2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

කැබිනට්ටුව්‍ෙ අැදුනු හාල් පා‍ෙල් මිල

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

උතුරේ විරෝධතාකරුවන්ට ජනපති සමඟ කතාවට ඇරයුම් 

බැඳුම්කර කොමිසමට යන්න හැදූ අගමැතිට ප්‍රශ්න පත්‍රයක් 

බත්පතේ මාළු කෑල්ලට රුපියල් 60/- ක් යන බව ඇමැති සුසිල් කියයි 

පළාත් ඡන්ද ගැසටයට නොනවතින සංශෝධන 

රටගිය ගෝඨා කටුනායකදී කොටුකරන්නට ගිය බවට ආරංචියක්

රටේ බොහෝ ක්ෂේත්‍රවල මේ කාලයේ පවතින්නේ අවිනිශ්චිත ගතියකි. ආරවුල් අර්බුද හා ආවේගශීලී කතාවලින් දේශපාලන වේදිකා ගිනියම් වී තිබේ. මැතිවරණ ගැන කතා ඇතත් ඒවා කල්යනවා මිස පැවැත්වෙන පාටක් නැත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද ලබන අවුරුද්ද අවසානය තෙක් මැතිවරණ තැබිම සැක සහිත යැයි කියා තිබිණි. ඒ අස්සේ සයිටම් අර්බුදය ආණ්ඩුව විසින් හොඳටම අනාගෙන තිබේ. ඒ ගැන කෙරෙන විරෝධතාවලින් අඩුවක් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ යාපනයට ගියේ උතුරේ පැවැති නිල රාජකාරි උත්සව ගණනාවකට සහභාගි වීමටයි. එහෙත් මෙම චාරිකාවට පෙර සිටම දෙමළ සන්ධාන නායක සම්පන්දන් ඇතුළු පිරිස කීවේ ජනාධිපතිවරයා උතුරට එනවා නම් දේශපාලන සිරකරු (යුද සිරකරු) ප්‍රශ්නයට විසඳුමක් රැගෙන පැමිණිය යුතු වගයි. නොඑසේනම් තම පක්ෂය උත්සවය වර්ජනය කරන බව කීය. ජනාධිපතිවරයා යාපනයට යෑමට පෙර සම්පන්දන් මහතා යාපනයට යන්නට යොදාගෙන තිබුණ ගමනටද ජනතාව විරෝධය දක්වන්නට වූ නිසා ඔහු යාපනේ ගියේ නැත.

උතුරේ රැඩිකල් නායකයන් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සිවාජිලිංගම් ඇතුළු පිරිස ආණ්ඩුකාරවරයාට කීවේ සිරකරු ප්‍රශ්නයට මෙවර විසඳුමක් අවශ්‍ය බවය. තවත් ඉල්ලීම් ගණනාවක් ගැනද සඳහන් කෙරිණි. එවිට ආණ්ඩුකාරවරයා කීවේ ජනාධිපතිතුමා පැමිණෙන දිනයේ දිවා ආහාරයට තම නිවසට පැමිණෙන බැවින් දේශපාලන නියෝජිතයන් පස් දෙනකුට පැමිණ එතුමා හමුවී ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව ඇති වගයි.

කෙසේ හෝ ජනාධිපතිවරයා යාපනයට පැමිණ හින්දු විද්‍යාලයේ පැවති දෙමළ භාෂා දින උත්සවයට සහභාගි වී තවත් උත්සවයකට යන අතරතුර යාපන බස්නැවතුම්පොළ ආසන්නයේ විරෝධතාකරුවන් කළු පටි බැඳගෙන විරෝධතාවක නිරත වනු ජනාධිපතිවරයා දුටුවේය. හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන සටන් පාඨ කියමින් උන්හ. ආරක්ෂක අංශ විරෝධය පළකරද්දී ජනාධිපතිවරයා කීවේ තමන් විරෝධතාකරුවන් අතරට ගොස් ප්‍රශ්නය ගැන කතා කළ යුතු වගයි. ඒ අනුව රථයෙන් බැස විරෝධතාකරුවන් අතරට ගිය ජනාධිපතිවරයා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ටත් සිවාජිලිංගම්ටත් කතාකොට ප්‍රශ්න ගැන විමසීය. යුද සිරකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස නම්කොට නිදහස්කරන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෝය. තවත් ඉල්ලීම් ගණනාවක්ද ඒ අතර විය.

අනතුරුව විරෝධතාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ තමන් සිටින තත්ත්වයද තේරුම් ගෙන ටිකක් කල් ලබාදෙන ලෙසයි. සිරකරු ප්‍රශ්නය විසඳන්නේ නැති ආණ්ඩුව ජාතික ප්‍රශ්නය විසඳන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කළෝය. ප්‍රබල කොටි නායකයන් වූ කේ.පී., කරුණා, පිල්ලෙයාන් අද නිදහසේ ජීවත්වන නමුත් සෙසු සාමාන්‍ය තැනැත්තන් අසාධාරණ ලෙස සිරගත කර ඇතැයි ඔවුහු චෝදනා නැගූහ. ඒ සියල්ලට කන්දුන් ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුකාර නි‍ෙවසට පැමිණ තමන් සමඟ සාකච්ඡා කරන ලෙසයි. එහෙත් එදින ජනාධිපතිවරයාගේ කාලසටහන කාර්යබහුල වූ නිසා මෙම සාකච්ඡාව පැවැත්වුණේ නැත. පසුව විපක්ෂනායක සම්පන්දන් මහතා ප්‍රකාශ කර තිබුණේ උතුරේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැතිව නායකයන් කරන චාරිකාවලින් පලක් නැති බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර කොමිසමේදී තමන්ගේ නමද සඳහන්ව ඇති බැවින් කොමිසමේ අවශ්‍යතාව පරිදි ඒ ඉදිරියට පැමිණ අදාළ කාරණා ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවය. එහෙත් මේ ගැන සිතාසියක් හෝ ඉල්ලීමක් කොමිසමෙන් අගමැතිවරයා වෙත නොලැබිණි. නමුත් කොමිසමේ මතු වූ ප්‍රශ්න ගණනාවක් ලිඛිතව විමසමින් අගමැතිවරයා වෙත ප්‍රශ්නාවලියක් බැඳුම්කර කොමිසම විසින් යවන ලද බව සඳහන් විය. ඒ සඳහා පිළිතුරු ලබාදුන් පසුව අවශ්‍ය නම් කැඳවීමක් කළ හැකි බව කොමිසම දැන් වූ බවද ප්‍රකාශ වුණි. ඒ අතර මාස 9ක් තිස්සේ ඉතාමත් ආන්දෝලනාත්මක විභාගයක් පැවැත්වූ බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම මේ සතියෙන් හමාර කරන බවද කොමිසම විසින් ප්‍රකාශ කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විදේශ සංචාරය හමාර කොට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු හම්බන්තොට උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස බැලීමට හිරගෙදරට ගොස් අදාළ නීති කටයුතු ගැන සාකච්ඡා කළේය. ඉන් දින දෙක තුනකට පසු නඩුව නැවත කැඳවූ මොහොතේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණය කළැයි යන චෝදනාව මත අත්අඩංගුවට ගත් 40 දෙනෙකුගෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙක් ඇප මත නිදහස් කරනු ලැබූහ.

හම්බන්තොට සිද්ධියට සමාන සිද්ධියක් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදීද සිදුවිය. ජනාධිපතිවරයා පැමිණෙන දිනයේ යාපන අධිකරණ සීමාවේ උද්ඝෝෂණ තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාදී තිබුණද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු උතුරේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් ජනපතිගේ චාරිකාවට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ. හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණයට එරෙහිව උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩකළ බව කියමින් මහජන මන්ත්‍රීන් ඇතුළු 40ක් උදෙසා ක්‍රියාත්මක වූ නීතිය උතුරේ දේශපාලන නායකයන් අධිකරණ නියෝග කඩකළ විට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් මැතිසබයේදී ප්‍රශ්න කර තිබිණි. ඒ අතර පොලිස්පති පූජිත ජයසුන්දර කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීහු පොලිස්පතිවරයාගෙන්ද මෙම ප්‍රශ්නය විමසූහ. එවිට පොලිස්පතිවරයා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ වීඩියෝ සාක්ෂි හා අවස්ථානුගත කරුණු සලකා බලා යමෙක් වරදක් කර ඇත්නම් ඔහුට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන වගයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ගැන විශේෂ නිවේදනය නිකුත් කළේය. දේශපාලන අංශවල පුළුල් අවධානයට ලක්වූ මෙම නිවේදනය මගින් යෝජිත ව්‍යවස්ථාවේ අරමුණ ගැන රාජපක්ෂ මහතා පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර තිබිණි. ජාතිවාදී පදනම මත රටේ පාලන ඒකක වෙන්කරමින් ඒවාට පුළුල් බලතල පවරමින් කරන්නට යන ව්‍යවස්ථා සංශෝධනය විනාශකාරී එකක් යැයි මහින්ද එමගින් අවධාරණය කර ඇත. අලුත් ව්‍යවස්ථාවක් රටට අනවශ්‍ය බව කියන හිටපු ජනාධිපතිවරයා රජයට අවශ්‍ය නම් ඊට ඕනෑකරන සංශෝධන ගෙන ආ හැකි බවද සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන ලද කුමාර වෙල්ගම හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීන් සම්බන්ධ කතාබහ මේ සතියේ දේශපාලන කරළියේ තවත් ප්‍රධාන මාතෘකාවක් විය. තනතුරුවලින් පහ කරන ලද වෙල්ගමට හා මහින්දානන්දට සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කළ ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා තමන් මෙම ඉවත්කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. පක්ෂයේ සමගිය සඳහා සියල්ලන් එකතු කළ යුතු මොහොතක ජ්‍යෙෂ්ඨයන් පන්නා දැමීම හොඳ දෙයක් නොවන බවද ඇමැති ජෝන් කීය. ඉන් දිනකට පසු ජෝන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රකාශයට පිළිතුරක් දෙමින් එ.ජ.නි.ස. මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙල්ගම හා මහින්දානන්ද ඉවත් කිරීමට විරෝධය පළකරන සමහර නායකයන් ඔවුන් ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන් ලෙස සිටිමින් වෙනත් පක්ෂවල වැඩකිරීම විවේචනය නොකරන බව සඳහන් කළේය. ඉවත්කළ මෙම මන්ත්‍රීන් සමඟ කිසිවකුගේ පෞද්ගලික අමනාපයක් නැති බවත් ඒ අය නැවත ශ්‍රීල.නි.ප.ය සමඟ වැඩකරන්නේ නම් ඔවුන්ට සිය ආසන සංවිධායක පදවි ලැබෙන බවත් කියා සිටියේය. අමරවීර මහතා මෙම ප්‍රකාශය කරන විටත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන් නියෝජනය කරන නාවලපිටිය ආසනයේ ඡන්ද දායකයන් සමඟ විශාල පෙරහරකින් ආසනය පුරා සංචාරය කරමින් සිටියේය. මෙම සංචාරයෙන් ඔහු තම ආසනයේ තමන්ට ඇති බලය තහවුරු කර ගැනීමට ක්‍රියා කළේය.

පසුගිය සතියේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා උණුසුම් වූ අමාත්‍ය මණ්ඩලය මේ සතියේ උණුසුම් වූයේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා නිසාය. කැබිනට්ටුව රැස්වූ පසු අමාත්‍ය අනුර යාපා රටේ පවත්නා බඩු මිල ගණන් ගැන අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කළේය. (දැන් බලන්න ජනාධිපතිතුමනි, රටේ තියෙන බඩුමිල ජනතාවට උහුලගන්න බැහැ. මිල පාලනයක් නැහැ. ඡන්දයක් කටේ තියාගෙන අපි කොහොමද මේ ගමන යන්නෙ.)අනුරගේ ඒ ප්‍රශ්නයෙන් ඇමැති මණ්ඩලයම ඇවිස්සිණි.

එවිට වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයා කීවේ ඇමැති මණ්ඩල අනුකමිටුවක් පත්කොට ඒ මගින් බඩුමිල පාලනයට පියවර ගත හැකි බවය. මොන කමිටුද... ඒවා වැඩක් නැති වැඩ. කමිටුවලින් බඩු මිල අඩු කරන්න බැහැ. මෙහෙම ගියොත් මැතිවරණයේදී අපි අමාරුවේ වැටෙනව. වෙළෙඳ ඇමැතිතුමා අපි අමාරුවේ දාන්න එපා. නැවතත් අනුර යාපා අමාත්‍යවරයා කීය. මම කිව්වෙ දැන් තිබෙන ජාත්‍යන්තර තත්ත්වයත් එක්කයි. ඒ නිසා යයි කියමින් ඇමැති රිෂාඩ් පිළිතුරු දෙන්න හදද්දී මැදිහත් වූ ජනාධිපතිවරයා නැහැ රිෂාඩ් ඇමැතිතුමා දැන් මේකට විසඳුමක් ගන්න කල් හොඳටම පමාවෙලා... මම නොයෙක් වර ජීවන වියදම ගැන දුන් උපදෙස්වත් හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙම දිගින් දිගටම සිද්ධවුණොත් මට මේකට මැදිහත්වෙලා තද තීන්දු ගන්න වෙනව. යනුවෙන් රිෂාඩ් ඇමැතිවරයාට දැඩි පිළිතුරකින් සංග්‍රහ කළේය. එයින් පසු නැවතත් තදින් කතා කළ අමාත්‍ය අනුර යාපා සර්... මේක මෙයාට හරියට කරන්න කියන්න. නැත්නම් වෙන කාට හරි දීල යන්න කියන්න. යනුවෙන් පැවසූ විට රිෂාඩ් අමාත්‍යවරයා දැඩි අපහසුතාවට පත්විය. නැවතත් ජනාධිපතිවරයා අදහස් දක්වන්නට වුණි. ඔව්. රිෂාඩ් මටත් ලොකු විවේචනයක් තියෙනව. ඒ නිසා ඔයා වහාම සාධාරණ විසඳුමක් අරන් මේ ප්‍රශ්නය ඉවර කරන්න. නැත්නම් මම මැදිහත් වෙනව. ඊට කළින් ඔයා සුදුසු පියවරක් ගන්න... ජනපතිවරයා කීය.

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කතා කළේ ඉන්පසුවය. (ජනාධිපතිතුමනි, මම සතිපතා අපේ ගෙවල් ළඟ තියෙන පොළට ගිහිල්ලා බඩු ගන්න කෙනෙක්. මම ඊයෙ පොලෙන් හාල් බැලුව අන්තිම අඩුම එක රුපියල් 88/-යි. තවත් සමහර හොඳ හාල් කිලෝව 108/-යි. මාළු කඩේට ගිහිල්ල මිල ගණන් විපරම් කරල බැලුව. තලපත් කිලෝව රු.1200යි. ඒක කෑලි කැපුවම කෑල්ලක් රු.60/- විතර වෙනව. රජයේ සේවකයෙක් මට කිව්ව එයාල ගෙදර මාළු කන්නෙ සතියට එකවරක් විතරයි කියල.) ඇමැති සුසිල් කියාගෙන ගියේ චෝදනා පත්‍රයක් කියවන ගානටය. එවිට අමාත්‍ය මලික් සමරවික්‍රම කීවේ මේ මිල ගණන් හැදෙන්නේ ජාත්‍යන්තර මිල ගණන් නිසා බවය. එහෙත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිලා එය පිළිගත්තේ නැත. නැහැ නැහැ දැන් පිටකොටුවෙ ඉන්න සමහර ව්‍යාපාරිකයො හතර පස්දෙනෙක් තමයි බඩු මිල තීන්දු කරන්නෙ. ඒක මාෆියාවක්. ඕවට අපි කොහොමද ඉඩ දෙන්නෙ... සුසිල් අමාත්‍යවරයා කියද්දි දයාසිරි ජයසේකර හා සෙසු ශ්‍රීල.නි.ප. අමාත්‍යවරැද භාණ්ඩ මිල පාලනයෙන් තොරවීම ගැන ඇමැති රිෂාඩ්ට දොස් නගන්නට වූහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද බඩු මිල ගණන් ඉහළ නැගීම ගැන තමන්ට වාර්තා වී තිබෙන බව සඳහන් කරමින් අදහස් දක්වන්නට විය. අවසානයේදීත් ජනාධිපතිවරයා කීවේ වහාම භාණ්ඩ මිල පාලනය නොකළොත් තමන්ට කුමක් හෝ කරන්නට සිදුවන වගය.

ඊළඟට පළාත් පාලන මැතිවරණය ගැන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය පයිසර් මුස්තාපා විශේෂ ඉල්ලීමක් කළේය. උතුරේ මැරිටයම් පත්තු සහ නුවරඑළියේ තවත් ප්‍රාදේශීය සභා ගණනාවක සීමා මායිම් නැවත වෙනස් කළයුතු නිසා ඊට අදාළ පනත් නැවත සංශෝධනය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය. එම සංශෝධන ජනවාරි මාසයට පෙර අවසන් කළ නොහැකි බැවින් ජනවාරියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය මුස්තාපා මහතා කැබිනට් මණ්ඩලයට දැන්වීය. එවිට අනුරයාපා, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් ගණනාවක් කීවේ දැනටමත් රටේ ජනතාව ඡන්ද කල්දැමීම ගැන රජයට දොස් පවරන නිසා මැතිවරණය ඉක්මණින් තැබිය යුතු වගය. එහෙත් ෆයිසර් අමාත්‍යවරයා මෙම වෙනස්කම් සඳහා කල් අවශ්‍ය යැයි නැවතත් පැවසීය. ජනාධිපතිවරයා ඒ මොහොතේ සඳහන් කර තිබුණේ කරන දෙයක් ඉක්මණින් හරියට කරන ලෙසය. අනතුරැව අමාත්‍ය මුස්තාපා අවධාරණය කර සිටියේ මෙම වෙනස්කම නොකර ඡන්දය තැබීම කළ නොහැකි බැවින් ඉක්මණින් ඒ කටයුතු හමාර කරන වගයි.

ආණ්ඩුවේ සංස්ථා මණ්ඩලවල ඉඩකඩම් කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇතැම් දෙස් විදෙස් ආයෝජකයන්ට පැවරීම ගැන ඇමැතිවරු ගණනාවක්ම නැවතත් දෝෂාරෝපණය කරන්නට වූහ. මෙම දෝෂාරෝපණවල ඉලක්කය වූයේද අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට්ටුවට යෝජනා කළේ මින් ඉදිරියට රජයේ ඉඩම් හිතුවක්කාර ලෙස පැවරීම තහනම් කළයුතු වගයි. ඇමැති රිෂාඩ් මේ සම්බන්ධයෙන් කැබිනට්ටුවට කරුණු කියද්දී අගමැතිවරයා නැවතත් ප්‍රකාශ කළේ ස.තො.ස.ට අයත් සමහර ඉඩම් යම් යම් අයට පවරන්නට වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇතත් ඒවා විවෘත ටෙන්ඩර් ක්‍රමයකට මිස හිතුමතේ ලබාදීම නොකළ යුතුය කියායි. එවැනි කටයුතුවලට අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අවලංගු යැයිද අගමැතිවරයා පැවසීය. ජනාධිපතිවරයාද මෙම ඉඩම් පැවරීම විවෘතව කළ යුතු යැයි යෝජනා කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු හිතවාදී ලෙස රජයේ කොන්ත්‍රාත් ඉටුකරමින් සිටින බවට පසුගිය කාලයේ විපක්ෂයෙන් බරපතළ චෝදනාවක් එල්ල විය. පළාත් පාලන ඡන්ද කල් දැමීම සඳහා ඉදිරිපත් කළ මැතිවරණ නියෝජන පුළුල් කිරීමේ පනතට පක්ෂව ඡන්දය දීමෙන් පසු ජ.වි.පෙ. රජයට පවරාගෙන ඇතැයි ඒකාබද්ධය ප්‍රබල ලෙස චෝදනා කළේය. පසුගිය සති කිහිපයේම මෙම චෝදනාවට ස්ථාන ගණනාවකදී පිළිතුරු සැපයීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිදුවී තිබිණි. ඔහු ගම්පහ පැවති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ ජ.වි.පෙ. ආණ්ඩුවේ හෝ මහින්ද පිලේ කොන්ත්‍රාත් ඉටුකරන පක්ෂයක් නොවන වගයි. මේ පාලකයන්ට රට පාලනය කළ නොහැකි බවත් ඔවුන් වෙනස් කිරීමට දැන් හොඳ කාලයක් එළඹ තිබෙන වගත් ජ.වි.පෙ. නායකයා කීය. ඒ නිසා කලබල වී සිටින සතුරන් ජනතා විමුක්ති පෙරමුණ එ.ජා.ප.ය සමඟ පූට්ටු කිරීමේ දුබල උත්සාහයකදී දඟලමින් සිටින්නේ යැයි කීය.

ප්‍රධාන පක්ෂ සියල්ලම පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ මෙහෙයුම් අරඹා ඇත. එ.ජා.ප.ය සිරිකොතේදී දැනටමත් මෙහෙයුම් කටයුතු දියත් කර තිබේ. මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එජාපය මෙවර කරුණා හා කාන්තා අපේක්ෂකත්වය පුළුල් කිරීමට එම ක්ෂේත්‍රවලින් රටපුරාම වැඩි අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටී.

ශ්‍රීල.නි.ප. මැතිවරණ මෙහෙයුම් කමිටුව ජනාධිපතිවරයා හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. මහ ඇමැතිවරුන් ගණනාවක්ද ඊට කැඳවා තිබිණි. තනිව තරග කරන්නේ නම් ඊට සන්ධානයේ හවුල්කාර පක්ෂ ගණනාවක් සමඟ අපේක්ෂකයන් තෝරාගත යුතු යැයි මෙහිදී යෝජනා විය. එහෙත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ අදහස වූයේ ඒකාබද්ධ විපක්ෂයද එක්කරගෙන පළාත් පාලන සටනට මුහුණ දිය යුතු වගයි. මෙම එකතුව සඳහා කෙරෙන සාකච්ඡාවලට ජනාධිපතිවරයාගෙන් කොළ එළියක් දැල්වී ඇතැයි දැනගන්නට ඇත.

මල්වතු අස්ගිරි කාරක සංඝ සභා දෙකේ නාහිමිවරුන් පසුගියදා මහනුවරදී රුස්වී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ගැන තීන්දුවක් ගත්හ. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව එහිදී සංඝ සභා දෙක තීන්දු කළේය. යෝජිත ව්‍යවස්ථා යෝජනාවලින් රටට යහපතක් සිදු නොවන බැවින් මෙම තීන්දුව ගත් බව සංඝ සභා දෙකේ මතය විය. යෝජිත ව්‍යවස්ථාව ජනවාර්ගික සමගියටද බාධාවක් වන බැවින් ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බව උන්වහන්සේලා වැඩිදුරටත් වදාළහ. ඒ ගැන රජය සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මහනුවරට පැමිණ අදාළ සංඝ සභා සමඟ සාකච්ඡා කිරීමට ඇරයුම් කරන බවද එම සංඝ සභා ප්‍රකාශ කර ඇත.

ඒ අතර මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව විසින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළ කළ විරෝධය මහ නාහිමිවරුන්ගේ අනුදැනුම හා අනුමැතිය මත සිදුවුවක් නොවන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේය. ඇතැම් මාධ්‍ය මෙම පුවතට අදාළව මල්වතු මහ නාහිමියන්ගේ ඡායාරූපය පළ කර ඇතත් උන්වහන්සේ දැනට වැඩවසන්නේ විදේශගතව බව ද අග්‍රාමාත්‍යවරයා කීය. උන්වහන්සේ ව්‍යවස්ථාව ගැන කල්තබා ඉතා පැහැදිලිව අදහස් දක්වා ඇති බැවින් මෙම ප්‍රචාරයේ විකෘති බවක් ඇතැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සති කිහිපයක් විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිත වූයේ ඩුබායිහි සිට එහි ආ එමිරේට්ස් ගුවන් යානයකිනි. උදෑසන 8.30ට යානය කටුනායකට පැමිණෙන විටත් මාධ්‍යවේදීන් හා ඔහුගේ හිතවතුන් රාශියක් ගුවන්තොටුපොළ අවට රැස්ව සිටියේ එදින මෙරටට පැමිණෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පැතිර ගිය ආරංචියක් නිසාය. මෙම ආරංචිය දැනගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද රජයේ ප්‍රබලයන් ගණනාවකට කතාකොට විමසා සිටියේ මෙම සිද්ධිය සත්‍යයක්ද කියාය.

ඇතැමුන් එය අර්ධ සත්‍යයක් යැයි කියද්දී තවත් අය එම කතාව සත්‍ය බව දැන්වූහ. ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ නායක හිමිවරුන් ගණනාවක්ද මේ ගැන රජයේ ඉහළම තැන්වලින් විමසා තිබිණි. ඇතැම්හු ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. තවත් ප්‍රබලයන් කීවේ ආණ්ඩුව එබඳු අවශ්‍යතාවක් තිබේද යන්න සලකා බලමින් සිටින බවය.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර