2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්ද දිනය ගැන රනිල්ගෙන් මහින්දට රහසක්

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 469

  • ජනපතිගේ රැස්වීමට පොල්ල තැබූ මහ ඇමැති
  • සම්පන්දන් හදිසියේ මහින්දගේ නිවසට යයි
  • රවී කරුණානායකට අලුත් චරිතයක්
  • නිළියකගේ මුහුණේ කුරුළෑවක් ගලවන්න ආණ්ඩුවේ සල්ලි දුන් බව ජ.වි.පෙ නායකයා කියයි
  • අගමැති මූකම්බිකා කෝවිලෙන් ආශිර්වාද ගනී
  • ජනපති කියන කුමන්ත්‍රණ කතාව

මාසයක කාලයක් තුළ යහපාලන රජයේ එ.ජා.ප.ය නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනකුට තනතුරු අතහැරීමට සිදුවිය. මෙයින් රවී කරුණානායක අමාත්‍යවරයා ඉවත් වූයේ බැඳුම්කර කොමිසමේ දී හෙළිදරව් වූ කරුණු පදනම් කරගනිමින් දූෂණ චෝදනා ඇතුළත් විශ්වාසභංගයක් හේතුවෙනි. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට්ටුවෙන් ඉවත් කළේ විපක්ෂයට එරෙහි නඩු ප්‍රමාද කරන බවත් හම්බන්තොට වරාය රැකගත යුතු යැයි කීමෙන් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කළ බවටත් නැගුණු චෝදනාවක් නිසාය. එහෙත් රවී කරුණානායක මහතා ආණ්ඩුවේ කාර්යාලයක සිට කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක කටයුතු මෙහෙය වන බවට මේ සතියේ සමාජ ජාලා මාධ්‍ය තොරතුරැ හෙළිදරව් කළේය. විජේදාස රාජපක්ෂ මහතා අතුරලියේ රතන හිමියන් ප්‍රමුඛ මන්ත්‍රීන් පිරිසක් සමඟ දේශපාලන සාකච්ඡාවක නිරතව සිටින බව සඳහන්ය. එහෙත් ඔහු කරන්නට යන්නේ කුමක්ද කියා පැහැදිලි නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති පෙරහර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් අතර වූහ. එහිදී දෙදෙනා සුළු වේලාවක් සුහද කතාබහක ද නිරත වූහ. හිටපු ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ මහතාගෙන් ඒ අවස්ථාවේ විමසා සිටියේ ඉදිරියේ කරන්නට යන්නේ මොනවාද කියායි. “මම ටික දවසක් පසුපෙළට වෙලා ඉන්නයි බලාපොරොත්තුව ඊට පස්සෙ ගන්න ඕන ක්‍රියාමාර්ගය තීන්දු කරනවා” විජේදාස මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොල්ලූර් මූකම්බිකා කෝවිල වන්දනා කරගන්නටත් විශේෂ පූජාවකට සහභාගි වීමටත් එහි ගියේය. ඉන්දියාවේ ජනතාව ප්‍රධාන වශයෙන් අදහන සරස්වතී දේවිය, දුර්ගා දේවිය ප්‍රමුඛ දෙවි දේවතාවුන් ගණනාවක් වෙනුවෙන් කැපවුණු කෝවිල අනුහස් ඇති තැනක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ස්ථානයකි. එහිදී චන්දික හෝම පූජාවකට සහභාගි වී දේව ප්‍රසාද ලබාගැන්මට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලුම ප්‍රධාන ඇමැතිවරුන් සිය නිල නිවසට කැඳවා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේය. එම රාත්‍රී භෝජනයට සියලුම පළාත් නියෝජනය කරන මහ ඇමැතිවරැන් පැමිණ සිටියත් උතුරු පළාත් මහ ඇමැතිවරයා ඊට එක්වූයේ නැත. ඊට හේතුව අපැහැදිලි වුවත් ජනාධිපතිවරයා ඔහු පෞද්ගලිකවම අමතා භෝජන සංග්‍රහයට ආරාධනා කරන්නට ගත් උත්සාහය ද ව්‍යර්ථ වූ බව දැනගන්නට තිබේ. එහෙත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම භෝජන සංග්‍රහයට එක් විය. භෝජන සංග්‍රහයට පෙර පැවති සුහද හමුවේ දී ජනාධිපතිවරයා මහ ඇමැතිවරුන් සමඟ සුහද සංවාදයක යෙදෙමින් පළාත් සභාවලට අනුමැතිය සඳහා යවන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළේය. &20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපි කොහොම හරි කරගන්න ඕන... ඒක දිගුකාලීනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් අත්‍යවශ්‍ය වෙනව... ඒ නිසා මහ ඇමැතිතුමන්ලා මේක සම්මත කරගැනීමේ වගකීම ගන්න ඕන... ස්ථිර රජයක් ගෙනියන්න නම් අපි සාමූහිකව වැඩ කරන්න ඕන...” යැයි කියූ ජනාධිපතිවරයා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා දෙසට හැරී මොකද ඌවෙදි සංශෝධනය පරාද වුණේ? කියා ප්‍රශ්න කළේය. එවිට පිළිතුරු සැපයූ මහ ඇමැති දසනායක කීවේ “සර් ඌවෙදි සංශෝධනය පැරදුණේ හරියට මන්ත්‍රීවරු දැනුම්වත්ව නොහිටපු නිසයි. දැනුම්වත් කරල ඡන්දයට ගියා නම් අපට ඒක සම්මත කරගන්න තිබුණා...” යැයි උත්තර බඳින විට ජනාධිපතිවරයා ප්‍රශ්න කළේ දැන් ඉතින් මොකද කරන්න පුළුවන් කියාය. එහිදී මහ ඇමැති දසනායක කියා සිටියේ පළාත් සභා රීතිවලට අනුව නැවතත් මෙම සංශෝධනය සභාවට ඉදිරිපත් කර සම්මත කරගන්නට ඉඩක් තිබේද කියා විමසා බලන බවයි. 
ඔහු එසේ කීවද ඊට පසුදා බස්නාහිර පළාත් සභාවේ දී යෝජනාව සම්මත කරගන්නට ගත් උත්සාහය කෙළවර වූයේ විශාල අරගලයකිනි. ඊට පසුදා දකුණු පළාත් සභාවේදීද ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් විය. එහිදීද ඡන්දය විමසීමට යාමේදී මහ ගුටිකෙළියක් හට ගැනිණි. සෙංකෝලය හතරට කැඩී ගිය බව වාර්තා විය. මහ ඇමැතිවරයා සහ ඔහුට හිතවත් මන්ත්‍රීන් සභාවෙන් පිටට යද්දී සභාපතිවරයා ඡන්දය විමසීය. පනතට විපක්ෂව ඡන්ද 27 ක් ලැබී පනත පරාජය වූ බව පසුව වාර්තා විය. ඒ හැර සබරගමුව පළාත්, සභාව නැගෙනහිර පළාත් සභාව, වයඹ පළාත් සභාව ආදී පළාත් සභා ගණනාවක 20 වැනි සංශෝධනය සාකච්ඡාවට ගෙන අනතුරුව ඡන්ද විමසා සම්මත කිරීම ලබන මාසයට කල් දැමීය. නැගෙනහිර හැර අනෙක් සමහර පළාත් සභාවල ඒ ගැන විරෝධතා මතු වූ නමුත් වයඹ පළාත් සභාවේ එබන්දක් දක්නට නොවීය. මේ ආකාරයට පළාත් සභා සියල්ලේම ඡන්ද විමසීම් ලබන මාසයට කල්දමනු ලැබුවේ ජනාධිපති කාර්යාලයෙන් ලැබුණ විශේෂ නියෝගයක් අනුව යැයි පසුව වාර්තා විය. ඒ අතර පළාත් සභාවලට ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයට අලුත් වගන්ති ගණනාවක් එක්කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීමට මුල් යෝජනාව නීතිපතිවරයා වෙත යවන ලද බව ගිය අඟහරුවාදා වාර්තා විය.
සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරැවාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී වඩාත් උණුසුම් ලෙස සාකච්ඡාවට ගත් මාතෘකාව වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් හමුවේ ලබන අන්ත පරාජයයි. ඒ ගැන දැඩි විවේචනයක් කළ හිටපු ක්‍රිකට් නායකයකු වන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ මෙම අන්ත පරාජයන්හි වගකීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ අත්තනෝමතික පාලනය විසින් බාරගත යුතුය කියායි. තවදුරටත් අර්ජුන සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැන් කළ යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරැවා තිලංග සුමතිපාල ඇතුළු පාලකයන් ඉවත් කොට අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම බවයි. නමුත් දයාසිරි ඊට එකඟ වූයේ නැත. දයාසිරි කීවේ මේ අය පත්වූයේ ඡන්දයෙන් නිසා තමන් ඔවුන් එකවර ඉවත් කිරීම සාධාරණ නොවන බවයි. මේ ගැන අර්ජුන රණතුංග හා දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය. පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය අලුත්වැඩියාවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වෙද්දිත් අර්ජුන ඒ ගැන වාදයක පැටලුණි.

එවිට දයාසිරි ජයසේකර මහතා කීවේ තමන් ක්‍රීඩා අමාත්‍යංශය ගෙන යන හැටි හරි නැති නම් හැමදේටම ඇඟිලි නොගසා අමාත්‍යංශය අර්ජුනටම බාරදෙන ලෙසයි. අර්ජුන ඊට පිළිතුරු ලෙස පැවසුවේ තමන් ක්‍රීඩා අමාත්‍යංශය බාරගන්නට සූදානම් නමුත් එය බාරගන්නේ දැනට දරන ඛනිජ තෙල් ඇමැතිකමට අමතරව බවය. කලක් තිලංග සමඟ වැඩ කළ අර්ජුන අද ඔහුට බණින්නේ තම සහෝදරයා ක්‍රිකට් සභාපති කළ නොහැකි වූ නිසා යැයි කියමින් දයාසිරි දිගටම වාද කරද්දී ජනාධිපතිවරයා මේ සටන සමතයකට පත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතික ඉදිකිරීම් ප්‍රදර්ශනය විවෘත කළේය. අමාත්‍ය වජිර අබේවර්ධන හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු ඇමැතිවරු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අගමැතිවරයා ජාතික ආර්ථිකය සංවර්ධනය කරන ආකාරය ගැන පැමිණ සිටි පිරිස දැනුම්වත් කළේය. පසුගිය රජය යටතේ යුද්ධය හමාර වුවද ආර්ථිකය සංවර්ධනය නොවූ බව පෙන්වා දුන් අගමැතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ සහ තමන්ගේ මෙහෙයවීම යටතේ ජාතික ආර්ථිකය සුබදායී මාවතකට පිවිස ඇතැයි ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට සහාය ලැබෙමින් පවතී. ජී.එස්.පී. ප්ලස් බදු සහනය යටතේ රටේ ඇඟළුම් ඇතුළු අපනයන යුරෝපයට යවන්නට ශ්‍රී ලාංකිකයන්ට හැකි වී යැයි ද අගමැතිවරයා කීය. ඉන්ධන මිල අඩු කිරීම, වැටුප් වැඩි කිරීම, දිළිඳු ගම්මාන නගාසිටුවීම වැනි දහසකුත් එකක් සංවර්ධන කටයුතු රජය අරඹා ඇති බැවින් ඒවා සාර්ථක කරගන්නට ජනතා සහාය අවශ්‍ය යැයි ද අගමැතිවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 7 දෙනකුට විනය පරීක්ෂණ පවත්වා සුදුසු පියවර ගැනීමට තීන්දු කළ බව ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා සහ රෝහිත අබේගුණවර්ධන ඇතුළු 7 දෙනකුට මෙසේ විනය පියවර ගන්නා බව ප්‍රකාශ විය. මේ අයට විනය පරීක්ෂණ පවත්වන්නේ ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම අනුව බවද දුමින්ද ප්‍රකාශ කළේය. පක්ෂ නායකත්වය විවේචනය කිරීම, පක්ෂයේ තීන්දුවලට එරෙහිව ක්‍රියා කිරීම ආදී චෝදනා ඔවුනට එල්ල වී තිබෙන බවද සඳහන් විය. මේ විනය පරීක්ෂණ කතාව ගැන මාධ්‍යයට අදහස් දැක්වූ රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා කීවේ තමන්ට කුමන පරීක්ෂණ තබන බව කීවද බිය නොවන බවයි. ශ්‍රී.ල.නි.ප.යේ ජනතා බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බව කී හෙතෙම තම කණ්ඩායම පස්ස බලන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ කරන සටන ජයග්‍රහණයෙන් පසුව යැයි ද කීය.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ද තමන්ගේ සටන් මාර්ගය තරකරමින් සිටී. ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව විශ්වාසභංගයක් බාරදුන් ඔවුන්ට ඒ ගැන තීන්දුව ඉදිරි සතියේ මැතිසබය රුස්වූ විට ප්‍රකාශ කරන බව කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේය. අනතුරැව මේ ගැන අදහස් දැක්වූ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ රාජිතට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ නීතිමය ගැටලු ගණනාවක් ඇති බැවින් එය සභා න්‍යාය පත්‍රයට ඇතුළත් නොවනු ඇති බවයි. නීතිය නොදන්නා ගොඩ පෙරකදෝරුවන් විසින් සකස් කළ මෙම යෝජනාව දෝෂ සහිත බව තමන් කතානායකතුමාට පෙන්වා දෙන්නේ යැයි ද සභා නායක කිරිඇල්ල මහතා කීය. මෙම යෝජනාව ගැන අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සයිටම් ප්‍රශ්නය වැනි ප්‍රශ්නවලදීත් සෙසු කාරණාවලදීත් ක්‍රියා කරන අත්තනෝමතික පිළිවෙත නිසා ජනතා විමුක්ති පෙරමුණ රාජිතට එරෙහි විශ්වාසභංගයේ දී රාජිතට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අදහස් කරන බවයි. නමුත් එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීන් මාධ්‍යයට කීවේ ජනතාවගේ විශ්වාසය දිනානොගත් ඒකාබද්ධ විපක්ෂය ගෙන එන මෙබඳු යෝජනා පරාජයට පත් කළ යුතු බවය. මෙහිදී තම කණ්ඩායම රාජිත සමඟ බව එ.ජා.ප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ මුජිබර් රහමන් මන්ත්‍රීවරයා කියා තිබිණි.

පළාත් පාලන ඡන්ද පනත සම්මත වීමත්, පළාත් සභා ඡන්ද කල්දැමීමට ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා ගණනාවකින් පරාජයට පත්වීමත් නිසා දැන් මැතිවරණ පරිසරයක් නිර්මාණය වෙමින් තිබේ. දෙසැම්බර් මස මුල සතියේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසම ද කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් අවසන් මොහොතේ නගර සභා ආඥා පනත හා තවත් ඡන්දයට අදාළ පනත් ගණනක් සංශෝධනය කළ යුතු යැයි කැබිනට්ටුව තීන්දු කළ නිසා මේ ඡන්දය ලබන වසර තෙක් නැවත කල් යන්නට ඉඩ ඇතැයි කියැවේ. පළාත් සභා ඡන්ද කල් දමන ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස මැතිසබයේ දී සම්මත නොවුණහොත් පළාත් සභා ඡන්දයක් දෙසැම්බර් ආසන්නයේ තබන්නට සිදුවෙයි. උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභාවල නිල කාලය ඊයේ (සැප්තැම්බර් 02 දා) හමාර වූ බැවින් ඉදිරි මාස කිහිපය තුළ එම ඡන්දය පැවැත්විය යුතුය.

එ.ජා.ප.ය, ශ්‍රී.ල.නි.ප.ය, ඒකාබද්ධ විපක්ෂය හා ජ.වි.පෙ යන ප්‍රධාන පක්ෂ සියල්ලත් උතුරු නැගෙනහිර පක්ෂත් සටනට සැරසෙනු පෙනේ. අලුත් මිශ්‍ර ඡන්ද ක්‍රමය තුළ මනාප අරගල අඩුවන බැවින් මෙවර ඡන්දය වෙනදාට වඩා සාමකාමී වන්නට ඉඩ තිබේ. ඡන්දයක් ඉල්ලමින් සිටි ඒකාබද්ධ විපක්ෂයට මෙම ඡන්දය තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් බවට පත්කරගත යුතු යැයි මේ සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කණ්ඩායම් රැස්වීමේ දී අවධාරණය කෙරිණි. මැතිවරණය සඳහා සූදානම් වීමේ අරමුණින් පසුගිය අඟහරැවාදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී පළාත් පාලන ඡන්දයේ මෙහෙයුම් කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් ‍කෙරිණි. එහි පක්ෂ නායකත්ව මණ්ඩලය ප්‍රධානත්වය දරයි. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක් ඊට ඇතුළත්ය. මැතිවරණ මෙහෙයුම් සංවිධානය හා අපේක්ෂකයන් තෝරාගැනීම, කොට්ඨාසවලට පත් කිරීම ඔවුන් කරනු ඇත. මේ සියලු කටයුතු අධීක්ෂණය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලැබේ. ඊට බැසිල් රාජපක්ෂගේ ද සහාය ලැබෙයි. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන හා පළාත් සභා ඡන්ද ඉලක්ක කරගෙන අලුත් දේශපාලන සන්ධානයක් සකස් කිරීමට ද තීන්දු කළේය. මෙරට පළාත් පාලන ආයතන 300කට අධික සංඛ්‍යාවකට තරග කරන බැවින් සියලු ජාතීන් හා හිතවත් පක්ෂ එක පොකුරකට ගැනීම පිණිස අලුත් සන්ධානය නිර්මාණය කෙරෙන බවත් ඒ ගැන දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කළ බවත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අහඹු හමුවක් පසුගියදා සිදුවිය. ඒ අභාවප්‍රාප්ත ඌව පළාත් සභා මන්ත්‍රී කිත්සිරි අත්තනායක මහතාගේ අවමංගල්‍යයට සහභාගි වීමට ජයරත්න මල් ශාලාවට පැමිණි අවස්ථාවේය. එහිදී අගමැතිවරයා සහ මහින්ද සුළු වේලාවක් පෞද්ගලිකව සාකච්ඡා කළෝය. දෙදෙනාගේ කතාබහේ දී වැඩිදුරට සාකච්ඡා වූයේ දැනට පළාත් සභා අනුමැතියට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැනයි. මහින්ද රාජපක්ෂ මහතා රනිල්ගෙන් ඇසුවේ 20 වැනි සංශෝධනයටත් ප්‍රශ්න ඇති බැවින් ඉදිරියට කරන්නට යන්නේ කුමක්ද යන ප්‍රශ්නයයි. එවිට අග්‍රාමාත්‍යවරයා මහින්දට පැහැදිලි කළේ මෙම සංශෝධනය අනුව පළාත් සභා ඡන්ද 2018 වසර මැදභාගයට කල් දැමෙන බවත් එම ඡන්ද පවත්වන නිශ්චිත දිනය 20 වැනි සංශෝධනයට නිශ්චිතව ඇතුළත් කරන බවත්ය. මේ තීන්දුව නිසා පළාත් සභා දෙක තුනක ඡන්ද වසරකින් පමණ කල්යන අතර ඉතිරි පළාත් සභා ගණනක ඡන්ද නියමිත කාලයට කලින් පැවැත්වීමට ඉඩ ලැබෙන වග රනිල් මහින්දට කීය. එය සාධාරණ ක්‍රමයක් යැයි අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට විස්තර කර දුන්නේය.

එම අවමංගල්‍යයට සහභාගි වූ මහින්දට නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස දුරකතනයෙන් අමතා කීවේ මෙයට සුළු වේලාවකට පෙර හිටපු අමාත්‍ය අස්වර් මහතා රෝහලේ දී මියගිය බවයි. එය දැනගත් මහින්ද ඒ මොහොතේම කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා ද සමඟ නවලෝක රෝහලට ගොස් අස්වර් මහතාට අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් පසුගිය බදාදා ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරු ද එයට එක්ව සිටියෝය. එහිදී මාධ්‍ය ප්‍රධානීන් විමසූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ සැහැල්ලුවෙනි. 2020 දක්වා ආණ්ඩුව ගෙන යා හැකිදැයි විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා කීවේ තමන්ට රජය ගෙන යා හැකි බවට විශ්වාසයක් ඇති බවයි. එසේ නොවන්නේ නම් එය කුමන්ත්‍රණයක් විය හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

රජයට ලැබෙන වංචා දූෂණ පැමිණිලි පැයෙන් දෙකෙන් විසඳිය නොහැකි යැයි පැහැදිලි කළ ජනාධිපතිවරයා, ජනාධිපතිවරයා හොරකම් කරනවා නම් ජනාධිපති ලේකම් එය දන්නා බවත් ඇමැතිවරයා හොරකම් කරන්නේ නම් එය අමාත්‍යංශ ලේකම් දැනගත යුතු බවත් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධව තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීමට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සමඟ සාකච්ඡා කොට පියවර ගන්නේ යැයි ද පැහැදිලි කළේය.

අනතුරැව ආණ්ඩුවෙන් ඉවත්ව යනවා යැයි කියන ඇමැතිවරැන් ගැන ප්‍රශ්න මතු විය. එවිට ජනපතිවරයා කීවේ දෙසැම්බර් දක්වා සමගි රජය ගෙන යාමට තීන්දු කර ඇති බවය. කවුරැ ගියත් ජනාධිපති තමන් බව කී සිරිසේන මහතා තිබෙන පාර්ලිමේන්තු බලය අනුව කාටවත් තනි ආණ්ඩු හදන්නට බැරි බැවින් හවුල් ආණ්ඩු හදන්නට සිදුවන්නේ යැයි පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැනුවත් කරන්නේ මේ දිනවල රටේ පවත්නා ප්‍රධාන ජාතික ප්‍රශ්න ගණනාවක් ගැනයි. ජ.වි.පෙ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ද ඉලක්ක කරගෙන මෙම සම්මන්ත්‍රණ පවත්වමින් සිටී. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය කාලයේ පැවති රුස්වීම් ගණනාවක දී තරයේම අවධාරණය කළේ 2020 දී ජනතා විමුක්ති පෙරමුණ තනි රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවය. ඒ බව ඔහු මෙවර කෑගල්ලේ පැවති සම්මන්ත්‍රණයේදිත් අවධාරණය කළේය. ගිය රජය යටතේ මෙන්ම වත්මන් රජය යටතේ ද රජය විශාල ණය කන්දකට යට වී සිටින බැවින් ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලට මෙරටට එන්නට කියා ඔවුන් කියන පදයට නටන්න පටන්ගෙන ඇතැයි සඳහන් කළේය. අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ද කඩාවැටී ඇති බැවින් අගමැතිවරයා මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා ද ප්‍රතිකාර ලබාගන්නට යන්නේ විදේශවල රෝහල් වෙත යැයි ජ.වි.පෙ නායකයා කීය. රටේ ජනතාවට ජනාධිපති අරමුදලින් හදවත් සැත්කමකට රැපියල් ලක්ෂ 1 ක් ලබාගන්න නොයෙක් වාර්තා සපයා මාස ගණනාවක් බලා සිටින්නට සිදුවන වග පැවසූ හෙතෙම මෙරට එක්තරා නිළියකගේ මුහුණේ කුරැළෑවක් ඉවත් කරන්නට ජනාධිපති අරමුදලින් රැපියල් ලක්ෂ ගණනක් ලබා දී ඇතැයි හෙළිදරව් කළේය. මෙම තත්ත්වයන් දුරැකිරීමට රටේ සාධාරණ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතු යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00