2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

මහින්දගේ නිවසට ගිය එ.ජා.ප මන්ත්‍රී අගමැතිකමෙන් යනවාදැයි විමසයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 635

♦ ජනපති තුරුම්පු ඇදීම බැඳුම්කරෙන් අරඹයි

♦ විජේදාසගේ කපුකමට කතානායකගේ සහය

♦ රනිල් පුළුල් සන්ධානයකට දොර අරී

♦ ජ්‍යෙෂ්ඨයන්ට දොස් කී හරීන්ට යූ.ඇන්.පී. ප්‍රබලයන්ගෙන් විරෝධය

♦ රවුෆ්, රිෂාර්ඩ්, මනෝ අලුත් මුහුණු එක්ක ඡන්දයකට යමු යැයි එ.ජා.ප.යට කියයි

♦ කතානායකට විරෝධය දක්වමින් වංචා විමර්ශන අංශයට පැමිණිලි

 

රජය විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර ඇත. ලබන 4,5,6 යන තෙදින තුළ මෙම පෙත්සම් විභාග කෙරෙන අතර 07දා දක්වා මැතිසබය විසුරුවා හැරීමේ නියෝගය වාරණයට ලක්කර තිබේ.

පසුගිය අඟහරුවාදා මැතිසබය රැස්වීමට පෙර වාර දෙකක් ඒකාබද්ධ විපක්ෂය මනත්‍රී ඇමැති හමු පවත්වනු ලැබීය. ඉන් එක් හමුවක් අගමැති මහින්දගේ නිවසේ ද අනෙක පාර්ලිමේන්තු කමිටු ශාලාවේ ද පැවත්විණි. මෙම හමු දෙකේදී ඉදිරිපත් වූ අදහස් අනුව සඳහන් වූයේ මැතිසබය කතානායකවරයා විසින් පක්ෂග්‍රාහීව හසුරවන නිසා ඔහුට විරෝධය පළකිරීමක් ලෙස ලබන 07 දින නඩු විභාගය හමාර වනතෙක් මැතිසබය වර්ජනය කළයුතු බවය. දිනේෂ් ගුණවර්ධන මහතා එම මතයට එකඟ නොවූ අතර ඔහු ප්‍රකාශ කළේ මැතිසබයට ගොස් කතානායකගේ ක්‍රියාකලාපයට විරෝධය පළකොට පිටවිය යුතුය කියායි. විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර ද ඊට සහය පළකළ නමුත් බහුතර මන්ත්‍රී කණ්ඩායම දිනේෂ්ලාගේ මතය පිළි නොගෙන කීවේ තමන් දිගින් දිගටම නඩු තීන්දුව එනතෙක් සභාව වර්ජනය කරමු කියායි. මේ ගැන ඒකාබද්ධය තුළ ලොකු විවාදයක් හට ගනිද්දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පැවසුවේ මන්ත්‍රී කණ්ඩායම පොදු තීන්දුවක් ගනිමු කියායි. එවිට පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කීවේ “අගමැතිතුමා අපි මේ කාරණය ගැන ‘හඬ’ අනුව ඡන්දයක් ගනිමු” කියාය. එවිට මුළු මන්ත්‍රී කණ්ඩායමම මහහඬින් සිනාසෙන්නට වූහ. සිනාහඬ මැද අගමැති රාජපක්ෂ සඳහන් කළේ “හඬ” අනුව ඡන්දෙ ගත්තොත් පසුපෙළ කට්ටියගෙ හඬ වැඩියි. ඒ නිසා එයාලගෙ මතය විතරයි ඉස්මතු වෙන්නෙ. ඔය හඬ අනුව ඡන්ද ගැහිල්ල සාධාරණ නැහැ” කියාය. නාමල් රාජපක්ෂ හා රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීන් ගණනාවක් එහිදී කියා සිටියේ අපි පාර්ලිමේන්තු නොගිහින් සභාව වර්ජනය කරමු යන අදහසය. “පාර්ලිමේන්තු ගියොත් ඔය කතානායකගෙ කෙරුවාව පිළිගත්තා වෙනව.” රංජිත් සොයිසා කීය. අන්තිමේදි මන්ත්‍රීන් සියලුදෙනා එම මතයට එකඟ වූහ.

එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පක්ෂයේ හැට පැනපු උදවිය මහ පුටුවලින් ඉවත්කොට තරුණයන්ට පක්ෂය පැවරිය යුතු යැයි යෝජනා කිරීම දෙබරයට ගල්ගැසීමක් විය. හිටපු අගමැති රනිල්, ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල ආදී ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් පක්ෂයේ ඉහළ තනතුරු දරති. කෙසේ හෝ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එදින පළකළේ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් දරන අදහස බව පසුව කියැවිණි. කෙසේ නමුත් හරීන්ගේ කතාවෙන් පසු ඔහුට දුරකතන ඇමතූ මන්ත්‍රීන් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා කීවේ එ.ජා.ප.ය සමඟ සුළු පක්ෂ බැඳී සිටින්නේ දැනට ඉහළ තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන් නිසා බවය. ඒ නිසා ඔවැනි කතා කියා පක්ෂයට සහය දෙන සුළු ජාතික ඡන්ද පදනමට හානි නොකරන ලෙස හරීන්ගෙන් ඉල්ලා සිටිමියි මංගල කීය.

ඒ සමඟ පැවැති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක්ම සඳහන් කළේ එ.ජා.ප.යට නැවත විපක්ෂයට යා නොහැකි බවය. සජිත් ප්‍රේමදාස, අශෝක අබේසිංහ ඇතුළු මන්ත්‍රීන් ගණනාවක් එම අදහස ඉදිරිපත් කළහ. එ.ජා.පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් වන රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා දිගම්බරම් ඇතුළු පිරිස කියා සිටියේ යම් හෙයකින් නැවතත් මහ මැතිවරණයකට යන්නේ නම් පක්ෂය අලුත් මුහුණු ඇතිව නව මුහුණුවරක් ඇතිව ඡන්ද සටනට යා යුතු වගය.

මෙහිදී පක්ෂ මන්ත්‍රීන් බහුතරයකගේ ප්‍රකාශිත අදහස වූයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා කියන ආකාරයට පක්ෂ බහුතරය පෙන්නුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අගමැති ධුරය සඳහා යෝජනා කළ යුතු වගය. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ මතය වූයේ ඒ සඳහා ව්‍යවස්ථානුකූලවත් දේශපාලනිකවත් සටන් කිරීම අවශ්‍ය බවයි. කිනම් ක්‍රමයකට හෝ එ.ජා.ප. රජයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරමු කියායි. කිසිවකුට ව්‍යවස්ථාව උල්ලංඝනයට ඉඩ නොදිය යුතු යැයිද මෙහිදී අවධාරණය කැරිණි. මේ සියල්ලට සාවධානව කන්දුන් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ 29දා අගමැතිගේ සහ අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂයන් කපා දැමීමට යෝජනාවක් ගෙන එන නිසා ඒ කටයුතු හමාර වනතෙක් බලා සිටිමු යනුවෙනි.

ගිය අඟහරුවාදා මැතිසබා සැසිය වර්ජනය කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ සහ ශ්‍රීලනිප නියෝජිතයෝ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී රැස්වී නැවතත් සාකච්ඡා කළෝය. මෙහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ නීති විරෝධී බව ගැන දීර්ඝ ලෙස කරුණු කීය. ඒ අතරතුර පසුගිය 14,15,16,19 හා 23 දිනවල පැවැති මැතිසබා රැස්වීම් සියල්ල ස්ථාවර නියෝගවලට හා ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ලිඛිතව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ අත්සනින් දැනුම් දීමට තීන්දු කළේය. එම ලිපියට පක්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨයන් අත්සන් කිරීමටද තීන්දු ‍කෙරිණි.

පක්ෂ මාරු කතා අතර සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය වූයේ වත්මන් රජය යටතේ වනජීවී අමාත්‍ය පදවිය දැරූ වසන්ත සේනානායක මහතා සිව්වැනි වරටත් සති දෙකක් තුළ පක්ෂය මාරුකර නැවත එ.ජා.ප.යට එක්වීමයි. එ.ජා.ප. නායකත්වයේ වෙනසක් සිදුවනතුරු නැවත පක්ෂයට නොඑන බව කියමින් පක්ෂය හැරගිය වසන්ත සේනානායක මහතා සමඟ රවි කරුණානායක මන්ත්‍රීවරයා දිගින් දිගටම සාකච්ඡා කළේය. ඒ අනුව වසන්ත නැවතත් මේ සතියේ එ.ජා.ප.යට එක්වූයේය. අනතුරුව මාධ්‍ය හමුවක් තබා තමන් හිටිහැටියේ පක්ෂය මාරු කිරීම ගැන පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව කීය. ඔහු නැවත එ.ජා.ප.යට යෑමට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් ඔහු මුණගැසී සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී වසන්ත සේනානායක හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් බහුතරය ගැන විමසා තිබේ. එවිට ඔහු කියා ඇත්තේ තම රජයට බහුතරය ඇති බවයි. විපක්ෂය බහුතරයෙන් යෝජනා සම්මත කර ඇති නිසා රාජපක්ෂ මහතා අගමැති තනතුරින් ඉවත්වීමට සිතා සිටින්නේදැයි නැවතත් වසන්ත මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් විමසුවද මහින්ද කීවේ තමන් මෙම තනතුර භාරගත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව බවත් ඒ නිසා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු අදහසක් නැති බවත්ය. කැමැති කෙනකුට ඕනෑ නම් තමන් ඉවත් කළ හැකි යැයිද මහින්ද විහිළුවෙන් මෙන් වසන්තට කීය. ඉන්පසු කිසිවක් නොකී වසන්ත “ඒකත් එහෙමද” කියා අගමැතිවරයාගේ නිවසින් පිටවී ගියේය. අනතුරුව ඔහු නැවත එජාපයට එක්වූ බව කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන් අදිනවා යැයි කී දේශපාලන තුරුම්පු අදින්නට පටන්ගෙන තිබේ. ඉන් එක් තීරණාත්මක සිද්ධියක් වන්නේ පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ මහබැංකු බැඳුම්කර සිද්ධියේ පූර්ණ වාර්තාව සති දෙකක් තුළ ප්‍රකාශයට පත් කිරීමයි. මෙම වාර්තාව වහා මුද්‍රණය කොට ප්‍රකාශ කරන බවට ජනාධිපතිවරයා නියෝග කළේය. වාර්තාව මේ හදිස්සියේ ප්‍රකාශයට පත් කරන්නේ එහි මෙතෙක් හෙළිදරව් නොවූ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් බැඳුම්කර ගනුදෙනුවෙන් ලත් ප්‍රතිලාභ ගැන හෙළිදරව් කිරීමට බව දැනගන්නට ඇත. ඊට අමතරව එ.ජා.ප. රජයේ ගතවූ වසර තුනක පාලන කාලයේ ගනුදෙනු හා තීන්දු ගැන විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ද සැලසුම් කර ඇත. ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩු පක්ෂයට අයත් වුවද ඔහු කවදත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නෙකි. ඔහු මේ සතියේ නැවත වරක් ප්‍රකාශ කළේ රජයට බහුතර නැතිනම් තවදුරටත් ආණ්ඩු කරන්නට යාමේ තේරුමක් නැති බවය. ඒ බව පක්ෂ කණ්ඩායමට මෙන්ම මාධ්‍යයට ද ඔහු ප්‍රකාශ කර තිබිණි. මේ තත්ත්වය ඇති කිරීම ගැන ඔහු ජනාධිපතිවරයාට නම නොකියා දොස් පවරා තිබූ බවද සඳහන්ය.

සතිය මැද වාර්තා වූ තවත් විශේෂ පුවතකින් කියැවුණේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පවත්නා රජයට එරෙහිව ලැබුණහොත් මැතිසබා බහුතරය නොමැති නම් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය. ඒ අතර පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා මුණගැසුණු එ.ජ.නි. සන්ධානයේ ප්‍රබලයන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අධිකරණ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව ස්ථාවර තත්ත්වයකට පත්නොවන නිසා තීන්දුව එනතෙක් නැවත වරක් මැතිසබය කල්දමන හැටියටයි. එහෙත් ජනාධිපතිවරයා එසේ මැතිසබය කල් දමා වාර අවසාන කිරීමක් සම්බන්ධව තීන්දුවක් ගත යුත්තේ තවදුරටත් සිතා බැලීමෙන් පසුව යැයි සඳහන් කළේය. ඒ අතර පසුගිය බදාදා සවස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයන් මුණගැසුණේ රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටයි. අතුරු සම්මත ගිණුම සම්මත කරගැනීම හා ජනවාරියේ විදේශ ණය ගෙවීම ඇතුළු කාරණා ගණනාවක් ගැන එහිදී සාකච්ඡා කැරිණි. 1982 වසරේ සිට ක්‍රියාත්මක වන විශේෂ මූල්‍ය පනතක් අනුව අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් ඇතත් නැතත් රජයේ අත්‍යවශ්‍ය වියහියදම් මාස 4ක කාලයකට පියවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකි බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයන් ජනපතිට හා අගමැතිට දැන්වූ බව සඳහන්ය.

මේ අතර එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා නව දේශපාලන සන්ධානයක් ගැන අදහසක් මේ සතියේ ප්‍රකාශයට පත් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඒකරාශී කරගෙන මෙම සන්ධානය ස්ථාපිත කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කරගෙන බවද සඳහන් වෙයි. දැනට එක්සත් ජාතික පෙරමුණ සමඟ සිටින පක්ෂවලට අමතරව පොදු සිවිල් සංවිධාන ගණනාවක් ද නව සන්ධානයට ඇතුළත් කර ගැනීම එ.ජා.ප.යේ අරමුණ බව දැනගන්නට තිබේ. ඒ අතර කොළඹ මහනගර සභාව ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ලෙස වගකිවයුත්තන්ට බලකරමින් සංවිධාන ප්‍රධානීන් ගණනාවක් විසින් උපවාසයක් ආරම්භ කර තිබේ. පසුගිය අඟහරුවාදා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාද මෙම උපවාසයේ නියුතු අය මුණගැසීම සඳහා උපවාස භූමියට පැමිණ ඔවුනට සුබපැතීය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායකවරයා ඒ සම්බන්ධව කූඨ ලෙස වෙනස් කළ හැන්සාර්ඩ් වාර්තාවක් නිකුත් කළ බව කියමින් පසුගිය 27දා පිවිතුරු හෙළඋරුමය පක්ෂ සාමාජිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් භාරදුන්නේය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් සිදුකෙරෙන බවද එම පක්ෂය පවසයි. ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කළ පිවිතුරු හෙළඋරුමය නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීවේ මෙම තොරතුරු සනාථ වීමෙන් පසු කතානායකවරයාට ‘ජම්පරය’ අඳින්නට සිදුවිය හැකි බවය. උදයගේ මෙම ප්‍රකාශයට කතානායක කරු ජයසූරිය මහතාද ක්ෂණිකවම ප්‍රතිචාර දැක්වීය. ඔහු සඳහන් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය නම් තමා ජම්පරය ඇඳීමට වුවත් සූදානම් බවය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා හැර එ.ජා.ප.යෙන් වෙනත් කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත් නොකිරීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගියදා තීරණය කළේය. මේ ගැන මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ ලෙස සාකච්ඡා කර තීන්දු කළ බව මේ ගැන අදහස් දැක්වූ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධව එක් එක් නායකයන්ගේ පෞද්ගලික මතවාදවලට හිස නැමීම අනාගතයේදී වැරදි පූර්වාදර්ශ සපයනු ඇති බවය. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවත්නා පෞද්ගලික ප්‍රශ්න නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට ජනාධිපතිට ඉඩ නොදිය යුතු බවද මන්ත්‍රී කණ්ඩායම තීන්දු කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන අතරම මින් ඉදියේදී එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සමනායකයෙක් පත්කළ යුතු බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා සුදුසු බවටත් එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් ළඟදීම යෝජනා කිරීමට සැරසෙන බව දැනගන්නට තිබේ. ඒ සඳහා ලිපියක් සකස්කර එම ලිපියට පසුපෙළ තරුණ මන්ත්‍රීන්ගේ අත්සන් ලබාගෙන රනිල් වික්‍රමසිංහ පක්ෂනායකවරයාට ඉදිරි සතියේ ඉදිරිපත් කිරීමට සැරසෙන බව එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා එ.ජා.පයේ මන්ත්‍රීන් සුපුරුදු ලෙස මැතිසබයට පැමිණිය ද ආණ්ඩු පක්ෂය එදිනත් මැතිසබය වර්ජනය කළේය. ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ කතානායකවරයා නීති රීති හා සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් මැතිසබයේ කටයුතු විකෘති කළ බවට වූ චෝදනාවයි. එදින රජය සභාව වෙත නොපැමිණිය ද විපක්ෂය මැතිසබයට පැමිණ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරිය යුතු යැයි යෝජනාවක් ගෙන ආවේය. රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ පසු මන්ත්‍රීන් ගණනාවක් සිය අදහස් පළ කළෝය.

ආණ්ඩු පක්ෂය මෙදින සභාව වර්ජනය කළද ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන අතුරලියේ රතන හිමියන්ද රජයේ අමාත්‍ය පදවියක් දරණ විජේදාස රාජපක්ෂ මහතා ද සභාවට පැමිණ සිටියෝය. විජේදාස රාජපක්ෂ මහතා මැතිසබයට පැමිණීමට පෙර තමන් රටේ අර්බුදය විසඳීම සඳහා කිසියම් මැදිහත් වීමක් කරන බව එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාටත් දැනුම් දී තිබූ බව කියැවිණි. කෙසේ හෝ විජේදාස අමාත්‍යවරයා සභාව අමතමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ බහුතරය සහිත ආණ්ඩුවක් රටේ ස්ථාපිත කිරීම සඳහා කතානායකවරයා ජනාධිපති සමඟ සාකච්ඡා කළ යුතු බවය. එය සාර්ථක වනු ඇති බවත් විජේදාස අමාත්‍යවරයා පැවසීය. කෙසේ හෝ එදින අගමැති වැය ශීර්ෂය කපාදැමීම සඳහා වන යෝජනාවට එ.ජා.ප/ ජ.වි.පෙ. හා දෙමළ සන්ධාන මන්ත්‍රීන් 123 ඡන්දය දී යෝජනාව සම්මත කළෝය.

නමුත් ආණ්ඩුව වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන සභා නායකවරයා කීවේ මෙය ප්‍රජාතන්ත්‍රවාදය සමච්චලයට ලක් කිරීමක් බවය. සම්මත වී තිබෙන අයවැයෙන් වැය කපනවා නම් එක් කරුණකට යෝජනාවක් ගෙන ආ යුත්තේ සංශෝධිත පනතක් ලෙස රජයේ අමාත්‍රවරයකු විසින් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියේ පැහැදිලිව තිබියදී කතානායකවරයා නීති රීති හා සම්ප්‍රදාය නොතකමින් ක්‍රියා කිරීමට එරෙහිව විරෝධය දක්වන බව ඔහු පැවසීය.

කෙසේ හෝ එදින සවස ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී රටේ ආර්ථික තත්ත්වය සහ අස්ථාවර දේශපාලනය ගැන දෙපක්ෂය සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා කතානායකවරයාට කීය. එහෙත් නඩුවක් පැවතීම හේතුවෙන් ක්ෂණිකව යමක් කළ නොහැකි බවත් නඩු විභාගයෙන් පසු බහුතරය සහිත රජයක් පිහිටුවීම ගැන සලකා බලන්නට සූදානම් වගත් කීය. කෙසේ හෝ කඩිනමින් අගමැතිවරයකු පත් කිරීමට නම් අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු විය යුතු යැයිද ජනාධිපතිවරයා කියා ඇත. කෙසේ හෝ තමන් දෙමළ සන්ධානය හා එ.ජා.ප සමඟ සිකුරාදා සවස සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා කතානායකවරයාට ප්‍රකාශ කළේය. ඉන් පසු දෙමළ සන්ධානයට හා එ.ජා.පයටද ඒ බව දන්වනු ලැබීය.

ඒ අතර දෙමළ සන්ධාන මන්ත්‍රීන් 14 දෙනාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකින් කියැවුණේ ඔක්තෝබර් 26දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරන්නට පෙර තිබූ එ.ජා. පෙරමුණ රජය නැවත ස්ථාපිත කිරීමට තම පක්ෂය සහාය පළකරන වගය. එය දෙමළ සන්ධානය එ.ජා.ප රජයට එක්වන බවට කළ ඉඟියක්දැයි පැහැදිලි නැතත් ඔවුන් එ.ජා.ප ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයකුට සහාය දෙන බව කියා තිබිණි. කෙසේ වෙතත් එ.ජා.ප හා දෙමළ සන්ධාන සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයද හමාර වූ පසු ජනාධිපතිවරයා නව රජයක් ස්ථාපිත කිරීම ගැන තීන්දුවක් ගනු ඇතැයි කියැවේ.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් නායකත්වය දරණ ටෙලෝ සංවිධානය පසුව නිවේදනයක් නිකුත් කරමින් කීවේ දෙමළ සන්ධාන ලිපියට පොදුවේ අත්සන් කළත් තම පක්ෂය එ.ජා.පයට සහාය දීමට සූදානම් නැති බවය. ඒ සමඟ ඩී. සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා නායකත්වය දරණ ප්ලොට් සංවිධානය ද මෙම කරුණ ගැන නැවත සලකා බැලීමට සාකච්ඡාවක් කැඳවා ඇතැයි උතුරෙන් වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය එ.ජා.ප රජයකට සහාය පළකිරීමෙන් පසු එම මන්ත්‍රීන් කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකට අරලියගහ මැඳුරට කැඳවීය. එම සාකච්ඡාවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් වන ශ්‍රීධරන් හා සිවමෝහන් යන මහත්වරු සහභාගි නොවූහ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ මුල් භාගය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් උතුරේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් දෙන බවය.

►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර