2017 ජනවාරි 28 වන සෙනසුරාදා

අැමැති සංශෝධනයේ හුළං බැස්සූ ලොක්කෝ

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 527

මේ සතිය ආරම්භයේ සිටම දේශපාලන ක්ෂේත්‍රය ටිකෙන් ටික උණුසුම් වන බව පෙනුණි. අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යයට සඳහන් කර තිබුණේ මේ සතිය දෙක තුළ ජනාධිපතිවරයා ඉතාමත් වැදගත් තීන්දු ගණනාවක් ගනු ලබන බවය. මේ තීන්දු ගැනීමට නිමිත්ත වන කාරණා පසුගිය සති කිහිපය තිස්සේ පෙළගැසෙමින් තිබිණි. ඉන් පළමුවැන්න අමාත්‍ය මණ්ඩල සංශෝධනයක අවශ්‍යතාව ගැන මතුවූ අදහස්ය. ඒ ගැන ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සමඟ මෙන්ම එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟ ජනපතිවරයා සාකච්ඡා කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දැනට දින දහයකට පමණ පෙරද මේ සතිය මැදද වෙන වෙනම සාකච්ඡා වට දෙකක් පවත්වා තිබුණේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන කතා කරන්නට බව කියැවිණි. 

ප්‍රධාන පක්ෂ දෙකේම මැති ඇමැතිවරුන් ජනපතිවරයා හමුවේ අමාත්‍යංශ ගණනාවක කටයුතු ගැන අප්‍රසාදයෙන් කතා කර තිබිණි. මුදල් අමාත්‍යංශය, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය, නීතිය හා සාමය අමාත්‍යංශය, ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය වැනි අමාත්‍යංශවල කටයුතු ගැන බරපතළ විවේචන එල්ල කර තිබිණි. අඩුම තරමින් රජයට එල්ලවන ජනතා විරෝධය යටපත් කරගන්නට මෙයින් ඇමැතිවරුන් දෙදෙනකුගේ විෂයන් වහා වෙනස් කළ යුතු බව බොහෝදෙනාගේ ඉල්ලීම බවට පත්ව තිබිණි. එහෙත් මේ මස 26දා රාත්‍රී සිදුවුණ සෙනසුරු ග්‍රහ මාරැව හමාරවන තෙක් කටයුතු කල් යමින් තිබිණි. දැන් කවර මොහොතක හෝ මෙකී අමාත්‍ය මණ්ඩල වෙනස සිදුකරන්නට ඉඩ තිබෙන බව සඳහන්ය. පවත්නා ව්‍යවස්ථාව අනුව අගමැතිගේ උපදෙස් ඇමැති මණ්ඩල වෙනසට අවශ්‍ය කෙරේ. ඒ ගැන තිබෙන එකඟතා පැහැදිලි නැතත් වෙනසක් සිදුවන ලකුණු පෙනෙන්නට තිබේ. බොහෝවිට මුදල් අමාත්‍යංශයට අලුත් මුහුණක් පැමිණේවියැයි එ.ජා.ප හා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ පවසති.

බැඳුම්කරයත් අරන් ජ.වි.පෙ. රට වටා යන්නට සැරසෙයි

පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරැන් පසුගිය සති අන්තයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට ඔහුගේ විජේරාම නිල නිවසට ගියෝය. මෙම හමුව සඳහා හිටපු ජනපතිවරයාගේ අවසර ඉල්ලා තිබුණේ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාය. ඉසුර දේවප්‍රිය පෙරේරා, ධර්මසිරි දහනායක, සරත් ඒකනායක, චාමර සම්පත් දහනායක හා ශාන් විජේලාල් යන ප්‍රධාන අමාත්‍යවරු හමුවට පැමිණ සිටි අතර හිටපු ජනපතිවරයා සමඟ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු ගණනාවක්ම පැමිණ සිටියහ. පැමිණ සිටි මහ ඇමැතිවරැන් පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස විසින් සාකච්ඡා මේසයේදී මුලින්ම කතා කළේ පක්ෂ එකමුතුව ගැනයි. ඉසුර දේවප්‍රිය හා සරත් ඒකනායක ප්‍රධාන අමාත්‍යවරුන් කතා කරමින් සඳහන් කළේ පක්ෂය බෙදුණොත් වාසිය එ.ජා.පයට බැවින් නොබෙදී සිටීම ඉතා වැදගත් බවයි. එවිට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේ පක්ෂය කැඩුවේ අපි නෙවේ. ඒක කළේ කවුද කියල කවුරුත් දන්නව. පක්ෂය පාවාදීල මොනවද කරන මේ කතා* යනුවෙනි. ඔහු එසේ කියන විට මහීපාල හේරත්, සරත් ඒකනායක හා චාමර සම්පත් ප්‍රධාන ඇමැතිවරු කීවේ එහෙම කතා කරන්න එපා. ඒක වැරදියි කියායි. නැවතත් කතා කළ සරත් ඒකනායක ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කළේ අපි ගම්වල පක්ෂ සංවිධාන කටයුතුවලට ගියාම ශ්‍රී.ල. නිදහස් පාක්ෂිකයන්ගේ බහුතරේ ඉන්නෙ ඔබතුමා එක්ක බව පේනව. ඒ නිසා මැතිවරණය අපට දිනාගන්න ඔබතුමා අවශ්‍යය.* කියාය.  එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ පසුගිය කාලයේ තමන්ට පක්ෂයේ ප්‍රබලයන් පහරදුන් බවත් තම හිතවතුන් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පවා ඉවත් කළ බවත්ය. රජයේ තීරණ නිසා තමන් නිදහස් කරගත් රට විනාශය කරා යන වග පැවසූ රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ අද සිදුවන මහාපරිමාණ වැරදි ගැන රජය ඇස්කන් පියාගෙන සිටිමින් තමන්ට බණින බවද කීය. එවිට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් පැවසුවේ අද පක්ෂයේ හුඟදෙනෙක් අධිතක්සේරැවල සිටිමින් ක්‍රියා කරන්නේය කියායි. අධිතක්සේරුවල සැබෑ තත්ත්වය මැතිවරණවලදී පෙනෙනු ඇතැයි දකුණු පළාත් මහ ඇමැතිවරයා කීය. එවිට ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා පැවසුවේ ඔය කතා වැඩක් නැහැ. එහෙනම් පළාත් පාලන ඡන්ද කල් නොදමා පුළුවන් තරම් ඉක්මනට ඡන්දය තියන්න. එතකොට ජනතාව ඉන්න තැන බලාගන්න පුළුවනි.* යනුවෙනි.

සම්පන්දන් මහ පක්ෂ දෙකටම පහර දෙයි

අනතුරුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මේ රජය පසුගිය කාලයේ ආර්ථිකයට කරන ලද හානි පිළිබඳ වාර්තාවක්යැයි කියමින් ලිපිගොනු ගණනාවක් මහ ඇමැතිවරුන්ට බෙදා දුන්නේය. පක්ෂ පාවාදීමේ කතාවක් නිසා මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා මහීපාල හේරත් මහ ඇමැතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා කීවේ ශ්‍රී.ල.නි.පය එ.ජා.පය සමඟ ආණ්ඩු කරන තාක් කල් තමන්ට කිසිම සහයක් දිය නොහැකි බවය. එහෙම දිගටම කරන්න ගියොත් තව තව පොහොට්ටු පක්ෂ හැදේවියැයි කී මහින්ද පසුව පැමිණ සිටි මහ ඇමැතින්ට තමන් සමඟ උදේ ආහාරය ගන්නට ඇරැයුම් කළේය. ඉඳි ආප්ප, පාන්, රෝස්පාන්, ආප්ප සහ පිට්ටු සමඟ ඉතාමත් රසවත් දකුණේ ආහාර වේලක් මහ ඇමැතින්ට සහ සෙසු අමුත්තන්ට හිටපු ජනපතිවරයා පිරිනැමීය.

ඡන්ද පසෙක තබා ජනමතය බලාගන්නැයි මහින්දලා මහඇමැතිලාට කියති

එක්සත් ජාතික පක්ෂයටද මේ සතිය තීරණාත්මක සතියක් විය. රනිල් වික්‍රමසිංහ එ.ජා.ප නායක හා අගමැතිවරයා ඩාවෝස් නුවර ආර්ථික සමුළුවට ගොස් මෙරටට පැමිණියේ නව ආයෝජන අපේක්ෂා ගණනාවක් පිළිබඳව සුබදායක අපේක්ෂා ඇතිවය. මෙරටට පැමිණෙන විටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ පණිවුඩයක් ලැබී තිබුණේ ඉක්මනින්ම පැමිණ තමා හමුවන ලෙස දන්වමිනි. ඒ අනුව අගමැතිවරයා කෙළින්ම ගියේ ජනාධිපති නිවසටය. එහිදී ජනාධිපතිවරයා සහ අගමැති සහ මලික් සමරවික්‍රම මහතා පැයකට වැඩි කාලයක් පෞද්ගලිකව සාකච්ඡාවක නිරත වූහ. අමාත්‍ය මණ්ඩල සංශෝධනය, බැඳුම්කර ගනුදෙනුව විමර්ශනයට ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කිරීම ආදී කරුණු ගැන මෙම සාකච්ඡාවේදී කතාබස් කෙරී ඇතැයි දැනගන්නට ඇතත් ඒවා ගැන කිසිදු නිල ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර නැත. විශේෂයෙන් මුදල් අමාත්‍යංශය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වැනි අමාත්‍යංශවලට එල්ල වී තිබෙන යම් යම් චෝදනා ගැන කතා කළ බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි. බැඳුම්කරය නිසා හටගෙන ඇති ප්‍රශ්නද විග්‍රහ කර ඇතැයි කියැවේ.

මැතිසබයේ බැඳුම්කර විවාදයේදී එ.ජා.ප. ශ්‍රීල.නි.ප. බෙදීමක්

ගිය සඳුදා සවස 5.30ට පමණ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී එ.ජා.පයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගමැතිවරයා විසින් කැඳවා තිබිණි. පසුදා පැවැත්වෙන බැඳුම්කර සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හා එහිදී කතා කළ යුතු කථිකයන් ගැන මෙම රැස්වීමේදී අදහස් හුවමාරු විය. කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජ්‍යෙෂ්ඨයන් මෙම විවාදයේ බර කරට ගතයුතුයැයි තීන්දු විය. ඒ වනවිටත් තීනියාවල පාලිත හිමියන් බැඳුම්කර කෝප් වාර්තාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබිණි. එහෙත් කතානායක කරූ ජයසූරිය මහතා මෙන්ම ජනාධිපතිවරයාගේද අදහස වී තිබුණේ මෙම විවාදය කල් තැබීමට වඩා පැවැත්වීමෙන් රජයට වාසියක් ලැබෙන බවය. 
කෙසේහෝ මන්ත්‍රී කණ්ඩායමේදී ඊළඟට රටේ පවත්නා නියඟය හා ඊට යෙදිය යුතු පිළියම් ගැන සාකච්ඡා කෙරිණි. නියඟය උග්‍රව පවත්නා සෑම මන්ත්‍රී කොට්ඨාශයකටම නළ ළිං විශාල ප්‍රමාණයක් ලබාදෙන බව ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළ අතර, අගමැතිවරයා කීවේ ඒ සියල්ල ගැන මන්ත්‍රීවරුන් සොයාබලා ජනතාවට අවශ්‍ය සහන සැලැසීමට පියවර ගත යුතු වගයි.

පාර්ලිමේන්තුව උණුසුම් කළ බැඳුම්කර විවාදය ගිය අඟහරුවාදාට යෙදී තිබිණි. උදේ 9.30 සිට රාත්‍රී 7.30 දක්වාම කාලය ඊට වෙන්කර තිබීමද විශේෂයකි. එහෙත් මෙම විවාදයට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන්ගේ සහභාගීත්වය අඩු බව පෙනුණි. ශ්‍රී.ල.නි.පයේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් සිටියේද සීමිත පිරිසකි. කෙසේ හෝ ඉතා උණුසුම් තත්ත්වයක් විවාදයේදී දක්නට ලැබිණි. මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායම නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරැද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ද තරයේ ඉල්ලා සිටියේ බැඳුම්කර ගනුදෙනුව මහා වංචාවක් බවත් එම වංචාව සිදුකළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම් වහාම රාජසන්තක කරන ලෙසත්ය.

අර්බුද තිබුණත් රට ගොඩනගන බව අගමැති කියයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය දරන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා මේ ගැන කළ කතාව කාගේත් ඇස් ඇරවන්නක් විය. සම්පන්දන් මහතා කීවේ මේ දූෂණ වංචා දිගටම තිබුණොත් ඒ නිසාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන බවය. මේ රටේ සිදුවන මහාපරිමාණ වංචා දූෂණවලට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකම සම්බන්ධ වීම බලවත් ඛේදවාචකයක්යැයි කී සම්පන්දන් මහතා බැඳුම්කර දූෂිතයන්ට මෙන්ම පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ටද ගතවූ කාලය තුළ දඬුවම් දීමට වත්මන් රජය අපොහොසත්ව ඇතැයි චෝදනා කළේය. මෙම ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්ති නාමය නැතිවූ බව පැවසූ හෙතෙම සත්‍ය සොයාගෙන හැකි ඉක්මනින් බැඳුම්කර වංචාව සිදුවී තිබේනම් වහාම ඔවුන්ට දඬුවම් දිය යුතුයැයි අවධාරණය කළේය. ලක්ෂ්මන් කිරිඇල්ල සභාපතිවරයාද කීවේ හොරුන්ට දඬුවම් දීම ගැන තමන් එකඟ බවයි. 

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මණ්ඩලයේ කොන්දක් නැතිව කටයුතු කරන කිහිපදෙනෙක් සිටින බවට චෝදනා නැගීය. මහ බැංකු නිලධාරීන් කිහිපදෙනෙක් මේ සිද්ධිය ගැන වැරදි තොරතුරු සපයමින් රජයේ කටයුතු කඩාකප්පල් කරන්නට තැත් කරන වග කී මුදල් අමාත්‍යවරයා ඉදිරි කාලයේ දී තමන් මෙම නිලධාරීන් කවුද යන්න නම් ගම් සහිතව හෙළිදරව් කරන වගද කීය. අමාත්‍ය චම්පික රණවක එ.ජා.පය නියෝජනය කළද ඔහුද බැඳුම්කර ගනුදෙනුව තරයේම විවේචනය කළේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ ගනුදෙනුවෙන් ලද ලාභය වෙනත් සමාගමකට වසර 90කින්වත් ලබාගත නොහැකි යැයි අමාත්‍ය රණවක වැඩිදුරටත් කීය.
බැඳුම්කර ගනුදෙනු ගැන මූලධර්ම නොදන්නා අය මේ ගැන බොරු ප්‍රචාර සිදුකරන්නේයයි අමාත්‍ය කබීර් හෂීම් පැවසීය.

මාස 21ක් තුළ පර්පෙචුවල් සමාගම මිලියන දහතුන් දහසක ලාභයක් ලබා වාර්තාවක් තබා ඇතැයි ජ.වි.පෙ නායක අනුර දිසානායක සඳහන් කළේය. මේ වංචාවට සම්බන්ධ අය වහා හෙළිදරව් කළ යුතුයැයිද ඔහු පැවසීය. 
ජනතා විමුක්ති පෙරමුණ ද මේ දිනවල උණුසුම් දේශපාලන කටයුතු ගණනාවකට දායකවෙමින් සිටී. බැඳුම්කර ගනුදෙනුව ගැන ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. ජ.වි.පෙ මුල සිටම තීන්දු කර තිබුණේ බැඳුම්කර කෝප් වාර්තාව ගැන ජනතාව දැනුවත් කරමින් රට වටා යන්නටයි. මෙහි මූලික පියවර ලෙස මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා කීවේ බැඳුම්කර කෝප් වාර්තාව මැතිසබයේ විවාදයට ගැනීම නතර කරවීමට උසාවියේ නඩු දමා එ.ජා.පය නාට්‍යයක් රඟ දක්වන බවය. එහෙත් රජයෙන් තනතුරු ලැබූ තීනියාවල පාලිත හිමියන්ගේ පෙත්සම පාදක කරගෙන මැතිසබා විවාදය නතර කරන්නට තම පක්ෂය කිසිසේත්ම ඉඩ නොදෙන බව ජ.වි.පෙ නායකයා කීය. බැඳුම්කරය මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ විශාලම මූල්‍ය වංචාවයැයි කී හෙතෙම එය වසා දමන්නට කිසිසේත්ම ඉඩ නොදෙන බවද සඳහන් කළේය. රාජ්‍ය සම්පත් අමු අමුවේ විකුණා දැමීම මේ රජය ආදායම් සොයාගන්නා ක්‍රමවේදය යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා විදේශ රුකියාලාභීන් සඳහා ක්‍රියාත්මක වන අබුඩාබි සංවාදය සඳහා එක්විය. විදේශ රුකියා ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය සංවිධානය කළ අබුඩාබි සමුළුවේදී අගමැතිවරයා විදේශ රුකියාලාභීන් නිසා මෙරට නව මධ්‍යම පන්තියක් බිහිවී ඇතැයි සඳහන් කළේය. කොතරම් අර්බුද තිබුණත් ඒවා ජයගනිමින් රට ගොඩනගන බවටද අගමැතිවරයා මෙහිදී ප්‍රතිඥා දුනි. ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවට හිමි තැන ලබාගැනීමට අප රට ක්‍රියාකළ යුතු ආකාරය පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ලංකාව ආසියා කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කරන වගද සඳහන් කළේය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරැවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා රජය පසුගිය කාලයේ වරින් වර රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 12,500 ක දීමනා මුදල විශ්‍රාම වැටුපට එකතු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේය. එයට මුදල් අමාත්‍යංශයෙන් අදාළ නිරීක්ෂණ හා අනුමැතිය ලබා ගැනීමට තීන්දු කැරිණි. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලොතරැයි ටිකට් පත් මිල ඉහළ දැමීමේ ප්‍රශ්නය ගැන මුදල් අමාත්‍ය රවි කරුණානායක ගෙන් විමසුමක් කළේය. එවිට මුදල් අමාත්‍යවරයා කීවේ තමන් මෙය කල්තබා දැනුම්දී කළ මිල වැඩි කිරීමක් බවය. “ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් ලොතරුයි මිල වැඩිකිරීම නිසා මේ රටේ ඉන්න හිඟන්නොත් ආණ්ඩුවට විරැද්ධව උද්ඝෝෂණය කරන්න පාරට බැස්ස* යැයි ජනපති කීය. එහෙත් මුදල් අමාත්‍ය කරුණානායක ලොතරුයි ටිකට් මිල රු. 30/- සිට රු. 20/- දක්වා අඩුකිරීමට නොහැකි බවට විවිධ තර්ක ගෙන ආවේය. අවසානයේ ජනාධිපතිවරයා කීවේ. “නැහැ ඇමැතිතුමා රු. 20/- සාධාරණයි. ඒ නිසා ටිකට් එක රු. 20/-කට විකුණන්න කියායි.
අනතුරුව ඇදුණේ සහල් මිල ගණන් ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයයි. අමාත්‍ය පී. හැරිසන් ඒගැන කරැණු දක්වමින් කීවේ මම සමහර මෝල් කාරයන්ට කිලෝව රු. 43/- ගණනේ වී තොග විකිණුවම ඒවා එතනම තියලා වී කිලෝව රු. 50/- විකුණන පිරිසක් ඉන්නවා. එවිට අමාත්‍ය බදියුදීන් කීවේ වී සතොසට ලබා දෙන්නේ නම් ඒවා ස.තො.ස. මාර්ගයෙන් කොටා සහල් කිලෝව රු. 76/- බැගින් අලෙවි කළ හැකි බවයි. ඒ අනුව ස.තො.ස සමගින් සහල් නිපදවා බෙදාදීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට පැවරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සඳුදා සන්ධ්‍යාවේ කොළඹ 7 නිල නිවසට රජයේ ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරු පිරිසක් කැඳවා තිබිණි. සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල, අනුර යාපා, ෆයිසර් මුස්තාපා, ලක්ෂමන් යාපා අබේවර්ධන ඇතුළු ඇමැති පිරිසක් මෙම කැඳවීම අනුව ජනපති නිවසට පැමිණියහ. ඔවුන් අමතා රජයේ පවත්නා ප්‍රශ්න හා ඉදිරියේදී කළයුතු වෙනස්කම් පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වන්නට විය. මේ රජයේද වැරදි ඇති බව පැවසූ ජනාධිපතිවරයා එවැනි කාරණාවලදී තමන් තීන්දු ගැනීමට පසුබට නොවන බව ඇමැතිවරුන්ට කීය. තමන් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පසුගියදා පෞද්ගලිකව සාකච්ඡා කළ බව කී ජනාධිපතිවරයා අගමැතිවරයා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාද කැටිව තමන් මුණගැහුණු බව සඳහන් කළේය. “ආණ්ඩුවේ කටයුතු ගැන කිවයුතු සියල්ල මම ඇමැතිතුමාට කිව්වා දැන් තමුන්නාන්සේල අසාවී මම බැඳුම්කර සිද්ධිය ගැන කොමිසමක් පත්කරන්න ප්‍රමාද වුණේ ඇයි කියල. පමා වුණා තමයි. ඒත් මම හිටියේ වෙලාව එනකම්... මම පසුගිය ජනාධිපති වරණයේදී හොරකම, වංචාව, දූෂණයට විරැද්ධව කතා කළා. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඡන්දය දුන්නෙ ඒ කතා විශ්වාස කරලයි. ඒනිසා ඒවට අවශ්‍ය පියවර ගන්න මම පසුබට වෙන්නෙ නැහැ.* ජනාධිපතිවරයා අමාත්‍යවරැනට කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ක්‍රියාකලාපය ගැන මේ සතියේ වඩාත් ප්‍රබල අදහස් දැක්වීමක නිරත විය. නාරාහේන්පිට අභයාරාමයේ අධිපති මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් ගිය බදාදා සවස පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කළ කතාව ආන්දෝලනයට තුඩුදී තිබේ. මෙහි රුස්වීම ආරම්භයේදී ජයවර්ධන පුර සරසවියේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පසුගිය වසර දෙකක කාලයේ වත්මන් රජයෙන් අපේක්ෂා කළ ඇතැම් යහපාලන අරමුණු ඉටුව නැතැයි ජනාධිපතිවරයාගේ මුහුණටම කීහ. වත්මන් රජය යටතේත් මහා පරිමාණ වංචා, දූෂණ, වැරදි සිදුවන වගකී බෙල්ලන්විල නාහිමියෝ රජය සමලිංගික පනත් නීතිගත කරන්නට යෝජනා ගෙනඒම දැඩිලෙස විවේචනය කළෝය. “බටහිර රටවලට ඕනෑ ඕනෑ හැටියට ජී.එස්.පී. ගන්න කියල රටේ සංස්කෘතිය, රටේ සම්පත් විනාශ වෙන යෝජනා පිළිගන්න එපා. අපි මේව කියන්නේ තියෙන හිත් වේදනාවටයි.* බෙල්ලන්විල හිමියෝ කීහ.
බෙල්ලන්විල නාහිමියන්ගේ අනුශාසනාවෙන් පසු උන්වහන්සේගේ අදහස් උදහස්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා සිය කතාව උපයෝගී කරගත්තේය. ජනාධිපතිවරයාගේ කතාව දැඩි මත ප්‍රකාශනයක් විය. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සෙවීමට තමන් ජනාධිපති කොමිසක් පත් කළේ වැරදිකරැවන් ආණ්ඩුවේද විපක්ෂයේද නොබලා දැඩි දඬුවම් පැමිණවීමේ අරමුණක් බව සඳහන් කළේය. මැතිසබය පසුගියදා පැවති බැඳුම්කර විවාදයේදී ආණ්ඩුව හා විපක්ෂය දෙගොල්ලම නා ගත් බව කී  ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය ගැන අපරාධ නීතිය යටතේ පරීක්ෂණ කරන වගද පැවසීය. මේ ආකාරයට ජනාධිපතිවරයා කළ සැර කතාව කොළඹ දේශපාලන දෙබරයකට ගල් ගැසීමක් බව ඇතැම් විචාරකයෝ කීය. 


රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය පිළිබඳ හා ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කෙරෙන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පළාත් පාලන සීමා නිර්ණය සමාලෝචන කමිටුව සකස් කළ වාර්තාව ගැසට් මගින් ප්‍රකාශ කෙරේ. අනතුරැව එය කැබිනට් මණ්ඩලය අනුමත කොට මැතිසබය මගින්ද අනුමත කළ යුතුව ඇත. ඒ අනුව පළාත් පලාන මැතිවරණය අදාළ නීතිමය පියවරවලින් පසුව පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී කාලය හමාර වන පළාත් සභා තුනක මැතිවරණ ලබන වසර තෙක් කල්දැමීමට ආණ්ඩුව දේශපාලන තීන්දුවක් ගෙන ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වසරේ කාලය හමාරවන උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර සභාවල ඡන්දය ඒ අනුව කල්යෑමට නියමිතය. පළාත් සභා තුනක ඡන්ද කල්දැමීම සඳහා පවත්නා පනත සංශෝධනයක් කළයුතුය. මෙම ඡන්ද කල්දමන්නේ මෙරට පළාත් සභා සියල්ලේම මැතිවරණ 2018 අප්‍රේල්වලින් පසු එකම දිනයක පැවැත්වීමට බව රජය කියයි. එසේම පළාත් සභා මැතිවරණ ද නව කොට්ඨාස ක්‍රමයකට පැවැත්විය යුතු බවටද රජයට අදහස් ඉදිරිපත්ව තිබේ. මේ නිසා පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණය මෙන් කල් දැමෙයි. ඒ අතර තහවුරු නොකළ ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ රජයේ දේශපාලන උපදේශකයන් ඉක්මනින් ඡන්ද නොපැවැත්විය යුතු බවට අදහස් ඉදිරිපත් කර ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද විරෝධතා රැළිය ගිය සිකුරාදා නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවේදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු මෙම රැළියට එක්ව සිටියහ. සෑහෙන ජන සහභාගීත්වයකින් යුතුව පැවැති ජනරැලියේදී දිගින් දිගටම මැතිවරණ කල්දැමීම, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව, හම්බන්තොට ඉඩම් කොල්ලය යෝජිත ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදයට පාර කැපීම, රාජ්‍ය දේපොළ විකිණීම සහ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් පළිගැනීම යන කාරණාවලට විරෝධය දක්වමින් විපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ අදහස් දැක්වූහ. 

 ප්‍රකාශ් ඉරැගල් බණ්ඩාර