2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

රවීගේ මීළඟ පිම්ම

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1083

  • එක්දින විවාදය බොරුවක් යැයි ජනපතිගෙන් චෝදනා
  • බැඳුම්කරේ පාපිස්ස යට දැම්මේ නැතැයි රනිල් කියයි
  • ආණ්ඩු හදන්න කතා කරන්නේ ලණුවක් දෙන්නයැයි මහින්ද පවසයි
  • ජනපතිගේ හමුවට විපක්ෂය නැහැ
  • කලාකරුවන් පිරිසක් සමඟ ජ.වි.පෙ. ඡන්ද සටනේ
  • අගමැති, ජනපති, කතානායක ජනපති නිවසේ විශේෂ හමුවක

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් සතියට එළඹෙත්ම දේශපාලනය වඩාත් උණුසුම් වී ඇත. මහ ඡන්දයකට වඩා උග්‍ර සටනක් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ හඳුනාගත හැකිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොරකමට වංචාවට හා දූෂණයට එරෙහිව සටන් කරන බව කියමින් දේශපාලන වේදිකාවේ කරන වේගවත් කතා දැඩි ප්‍රකාශවලින් පිරී තිබේ.

හොරුන් තක්කඩින් අවීචි මහා නරකාදියට යා යුතු යැයි සඳහන් කළ එතුමා පක්ෂ පාට පුද්ගල තරාතිරම නොබලා වැරදි කළ අයට එරෙහිව ක්‍රියාකරන බව පැවසීය. දේශපාලනයේ සදාකාලික සතුරන් හා මිතුරන් නැතැයි කී ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීන් තමා හා එක්වන්නේ නම් ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන් 96 දෙනා සමඟ ආණුඩුවක් හදන්නට සූදානම් යැයි රත්නපුරේදී කීය. එහෙත් ඊට ඒකාබද්ධය පැත්තෙන් ලැබුණේ අමිහිරි පිළිතුරුය. ඉන් අනතුරැව හඟුරන්කෙතදී ජනාධිපතිවරයා සඳහන් කළේ රාජපක්ෂ කල්ලිය සමඟ සිටින අය තමන් සමඟ ආණ්ඩු හදන්නට නොඑන බවයි. කෙසේ වෙතත් ජාතික ධනය කොල්ලකන හොරුන්ට එරෙහි සටන දිගටම ගෙන යන බවද ජනපතිවරයා කීය.

පසුගිය දස වසර තුළ මේ රටට පැවැති ආණ්ඩු ලබාගත්, රුපියල් ට්‍රිලියන 10ක පමණ විදේශ ණය මුදල්වලින් රටේ ඉතිරිව ඇති වත්කම ට්‍රිලියනයක් පමණ යැයිද ඉතිරි ට්‍රිලියන 9 අතුරුදන් යැයිද ඔහු පැවසීය. මෙම ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ කැළඹීමට සමත් වූ ප්‍රකාශයකි. ඒ ගැන මුදල් අමාත්‍යංශයෙන් මෙන්ම මහ බැංකුවෙන්ද ජාත්‍යන්තර මාධ්‍ය විමසීම් කළ බව දැනගන්නට ලැබිණි.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ හා විපක්ෂ ප්‍රධානීන්ට අභියෝග කළේ නැතිනම් බැඳුම්කර මගඩිය හා වංචා දූෂණ කොමිසමේ වාර්තා ඡන්දයට පෙර විවාදයට ලක්කරන හැටියටයි. විපක්ෂයේ සහ ආණ්ඩුවේ චෞර සන්ධානයක් එක්වී මෙම විවාද දෙක ඡන්දයෙන් පසුවට කල් දමාගත් ආකාරය ගැනත් ඒ ගැන පැවැත්වූ රහසිගත රැස්වීමක තොරතුරුත් තමා සතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. කෙසේ හෝ ජනාධිපතිගේ ප්‍රකාශයෙන් දිනකට පසු මැතිවරණ ප්‍රචාරක රැළි ගණනාවක් ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ බැඳුම්කරය ගැන පාපිස්ස යට දමා සඟවන්නට දෙයක් එ.ජා.ප.යට නැති බවය. එබැවින් පෙබරවාරි 08දා පාර්ලිමේන්තුව කැඳවා බැඳුම්කරය හා වංචා දූෂණ වාර්තා දෙක විවාද කරන ලෙස තමන් කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සඳුදා හදිසියේම ජනාධිපති කාර්යාලයට දේශපාලන පක්ෂනායකයන් කැඳවීය. මෙම විශේෂ හමුවට ජනපතිවරයාගේ නියමය අනුව නීතිපතිවරයා අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහ බංකු අධිපතිවරයාද පැමිණ සිටියහ. ශ්‍රීල.නි.ප.ය එ.ජා.ප.ය ඇතුළු ආණ්ඩුවේ පක්ෂ ගණනාවක නායකයන් ඊට එක්වුවද ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂ එම හමුව වර්ජනය කළේය.

කෙසේ වුවද පැමිණි පක්ෂ නායකයන් හමුවේ නීතිපතිවරයා, මහ බැංකුවේ අධිපතිවරයා සහ අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි කාලයේ බැඳුම්කරය හා විශේෂ වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා ගැන ගනු ලබන පියවර විස්තර කළහ. ශ්‍රී ලංකා මහ බැංකුව කොමිෂන් සභා නිර්දේශ අනුව ක්‍රියාත්මක කළ යුතු නව සැලසුමක් ආරම්භ කළ බව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කළේය. කෙසේ වෙතත් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටු ගණනාවක් අඩු බවට කෙරෙන ප්‍රකාශය සාවද්‍ය බව පැවසූ නිලධාරීහු රහස්‍ය භාවය සුරැකිය යුතු ලිපි ලේඛන පමණක් හෙළිදරව් කර නැතැයි කීහ. කෙසේ හෝ ජනපතිගේ මෙම රැස්වීම වර්ජනය කළ ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණේ මෙබඳු රැස්වීම් තැබීමට වඩා මැතිසබා විවාදය වැදගත් බැවින් රැස්වීම්වලට පැමිණීම අනවශ්‍ය බවය. ඒකාබද්ධ විපක්ෂය විශේෂයෙන් කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ගැන විශ්වාසයක් නොමැති බැවින් රැස්වීම වර්ජනය කළ වගයි.

මැතිසබය කල් තබා කැඳවා බැඳුම්කර වාර්තාව සහ වංචා දූෂණ කොමිෂන් වාර්තාව ඡන්දයට පෙර විවාද කිරීමට ගත් තීන්දුව ගැන කතානායක කරු ජයසූරිය මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර අදහස් හුවමාරු වූ බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයට ප්‍රසිද්ධියේ කීවේ තමන්ට රජය විසින් පාර්ලිමේන්තුව කැඳවීම නැවැත්විය නොහැකි බවයි. එසේ වුවත් ඡන්ද ප්‍රචාරක කටයුතු හමාර වී දින දෙකක නිහඬ කාලයක් ගත කරන බැවින් එම කාලයට වැටෙන 8දා මෙම විවාදය නොකරන්නේ නම් හොඳ බව මැතිවරණ කොමිසමේ සභාපතිගේ මතය බව සඳහන් විය. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන්ගේ අදහස 8දාට දින දෙක තුනකට පෙර මෙකී විවාදය පැවැත්විය යුතු බවය. එවිට මෙම කොමිෂන් වාර්තා ගැන ජනතාවට හොඳින් දැනුම්ත් විය හැකි යැයි මහින්ද කීය.

මේ ආකාරයට කොමිෂන් වාර්තා ගැන මැතිසබා විවාදය පිළිබඳ මත ගැටුමක් හට ගනිද්දී කතානායක කරැ ජයසූරිය මහතා පසුගිය අඟහරුවාදා දේශපාලන පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා මැතිසභා විවාදය පැවැත්වීම ගැන සාකච්ඡා කළේය. එම රැස්වීම සඳහා එ.ජා.ප.යේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, දෙමළ සන්ධානයේ සුමන්තිරන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා මහාචාර්ය රාජන් හූල් ද අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.ඒ. මොහොමඩ් මහතාද එක්ව සිටියෝය. එහිදී කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේ ඉදිරි පළාත් පාලන ඡන්දය සාධාරණව පැවැත්වීමට ඡන්ද කොමිසම ගන්නා ක්‍රියාමාර්ග අගය කරමින් එම ක්‍රියාවලියට හානිකර නොවන ලෙස නීතියේ හැටියට විවාදය පවත්වා ගෙන යා හැකි නම් හොඳ බවය. දිනේෂ් ගුණවර්ධන, විජිත හේරත් හා මහත්වරුද ඡන්දයට දින ගණනකට පෙර විවාදය පැවැත්විය හැකි බව කීහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම විවාදය ඡන්දයට පෙර පවත්වන ලෙස ඉල්ලා ඇති බැවින් ඊට සුදුසු දින යෝජනා කරන්නැයි පසුව පක්ෂනායකයන්ට කීය. එහෙත් පෙබරවාරි 08දා වනවිට ප්‍රචාරක කටයුතු නිමවා ඇති නිසා එහි පවතින නීතිමය බාධා ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු දැක්වීමෙන් පසු පෙබරවාරි 06 දින පාර්ලිමේන්තුව කැඳවිය හැකිදැයි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටීමට තීන්දු කළේය. ඒ අනුව කතානායකවරයා රැස්වීම අතර අග්‍රාමාත්‍යවරයාගෙන් ඒ ගැන විමසීය. අග්‍රාමාත්‍යවරයා 06දා මැතිසබය කැඳවීමට එකඟ වූ නිසා එදිනට බැඳුම්කරය හා බරපතළ වංචා දූෂණ කොමිසමේ වාර්තාව ගැන විවාදය පැවැත්වීමට තින්දු විය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ බැඳුම්කරය හා සෙසු කොමිෂන් වාර්තා ගැන කරන එක්දින විවාදය ඇස්බැන්දුමක් කියාය.

මේ අාකාරයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ඡන්ද වේදිකාවලින් පසුගිය දිනවල ඇසුණ සැර දේශපාලන කතා බෙහෙවින් ආන්දෝලනයට ලක් විය. ආණ්ඩුවේ හොරකම්, තක්කඩිකම්, නීතිමය ක්‍රියාදාම පමණක් නොව ආර්ථිකය අගාධයට යාම ගැන ද ප්‍රකාශ අසන්නට ලැබිණි. මෙය රටක් ලෙස ඉදිරියට යාමට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව සංවේදී දේශපාලනය ගැන හොඳින්ම දන්නා කතානායක කරු ජයසූරිය මහතාට දැනගන්නට ලැබිණි. මධ්‍යස්ථ මතධාරී නායකයකු ලෙස සැලකෙන කරු ජයසූරිය මහතා ඇමතූ දෙස් විදෙස් හිතවතුන්, තානාපතිවරුන්, ව්‍යාපාරිකයන් ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ කුමක්දැයි විමසන්නට වූහ.

පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක් බව වටහාගත් කතානායකවරයා මේ ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට සමථයක් ඇති කිරීමට කල්පනා කළේය. අනතුරුව ඔහු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකට මුණගැසීම සඳහා වේලාවක් ඉල්ලුවේ මේ සතියේ මුලදීමය.

කතානායකවරයාගේ ඉල්ලීම අනුව අඟහරුවාදා උදෑසන ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවෙසට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාටත් කතානායකවරයාටත් ඇරයුම් ලැබිණි. ඉතා සුහද හමුවක් වූ මෙහිදී නායකයන් දෙදෙනා ඉදිරියේ කරු කියා සිටියේ වත්මන් යහපාලන රජය ගෙන ඒමට සෝභිත නායක හිමියන් සමඟ පෙරමුණ ගත් කෙනෙක් ලෙස රජය හරිපාරේ ගමන් කරනු දැකීම තම අපේක්ෂාව බැවින් දෙදෙනාගේම සැර කතාවලින් ගැටලුසහගත තත්ත්වයක් උද්ගත වන බවය. මේ ගැන තානාපතිවරුන් වාණිජ මණ්ඩල ආදියත් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බැවින් වැඩිහිට වගකිවයුත්තකු ලෙස මේ තත්ත්වය සමනය කරගන්නා ලෙස ඉල්ලා සිටින වගද කරු ජයසූරිය මහතා කීය. මෛත්‍රී සහ රනිල් කරුගේ අදහස පිළිගත් අතර එහි වැදගත්කම දෙදෙනාම අනුමත කළෝය. එහෙත් මෙම සුහද හමුවෙන් පසුවත් දේශපාලන වේදිකාවලත් ඉන් බැහැරවත් දෙපක්ෂයෙන් නිකුත් වන සැරකතාවල අඩුවක් දක්නට නොලැබිණි.

එ.ජා.ප.යේ උපනායක පදවිය දරන රවි කරැණානායක මහතාට පසුගිය කාලයේ ඔහු දැරූ අමාත්‍ය පදවිය අහිමිවූයේ බැඳුම්කර කොමිසමේ සාක්ෂි පදනම් කරගෙනය. කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් තුන් හතර දෙනෙක් හැර ඉතිරි බොහෝ දෙනා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරන්නට වූයේ රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක පදවියෙන් ඉවත් කළයුතු බව කියමිනි. රවි බැඳුම්කරය ගැන තවදුරටත් කරන ප්‍රකාශ පක්ෂයට හිතකර නොවන බව ඔවුනගේ මතය විය. ඒ නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී පක්ෂය තුළ සිටින බැඳුම්කර සිද්ධියට වගකිව යුත්තන් ගැන පියවරක් ගැනීමට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළේය. එම කමිටුවේ නිර්දේශ කවරේද යන්න පසුගිය අඟහරුවාදා අරලිය ගහ මැඳුරට රැස්වූ එ.ජා.ප. අමාත්‍යවරැන්ගේ හමුවේදී අමාත්‍ය මාරපන ප්‍රකාශ කර ඇත. මාරපන කමිටුවේ නිර්දේශය වූයේ රවි කරුණානායක මහතාට චෝදනා එල්ල වී තිබෙන නිසා ඔහු දැනට දරන පක්ෂයේ උපනායක ධුරයෙන් ඉවත්විය යුතු බවයි. එසේම පක්ෂයේ ප්‍රධාන මහජන කටයුතුවලින් කලකට ඉවත්ව සිටීමද හොඳ බව එම කමිටුව නිර්දේශ කර තිබේ. මේ ගැන තොරතුරු අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරැව අග්‍රාමාත්‍යවරයා රවි කරුණානායක මහතා කැඳවා කමිටු නිර්දේශය දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත. එහෙත් කරුණානායක මන්ත්‍රීවරයා පක්ෂ උපනායකත්වයෙන් ඉවත්වීම ගැන එහිදී එකඟත්වය පළකර නැතැයිද නිල නොවන වාර්තා කියයි. කෙසේ හෝ මැතිවරණයට පෙර ඒ ගැන තීන්දුවක් ගත යුතු යැයි එ.ජා.ප. පසුපෙළ තරුණ මන්ත්‍රීන් පක්ෂයට බලපෑම් කරන නිසා රවි කරැණානායක මන්ත්‍රීවරයා සම්බන්ධව එ.ජා.ප.යට තීන්දුවක් ගන්නට සිදුවිය.

ඉන්පසු රවි කරුණානායක මන්ත්‍රීවරයා අරලියගහ මැඳුරට කැඳවූ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ ඔහුට තිලක් මාරපන කමිටුවේ වාර්තාව දැනුම් දුන්හ. බැඳුම්කර කොමිසමෙන් එල්ල කර තිබෙන චෝදනා සම්බන්ධව නිරවද්‍යභාවය තහවුරු කරගන්නා තෙක් රවි එ.ජා.ප.යේ තනතුරු දැරීමෙන් වැළකිය යුතු යැයි මාරපන කමිටුව කියා ඇති බව සඳහන් කළවිට රවිගේ මතය වූයේ බැඳුම්කර කොමිසම තමන් නිර්දෝෂ කර ඇත යන්නයි. මේ ගැන අගමැති මෙන්ම කබීර් හෂීම් මහලේකම්වරයාද තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුද රවිට කරුණු කීවද ඔහු ඒවා පිළිගත් බවක් නොපෙනුණි. ඇතැම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සමඟ ඔහු පෞද්ගලිකව කියා තිබුණේ තමන් මෙම තත්ත්වය යටතේ එ.ජා.ප.යේ සිටිම ගැනත් තීන්දුවක් ගතයුතු වගයි. කෙසේ වුවත් තමන් ඉවත්වන්නට පෙර හෙළිකළ යුතු කරුණු හෙළිකරන වගත් ඔහු සඳහන් කර තිබිණි. රාජිත චම්පික කබීර් වැනි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් රැසක්ම මේ ගැන රවි සමඟ කතා කළත් පලක් නොවූ තැන මහලේකම් කබීර් නිවේදනයක් නිකුත් කරමින් රවි පක්ෂයේ තනතුරු නොදැරිය යුතු බවට මාරපන කමිටුව ගත් තීන්දුව රටට දැනුම් දුන්නේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ දිනවල දිවයින පුරා මහජන රැළි අමතමින් විපක්ෂයේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය වේගවත් කර ඇත. පසුගියදා එරාවුර් මුස්ලිම් ජනතාව හමුවී ඔවුන් සමඟ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වූ මහින්ද මේ සතියේ යාපනයටද ගොස් ඡන්ද ප්‍රචාරක කටයුතුවලට දායක විය. දිවයිනේ ඔහුගේ ප්‍රචාරක රැළිවලදී හොඳ ජනතා ප්‍රතිචාරයක් හිමිව ඇති නිසා මහින්ද පසුගිය කාලයේ ජනතාව හමුවේ ආණ්ඩුව නගන චෝදනාවලට ඍජුව පිළිතුරු දීමේ ක්‍රමයක් අනුගමනය කළේය. මෙතෙක් කලක් ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයාව විවේචනය නොකළ මහින්ද දැන් ඒ දෙදෙනාගේ තර්ක විතර්කවලට ඍජුවම සිය ඡන්ද වේදිකාවේදී පිළිතුරැ දීම ආරම්භ කර තිබේ. අනූ හයදෙනා සමඟ ජනාධිතිවරයාට එක්වී ආණ්ඩුවක් හදන්නට කතා කිරීම දේශපාලන නාට්‍යයක කොටසක් යැයි කී මහින්ද තමන්ගේ පක්ෂයට පසුගිය මහ මැතිවරණය ආසන්නයේ ඇතැමුන් ලණු දුන්නා සේ මෙවරත් ලණු දෙන්නට හදන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා රටට ලැබුණ වත්කම් අතුරුදන් වී ඇතැයි කළ චෝදනාවට පිළිතුරු දුන් මහින්ද ආණ්ඩුවේ ලොක්කන් බිලියන ට්‍රිලියන අඳුනන්නේ නැතැයිද ජාත්‍යන්තරයෙන් රටට ලැබුණු වත්කම්වලින් තමන්ගේ ආණ්ඩුව කාලයේ සිදුකළ දේ මහ පොළොවේ දැක බලාගන්නට පුළුවන් යැයිද කීය. රාජ්‍ය නායකයන් රටේ වත්කම් අතුරුදන් වන බව කීමෙන් ජාතික ආර්ථිකය තවත් බරපතළ අර්බුදයක් කරා තල්ලුවන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය. තමන් ආර්ථිකය විනාශ කළ බවට චෝදනා කරන වත්මන් රජය පසුගිය අවුරුදු තුනේ කළේ කුමක්දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ මහතා බෝක්කුවක්වත් හදාගන්නට බැරි වූ ආණ්ඩුව රට කොටින්ගෙන් නිදහස් කරගෙන ජනතාවට සංවර්ධනය ළඟාකර දුන් තම ආණ්ඩුවට නගන අභූත චෝදනාවලට ජනතාව 10 දා පිළිතුරු දෙනු ඇතැයිද කීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජ.වි.පෙ. ක්‍රියාකාරීන් විසින් පසුගියදා මහරගමදී වෙනසක ඇරඹුම නමින් ජාතික කථිකාවක් ආරම්භ කළේය. ඒ සඳහා කලාකරුවන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ජ.වි.පෙ. හිතවතුන් එක්ව සිටියෝය. ජිප්සීස් නායක සුනිල් පෙරේරා මෙවර ජ.වි.පෙ. වේදිකාවට පිවිස සිටී. නළු චන්න පෙරේරා සංගීතඥ නදීක ගුරුගේ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ආදී පසුගිය කාලයේ යහපාලන වේදිකාවේ සිටි චරිත ගණනාවක්ම මෙවර ජ.වි.පෙ. මහජන කථිකාවේ සම්පත් දායකයන්ව සිටිති. මෙහිදී රැස්ව සිටි පිරිස අමතා කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා රට කරවන ශ්‍රීල.නි.ප. - එ.ජා.ප. දෙකේම ක්‍රියාකාරීත්වය මුලින් දැඩි විවේචනයට ලක් කළේය. එක්සත් ජාතික පක්ෂය දැන් රට හදා ඉවර බවත් ගමේ බලය ඔවුනට දෙන හැටියටත් මේ ඡන්දයේදී ඉල්ලා සිටියත් ඔවුන් පසුගිය වසර තුනේ රට හැදුවා නොව විනාශයට පත්කළ බව ජ.වි.පෙ. නායකයා කීය. ජාතික සම්පත් කොල්ලකෑම ඔවුන් මහ ඉහළින් කළ බව හෙතෙම පෙන්වා දුන්නේ සාධක ගෙනහැර දක්වමිනි.

මෙවර ඡන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදන්නේ පරාජයෙන් බේරීමට පක්ෂය නොබෙදී තබාගන්නට යැයි කී අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා අද එකක් කියන බවත් හෙට තවත් එකක් කියන බවත් සඳහන් කළේය. එනිසා ඔහුගේ දේශපාලනය ගැන කියන්නට දෙයක් නැති බව අනුර කීය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්න මේ ඡන්දයෙන් ජනවරමක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටින වග සඳහන් කළ හෙතෙම පළාත් පාලන ඡන්දයෙන් අගමැතිවරැ පත් කිරීමට කතා කිරීම විහිළු කතාවක් යැයි කීය. රාජපක්ෂලාගේ කෙරුවාව තවමත් ජනතාවට අමතක නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ දිනවල රටපුරා ඡන්ද ප්‍රචාරක රැළි අමතමින් සිටී. දකුණේ මෙන්ම උතුරේද වතුකරයේද රැස්වීම සඳහා අගමැතිවරයා එක්විය. රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජයේ පාලන ක්‍රමය ගැන පසුගියදා කෝට්ටේදී කදිම විග්‍රහයක් කර තිබිණි. එහිදී ඔහු ප්‍රකාශ කළේ වත්මන් රජයේ පාලනය හරියට මුහුණ බලන කණ්ණාඩියක් මෙන් විවෘත බවයි. හැමදෙයක්ම විවෘත බැවින් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් දැක බලාගන්නට පුළුවන් යැයි හෙතෙම සඳහන් කළේය. වත්මන් රජය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු කළ අතර නීතියේ ආධිපත්‍යය සමාජ සමානාත්මතාව ස්ථාපිත කළ වගද අගමැතිවරයා කීය. විශේෂයෙන්ම රජය ඇතිකළ ස්වාධීන කොමිෂන් සභා නිසා ජනතාවට මහත් සේවයක් සිදුවූ ආකාරය අග්‍රාමාත්‍යවරයා විස්තර කළේය. මේ ආණ්ඩුවේ කාටත් නීතිය සාධාරණව ක්‍රියාත්මක  වන වග කී අගමැතිවරයා බැඳුම්කරය ගැන විපක්ෂය මොනතරම් සද්ද බද්ද කළත් රජය එම පරීක්ෂණ යට නොගහා විනිවිදභාවයෙන් සිදුකළ ආකාරය විස්තර කළේය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඒ තරම් ගැඹුරු විෂයන්ගෙන් පිරී නොතිබිණි. මැතිවරණ සමය නිසා මැති ඇමැති සහභාගීත්වයද අඩු මට්ටමක පැවතුණි. මෙහිදී වංචා දූෂණ අක්‍රමිකතා වැනි විශේෂිත අපරාධ නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවක් අනුමත කෙරිණි. අමාත්‍ය මණ්ඩලය මෙවර ගත් ප්‍රධානම තීන්දුව එයයි. ඒ අනුව අදාළ අණපනත් ඉතා ඉක්මනින් ගෙනැවිත් මාර්තු මාසය හමාර වනවිට මෙම අධිකරණ ස්ථාපිත කිරීම රජයේ අරමුණයි. මෙම තීරණය ඇතුළු තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ගණනාවක් අනුමත කළ අමාත්‍ය මණ්ඩලය ඉක්මනින් විසිර ගියෝය.‍

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර