2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මහින්ද ගෝඨාගෙන් පුරවැසිකම ගැන විමසයි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 721

මැති ඇමැති පඩි වැඩි කිරීමේ යෝජනාවක් නැතැයි අගමැතිගෙන් ප්‍රකාශයක්
ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකා ගණනක් ජනපති නවතයි
විපක්ෂ නායක ධූරය සම්පන්දන්ටමයි: එ.ජ.නි.ස. තීන්දුව කතානායක පිළිගනි..
මහින්ද, වෙල්ගමගේ හා මහින්දානන්දගේ කට වසයි
දොස්තරලාගේ බදු කතාවට මංගල රාජිත මතගැටුමක
විපක්ෂ ලොක්කොත් වැඩි පඩියට කැමති හැඩයි

 

ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තමන්ට හිමිවිය යුතුයැයි සටනක් දියත් කළේය. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 69ක් බවට පත්වීමෙන් පසුව මෙම සටන වඩාත් වේගවත් කැරිණි. ඒ අනුව මන්ත්‍රින් ගණනාවකගේ අත්සනින් කතානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියක් මගින් විපක්ෂනායක ධුරය ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවිය යුතු බව දන්වනු ලැබීය. දිනේෂ්ගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා වෙද්දී ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයකු හා ඒකාබද්ධයේ ප්‍රධානියකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද මෙම තනතුරට තමන් ද සුදුසු බව කියා ආන්දෝලනයක් ඇති කළේය. ඒ කතා මැද කතානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධය විපක්ෂ නායක ධුරය ඉල්ලා තමන් වෙත යොමුකළ ලිපිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර වෙත යොමු කළේ ඒකාබද්ධයේ සිටින්නේ ද එ.ජ.නි.ස.යෙන් පත්වූ මන්ත්‍රීන් නිසාය. අමරවීර අමාත්‍යවරයා තමන්ට ලැබුණු ලිපිය ගැන සන්ධාන ජ්‍යෙෂ්ඨයන් සමඟ ද ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කොට කතානායකවරයා වෙත පිළිතුරක් යැවීය. ඊට පෙර ඔහු ප්‍රසිද්ධියේ කියා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රින්ගේ කාර්යසාධනය සලකා බැලුවොත් විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට බවය.

කෙසේ හෝ විපක්ෂ නායක ධුරය ගැන තීන්දුවක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ පසුගිය 06දා රැස්වූහ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට දැනට ඒකාබද්ධය සමඟ සිටින පක්ෂ නායකයන් හැර සෙසු නායකයෝ එක්ව සිටියහ. එහිදී තීන්දු කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තවදුරටත් දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතාම දැරිය යුතු බවයි. දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රින් පසුගිය මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීහු දැනට රජයේ අමාත්‍ය පදවි ගණනාවක් දරමින් සිටිති. එබැවින් ආණ්ඩුවේ පාර්ශවකරුවකු ලෙස ක්‍රියාකරන පක්ෂයකට විපක්ෂ නායක ධුරය පැවරීම නුසුදුසුය යන්න එ.ජ.නි.ස. නායකයන් බහුතරයකගේ අදහස විය. එම අදහස ද ඇතුළත් කොට කතානායකවරයාට ගැලපෙන තීන්දුවක් ගන්නැයි ඉල්ලමින් ලිපියක් යොමුකිරීමට එ.ජ.නි.ස. ලේකම් මහින්ද  අමරවීර මහතාට ජනාධිපතිවරයා උපදෙස්දී තිබිණි. ඒ අනුව අමරවීර මහතා කතානායක කරු ජයසූරියට අදාළ ලිපිය යැවීය.

ඒ සියල්ල සිදුවෙද්දී ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියේ විපක්ෂ නායක ධුරය තම කණ්ඩායමට ලැබිය යුතුය කියයි. පසුගියදා මංගල්‍ය උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා සමඟ සුහද කතාවකට එක්වූ කතානායක කරැ ජයසූරිය මහතාගෙන් මහින්ද රාජපක්ෂ මහතා ඒ ගැන විමසීය. එවිට කරු මෙහි සැබෑ තත්ත්වය පහදා දුන්නේය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වූයේ මැතිසබයේ බහුතර විපක්ෂය තම කණ්ඩායම බැවින් විපක්ෂ නායක පදවිය ඒකාබද්ධයට ලැබිය යුතු වගය.

මැතිසබය රුස්වූ ගිය අඟහරුවාදා මේ ගැන පක්ෂ නායකයන් දැනුවත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවීය. එහිදී කතානායකවරයා පවතින තත්ත්වය පැහැදිලි කරදී මහින්ද අමරවීර අමාත්‍යවරයා එවූ ලිපිය ගැනද සඳහන් කර ඇත. ඒ අනුව ඉදිරි සතිය තුළ විපක්ෂ නායක පදවිය ගැන තීන්දුවක් දෙන බව කතානායකවරයා නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ වැටුප් ඉහළ නැංවීමට ගෙන ආ යෝජනාව බෙහෙවින් ආන්දෝලනයට ලක්විය. මෙම යෝජනාවට ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීහු කිසිදු භේදයකින් තොරව සහාය දැක්වූහ. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මෙහි මූලික යෝජනාව ගෙනැවිත් අදාළ වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කළේ ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බවය. එහෙත් දිනේෂ් ඊට පිළිතුරු දී තිබුණේ නැත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ කණ්ඩායම් රැස්වීම ගිය සඳුදා සවස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී මෙම වැටුප් ප්‍රශ්නය මතුවිය. ඊට පක්ෂ විපක්ෂ යෝජනා ගණනාවක්ම මන්ත්‍රීන් ඉදිරිපත් කරද්දී මන්ත්‍රි වැටුප් ඉහළ නැංවීමට අදාළව කිසිම යෝජනාවක් තමන්ට හෝ අමාත්‍ය මණ්ඩලයට මෙතෙක් ඉදිරිපත්ව නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහෙත් මන්ත්‍රින්ගේ කාර්යාල වියදම් ඉහළ ගොස් ඇති නිසා ඊට සාධාරණයක් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්වූ බව නම් පැවසීය. ඒ අයටත් තමා කීවේ මහා භාණ්ඩාගාරයෙන් විමසා උත්තරයක් ලබාදෙන බව යැයිද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කරද්දී එ.ජා.ප. මන්ත්‍රින් ගණනාවක් ද මේ අවස්ථාවේ වැඩි වැටුප් ලබානොගන්නා බව ප්‍රකාශ කර තිබිණි. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කියා තිබුණේත් තමන් වැඩි වැටුප් කිසිසේත්ම ලබානොගන්නා බවයි. එහෙත් මෙම වැටුප් වැඩිකිරීම නිසි ලෙස පිළිගන්නේද නැත්ද යන්න ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක ආර්. සම්පන්දන් හෝ ජ.වි.පෙ. නායක අනුර දිසානායක සිය මතයන් ප්‍රකාශ කර තිබුණේ නැත. එයින් අදහස් වන්නේ ඔවුන් වැටුප් ඉහළ නැංවීමට පක්ෂ ද යන්න අපැහැදිලි කරුණකි.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ද උණුසුම් තත්ත්වයක් ගත්තේය. ආණ්ඩුව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගණනාවක්ම ජනාධිපතිවරයා විසින් අත්හිටවනු ලැබීය. එ.ජා.ප.ය විසින් දියත් කිරීමට යෝජිත ගම්පෙරළිය වැඩසටහනට අධීක්ෂණ මන්ත්‍රින් පත්කිරීමටත් ඔවුන්ට අවශ්‍ය යැයි කියූ 7 දෙනෙකුගෙන් සමන්විත කාර්යාල මණ්ඩලයක්, නිල වාහන, කාර්යාලවල ඉන්ධන දුරකතන දීමනා ආදී පහසුකම් රාශියක් ලබාදීමටත් කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත්කර තිබිණි. එහෙත් තමන්ට මෙයට කිසිසේත්ම එකඟවිය නොහැකි නිසා යෝජනාව ප්‍රතිෂේප කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව වාර්තා විය. මේ ගැන අමාත්‍යවරුන් ගණනාවක්ම කරුණු දැක්වූ නමුත් ජනාධිපතිවරයා ඒ කිසිවක් පිළිගත්තේ නැත.

අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ තවත් විශේෂ යෝජනාවක් ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණි. එමගින් ඉල්ලා තිබුණේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩු සඳහා පෞද්ගලික නීතිඥයන්ගේ සේවය ලබා ගැනීමටත් ඊට අදාළ වන වියදම් රජය මගින් පියවීමටත් අවසරය ලබාදෙන ලෙසයි. එහෙත් ජනාධිපතිවරයා එහිදී මලික්ගෙන් විමසා තිබුණේ මෙබදු නඩුවලට රජයේ නීතිඥයන් පෙනීසිටිනවා නොවේද කියායි. රජයේ නීතිඥයන් ඇමැතිවරුන්ගේ නඩුවලට පෙනී සිටින්නේනම් අධික ගෙවීම් කරමින් පෞද්ගලික නීතිඥයන්ගේ සේවාව ලබාගන්නේ කුමකටදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළේය.

කැබිනට් රැස්වීම උණුසුම් කළ අනෙක් මාතෘකාව වූයේ දුම්රිය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමේ ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නය පසුගිය සතියේ ද ඇමැතිවරුන් අතර ලොකු විවාදයකට තුඩුදුන්නේය. කැබිනට් පත්‍රිකාව නැවතත් ඉදිරිපත් කළ අමාත්‍ය නිමල් සිරිපාල මහතා කීවේ මෙම වැටුප් වැඩිකරදීම නොකළහොත් තමන්ට දුම්රිය සේවාව නිසිලෙස පවත්වා ගෙන යා නොහැකිව ජනතාව පීඩනයට පත්වන වගයි. අමාත්‍ය සරත් අමුණුගම හා රාජිත සේනාරත්න යන මහත්වරු කීවේ මෙම අර්බුදය සමතයට සාකච්ඡා කළේ තමන්ලා බැවින් ඔවුනට ලබාදුන් වැටුප් වර්ධක පොරොන්දුව ඉටුකළ යුතුය කියායි. නමුත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම කීවේ මෙලෙස දුම්රිය සේවක වැටුප් ඉහළ දැමුවහොත් ඊට සමාන්තරව පවත්නා තවත් රාජ්‍ය සේවා 42කටද එලෙසම වැඩි වැටුප් ලබාදෙන්නට සිදුවන බැවින් මෙය නැති අර්බුදයක් මවාගැනීමක් වගයි. ඒ නිසා තමන්ට මෙම වැටුප් ඉහළ නැංවීමට කිසිසේත්ම එකඟ විය නොහැකි යැයිද කීය. ඒ අනුව තීරණයකින් තොරව ප්‍රශ්නය කල්ගිය බව කියැවේ. මූල්‍ය ප්‍රශ්නවලදී අමාත්‍ය මංගල සමරවීර දැඩි නමුත් ප්‍රායෝගික ස්ථාවරයක සිටීම පසුගිය සති කිහිපයේම දැකගන්නට ලැබිණි. මන්ත්‍රි ඇමැති වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මංගල කෙළින්ම කීවේ තමන් මේ ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරන බවය. මංගල පමණක් නොව කතානායක කරු ජයසූරිය මහතා පවා සිය හිතවත් මැති ඇමැතින් සමඟ මේ මොහොතේ මැති ඇමැති වැටුප් ඉහළ නැංවීම ගැන සිය කනස්සල්ල පළකර තිබිණි.

ඒ අතර අමාත්‍ය මංගල සහ අමාත්‍ය රාජිත සේනාරත්න අතර හටගත් තවත් අර්බුදකාරී සිදුවීමක් පසුගිය අඟහරුවාදා වාර්තා විය. එය විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කාරණාවකි. විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගේ මාසික ආදායමින් ආදායම් බදු අයකරන ප්‍රතිශතය අඩුකරන ලෙසත් එසේ නොකළොත් වෘත්තීය අරගලයකට යන බවටත් රජයට අනතුරු ඇඟවීය. ඒ අනුව මුදල් අමාත්‍යංශ බලධරයන් හා විශේෂඥ වෛද්‍ය නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණී. ඊට දේශීය ආදායම් කොමසාරිස්වරයා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාද කැඳවා තිබිණි. විශේෂඥ වෛද්‍ය සංගමය වෙනුවෙන් මහාචාර්ය අර්ජුන සිල්වා, දොස්තර මයියා ගුණසේකර, සුනිල් විජේසිංහ, ලක්සිරි ප්‍රනාන්දු ආදි නියෝජිතයෝ එක්වූහ. මෙහිදී මුදල් අමාත්‍යංශ බලධරයන් හා දේශීය ආදායම් කොමසාරිස්වරයා එකඟ වූයේ මාසිකව වෛද්‍යවරුන් ලබන ආදායමේ බදු නිදහස් සීමාව ලෙස මෙතෙක් පැවති 33 1/3%ක ප්‍රතිශතය 40% දක්වා ඉහළ දැමීමට පමණි. ඒ යෝජනාව විශේෂඥ වෛද්‍යවරු ද ඉතා සතුටින් පිළිගත් බැවින් සාකච්ඡාව සාර්ථකව හමාර විය. මේ ගැන මුදල් අංශ බලධරයන් අමාත්‍ය මංගල දැනුවත් කර තිබිණි.

ඒ අතරතුර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අණ පරිදි නිවේදනය වූයේ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය 24% සිට 15% දක්වා පහත දැමූ බවයි. මෙය බෙහෙවින් අර්බුදකාරී නිවේදනයක් ලෙස මුදල් අමාත්‍යංශය සැලකීය. ඊට හේතුව මෙලෙස වෛද්‍යවරුන්ගේ අදායම් බදු ප්‍රතිශත අඩු කළහොත් සෙසු වෘත්තිකයන්ද එම ඉල්ලීම කරන නිසාය. එබැවින් මංගල සමරවීර අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ බලධරයන්ට නියම කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිවේදනය කළ පරිදි විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු ප්‍රතිශත අඩු කිරීමේ කතාව සත්‍යයෙන් තොරයයි පවසන ලෙසයි. ඒ අනුව එදිනම රාත්‍රියේ රාජිතලාගේ බදු ප්‍රතිශත අඩුකිරීමේ කතාව ප්‍රතිෂේප කරමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල රට වටා යමින් පාක්ෂිකයන් අමතන්නට පටන් ගෙන තිබේ. ඔහු පසුගිය සතියේ අනුරාධපුරයට ගියේ කටයුතු ගණනාවක් සඳහාය. ප්‍රධාන නායක හිමිවරුන් ගණනාවක් මුණගැසුණු හිටපු ජනාධිපතිවරයා උන්වහන්සේලාට ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව හා ජාතික සම්පත් ආරක්ෂා කිරීම ගැන වහා යමක් කරන ලෙසයි. ඒ ගැන තිබෙන අවිනිශ්චිත තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතා මිරිසවැටිය හා රුවන්වැලි සෑය නාහිමිවරුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණි.

එම හමුවීම සිදුවූදා සවස ප්‍රකට දෛවඥවරියක වන ඥානා මෑණියන්ගේ නිවෙසේ පැවති පිරිත් පිංකමේ ප්‍රධාන ආරාධිතයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මන්ත්‍රින් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ, උදය ගම්මන්පිල ආදිහුද එහි රැස්ව සිටියහ. මෙහිදී ඉඩ ලද විවේකයේ ගෝඨාභය සහ මන්ත්‍රි පිරිස සමඟ සුහද කතාබහක නිරතවෙමින් සිටි මහින්ද රාජපක්ෂ මහතා “දැන් ඔයාගෙ පුරවැසිකම් ප්‍රශ්නය හැමෝම අහනව දැන් ඒක නිරාකරණය කරගන්න වෙලාව හරි”යැයි කීවේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඒ ගැන සුදුසු පියවර ගන්නා බව ගෝඨා එහිදී කීය. ඉන්පසු ඒ ගැන කතාබහක් ඇති නොවුණත් ඉන් දින දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරු ඇමෙරිකා එක්සත් ජනපදය බලාපිටත්ව ගියෝය. ගෝඨා සහ බැසිල් එකවර ඇමෙරිකාවට ගියේ කුමක් නිසාද යන්න පැහැදිලි නැත. ඊට පෙර බැසිල් රාජපක්ෂ හා බටහිර තානාපතිවරුන් තිදෙනෙක් කොළඹදී හමුවී ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කළහ. එසේම කැනේඩියානු තානාපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණගැසුණු බවද සඳහන්ය.

පසුගිය කාලයේ පොහොට්ටුව වේදිකාවල එකිනෙකාට චෝදනා කරගනිමින් ප්‍රශ්න මවාගත් මහින්දානන්ද සහ වෙල්ගම මන්ත්‍රින් දෙදෙනාටම මේ සතියේ කතා කළ මහින්ද රාජපක්ෂ මහතා තදින්ම අවවාද කළේ වහා අනවශ්‍ය කතා නවත්වන ලෙසයි. මුලින්ම මහින්දානන්දටත් - දෙවනුව වෙල්ගමටත් කතාකළ රාජපක්ෂ මහතා විමල් බැසිල් මෙන් සුහදව කටයුතු කරන්නැයි නියම කළේය. අනතුරුව වෙල්ගම මන්ත්‍රිවරයා ප්‍රසිද්ධ වේදිකාවේදීත් මැතිසබයේදීත් මහින්දානන්දට මේ අපේ “සහෝදරයා” යනුවෙන් ආමන්ත්‍රණය කරනු දක්නට ලැබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ගිය අඟහරුවාදා සවස 6.30ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී ප්‍රධාන දේශපාලන කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කැරිණි. දිගින් දිගටම පළාත් සභා ඡන්දය කල්දැමීමට විරෝධය පළකරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යැවීමට ඒකාබද්ධයේ නායකයෝ තීන්දු කළහ. එහිදී කරුණු දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේ නව ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක නොවේ නම් පැරණි ක්‍රමයට ඡන්දය තැබීමට අර්ථ නිරෑපණ පනත අනුව මැතිවරණ කොමිසමට අවසර ඇති බවය. අවසානයේ පක්ෂ නායකයන්ගේ අත්සනින් වහා ඡන්දය පවත්වන ලෙස දන්වමින් මැතිවරණ කොමිසමට යට කී ලිපිය යැවීමට තීන්දු කැරිණි. එයටත් ප්‍රතිචාර නැත්නම් ඒකාබද්ධයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීන් මැතිවරණ කොමිසම වටලා උද්ඝෝෂණය කළ යුතු යැයිද යෝජනා කළේය. එයට අනුමැතිය ලැබිණි. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ යෝජනාවක් කරමින් පැවසුවේ විසිරී ගිය පළාත් සභාවල ආණ්ඩුකාර කාර්යාල වටලා එම පළාත් සභාවල කටයුතු සඳහා ආණ්ඩුකාරවරුන් මුදල් වැයකරන්නේ කුමන නීතිමය පදනමක් යටතේ දැයි ප්‍රශ්න කළයුතු වගය. ආණ්ඩුකාරවරුන්ට මැතිවරණයක් ආසන්නයේ මාස කිහිපය තුළ සභාවේ මුදල් වියදම් කළහැකි වුවත් එසේ නොමැතිව පළාත් සභාවල කටයුතුවලට මුදල් වැය කිරීමේ බලයක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා කීය. එම යෝජනාවලියෙන් පසුව පක්ෂයේ නායකයන් තැන තැන එකිනෙකාට චෝදනා කරගැනීම ගැන විමල් වීරවංශ ප්‍රශ්න කළේය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ පක්ෂ අභ්‍යන්තරයේ කතා කළයුතු දේවල් රැස්වීම්වල මයික්‍රෝෆෝන් ඉදිරිපිට කතා නොකළ යුතුවගයි. එවිට සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා යෝජනා කළේ “මින් ඉදිරියට අපි හැමෝම නිල වශයෙන් කියනා තෙක් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා කිරීමෙන් වළකිමු. ඒකයි කළ යුත්තේ” කියාය. සුසිල්ගේ එම යෝජනාව පක්ෂයේ හැමෝම පිළිගත්හ.

පසුගියදා එ.ජා.ප.යේ පාර්ලිමේන්තු කණ්ඩායමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි. එහිදී ප්‍රධාන වශයෙන්ම කතාබහ වූයේ ගම්පෙරළිය ව්‍යාපෘතිය දියත්කරන ආකාරය ගැනයි. අගමැතිවරයා මන්ත්‍රීන්ට උපදෙස් දුන්නේ මෙම වැඩසටහන එ.ජා.ප.යෙන් ජනතාවට ලබාදෙන අවස්ථාවක් බව සමාජයට කියන ලෙසයි. එසේම පාක්ෂිකයන්ගෙන් දුප්පත් කොටස් තෝරා නව සමෘද්ධිලාභින් පත්කිරීමටද මන්ත්‍රීන් කළ යෝජනාව පිළිගැනිණි. ඒ අතරතුර පසුපෙළ තරුණ මන්ත්‍රිවරු මුදල් අමාත්‍ය මංගල සමඟ මතගැටුමක පැටලුණහ. ඒ ඇස් කණ්ණාඩි සඳහා හඳුන්වා දුන් 15% බද්ද නිසා දුප්පත් ජනතාව පීඩාවට පත්වන බව කියමිනි. මෙය රජයට අවාසි සහගත බැවින් ඉවත් කරන ලෙස මන්ත්‍රීන් කී විට මංගල ඊට එකවරම අනුමැතිය දුන්නේ නැත. තමන් බද්ද ගැන මුදල් අමාත්‍යංශ බලධරයන් සමඟ කතාකර තීන්දුවක් ගන්නා බව සඳහන් කළේය.

වැටුප් ප්‍රශ්නය මත දුම්රිය සේවකයන් බදාදා සවස සිදුකළ හදිසි වර්ජනය නිසා මගී ජනතාව පීඩාවටත් කෝපයටත් පත්ව කොළඹ උණුසුම් තත්ත්වයක් හටගත්තේය. එහිදී මුදල් ඇමැති මංගල කීවේ වර්ජනය නතර කර වැඩට ගොස් තමන් සමඟ සාකච්ඡාවකට එන ලෙසයි. වර්ජනය අතරතුර සාකච්ඡාවකට මංගල අකමැති විය. ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ඇමතූ ජනාධිපතිවරයා ස්ථාවරය වෙනස් නොකර සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳාගන්නා ලෙස කීය. ආරක්ෂක අංශවලට මෙහිදී රජය උපදෙස් දුන්නේ මගීන්ට හිරිහැර නොකරන හැටියටයි. අවසානයේ හමුදා ආරක්ෂාව ඇතිව දුම්රිය ගණනාවක් බදාදා රාත්‍රී ධාවනය කෙරිණි. අමතර බස්ද යෙදැවිණි. ඒ සමඟ වර්ජන උණුසුම අඩුවිය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විවෘත විවාදයකට එන ලෙස මේ සතියේ දෙවැනි වරටත් අභියෝග කළේය. ඒ හිටපු ජනාධිපතිවරයා පසුගියදා විහාර මහා දේවි උද්‍යාන මීටිමේදී ජ.වි.පෙ නායකයා එ.ජා.ප.ය සමඟ ඩීල් දමා ඇති බවත් ඔහු අද කරන්නේ එ.ජා.ප.යේ කොන්ත්‍රාත් බවට චෝදනා නැගීමත් සමඟය. සතියේ ජනහමු කිහිපයකදීම මේ ගැන සඳහන් කළ අනුර දිසානායක මහතා එ.ජා.ප.ය සමඟ ඩීල් දමා ඇත්තේ තමා නොව හිටපු ජනාධිපතිවරයා යැයි කීය. ඒ ගැන තැන තැන කතා නොකර ඕනෑනම් තමන් සමඟ විවාදයකට එන්නැයි අභියෝග කරන වග ජ.වි.පෙ. නායකයා මහින්දට කීය. 

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවදුරටත් ආර්. සම්පන්දන් මහතාටම හිමිවන බව පසුගිය සිකුරාදා කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එහෙත් ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය එකඟ නොවූ අතර ඔවුහු තවදුරටත් විපක්ෂනායක ධුරය ඉල්ලා අරගල කරන බව සඳහන් කරති.

►ප්‍රකාශ ඉරගල් බණ්ඩාර