2018 ජුනි 30 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂකයන් තිදෙනෙක් සටනට

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 521

හිටපු මහ බැංකු අධිපති ගෙන්වන්නට බැරි හේතුව රනිල් කියයි
රාජකීය දෛවඥයාට කලකට පසු මහින්දගෙන් ඇමතුමක්
මාධ්‍යයට නොපෙනෙන සංවර්ධනය ගමේ ඇතැයි ජනපතිගෙන් ප්‍රකාශයක්
සම්පන්දන්ගේ කෑම පිඟාන විග්නේෂ්වරන්ට පිරිනමා සුහදතාව පෙන්වයි
පුරවැසිකම අත්හරින හැටි ගෝඨා මුල්වරට හෙළිකරයි

 

 

ගෙවීගිය සතියේ දේශපාලන කේෂ්ත්‍රයේ විශාල උණුසුමක් දක්නට නොලැබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දානමය පිංකම අවස්ථාවේ අස්ගිරි අනුනායක හිමියන් වදාළ අනුශාසනාව ගැන විවාදය හමාරවී තිබුණේ නැත. අනුනායක හිමියන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු හිට්ලර් වැනි තද පාලකයකු වී රට හදන්නැයි කළ සඳහනට මුලින්ම සැර උත්තරයක් දුන්නේ අමාත්‍ය මංගල සමරවීරය. මංගල අමාත්‍යවරයා ඒ ප්‍රකාශය හෙළාදකිමින් බුදුදහමේ පාඨ උපුටා දක්වමින් හිට්ලර් කතාවට ප්‍රතිචාර දැක්වීමත් ජනාධිපති මෛත්‍රීපාල මහතා හිට්ලර් කෙනකු බිහිකරන්නට ඉඩනොදෙන බව කීමත් සමඟ මේ ගැන අස්ගිරි අනුනාහිමියෝ ද ප්‍රකාශයක් නිකුත් කළහ. උන්වහන්සේ එමගින් පැහැදිලි කළේ තමන් පැවසුවේ මේ රටට හිට්ලර් පාලනයක් අවශ්‍ය බව නොව අවශ්‍ය අවස්ථාවේ දැඩි තද තීන්දු ගන්නා යහපත් පාලනයක් අවශ්‍ය බව යැයි කියායි.

ඊළඟට මෙම හිට්ලර් ප්‍රකාශයට පිළිතුරු දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. අගමැතිවරයා මාතර මහා මන්තින්ද විද්‍යායතන පිරුවෙනේ දී ජනතාව අමතමින් සඳහන් කළේ පාලකයකුට හිට්ලර් කෙනෙකු වන්නැයි බුදුරජාණන්වහන්සේ දේශනා නොකළ වගයි. තමන් සිටින තැනක මෙම ප්‍රකාශය සිදුකළේ නම් එවලේම නැගිට කතාව හෙළාදකින්නේ යැයි අගමැතිවරයා කීය. ඕනෑම කෙනෙකුට විවිධ දේශපාලන මතවාද ඇතත් හිට්ලර්, පොල්පොට් හෝ ඉඩි අමීන් වගේ වන්නැයි කීමට අයිතියක් නැතැයි අගමැතිවරයා පෙන්වා දුන්නේය. හිට්ලර් සහ බුදුදහම එකට සම්බන්ධ කරන්නේ කෙසේ දැයි තමන්ට නොතේරෙන වගද අගමැතිවරයා කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ප්‍රකාශය අනුනාහිමියන් සිදුකරන විට ගෝඨාභයගේ නිවසේ සිටි අතර රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය කරුණු වටහා නොගෙන ආණ්ඩුවේ බලවතුන් කරන දේශපාලන කතාවක් යැයි කියමින් ඊට පිළිතුරු දුන්නේය. ආණ්ඩුව දැනටමත් ගෝඨාභය රාජපක්ෂට බියවී ඔහුට පහර දීමට අනුනායක හිමියන්ගේ මෙම ප්‍රකාශය අල්ලාගෙන ඇතැයිද හෙතෙම කීය.

අස්ගිරි අනුනාහිමියන්ගේ අනුශාසනාව ගැන කවුරුන් කතා කළත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන කිසිවක් කීවේ නැත. ඔහුගේ නිහඬ බව බිඳුණේ පසුගිය සඳුදා මූල්‍ය අපරාධ අංශයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේය. 

අස්ගිරි අනුනාහිමි දෙසුම ගැන හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට කීවේ තමන්ගේ නිවසේ පැවති පෞද්ගලික පිංකමකට වැඩමකළ අස්ගිරි අනුනාහිමියන් කළ අනුශාසනාවක් සම්බන්ධව ජනාධිපති, අගමැති හා මුදල් ඇමැති වැනි ආණ්ඩුවේ ප්‍රධානීන් නොයෙක් දේ කියා ඇති බවය. දැනට කිසිම නිලයක් බලයක් නැති. පුරවැසියෙක් වන තමන්ගේ ගෙදරදී නායක හිමිනමක් කරන ප්‍රකාශයකට රටේ නායකයන්ට උත්තර දෙන්නට තරම් තමන් වැදගත් පුද්ගලයකුදැයි ඔහු ප්‍රශ්න කළේය. සමහරුන් අනුනාහිමියන්ගේ කතාව විකෘති කර ඇතැයි පෙන්වා දුන් ඒ මහතා එවැනි දේ කිරීම සුදුසු නැතැයිද කීය. බුදුහිමියන් වරක වදාළේ යම් අනුශාසනයක් කරනවිට එය කළ යුත්තේ කියන දේ නිසිලෙස තේරුම්ගත හැකි ප්‍රඥාවන්තයන්ට කියායැයි මතක් කළ හෙතෙම අනුනාහිමියන්ගේ අනුශාසනය තමන්ට නම් වැටහුණ නමුත් අන් අයට එය තේරුම් ගන්නට හැකිව නැතැයි කීය. මෙම කතාබහෙන් පසුව ඉදිරි ජනාධිපතිවරණය ගැන මාධ්‍ය ගෝඨාගෙන් ප්‍රශ්න කළේය. එවිට ගෝඨා කීවේ තමන්ට ජනපතිවරණයට එන්නැයි මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් දන්වා නැති වගයි. එවැන්නක් කීවොත් තමන්ට මාස දෙකතුනක් ඇතුළත ඇමෙරිකානු පුරවැසි භාවය අත්හරින්නට නීතිමය හැකියාවක් ඇතැයි ද ගෝඨා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොසොන් පොහොය දිනවල රැඳී සිටියේ පොළොන්නරුවේය. පොළොන්නරුවේ පොසොන් කලාප විවෘත කළ ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ ආගමික වැඩසටහන් ගණනාවකට එක්විය. පොසොන් පොහොයට පෙර සුප්‍රකට උණගලාවෙහෙර රජමහා විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කළේය. එහිදී විශේෂ දෙසුමක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඇතැම් මාධ්‍ය රජය කොතරම් විවේචනය කළත් වත්මන් පාලනය යටතේ රට යෝධ සංවර්ධන පිම්මක් පනිමින් සිටින වගයි. කොළඹ තිබෙන දේශපාලනය ගමේ නැතැයි කී ජනාධිපතිවරයා ගමේ ජනතාව වත්මන් රජය ඉටුකරන කටයුතු ගැන ඉතා හොඳින්ම දන්නේ යැයි කීය.

පළාත් සභා ගණනාවක නිල කාලය මේ වසර අවසානයේ හමාර වෙයි. ඒ සභා සඳහා මැතිවරණ පැවැත්විය යුතු වුවත් තවමත් රජය ඒ ගැන විධිමත් ප්‍රකාශයක් කර නැත. පසුගියදා රැස්වූ ජාතික මැතිවරණ කොමිසම පළාත් සභා ඡන්ද දිගින් දිගටම කල්යෑම ගැන අවධානය යොමුකළේය. ඒ සමඟ පළාත් සභා ඡන්ද කල්නොදමා ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලමින් ජනපති අගමැති හා කතානායකවරයා වෙත ලිපියක් යොමුකිරීමට ද තීන්දු කළේය. සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමක් රටේ නායකයන්ට නිසි දිනට ඡන්දය පවත්වන්නැයි ඉල්ලීම් නිකුත් කරන්නේ නැත. ඡන්ද කල්දැමීම ගැන විරෝධය පළ කරමින් මෙම ලිපිය යොමුකරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීය. ඒ අතර පසුගිය 26 දා පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සිය කාර්යාලයට කැඳවූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණය නිසි වේලාවට තැබීම ගැන සාකච්ඡා කළේය. අනතුරැව කතානායක කාර්යාලයේද රැස්වීමක් පැවැත්විණි. එහිදීද තීන්දු වූයේ ඉක්මනින් පළාත් ඡන්ද තබන්නටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ තරමක් ආන්දෝලනාත්මක තීන්දුවක් ගත්තේය. ඒ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා දීමට ගත් තීන්දුවයි. මෙයට පෙර බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන මෙන් මහින්ද පාර්ශවය රජයට බලකළ අවස්ථාවේ රජයේ ප්‍රකාශකයන් ගණනාවක් කියා තිබුණේ අර්ජුන මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට පෙර මහින්දලා සුප්‍රකට මිග් යානා ගනුදෙනුව ඇතුළු මූල්‍ය අපරාධ ගණනාවකට චෝදනා ලත් හිටපු තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වාදීමට රාජපක්ෂලා ක්‍රියාකළ යුතු වගයි.

උදයංග වීරතුංගට ලංකාවට පැමිණ තමන්ලා මෙන්ම මෙම පරීක්ෂණයට මුහුණ දෙන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙයට පෙර උදයංගට දැනුම් දී තිබිණි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ද උදයංගගෙන් මෙම ඉල්ලීම කළ බව වාර්තා විය. කෙසේ හෝ අර්ජුන මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයට උදයංග සිද්ධිය ද සම්බන්ධ කළපසු දේශපාලනයේ හොඳින් තෙම්පරාදුවී සිටින මහින්ද ඌරාගේ මාළු ඌරා පිටම තබා කපන න්‍යාය අනුගමනය කරමින් උදයංග වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා දීමට අවශ්‍ය පියවර ගත්තේය. දැනට ඩුබායිහි රඳවා සිටින ඔහු එරට අධිකරණයේ අවසර ඇතිව කොළඹට පැමිණ උසාවියට භාරවන බව විශේෂ මෝසමක් මගින් ඔහුගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් උසාවියට දැන්වීය. ඒ අනුව ඉදිරි සතියේ උදයංග කොළඹට පැමිණෙනු ඇත. ඒ සමඟ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මහින්ද ආණ්ඩුවටත් අග්‍රාමාත්‍යවරයාටත් කියා සිටියේ තමන්ට දුන් අභියෝගය භාරගෙන තමා උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා දෙන බැවින් දැන් රජය තමන්ගේ අභියෝගය භාරගෙන මහබැංකු බැඳුම්කර මගඩියේ අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා දිය යුතු වගයි. හිටපු ජනපතිගේ මෙම අභියෝගයට රජය මෙතෙක් සාර්ථක පිළිතුරක් ලබාදී නැතත් මෙය ආණ්ඩුවේ හොඳකම පිරිසිදු කරගන්නට පැනගත යුතු වැදගත් කඩුල්ලක් බව නම් ඉතා පැහැදිලිය.

ආණ්ඩුවේ (එ.ජා.පයේ) සහ ඒකාබද්ධයේ මැති ඇමැතින් සියලු දෙනාගේ අවධානය මේ දිනවල යොමුව ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැනයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.පයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බව ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා එ.ජ.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීරලා ප්‍රකාශ කරති. ඒ අතර එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මහ ලේකම් අකිල මෙන්ම අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, මංගල සමරවීර ආදීහු ප්‍රකාශ කරති. නමුත් එ.ජා.ප. පසුපෙළ පවසන්නේ වෙනත් අපේක්ෂකයකු තෝරාගත යුතු බවයි. සමහරු සජිත් ප්‍රේමදාසගේ නමත් තවත් ඇතැමුන් කරු ජයසූරියගේ නමත් ඊටත් අමතර පිරිසක් අමාත්‍ය චම්පික රණවකගේ නමත් මෙහිදී යෝජනා කරන්නට පටන්ගෙන ඇත. නමුත් එ.ජා.පය තවමත් ඒ ගැන සිටින්නේ මතගැටුමකය. කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂවලින් ජනපති අපේක්ෂකයන් 3 ක් පමණ තරගයට එන බව දැනට පැහැදිලිය.
එ.ජා.පය මෙන්ම පොහොට්ටුවද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන මතගැටුමකට යොමුව ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකි නිසා අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව පොහොට්ටුව කණ්ඩායමේ සෑහෙන පිරිසක්ද ප්‍රකාශ කරති. එහෙත් වාසුදේව, කුමාර් වෙල්ගම ඇතුළු කිහිපදෙනෙක් ගෝඨාගේ නමට තවම එකඟත්වය පළකොට නැත. කෙසේ හෝ රාජපක්ෂ පවුලෙන් මේ සටන සඳහා ඉදිරිපත් කරන්නේ කවුද යන්න ගැන තීන්දුවක් ගන්නට මහින්ද රාජපක්ෂ මහතා නුගේගොඩ පිහිටි සිය සහෝදරිය වන ප්‍රීති චන්ද්‍රදාස මහත්මියගේ නිවෙසේ පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කරවීය. එහිදී රාජපක්ෂ පවුලේ අය මේ ගැන තීන්දුවකට එළඹුණ බව කියැවෙතත් තීන්දුව තවමත් රහසකි.

ඒ අතර ගිය සතියේ අම්පාර ප්‍රදේශයේ පැවති පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවකදී මේ ගැන ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගැනිණි. විමලවීර දිසානායක, සරත් වීරසේකර ආදී පළාතේ දේශපාලකයන් සහභාගි වූ මෙම හමුවේ මුලසුන ගත්තේ බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු මුලසුනේ සිටියදී සභාව ඇමතූ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා තමන්ගේ පෞද්ගලික කැමැත්ත ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය බැසිල් රාජපක්ෂ මහතාට ලැබීම යැයි කීය. සභාවේ සිටි පළාත් පාලන නියෝජිතයෝද එම අදහසට පක්ෂව ප්‍රතිචාර දැක්වූහ.

අනතුරුව සභාව අමතා කතා කළේ බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු පවත්නා දේශපාලන තත්ත්වය පැහැදිලි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපතිතුමාට ජනපති ඡන්දය ඉල්ලන්න තිබෙන අවස්ථාව අහිමි කළ බව කීය. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ හා තමන්ට විදේශ පුරවැසිකම් ඇතැයි කියමින් ඡන්දයට ඉදිරිපත් වීම වළක්වන්නට රජය නීති සම්මත කළ බව මතක් කළේය. ඒ සියල්ල සඳහා මැතිසබයේදී අත එසැවූවන් වන අතර ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ද වන බව ඔහු කීය. තමන් අදත් සිතන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු සුදුසුම අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් අපේක්ෂකත්වය ගැන මහින්ද රාජපක්ෂ මහතා සිය තීන්දුව ඉදිරියේදී ගන්නා බවද බැසිල් කීය.

මෙම රැස්වීම තබා ටික වේලාවකින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අම්පාරේ මන්ත්‍රී විමලවීර දිසානායකට දුරකතනයෙන් කතා කොට බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කළේ ඇයිදැයි විමසා පක්ෂය ඉදිරිපත් කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව නොදන්නේදැයි විමසීය. මෙම ප්‍රශ්නයෙන් කේන්ති ගත් විමලවීර මන්ත්‍රීවරයා තමන් විවෘතව ප්‍රකාශ කළේ තමන්ගේ පෞද්ගලික මතය බවත් ඕනෑම මන්ත්‍රීවරයකුට කිසියම් මතයක් දරන්නට ඉඩකඩ තිබිය යුතු වගත් කීය. අනතුරුව දෙදෙනා අතර මේ ගැන උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබිණි.

මෙම සිදුවීමෙන් සුළු වේලාවකට පසුව මහින්දානන්ද මතුකළ ප්‍රශ්නය ගැන විමලවීර මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාට දැන්වූ අතර ඒ වන විට බැසිල් සමඟ සිටි ඔහුගේ සමීපතමයෝද ඒ ගැන මහින්දානන්දට දොස් කීහ. තමන් විමලවීර මන්ත්‍රීවරයාගෙන් විමසූ ප්‍රශ්නයත් ඊට ඔහු දැක්වූ සැර ප්‍රතිචාරයත් නිසා කෝපයෙන් සිටි මහින්දානන්ද මේ කරුණ වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ පක්ෂයේ ඇතැමුන් නැති ප්‍රශ්න ඇති කරන බවට චෝදනාවක්ද නගමිනි. ඊට කන්දුන් මහින්ද රාජපක්ෂ මහතා ඊට පසුදා උදෑසනින්ම බැසිල් රාජපක්ෂ මහතා අමතා මේ ගැන ප්‍රශ්න කොට ඔහුගේ අනුගාමිකයන්ගේ මෙම කටයුතු නතර විය යුතු බව පෙන්වා දී ඇතැයිද දැනගන්නට ලැබිණි. මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන දැඩි ලෙස කේන්තියෙන් සිටි බව ඔහුගේ කතාවෙන් පෙනිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කළ අභියෝගයට අගමැතිවරයා පිළිතුරු දුන්නේ දිනකට පසුවය. තමන්ගේ රජය යටතේ සේවය කළ උදයංග වීරතුංගට තිබෙන චෝදනා නිසා ඔහු ගැන කෙරෙන නඩු විභාගය සඳහා උදයංගට මෙරටට පැමිණ වහාම නීතියට මුහුණ දෙන්නැයි තමන් දැන්වූ බැවින් අගමැතිවරයාගේ නිර්දේශය මත මහ බැංකු අධිපති පදවියට පත්වී දූෂණ චෝදනා ලත් අර්ජුන මහේන්ද්‍රන්ද වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි කළ අභියෝගයට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන් දැනට කිසිදු සබඳතාවක් නොපවත්වන අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා දීමට හැකියාවක් නැති බවයි. දැනටමත් ජාත්‍යන්තර පොලිසිය උදයංග ශ්‍රී ලංකාවට බාරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින්නේ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 16 දෙනාගේ කණ්ඩායම පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ හමුවිය. එහිදී මන්ත්‍රීන් 16 දෙනා සහ විමල්ලා අතර හමුව සුහදව පැවතුණි. රජයට මැතිසබයේ 2/3 අහිමිකොට ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම වැදගත් බව විමල් මෙම මන්ත්‍රීන්ට කීය. අනතුරුව ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ආදී ජ්‍යෙෂ්ඨයන් කීවේ මින් ඉදිරියට තම මන්ත්‍රීන් 16 දෙනා ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායමට එක්වන බවය. එසේම දැනට මැතිසබයේ සංයුතිය අනුව විපක්ෂ නායක පදවිය ඒකාබද්ධ විපක්ෂයට ලැබිය යුතු යැයි කී 16 දෙනා ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය ගැන සාකච්ඡා කළේය. එසේම එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් හදන්නට කටයුතු කළ යුතු යැයි ද තීරණයක් ගැනිණි.

මෙතෙක් දෙමළ සන්ධානය තුළ බෙදී සිටි සම්පන්දන් විපක්ෂ නායකවරයා සහ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා ගිය සතියේ සමගි වූහ. ඒ විග්නේෂ්වරන් විසින් ප්‍රකාශයට පත් කළ නීති ග්‍රන්ථයක් දොරට වැඩීමේ උළෙලකදීය. යාපනේ වීරසිංහම් ශාලාවේ පැවති මෙම උත්සවයට සම්පන්දන් මෙන්ම මන්ත්‍රී සුමන්තිරන් ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් එක්වූහ. මෙතෙක් විරසකව සිටි විග්නේෂ්වරන් - සම්පන්දන් සිය කතාවලදී පක්ෂ සමගිය ගැන කතා කළහ. සම්පන්දන් කීවේ නව ව්‍යවස්ථාව දිනාගන්නට අප සමගියෙන් සිටිය යුතුයි කියායි. එවිට හැඟීම් බරවූ විග්නේෂ්වරන් මහ ඇමැති කීවේ තමන් පක්ෂයට ද්‍රෝහී නොවන බවත් තමන්ට මේ දේශපාලන ගමන එන්නට උදව් කළ සම්පන්දන් මහතා තමන්ට දුන් අත සපාකන්නේ නැති බවත්ය. උත්සවයෙන් පසුව දිවා භෝජන සංග්‍රහයක් පැවති අතර සම්පන්දන් හා විග්නේෂ්වරන් එක තැන සිට දිවා ආහාර ගන්නට එක්වූහ. ඒ මොහොතේ තමන් වෙනුවෙන් තම ආරක්ෂක නිලධරයකු විසින් පිරිනැමූ දිවා ආහාර පිඟාන අසල සිටි මහ ඇමැති විග්නේෂ්වරන්ට පිරිනැමූ විපක්ෂ නායක සම්පන්දන් දෙදෙනා අතර සුහදතාව තහවුරු කරගත්තේය.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය බ්‍රහස්පතින්දා රජයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් විශේෂ පැමිණිල්ලක් බාර දුන්නේය. එමගින් ඔහු ඉල්ලා සිටියේ පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් වූ පසුගිය ජනාධිපතිවරණයට අදාළ පුවතක් ගැන පරීක්ෂා කරන ලෙසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කටයුතු සඳහා චීනයේ චයිනා හාර්බර් කෝපරේෂන් ආයතනය මගින් ඩොලර් ලක්ෂ 76ක පමණ මුදලක් ලබාදුන් බව එම වාර්තාවේ දැක්විණි. ඒ ආකාරයට විදේශ මුදල් ලැබුණේ හම්බන්තොට වරාය ඉදිකිරීම ඇතුළු චීන ගනුදෙනුවලට සන්තෝෂමක් ලෙස යැයි අදහස් කෙරෙන තොරතුරු ඇති බැවින් මේ ගැන වහා නීතිමය පියවර ගන්නැයි රන්ජන් රාමනායක මහතා පැමිණිලි කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කළ මේ චෝදනාව ගැන හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතා පිළිතුරු දෙමින් කීවේ මෙකී වාර්තාව අසත්‍ය සහ පදනම් විරහිත බවයි. තමන්ද මෙම වාර්තාව ලියූ මාධ්‍යවේදිනියට සත්‍ය තොරතුරු ලබාදුන් නමුත් ඒ තොරතුරු කිසිවක් පුවත්පත් වාර්තාවේ සඳහන් කර නැතැයිද හෙතෙම කීය. මාධ්‍ය හමුවක් පවත්වමින් ඒකාබද්ධයේ මන්ත්‍රී කාංචන විජේසේකර ඇතුළු පිරිසක් කියා සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ සඳහන් වන තොරතුරු රජයෙන් ලබාදුන් බව මාධ්‍ය වාර්තාවේම දැක්වෙන බවය. එය කෙසේ විශ්වාස කරන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය. එකල ඡන්ද සටනට නායකත්වය දුන් සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා සහ චයිනා හාර්බර් සමාගමෙන් මේ සඳහා කරුණු පැහැදිලි කරගත හැකි යැයිද ඔහු වැඩිදුරටත් කීය.

පසුගිය බ්‍රහස්පතින්දාට යෙදී තිබුණ ජන්ම දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ නිවසේ දේශපාලනඥයන්, කලාකරුවන් හා මාධ්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි. අබේගුණවර්ධන මහතා ගැන පසුගිය කාලයේ කාටුන් ශිල්පීන් විසින් අඳින ලද සිය ගණනක් වූ කාටුන් ප්‍රදර්ශනයක්ද මෙහිදී සිදුකළේය. මෙදින ඔහුට මෙරට දේශපාලනඥයන් විශාල පිරිසක් සුබ පැතූ අතර වසර තුනකට පමණ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුමනදාස අබේගුණවර්ධන මහතා අමතා උපන් දිනයට සුබ පතා ආශිර්වාද කළේය. දෙදෙනා අතර කලකට පෙර සිටම පැවති සබඳතා සිහිපත් කරමින් බොහෝ වේලා කතාබස් කොට සුමනදාස අබේගුණවර්ධනට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කළ මහින්ද රාජපක්ෂ මහතා පැරණි මිත්‍රකම අලුත් කරගත්තේය.
 
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර