2018 මාර්තු 17 වන සෙනසුරාදා

නුවර ගැටුම් දුරදිග ගිය හැටි ගැන ගෝඨාභයගෙන් ඉඟියක්

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 506

♦ ගැටුමේ අගමුල අගමැති මහ නාහිමිවරුන්ට පහදයි 
♦ ඇමැති බදියුදීන්ගේ කෙරුවාවට මල්වතු මහනාහිමියෝ දොස් නගති 
♦ රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ෆීල්ඩ් මාර්ෂල්ට ඇමතුමක්  
♦ රංජිත් සොයිසා විශ්වාසභංගයට අත්සන් එකතු කරයි 
♦ තිලක්, මලික්, ස්වාමිනාදන්ට වසන්ත සේනානායක දෙහි කපයි  
♦ මුස්ලිම් ඇමැතිලාට ආණ්ඩුවේ ඉන්න ලැජ්ජලු

 

මහනුවර හටගත් අරගලය දුරදිග නොගොස් සන්සිඳවාගන්නට ලැබීම නිසා රජය යම් අස්වැසිල්ලකට පත් විය. අහඹු සිද්ධියක් දුරදිග යාමෙන් හටගත් අනවශ්‍ය ආරවුල අමෙරිකා එක්සත් ජනපද තානාපති අංශ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආදී ජාත්‍යන්තර වේදිකාවලද සාකච්ඡා විය. ආණ්ඩුවේ සිටින එ.ජා.පයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙන්ම හවුල්කාර පක්ෂ වන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් ද සඳහන් කළේ මුස්ලිම් ජනතාවට මීට වඩා ආරක්ෂාවක් සපයන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එස්.එම්. මරික්කාර් හා මුජිබර් රහමන් දැඩිව ප්‍රකාශ කළේ තමන්ට මේ රජයේ තවදුරටත් සිටීම පවා ලජ්ජාසහගත බවයි. රවුෆ් හකීම් මහතාද ඒ ගැන රජයට දැඩිව ෙදාස් නැගීය.

නුවර ආරවුල මධ්‍යයේ ආණ්ඩුව තවත් විශේෂ තීරණයක් ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ තිබූ නීතිය හා සාමය අමාත්‍යාංශය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පවරන්නට තීන්දු කළේය. එහෙත් ඒ වන විට එම අමාත්‍ය ධූරය බාරගන්නට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සූදානමින් සිටියේය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා සපථ කොට ප්‍රකාශ කර සිටියේ ෆොන්සේකා මහතාට එම අමාත්‍ය පදවිය පිරිනමන බවයි. එහෙත් ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව එ.ජා.පයේ ඇතැම්හුද ෆොන්සේකා මහතාට මෙම පදවිය ලබාදීමට එකඟ නොවූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් වූ ෆොන්සේකා මහතාගේ නම වාර හතරක්ම ඔහු ප්‍රතික්ෂේප කොට එ.ජා.පයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුගේ නමක් එවන්නැයි අගමැතිවරයාට දැන්වූ බව සැලවිය.

අවසානයේ වාර ගණනාවක්ම මෙම තනතුර ප්‍රතික්ෂේප කළ මද්දුමබණ්ඩාර මහතාට එය පිරිනැමිණි. සරත් ෆොන්සේකා මහතා තමන්ට සාධාරණය ඉටුනොවූ බවට සැර ප්‍රකාශ නිකුත් කරද්දී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නව පදවියේ රාජකාරි අරඹා ෆොන්සේකා මහතාට දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ අවස්ථාවේ මද්දුමබණ්ඩාර මහතා සරත් ෆොන්සේකා මහතාට කීවේ “සරත් මම මේක ඉල්ලල ගත්ත දෙයක් නෙවේ... ආණ්ඩුව මට පවරපු වගකීම නිසා ඒක ඉටුකරනවා”... කියාය. අනතුරුව ආනන්ද විද්‍යාලයේ උගත් මෙම මිතුරන් දෙදෙනා අතර සුහද කතාබහක් ඇතිවූ බව දැනගන්නට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සති අන්තයේ ඉන්දියාව බලා පිටත් වූයේ ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුව ඇමතීම සඳහාය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ප්‍රංශ ජනාධිපති මැක්රෝන් මහතා ද ඊට එක්වූහ. ජනාධිපති සිරිසේන මහතා ඉන්දියාවේ දී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා මුණගැසුණේය. මෝදි මහතාගේ සාකච්ඡාව ඉතාමත් සියුම් දේශපාලන කාරණා හා සම්බන්ධ වී තිබූ බව නවදිල්ලි ආරංචි මාර්ග කියයි. මෙම කතාබහේ දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකළේ ශ්‍රී ලංකාවේ චීන ආයෝජන වේගයෙන් ක්‍රියාත්මක වීම සහ ඉන්දීය ආයෝජන ප්‍රමාදය ගැනයි. ත්‍රිමලේ තෙල් ටැංකි යාය මෙන්ම සාම්පූර් ගල්අඟුරු බලාගාරය සම්බන්ධව අදහස් හුවමාරු වී තිබේ. ශ්‍රී ලංකාවේ චීන සබඳතා තරවීම ගැන ඉන්දීය නායකයා මෙම කතාබහේ දී එතරම් සතුටක් නොදැක්වූ බව අප වෙත වාර්තා වෙයි.

රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා ද ශ්‍රී ලංකා ජනපතිවරයා මුණගැසුණේය. එහිදී ශ්‍රී ලංකා නායකයා බලයට පත්වූ පසු රට තුළ සාමය හා සංහිඳියාව ඇතිකිරීමට ගත් පියවර අගය කළේය. ශ්‍රී ලංකා නායකයා පරිසරයට අනුගත සංවර්ධන ක්‍රියාවලියට දක්වන සහයෝගය ගැන ඉන්දීය ජනපති සිය ප්‍රසාදය පළ කර තිබිණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කොළඹ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා ද එක් විය. සාකච්ඡාව අවසානයේ තමන් ළඟදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බවද රාම්නාත් කෝවින්ද් ජනපතිවරයා සඳහන් කළේය.

මේ හැර නවදිල්ලියේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් විශේෂ පුද්ගලයකු ද මුණගැසුණේය. ඒ කලකට පෙර මෙරට මාධ්‍යයේ පුවත් මැවූ නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම්ය. ඔහු දැන් නෝර්වේ රට නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන්වල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස කටයුතු කරයි. ඔහු ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළේ කලාපීය පාරිසරික ප්‍රශ්න ගැනයි. ජනාධිපතිවරයා මෙම කතාබහ අතරතුර අතීතයේ සෝල්හයිම්ගේ සාම භූමිකාව සිහිපත් කරමින් ශ්‍රී ලංකාවට එදා කළ උදව්පදව්වලට ස්තූති කළේය. අනාගතයේ දී අපේ පාරිසරික ගැටලු විසඳාගැනීමට සහය දෙන මෙන් ජනපතිවරයා ඉල්ලා සිටියේය.

අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත් වූයේ එරට ආණ්ඩුවෙන් ලද ආරාධනාවක් අනුවය. ටෝකියෝ නගරයේ සුපිරි ඉම්පීරියල් හෝටලයේ ජනාධිපතිවරයාට සහ දූත පිරිසට නවාතැන් සපයා තිබිණි. ගිය අඟහරුවාදා ජපාන ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබුණේ එදින දහවල් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් ජනපති නවාතැන් ගත් හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බවය. ඒ අනුව ක්‍රියාත්මක වූ ජපාන ආරක්ෂක අංශ උද්ඝෝෂකයන්ට කතා කොට දැඩි අවවාද ලබාදී එම උද්ඝෝෂණය අත්හිටුවීය. එහෙත් උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමක් තිබිණි. තම කණ්ඩායමට ජනපති සිරිසේන හමුවීමට අවශ්‍ය යැයි ඒ අය ජපාන බලධරයන්ට දැන්වූහ. අනතුරුව ජනාධිපති සිරිසේන මහතාගේ උපදෙස් මත උද්ඝෝෂණ කණ්ඩායමේ 10 දෙනකුට හෝටලයට පැමිණ ජනාධිපතිවරයාට සිය ප්‍රශ්න ඉදිරිපත් කොට සාකච්ඡා කරන්නට අවසර ලැබිණි. එසේ පැමිණි ජපානයේ මුස්ලිම්වරු මහනුවර සිද්ධිය ගැන සාකච්ඡා කළෝය. තම ජනතාවට ආරක්ෂාව සමඟ ආර්ථිකය ගොඩනගාගන්නට අවශ්‍ය සහාය දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඊට එකඟ වූ ජනාධිපතිවරයා සිංහල මුස්ලිම් සමගිය පළුදු වී නැති බවත් සුළු පෞද්ගලික සිදුවීමක් දුරදිග යාමෙන් සිදුවූ ආරවුල ගැනත් විස්තර කර ඇතැයි සඳහන්ය.

අනතුරුව ඔහු ජයන්ති සිරිසේන මහත්මිය සමඟ ජපාන රජ මැඳුරට ගොස් අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ කුමරිය මුණගැසුණේය. අධිරාජයා සහ ජනපතිවරයා අතර සාකච්ඡාවේ දී දෙරට අතර අතීත සබඳතා ගැන සාකච්ඡා විය. තමන් 1981 ශ්‍රී ලංකාවට පැමිණි ගමන සිහිපත් කළ අධිරාජයා එවර ජනතාවගෙන් ලැබුණ ඉහළ පිළිගැනීම අගය කළේය. තම රට අසීරු අවස්ථාවල ශ්‍රී ලංකාව සහාය දුන් අයුරින්ම අනාගතයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදෙන බවද සඳහන් කළේය. අනතුරුව ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ මහතා මුණගැසී කළ සාකච්ඡාවේ දී දෙරට අතර ආයෝජන ව්‍යාපෘති සහ ආර්ථික අවස්ථා ගැන පුළුල් අවධානය දැක්විය. ජපානය ඉන්දියාව හා එක් කරන්නට යන ද්‍රවගෑස් විදුලිබලාගාරය සම්බන්ධයෙන් තීරණ ගත් බවද සඳහන්ය. ජනාධිපතිවරයාගේ චාරිකාවේ තවත් විශේෂ අංගයක් වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශයට පත් හිරෝෂිමා නගරය නරඹන්නට යාමය. හිරෝෂිමාවේ සෑහෙන කාලයක් ගත කළ ජනපතිවරයා ලෝක යුද්ධයෙන් සිදුවූ විපත දැකබලාගත්තේය. සිය ජපාන සංචාරය නිමවා මෙම 18 දා ශ්‍රී ලංකාවට පැමිණෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 22 දා නැවත පකිස්ථාන ජාතික දිනයට සහභාගි වීම සඳහා පකිස්ථානයේ තුන්දින චාරිකාවකට එක්වෙයි.
මේ සතියේ ජනාධිපතිවරයා කොළඹ නොමැති නිසා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ නැත. මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් සිය ගම් ප්‍රදේශවලට ගොස් සිටියහ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් නැවත අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන බව සඳහන් කළේය. ඊට අදාළව ඔවුන් යම් යම් වැඩකටයුතු සිදුකළ බවද තිරය පිටුපස  වාර්තා කියයි. ඒ අයට තිබූ ප්‍රධානම ප්‍රශ්නය වූයේ මෙම යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අත්සන් කරන්නේ ද යන ගැටලුවයි. එසේම එ.ජා.ප මැති ඇමැතින්ගේ අත්සන් කිහිපයක් ගත යුතු යැයි ද යෝජනා වී තිබිණි.

මුලින්ම ඒකාබද්ධයේ නියෝජිත පිරිසක් ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පාර්ශ්වයේ එස්.බී. දිසානායක ඇතුළු කණ්ඩායමක් සමඟ සාකච්ඡා කළෝය. එහිදී මේ සඳහා ශ්‍රී.ල.නි.පයේ අත්සන් බහුතරයක් ලැබෙන බවට සහතිකයක් ලැබිණි. අත්සන් නොකර සිටිනු ඇත්තේ ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් තුන් හතර දෙනකු පමණක් බව ශ්‍රී.ල.නි.ප. පාර්ශ්වය දක්වා තිබිණි. අනෙක් සියලු දෙනාගේ අත්සන් ලැබෙන බව ශ්‍රී.ල.නි.ප. නියෝජිතයෝ පැවසූහ. මෙම යෝජනාව අගමැතිවරයාට එරෙහිව මිස රජයට එරෙහිව ඉදිරිපත් වන්නක් නොවිය යුතු යැයි ද එම පිරිස ඒකාබද්ධයට දැන්වූහ. 

ඉදිරි සතියක පමණ කාලය තුළ ඊට අත්සන් එකතු කිරීමේ කාර්යය පවරනු ලැබුබේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාටයි. ඒ අනුව රංජිත් ගිය සතියේ කොළඹ රැඳී සිටි මන්ත්‍රීන් 40කගේ පමණ අත්සන් එකතු කරගත්තේය. ශ්‍රී.ල.නි.ප.යේ අත්සන් වෙනම ලේඛනයකට ගන්නා බව ශ්‍රී.ල.නි.ප. පාර්ශ්වය දැනුම් දී තිබිණි. අත්සන් එකතු කිරීමේ කාර්යය සිදුවන අතරතුර විශ්වාසභංගයෙන් පසු ගත යුතු පියවර ගැනද දෙපක්ෂය දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බව සඳහන්ය. දෙපක්ෂය ඊට අදාළ පොදු වැඩපිළිවෙළකට එකඟ වී ඇතැයි ඒකාබද්ධය කියයි. මේ ගැන එ.ජා.ප.යේ රැඩිකල් මන්ත්‍රීන් සමඟ අදහස් හුවමාරුවකට ඒකාබද්ධය සැලසුම් කර තිබිණි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය තම පක්ෂ නායකයාට එරෙහිව ගෙන එනවාය කියන විශ්වාසභංගයට එ.ජා.ප. මන්ත්‍රීන් අත්සන් කිරීම සිදුනොවනු ඇතැයි පොලිටිකල් රහස් තීරයට අදහස් දැක්වූ එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයෙක් කීය. එ.ජා.ප. අගමැතිවරයා ඉවත් කොට ශ්‍රී.ල.නි.ප.යෙන් කෙනකු ගෙන ඒමට සිය මන්ත්‍රීන් කිසිසේත්ම එකඟ නොවනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

එහෙත් එ.ජා.ප.යේ රැඩිකල් මතධාරීන් තමන්ගේ විවේචන තවමත් අවසන් කර නැත. මේ සතියේ පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාය. ඡන්ද පහක් ගන්නට බැරි ජාතික ලැයිස්තු ඇමැතිලා ලෙස තිලක් මාරපන, මලික් සමරවික්‍රම හා ඩී.එම්. ස්වාමිනාදන් වැන්නන් හැඳින්වූ ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ යාළුවන් නිසා පාර්ලිමේන්තු ආ මොවුන්ගෙන් පක්ෂයට කිසිදු ප්‍රයෝජනයක් නැති බව කීය. කැබිනට් වෙනස දේශපාලන සෙල්ලමක් ලෙස හැඳින්වූ සේනානායක මහතා ඊට වඩා ප්‍රබල වෙනසක් පක්ෂය තුළ සිදුවන තෙක් අරගලය ගෙන යන්නේ යැයි කීය. ඒ අතර වැඩිපුර මාධ්‍යයට මත නොදක්වන හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම දැඩි සජිත් ප්‍රේමදාසවාදියකු වන දිලිප් වෙදආරච්චි මහතා පසුගියදා සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට එය ජයග්‍රහණය කළ හැකි නව අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවය. නව නායකත්වයක් යටතේ පක්ෂය පුබුදුවන බවද දිලිප් අමාත්‍යවරයා කීය. ඒ සමඟ පාරම්බාන පොහොට්ටු පරාජය කර දමන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

මේතාක් කල් වැඩි සද්ද බද්දයකින් තොරව සිටි දිලිප් අමාත්‍යවරයා රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක වැනි රාජ්‍ය ඇමැතිවරුද මන්ත්‍රී මයන්ත දිසානායක වැනි අයද පක්ෂයේ ඉහළ තලයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන කරන සැර කතා නිසා එ.ජා.ප.යේ කිසියම් සසල වීමක් හටගෙන තිබේ. ඊට අමතරව මෙම සටහන ලියන අවසන් මොහොතේ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ආරංචි වුණේ දැනට අත්සන් කෙරෙන විශ්වාසභංග යෝජනාවට එ.ජා.ප. රජය නියෝජනය කරන මන්ත්‍රීන් දෙදෙනකු හෝ තිදෙනකු සංකේතාත්මකව අත්සන් කරන බවයි. මෙම අත්සන් කළ දෙදෙනා 2015 දී යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල කැපකිරීමක් කරන දෙදෙනකු බව දැනගන්නට ඇත. එසේම ශ්‍රී.ල.නි.ප.යේ ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශ්වයේ සිටින දුමින්ද දිසානායක, විජිතමුණි සොයිසා, මහින්ද සමරසිංහ හා ආචාර්ය සරත් අමුණුගම යන අමාත්‍යවරුන් ද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් නොතබනු ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් මේ අය සිය අවසන් තීන්දුව ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ සිට කොළඹට පැමිණි පසුව බව කියැවේ.

කොළඹ මෙම කටයුතු සිදුවෙද්දී හදිසියේම මේ සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර බලා පිටත්ව ගියේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසීමටයි. උන්වහන්සේලා සමඟ අග්‍රාමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාව සඳහා කිසිදු පාර්ශ්වයක් එක් නොවූ අතර එම කතාබහේදී මහනුවර ගැටුමට අදාළ සංවේදී කාරණා ගණනාවක් සාකච්ඡා වූ බව දැනගන්නට ඇත. මහනුවර ගැටුමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධද යන කාරණය ගැන අගමැතිවරයා සහ මහ නාහිමිවරුන් අතර සාකච්ඡා වූ බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ දින ගණනාවක්ම ගත කළේ තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශයේය. ආගමික ස්ථාන විවෘත කිරීම් පින්කම් හා මංගල්‍ය උත්සව ගණනාවකට සහභාගී වීමට යෙදී තිබූ බැවින් ඔහු එහි ගොස් සිටියේය. එහිදී වාර ගණනක් මාධ්‍ය කළ විමසීම්වලට පිළිතුරු දුන් මහින්ද මහනුවර ගැටුම තුළින් පිළිඹිඹු වන්නේ ආණ්ඩුවේ නොහැකියාව සහ අකාර්යක්ෂමභාවය යැයි සඳහන් කළේය. ආණ්ඩුවේ නායකයන් නිසි තීරණ හරි වේලාවට ගන්නේ නම් ගැටුම වළක්වාගන්නට ඉඩ තිබූ බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණෙන දේශපාලන නායකයන් ආගමික ප්‍රධානීන් සහ ප්‍රබල ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනකු දැන් ඔහුගෙන් විමසන්නේ 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. බොහෝ දෙනා ගෝඨාභයගෙන් විමසන්නේ ජනාධිපතිවරණ අපේක්ෂක ඔබද කියායි. මෙම ප්‍රශ්නය නැගීමට හේතුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ ආදී මන්ත්‍රීන් පසුගියදා මාධ්‍යයට කියා තිබූ කතාවකි. ඔවුන් ඍජුවම කියා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස 2020 තරග කරන්නේ ගෝඨාභය බවයි. එහෙත් ගෝඨාභයගෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන විමසන කිසිදු අවස්ථාවක ඔහු ඒ කරුණ සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබානොදී පවසා තිබුණේ “තවම ඡන්දයක් ප්‍රකාශ කරලා නැහැනේ. ආවම පක්ෂය තීන්දුවක් ගනීවි.” කියාය. එහෙත් පක්ෂය තමන් ඉදිරිපත් කරන්නට අවශ්‍ය බවට තීන්දු කළහොත් එම තීන්දුව පිළිගන්නා බවත් ගෝඨාභය කියා තිබුණි. ඒ අතර දැනට අමෙරිකානු පුරවැසිභාවය දරන ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකීය අමෙරිකානු පුරවැසිකම ඉවත් කරගන්නට දැනටමත් අයදුම්කර ඇත.

ඔහු පසුගිය සතියේ කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගී වූ අතර එහිදී මහනුවර ගැටුම ගැන තමන්ගේ මතය විවෘතව ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය ඇතුළු සමාජ ප්‍රභූන්ගේ අවවාද අනුශාසනා රජය නිරන්තරයෙන් ලබාගෙන කටයුතු කළේ නම් මහනුවර ගැටුම වළක්වා ගන්නට ඉඩකඩ තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී සඳහන් කළේය. මේ තත්ත්වය නිසා අද බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කරනවා යැයි කීම ව්‍යවස්ථා පොතට පමණක් සීමාවූ කාරණයක් වී ඇතැයි හෙතෙම චෝදනා කළේය.

ෆේස් බුක් තහනම වහා ඉවත් කළ යුතු යැයි මතුවූ උද්ඝෝෂණයේ දී රජයේ මැති ඇමැතින් ගණනාවක්ම රටේ පනස් හය ලක්ෂයක් පමණ ජනතාව පරිහරණය කරන ෆේස් බුක් තහනම ඉවත් කළ යුතු යැයි කීය. මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගික අදහස්  පළකළේ අමාත්‍ය චම්පික රණවකය. ඔහු කීවේ මෙම මාධ්‍යවලින් අසත්‍ය බොරු ප්‍රචාරය කරනවා නම් බොරුව බොරුව යැයි රටට කියන්නට රජයට වැඩපිළිවෙළක් තිබිය යුතු වගය. ඒ සඳහා ද ෆේස් බුක්, ට්විටර් මාධ්‍ය භාවිත කළ හැකි යැයි කී චම්පික අමාත්‍යවරයා මේ කටයුතු නියමානුකූල කිරීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ රජය ගෙන ආ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත උපයෝගී කරගත හැකි යැයි පැවසීය. එහි විධිවිධාන මගින් වෛරී ප්‍රකාශන පාලනය කළ යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය. රාජපක්ෂ රජය කාලයේ වෛරී ප්‍රකාශන පනත නමින් වාසුදේව අමාත්‍යවරයා ගෙන ආ පනතද ඊට ගැලපෙන්නේ යැයි කී අමාත්‍යවරයා එම පනත ගෙන ඒම විශාල වශයෙන් ආධාර ලබන එන්.ජී.ඕ. නඩය විසින් වළක්වනු ලැබූ බව පැවසීය.

කලකට පසු මහනුවර ගැටුම නිසා දස දිනකට පනවන ලද හදිසි නීතිය බලපවත්වන කාලය 16දායින් හමාර විය. එහෙත් ඒ ගැන මාධ්‍ය නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස පත්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ෙබාෙහා්විට සිකුරාදා රාත්‍රි හදිසි නීතිය හමාරවන බවයි.  

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ගිය බ්‍රහස්පතින්දා මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවේය. මහනුවර ගැටුම හා සිංහල මුස්ලිම් සමගිය ගැන අමාත්‍යවරයා සහ මහනාහිමියන් අතර අදහස් හුවමාරැවේදී අමාත්‍ය මුස්තාපා මහතා කීවේ බහුතර සිංහල ජනතාව තුළ හෝ මුස්ලිම් ජනතාව තුළ ජාතිවාදය නැති බවය. මෙය කිහිපදෙනකුගේ ක්‍රියාවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. එවිට අමාත්‍යවරයාට කරුණු දැක්වූ මහනාහිමියෝ තමන් ඉතා හොඳින් දන්නා කුරුණෑගල රිදීගම එකම පාසලේ සිංහල - දෙමළ හා මුස්ලිම් දරුවන් ඉතා සමගියෙන් ඉගන ගත් නමුත් රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයා මැදිහත්ව මුස්ලිම් ළමුන්ට වෙනම පාසලක් හදාදීම හේතුවෙන් ගමේ සමගියට බාධා එල්ල වූ බව කියමින් අමාත්‍ය බදියුදින්ගේ ක්‍රියාකලාපය විවේචනය කළහ. දේශපාලනඥයන් මෙන්ම පොදු ජනතාවද ජාතික සමගිය වෙනුවෙන් කැපවිය යුතු බව උන්වහන්සේ පවසන විට අමාත්‍ය මුස්තාපා කීවේ සිංහල, දෙමළ, මුස්ලිම් පාසල් කියා වෙනම පාසල් වර්ග අවශ්‍ය නොවන බවයි. පසුව මල්වතු මහනාහිමියන් සඳහන් කළේ මාවනැල්ලේ මුස්ලිම් දරුවකු පන්සලක මහණවී සිටි බවත් මුස්ලිම්වරුන්ගේ බලපෑමෙන් ඔහු සිවුරු හැර ගිය බවත්ය. ඒවා ජාතික සමගියට උරදෙන සිදුවීම් නොවන බව කියමින් උන්වහන්සේගේ දේශපාලනඥයන් ජාතිවාදය වෙනුවට ජාතික සමගිය එකමුතුකම වෙනුවෙන් ක්‍රියාකළ යුතු බව තරයේ පෙන්වා දුන්හ.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00