2018 ජුලි 14 වන සෙනසුරාදා

මන්ත්‍රීකම දන් දෙන්නේ නෑ. විජයකලා හරහට හිටී

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 317

මරණ දඬුවම නැවත ගෙන ඒමේ තීන්දුවට ඇමැතිවරුන්ගෙන් අත්පොලසන්

ජනපති ඇමැති එකඟතාවෙන් තෙල් මිල වෙනස අනුමතයි

මරණ දඬුවම යළි ගේනවාට මංගලගේ විරෝධය

මහින්ද රාජපක්ෂගෙන් විපක්ෂයේ පොදු සන්ධානයක්

විජයකලාගේ නායකයා ප්‍රභාකරන්ද රනිල්දැයි මන්ත්‍රී මරික්කාර් විමසයි

ජ.වි.පෙ. ව්‍යවස්ථා සංශෝධනය මැතිසබා න්‍යාය පත්‍රයට

රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වූ විජයකලා මහේෂ්වරන් ඉන් අනතුරුවත් තමන්ගේ කට පරෙස්සම් කරගනු ඇතැයි සිතුවද එවැන්නක් සිදු නොවීය. උතුරේ දැඩි මතධාරීන්ගේ ඡන්ද ටික උදෙසා ඇය නැවතත් ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ ගුණ වර්ණනා කරන්නට වූවාය. යාපනයේදී ඇයට මහ පිළිගැනීම් සංවිධානය කර තිබිණි. එ.ජා.ප. රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු ලෙස සැලැකෙන දයා ගමගේද පසුගියදා විජයකලාගේ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට උතුරට ගියේය.

කෙසේ හෝ උතුරේ විකාශය කෙරෙන ඩෑන් ටී.වී. නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ විජයකලා “හිට්ලර් සමඟ අපේ නායක ප්‍රභාකරන් සංසන්දනය කරන්න බැහැ” යැයි තරයේම ප්‍රකාශ කළාය. කවුරුන් කැමැති වුවත් අකැමැති වුවත් ප්‍රභාකරන් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ බවද ඇය කීවාය. දකුණේ තිබෙන්නේ හිට්ලර් පාලනයක් බවත් උතුරේ ජනතාව තබාගෙන සිටින්නේ ඡන්දයට පමණක් බවත් කී විජයකලා තමන්ගේ ඉල්ලා අස්වීම ජනපති අගමැති තවම පිළිගෙන නැතැයිද කීවාය. තමන්ගේ කතාව ගැන හොයා බලන්නට පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති නිසා තමන් ඒ ගැන බලා සිටින බවද ඇය කීවාය. කිසිවකුට හෝ සිය මන්ත්‍රී පදවිය උදුරාගත නොහැකි යැයි ප්‍රකාශ කළ ඇය තමන් මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරියක් යැයිද කීවාය.

විජයකලා මේ ආකාරයේ ප්‍රකාශ කරන අතරතුර දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් හා උතුරේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් විජයකලාගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ නිකුත් කර තිබිණි. කෙසේ හෝ ඇය දෙවැනිවරට මෙම ප්‍රකාශ උතුරේදී කරනවිට ඇයට සහය පළකරමින් උතුරේ පෝස්ටර් ගසා තිබෙනු දැකගත හැකිවිය. එම පෝස්ටරයේ සිංහල අරුත වූයේ රට වෙනුවෙන් ඇයගේ සැමියා ජීවිතය පූජා කළා උතුරේ ජනතාව වෙනුවෙන් විජයකලා ඇමැති පදවිය පූජා කළා යන්නයි. නමුත් මෙම පෝස්ටරය ප්‍රදර්ශනය කොට දින දෙකක් ගතවන විට යාපනයේ කෝපායි ප්‍රදේශයේ පෝස්ටර ගසා තිබුණේ විජයකලාට එරෙහිවය. ශිවසේනා නම් සංවිධානයක නමින් ප්‍රකාශයට පත්කර තිබූ පෝස්ටරයේ සඳහන් වූයේ පුන්කුඩුතිව්හි විද්‍යා දැරිය ඝාතනය කළ ඝාතකයන් ආරක්ෂා කළ ඇය අමාත්‍ය පදවිය අත්හැරියේ මුදලට බවයි. එම මුදල් ගණනද පෝස්ටරයේ සඳහන් විය. එවන් අයෙක් උතුරේ ජනතාව නියෝජනය කරමින් මන්ත්‍රී පදවියක් හෝ නොදැරිය යුතු යැයිද ශිවසේනා සංවිධාන පෝස්ටරයේ දැක්විණි. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය හා සෙසු දකුණේ පක්ෂ විජයකලා මහේෂ්වරන් දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එ.ජා.ප. මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විජයකලා තරයේ විවේචනය කරමින් ඇයගේ නායකයා රනිල් වික්‍රමසිංහද ප්‍රභාකරන්දැයි ප්‍රශ්න කර තිබිණි.

මේ ආකාරයට ඇයට විරෝධය එල්ල වෙද්දී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පොලිස්පතිවරයාට නියෝග කළේ ඇයගේ කතාවල හඬපට පරීක්ෂා කොට පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තා කරන හැටියටයි. එම වාර්තාව කතානායකවරයාට යොමුකරන බවද නීතිපතිවරයා ප්‍රකාශ කළේය. මෙලෙස දිනෙන් දින විජයකලාගේ කතාව දුරදිග යද්දී ඇය පෞද්ගලික සංචාරයක් සඳහා යැයි කියමින් සිය දරුවන්ද සමඟ ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත. එහිදී යුරෝපීය දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්නටත් තමන්ගේ ආන්දෝලනාත්මක කතාවෙන් පසු හටගත් තත්ත්වය ගැන අන්තර්ජාතික පාර්ලිමේන්තු කමිටුවට පැමිණිලි කරන්නටත් ඇය අපේක්ෂා කරන බව සඳහන් විය.

මේ සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ආරම්භ වූයේ තරමක උණුසුමක් ඇතිවය. ජනාධිපතිවරයා එහි මුලසුන දැරූ අතර අග්‍රාමාත්‍යවරයා විදේශ සංචාරයක නිරත වන බැවින් අමාත්‍ය මණ්ඩල හමුවට පැමිණියේ නැත. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමේ යෝජනාව මෙදින සාකච්ඡාවට ගැනුණු ප්‍රධානතම යෝජනාවයි. ජනාධිපතිවරයා කතාව ආරම්භ කළේ ඉන්ධන මිල මේ ආකාරයට ඉහළ දමන බවට කල් තබා තමන් දැනුම්වත් නොකළ වග සඳහන් කරමිනි. උදේ එකක් කියා සවස තවත් දෙයක් කිරීම හේතුවෙන් තමන් පමණක් නොව ආණ්ඩුවත් අපහසුතාවට පත්වූ බව දැනුම් දී තිබිණි. මෙම චෝදනාව එල්ල වූයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරටය. මංගල වහා ඊට උත්තර දෙමින් කීවේ “සර් අපේ නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න කල්තියා ඔබතුමාට මේක දැන්නුවා නේද?”කියායි. “එරාන් මට කිව්වේ තෙල් මිල රුපියල් හතරකින් පහකින් වැඩිකරනවා කියලයි. ඒත් හවස බලනකොට රුපියල් අටෙන් නවයෙන් මිල වැඩිකරලා. ඒක වැරදි....” කියන ප්‍රකාශ කරද්දී ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග කීවේ තෙල් මිල වැඩිකිරීමේ බලය පනත අනුව පැවරී ඇත්තේ තමන්ට වුවද තෙල්මිල ඉහළ දමන තෙක් තමන් ඒ ගැන දැන නොසිටි බවයි. එවිට මංගල සමරවීර මහතා තෙල් මිල ඉහළ දැම්මේ මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මිල සූත්‍රය අනුව යැයි සඳහන් කළ අතර තමන් කළේ ඒ ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාවට නැංවීම පමණක් යැයිද කීය. අදාළ පාර්ශ්වයන් කල් තබා දැනුවත් කිරීමේ ප්‍රමාදය ගැන තමන් වගකීම භාරගන්නේ යැයිද මංගල කීය. “ඕනම වෙලාවක මාස දෙකකින් හෝ නැවත තෙල් මිල ගණන් වැඩිකරනවා නම් ඒ තීන්දුව ගන්නා කමිටුවට මගේ නියෝජිතයන් දෙන්නම කැඳවන්න වගබලාගන්න ඕනෑ....” ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

කෙසේ හෝ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ ගැන තීන්දුවක් නොගෙන අඟහරුවාදා සවසම ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන විශේෂ හමුවකදී ඊට අදාළ කරුණු සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා කීය. ඒ අනුව එදින සවස 4.30ට පමණ ජනාධිපතිවරයා මුදල් ඇමැති මංගල, අමාත්‍ය අර්ජුන, අමාත්‍ය රාජිත, අමාත්‍ය දයා ගමගේ ඇතුළු පිරිසක් සහ මහා භාණ්ඩාගාර නිලධාරීහු ද ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වූහ. මහා භාණ්ඩාගාර නිලධාරීන් හා අමාත්‍ය මංගල මෙහිදී කියා ඇත්තේ මේ වසරේ පළමු මාස හතර පහ තුළ ඉන්ධන අඩුමිලට දීම නිසා රුපියල් කෝටි 2500කට වැඩි ගණනක් රජයට පාඩු වූ බවය. එහෙත් ජනාධිපතිවරයාද අර්ජුන අමාත්‍යවරයාද ඉන්ධන මිල වැඩි ගණනකින් ඉහළ දැමීම ගැන සතුටක් දැක්වූයේ නැත. එසේ නම් රජයේ අයවැය පියවා ගැනීමටත් සෙසු සංවර්ධන කටයුතු සඳහාත් වෙනත් බදු ක්‍රමයක් මගින් මුදල් සපයාගත යුතුව ඇතැයි ඇමැති මංගලලා කියා තිබිණි. එවිට අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රශ්න කළේ මිල සූත්‍ර කතාව අනුව සතිපතා ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානමක් තිබේද කියායි. එවන් අදහසක් ඇතැයි කී විට අර්ජුන කීවේ ඛනිජ තෙල් සංස්ථාවට එය ඉතාමත් අසීරු කටයුත්තක් බවය. එසේ නම් මිල සංශෝධනය මාසිකව සිදුකරන ලෙස අමාත්‍යවරු යෝජනා කළහ. අවසානයේ ජනාධිපතිවරයාද මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩිකරන්නට එකඟ විය. ඒ අනුව පසුගියදා මුදල් අමාත්‍යංශය යෝජනා කළ ආකාරයටම මිල ගණන් ඉහළ දැමීමට අවසානයේ තීන්දු කැරිණි.

මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදි ගනු ලැබූ ඉතා වැදගත්ම තීන්දුවක් වූයේ මත්කුඩු ජාවාරම් කර නඩු වැටී මරණීය දණ්ඩනයට නියම වී සිටින්නන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තීන්දුවයි. ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළයුතු බවට සමාජයෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට්ටුවට ප්‍රකාශ කළේය. මේ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම්දීම සම්බන්ධව තමන් අකමැත්තෙන් වුවද තීරණයක් ගන්නට සිදුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. පසුව ඒ ගැන ඇමැතිවරුන්ගේ මතය විමසූ අවස්ථාවේ අමාත්‍යවරුන්ද සිය අත් ඔසවමින් යෝජනාව අනුමත කර තිබිණි. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා මරණීය දණ්ඩනය නියම වූ ජාවාරම්කරුවන් 19 දෙනෙක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට්ටුවට පැවසීය. මෙම උවදුරින් සමාජය බේරාගත යුතු බව මතක් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැරදිවලට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින්නන්ගේ නාමලේඛනය ඇතුළත් පූර්ණ වාර්තාවක් වහාම තමා වෙත සපයන්නැයි අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට දැන්වීය.

ඒ අවස්ථාවේ අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේ තමන් ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවම දීමට විරුද්ධ බවයි. ඒ අතර මෙම තීන්දුව ගැන සිවිල් සංවිධාන ගණනාවක් කියා තිබුණේ රජය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට හිමිව ඇති ජී.එස්.පී. බදු සහනය යුරෝපා සංගමය විසින් නැවතත් අහෝසිකර දමනු ඇත කියායි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ සතියේ ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් කළහ. ඉන් පළමුවැන්න මරණීය දණ්ඩනය ගැනයි. ඒ ගැන උන්වහන්සේ ප්‍රකාශ කළේ මරණීය දණ්ඩනය නියමව සිරගෙවල්වල හිඳිමින් අන්‍යයන්ට හිරිහැර වන ලෙස දාමරිකකම් කරන්නන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසු බවය. එසේම මෙම වැරදිවලට ආධාර හා අනුබල දෙන්නන්ටද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි අගරදගුරුතුමෝ සඳහන් කළහ.

උන්වහන්සේ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කීවේ මේ රටට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් අවශ්‍ය නොවන වගයි. රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටට ආදරය කරන ජනතාවගේ හදගැස්ම හඳුනන අවංක නායකයකු යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා සිංගප්පූරුවට ගියේ එහි පැවති ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සඳහාය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය මලික් සමරවික්‍රමද අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම චාරිකාවට එක්වූහ. චැන්ගී ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති කටයුතු ඇමැති කර්මන් ෂන්මුගරත්නම් විසිනි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ මහ ඇමැති චන්ද්‍ර බාබු තායිදු ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියෝය.

මෙම සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ආසියානු කලාපයේ ආර්ථික හා සමුද්‍රික කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව දැන් සංවර්ධනයේ ඉදිරි පියවර තබමින් සිටින බවය. මෙරට ප්‍රධාන ආර්ථික කලාප දෙකක් ලෙස හම්බන්තොට සහ මහනුවර ප්‍රදේශ සංවර්ධනය කෙරෙන්නේ යැයිද අගමැතිවරයා කීය.

පුරා තෙදිනක් පැවති හයවැනි ජගත් පුරවර සමුළුවට සහභාගි වීමට එරටට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන් මහතා ඔහුගේ නිල නිවසේදී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ගිය නියෝජිත පිරිසද ඇරියුම් ලබා තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගිය පසු ඒකාබද්ධ විපක්ෂයේ රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ සිංගප්පූරුවේ දැනට රැඳීසිටිනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අගමැතිවරයා විසින් නැවත මෙරටට කැඳවාගෙන පැමිණිය යුතුය කියාය. අනතුරුව මේ ගැන අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ සිට නැවත පැමිණීමේදී අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමේ වගකීම බාරගත යුතු බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන දැනටමත් කරුණු සොයාගෙන ඇති බැවින් අගමැතිවරයා ඒ ගැන ක්‍රියා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන්නේ යැයි ජ.වි.පෙ. නායකයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට විරෝධය පළ කළෝය. වාසුදේව දිගින් දිගටම ඒ සඳහා යෝජනා කරන්නේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ නමයි. මේ සතියේ ඒ ගැන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතාද තමන්ගේ විරෝධය පළ කළේය. වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ තමන් සැමදා මිලිටරි පාලනයකට විරුද්ධ බවයි. දේශපාලනය කළ කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි කී වෙල්ගම මහතා අස්ගිරි අනුනාහිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ප්‍රකාශ කළ ආකාරයට යමෙක් හිට්ලර් පාලනයක් ගේන්නට හදනවා නම් තමන් තනතුරු අතහැර දිවිහිමියෙන් ඊට එරෙහිව සටන් කරන වගද කීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් ගිය අඟහරුවාදා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවැත්විණි. එහිදී තීන්දු කළ ප්‍රධානම කරුණ වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස පුළුල් සන්ධානයකට පරිවර්තනය කළ යුතුය යන කරුණයි. එම යෝජනාව පක්ෂ නායකයෝ ඒකමතිකව අනුමත කළහ. එම පෙරමුණට ආණ්ඩු විරෝධී ඕනෑම බලවේගයකට එක්වීමට අවකාශ සැලසිය යුතු යැයිද තීන්දු විය. ඒ සමඟ ඡන්ද කල්දැමීම, රාජ්‍ය දේපොළ විකිණීම, දරාගත නොහැකි ජීවන වියදම, පාතාලය හිස එසවීමෙන් සමාජයේ සාමය කඩවීම පාලනය නොකිරීම ඇතුළු කාරණා ගණනාවකට එරෙහිව දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කරන්නටද තීරණයක් ගනු ලැබීය. ශ්‍රී.ල.නි.පයෙන් ඉවත්ව විපක්ෂයට එක්වූ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුටද මීළඟ වාරයේ සිට පක්ෂ නායක හමුවට පැමිණෙන ලෙස ඇරියුම් කළ යුතු යැයි තීන්දුවක් ගත්තේය. ඒ අනුව ජෝන් සෙනවිරත්න, අනුර යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ට එක්බද්ධයේ ඉදිරි පක්ෂ නායක හමුවලට සහභාගි වන්නට ඇරයුම් කෙරෙනු ඇතැයි සඳහන් වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය මැයි මස 25 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. ඊට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු මෙලෙස ගැසට් මගින් එය ප්‍රකාශයට පත්විය. මහජන මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් ජනාධිපති තෝරා ගැනෙන පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති තනතුරක් මෙම සංශෝධනයෙන් යෝජනා කර තිබේ.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය හමාරවීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන නව සංශෝධනය ඉදිරි දිනවල පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කෙරෙනු ඇත. අනතුරුව අධිකරණ අමාත්‍යාංශ නිරීක්ෂණයට යැවෙයි. ඒ අතර කෙනකුට අවශ්‍ය නම් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීළඟ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී 20 සංශෝධනය විවාදයට ගන්නා දිනය තීන්දු කිරීමට නියමිත බවය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද මෙකී සංශෝධනය සාර්ථක කරගැනීමට ජ.වි.පෙ. නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂ සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා තැත් කරද්දී ජාතික සංවිධාන ගණනාවක් හා පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම සංශෝධනයට එරෙහිව අධිකරණයට යාම සඳහා නීති උපදෙස් ලබාගනිමින් සිටින බවද දැනගන්නට තිබේ.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර