2018 ජනවාරි 06 වන සෙනසුරාදා

බැදුම්කරෙන් ඡන්ද වේදිකාවේ අාළු යට ගිනි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

ගිය ආණ්ඩුවේ දූෂණ සිද්ධි 17කුත් විමර්ශනයට  
අගමැති කාර්යාලයෙන් නිවේදනයක්  
ජනපතිගේ කඩුවෙන් කැපෙන අය ගැන හැරිසන්ගේ අනාවැකිය 
දුමින්දගේ අනතුරු ඇඟවීම නොතකා ශ්‍රීලනිප මන්ත්‍රීලා පොහොට්ටු මීටිමේ   
බන්දුල - අනුර බැඳුම්කරෙත් අරන් රට වටේ 
ඇමැති දිවුරුම කල්දැමූ ජනපති බැඳුම්කර ප්‍රකාශය සැකසූ හැටි 
රවි දේශපාලන කඩඉමේ තනිවෙයි

 

 

 

 

 

 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රධාන පක්ෂ විසින් දියත් කරන ලද්දේ මේ සතියේය. ශ්‍රී.ල.නි.පය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ අපේක්ෂක හමුවක් පවත්වා තිබුණ ද අලුත් අවුරුද්දත් සමඟ ප්‍රචාරක කටයුතු වේගවත් ‍කෙරිණි. එ.ජා.පය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මන්ත්‍රීන් හා ආසන සංවිධායකයන්ගේ හමුවක් පවත්වා ප්‍රචාරක කටයුතු වේගවත් කළ යුතු ආකාරය ගැන උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව පක්ෂය) සුගතදාස ක්‍රීඩාංගණයට සිය අපේක්ෂකයන් කැඳවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂක හමුවක් පැවැත්වීය. එහිදී පොහොට්ටුවේ ඡන්ද අපේක්ෂකයන් යහපත් මැතිවරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් වූ විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම විශේෂයකි. පොහොට්ටුවේ මංගල ඡන්ද රැස්වීම මෙම සතියේ සෙනසුරාදා මහර ආසනයේ කඩවත දී පවත්වන්නට සැලසුම් කර තිබිණි.

මෙම දේශපාලන කතාවලටත් වඩා සමාජයේ පුළුල් අවධානයක් යොමු වී ඇත්තේ මෑත කාලයේ සිදු වූ බරපතළ මුල්‍ය වංචාව ලෙස සැලැකෙන මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙනි. මාස 11 ක් තිස්සේ සිදුකළ විමර්ශනය අවසන් කර පසුගිය 30 දා පිටු 1257කින් සමන්විත වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා එම වාර්තාවත් රැගෙන එදිනම පොළොන්නරුව බලා පිටත්ව ගියේය. තම උපදේශකයන් සමඟ වාර්තාවේ කරුණු හැදෑරීමෙන් පසු පසුගිය සඳුදා තමන් හමුවීමට පැමිණෙන්නැයි ජනාධිපතිවරයා නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතාට දැන්වීය.

ඒ අතර දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ගණනාවක් රජයෙන් ඉල්ලා සිටියේ බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ ගැන මුලින්ම ඉල්ලීමක් කර තිබිණි. රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු ක්‍රියාදාමයක් නිසා මැතිසබය මේ ගැන දැනගත යුතුය යන්න ජ.වි.පෙ නායකයාගේ මතය විය. එසේම කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවහාර කාරක සභාව වෙනුවෙන් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට දැනුම් දී තිබුණේ බැඳුම්කරය ගැන මුලින්ම කරුණු විමර්ශනය කළේ කෝප් කමිටුව නිසා වහාම එම වාර්තාවේ පිටපතක් කෝප් සභාවට ලැබිය යුතු බවය. අනතුරුව ජ.වි.පෙ විසින් ජනාධිපති ලේකම්වරයාට භාරදුන් විශේෂ ලිපියක් මගින් (තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව) ඉල්ලා සිටියේ තමන්ට බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙසය. පොහොට්ටුව වෙනුවෙන් ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය මන්ත්‍රී කණ්ඩායමට කියා තිබුණේ මෑත ඉතිහාසයේ සිදු වූ විශාලම මුල්‍ය වංචාව ලෙස සැලැකෙන බැඳුම්කරය ගැන රජය ගන්නා පියවර දැඩි ලෙස නිරීක්ෂණය කොට අවශ්‍ය ප්‍රතිචාර දැක්විය යුතුය කියායි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බැඳුම්කර වාර්තාව ගැන මුලින්ම ප්‍රකාශයක් කළේ පී. හැරිසන් ඇමැතිවරයා විසිනි. ඔහු කීවේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටු ගණන වැඩිවූවාට තම පක්ෂය ඊට කිසිසේත්ම බිය නැති බවය. ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහුගේ කඩුවෙන් කැපී යන්නේ එ.ජා. පාක්ෂිකයන් නොව ශ්‍රී.ල.නි.පයේ සිට පොහොට්ටුව පක්ෂයට සහාය දෙන්නන් බවද හෙතෙම සඳහන් තිබිණි. එ.ජා.පය බැඳුම්කරය ගැන කොමිසමේ දී අවශ්‍ය සාක්ෂි ආදිය ලබා දී ඊට සහාය දුන් වග අමාත්‍ය හැරිසන් විශේෂයෙන් කීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැඳුම්කරය ගැන මුලින්ම අදහස් දැක්වූයේ ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා විසිනි. ඔහු කීවේ බැඳුම්කර වාර්තාව මගින් දූෂිත පුද්ගලයන් ගැන හෙළිදරව් වුවහොත් ඔවුන් ගැන පියවර ගැනීම ජනාධිපතිවරයාගේ වගකීම කියාය.

මේ ආකාරයට බොහෝ පක්ෂ මේ ගැන මත දැක්වුවද රටේ ප්‍රධාන විපක්ෂය ලෙස පෙනී සිටින දෙමළ සන්ධානය ඒ ගැන කිසිවක් සඳහන් නොකිරීම කැපී පෙනේ. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දී තිබුණේ මේ ගැන රජය ස්ථාවරයක් ගන්නා තෙක් නොයෙක් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසයි. කෙසේ හෝ ගිය සඳුදා සවස ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූ නිවේදනයක් මගින් කීවේ බදාදා දිනයේ බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපතිවරයා රටට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින්නේය යන පුවතය. ඒ ගැන සමාජයේ දැඩි අවධානයක් යොමුවන බව පෙනෙන්නට තිබිණි.

ගිය බදාදා කලින් සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරයා බැඳුම්කරය ගැන සිදුකිරීමට අපේක්ෂා කළ ප්‍රකාශය සඳහා විශේෂයෙන් සූදානම් විය. බැඳුම්කර වාර්තාව අධ්‍යයනය කොට ඒ ගැන ගත යුතු ඉදිරි නීතිමය පියවර කවරේදැයි සාකච්ඡා කිරීමට මුලින්ම ගිය සඳුදා නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ නිවසට පැමිනුනි. නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජනාධිපතිවරයා මෙම වාර්තාවේ පිටපත් ඔහුට භාර දී අවශ්‍ය ඉදිරි කටයුතු කරන්නැයි මූලික වශයෙන් උපදෙස් දුන් බව වාර්තා වෙයි. මෙහිදී නොපමාව අදාළ නඩු කටයුතු ආරම්භ කළ යුතු යැයි උපදෙස් දුන් බවද වාර්තා වෙයි.

අඟහරුවාදා වසරේ මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා මුණගැසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර දෙදෙනාට අමතරව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද පැමිණියේය. පැයකට ආසන්න කාලයක් ජනපති අගමැති දෙපොළ දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරත වූ අතර එහි තොරතුරු පිටතට අනාවරණය වූයේ නැත. කෙසේ වෙතත් එම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වූයේ බැඳුම්කර වාර්තාවේ නිර්දේශ බවද සඳහන්ය. මේ සාකච්ඡාවෙන් පසු බදාදා ජනාධිපතිවරයා තමන් කිරීමට අපේක්ෂා කළ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සැලසුම් කළේය. ජනාධිපතිවරයා ඒ සඳහා කොතරම් උනන්දුවෙන් ක්‍රියා කළේ ද කිවහොත් ඔහු බදාදාට යොදාගෙන තිබූ සෙසු රාජකාරි කටයුතු ගණනාවක් කල්දැමීමට තීන්දු කළේය. ඒ අනුව බදාදා උදෑසනම සිදුකිරීමට යොදාගෙන තිබූ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ දිවුරුම් දීම බ්‍රහස්පතින්දා. කල්දමන ලෙස එය සම්බන්ධීකරණය කළ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැන්වීය.

කතාව මාධ්‍යයට නිකුත් කිරීම බදාදා සවස 6.00ට කළ යුතුව තිබිණි. ඊට පෙර ජනාධිපතිවරයාගේ නිවසේ දී එය පටිගත කැරිණි. මුද්‍රිත මාධ්‍ය සඳහා අවශ්‍ය පිටපත් ද කල්තබාම සම්පාදනය කෙරිණි. එදින සවස් වන විට මුළු රටේම අවධානය මේ ගැන යොමුව තිබුණේ ඊට පෙර ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ද සැලකිල්ලට ගනිමිනි. ඔහු පසුගිය සතියේ කියා තිබුණේ භගවත් ගීතාවේ සඳහන් වන පරිදි ඉදිරියේ දී තමන්ගේ කඩුවෙන් ඕනෑම කෙනෙක් කැපීයා හැකි බවය. එහිදී හිතවතුන් මිතුරන් හා සගයන් වුවද තමන්ට කළ හැකි දෙයක් නැතැයි ඔහු පවසා තිබිණි.

කෙසේ හෝ බැඳුම්කර වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශය එහි මූලික අදහස්වල කෙටි සාරාංශයක් පමණි. පිටු 1257ක වාර්තාවක් වූ එහි අන්තර්ගතය පුළුල් කාරණා ගණනාවකින් සමන්විත විය. වාර්තාවේ සඳහන් වන චූදිතයන් විසින් බැඳුම්කර වංචාව ඔස්සේ රටට රුපියල් මිලියන 11,145 ක් පමණ වන බව පවසන කොමිසම මේ ගැන තවත් සවිස්තර තොරතුරු ලබාගන්නට පූර්ණ විගණනයක් කළ යුතු යැයි ද කියා ඇත. මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සහභාගීත්වය ඇතිව ඔහුගේ බෑනාට අයත් වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නිත්‍යනුකූල නොවන ලෙස යට කී මුදල් අයථා ලෙස උපයා ඇතැයි ද කියැවේ. මෙම ගණන මීට වැඩිවිය හැකි බවද කියා ඇත. අග්‍රාමාත්‍යවරයා විසින් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත් කළ බවත් ඔහු අර්ජුන මහේන්ද්‍රන්ගේ පොරොන්දු මත විශ්වාසය තබා ඇති බවත් වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන වග ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දැක්වේ.

දැනටත් අමාත්‍ය තනතුර අහිමිව තනි වී සිටින රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇලෝසියස් පවුලේ මහල් නිවාසයක් අනිකා විජේසූරියගෙන් ලබාගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු යැයි සඳහන්ව ඇත. ඒ ගැන විභාග කිරීමට රවි කරුණානායකට එරෙහිව අල්ලස් දූෂණ කොමිසම විසින් නඩු පැවරීම කළ යුතු බව බැඳුම්කර වාර්තාව කියන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. පවතින තත්ත්වය තුළ එ.ජා.ප උපනායකයාද වන රවී කරුණානායක තනිවී සිටී. මෙම පරීක්ෂණ වාර්තාව මගින් වසර 2008 සිටම අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත කර ඇතැයි කියන කොමිසම බැඳුම්කර සිද්ධිය ගැන වගකිව යුතු අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිහේන යන අයට එරෙහිව නඩු පැවරීමට යෝජනා කර තිබේ. මේ ආකාරයට බැඳුම්කර වංචාවට සම්බන්ධ චූදිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු යැයි කොමිසම කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් අවධාරණය කළේය. ඒ නඩු කටයුතුවල ප්‍රගතිය මාසිකව සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයා හා නීතිපති අංශ නිලධාරීන් සමඟ හමුවක් පැවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

බැඳුම්කර කොමිසමේ වාර්තාවට අමතරව බරපතළ වංචා දූෂණ හා කොමිසම විසින් විමර්ශනය කළ සිද්ධි 17කට අදාළ වාර්තා ගැනද ජනපති ප්‍රකාශයේ කරුණු සඳහන්ය. ඒ සියලු වාර්තාවල නිර්දේශ අනුව අදාළ තැනැත්තන්ට නඩු පවරන්නේ යැයි ද ජනාධිපතිවරයා පැවසීය. මෙම කොමිෂන් සභා වාර්තා යටගැසීමට කිසිවකුට ඉඩනොදෙන බව පැවසූ ජනාධිපතිවරයා කොමිසම පත් කළේ කිසිදු පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් අපහසුතාවයට පත්කිරීමට නොවන්නේ යැයි ද කීය. මෙම කොමිෂන් සභාව මගින් ප්‍රධාන පක්ෂ දෙකේම තැනැත්තන් වගඋත්තරකරුවන් කර ඇතැයි ද ඔහු පැවසීය. තමන්ගේ අරමුණ රට තුළ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා කැපවීම වගද ජනාධිපතිවරයා සිය ප්‍රකාශයෙන් අවධාරණය කළේය.
මෙවර අමාත්‍ය මණ්ඩලය රත් කළ ප්‍රධානම මාතෘකාව වූයේ රට තුළ පවත්නා උග්‍ර පොහොර හිඟයයි.

කෘෂිකාර්මික කලාපයක් නියෝජනය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මේ ගැන පොළොන්නරු ජනතාවගෙන් බොහෝ පැමිණිලි ලැබී තිබිණි. මේ ඡන්ද කාලයේ පොහොර හිඟයක් නිර්මාණය වීමෙන් රජය දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා කියද්දී දයා ගමගේ, සජිත් ප්‍රේමදාස ආදී ඇමැතිවරු ගණනාවක් මේ ගැන විරෝධය පළ කළෝය. මේ සියල්ලන්ගේ මතය වූයේ රටේ පොහොර හිඟය නිර්මාණය වූ ආකාරය ගැන නිදහසට කරුණු අනවශ්‍ය වගයි. ජනතාවට වහාම පොහොර ලබාදිය යුතු බව ඔවුහු පැවසූහ. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක එවිට පැවසුවේ තමන් පකිස්ථානයේ ඕඩර් කළ පොහොර තොගය නිසි වේලාවට නොලැබීමෙන් ප්‍රශ්නය වඩාත් බරපතළ වූ වගය. දැන් කළ යුතු හොඳම දෙය පෞද්ගලික අංශයට කැමති තැනකින් පොහොර ආනයනයට ඉඩ දී ඔවුන් අලාභයක් ලබයි නම් ඒ වෙනස රජය විසින් ගෙවාදැමීම යැයි දුමින්ද කැබිනට්ටුවට යෝජනා කළේය. එහෙත් ඒ යෝජනාවට අමාත්‍යවරු බහුතරයක් විරුද්ධ වූහ. එහිදී අදහස් දක්වන්නට වූ අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ පොහොර හිඟය නිසා රටේ ගොවි ජනතාව රජයට බණින්නට පටන්ගෙන ඇතැයි කියමින් කෘෂිකර්මය නඟාසිටුවීමට පොහොර නිකම්ම ගොවීන්ට ලබාදෙමු යැයි කීය. කෙසේ හෝ මේ ආකාරයට පොහොර හිඟය ගැන ඇමැතිවරුන් උණුසුම් ලෙස අදහස් දක්වද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කෘෂිකර්ම අමාත්‍යවරයාට කීවේ කෙසේ හෝ ඉතා ඉක්මනින් ගොවි ජනතාවට පොහොර සපයාදීමට පියවර ගන්නා ලෙසයි.
විනිශ්චයකාරවරුන් හා නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය විරෝධය පළ කළේය. කැබිනට් රැස්වීමේ දී මේ ගැන කරුණු දැක්වූ මුදල් ඇමැති සමරවීර මහතා ආණ්ඩුව මේ තීන්දුව ගත් කැබිනට් රැස්වීමට තමන් සහභාගි නොවූ බවද කීය. විශාල ප්‍රතිශතයකින් වැටුප් වැඩිකිරීම අසාධාරණ යැයි කී හෙතෙම මේ නිසා අගතියට පත් තවත් වෘත්තිකයන් නොසන්සුන් විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද කළේය. අමාත්‍ය සමරවීරට පිළිතුරු දුන් විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය අමුණුගම කීවේ මෙම තීන්දුව ගත්තේ තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් අනුකාරක සභාවක් මගින් යැයි සඳහන් කළේය. නීතිපති අංශයේ හා විනිසුරුවරුන්ගේ වැටුප ඉහළ දැමීම කළ යුතු යැයි තමන් ද අපේක්ෂා කළ බව අමාත්‍ය අමුණුගම වැඩිදුරටත් කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පොහොට්ටුව කණ්ඩායම සංවිධානය කළ ප්‍රධාන මහජන රැළියට හෝ වෙනත් කිසිදු දේශපාලන කටයුත්තකට ගියහොත් විනය පියවර ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා නැවත නැවතත් කීවද සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම අපේක්ෂක හමුවට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ එක්ව සිටියහ. මෙහිදී පැවැත්වූ එකම දේශනය කළේ ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසිනි. ඔහු මෙම රැළිය අමතමින් කීවේ මේ රජය මර්දනය වංචාව දූෂණය නීතිගත කළ බවය. මෙම මැතිවරණය තම කණ්ඩායම ප්‍රමුඛ පක්ෂ ගණනාවක් සටන් කර ලබාගත් ඡන්දයක් නිසා ආණ්ඩුවට විරුද්ධ ජනමතය ප්‍රකාශ කිරීමේ ජනමත විමසුමක් ලෙස පළාත් පාලන ඡන්දය පත්කර ගත යුතු යැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැඳුරේ දී වසරේ ආරම්භය නිමිත්තෙන් තම හිතවතුන්ට කැවුම් කිරිබත් සංග්‍රහයක් පිරිනැමීය. එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ අරමුණ තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම බව කීය. එසේම වංචාව දූෂණය නැතිකොට රටේ නීතිය අනුව සියලු කටයුතු කිරීම තම අරමුණ යැයි ද ඔහු සඳහන් කළේය. මෙය මැතිවරණ සමයක් නිසා මැතිවරණ නීතියට උපරිම ලෙස ගරු කරමින් ක්‍රියා කිරීම එ.ජා.පයේ අභිලාෂය යැයි ද ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද කටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරීම සඳහා දීපව්‍යාප්ත රැස්වීම් මාලාවකට එක්වෙමින් සිටී. ඔවුන් මේ දිනවල වැඩිපුරම සාකච්ඡා කරන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැනයි. පසුගිය සතියේ කඳුරට වතුකර රැස්වීම් ගණනාවක් ඇමතූ අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙය විශාල මහජන මුදල් හොරකමක් බැවින් වහා ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවයි. මෙම වාර්තාව සමාජය දැනගත යුතු නිසා මෙය ඉතා ඉක්මනින් සමාජයට ඉදිරිපත් කරන ලෙස තමන් ඉල්ලා සිටින්නේ යැයි ද ජ.වි.පෙ. නායකයා කීය. ඊට පෙර රජය විසින් සිදුකළ වංචා දූෂණ ගැන තිබෙන නඩු ද කොමිෂන් වාර්තා ගැනද එලෙසම පියවර ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද බැඳුම්කර වාර්තාවේ කරුණු ගැන රට දැනුවත් කිරීමට රැස්වීම් තබන බව කියයි. මුලසිටම මේ මහා වංචාව හෙළිදරව් කළ යුතු යැයි හඬනැඟූ මහජන නියෝජිතයකු ලෙස තමන්ට වාර්තාව ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ඇතැයි හෙතෙම සඳහන් කළේය. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරියේ දී සාකච්ඡා කර බැඳුම්කර ගැන ඒකාබද්ධයේ ඉදිරි වැඩපිළිවෙළ හෙළිදරව් කරන බවද ඔහු පවසයි.

ආන්දෝලනාත්මක බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. යහපාලනයේ නීතිගරුක හා ප්‍රතිපත්තිගරුක ක්‍රියා පිළිවෙත බැඳුම්කර කොමිසම තුළින් තහවුරු වී ඇතැයි සඳහන් කරන එ.ජා.පය අදාළ වාර්තාව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි ද කියයි. මාස දහයක් තිස්සේ බැඳුම්කර සිද්ධිය විමර්ශනය කළ කොමිසමට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය ද පළ කර තිබේ. පසුගිය රජය සමයේ 2008 සිට සිදු වූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂණ සිදුකොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වත්මන් රජයේ අභිප්‍රාය බවද අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයේ වැඩිපුරටත් සඳහන්ය.

බැඳුම්කර වාර්තාව සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය එලෙස පළවෙද්දී නීතිපතිවරයා මෙම වාර්තාව විමර්ශනයට ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළේය. ජ.වි.පෙ. හා ඒකාබද්ධ විපක්ෂය මෙම වාර්තාවේ සියලු කරුණු හෙළිකරන ලෙස ද බල කරන බව එම පක්ෂවල ජ්‍යෙෂ්ඨයන් නිකුත් කළ ප්‍රකාශවල සඳහන්ය.

බැඳුම්කර ප්‍රකාශය නිකුත් කිරීම නිසා කල්දමනු ලැබූ දකුණු පළාත් සභා අමාත්‍ය මනෝජ් සිරිසේන මහත දිවුරුම් දීම ගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය. මෙතෙක් පළාත් සභා සභා නායකවරයා ලෙස ක්‍රියා කළ ඔහුට ලැබුණේ දකුණේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය පදවියයි. මනෝජ් සිරිසේන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයකු වන එච්.ජී. සිරිසේන මහතාගේ පුත්‍රයාය.

ඔහු ජනාධිපතිවරයා වෙත කැඳවා ගෙනවිත් අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කළේ මාතර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප නායක රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය. ගාල්ලේ රන්දිම ගමගේ මහතාට ලබාදීමට යෝජනා වූ මෙම පළාත් අමාත්‍ය පදවිය මාතර දිස්ත්‍රික්කයට හිමි තනතුරක් නිසා එය මාතර මනෝජ් සිරිසේනට ලැබිය යුතු යැයි ජනාධිපතිවරයාට කරැණු දැක්වූයේ ද ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාය.

 


►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00