2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ගැලරියේ සිට

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 195

මේ සතියේ මුළු රටේම අවධානය යොමුව තිබුණේ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතටය. ජනාධිපතිවරයා විසින් හදිසියේ මැතිසබය විසුරුවාහැරීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 13ක් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙරට කීර්තිමත් ව්‍යවස්ථා විශාරද ජනාධිපති නීතිඥවරුන් රැසක්ම අධිකරණය ඉදිරියේ කරැණු දැක්වූහ. නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ පිරිසක් රජය වෙනුවෙන් පෙනී සිටියෝය. මෙරට සිටින අංක එකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥයකු මෙන්ම මූලික මානව හිමිකම් පිළිබඳ විශාරදයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සේවය ලබාගන්නට එ.ජා.පය මෙන්ම ශ්‍රී.ල.නි.පයද උත්සාහ කළ නමුත් හෙතෙම දෙපක්ෂය වෙනුවෙන්ම පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ බව කියැවිණි.

ජනාධිපතිගේ රජය විසුරුවීමේ තීන්දුවට එරෙහිව පෙත්සම් 13ක් ඉදිරිපත් වෙද්දී මහාචාර්ය ජී.එල්. පීරිස්, ඇමැති වාසුදේව නානායක්කාර ඇතුළු 5 දෙනකු විසින් ජනපති තීන්දුවට සහාය පළකරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. දින දෙකක් පුරා මෙම පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විභාග කළේ එම පෙත්සම් වැඩිදුර විභාගයට අවසර දිය යුතුදැයි තීන්දු කිරීමටය. ඒ අනුව සංකීර්ණ නීති තර්ක රැසක් ගොනුවී තිබිණි. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාද මෙම විසුරැවීම වැරදි බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමත් සමඟ මැතිවරණ කොමිසමද අර්බුදයකට තල්ලු විය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා මහාචාර්ය රාජන් හූල් එහි සාමාජිකයෝ වෙති. මෙයින් මහාචාර්ය හූල් ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කිරීම අනපේක්ෂිත කරුණකි.

කෙසේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙකක් පුරා කරන ලද මූලික පෙත්සම් විමර්ශනයෙන් අනතුරැව ගිය අඟහරුවාදා සවස 5.00ට තම තීරණය ප්‍රකාශ කරන බව සඳහන් කළේය. තීන්දුව සවස 5.00ට ලබාදෙන අවස්ථාවට ආණ්ඩුවේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක්ම අලුත්කඩේ උසාවි සංකීර්ණය වෙත පැමිණ සිටියහ. එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක ඇතුළු මැති ඇමැති පිරිසක්ද ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආදී මැති ඇමැතිවරු පිරිසක්ද උසාවියට පැමිණ සිටියහ.

සවස 5.30ට පමණ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ල විනිසුරු අසුනට පැමිණ තීන්දුව ප්‍රකාශ කළෝය. එම තීරණය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මැතිසබය විසුරුවා හරිමින් පළ කළ ගැසට් නිවේදනය ලබන දෙසැම්බර් මස 07 දින දක්වා අත්හිටුවනු ලැබීය. එම වාරණ නියෝගය ලබාදී දෙසැම්බර් මස 4, 5, 6 දින තුනේ මෙම නඩුව විභාග කරන බව අගවිනිසුරුවරයා විවෘත උසාවියේදී ප්‍රකාශ කළේය. නඩු තීන්දුව සමඟ එක්සත් ජාතික පාක්ෂිකයෝ උද්දාමයට පත්වූහ. කොළඹ හා අවට ප්‍රදේශ ගණනාවක රතිඤ්ඤා දල්වනු දක්නට ලැබිණි.

නඩු තීන්දුව ලැබෙන අවස්ථාව වනවිට රජයේ අමාත්‍ය මණ්ඩලය රුස්විය යුතුව තිබිණි. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද කැබිනට් රැස්වීම ටික වේලාවක් කල් දමන ලෙස ඉල්ලා තිබුණේ නඩු තීන්දුව ලබාදෙන තෙක්ය. ඒ අනුව නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු මහින්ද අමාත්‍ය මණ්ඩල හමුව සඳහා පැමිණියේය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රී අතර කෙටි සාකච්ඡාවක් සිදුවිය. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් ගණනාවක්ද ඊට එක්වී සිටියහ. මෙම කතාබහේදී අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන කතාබස් විය. පූර්ණ විනිසුරැ මඩුල්ලක් යටතේ පෙත්සම් විභාගය කළ යුතු යැයි ඉල්ලීමක් කිරීමට තීන්දු කැරිණි. ඒ අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තුව පසුදා කැඳවන්නේ නැතිව නැවත සැසිවාරය අවසන් කරන හැටියටයි. එහෙත් ඊට ජනාධිපතිවරයා එකඟ නොවූ බව සඳහන්ය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වූ වහාම ජනාධිපතිවරයා හදිසියේ රජයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම කැඳවීය. එහෙත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ නැත. ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතින් හා සෙසු ප්‍රධානීන් මෙන්ම පොලිස්පතිවරයාද ඊට කැඳවා තිබිණි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූ කරුණු ගණනාවකි. ඉදිරියේ යෙදෙන මහවිරැ සමරුව සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නැයි ජනපතිවරයා මුලින්ම උපදෙස් ලබාදුන්නේය. අනතුරුව රටේ පවතින දේශපාලන තත්ත්වය යටතේ කලබල ඇතිවීමට ඉඩ නොතබන මෙන් හෙතෙම ආරක්ෂක අංශ ලොක්කන් අමතා කීය. රාජ්‍ය දේපොල අවභාවිත කරන්නන් සඳහා නීතිය දැඩිව ක්‍රියාවේ යොදවන හැටියටද උපදෙස් නිකුත් කැරිණි. පසුදා පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩ ඇති බැවින් ඊට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදීම ගැනද සාකච්ඡා විය.

මේ කටයුතු සිදුවන අතර රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැඳුරට පැමිණියේය. ඔහු නඩු තීන්දුවෙන් පසුව අරලියගහ මැඳුරට ගොස් එහිදී සෙත් පිරිත් සජ්ඣායනයකට සවන් දී ආගමික ආශිර්වාදය ලබාගැනීම මුලින්ම සිදුකැරිණි. අනතුරැව පක්ෂ මන්ත්‍රීන් වෙනුවෙන් විශේෂ කණ්ඩායම් රුස්වීමක් පවත්වනු ලැබීය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ලේකම් අකිල ඇතුළු පිරිස ප්‍රකාශ කළේ පසුදින පාර්ලිමේන්තු රැස්වීම සඳහා ඇතැම්විට ජනාධිපතිවරයාද පැමිණිය හැකි බවත් ඔහු පැමිණියත් නැතත් ආරවුල්වලට නොයා යුතු බවත්ය. ආරවුලක් ඇතිකොට ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් සභාව කල්දමා ගැනීමට තැත් කරන බැවින් එම උගුලට හසුනොවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළේය.

මෙම කතාබහ යන අතරතුර අරලියගහ මැඳුරට තවත් අමුත්තන් දෙදෙනෙක් පැමිණියහ. ඒ ශ්‍රී.ල.නි.පයේ ඒ.එච්.එම්. ෆවුසි සහ පියසේන ගමගේ යන හිටපු රාජ්‍ය අමාත්‍යවරැන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා අරලියගහ මැඳුරට කැඳවාගෙන ආවේ මන්ත්‍රී රවි කරැණානායකයි. මේ දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට පසුදා රජයට සහාය ලබාදීමට එකඟ වූ බව ප්‍රකාශ විය. ඔවුන් දෙදෙනාම මහින්දගේ රජය සමඟ නොරොක් වී සිටියේ දෙදෙනාම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වුවත් ඒ අයට කැබිනට් අමාත්‍ය ධුර හිමිනොවූ බව කියමිනි. එහෙත් ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ පසු ඔහු කීවේ පසුගියදා පිහිටවූයේ තාවකාලික ආණ්ඩුවක් බවත් ජෝන් සෙනවිරත්න හා ජනක තෙන්නකෝන් වැනි ජ්‍යෙෂ්ඨයන්ටද රාජ්‍ය අමාත්‍ය ධුරයක්වත් ලබානොදුන් නමුත් ඔවුන් යථාර්ථය තේරුම්ගත් වගය.

කෙසේ හෝ පියසේන හා ෆවුසි එ.ජා.පයට යාම ස්ථිර විය. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ 40ක් පමණ නඩු තීන්දුව දුන් දා සවස මුලින් ජනාධිපති කාර්යාලයටත් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවෙසට එක්රැස්ව සිටියහ. ඔවුන් හමුවට ආ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන්ට මෙබඳු කටයුතුවලට මුහුණදී හොඳ පළපුරුද්දක් ඇති නිසා ඊට මුහුණදෙමු කියාය. ඒ සමඟ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබිය යුතු යැයිද තීන්දු කැරිණි. මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද කුලරත්න මහතා ඒ කටයුතු සංවිධානය කොට ඒ රාත්‍රියේම මාධ්‍ය හමුවක් කැඳවනු ලැබිණි. මෙම මාධ්‍ය හමුවට දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, චමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක්ම එක්වූහ. එහිදී දිනේෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කළේ නව අගමැතිවරයා පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ යෝජිත මැතිවරණය පැවැත්වීම යන කාරණාවලට අධිකරණ නියෝගය බලනොපාන බවය. මෙම අතුරැ තහනම නඩු තීන්දුවක් නොවන බවත් ඉදිරියේදී පූර්ණ විනිසුරු මඩුල්ලක් යටතේ මෙයට වඩා පුළුල් නඩු විභාගයක් අපේක්ෂා කරන වගත් ඔවුහු සඳහන් කළෝය.

ඒ වනවිට කතානායක කරු ජයසූරිය තීන්දු දෙකක් ගෙන තිබිණි. ඉන් පළමු තීන්දුව වූයේ අධිකරණයෙන් මැතිසබය විසුරුවීමට තහනමක් පනවා ඇති නිසා කලින් නියම කර තිබූ ලෙස 14 බදාදා මැතිසබය කැඳවන්නටයි. ඊට පෙර පක්ෂ නායක රුස්වීමක් කැඳවා අවශ්‍ය කරන තීන්දු ගන්නටත් සැලැසුම් කෙරිණි.

පක්ෂ නායක රැස්වීම උදෑසන 8.30ට කැඳවූ අවස්ථාවේ ඊට දිනේෂ් ගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල, අජිත් පී. පෙරේරා, අනුර දිසානායක, ආර්. සම්පන්දන්, සුමන්තිරන් ඇතුළු විවිධ පක්ෂවල ජ්‍යෙෂ්ඨයෝ රුසක්ම එක්ව සිටියෝය. සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් එවන ලද මැතිසබය කැඳවීමේ ප්‍රකාශය කියවා සභාව කල් තබමු කියාය. නිමල් සිරිපාල ද සම්ප්‍රදාය එය බව සඳහන් කළේය. එහෙත් ජ.වි.පෙ අනුර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීවරැන් කීවේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන නිසා සභාව කැඳවීමේ ප්‍රකාශයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයට අදම ඡන්දය ගත යුතු බවය. එහෙත් දිනේෂ්ලා ඊට විරුද්ධ වුවත් කතානායක කරු එය පිළිගෙන ඒ අනුව ක්‍රියා කරන බව සඳහන් කළ අතර අගමැති මහින්ද ඇතුළු ඇමැතීන්ට අදාළ ආසන පනවන වගද කීය. සභාවේ අභිමතය පරිදි න්‍යායපත්‍රය සකස් කරගත හැකි යැයිද එකඟතාවක් ඇතිකරගත් නමුත් ආණ්ඩු පක්ෂය විශ්වාසභංගය එදින ගැනීමට එකඟ නොවීය. කෙසේ හෝ වාද විවාද මැද පක්ෂ නායක හමුව අවසන් ‍කෙරිණි.

ඒ වනවිට මැතිසබයේ කමිටු කාමරවල එ.ජා.ප හා ශ්‍රීලනිප පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් රුස්වීම් කැඳවා තිබූ අතර යුරෝපා රටවල තානාපතිවරැන් ගණනාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබුණේ තත්ත්වය නිරීක්ෂණයටයි. 

හරියටම පෙරවරු 10.00ට මැතිසබය කැඳවිණි. ආරම්භයේදීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ජනාධිපතිවරයා එවන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ප්‍රකාශය කියවීය. ඒ සමඟ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් නැගී සිට සභාවේ ස්ථාවර නියෝග අත්හිටුවන්නට යෝජනා කළ අතර ආණ්ඩුවෙන් දිනේෂ් ගුණවර්ධන කීවේ න්‍යායපත්‍රානුකූලව සභාව හෙටට කල් තබමු කියාය. ඒ මොහොතේ ජ.වි.පෙ විජිත හේරත් මහතා විශ්වාසභංග ලියැවිල්ල කතානායකට වහා බාරදුන්නේය. දිනේෂ්ගේ විරෝධය මැද සුමන්තිරන්ගේ යෝජනාව සම්මත වූ බව කියැවිණි. 

සුමන්තිරන්ගේ යෝජනාව ඒ වනවිට ස්ථිරව තිබුණෙන් කතානායක විශ්වාසභංගයට ඡන්දය ගනිමු යැයි කීය. එහෙත් මෙය සහමුලින්ම සම්ප්‍රදාය විරෝධී බවත් නීති හා රීති උල්ලංඝනයක් බවත් කිසිම විටක විශ්වාසභංගයක් බාරදී ඊළඟ මොහොතේ විවාද නොකරන බවත් කී දිනේෂ් ප්‍රමාණවත් කාලයක් ලබාගෙන පසු දිනෙක එය විවාද කරන්නට යෝජනා කළ නමුත් එ.ජා.පයත් කතානායකවරයාත් ඊට එකඟ නොවීය. ඒ සමඟ සභාව ගාලගෝට්ටියක් බවට පත් විය. රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සිව්වැනි පේළියේ සිටි අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ අසුන්ගෙන සිටියේය. සභාව මැදට මන්ත්‍රීන් රැස්වන විට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වහා සෙංකෝලය රැගෙන කතානායක මේසය තිබෙන වේදිකාවට පැමිණි අතර එය කතානායක මේසය අසලින් තැබීය. එ.ජා.ප මන්ත්‍රීහු කළු පටි පැළඳ සභාව මැදට ආහ. ආණ්ඩුවේ අයද පැමිණ ඝෝෂා කරන්නට වූහ. සභාව එකම ගාලගෝට්ටියක් වෙද්දී කතානායක කරු විශ්වාසභංගයට ඡන්දය විමසන බව කීය. ආණ්ඩු පක්ෂය නැවත විරෝධය පළ කළද කරැ එය ගණන් ගත්තේ නැත. තමන් හඬින් ඡන්ද විමසූ බවත් යෝජනාව සම්මත වූ බවත් කතානායක ප්‍රකාශ කොට සභාව කල්තබා පිටවිය.

මේ සිද්ධි සිදුවන්නට පෙර මෙතෙක් රජයේ සිටි මනූෂ නානායක්කාර, පියසේන ගමගේ හා ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරු එ.ජා.පයට සහාය දෙන බව කීහ. ඉන් ටික වේලාවකට පසු වසන්ත සේනානායක ඇමැතිවරයාද වඩිවේල් සුරේෂ් රාජ්‍ය ඇමැතිවරයාද එ.ජා.පයට යන බව පැවසූහ. වඩිවේල් එ.ජා.පය දෙසට තල්ලු කරගෙන ආවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. ශ්‍රී.ල.නි.පයේ විජිතමුණි සොයිසා අමාත්‍යවරයා එ.ජා.පය පැත්තට ඇදගෙන ඔහුට එ.ජා.ප මන්ත්‍රීන් පැළඳ සිටි කළු පටියක් පැළඳවීම සුළු රණ්ඩුවක් වන තරමට පත් විය. සභාව කල්තැබූ විට සභා මේසය මත තමන්ගේ කණ්ණාඩිය අමතක වී රැගෙන යාමට පැමිණි එස්.බී. දිසානායකට එ.ජා.ප මන්ත්‍රීන්ගෙන් හූ සංග්‍රහයක්ද හිමිවිය.

මේ ආදී විකට ජවනිකා රාශියකින් පිරුණු මැතිසබා රැස්වීම හමාරවූ පසු රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට කීවේ තමන්ට බහුතරය ඇතිබව ඔප්පු වූ බවය. ඒ සමඟ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීන් 122 දෙනාගේ අත්සන් සහිතව ජනාධිපතිවරයාට යොමුකළ ලිපියක් මගින් රාජපක්ෂ රජය විශ්වාසභංගයෙන් පරාජය වූ බව කතානායකවරයා විසින් දන්වනු ලැබීය. මේ සිද්ධි සිදුවන විටත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ මන්ත්‍රීන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කෙටි හමුවක් පවත්වා ජනාධිපතිවරයා සමඟ මේ ගැන සාකච්ඡා කිරීමට තීන්දු කළේය. ඔවුන් සියල්ලන්ම කතානායක කරු ජයසූරියගේ ක්‍රියාකලාපය ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජනපති හමුවන්නට තීරණයක් ගත්තෝය. ඒ සමඟ සැහැල්ලුවෙන් සියලු දෙනා සමඟ කතාබස් කරමින් මැතිසබා භෝජනාගාරයට ගිය මහින්ද රාජපක්ෂ මහතා දිවා ආහාරය රුගෙන කෙළින්ම පිටත්ව ගියේ ජනාධිපති ලේකම් කාර්යාලයටයි.

ජනාධිපති මෛත්‍රීපාල ඒ වනවිටත් ඔහු බලාපොරොත්තුව සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති හා සාකච්ඡා කරමින් කතානායක කරු ජයසූරිය ආණ්ඩුවට සවන් නොදෙමින් අත්තනෝමතික ලෙස ක්‍රියා කළ බවට පැමිණිලි කළේය. මිනිත්තු දහයකටත් අඩු කාලයකින් කිසිම විවාදයක් නොකර විශ්වාසභංගය සම්මත වූ බව දැන්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොතකා හැරීමක් යැයිද පැවසීය. එයා ක්ෂණික නූඩ්ල්ස් හදනව වගේ විශ්වාසභංගය සම්මත කළා මහින්ද රාජපක්ෂ මහතා කීය.

සියලු කතාවලට සවන් දුන් ජනාධිපතිවරයා තමන්ටද මේ ගැන තොරතුරැ වාර්තා වී ඇතැයි කීය. එවිට දිනේෂ්ලා කීවේ ප්‍රධාන විපක්ෂය ජ.වි.පෙ ආණ්ඩුව සමඟ විශ්වාසභංගයට ඡන්දය දුන්නාට ඔවුන් රජයේ පාර්ශ්වකරැවන් නොවන බවය. රනිල් වික්‍රමසිංහ මහතාට මැතිසබා බහුතරය වන මන්ත්‍රීන් 113 සහාය තිබෙන බව දිවුරුම් පෙත්සම් මගින් තහවුරු කළ යුතු යැයිද දිනේෂ්ලා කීහ. සුසිල් ප්‍රේමජයන්ත කීවේ එයා මන්ත්‍රිලා 41 එක්ක අගමැති වූ හැටි එයාලට අමතක වෙලා කියාය. මේ කතා මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉවත් නොවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා තමන් මේ ගැන නීති උපදෙස් ගන්නා බව ප්‍රකාශ කළේය.

ඉන් පසු සුළු පක්ෂ නායකයන් වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම් හා රිෂාඩ් බදුයුදීන් යන මහත්වරැ ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනපති කාර්යාලයට පැමිණියහ. ඔවුන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා තමන් කතානායකවරයාගේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරන බව පවසා බහුතරය නිසි ලෙස පෙන්වුවහොත් අගමැති ධුරය වෙනස් කිරීම ගැන තීන්දුවක් ගන්නා බව කීය. එහෙත් නව අගමැතිවරයකු පත්කිරීමේදී තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සලකා බලන්නට සූදානම් නැතැයි ඔහු පැවසීය. ඒ බව එ.ජා.පය වෙත දන්වා වෙනත් සුදුසු නමක් යෝජනා කරන්නැයි ජනපතිවරයා ප්‍රකාශකළේය. ඒ රැස්වීම හමාරයේ අදාළ පක්ෂ නායකයෝ එ.ජා.ප නායකයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් හමුවී තත්ත්වය වාර්තා කළෝය.

ඒ වනවිට එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් හා රාජිත සේනාරත්න ඇතුළු ප්‍රධානීන් තීරණය කර තිබුණේ එ.ජා. පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු අගමැති ධුරයට පත් නොකළ යුතු බවටයි. බොහෝ දෙනා නම යෝජනා කළ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද තමන් හිස නමන්නේ පක්ෂයේ පොදු තීන්දුවට බව කියා තිබිණි.

ඒ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව තුළ තරමක ආවේගශීලී තත්ත්වයක් හටගෙන තිබූ අතර එදින පැවති කණ්ඩායම් රුස්වීමේදී කළුතර කුමාර වෙල්ගම පොහොට්ටුවට පැමිණි හදිස්සිකාරයන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. අවුරුදු දෙකක් තිස්සේ කදිමට පිපීගෙන ආ පොහොට්ටුව මුන් එකතුවෙලා විනාශ කරන්න හදනවා යැයි වෙල්ගම චෝදනා කළේ එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල හා දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකටයි. මුන් පළමුව ජනාධිපතිතුමාට ලණු දුන් බවත් පසුව පොහොට්ටුවට ලණු දුන් බවත් වෙල්ගම පැවසීය. රංගෙ බණ්ඩාරට එස්.බී. දුරකතනයෙන් කතා කර හත්පොළේ ගා ගත් බවද වෙල්ගම කීය. මේවා අසික්කිත දේශපාලන වැඩ යැයි වෙල්ගම චෝදනා නැගීය. වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද විජිතමුණි සොයිසා අමාත්‍යවරයාද එම කණ්ඩායමට බැණවැදී ඇතිබව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ඒ ආරවුල්සහගත තත්ත්වය පවතිද්දී මහින්ද රාජපක්ෂ මහතා සභාවේ සිටියේ නැත.

මෙදින සවස පොහොට්ටුවේ පක්ෂ නායක හමුවක්ද කැඳවා තිබූ අතර පසුදා මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශය ගැන එහිදී සාකච්ඡා විය. ඔහු අගමැති තනතුරින් ඉවත් විය යුතු යැයි ඇතැම් මන්ත්‍රීන් යෝජනා කළ අතර බහුතරය කීවේ ඉවත්ව නොයා යුතු බවය. ජනාධිපතිවරයාද එම අදහසම ප්‍රකාශ කර තිබිණි. කතානායකවරයා ආණ්ඩුව වෙනස් කිරීම වැනි බරපතළ බැරූරැම් තීන්දුවක් හඬ අනුව ක්‍රියාවට නැංවීම අසාධාරණ බව මෙහිදී තදින් අවධාරණය කරන්නට තීන්දු විය.
මැතිසබය රුස්වූ බදාදා රාත්‍රී ජනාධිපතිවරයා කතානායක කරුට විශේෂ ලිපියක් යොමුකරමින් කතානායකවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ඔහුගේ තීරණ ප්‍රතික්ෂේප කරන වග සඳහන් කළේය. කතානායකගේ ක්‍රියාකලාපය අධිකරණ ක්‍රියාදාමයට අගතිදායක ලෙස බලපාන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විශ්වාසභංගය සම්මත වූ බවට වන කතානායකවරයාගේ නිර්දේශය ගැන කනගාටුව පළකරන්නේ යැයිද කීය. එසේම අගමැති පත්කිරීමට බහුතරය අදාළ නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා එය පත්වීම් බලධරයා ලෙස තමන්ගේ තීරණයක් යැයිද කියා ඇත.

මේ ආකාරයට පවතින අර්බුදය නූල් බෝලයක් ලෙස ගැටගැසෙද්දී එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපති හමුවී සාකච්ඡා කරන්නට අදහස් කළද එම අදහස අවසන් මොහොතේ වෙනස් කරගත්තේ කතානායක වෙත ජනපති එවූ ලිපිය නිසාය. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රහස්පතින්දා උදෑසන 8.30ට පැමිණ තමන් හමුවන්න යැයි ජනාධිපතිවරයා පසුව දැනුම් දී තිබිණි. එහෙත් අප වෙත වාර්තා වූ පරිදි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා මුණගැසීමට ගියේ නැත.

මැතිසබය නැවත කැඳවීමෙන් පසු දෙවැනි දිනටත් ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සභාව රැස්විය. ඊට පෙර දින කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත යවන ලද විශ්වාසභංග යෝජනාව සම්මත වීමට අදාළ ලිපිය සහ අත්සන් ලේඛනය සම්බන්ධයෙන් කරුට පිළිතුරක් එවූ ජනාධිපතිවරයා තමන් එම ලිපියේ කරුණු ප්‍රතික්ෂේප කරන බවටත් කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ස්ථාවර නියෝගද කඩකර ඇතිබවත් චෝදනා කළේය. ඊට පසුදා මෙම ලිපියට පිළිතුරක් යැවූ කරු ජයසූරිය මහතා ජනාධිපතිතුමා පැවසූ සමහර කාරණා නොපිළිගන්නා බවත් තමන් කටයුතු කරන්නේ මැතිසබයේ බහුතර මතය අනුව වගත් සඳහන් කර තිබිණි.

කෙසේ හෝ මෙම ලියුම් හුවමාරුව ගැන සභාව ආරම්භයේදී දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු දැක්වූ අතර කතානායක එය කියවිය යුතුයැයි තර්ක කළේය.

එහෙත් එය නොපිළිගත් කතානායකවරයා දැන් විශ්වාසභංගය සම්මතව ඇති බැවින් ආණ්ඩුවේ කිසිම තනතුරක් වලංගු නැතැයි කීය. සියල්ලන්ම මන්ත්‍රීන් යයි කියද්දී සභාවෙන් ඝෝෂා මතුවිය. ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අසුනේ සිට සිය කතාව ඇරඹීය. තමන් කුඩා කාලයේ සිට මේ මැතිසබය දැකබලාගෙන සිටි අතර රටේ දැරිය යුතු සියලු තනතුරු දරා ඇති නිසා අගමැතිකම මහලොකු දෙයක් නොවේ යැයි මහින්ද කීය. කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු ඉතිහාසයයට කළු පැල්ලමක් එක්කර ඇතැයි කී මහින්ද ඔහු නීතිය රීතිය හා සම්ප්‍රදාය උල්ලංඝනය කළ බවද කීය. එසේම රටේ අගමැති පත්කරන්නේ කතානායක නොවේ යැයි කී හෙතෙම කතානායක තමන්ගේ බලතල මත පමණක් ක්‍රියාකළ යුතුයැයි කියමින් විනාඩි 17ක කාලයක් වේගවත් කතාවක් කළේය.

මෙම කතාව අවසානයේ නැගී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කතාව ගැන තමන්ට විශ්වාසයක් නැතැයි කියා ඊට ඡන්දයක් ගතයුතු යැයි කීය. මැතිසබා ආරවුල හටගන්නේ ඉන්පසුවය. පුරා පැය දෙකක් පමණ පැවති එම ආරවුල ෆුල් සීරියල් චිත්‍රපටයක් බඳුය. අතින් පයින් පහරදීම් කතානායකට කුණු බාල්දි හා පොත්වලින් පහර දීම් හූ කීම් ඇතුළු ගාලගෝට්ටි බහුලවිය. මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් තම තමන්ගේ අසුන්වල රැඳීසිටිනු පෙනිණි. කතානායකවරයා වටකරගත් මන්ත්‍රීන් ඔහුට දැඩිලෙස බලපෑම් කරනු පෙනිණි. මාධ්‍යයෙන් පෙනුණු ආකාරයට දිළුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ අතට තුවාල සිදුවී ලේ ගලමින් තිබිණි. කතානායක මේසයේ මෛක්‍රපෝනයකට ඇතිවූ ආරවුලක් නිසා මෙය සිදුවූ බව ඇතැම් මන්ත්‍රීවරු කීහ. පාලිත තෙවරප්පෙරැම මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීට පිහියකින් අනින්න හැදුවේයැයිද රන්ජන් රාමනායකද එවන් පිහිහරඹයකට පැමිණියේයයි ඒකාබද්ධ විපක්ෂය පසුව තැබූ මාධ්‍ය හමුවක දී චෝදනා කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව ඔහු අසලට පැමිණ සාකච්ඡා කරමින් සිටි චම්පික රණවක අමාත්‍යවරයාට අතින් පහරදීමට ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා කඩා පැන්නේය. එහෙත් මහින්ද ලොහාන්ට අවවාද කර හරවා යැවීය. නාමල් පසුව චම්පිකට කනගාටුව පළකර තිබිණි.

කෙසේ හෝ බරපතළ ආරවුල් මාධ්‍යයේ හමාරවූ මැතිසබා රැස්වීම නැවත සිකුරාදා සවස 1.30ට කැඳවිණි. ඊට පෙර පක්ෂනායක රැස්වීම් දෙකක් පක්ෂ දෙක විසින්ම කැඳවා තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කීවේ තමන් ඉදිරි ඡන්දයක් ගැන ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡාවකට සූදානම් බවය. ඒ කටයුතුවලට සමගාමීව එ.ජා.ප.ය කොළඹ නගරශාලා මංසන්ධියේ විශාල ජනරැළියක් සංවිධානය කළේය. එ.ජා.ප.ය. මෑතකදී කොළඹ පැවැත් වූ විශාලම ජනරැලිය ලෙස මෙය හැඳින්විය හැකිය. එහිදී එ.ජා.ප. පාක්ෂිකයෝ මෛත්‍රී ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්ෂ පාලනයටත් දැඩිලෙස විරෝධය පළ කළහ.

එදින සවස 5.00ට කතානායකවරයාටත් එ.ජා.පෙරමුණේ පක්ෂ නායකයන්ටත් දෙමළ සන්ධානයටත් එ.ජා.ප.ටත් ජනාධිපතිවරයා රැස්වීමකට ආරාධනා කර තිබිණි. එහෙත් ජ.වි.පෙ. ඊට පැමිණියේ නැත. පැය දෙකක් පුරා පැවැති රුස්වීම ගැන පසුව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබිණි. තමන් ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන බවත් සම්මත කළ විශ්වාසභංගය සම්මත වූයේ නීතියට පටහැනිව බවත් කී ජනාධිපතිවරයා එය නිවැරදි නීතිරීති හා සම්ප්‍රදාය අනුව ගෙනැවිත් පුද්ගල නමින් ඡන්ද විමසා සම්මත කරන්නයැයි කීය. එහි තමන්ට එරෙහි වගන්තිය වෙනස් කළ යුතුයැයිද පැවසීය. පක්ෂ නායකයෝ ඊට එකඟවූහ. එයින් පසු අග්‍රාමාත්‍යධුරය ගැන සාකච්ඡා කළ හැකියි කී මෛත්‍රී ඒ සඳහා සුදුස්සෙක් අවශ්‍ය බවද කීය. අනතුරැව රැස්වීම හමාර බවද කීය. අනතුරුව රැස්වීම හමාර වූ අතර පසුදා මැතිසබයට (සිකුරාදා) අගමැතිවරයාගේ කතාවට එරෙහි යෝජනාව නැවත ඉදිරිපත් කරන්නට තීන්දු විය.

මෙම සාකච්ඡාව හමාර වූ සැණින් මෛත්‍රී ජනපතිවරයා මහින්ද ඇමැතීය. කරුණු ටිකක් පැහැදිලි කළ හෙතෙම වහාම පැමිණ තමන් හමුවන්නැයි ඉල්ලා සිටියේය. ඒ අනුව ජනපති නිවසට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සාකච්ඡාව ගැන ජනපතිවරයා කරැණු කීය. තමන් එ.ජා. පෙරමුණට කීවේ නිත්‍යනුකූල ක්‍රමයට මැතිසබයේ මන්ත්‍රීන් 113 සහාය ඇතැයි පෙන්වා දෙන්නයැයි ඔහු පැහැදිලි කළේය. ඉන්පසු තමන් ඉදිරි පියවර ගන්නට සුදුසු ක්‍රමයක් අනුගමනය කරන්නේයැයිද මාධ්‍ය කතා ගණන් නොගන්නා ලෙසද ජනපතිවරයා මහින්දට කීය.

ඊටපසු සිකුරාදා පාර්ලිමේන්තුව රැස්විය. ඒකාබද්ධ විපක්ෂය කල්තබා මැතිසබයට ගොස් කලින් දිනයේ පිහි රැගෙන සභාවට පැමිණි මන්ත්‍රීන්ට එරෙහිව වහා පියවර ගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණය කරන්නට වූහ. සභාව ගාලගෝට්ටියක් විය. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුලසුනේ අසුන්ගෙන සිටියේය. වාසු, විමල් බලෙන් සභාව ඇමතීය. එ.ජා.ප.යේ මන්ත්‍රීවරු අසුන්ගෙන සිටියෝය. පැයකට පමණ පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පිවිසුණි. ඒ සමගම දැවැන්ත පොලිස් බලකායක් සමඟ සෙංකෝලය රැගත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ කථානායකවරයා සභා ගැබට ඇතුළු විය. කථානායක මේසය අසල අරක්ගෙන සිටි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීහු නොකඩවා සිය විරෝධතාව දක්වන්නට වූහ. පොත්පත්වලින් වෙනත් අතට අසු වූ මෙවලම්වලින් පොලිස් නිලධාරීන්ට දමා ගසන්නට වූහ. මන්ත්‍රීවරු කිහිප දෙනෙකු කථානායක ආසනය ඔසවාගෙන පිටතට ගෙනයනු පෙණිනි. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් කළ දිනයක් ලෙස පසුගිය සිකුරාදා හැඳින්විය හැකිය. කෙසේ වෙතත් කථානායකවරයා ආරක්ෂක රුකවරණ මධ්‍යයේ නැවතත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කොට සම්මත කරගත් බව ප්‍රකාශ කළේය. එහිදී ඡන්දය ලැබුණු ආකාරය පැහැදිලි නැත. කෙසේ හෝ මුළු පාර්ලිමේන්තුවම අරගලකාරී ලෙස හමාර වෙද්දී ලබන සඳුදා (හෙට) නැවත සභාව කැඳවන බව කී කථානායකවරයා පොලිස් නිලධාරීන් සමඟ සභාවෙන් පිටවිය.


 ප්‍රකාශ් ඉරුගල්බන්ඩාර