2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

උතුරුමැද මහ අැමති අාණ්ඩුකාරකම ඉල්ලයි

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 543

ව්‍යවස්ථාවෙන් බුදුදහමට අැති තැන අහිමි කළා

රට පාවා දුන් බවට බොරු ප්‍රචාර කරන්න එපායැයි අගමැති විපක්ෂයට කියයි.

එන්.ජී.ඕ. වුවමනාවට ව්‍යවස්ථාවෙන් ජාතික උරුමයන් හෑල්ලු කළ බවට මහින්දගෙන් චෝදනා

කැබිනට්ටුවේදී ජයවික්‍රම චම්පික ශාක්‍ය ජනපදයට ගැටෙති

සබරගමුව නැගෙනහිර මහ ඇමැතිවරු ආණ්ඩුකාර පාලනයට විරෝධය දක්වති

ව්‍යවස්ථා කතා පළාත් සභා කතා ආදිය නිසා දේශපාලන වේදිකාවේ උණුසුම් ජවනිකා රඟදැක්වෙද්දී ප්‍රාදේශීය දේශපාලනයේද උණුසුම් සිදුවීම් වාර්තා වන්නට පටන්ගෙන ඇත. පසුගිය දිනවල ජා-ඇළදී දැකගන්නට ලැබුණු මෙම සිදුවීමට සම්බන්ධ කතානායකයන් අතර පසුගිය කාලය පුරා බැඳුම්කරය නිසා පුවත් මැවූ හිටපු ඇමැති රවි කරුණානායක ද විය. ආරවුල ඇති වූයේ එ.ජා.ප. උපනායක පදවියක් දරන රවි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවියක් දරන හිටපු ඇමැති ජෝශප් මයිකල් පෙරේරා සහ ගම්පහ දිසා මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අතර බව පෙනුණි. එ.ජා.ප. යොවුන් පෙරමුණ ගම්පහ ක්‍රියාකාරීන් වෙනුවෙන් ජා-ඇළ ගුරුගේ උත්සවශාලාවේ පැවැති දේශපාලන රැස්වීමකදී පළාතේ එ.ජා.ප. සංවිධායක ජෝශප් මයිකල්ට කතාවක් නොදීම හා නිසි පිළිගැනීමක් නොකිරීම ආරවුලට මුල විය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන තමන් 1976 සිට මහජන මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු හා කතානායකවරයකු ලෙස සේවය කර ඇති බව කියමින් ජෝශප් මයිකල් හිටපු ඇමැතිවරයා තමන්ද මෙම උත්සවය ඇමතිය යුතු බව කියා වේදිකාවට ගොඩවූ විට ඔහුගේ කතාවට බාධාකරමින් මෛක්‍රෆෝන් ක්‍රියාවිරහිත කර තිබිණි. එහිදී දැඩි ලෙස කෝපයට පත් ජෝශප් මයිකල් රවි කරුණානායකට හා කාවින්ද ජයවර්ධනට බැණ වැදුණේය. මෙහිදී ජෝශප් මයිකල් රවිට කීවේ පක්ෂය කන්න එපා අපි ජා-ඇළින් ඔහේලට හොඳ පාඩමක් උගන්වනවා. මෙතන මතක නෑ කියන එක කියන්නද ලෑස්ති වෙන්නේ අපි බලාගන්නම්... කියායි. ජෝශප් මයිකල් මෛක්‍රෆෝන් නැතිව කතා කරගෙන යද්දී රවි කරුණානායක හා කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරු පිටව ගියහ. අනතුරුව ජෝශප් මයිකල් පිටව යද්දී හූ හඬක් මතුවිය. ඔහු එයටද උත්තර දී පිටව ගියේය.

පසුව මේ ගැන පක්ෂ මහ ලේකම්ට ජෝශප් මයිකල් පැමිණිලි කළේය. සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන බව මහ ලේකම්වරයා කීය. හිටපු ඇමැති රවි පසුව මාධ්‍යයට කියා තිබුණේ ජනතාව ප්‍රතික්ෂේප කළ අය කියන කතා ගැන තමන් කිසිවක් නොකියන බවයි. ඒ අතර ජෝශප් මයිකල්ලා ජා-ඇළ තුඩැල්ලේ එ.ජා.ප. කාර්යාලයේදී පක්ෂයේ මාධ්‍ය හමුවක් පසුදා කැඳවීය. එහිදී ජෝශප් මයිකල් පෙරේරා රවි කරැණානායක හිටපු අමාත්‍යවරයා දැඩිලෙස විවේචනය කළේය. ඔහු කීවේ රවි කරුණානායක පක්ෂ නායකයා පන්නා දැමීමට කුමන්ත්‍රණය කළ කෙනෙක් බවයි. ඔවුන් ජා-ඇළට පැමිණ ඇත්තේ ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපාරයකට බවත් පැවැසූ ජෝශප් මයිකල් තමන් ජා-ඇළ ඒවා කරන්නට ඉඩනොදෙන බවද කීය. පක්ෂයේ සිටින හොරුන් පන්නා දැමිය යුතුයැයි කී හෙතෙම ඒ සඳහා ජා-ඇළින් සටන පටන් ගන්නා වගද සඳහන් කර තිබිණි. රවි කරුණානායක අමාත්‍ය පදවියෙන් ඉවත් වූවත් තවම ඇමැති වරප්‍රසාද භුක්ති විඳින්නේ කෙසේදැයි ජෝශප් මයිකල් ප්‍රශ්න කළේය. ඉන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයන් නිකුත් කළ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ජා-ඇළිදී ඇති වූ සිද්ධිය ගැන තමන් ජෝශප් මයිකල් පෙරේරා මහතාට කනගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කර තිබිණි.

පළාත් සභා මැතිවරණ කල්දැමීම සම්බන්ධව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ගණනාවක් රජයට විරෝධය පළකර ඇතැයි වාර්තා වේ. පළාත් සභා කල්දැමීමට අමතරව ඡන්දය පැවැත්වෙන තෙක් එම පළාත් සභාවල ආණ්ඩුකාර පාලනයක් පවත්වා ගෙනයාමෙන් ප්‍රධාන ඇමැතිවරුන් අවලංගු කාසි බවට පත්වීම ගැන මුලින්ම ජනාධිපතිතුමාට විරෝධය පළකර තිබුණේ උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාය. ඔහු ජනපතිවරයාට කියා තිබුණේ මේ ආකාරයට ඡන්ද දිනයක් නොදැන මහ ඇමැතිවරුන්ගේ බලය අහිමි කර මැතිවරණයකට යන්නේ කෙසේද කියයි. ඒ ගැන වහා පියවරක් ගන්නා ලෙසද උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. 

මෙහිදී ජනාධිපතිවරයා පේෂල ජයරත්නගෙන් විමසා ඇත්තේ කළ හැකි විකල්ප විසඳුම් ගැනයි. එවිට ඔහු යෝජනා ගණනාවක් ජනපතිවරයාට ඉදිරිපත් කළේය. පළමු යෝජනාව වූයේ මහ ඇමැති බලය අහිමි කරන්නේ නම් පළාත් සභාවේ වෙනත් වගකිවයුතු ප්‍රබල තනතුරක් තමන්ට ලැබිය යුතු වගයි. ඔහු එයින් අදහස් කළේ පළාත් ආණ්ඩුකාර ධුරය බව ජනපතිවරයාට වැටහුණි. එහෙත් ජනපතිවරයා ඊට එකඟවී නැත. පළාත් සභා ඡන්ද කටේ හිටපු මහ ඇමැති ආණ්ඩුකාර ධුරයකට පත්කිරීම අයෝගය බව ජනපතිවරයාගේ මතය වී තිබිණි. එය ඉටුකළ නොහැකි නම් වෙනත් විකල්ප නීතියක් සම්මත කර පළාත් සභා මැතිවරණය තෙක් පළාත් මහ ඇමැතිගේ හා ඇමැති මණ්ඩලයේ බලය ආරක්ෂා කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් පේෂල ඉල්ලීමක් කළේ ඉන් පසුවය. ඒ අනුව ජනාධිපතිවරයා හිටපු මහ ඇමැකිවරයා අස්වසමින් ප්‍රකාශ කළේ තමන් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවයි. ඒ සඳහා පළාත් සභා පනත නැවතත් සංශෝධනය කළහැකි දැයි අගමැතිතුමා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා වග ජනාධිපතිවරයා පේෂල ජයරත්නට කීය.

උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැතිවරයා මෙන්ම නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැතිවරයා වූ නසීර් අහමඩ්ද ආණ්ඩුකාර පාලනයකට තරයේම විරෝධය පළකර තිබේ. ඔහු රජයේ ප්‍රධානීන්ට මෙන්ම සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රවුෆ් හකීම් හා නිසාම් කරියප්පර් වැනි අයටද ආණ්ඩුකාර පාලනය ඇති වන ආකාරයට අණපනත් සංශෝධනය කිරීමට එකඟවීම ගැන දොස්නගා ඇතැයි දැනගන්නට ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා විවෘත වේදිකාවේ ඒකාබද්ධ විපක්ෂය ගැන  ප්‍රකාශයක් කළේය. එය කුඩා ප්‍රකාශයක් වුවත් ඒ ගැන කොළඹ දේශපාලන අංශ දැඩි අවධානයක් දක්වා තිබිණි. අගමැති රනිල් ගාල්ලේ පැවැති පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලේ විවෘත කිරීමේ උත්සවයකදී කියාතිබුණේ ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කරමින් ආණ්ඩුවට ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සාර්ථක කරගත හැකිය කියායි. ව්‍යවස්ථා සම්පානයේදී දෙපක්ෂයේ අදහස් එක හා සමාන යැයි තමන්ට පෙනෙන බැවින් තිබෙන ගැටලු මඟහරවා ගෙන කටයුතු සාර්ථක කරගත හැකියැයි ඔහු පෙන්වා දුන්නේය. ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව රටට ඉදිරිපත් කරන දේශපාලන විසඳුම රට පාවාදීමක් යැයි අර්ථකථනය නොකරන ලෙසත් ඉල්ලා සිටියේය. තනි පක්ෂයක් ලෙස ආණ්ඩු කරන අවස්ථාවට වඩා පක්ෂ දෙකක ජාතික ආණ්ඩුවකින් අටට ස්ථිර සාමයක් උදාකරන්නට මංපෙත් විවරකරගත හැකියැයිද අගමැතිවරයා කීය. මෙය මැච් එක දිනන්නට ලැබෙන අවසන් අවස්ථාව බව අමතක නොකරන්නැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන යෝජනා මැතිසබයට ඉදිරිපත් කළ පසු ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තම දේශපාලන කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනා 14න් එකක් වත් සලකා බලා නැති බව යෝජිත කෙටුම්පත අධ්‍යයනයෙන් පසු පෙනෙන බවයි. තමන් යොජනා කළ අදහස් ගැන තැකීමක් නැති ආණ්ඩුවේ කෙටුම්පත ප්‍රතිෂේප කිරීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතාගේ මෑණියන් පසුගිය සති අන්තයේ අභාව ප්‍රප්තවූවාය. කොළඹ කොල්ලුපිටිය ඇල්ප්‍රඩ් හවුස් පාරේ පිහිටි රවුෆ් ගේ නිවසට දේශපාලන නායකයෝ බොහෝ ගණනන් ඒ අවස්ථාවේ පැමිණ අවසන් ගෞරව දැක්වූහ. මරණය දැනගත් ඉක්මනින්ම නිවසට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු දිනේෂ් ගුණවර්ධන සමඟ පැමිණ රවුෆ්ට කනගාටුව පළකොට සුළුවේලාවක් පිළිසඳරේ යෙදුණි. එහිදී දේශපාලනය ගැනත් පළාත් සභා ඡන්ද කල්දැමීම ගැනත් මහින්ද රවුෆ්ගෙන් විමසූ කළ ඔහු සඳහන් කළේ තමන්ද ඡන්ද කල්දැමීමට විරැද්ධ බවයි. එහෙත් මැතිවරණ ක්‍රමය සංශෝධනය වරදක් නැතැයිද රවුෆ් කියා තිබිණි.

රවුෆ් දිනේෂ් හා මහින්ද කතා කරමින් සිටින අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා ද රවුෆ්ගේ නිවසට පැමිණියේය. අවසන් ගෞරව දැක්වීමෙන් පසු සේනාධිරාජා කෙළින්ම පැමිණියේ මහින්ද සහ රවුෆ් සිටින තැනටයි. ඒ අවස්ථාවේ ඡන්ද කතාව වෙනතකට යොමුකළ සේනාධිරාජා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකළේය. එවිට මහින්ද රාජපක්ෂ මහතා සේනාධිරාජා මහතාට රවුෆ් හා දිනේෂ් ඉදිරිපිට කීමේ තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයට යෝජිත කෙටුම්පත තුළින් බුද්ධාගමට මෙතෙක් ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ ප්‍රමුඛ ස්ථානය හෑල්ලුවන ලෙස ක්‍රියාකර තිබෙන වගයි. අනතුරුව ඔහු කීවේ “අපි මේ රට හුඟාක් අමාරුවෙන් නිදහස් කරගෙන හැමෝටම නිදහසේ ජීවත්වෙන්න පරිසරයක් හැදුව. කවුරු මොන ව්‍යවස්ථාව හැදුවත් මගේ මූලික ප්‍රමුඛතාවය ලැබෙන්නේ ජාතියටයි, ආගමටයි. මේක අධ්‍යයනය කරනකොට ආගමට තියන තැන හෑල්ලු කරල කියන හින්ද මම ඉන් එහාට ව්‍යවස්ථාව කියවන එකත් නවත්තල දැම්ම... ඇයි මේ විදියට ඒක වෙනස් කළේ කියලත් මම දන්නව සමහර එන්.ජී.ඕ.වල වුවමනාවටයි මේව මේ විදියට ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න හදන්නේ.“ යැයි මහින්ද තරමක් දීර්ඝ ලෙස සේනාධිරාජා මහතාට තමන්ගේ විරෝධයට හේතු කාරණා පැහැදිලි කළේය. එවිට මාවෙයි සේනාධිරාජා මහින්දට කීවේ. “සර් අපට බුද්ධාගමට මුල්තැන දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.” කියායි. “අන්න එතනයි මාවෙයි ප්‍රශ්නය තියෙන්නේ ඔයාලටත් බුද්ධාගම ප්‍රශ්නයක් නොවේ නම් කාටද බුද්ධාගම ප්‍රශ්නයක් වුණේ. ඒකයි මම අහන්නෙත්... මහින්ද රාජපක්ෂ කතාව හමාර කරමින් ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා කමිටු අතුරුවාර්තාව මගින් බෞද්ධ ආගමට මෙතෙක් ව්‍යවස්ථාවෙන් හිමිව තිබූ ප්‍රමුඛස්ථානය අහිමි කර ඇතැයි ත්‍රෛනිකායික ජ්‍යෙෂ්ඨ මහා නායක හිමිවරුන් පිරිසක් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව මගින් මෙතෙක් බුද්ධාගමට හිමිකර දී තිබූ ප්‍රමුඛස්ථානය අහිමි කර ඇතැයි උන්වහන්සේලා චෝදනා කරති. පද අරුත් වෙනස් කිරීම මගින් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් (සන්ධීය රාජ්‍යයක්) ලෙස අර්ථකථනය කර ඇතැයි ද එය සිංහල ජනතාව නොමඟ යැවීමේ අධම උත්සාහයක් යැයි ද මහ සඟරැවන පෙන්වා දෙති.ව්‍යවස්ථා යෝජනා හෙළාදකිමින් මෙලෙස දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති මහා නායක ස්වාමීන් වහන්සේලා රටේ බහුතර ජනයා නියෝජනය කරන යාන්ත්‍රණයක් හරහා සාධාරණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙස රජයෙන් සහ සෙසු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

බෞද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සි, අමරපුර උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස, අමරපුර ධම්මරක්ඛිත නිකායේ මහා නායක ආචාර්ය ත්‍රිකුණාමලේ ආනන්ද, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, ආචාර්ය බෙල්ලන්විල විමලරතන, දොඩම්පහළ චන්ද්‍රසිරි, ආචාර්ය වැලිවිටියාවේ කුසලධම්ම ආදී ජ්‍යෙෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලා රැසක් මෙම නිවේදනයට අත්සන් තබා ඇත.

ඒ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ගැන දැඩි විවේචනයක් කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය. එම ව්‍යවස්ථා කෙටුම්පත උතුරු නැගෙනහිර ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව විග්නේෂ්වරන්ගේ අදහස විය. විග්නේෂ්වරන් නව ව්‍යවස්ථා යෝජනාවලට දැඩිලෙස පහරදීම නිසා ඒවා අගය කරමින් සිටින දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා දැඩිලෙස අපහසුවට පත්ව සිටී. ඔහු විග්නේෂ්වරන් ජනප්‍රියත්වය උදෙසා පක්ෂය තුළ හා උතුරේ ජනතාව අතර කරන සටන ගැන පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විවේචනයක් එල්ල කළ බවද වාර්තාවෙයි.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. අමාත්‍ය මණ්ඩල හමුව උණුසුම් කළ වාග් සටනක් මෙවර හටගත්තේ අමාත්‍ය ජයවික්‍රම පෙරේරා සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතරය. ඊට හේතු වූයේ දැනට ශාක්‍ය ජනපදය නමින් බෞද්ධ ආශ්‍රමයක් ඉදිකෙරෙන පිළියන්දල ප්‍රදේශයේ පිහිටි රිෂ්වේල්වත්ත සම්බන්ධ ප්‍රශ්නයකි. හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මුල්ගල් තබා ඉදිකරන මෙම ආශ්‍රමය සඳහා ඉඩමේ ඉඩකඩ වෙන්කොට ඉතිරි අක්කර 20ත් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අමාත්‍ය චම්පික රණවක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. චම්පික මෙම ඉඩම ඉල්ලා තිබුණේ එය කළින් නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබී ශාක්‍ය ජනපදය සඳහා පවරා දී තිබූ නිසා බව කියැවිණි. 

ආශ්‍රමය සඳහා වූ කොටස තබාගෙන ඉතිරි අක්කර 20 තමන්ගේ අමත්‍යංශය යටතට ගැනීමට චම්පික කළ ඉල්ලීමට බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා දැඩි ලෙසම එරෙහි විය. බෞද්ධයන්ට අයත් දේපොළ මෙලෙස පවරා ගැනීමට තමන් විරැද්ධයයි ඇමැති ජයවික්‍රම කීය. එහෙත් අමාත්‍ය චම්පික රණවක ඊට එකඟ නොවීය. රණවක අමාත්‍යවරයා කීවේ මෙම ඉඩමේ ඔය කියන ආකාරයේ ශාක්‍ය ජනපදයක් ඉදිවන බවක් පෙනෙන්නට නැත කියායි. ජනාධිපතිතුමාද කැඳවාගෙන ගොස් මුල්ගල් තබා සිදුකළේ කුමක්දැයි අමාත්‍ය රණවක තවදුරටත් ප්‍රශ්න කළේය. එහෙත් ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා මෙම ඉඩම කිසිසේත්ම ලබාදිය නොහැකි බවට තර්ක කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට මැදිහත්ව කීවේ දැනට ඉදිකිරීම් සඳහා යොදාගෙන නොමැති අක්කර 20 අමාත්‍ය රණවකට ලබාදෙන ලෙසයි.

අනතුරුව තරමක් අර්බුදකාරි යෝජනාවක් ලෙස ඉදිරිපත් වූයේ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් පළකළ අදහසකි. මන්නාරමේ සුළං බලාගාර ඉදිකරන්නට විදුලි බල මණ්ඩලය කර ඇති යෝජනාවට තමන් විරුද්ධ බව අමාත්‍ය බදුයුදීන් කීය. විරෝධය ඇයි දැයි ඇමැතිවරුන් ගණනාවක්ම ප්‍රශ්න කළෝය. එවිට බදුයුදීන් ඇමැති කීවේ මෙය ඉදිකිරීමට කතෝලික පල්ලිය එරෙහිවන බවයි. අමාත්‍ය සරත් අමුණුගමද විදුලි බලාගාරවල අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එවිට රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයා පැවැසුවේ සුළං බලාගාර ඉදිකරනා ස්ථානය මාරු කළ යුතු වගය. අනතුරුව මේ ගැන අතිවූ දීර්ඝ විවාදයකින් පසුව විරෝධය දක්වන පාර්ශව රජයේ ආර්ථික කළමනාකරණ කමිටුව හමුවට ගෙන්වා සාකච්ඡා කරන්නට ඇමැති මණ්ඩලය තීන්දු කළේය.

සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් පසුගිය කාලයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් මෙම මස 27 බදාදා පළාත් සභාවේ නිලකාලය හමාරවන මොහොතේ පළාත් සභාව අමතමින් පසුගියදා සිදුකළ පළාත් සභා ඡන්ද පනත සංශෝධනයෙන් කාලයකට ආණ්ඩුකාර පාලනයක් ඇති කිරීම දැඩිලෙස විවේචනය කළේය. පළාත් සභාවලට දුන් බලතල නැවත මධ්‍යම ආණ්ඩුව උදුරා ගැනීම ගැන තමන් තරයේම විරුද්ධ වන බව මහීපාල හේරත් මහතා කීය. එසේම පළාත් සභාවල පරමාධිපත්‍යයට පයින් ගහන යෝජනා ගෙන ඒම ගැන තමන් විරෝධය පළකරන්නේ යැයිද ඔහු සඳහන් කර තිබිණි.

පළාත් සභා මැතිවරණය කල්දැමීමට හැකිවන ලෙස පළාත් මැතිවරණ පනත සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ගැන විපක්ෂ දේශපාලන පක්ෂවල විරෝධය වැඩිපුරම එල්ල වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටයි. ඔවුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින බව කියමින් ප්‍රජාතන්ත්‍රවාදය පාවාදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රින් ජ.වි.පෙ.ට චෝදනා කර තිබිණි. මේ සියලුම චෝදනාවලට වරක් පිළිතුරු දුන් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ඡන්ද එකම දිනක පවත්වන පනතට පක්ෂව ඡන්දය දුන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව බවය. එය පක්ෂයේ පොදු තීන්දුවක් යැයිද හෙතෙම කීය.

ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මැති සබයේ දී තවත් වැදගත් ප්‍රකාශයක් කළේය. පළාත් සභා ඡන්ද සංශෝධන පනත සම්මත කළ ආකාරය වැරදි හා ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කර තිබෙන ප්‍රකාශයට අවධානය දැක්වූ අගමැතිවරයා මේ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සාකච්ඡා කරන්නට රජය තීන්දු කළ බව පැවසීය. අගමැතිවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා නීතිඥ සංගම් ප්‍රකාශය ගැන අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය. එම නිවේදනයෙන් නීතිඥ සංගමය වැඩිදුරටත් කියා තිබුණේ මෙම පනත සම්මත කරගත් ආකාරය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැවැන්ත බලපෑමක් සිදුවන නිසා ජනපති සහ අගමැති හමුවී එම වරද නිවැරදි කරගන්නට තම සංගමය ක්‍රියාකරන වගයි. මේ ගැන කරුණු පැහැදිලි කරමින් අගමැති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේ පනත් සංශෝධනය ගැන නීතිඥ සංගම් සභාපතිවරයා සමඟ මූලික සාකච්ඡාවක් කළ බවය. ඔහුට ඒ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව සලසා දෙන බව තමන් නීතිඥ සංගමයට දැක්වූයේ යැයිද අගමැතිවරයා මැතිසබයේදී කීය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගාල්ලේ අටාරි හෝටලයේ දී ශ්‍රී:ල:නි:ප මැති ඇමැතින් සමඟ සුහද හමුවකට එක් විය. ඉදිරි ඡන්ද සහ දේශපාලන ක්‍රියාදාමය ගැන එහිදී සාකච්ඡා කළ අතර සෑම මැති ඇමැතිවරයකුටම පෞද්ගලිකව ජනාධිපතිවරයා සමඟ විනාඩි 15 ක් බැගින් හමුවීමට වෙන් කර තිබිණි. එහිදී අදාළ මැති ඇමැතින්ගේ දුක් ගැනවිලි ජනපතිවරයාට පෞද්ගලිකවම ඉදිරිපත් කිරීමට අවසර ලැබිණි. බොහෝ මැති ඇමැතිවරු මෙහිදී පක්ෂ සමගිය ගැන නොයෙක් සැලැසුම් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

දැඩි ආරක්ෂක රැකවල් මැද මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර මැති ඇමැතින්ගේ ආරක්ෂක නිලධාරීන් පවා ඉවත් කර තිබිණි. පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණ සඳහා ඉදිරියේ දී කළ යුතු දේ ගැන වැදගත් තීන්දු ගණනාවක් මෙහිදී ගත් බව වාර්තා වෙයි.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර