2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

පොලිස්පති නිසා ජනපති එ.ජා.ප. ගැටුම දුරදිග යයි

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 524

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය අතර තිබෙන සබඳතාව තවමත් යහපත් මට්ටමකට පැමිණ නැත. නාමල් කුමාර නැමැති පොලිස් ඔත්තුකරු හෙළිදරව් කළ කුමන්ත්‍රණ කතාව සම්බන්ධයෙන් රජය ගත් පියවර ගැන සෑහීමට පත් නොවූ ජනාධිපතිවරයා පසුගියදා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාෙග් වැඩතහනම්කරන තෙක්ම ඒ ගැන දැඩි අවධානයෙන් පසුවිය. රාජ්‍ය නායකයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අනතුරක් සිදුකරන බවට චෝදනා එල්ල වූ අය ගැන පියවර ගැනීම ප්‍රමාද වීමෙන් තරමක් කේන්තියට පත් ජනාධිපතිවරයා තවදුරටත් රජයේ තීන්දු ප්‍රමාද වුවහොත් පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට පවරාගෙන හෝ පොලීසියේ ඉහළ නිලධාරීන් ගණනාවක් ගැන පියවර ගන්නට සැලැසුම් කරමින් සිටි බව වාර්තා විය. මේ බව තමන්ගේ සමීපතම උපදේශකයන් හා ජ්‍යෙෂ්ඨ නිලධරයන් සමඟ ද සාකච්ඡා කළ බව වාර්තා විය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ඇති අර්බුදකාරී තත්ත්වය නිරාකරණයට ඔහුට දකුණු කොරියාවේ තානාපති ධුරය පිරිනැමීමට යෝජනා කෙරිණි. නමුත් අවසන් මොහොතේ ජයසුන්දර මහතා තානාපති ධුරය ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය. එහෙත් ඔහු මාධ්‍යයට කීවේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා තමන්ට ඉවත් වන්නැයි නොකීවද ඔවුන්ගේ ඇඟවීම තමන් තේරැම්ගත් බවය. ජනපති හා අගමැති තමන් ගැන කලකිරී සිටිනවා නම් තනතුරේ සිට පලක් නැතැයිද පොලිස්පති කීය. එහෙත් නිල නොවන ආරංචි තහවුරු කළේ සති අන්තයේ පොලිස්පතිවරයා විශ්‍රාම ගැනීමට කලින් තීන්දු කර තිබුණත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කළ බවය.

ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ජනාධිපති මන්දිරයට කැඳවීය. හදිසියේ ඉලංගකෝන් මහතා කැඳවීම කුමක් නිසා සිදුවූයේදැයි පැහැදිලි නැතත් පැය 1 ½කට අධික වේලාවක් ජනපතිවරයා සහ හිටපු පොලිස්පතිවරයා අතර පැවති සාකච්ඡාවේදී ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු පියවීම ගැන කතාබහ කළ බව දැනගන්නට ඇත. ඒ හැර දැනට ආරක්ෂක ලේකම් ධුරය දරන ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න වෙනුවට ආරක්ෂක ලේකම් ධුරයට කෙනෙක් පත්කිරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටින බව කියැවේ. ඒ සඳහා දැනට නම් දෙකක් යෝජනා වී ඇත. ඉන් පළමු නම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ප්‍රවීණ පරිපාලන නිලධරයකු වන හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නමයි. දෙවැනි නම ලෙස යෝජනා වී ඇත්තේ හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාගේ නමයි. ඔහු හදිසියේ ජනපති මැඳුරට කැඳවූයේ ඒ ගැන කරුණු සාකච්ඡා කරන්නට බවද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් ඉලංගකෝන් මහතා පොලිස් කොමිසමට පත්කෙරෙනු ඇතැයි සිකුරාදා වාර්තා විය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරුවාදා උදෑසන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ඇරැඹිණි. අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර සිටම කිසියම් දේශපාලන උණුසුමක් නිර්මාණය වී තිබූ නිසා කැබිනට්ටුව රත්වීමට ඉඩකඩ ඇතිබවට තොරතුරු පැතිරෙද්දී රැස්වූ අමාත්‍ය මණ්ඩලය සැබැවින්ම උණුසුම් විය. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සඳහා කැබිනට්ටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. උණුසුම් වාග් සටනක් හටගත්තේ මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගැනයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාවට තරයේම විරෝධය පළකර තිබේ. නැගෙනහිර පර්යන්තය කොළඹ වරායේ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කළ යුතු යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊට එකඟ නොවූහ. මේ ගැන කලින් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇතිබවත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති නිසාත් දැන් මෙම ව්‍යාපෘතිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මලික් සමරවික්‍රම ඇමැතිවරයා ද එහි තොරතුරු කීය. කෙසේ හෝ මේ ගැන අග්‍රාමාත්‍යවරයා නැවතත් කරුණු පැහැදිලි කරමින් කතා කරන්නට පටන්ගත් විට වරාය සහ නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධාවන අයුරින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට ක්‍රියාත්මක කළ හැකි බව කීය. අගමැතිවරයාගේ කතාවට මහින්ද සමරසිංහ බාධාකළ නිසා කේන්තියට පත් අගමැතිවරයා “අගමැතිගේ කතාවට බාධා කරන්න ඇමැතිවරුන්ට පුළුවන්ද?” කියා අසමින් තවදුරටත් කරුණු දැක්වීය.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පිළිගත් බවක් නොපෙනුණි. ඔහු කීවේ හම්බන්තොට වරාය චීනයට බදු දී කොළඹ වරාය ඉන්දියාවට බදු දුන් පසු හදිසියකට ශ්‍රී ලංකාවට නැවක්වත් ගෙන්වා ගැනීමට තැනක් නැතිවනු ඇත කියායි. ඒ නිසා මෙම යෝජනාවට තමන් කිසිසේත්ම සතුටු නැති බැවින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳාගැනීමට ක්‍රියා කරන බවද ඔහු කීය.

කැබිනට් හමුවේ උණුසුම් කතාබහ අතරතුර පොලිස්පති පූජිත් ජයසුන්දර ගැනද ජනාධිපතිවරයා නැවත වරක් සිය මතය ප්‍රකාශ කළේය. ඔහුගේ ක්‍රියා කලාපය තමන් කිසිසේත්ම අනුමත නොකරන අතර තමන් මෙම විෂය භාරව සිටින්නේ නම් වහාම පොලිස්පතිවරයා සේවයෙන් ඉවත් කර දමන බව සඳහන් ක‍ළේය. එසේම ජනපති ගෝඨා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ඉන්දීය ජාතිකයා ලෝක ප්‍රකට ‘රෝ’ ඔත්තු සේවාවේ නියෝජිතයකු යැයි කී හෙතෙම මේ අය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි තමන් දැනුවත් නැතැයිද හෙතෙම සඳහන් කර තිබිණි.

කෙසේ හෝ මේ උණුසුම් අමාත්‍ය මණ්ඩල හමුව හමාර වී ඇමැතිවරුන් පිටව යද්දී නීතිය හා සාමය අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ජනාධිපතිවරයා අසලට ගොස් පොලිස්පතිවරයා ගැන කරුණු කියන්නට විය. “සර් මම ඔබතුමා පෞද්ගලිකව මුණගැහිල මේ පරීක්ෂණ ගැන කරුණු කියන්න වාර 4ක්ම ආවා. ඒත් එකපාරක්වත් හමුවෙන්න බැරිවුණා...” යැයි අමාත්‍යවරයා කියද්දී “නැහැ ඔයාගේ ප්‍රශ්නයක් නැහැ”යි කියා අමාත්‍යවරයාගේ පිටට තට්ටුවක් දැමූ ජනාධිපතිවරයා පිටත්ව ගියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පසුගියදා මහනුවරට ගියේ අස්ගිරිය පන්සලේ පැවති නායක පදවි ප්‍රදාන උත්සවයකට සහභාගි වීමටයි. ඊට ජනාධිපතිවරයා සහ හිටපු ජනපති සහභාගිවීම ගැන පසුව විවිධ කතා පැතිරැණු අතර දෙදෙනා අස්ගිරි පන්සලේදී රහස් කතාබහක යෙදුණු බවට සමහර සමාජ මාධ්‍ය ජාල පුවත් පළකර තිබිණි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එම කතාව ප්‍රතික්ෂේප කළේය. ජනාධිපතිවරයා සහ හිටපු ජනපතිවරයා සමගි කරන්නට කපුකම් කරන එස්.බී. දිසානායක අමාත්‍යවරයාද මේ නායක දෙපළ සමඟ සිටීම නිසා රහස් සාකච්ඡා කතාවට තටු ලැබිණි. නමුත් අස්ගිරිය පන්සලේ එකතැන අසුන්ගෙන සිටි නායක දෙපළ ආ ගිය කතාවක් දෙකක් කියමින් අදහස් හුවමාරු කරගත්තා මිස ගැඹුරු කතාවකට ගියේ නැත. මෛත්‍රී, මහින්ද, එස්.බී.ට අමතරව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එහි විය. රැස්වීම හමාර වන්නට පෙර ජනාධිපති සිරිසේන මහතා කතාව හමාරකොට පිටත්ව ගියේය. ඒ අවස්ථාවේ හිටපු ජනපතිවරයා අසලට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා “දැන් කොහොමද ඔබතුමාලගෙ සමගි සන්ධාන කතාව” කියා සිනහවෙමින් ප්‍රශ්න කළේය. එවිට අසල සිටි එස්.බී. දිසානායක දෙසට ඇඟිල්ල දිගුකළ මහින්ද “මේ ඉන්නෙ කපුවා. එස්.බී.ගෙන් අහන්න” යැයි කිරිඇල්ලට කීය. එවිට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේ “අපෝ කොහොමද මෙයාගෙන් ඕව අහන්නෙ.. මෙයා අපේ ලොක්කත් එක්කත් රණ්ඩු වුණානේ..” කියමින් කතාව වෙනත් පැත්තකට හැරෙව්වේය.

මහනුවරට ගිය හිටපු ජනපතිවරයා මුලින්ම සහභාගි වූයේ ‘අර්ල්ස් රීජන්සි’ හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුවටයි. සමුළුවේදී සාමාන්‍ය දේශපාලන කතාබහ යන අතරතුර කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ අනාගත ජනාධිපති ධුර අපේක්ෂකයා වන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාට වාග් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පිළිතුරු දීමට මන්ත්‍රීන් ගණනාවක් සැරසී සිටියෝය.

එම කතාබහ ආරම්භ කළේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාය. ඔහු කීවේ එ.ජා.පයට හෝ රනිල් වික්‍රමසිංහට කඩේ නොයන ලෙස වෙල්ගම මහතාට ඉතා ආදරයෙන් කියන බවයි. ඔවුන්ට ගෝඨා භයක් ඇතිවී තිබෙන බවද ඔහු කීය. විපක්ෂයේ සටන මොට කරන්නට රනිල්ලාගේ සටන් පාඨ ඒකාබද්ධයේ වේදිකාවට නොගෙනෙන ලෙස ද මහින්දානන්ද සඳහන් කළේය. ලොහාන් රත්වත්තේ කියා සිටියේ කොහේද යන නරපණුවන් දේශපාලන වේදිකාවේ කරන කතා තවදුරටත් ඉවසා සිටින්නට සූදානම් නැති බවය. තමන්ට සිටින්නේ එකම නායකයකු බව පැවසූ මන්ත්‍රීවරයා ඒ මහින්ද රාජපක්ෂ මහතා යැයි කියමින් ඔහු නම්කරන අපේක්ෂකයාට වැඩකර ජයග්‍රහණය කරවන වග පැවසීය. කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ද වෙල්ගම ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කළ අතර තමන්ට වෙල්ගමලා කරන කතා අප්පිරිය යැයි කීය. මෙතෙක් කල් හොඳට කරගෙන ආ පක්ෂය කඩාදමන්නට කිසිවකුට ඉඩදිය යුතු නැතැයි කෙහෙළිය සඳහන් කළේය.

මේ මන්ත්‍රීන් මහනුවරදී තමන්ට එල්ල කළ ප්‍රහාරය ගැන සැලවූ මන්ත්‍රී කුමාර වෙල්ගම තමා විවේචනය කළ අයට හොඳ උත්තර සපයන බව කියමින් ආවේගශීලීව අදහස් දක්වා තිබිණි. මේ ගැන තීරණාත්මක කතාබහ ඇතිවූයේ පසුගිය අඟහරුවාදා සන්ධ්‍යාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

පෙරදා වෙල්ගම මන්ත්‍රීවරයාට ප්‍රහාර එල්ල කළ මහින්දානන්දලාත් කුමාර් වෙල්ගමත් හමුවට එක්ව සිටියහ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම කීවේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සැමට තිබෙන ප්‍රශ්න කතා කර විසඳාගත යුතු බවය. එසේ නැතිව තැනින් තැන ඒ ගැන කතා නොකළ යුතු යැයි මහින්ද තරයේම කීය. “ජනාධිපතිවරණය නියමවුණාම මට අපේක්ෂකයා නම්කරන්න ඕගොල්ලො බලය දීල තියෙනවා. එතකොට මම අපේක්ෂකය නම් කරනව.. එතකම් ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. කවුරැහරි මගේ ඒ නායකත්වය පිළිගන්න අකමැති කෙනෙක් ඉන්නව නම් පැත්තකට ගියාට කමක් නැහැ. මෙතන ඉන්නව නම් අපි ගන්න තීන්දු පිළිඅරන් වැඩ කරන්න ඉගෙනගන්න ඕනැ..” යැයි මහින්ද වහෙන් ඔරෝ භාෂාවෙන් අවවාද කළේ කුමාර් වෙල්ගමට බව කාටත් වැටහුණි. එවිට නැගීසිටි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “මට අපේ වෙල්ගම ඇමැතිතුමා එක්ක තරහක් නැහැ.. ඒත් එතුමා වේදිකාවෙ කතා කරන හැටි වැරදියි. ඒකයි අපි එහෙම කිව්වෙ..” එවිට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මහින්දානන්දට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට කීවේ “මම මේ කතා නවත්තන්නම්.. හැබැයි මහින්දානන්දල කියාපු එකට උත්තර දීලයි. මගේ කතාව නවත්තන්නෙ...” වෙල්ගම එසේ කියූවිට මහින්දානන්ද කීවේ “හැබැයි ඔබතුමා මට ඕනවට වැඩිය බැන්ෙනාත් මටත් බණින්න සිද්ධවෙනවා...” කියාය. එවිට කතාවට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ මහතා “මෙතන කතාව මේකයි. ඕන කෙනකුට රටට වැඩ කරල ජනතාව අතර ජනප්‍රියවෙලා ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්නත් පුළුවනි. ඒකට වැඩ පෙන්නල ඉන්න ඕන.. එතකොට එයා ජනතාව ඉබේම ඉල්ලාවි... ඒ නිසා එක එක්කෙනාට බැණල කොළොප්පම් කරන්නෙ නැතුව වැඩ කළාම ඉවරයි” මහින්ද රාජපක්ෂ එසේ කියූ පසු ඉදිරියට පැමිණි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයාට අතට අත දී සුහදතාව පළ කළේය.

ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයට ‘රෝ’ සංවිධානය (ඉන්දීය රජයේ පර්යේෂණ හා විශ්ලේෂණ ඒකකය) සම්බන්ධ බවට චෝදනා කළ බව සිය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කළේ ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතයි. එසේම ලංකාවේ සමහර පුවත්පත්ද මෙම පුවත වාර්තා කර තිබිණි. එය ප්‍රකාශයට පත්වූ වහාම කැබිනට් මණ්ඩලයේ ලේකම් සුමිත් අබේසිංහ මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවාව මගින් ජනාධිපතිවරයා ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ නොකළ බවයි. ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාව අසත්‍ය යැයිද එහි සඳහන් කර තිබිණි. එදින කැබිනට් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ අමාත්‍ය රාජිත සේනාරත්නද මෙම නිවේදනය කියවා ‘රෝ’ කතාව පත්තරවල අතේ රෝලක් යැයි ඇඟවීය. මාධ්‍යයට කැබිනට් රහස් ලීක් කළ පුද්ගලයා වැරදියට තොරතුරු සපයා ඇතැයි රාජිත සඳහන් කළේය. මේ ගැන රාජිත අමාත්‍යවරයාගෙන් මාධ්‍යකරුවන් ප්‍රශ්න කරද්දී රාජිත තදින්ම කීවේ හින්දු පුවත්පතත් ලංකාවේ පත්තරත් ‘රෝ’ සංවිධානය ජනපති ඝාතනයට සැරසෙන බවට පළ කළ පුවත සහමුලින්ම බොරු බවයි. ලංකාවේ මාධ්‍යවේදීන් මේ ගැන රාජිත සමඟ තර්ක කරද්දී ‘ද හින්දු’ පුවත්පතට කොළඹ සිට මෙම වාර්තාව සැපයූ ‘ද හින්දු’ කොළඹ වාර්තාකාරිනී ‘මීරා සිරිනිවාසන්’ ද එහි සිටියාය. ඇය කීවේ තමන් ලියූ කතාව සත්‍ය තොරතුරු පදනම් කරගෙන ලියූ බවයි. ඒ කතාව අසත්‍ය යැයි නැවතත් රාජිත කියද්දී මීරා සිරිනිවාසන් කීවේ “තමන්ට මෙම ඝාතන කතාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 4 දෙනකුට කතා කළ බවත් ඒ 4 දෙනාම පුවත සත්‍ය බව තහවුරු කළ බැවින් එය ලියූ බවය. නමුත් රාජිත නැවතත් කීවේ කතාව බොරැවක් කියායි. එහෙත් ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාකාරිය රාජිතගේ කතාව පිළිගත් බවක් නොපෙනුණි.

කෙසේ හෝ ඝාතන කතාව සැලවීමත් සමඟ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බෙහෙවින් කැළඹීමට ලක්විය. උදෑසනින්ම මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු ඇමතූ ඉන්දීය විදේශ ලේකම් මෙන්ම විදේශ ඇමැතිනී සුශ්මා ස්වරාජ්ද දන්වා තිබුණේ වහා ජනාධිපති සිරිසේන මහතා හමුවී කරුණු පැහැදිලි කරන ලෙසයි. ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස්වරයා බදාදා උදෑසන ජනපතිවරයා මුණගැසුණේය. පැයකට ආසන්න කාලයක් සුහද කතාබහක නිරත වූ අතර එහිදී සාකච්ඡා කළ කරැණු ගැන තොරතුරු අනාවරණය වූයේ නැත. ජනාධිපතිවරයා මහ කොමසාරිස් සන්දු මහතාට කියා තිබුණේ තමන්ට මෙම කරුණ ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට දුරකතනයෙන් කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය බවය. ඒ අනුව එදින සවස දුරකතන සාකච්ඡාවක් සංවිධානය කරන බව සන්දු මහතා දන්වා තිබිණි. බදාදා සවස ජනාධිපති සිරිසේන සහ ඉන්දීය අගමැති මෝදි අතර දුරකතන සංවාදය සිදුවුණි. මුලින්ම දෙදෙනා සෑෙහන වේලාවක් කතා කළේ දෙරටේ අයහපත් කාලගුණ තත්ත්වය ගැනයි එෙහත් මේ සාකච්ඡාවේදී‍ෙ ‘ර’ කතාව ගැන යමක් ගැඹුරට කතා නොවූ බවත් ඉන්දු ලංකා සමීප සබඳතා සුහදශීලීව තවදුරටත් පවත්වාගෙන යාම ගැන නායක දෙපළ අදහස් හුවමාරු කරගත් වගත් දැනගන්නට ලැබිණි.

ඉන්දීය අගමැති මෝදි මෙහිදී ජනාධිපතිවරයාට කියා ඇත්තේ ඉන්දියාව කවදත් හ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන නිසා මෙවන් තත්ත්වයක් කිසිවිට ඇති නොවන බවය. එවිට ජනාධිපති මෛත්‍රී කීවේ තමන් ‘රෝ’ සංවිධානයට චෝදනා නොකළ නමුත් ජාත්‍යන්තරයේ ඇතැම් අංශ ශ්‍රී ලංකාව ගැන ක්‍රියා කරන ආකාරය ගැන විවේචන ඇති බවය. මෝදි අග්‍රාමාත්‍යවරයා ඊළඟට කියා සිටියේ ඔබතුමාට අවශ්‍ය ඕනෑම විටෙක පැමිණ තමන් හමුවිය හැකි බවත්, මෙම සිද්ධියට අදාළ කුමක් හෝ සිදුවීමක් තිබේද යන්න ගැන සොයා බලන ලෙස විදේශ අමාත්‍යාංශයට උපදෙස් දුන් බවත්ය.

මෙම කතාබහ ඇතිවූ දිනයේ ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. මැති ඇමැතින්, හමුදාපතිවරුන්, විෂය මන්ත්‍රීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ මෙම රැස්වීමේදී ජාතික ආරක්ෂාව ගැන සාකච්ඡා වූ අතර ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාව ගැනද සාකච්ඡා වූ බවත් ජනාධිපතිවරයා පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ක්‍රියාදාමය ගැන විවේචනාත්මක අදහස් වේදනාවෙන් ප්‍රකාශ කළ බවත් වාර්තා විය.

එ.ජා.පය හා ජනාධිපතිවරයා අතර තිබෙන සබඳතාවට තවත් ප්‍රශ්නාර්ථයක් එක් කරමින් ලංකා බැංකුව, මහජන බැංකුව හා ආයෝජන මණ්ඩලය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වහා විසුරැවා හැරීමට ජනාධිපතිවරයා තීන්දු කළේය. ඊට අදාළව මෙයට පෙරද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ප්‍රධානීන් සමඟ ජනපතිවරයා සාකච්ඡා කළ බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි. කෙසේ හෝ බැංකු කටයුතු භාර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා හෝ ආයෝජන මණ්ඩලය භාර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හෝ නොදැන මෙම විසිරවීම කළ බව සඳහන් වෙයි. ඒ ගැන එ.ජා.පය දැඩි අසතුටින් සිටී. ඇතැම් වෙබ්අඩවි වාර්තා කර තිබුණේ මෙම අධ්‍යක්ෂ මණ්ඩලවලට ජනපතිගේ දැන්වීම පරිදි ඉල්ලා අස්නොවන ලෙස එ.ජා.පය දැන්වූ බවය. එෙහත් බැංකු ප්‍රධානීන් පැවසුෙව් තමන්ලාට ඉවත්වන ලෙස කිසිවකු දක්වා නැති බවය. ජනපති හා අගමැති ෙමම ප්‍රශ්නය විසඳන බව විෂයභාර අමාත්‍යංශය පසුව පැවසීය. කෙසේ හෝ පොලිස්පති ඉවත් කිරීම සම්බන්ධ අර්බුදය දුරදිග ගොස් ඇති පසුබිමක මෙම අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධ අර්බුදයක්ද හටගතහොත් එය යහපාලන ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පැවැත්වෙන පෞද්ගලික උත්සවයකට සහභාගි වී නවදිල්ලියට ගොස් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම අපේක්ෂාවෙන් ඉන්දියාවට ගියේය. එහිදී ඉන්දු ලංකා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ගැන අවසන් තීරණ ගැනීමට නියමිත බව කියැවේ. ත්‍රි’මලය තෙල් ටැංකි ව්‍යාපෘතිය, කොළඹ වරාය ඇතුළු ආයතන ගණනක ව්‍යාපෘති මීට ඇතුළත් බව කියැවේ.

අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර පසුගිය බදාදා සන්ධ්‍යාවේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා විශේෂ සාකච්ඡාවක් සිදුකළේය.

 

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර