2017 ජුලි 29 වන සෙනසුරාදා

බැඳුම්කර කොමිසමට උත්තර දෙන්න රවී 2වැනිදා කොමිසමට

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 208

ගෙවී ගිය සතිය ආරම්භ වූයේ යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් සාජන්ට් සරත් හේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ ආන්දෝලනාත්මක පුවත සමඟය. පසුගිය 22 වැනි සෙනසුරාදා හැන්දෑවේ යාපනය නල්ලූර් කෝවිල අසලින් සිය නිල රථයෙන් ගමන් කරමින් සිටි විනිසුරු ඉලන්චේලියන්ගේ රථයට රැකවරණය සපයමින් පසු ගමන් ගිය සැරයන් වරයාට වෙඩි තබා ඇත්තේ බීමත් සාහසිකයකු විසින් බව පසුව හෙළිදරව් විය. ඔහු එම වෙඩි තැබීම කර ඇත්තේ අදාළ පොලිස් සැරයන්වරයා පතුරොම් පුරවා රැගෙන ගිය ඔහුගේම නිල රිවෝල්වරයෙන් වීම බරපතළ කරුණකි. මෙම අපරාධකරැ විනිසුරු නිල රථයට පසු ගමන් කළ ආරක්ෂකයාට මෙන්ම විනිසුරුවරයා සමඟ නිල රථයයේ ගමන් කළ අනෙක් පොලිස් නිලධාරියාටද වෙඩි තැබීය. ඔහුද බරපතළ තුවාල ලැබීය. වෙඩි උණ්ඩ 11කට වැඩි ගණනක් මේ සඳහා වැය කර තිබූ බව පසුව සොයාගැනින. 

යාපනයේ ආන්දෝලනාත්මක ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය ගැන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරයකු වන ඉලන්චේලියන් මහතා පසුව ප්‍රකාශ කළේ මෙම වෙඩි ප්‍රහාරය තමන් ඉලක්ක කරගෙන එල්ල කළේ යැයි සැක කළ හැකි වගය. යාපනය රෝහලේදි සැරයන් හේමචන්ද්‍ර මහතා මිය යාමෙන් පසු ඉතා සංවේදී වූ විනිසුරු ඉලන්චේලියන් මහතා හඬා වැටෙමින් සොව පළ කිරීම සංවේග ජනක සිදුවීමක් විය. වසර 17 මෙම විනිසුරුවරයා සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඔහුගේ ආරක්ෂකයා ලෙස සේවය කළ හේමචන්ද්‍ර මහතා විනිසුරුවරයාගේ පවුලේ සාමාජිකයකු මෙන් ඔහුට සමීපව සේවය කළ බව කියැවේ. මේ හදිසි මරණය ගැන ඉලන්චේලියන් මහත්මිය හා දරුවන්ද දැඩි ලෙස කම්පාවට පත්ව සිටීම නිසා විනිසුරුවරයාද සංවේදී තත්ත්වයට පත්ව සිටියේය.

මේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ඉදිරියට යද්දී සැකකරුවෝ ගණනාවක් අත්අඩංගුවට පත්වූහ. ඒ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම විනිසුරැ ඉලන්චේලියන් ඇමතීය. මේ ගැන රජය නිසි ලෙස පරික්ෂා කරන බවත් විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ඉලන්චේලියන් මහතාට ප්‍රකාශ කළේය. අනතුරැව ඊට අදාළව පියවරගත් ජනාධිපතිවරයා මෙරට සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වහා තහවුරු කරන්නට පියවර ගන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට උපදෙස් දුන්නේය.

කැබිනට්ටුවේදී ජනපතිගෙන් අගමැතිට කේක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය සඳුදා අරලියගහ මන්දිරයේදී රැස්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීමේ මුලසුන දැරෑ මෙම මන්ත්‍රී හමුවේදී සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන මුලින්ම කතාබහ ‍කෙරිණි. ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් නැති බව සඳහන් කළ මන්ත්‍රීවරුනට අගමැතිවරයා කීවේ පක්ෂය කරන කියන කටයුතු ඇතුළත් තොරතුරු ලබාදීම සඳහා විශේෂ ක්‍රමයක් සම්පාදනය කරන බවයි ඒ සඳහා විශේෂ පරිගණක “ඇප්” එකක් සකස් කිරීමට විදේශීය විශේෂඥ පිරිසක් මේ වනවිටත් ක්‍රියාකරමින් සිටින බව මන්ත්‍රීන්ට කී අගමැතිවරයා ඉන් පසු පක්ෂයේ සියලුම තොරතුරු කඩිනමින් ලබාගත හැකි යැයි සඳහන් කළේය. අඟහරුවාදා 4 වැනි දේශීය ආදායම් පනත ගැනද අගමැතිවරයා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර තොරතුරු කීහ. මූල්‍ය අක්‍රමිකතා දුරු කිරීමත් බදු ක්‍රමය සරල කිරීමත් එහි අරමුණ බව රනිල් කීය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල දයා ගමගේ අමාත්‍යවරයාද කීවේ මෙම පනත ඉතාමත් ප්‍රශස්ත එකක් කියායි.

මෙම කතාබහෙන් පසුව එකවරම අග්‍රාමාත්‍යවරයා කෝ උපන්දින කේක් ගෙනාවාදැයි සභාවෙන් විමසීය. අනුරාධපුරයේ ඇමැතිවරියකගේ සහ ඇමතිවරයකුගේ උපන් දිනය අදට යෙදී ඇතැයි අගමැතිවරයා මතක් කළ විට කේක් නොතිබුණත් සියලු මැති ඇමැතිවරු “හැපි බර්ත්ඩේ ටූ යූ” කියමින් ඔවුනට සුබපැතෑහ. අනතුරුව එ.ජා.ප පත් කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස යාපනය පොලිස් නිලධරයා ඝාතනය ගැන සාකච්ඡා කළ යුතු යැයි කීය. එවිට අගමැතිවරයා කීවේ එය හොඳ නමුත් සභාව කල් තැබීමේ විවාදයකදී සාකච්ඡා කළ යුත්තේ වැඩි ජාතික වැදගත්කමක් ඇති යෝජනාවක් බවය. ඒ සඳහා සුදුසු යෝජනාවක් සකස් කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාට සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට භාර කැරිණි.

රජරට පළාතේ පවත්නා අධික නියඟය නිසා වැව් විශාල ගණනක් සිඳි ගොස් ඇතැයි අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේය. නියං සමය වැව් හාරා පුළුල් කිරීමට ඉතාමත් යෝග්‍ය කාලය බැවින් ඒ සඳහා පියවර ගන්නා ලෙස හැරිසන් මහතා ඉල්ලා සිටියේය. යුද හමුදාවේ ශ්‍රමය මෙයට යොදාගත හැකි යැයි ඔහු කී විට අමාත්‍ය ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ ඊට හමුදාව නොයොදවා ජනතාවගේ ශ්‍රම දානයෙන් වැව් හැරීම කළ හැකිය කියායි. එහෙත් අකිල විරාජ් අමාත්‍යවරයා හැරිසන් අමාත්‍යවරයාත් හමුදාව යොදවා වැව් හැරීම වඩාත් සුදුසු යැයි නැවත පෙන්වා දුන්හ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයේ දිවුරුම් දුන්නේ 1977 අගොස්තු 04 දින යැයි කී සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැතිවරයාගේ මැතිසබා විදියට වසර 40ක් සපිරෙන දා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පවත්වා එතුමාගේ සේවය අගැයීමට ලක් කරන වග සඳහන් කළේය. ඒ සඳහා සියලු මන්ත්‍රීන්ට සහභාගි වන්නැයිද කිරිඇල්ල මහතා දැනුම් දුන්නේය. 

වර්ජනවලින් ආණ්ඩු පෙරලන්න බැරියැයි මරික්කාර් කියයි

සතියේ ප්‍රධානම අර්බුදය බවට පත්වූ ඛනිජතෙල් වර්ජනය සම්බන්ධව එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම ඊළඟට අවධානය දැක්වීය. ඒ ගැන විෂය භාර ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් මැති ඇමැතිවරුන් විමසූවිට අර්ජුන සඳහන් කළේ හම්බන්තොට වරාය ගිවිසුම යටතේ තෙල් ටැංකි සංකීර්ණය චීන සමාගමට පැවරීම ඇතුළු කාරණා තුනක් මුල්කරගෙන වර්ජනය දියත් කරන බව තමන්ට දැක්වූ බවය. අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරිය එහිදි කීවේ මෙය හුදෙක්ම දේශපාලන ක්‍රියාදාමයක් බවයි. එවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ හම්බන්තොට වරාය ගිවිසුම ඛනිජ තෙල් සමිතිවලට අදාළවන්නක් නොව වෙනත් අමාත්‍යංශයකට අයත් ප්‍රශ්නයක් බවය. වර්ජන කාලයේදී පොදු ප්‍රවාහන සේවාවන්ට තෙල් සපයන ලෙස නිමල් සිරිපාල ඇමැතිවරයා ඉල්ලා ඇතැයිද මෙහිදී මතක් කළේය. අගමැතිවරයා නැවත කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ මෙරට ඉන්දියන් ඔයිල් සමාගමට ලංකාවේ තෙල් බෙදාහැරීමේ කටයුතු වලින් 30%ක හිමිකමක් ඇති වගය. ඒ අයට සති දෙකකට ප්‍රමාණවත් වන ඉන්ධන තොග ගබඩාවල ඇතැයි අගමැතිවරයා නැවත කීය. එවිට අර්ජුන රණතුංග ඇමැතිවරයා කීවේ ඔවුනගේ ඉන්ධන ගබඩාවලටද තෙල් සපයන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවය කියායි. “නෑ... නෑ... එයාලගෙ ස්ටොක් එකේ තෙල් තියෙනවා” අගමැතිවරයා නැවතත් කීය. තෙල් සමිති සුරතල් නොකළ යුතු යැයි මංගල සමරවීර අමාත්‍යවරයා පවසද්දී මන්ත්‍රීන් ගණනාවක්ම කීවේ මෙහෙම ආණ්ඩුවකට දුවන්න බැරි බවයි. කබීර් හෂීම් ඇමැතිවරයාගේ අදහස වූයේ මෙබඳු කටයුතු වළක්වා ගන්නට දේශපාලන ක්‍රියාදාමයක් වුවමනාය යන්නයි. එවිට කොළොන්නාවේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කීවේ පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ගතවූ මුල් මාස 6ක පමණ කාලයේ උද්ඝෝෂණ වැඩ වර්ජන 1000ක් පමණ රටේ සිදුවූ බවය. දින 180කට මෙතරම් උද්ඝෝෂණ රටක සිදුවීම ඉතා බරපතළ කාරණයක් බව ඔහු කීය. මේ තත්ත්වය තේරැම් ගෙන රජය වහාම තීන්දුවක් ගත යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.

අනතුරුව මන්ත්‍රීන් යෝජනා කළේ ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කොට යුද හමුදාව සේවයට කැඳවිය යුතු වගයි. මේ ආකාරයට රටේ ප්‍රශ්න ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ එ.ජා.ප මන්ත්‍රී හමුව නිමාවූයේ පැය 1 ½කට පමණ පසුය.

රජය කොපමණ උත්සාහ කළත් ඛනිජතෙල් වර්ජනය ගිය අඟහරැවාදා උදෑසන වනවිට ආරම්භ වී තිබිණි. හම්බන්තොට තෙල් ටැංකි විදේශිකයන්ට පැවරීම නතර කිරීම සහ ඒවා රජයට පවරාගැනීම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අලුත්වැඩියා හමාරකොට වහාම සක්‍රීය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත මෙම වර්ජනය දියත් ‍කෙරිණි. ඒ අනුව වර්ජනයෙන් රටේම තෙල් සැපයුම අඩාල විය. සෑම නගරයකම දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබිණි. ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සමහර ඉන්ධනහල්වල පමණක් තෙල් බෙදීම සිදුවිය. එහෙත් රජය හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ ගිවිසුම අගමැති විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත්තේ මේ සතියේ අඟහරුවාදාය. එය බදාදාට පාර්ලිමේන්තුවටඉදිරිපත් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බව වාර්තා විය. 

ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වූ අනෙක් වැදගත් යෝජනාව වූයේ පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට හැකිවන ලෙස පළාත් සභා මැතිවරණ පනත සංශෝධනයට ගෙන ආ යෝජනාවයි. ලබන සැප්තැම්බර් නිල කාලය හමාරවන පළාත් සභා තුනක සහ සෙසු පළාත් සභාවල මැතිවරණ එකම දිනයකදී පැවැත්විමට හැකිවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයටද අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය. කොට්ඨාශ සහ අනුපාත මිශ්‍ර ක්‍රමයකට මැතිවරණය පැවැත්වීමටද අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගත්තේය. මේ ගැන විෂය භාර අමාත්‍ය පයිසර් මුස්තාපා මහතා සමඟ කතා කොට අවශ්‍ය පියවර ගත යුතුයැයි යෝජනාව ඉදිරිපත් කළ අගමැතිවරයා පැවසීය. එහෙත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අදහස වූයේ පළාත් ඡන්ද කල්දැමීමේ ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විමසුමක්ද අවශ්‍ය විය හැකි බවය.

ආණ්ඩුවම තැටිය රත්කරලා දුන් බව මහින්දගෙන් ප්‍රකාශයක්

කෙසේ හෝ ඒ ගැන තීන්දු ගැනීමෙන් පසු විදේශ අමාත්‍ය රවි කරුණානායක අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ප්‍රතික්ෂේප කිරීමට ඇමැති මණ්ඩලය තීන්දු කර ඇත. මාසිකව රුපියල් ලක්ෂ 2 1/2 ක වැටුපකට තමන්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා නමින් නව තනතුරක් ඇති කරන්නට කළ යොජනාව ගැන ජනාධිපතිවරයා කීවේ ඊට නීතිමය ප්‍රතිපාදන නැති වගය. එක් ඇමැතිවරයකුට මෙම අවසරය දුන්නොත් සෙසු ඇමැතිවරුන්ටද ඒ සඳහා අවස්තාව දිය යුතු යැයි කියූ ජනපතිවරයා සෙසු ඇමැතිවරුන්ගෙන් කාර්ය මණ්ඩල ප්‍රධානීන් අවශ්‍ය කාටදැයි විමසූවිට සියලුම ඇමැතිවරු තමන්ටත් එවැන්නෙක් අවශ්‍ය යැයි කීහ. එසේම එම තැනැත්තාට ගෙවිය හැකි වැටුප ගැනද ප්‍රශ්නයක් ඇති බව ජනපතිවරයා කීය. රවීට අවශ්‍ය නම් උපරිම රුපියල් ලක්ෂයක වැටුපට උපදේශකයකු බඳවා ගන්නැයි උපදෙස් දෙමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නට ජනපතිවරයා ක්‍රියාකළේ ඉන් පසුවය.

අනතුරුව කොළඹ ඇක්ලන්ඩ් හවුස් (විසුම්පාය) තමන්ගේ අමාත්‍යංශයට පවරන ලෙස රවී කළ ඉල්ලීම සලකා බැලිනි. මෙය අමාත්‍ය චම්පික රණවකගේ අමාත්‍යංශයට අයත් දේපළක් බවත් තමන් එය ඉහළපෙළේ සංචාරක බංගලාවක් ලෙස සංවර්ධනය කරන්නට සැරසෙන බවත් චම්පික කීය. එවිට ඇතැම් ඇමැතිවරැ විසුම්පාය ගැන නොයෙක් කතා කියන්නට වූහ. දයාසිරි ජයසේකර කීවේ මෙය හොල්මන් ඇති මන්දිරයක් බවයි. එසේම මෙහි වාසයට සුදුසු තැනක් නොවන බවත් එහි පදිංචියට එන අයගේ දෙශපාලනය ඉවරවන බවත් දයාසිරි කීය. අනුර බණ්ඩාරනායක මහතා මිය ගියේද විසුම්පායේදී බව තවත් ඇමැතිවරයෙක් කීය. මේ කතා මැද එම යෝජනාවද ප්‍රතික්ෂේප විය. අනතුරුව කොළඹ මහාබෝධි සමාගම භාරයක් බවට පත් කිරීමට රවි ඉදිරිපත් කළ යෝජනාව ඔහුගේ විෂය පථයට අයත් නොවීම හා නිසි ක්‍රමවේදයට අනුව ඉදිරිපත් නොවීම නිසා ප්‍රතික්ෂේප විය. 

මේ සියලු කතා අවසානයේ අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී කේක් කැපීමක්ද සිදු‍ෙකරිණි. ඒ අගමැතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. ජනාධිපති අගමැති සහ සෙසු ඇමැතිවරැ සතුටින් මේ කේක් සංග්‍රහයට සහභාගි වූහ.

බැඳුම්කර ගනුදෙනුව ගැන විභාග කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුවූ හෙළිදරව්ව නිසා විශාල දේශපාලන ආන්දෝලනයක් හටගත්තේය. මෙහිදී සාක්ෂි දුන් ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් අධ්‍යක්ෂවරියක් වූ විනෝදනී විජේසූරිය මෙනවිය තමන් සතු අති සුඛෝපභෝගි නිවසක් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව චෝදනාලත් අර්ජුන ඇලෝෂියස් මහතා විසින් මසකට රුපියල් දස ලක්ෂයකට අධික කුලියට මාස හයක් සදහා ලබාගෙන ඇමැතිවරයාට ලබාදුන් වග හෙළිදරව් කළේ ලිපි ලේඛනද සමඟය. අනතුරුව රුපියල් කෝටි 16 ½කට එම නිවස රවීගේ පවුලේ අය විසින් මිලට ගත් බවද කොමිසමේදි සාක්ෂිකාරිය හෙළිදරව් කළාය. මේ සිද්ධිය ආන්දෝලනයට ලක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේදීන් ඒ ගැන උණුසුම් වාද විවාද හට ගත්තේය. ඒ සමඟ බැඳුම්කර කොමිසම ඇමැති කරුණානායකට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසියක්ද නිකුත් කළේය. ඇමැතිවරයා තමන්ට කොමිසම කියන දිනයට පැමිණිය නොහැක්කේ පාර්ලිමේන්තුව හා ඇමැති මණ්ඩල රැස්වීම, ආරක්ෂක මණ්ඩල රුස්වීමක ආදි වැදගත් රැස්වීම්වලට යායුතුව ඇති බැවින් යැයි කොමිසමට දැන්වීය. අනතුරුව ලබන මස 2 දින කොමිසමට එන බව රවී කීය. 

කෙසේ හෝ රවි කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධව කොමිසමේ සඳහන් වූ කරුණු ගැන මහින්දානන්ද අලුත් ගමගේ, හිටපු අමාත්‍යවරයා උණුසුම් කතාවක් කළේය. එසේම ආණ්ඩුවේ සෙසු අමාත්‍යවරුන් ගණනාවක්ද ඒ ගැන නොයෙක් දේ ඒ ගැන ප්‍රකාශ කර තිබිණි. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කීවේ රවී කරුණානායක මහතා ගැන කොමිසමේදී හෙළිදරව් වූ දේ ඉතාමත් බරපතළ බවය. ඒ ගැන අගමැති හා ජනාධිපතිගේ අවධානය යොමුවිය යුතු යැයි කී එස්.බී සිද්ධිය ගැන වැඩිදුර කතා කරන්නට තමන් අකැමැති යැයිද කීය. 

ආණ්ඩු බලය හමුවේ තෙල් වර්ජනය දියවෙයි

දින දෙකක් තිස්සේ බරපතළ තත්ත්වයට පත් වෙමින් තිබූ ඛනිජ තෙල් බෙදා හැරීම පිළිබඳ වර්ජනය අවසන් කළේ එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කොට ආරක්ෂක හමුදා ලවා ඉන්ධන බෙදාහැරීමට ක්‍රියා කිරීමත් සමඟය. මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෘත්තිය සමිති වෙතින් ඉල්ලීම් ගණනාවක් කළේය. එහෙත් ඒවාට සාර්ථක ප්‍රතිචාර නොලැබිණි. අනතුරැව අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය මලික් සමරවික්‍රම, කොළොන්නාව ප්‍රදේශය භාර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇතුළු ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවක් විසින් එ.ජා.ප වෘත්තිය සිමිති සාමාජිකයන් සේවය සඳහා කැඳවා ගන්නට සමත් වූහ. සෙසු වෘත්තිය සංගම්වල කිහිප දෙනෙක්ද සේවයට එකඟ වූහ. එහෙත් කොළොන්නාව තෙල් අංගනය අවට තිබුණේ ආතතියෙන් පිරි තත්ත්වයකි. කෙසේ හෝ සඳුදා රාත්‍රියේ ත්‍රිවිධ හමුදාව පසුපස ගේට්ටුවකින් තෙල් අංගනයට ඇතුළත්ව තෙල් බෙදීම යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම ඇරඹූහ. ඒ වනවිටත් රටපුරා දැඩි තෙල් හිඟයක් ඇති වී තිබිණි. ජනතාව පැය ගණන් තෙල් පෝලිමේවල රස්තියාදු වන්නට සිදු වී තිබිණි.

කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉන්ධනද හිඟයක් ඇති වෙමින් තිබිණි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙහෙයුම ගැන වෘත්තිය සමිති ප්‍රකාශ කළේ තමන්ගේ සටන ආණ්ඩුව විසින් රටේ සම්පත් විකුණා දැමීමට එරෙහිව කරන්නක් බවය. ආරක්ෂක අංශ හා දේශපාලන මැරයන් තම සේවකයන්ට පහරදී පන්නා දැමූ බවද ඔවුහු රජයට චෝදනා කළහ. ඒ අතර හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට එරෙහිව සිකුරාදා එක් දින සංකේත වැඩ වර්ජනයක් කොළඹ වරාය සේවකයෝ දියත් කළහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සම්පතක් බවත් එය දියුණු නොකොට මෙලෙස චීනයට පැවරීමට එරෙහිව දැවැන්ත අරගලයක් දියත් කරන බවත්ය. කෙසේ හෝ පවත්නා තත්ත්වය තුළ දක්නට ලැබෙන්නේ දැඩි දේශපාලන ව්‍යාකූල බවකි. 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ මේ දිනවල උණුසුම් දේශපාලන සාකච්ඡා රැසක්ම පැවැත්විණි. පසුගියදා ඉදිරි පළාත් ඡන්ද ගැන කළ සාකච්ඡාවකදි මහින්ද සෙසු මන්ත්‍රීන්ට කීවෙ “ආණ්ඩුව දැන් අපට තැටිය රත්කරලා දෙනවා අපිට තියෙන්නේ රොටිය පුච්චන්න” විතරයි කියයි. රවි කරුණානායක අමාත්‍යවරයාගේ බැදුම්කර සිද්ධිය සම්බන්ධව ඔහුට විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතු බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ මන්ත්‍රී පිරිසක් යෝජනා කළහ. එහිදි මහින්ද කීවේ මෙම බැඳුම්කර චෝදනාව රවිට පමණක් ඉලක්ක නොකර මුළු රජයටම පාරා වළල්ලක් බවට පත්කළ යුතු වගයි. ඒ සඳහා සැලැසුම් සහගතව මුහුණ දිය යුතු වග මහින්ද රාජපක්ෂ මහතා කීය. 

හම්බන්තොට ගිවිසුමට එරෙහිව ජ.වි.පෙන් උද්ඝෝෂණ

කොලොන්නාව ඛනිජ තෙල් පිරිපහදු අංගනයේදී සිදුවූ ප්‍රහාරය ගැන ඇතැම් මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාට චෝදනා නැගීය. පසුගිය බදාදා මැතිසබයේදී මරික්කාර් මන්ත්‍රීවරයා එසේ චෝදනා නගන ලද තැනැත්තන්ට තරමක සැර පිළිතුරක් ලබාදුන්නේය. එහිදි ඔහු සඳහන් කළේ වත්මන් රජය බලයට පත්වූ දවසේ සිට දිවයින පුරා වැඩවර්ජන උද්ඝෝෂණ නිතරම සිදුවන බවය. එමගින් රට අකර්මන්‍ය කිරීමේ සැලසුමක් ඇති බැවින් ඊට ඉඩදිය නොහැකි බව මන්ත්‍රීවරයා කීය. වරායට අයිති දේපොළ ගැන තෙල් සංස්ථා සේවකයින් වර්ජනය කිරීම අසාධාරණ යයි කී මන්ත්‍රීවරයා තෙල් හිඟයෙන් ඉමහත් පීඩාවට පත් ජනතාවට සේවය කිරීමට හමුදාව ඉදිරිපත් වූ විට තමන්ට ද්‍රෝගි ලේබලය අලවන්නේ යැයිද සදහන් කළේය. ගංවතුර, කුණු කන්ද, තෙල් අර්බුදය ආදි බොහෝ කාරණා නැගුවත් පසුගිය කාලයේ විපතට පත් ජනතාවට සහන සැලසීමට තමන් ගත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු නොකිරීම ගැන කනගාටුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර