැමිණීමට අවසරය ලබාගත යුතු වගය. ඒ අනුව සජිත් නැවත ජනාධිපතිතුමාගෙන් කළ සුහද ඉල්ලීම නිසා 18 දෙනාට පැමිණීමට අවසරය ලැබිණි. එහෙත් ඒ 18 දෙනා අතර අහවල්ලුන් දෙදෙනාට පැමිණීමට අවසරය නැතැයි ජනාධිපතිවරයා තරයේම පැවසීය. මේ දෙදෙනා පසුගිය කාලයේ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබූ නිසා මෙම තහනම පැනවිණි. කෙසේ හෝ ගිය ඉරිදා උදෑසන 10.30 වනවිට ඒ තහනමට ලක්වූ දෙදෙනා හැර සෙසු ජ්‍යෙෂ්ඨයන් 18 දෙනා ජනාධිපති කාර්යාලයට පැමිණියෝය. ඔවුන්ට තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වුණි. ජනාධිපතිවරයා පැමිණියේ මඳක් පමාවීමෙන් පසුවය. කෙසේ හෝ දිව්රුම් දීම ඉතා සුහදව සිදුවිය.

එහෙත් ඉන් පසුව ජනාධිපතිවරයා විනාඩි 45කට ආසන්න කාලයක් කළ කතාව මගින් එ.ජා.පයේ පසුගිය පාලන කාලය දැඩි ලෙස විවේචනය කළේය. මහ බැංකු මංකොල්ලය, අධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ වැරදි, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ අවාසි මෙන්ම තමන් ඝාතනය කරන බවට සමහරු කළැයි කී තර්ජන, දෝෂාභියෝග චෝදනා ආදිය සිහිපත් කරමින් ජනාධිපතිවරයා කළ කතාව බෙහෙවින් ආවේගශීලී විය. අවසානයේ ඔහු සඳහන් කළේ මැතිසබයේ 225ම කීවත් රනිල් අගමැති නොකරන බවට තමන් ගත් ස්ථාවරයේ දිගටම සිටින බවය. ඒ ප්‍රකාශය තමන්ගේ පෞද්ගලික දේශපාලන ප්‍රකාශයක් බවත් මෛත්‍රී කීය.

කෙසේ හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආවේගශීලී කතාවෙන් පසු එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා සන්සුන් ලෙස කතා කළේය. “නහී වේරේන වේරානි” යන ධම්මපද පාඨය මතක් කළ සජිත් “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” කියමින් ඉදිරියටත් ජනාධිපතිතුමා සමගින් සුහදව රජය පවත්වාගෙන යන්නට කැමැති බව කීය. ජනාධිපතිවරයාට දෝෂාභියෝග ගෙන ඒමට කිසිදු සූදානමක් නැතැයි කී හෙතෙම ඉදිරියේදී සාර්ථක ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයාගේ සහයෝගය ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය. එහෙත් එම හමුව අවසානයේ එ.ජා. පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති කාර්යාලයෙන් පිටත්ව ගියේ සතුටින් නොවේ. එ.ජා. පෙරමුණ සම්බන්ධ එක්තරා සුළු පක්ෂ නායකයෙක් ප්‍රකාශ කළේ “මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්න තිබුණු රැස්වීම්වලට විතරක් මම මිලියන ගණනක් වියදම් කළා.. එහෙම අපි පත් කරගත්ත එතුමා අපට සැලකුවෙ මෙහෙමයි” කියාය. මෙම ජ්‍යෙෂ්ඨයා වයඹ පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන සුළු පක්ෂ නායකයෙකි.

අගමැති දිව්රුම් දීමෙන් පසුව අරලියගහ මැඳුරේදී එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවක් පැවැත්වුණි. එහිදී ගාමිණී ජයවික්‍රම පෙරේරා, හරීන් ප්‍රනාන්දු සහ රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ කතාව ගැන සිය නොසතුට හා විවේචනයන් සිදුකරමින් කීවේ රනිල් වික්‍රමසිංහ මහතා මීට පිළිතුරු දිය යුතු බවය. එසේ නොකළොත් ජනාධිපතිවරයාගේ කතාව සාධාරණ යැයි ජනතාව සිතන්නට පුළුවන් බවද ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ පිළිතුරු දෙන ආකාරය සෙමෙන් කල්පනා කර බලමු කියාය. රජයේ ඉදිරි කටයුතු සඳහා පක්ෂයක් ලෙස ශ්‍රී.ල.නි.ප සහාය ලබාගෙන ජාතික ආණ්ඩුවක් නැවතත් සාදාගන්නට පියවර ගත යුතු බව තමන්ගේ මතය බව කී රනිල්, ඒ නිසා මෙබඳු කාරණාවලදී පරෙස්සමින් ක්‍රියා කරමු යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කීය.

ඉන් අනතුරුව අගමැති රනිල් සහ විපක්ෂ නායක සම්පන්දන් මහතා අතර හමුවක් විපක්ෂ නායක නිල නිවෙසේදී සිදුවිය. ඒ අවස්ථාවට දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ද සහභාගි විය. එහිදී සම්පන්දන් මහතා කීවේ උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉක්මනින් අපේක්ෂා කරන වගය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් එම කටයුතුවලට ප්‍රමුඛතාව දෙන්නැයි සම්පන්දන් මහතා ඉල්ලා සිටියේය. රනිල් ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයට ස්තූති කළේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ සටනේදී එ.ජා.පයට උදව් කිරීම ගැනය. එවිට සම්පන්දන් කීවේ “අපි රජයට සහාය දුන්නට ආණ්ඩුවේ කිසිම තනතුරක් අපේක්ෂා කරන්නේ නැහැ. ඔබතුමා සුදුසු විදියට ආණ්ඩුව ගෙනයන්න” කියාය.

අගමැතිතුමා දිවුරුම් දීමෙන් පසුව ආණ්ඩුව විසින් ජයගත යුතු ලොකුම අභියෝගය වූයේ 30 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමය. ශ්‍රී.ල.නි.පය හෝ එ.ජ.නි.සය ජාතික ආණ්ඩුවකට එක් නොවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රී තරයේම ප්‍රකාශ කිරීම නිසා කැබිනට්ටුව 30ට සීමා කළ යුත්තේ ව්‍යවස්ථාව අනුවය. ජනාධිපති හා අගමැති දෙදෙනාගේ විෂයන් ඉවත් කළ විට පත්කළ හැකි වන්නේ අමාත්‍යවරුන් 28 දෙනෙක් පමණි. රජයේ හවුල්කාර පක්ෂ හා ජ්‍යෙෂ්ඨයන්ට යුතුකම් ඉටුකළ යුතුය.

එහෙත් පක්ෂය තුළ වඩාත් ප්‍රබලම අර්බුදය හටගත්තේ මුදල් අමාත්‍ය ධුරය සම්බන්ධයෙනි. එය රවි කරුණානායක මහතා දිගින් දිගටම ඉල්ලා සිටි අතර මංගල, මලික් ඇතුළු පක්ෂයේ සෑහෙන පිරිසකගේ මතය වූයේ මුදල් අමාත්‍ය ධුරය රවිට ලබාදීම පක්ෂයේ අනාගතයට අහිතකරව බලපාන බවය. රවිට වෙනත් විෂයක් පැවරීම ගැන පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ එකඟ වූ නමුත් මුදල් විෂය ලබාදීමට විරෝධය දැක්වූහ. රවි කරැණානායක මේ ගැන දැඩි ලෙස කෝපයට පත්ව ප්‍රබල වාද විවාදවලට යොමු වූ බව අරලියගහ මැඳුරෙන් වාර්තා විය. වරක් ඔහු දැඩි තීරණයක් ගන්නා බව කියමින් පිටත්ව ගිය බවද දැනගන්නට ලැබිණි.

නමුත් එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා රැස්වූ විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුහුණදී සිටින කැබිනට්ටුව තෝරාගැනීමේ ප්‍රශ්නයේදී ඔහුට සහාය ලබාදීමට එ.ජා. පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් එකඟ වූහ. මනෝ ගනේෂන්, රිෂාඩ් බදුයුදීන්, මලික් සමරවික්‍රම, තිලක් මාරපන මෙහිදී මූලික වූහ. දෙමළ ජාතික සන්ධානයේ යම් යම් විවේචන නිසා ඩී.එම්. ස්වාමිනාදන් මහතා පසුව තමන්ටද අමාත්‍ය පදවියක් අවශ්‍ය නැතැයි කීය. ඒ අතර අමාත්‍ය චම්පික රණවක මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩුවට සහාය ලබාගැනීමෙන් දකුණේ සිංහල ජනතාව අතර එ.ජා.පය දෝෂදර්ශනයට ලක්වන බවය. ඒ නිසා ශ්‍රී.ල.නි.ප ඇතුළු සිංහල පාර්ශ්වවලින් 113ක මන්ත්‍රී සංඛ්‍යාව ලබාගත යුතුය යන්න චම්පිකගේ අදහස විය. ඔහු එලෙස සහාය ලබාගන්නට එ.ජ.නි.සයේ නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ ආදීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා ආරම්භ කර තිබිණි.

පසුගිය සඳුදා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 21 දෙනාගේ කණ්ඩායම මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසුණි. එහිදී නිමල් සිරිපාල හිටපු අමාත්‍යවරයා යෝජනා කළේ එ.ජා.ප රජයට නැවතත් සහාය දෙමු කියාය. එසේ කොට අමාත්‍ය පදවි කිහිපයක් එ.ජ.නි.සයට ලබාගත හැකි යැයිද නිමල් කීය. එහෙත් ජනාධිපතිවරයා එයට තරයේම සිය විරෝධය පළ කළේය. ඉන් අනතුරුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාට දෙන්නට යෝජනා කළ විපක්ෂ නායක පදවිය තමන්ට ලැබිය යුතු යැයි කීය. “මහින්දලා දැන් වඩාත් සමීප ශ්‍රී.ල.නි.පයට නොව පොහොට්ටුවට..” යැයි කී නිමල් එබැවින් තමන්ට විපක්ෂ නායක පදවියවත් අවශ්‍ය යැයි කීය. එවිට ජනපතිවරයා කීවේ තමන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරණයක් සිදුවූ නිසා එතුමා පත්කළ යුතු බවය. මේ ගැන නිමල් දිගින් දිගටම පෙරුත්ත කරන විට “හොඳයි අපි හෙට බලමුකෝ” කියා ජනාධිපතිවරයා කතාව වෙනත් පැත්තකට හරවද්දී මහියංගනේ ලක්ෂ්මන් සෙනෙවිරත්නද කීවේ “සර් ඇත්තටම නම් අපි එ.ජා.ප ආණ්ඩුවට ඇතුළුවෙලා සහාය දෙන්න ඕනෑ” කියාය. එවිට ජනාධිපතිවරයාට කේන්ති ගොස් “ලක්ෂ්මන් අපි යූ.ඇන්.පී ආණ්ඩුවකට යන්නෙ නැහැ. ඔයා ඡන්දෙත් පැරදිලා හිටියෙ. මමයි ඔයාව මන්ත්‍රී කළේ..” යි කී විට ලක්ෂ්මන් සෙනෙවිරත්න කීවේ “ඔව් සර් මම පැරදුණා තමයි. මම පැරදුණේ ඔබතුමා නිසායි. ඒකත් මම කියන්න ඕනෑ..” යැයි ජනපතිට උත්තර බැන්දේය. කෙසේ හෝ රැස්වීම අවසන් වනවිට ජනාධිපතිවරයා නැවතත් කීවේ ශ්‍රී.ල.නි.පය හෝ එ.ජ.නි.සය මින් ඉදිරියට එ.ජා.පය සමඟ ආණ්ඩු නොකරන බවය.

ඒ කටයුතු සිදුවෙද්දී එ.ජ.නි.සයේ වෙනම පිරිසක් පක්ෂ මාරුවට සැරසෙමින් සිටියෝය. ඒ මුලින් කී ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක හා විජිතමුණි සොයිසාය. ඒ හැර දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාපා, රන්ජිත් සියඹලාපිටිය යන අයගේ නම්ද පක්ෂ මාරුව ගැන කියැවුණි. නමුත් මහින්ද සමරසිංහ ආණ්ඩුවට ගන්නවාට රාජිතත්, දයාසිරි ගන්නවාට අකිල විරාජුත්, ෆයිසර් ගන්නවාට මරික්කාර් සහ මුජිබර් රහුමනුත් ඒ.එච්.එම්. ෆවුසිත් දැඩි ලෙස විරෝධය දැක්වූ බව වාර්තා විය. එහෙත් මෙයින් දයාසිරි ජයසේකර පමණක් තමන් කිසිසේත්ම පක්ෂ මාරුවකට සූදානම් නැතැයි පසුව ප්‍රකාශ කර තිබිණි. අන්තිම මොහොතේත් නිමල් සිරිපාල හා මහින්ද සමරසිංහ පක්ෂ මාරුවට ජනපති ඉඩ නොදීම ගැන අසතුටින් ජනපති කාර්යාලයේදී අදහස් පළකර තිබිණි.

මෙම රැස්වීමෙන් පසුදා මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායමත් ශ්‍රී.ල.නි.ප පිරිසත් ජනපතිවරයා එකට කැඳවා තිබිණි. එහිදීත් තීන්දු කළේ රජයට එක් නොවන්නටය. මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය හිතවත් මන්ත්‍රීන්ට කීවේ අප පක්ෂයේ කිසිවකු සුළු ජාතීන්ගේ සිත් රිදෙන ලෙස කතා නොකළ යුතු බවය. ඔවුන්ගේ ඡන්දද ජනපතිවරණයේදී වැදගත් නිසා මෙම කරුණ හෙතෙම අවධාරණය කරන වග සඳහන් කළේය. එවිට තාරක බාලසූරිය හා සුසන්ත පුංචිනිලමේ කීවේ සුළු ජාතිකයන් පමණක් නොව සමනල කණ්ඩායමද තරහ කරගත යුතු නැත කියාය. ඒ අය ලක්ෂ 4ක් පමණ රටේ සිටින නිසා ඔවුන්ගේ ඡන්ද පදනම අමතක නොකළ යුතු වග ඒ දෙදෙනා මතක් කළෝය. ළඟදී එ.ජා.පයෙන් පැමිණි පැරණි ශ්‍රී ලංකා කාරයකු වන එස්.බී. නාවින්න මහතා කීවේ තමන් සමඟ පක්ෂ මාරුකළ 6 දෙනා නැවත එ.ජා.පයට නොයන බැවින් තමන්ලාටත් පක්ෂ සංවිධාන ව්‍යුහය තුළ වගකීමක් අවශ්‍ය යැයි කියාය. ඒ ගැන කතා කරන්නට හමුවෙමු යැයිද නාවින්න ජනාධිපතිතුමාට කීය.

මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ මහතා එ.ජ.නි.සයෙන් විපක්ෂ නායක ධුරයට නම්කිරීම ගැන තීන්දුවක් ගැනීමය. එය සියල්ලන්ගේම එකඟතාවෙන් සිදුවෙද්දී කලින් විපක්ෂ නායක පදවිය ඉල්ලා සිටි නිමල් සිරිපාල මහතා නිහඬව දෑස් පියාගෙන සිටිනවා පෙනුණි. අනතුරැව අගමැති දිව්රුම් දුන් දා ජනාධිපති කළ කතාවට වාසුදේව, ඩිලාන් මෙන්ම ඩග්ලස් දේවානන්දද ප්‍රශංසා කළහ.

එ.ජා.පය පසුගිය කාලයේ තමන්ට ආණ්ඩු බලය ලබාගන්නට ගෙන ගිය සටනේ ජයග්‍රහණය සැමරීමට ගාලු මුවදොර පැවැත්වූ ජනරැලියට විශාල පාක්ෂිකයන් පිරිසක් පැමිණ සිටියහ. ජයග්‍රහණයෙන් උද්දාමව සිටි පාක්ෂිකයන් ඇමතූ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එ.ජා.පය ඉදිරියේදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් පුළුල් දේශපාලන සන්ධානයක් ආරම්භ කරන වගය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා නව සන්ධානය අරඹන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා දේශපාලන පක්ෂ රැසක් සම්බන්ධ වන බවද කීය. පසුගිය කාලයේ පාක්ෂිකයන්ට ලබාදීමට අපහසු වූ සහන නව රජය යටතේ ලබාදීමට පියවර ගන්නා අතර පාක්ෂික ජනතාවටද විශාල සහන මල්ලක් සපයන බව ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයට එක්වීම ගැන එ.ජ.නි.සයේ බරපතළ උනන්දුවක් තිබූ මන්ත්‍රීන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණි. එහෙත් ජනපතිවරයා ආණ්ඩුවට එක්වීමට ඔවුන්ට අවසර දුන්නේ නැත. ඇමැති තනතුරු ලබා නොදෙන බවද කීය. එවිට එක් සාකච්ඡාවකදී දුමින්ද දිසානායක කීවේ “ඔබතුමා මොනවා කීවත් අපි කිහිපදෙනෙක් ආණ්ඩුවට යන” බවය. තනතුරුවලට වඩා ප්‍රතිපත්තිය වැදගත් බව කී හෙතෙම 2015 ජනවාරි 08 ජනවරමට පයින් නොගැසිය යුතු බව කීය. නිමල් සිරිපාල, ෆයිසර් මුස්තාපා ආදීන්ද ඒ මතයේම සිටියද ජනපතිගෙන් කිසිම බුරුලක් ලැබුණේ නැත. අවසානයේ ගිය බදාදා හැන්දෑවේ මෛත්‍රී සමඟ සිටින මන්ත්‍රීන් 21 දෙනා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින් සංවිධානය කරන ලදී. දෙපක්ෂය අතර තිබෙන ප්‍රශ්න සමථයට මෙම සාකච්ඡාව කැඳවිණි. එහිදී දෙපක්ෂය සුහදව අදහස් හුවමාරු කරගත් අතර ජනපති පක්ෂය එකට තබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇමැති තනතුරු ගැන තිබූ කඹ ඇදීම් අවසන් කරමින් සිකුරාදා හෝ අමාත්‍ය මණ්ඩලය දිවුරැම් දිය යුතු යැයි අගමැති රනිල් කීවේ ලබන අඟහරුවාදාට පසුව 2019 මුල් මාස 4 සඳහා අතුරු සම්මත ගිණුම අනුමත කරගත යුතු වූ නිසාය. ඒ අනුව එ.ජා.පය විසින් අමාත්‍යවරුන් 36 දෙනකුගෙන් සමන්විත කැබිනට් නාමලේඛනයක් ගිය සිකුරාදා ජනපති වෙත යවනු ලැබීය. එය ලැබුණු පසු ජනාධිපතිවරයා විසින් නම් හයක් කපා දමන්නට තීන්දු කළේ තමන් කලින් කී ආකාරයටය. කැබිනට්ටුවට ව්‍යවස්ථාව අනුව පත්කළ හැක්කේ 30 දෙනෙක් පමණි. ඒ අනුව සරත් ෆොන්සේකා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, රංගේ බණ්ඩාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ විජිතමුණි සොයිසා යන අයගේ නම් කැබිනට් ලේඛනයෙන් ඉවත් කර දැමිණි. එයට අවසන් මොහොතේ එ.ජා.පයේද එකඟතාව හිමිවූ බව වාර්තා වෙයි. ඒ අනුව මුදල් අමාත්‍යංශය මංගල සමරවීරටත්, විදුලිබල හා බලශක්ති විෂය රවි කරුණානායකටත්, සාගල රත්නායකට වරායත්, අකිල විරාජ්ට අධ්‍යාපනයත් ආදී වශයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන විෂයන් බෙදී ගොස් තිබිණි. මුලින් ඇමැතිකම් නොගන්නා බව කී සියලු දෙනාම පසුව ඇමැති ධුර ලබාගෙන තිබීම විශේෂයකි.

ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.පයෙන් තමන්ගේ අවසරයෙන් තොරව ආණ්ඩුවට යන කිසිවකුට ඇමැති පදවි නොදෙන බවට ගත් තීන්දුව නිසා ශ්‍රී.ල.නි.ප බොහෝ දෙනෙක් ආණ්ඩුවට යාම වැළැකිණි. ඒ සඳහා තිරය පිටුපස සාකච්ඡා කරමින් දේශපාලන ගේම් එකක් ගෙන ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ උත්සාහයද පරාජය විය. ඇය පසුගියදා තමන්ට හිතවත් පළාත් ආණ්ඩුකාරවරයකුගේ නිවෙසේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් ගණනාවක් හා පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වූයේ එ.ජා.පයට ඔවුන්ගේ සහාය ලබාගන්නටය. එහෙත් මෙම රුස්වීමේ සම්පූර්ණ තොරතුරු සුළු වේලාවකින් ජනාධිපතිවරයාට වාර්තා වූ අතර ඔහු එම රැස්වීම සංවිධානයට උදව් දුන් ආණ්ඩුකාරවරයා ජනවාරියේදී තනතුරින් පහකර දමන බවද ප්‍රකාශ කර තිබිණි. ඒ අතර කනින් කොණින් පැතිරගිය ආරංචියකින් කියැවුණේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කිරීම ගැන ඔහුට ෆීල්ඩ් මාර්ෂල් ධුරයෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇති බවය. ඒ ගැන අද හෙටම ජනාධිපතිවරයා තීන්දුවක් ගනු ඇතැයි කියැවිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක පදවියට කතානායකවරයා විසින් නම්කළද තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකළ නිසා තවමත් විපක්ෂ නායක තමා යැයි ආර්. සම්පන්දන් මහතා මැතිසබයේදී බදාදා පැවසීය. ඒ අතර එ.ජ.නි.ස මහලේකම් මහින්ද අමරවීර නැවතත් කතානායකට ලිපියක් යවමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා එ.ජ.නි.ස සාමාජිකයෙක් බවය. ඔහු විපක්ෂ නායක ලෙස පත්කළ යුතු යැයි අමරවීර මහතා නැවතත් එමගින් පැවසීය. ඊට අදාළ තීන්දුව සිකුරාදා උදෑසන කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම ඉතාමත් චාම් අන්දමින් සිදුවිය. එය මාධ්‍යයට විවෘත නොවූ අතර තනි තනිව ඇමැතිවරුන් ජනපතිගේ කාමරයට කැඳවා දිව්රුම ගැනිණි. කැබිනට් දිව්රුමෙන් පසුව විනාඩි 10කට සීමාවූ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්ද පැවැත්විණි. එහිදී අතුරු සම්මත ගිණුම අනුමත කළ බවද වාර්තා විය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00