2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ශ්‍රීලනිපයේ දහසය දෙනා විපක්ෂයට

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 224

♦ අමරවීරට දුමින්දට මැති ඇමැතිවිරෝධය 
♦ විපක්ෂය ආණ්ඩුවට මුක්කු ගැසීම ගැන මහින්දලාගෙන් හෙළිදරව්වක්  
♦ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා මෛත්‍රී මතගැටුමක  
♦ එ.ජා.පය කැබිනට් වර්ජනයක් ගැන කියද්දී ශ්‍රීලනිපය කැබිනට්ටුව වර්ජනයේ 
♦ එ.ජා.ප ප්‍රතිසංවිධානය ඇරඹෙයි: රවි, මංගල, කිරිඇල්ල නායකයා වෙනුවෙන් සටනක ♦ ලක්ෂ්මන් යාපාගේ නිවසේදී අන්තිම තීන්දුව ගත්ත හැටි

සිංහල අවුරුදු නිවාඩුව සඳහා මැතිසබයට සහ අමාත්‍ය මණ්ඩලයට නිවාඩු ලැබිණි. නැවත මැතිසබය කැඳවෙන්නේ අප්‍රේල් මස 19 දාය. එහෙත් වෙනදා නැති දේශපාලන උණුසුමක් මෙම අප්‍රේල් මාසයේ දක්නට ලැබේ. ඒකාබද්ධ විපක්ෂය පසුගියදා ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් පසුව අගනුවර ගෙන්දගම් පොළොවේ දේශපාලනය සන්සුන් වෙතැයි අපේක්ෂා කළද එවැනි තත්ත්වයක් දක්නට නැත. 

විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය තුළ විශ්වාසභංගයත් සමඟ හටගත් වාදභේද යහපාලන සම්මුතිවාදී රජය තීරණාත්මක මංසන්ධියකට තල්ලු කර ඇත. මෙයින් වඩාත්ම ගැටලුසහගත තත්ත්වය හටගෙන ඇත්තේ ශ්‍රී.ල.නි.ප මෛත්‍රී හිතවාදී කණ්ඩායම තුළයි. එයින් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් 16 දෙනා පසුගිය සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දින තුනේම රැස්වූ අතර සඳුදා රාත්‍රී 7.00ට ජනපති නිවෙසේ පැවැත්වෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට සූදානම්වීම මෙම හමුවීම්වල අරමුණ විය. සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුසන්ත පුංචිනිලමේ ආදී ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් බොහෝ දෙනකුගේ අදහස වූයේ තවදුරටත් රජය තුළ රැඳීසිටීමෙන් සිදුවන සුගතියක් නැති බැවින් වහාම විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන්ගත යුතු බවය. ඒ සමඟ මෙම කණ්ඩායමේ දැඩි විරෝධය එල්ල වූයේ එ.ජා.ප නායකත්වය රකින්නට ශ්‍රී.ල.නි.පය තුළ සිටිමින් ක්‍රියා කළ බවට ආරංචි පැතිරුණ ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර කෙරෙහිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙම කණ්ඩායමේ ඇමැතින් පිරිස වහාම මෙම දෙදෙනා දැනට දරන තනතුරුවලින් ඉවත් කළ යුතුයැයි ජනාධිපතිවරයාට දැන්වීය. ඒ ගැන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවෙන් පසුව කතා කරමුයැයි ජනපතිවරයා කීය. ඒ අතර එස්.බී. දිසානායක ඇතුළු ඇතැම් ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර තිබුණේ සමස්ත ශ්‍රීලනිපයම සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බවය.

එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම රැස්වෙමින් කතා කළ ප්‍රධාන මාතෘකා දෙකක් විය. ඉන් පළමුවැන්න සම්මුතිවාදී රජයේ සිටිමින් අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප කැබිනට් ඇමැතිවරුන් හා සෙසු අමාත්‍යවරුන් ආණ්ඩුවේ ඇමැති තනතුරු නොදැරිය යුතු බවය. මේ ගැන පාර්ලිමේන්තු කණ්ඩායමේදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න, මුජිබර් රහුමාන්, ආශු මාරසිංහ ඇතුළු මැති ඇමැතින් දැඩි ලෙස මෙම පිරිසට විරෝධය දැක්වූ අතර රාජිත කීවේ ඔවුන් ඊළඟ කැබිනට්ටුවට පැමිණියහොත් තමන් ඉන් නැඟිට යන බවය. කෙසේ හෝ මේ අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසකගේ අත්සනින් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැති පිරිසට හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිව විශ්වාසභංග යෝජනා 7 ක් බාරදුන්නේය. ඒ සමඟ සිද්ධිය ජනාධිපතිවරයාට වාර්තා වූ අතර ඔහු මේ ගැන දුරකතනයෙන් අගමැතිවරයාගෙන් විමසා තිබිණි. මේ ආකාරයට එ.ජා.පය ක්‍රියා කරන්නේ නම් මුළු ශ්‍රී.ල.නි.පයම සම්මුතිවාදී රජයෙන් ඉවත් වනු ඇත යන්න ජනපතිවරයාගේ අදහස වී තිබිණි. ඒ සමඟ වහා ක්‍රියාත්මක වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ තීන්දුවකින් තොරව විශ්වාසභංග බාරදුන් මන්ත්‍රීන්ට දොස් පවරා වහාම එම යෝජනා ඉවත් කරගන්නා ලෙස නියම කළේ විශ්වාසභංග බාරදී පැය දෙක තුනක් තුළය.

මේ අවුල මැද එ.ජා.පයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා 07 වැනි සෙනසුරාදා එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි. ඒ වනවිටත් එ.ජා.පයේ මහ ලේකම් කබීර් හෂීම් තනතුරින් ඉවත්ව සිටියේය. භාණ්ඩාගාරික එරාන් වික්‍රමරත්නද ඉවත් වූ අතර තමන්ද තනතුරින් ඉවත් වන බව පක්ෂ සභාපති මලික් සමරවික්‍රම දන්වා තිබිණි. පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා පැවති රැස්වීම තරමක උණුසුම් හමුවක් විය. පක්ෂයේ වැඩි පිරිසක් අගමැති රනිල් තවදුරටත් අඛණ්ඩව පක්ෂ නායකත්වය දැරිය යුතුය යන මතය අනුගමනය කළෝය. එහෙත් අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ හා හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු පක්ෂ නායකත්වයේ වෙනසක් නොකර ඊළඟ ජනාධිපතිවරණය ජයගත නොහැකියැයි කියා සිටියෝය. දයා ගමගේ, එස්.එම්. මරික්කාර් ආදී තවත් මැති ඇමැති පිරිසක් වක්‍රව එම අදහස් ප්‍රකාශ කළ අතර මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ හා පක්ෂ නායකත්වයේ සිටිය යුතු බවය. පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කළේ තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කරගැනීමට අදාළ කතාවකි. වසන්ත සේනානායකද විධිමත් ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පෙන්වා දී පිටත්ව යන විට රංගේබණ්ඩාරද පිටත්ව ගියේය. අනතුරුව පක්ෂයේ ඉහළ තනතුරු ගැන කතාබස් කෙරෙද්දී නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකළ යුතු යැයි රවී කරුණානායක යෝජනා කළ බව වාර්තා විය. එහෙත් සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා කීවේ තමන්ට අමතරව තවත් නියෝජ්‍ය නායකයන් පත්කෙරෙයි නම් තමන් කිසිදු තනතුරක් බාරනොගන්නා බවයි. ඒ සමඟ නව නියෝජ්‍ය නායකයන්ගේ යෝජනාව යට ගිය බව කියැවිණි.

ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් පක්ෂයේ දේශපාලන මෙහෙයුම් සඳහා පාර්ලිමේන්තු කණ්ඩායමේ රහස් ඡන්දයෙන් දේශපාලන මණ්ඩලයක් පත් කරගැනීමට තීන්දු කළේය. ඒ සඳහා සකස් කර තිබූ ඡන්ද පෙට්ටිවලට මන්ත්‍රීන්, ඇමැතින් ඡන්දය දී මෙකී දේශපාලන මණ්ඩලය පත් ක‍ළේය. සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, නවීන් දිසානායක ඇතුළු 12 දෙනෙක් ඊට පත්වූ අතර අප්‍රේල් 30ට පෙර නිමකරන්නට යන පක්ෂ ප්‍රතිසංවිධානයේදී ඉහළ තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීම එම මණ්ඩලය මගින් සිදුකරන බව ප්‍රකාශ කෙරිණි. මේ ආකාරයට එ.ජා.ප ප්‍රතිසංවිධානයේ මූලික වටය හමාරවීමෙන් පසු පක්ෂයේ මන්ත්‍රීන් හා ඇමැතීන් තැනින් තැනදී කළ ප්‍රකාශවලින් ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසතුට ප්‍රකාශ කර තිබීම විශේෂයකි. බන්දුලාල් බණ්ඩාරිගොඩ, අශෝක් අබේසිංහ, එස්.එම්. මරික්කාර්, අජිත් පී. පෙරේරා ආදී මැති ඇමැතිවරුන් තමන් අපේක්ෂිත ප්‍රතිසංවිධානය සිදුනොවූ බව සඳහන් කළෝය. බන්දුලාල් බණ්ඩාරිගොඩ ගාලු දිසා එ.ජා.ප මන්ත්‍රීවරයා කීවේ පක්ෂය ගැන ගමේ පාක්ෂිකයා කියන දේ හරියටම දැනගන්නට පක්ෂ නායකයන් වෙස්වලාගෙන ගමට ගොස් ජනතාවට සවන් දිය යුතු බවය. අශෝක් අබේසිංහ කීවේ තමන්ලා අපේක්ෂා කළ ප්‍රතිසංවිධානය සිදුනොවූ බවය. එස්.එම්. මරික්කාර් සඳහන් කළේ පක්ෂයේ ඉහළ තනතුරුවල ඔළුගෙඩි මාරැකිරීම ප්‍රතිසංවිධානය නොවන බවය. මේ ආකාරයට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු දියත් වෙද්දී ඒ ගැන මැති ඇමැතින්ගේ අසහනය හා අතෘප්තිය ප්‍රකාශ වූහ. එය දිනෙන් දින මෝරායන ලක්ෂණ පෙන්නුම් කෙරිණි. ඒ අතර එ.ජා.පයෙන් ජනාධිපතිවරයාට දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වූයේ විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් මැති ඇමැතින් 16 දෙනා රජයෙන් ඉවත් කරන හැටියටයි. එහෙත් ජනාධිපතිවරයා එ.ජා.පයට දන්වා තිබුණේ සඳුදා මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගැනීමට නියමිත බැවින් පසුව එය සාකච්ඡා කළ හැක කියාය. එහෙත් මෙම අමාත්‍යවරුන් ඉවත් කළද එම අමාත්‍ය පදවි ශ්‍රීලනිපයට අයත් බවද ජනපතිවරයා එ.ජා.පයට දන්වා තිබිණි.

පසුගිය කාලයේ එ.ජා.පයේ සිට තනතුරු අහිමිවූ රවි කරුණානායක හා විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ට ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය පදවි හිමිවන බව තිරය පිටුපස වාර්තා කියයි. රවි දිගින් දිගටම තමන්ට මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඊට එකඟතාව පළකර නැතැයි කියැවේ. ඒ නිසා ඔහුට වෙනත් අමාත්‍ය පදවියක් ලැබීමට ඉඩ ඇත. විජේදාස රාජපක්ෂ මහතාට නැවතත් අධිකරණ විෂය ලැබීමට ඉඩ ඇතැයි කියැවේ. ඒ සම්බන්ධව කෙරෙන සෙසු සංශෝධන ගැන එ.ජා.පය අවසන් තීරණයක් ගෙන නැත.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අවුරුදු නිවාඩුවට පෙර නිමකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ප්‍රකාශ කළද එය අවුරුද්දට පෙර සිදුකරන්නට ජනාධිපතිවරයා සූදානම් නොවීය. නව අමාත්‍ය මණ්ඩලය සැකසීමේදී විෂය කාර්යයන් විද්‍යානුකූලව බෙදාදීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවට තීන්දු විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරැදු නිවාඩුව නිමිත්තෙන් තංගල්ලේ කාල්ටන් නිවස වෙත පැමිණියේ පසුගිය අප්‍රේල් 08 වැනි ඉරිදාය. මහින්ද කවදත් ගමේ හිතවතුන් සමඟ අවුරුදු සැමරුමට එක්වෙයි. ඊට පෙර ඔහු සිය පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් කළේ විශ්වාසභංග යෝජනා විවාදයේදී දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. මෙහිදී අදහස් දැක්වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ අදහස වූයේ රටේ ප්‍රධාන විපක්ෂය ආණ්ඩුව වෙනුවෙන්, විශේෂයෙන්ම බැඳුම්කර වංචාවට අදාළ චෝදනා සාධාරණීකරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එබඳු විපක්ෂයකින් රටටත් ජනතාවටත් සෙතක් සිදුනොවන බවයි. පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය තම කණ්ඩායම වුවත් අද ආණ්ඩුව විසින් තෝරාගත් විපක්ෂයක් සිටින නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වී ඇතැයි කී මහින්ද මේ ආකාරයට ක්‍රියා කරන විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්විය යුතු යැයි කීය. මහින්දගේ මෙම යෝජනාවට දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ගේ අනුමැතිය පළවූ අතර එවන් යෝජනාවකට ශ්‍රී.ල.නි.පයේ විශ්වාසභංගයට පක්ෂ වූ මන්ත්‍රීන් හා ඇමැතින්ගේ සහාය ලැබෙන බව දන්වා ඇතැයි ප්‍රකාශ විය. අවුරුදු නිවාඩුවෙන් පසුව මේ ගැන ක්‍රියා කරන්නට දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායමකට මහින්ද විසින් වගකීම පවරනු ලැබීය. මෙම කතාබහෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මීගමුව බන්ධනාගාරයට ගියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සුවදුක් විමසීමටයි. මන්ත්‍රීවරයා හමුවී ඔහු සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජපක්ෂ මහතා අවධාරණය කළේ වත්මන් ජනපතිවරයා බලතල ඔහු අගමැතිවරයාට පූජාකර තිබෙන වගයි. අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාව මෙහෙයවන තත්ත්වයට රට පත්ව තිබීමෙන් හටගෙන තිබෙන දේශපාලන විකෘතිය ජනතාව අන්ද මන්ද කර ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.

පවත්නා අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ පසුගිය සඳුදා (9 දා) රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්විය. එම රැස්වීමට පෙර එදින උදෑසන විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් කණ්ඩායම රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ නිවසට රැස්ව සවස මධ්‍යම කාරක සභා රුස්වීමේදී ඉදිරිපත් කළ යුතු කරුණු ගැන සාකච්ඡා කළෝය. ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක හා එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර සමඟ තවදුරටත් ක්‍රියා කළ නොහැකි බව මෙම රැස්වීමේදී මැති ඇමැතිවරු දැඩිව අවධාරණය කළහ. තම කණ්ඩායම ස්ථිරවම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව රැස්වීමට පැමිණ සිටි 11 දෙනාම පැවසූහ. තිලංග, සුසිල්, සුමේධ ඇතුළු කිහිපදෙනෙක් විදේශගතවීම නිසා පැමිණ නොසිටියහ. අනතුරැව එදින පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව දැක්වීමටත් ඊට පෙර ඒ සම්බන්ධව ලිඛිතවම කරුණු දැක්වීමටත් ලක්ෂ්මන් යාපා නිවසේ රැස්වීමේදී තීන්දුවක් ගැනිණ. එස්.බී, ඩිලාන් ඇතුළු පිරිසක් එක්ව අදාළ ලිපිය සකස් කළෝය. අනතුරැව එය ලක්ෂ්මන් යාපා අතට පත් කළේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී කියවා බාරදෙන හැටියට දන්වමිනි.

අඟහරුවාදා රාත්‍රී 7.15ට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රුස්විය. ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාද පැමිණියාය. ජනාධිපතිවරයා මුලසුන ගත්තේය. මෙහිදී මූලික කාරණා ගණනාවක් කතා කිරීමෙන් පසු විශ්වාසභංග කතාව කරළියට පැමිණියේය. එවිට ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයකු වන අනුර යාපා අමාත්‍යතුමා නැඟිට යෝජනා කළේ විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය දුන් 16 දෙනා රජයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත යුතු බවයි. එම යෝජනාව එස්.බී. ස්ථිර කළ අතර යෝජනාවට අදාළ ලිඛිත හේතු දැක්වීම අමාත්‍ය ලක්ෂ්මන් යාපා විසින් සිදුකරන ලදී. මෙයින් පසු ඒ ගැන සාකච්ඡාව ඇතිවිය. මුලින්ම කතා කළ අතාවුද සෙනවිරත්න මහතා මෙම යෝජනාව ක්‍රියාත්මක කොට විපක්ෂයට යාම රාජපක්ෂලාට කඩේ යාමක් බවත් ඔවුන්ගේ ඔඩොක්කුවට වැටීම වරදක් බවත් පෙන්වා දුන්නේය. රෙජිනෝල්ඩ් කුරේද කීවේ දෙපක්ෂය එකමුතු ගමනක් යාම හොඳ වගයි. මෙහිදී වඩාත් සැර කතාවක් කළේ හිටපු ජනපතිනි චන්ද්‍රිකාය. චන්ද්‍රිකා සිය කතාවේදී ජනාධිපති මෛත්‍රීටද අමුතු කතාවක් කීවාය. “ජනාධිපතිතුමනි, මම යථාර්ථය කියලා දෙන්න කැමතියි ඔබතුමා එදා ඡන්දයේදී පොදු අපේක්ෂකයා හැටියට අපි තෝරගත්තම ඔබ ඡන්දය දිනුවෙ ඔයාගෙ පෞද්ගලික ජනප්‍රියත්වයක් නිසා නෙවේ එදා තිබුණ රාජපක්ෂ විරෝධය නිසා බව මතක තියාගන්න. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ඉතින් එහෙම හැදූ ආණ්ඩුව මේ වෙලාවෙ කඩාගෙන නොගිහින් අපි රට සංවර්ධනයට මුල්තැන දෙමු” යැයි කියද්දී දුමින්ද දිසානායක ඇසුවේ අපි විපක්ෂයට ගිහිල්ල කරන්නේ මොනවාද කියාය. ඊට පිළිතුරු දුන් දයාසිරි කීවේ ගිහිල්ල අපි පක්ෂය හදමු. එවිට දුමින්ද නැවත ප්‍රශ්න කළේ තමුන්නාන්සේලා පොහොට්ටුවට යන්නද හදන්නේ කියායි.

පොහොට්ටුව කියන්නෙ කවුද? ඒ ශ්‍රීලනිපයෙ මන්ත්‍රීවරුනේ. දයාසිරි නැවත කීය. අනතුරුව මහින්ද අමරවීර කීවේ පක්ෂය මෙලෙස පවත්වාගෙන ගියොත් අපට දිනන්න පුළුවන් යනුවෙනි. අනතුරුව ජනාධිපතිතුමා හිටපු ජනපතිනිය කී කතාවට පිළිතුරු දෙමින් කෙටි අදහස් දැක්වීමක් කළේය. “මට කනගාටුයි මැතිනිය මෙහෙම කතා කළ එක ගැන. පක්ෂයෙන් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් හිටිය නම් ඇයි 2015 මමම තෝරාගත්තෙ. එයා දාන්න තිබ්බනෙ. ඔබතුමියගෙ කාලෙ වැඩ කරපු හැටි, පක්ෂය ප්‍රතිසංවිධානය කරපු හැටි මම දන්නවා... ඒක මම කියන්නම්...” යැයි ජනාධිපති මහින්ද කියද්දී ඩිලාන් පෙරේරා කීවේ සර් මම මෙයාට උත්තර දෙන්නම් යනුවෙනි. ඩිලාන් ඒ සඳහා සැරසෙද්දී නැඟිසිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා තරහෙන් නැඟිට සභාවෙන් පිටව ගියාය. අනතුරැව කතා කළ ඩිලාන් පෙරේරා තම කණ්ඩායම ස්ථිරවම විපක්ෂයට යන බවත් එසේ ගිය පසු ඕන නම් විනය පියවර ගෙන පක්ෂයෙන් අස්කරන්න වුණත් ජනාධිපතිතුමාට පුළුවන් කියා මතක් කළේය.

කෙසේ හේ මේ ගැන සඳුදා රැස්වීමේ අවසන් තීරණයක් ගත නොහැකිව සිටියදී එස්.බී. දිසානායක මහතා යෝජනා කළේ අඟහරුවාදා ඇමැති මණ්ඩල රැස්වීම ශ්‍රීලනිප සියලු දෙනා වර්ජනය කරමු කියායි. එවිට අමරවීර මහතා කීවේ මේ අපේ සහෝදර 16 දෙනා බේරගන්න අපි පෙනීසිටිනවා යනුවෙනි. දුමින්ද දිසානායකද එම අදහසම කීය. ඊට පිළිතුරු දුන් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා කීවේ “අමුතුවෙන් තම කණ්ඩායම බේරාගැනීමක් අවශ්‍ය නොවන බවය. විශ්වාසභංගයෙන් පසු තම කණ්ඩායම තනතුරු දරන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ නේද? කියා ඔහු ප්‍රශ්න කළේය. කෙසේ හෝ මේ වාද විවාද මධ්‍යයේ ජනාධිපතිවරයා ඉදිරි තීරණ ගැනීම සඳහා නැවත බදාදා (11 දා) මධ්‍යම කාරක සභාව කැඳවීමට තීන්දු කළේය.

එහෙත් ඉන් පසුදා විශ්වාසභංගයේදී ඡන්දය දීමෙන් වැළකුණු පිරිස මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වෙනම රැස්වී සම්මුතිවාදී රජය තවදුරටත් එකටම ගෙන යාමට අවශ්‍ය යෝජනා මාලාවක් සකස් කළෝය. ඊට විශ්වාසභංගයට පක්ෂ වූ 16 දෙනාගේ සහාය ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට තීන්දුවක් ගත් අතර එය සම්මත කරගැනීම සඳහා දුමින්ද දිසානායක මහ ලේකම්වරයා මධ්‍යම කාරක සභිකයන්ට විශේෂ යෝජනා ඉදිරිපත් කළ බව සැලවිය. මේ කතාව පැතිරීමත් සමඟ ජනාධිපතිවරයා වහාම මධ්‍යම කාරක සභාවේ 11 දා (බදාදා) රැස්වීම අවලංගු කොට ආණ්ඩුවෙන් යන්නට තීන්දු කළ ඇමැතිවරුන් ඇමතීය. ඔවුන් රජයෙන් ඉවත් වන්නට ගත් තීන්දුව අනුර යාපා, ලක්ෂ්මන් යාපා, එස්.බී. දිසානායක ඇතුළු පිරිස විස්තර කළ විට ජනපතිවරයා එදින මධ්‍යම කාරක සභාව රැස්නොවන බැවින් බදාදා රාත්‍රී 7.00ට එකී මැති ඇමැති 16 දෙනාට තමන් හමුවන ලෙස දැන්වීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු වාර දෙකකට ගිය බදාදා ජනපතිවරයා මුණගැසීමට ගියහ. තවදුරටත් එ.ජා.පය සමඟ රජයේ කටයුතු කළ යුතු යැයි කියන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ආදීන් කණ්ඩායමක් සවස 3.30ට ජනපතිවරයා මුණගැසිණි. ඔවුන් මුණගැසී සාකච්ඡා කළේ අලුතෙන් සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ විෂය පථයන් වෙන්කරගැනීම සම්බන්ධයෙනි. ඊට පෙර මහින්ද අමරවීරලා විශ්වාසභංගයට පක්ෂ වූ අනුර යාපා, එස්.බී. සහ දයාසිරිට කතා කොට තවදුරටත් එ.ජා.පය සමඟ සම්මුති ආණ්ඩුවෙ සිටින්නට යෝජනා කළ ද මේ සියල්ලෝම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළෝය.

අනතුරුව රාත්‍රී 7.00ට ආණ්ඩුවෙන් යන්නට තීන්දු කළ 16 දෙනා ජනපති නිවසට කැඳවනු ලැබූහ. එයින් සුසිල් ප්‍රේමජයන්ත මහතා විදේශගතව සිටි අතර සුමේධා ජයසේන හා ටී.බී. ඒකනායක මහත්ම මහත්මීන් ගම්ප්‍රදේශවල උත්සව සඳහා ගොස් සිටියත් තමන් පොදු තීන්දුවට එකඟ බව ඔවුහු දැන්වූහ.

ජනපතිවරයා සමඟ තිබූ කතාබහ සුහද විය. මුලින්ම කතා කළ ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා අගමැතිට විරුද්ධව ඡන්දය දී රජයේ සිටීම සදාචාර සම්පන්න නොවන නිසා තම කණ්ඩායම රජයෙන් ඉවත් වන බව කීය. අනතුරුව ඒ ගැන මධ්‍යම කාරක සභා තීන්දුවක් අවශ්‍යදැයි එස්.බී. ඇසූ අතර මේ ගැන කල්තබා මධ්‍යම කාරක සභාවට දන්වා ඇති බැවින් අමුතු අවසරයක් අවශ්‍ය නැතැයි බහුතරයේ අදහස විය. දයාසිරි එහිදී කීවේ මෙය ශ්‍රීලනිපය එකතු කිරීමේ තීරණාත්මක ගමනක් බවයි. අනතුරුව අනුර යාපාද තමන් වසර 39 ක් ශ්‍රීලනිපයේ ලද අත්දැකීම් ගැන කීය. පසුව ජනාධිපතිවරයා මේ අයට රජයෙන් ඉවත්වන්නට අවසර දෙමින් සුබ පැතූ අතර යන්නට පෙර තමන් සමඟ රාත්‍රී භෝජනයකට එක්වන්නැයි ඇරුයුම් කළේය. තෝසේ, නූඩ්ල්ස් හා ගෝදම්බ රොටි ඇතුළු දේශීය ආහාරවලින් සමන්විත රාත්‍රී භෝජනයෙන් පසු මේ මැති ඇමැති පිරිස සමුගත්තේ එදින රාත්‍රී 12.00ට තමන් රජයෙන් ඉවත් වන බව ලිඛිතව දන්වමිනි.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර