2017 ජුලි 15 වන සෙනසුරාදා

සැලුන් දොරට තට්ටුකරන ඇමැතිවරු

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 674

වසරකට වැඩි කාලයක් තිස්සේ ඇදීයමින් පවත්නා සයිටම් අර්බුදය දැන් නව මුහුණුවරක් ගෙන ඇත. ඒ අවුල හටගත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙනි. පසුගිය වසර 5ක කාලය තුළ එම තනතුර දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා තනතුරින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උත්සාහ කරමින් සිටින බවට වෛද්‍ය සභාව චෝදනා කරයි. ෆොන්සේකා මහතා ඉවත් කොට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එහි සභාපති ධුරයට පත් කරන්නට යන්නේ සයිටම් ආයතනය නීතිගත කිරීමේ අරමුණින් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම චෝදනා නගන්නට පටන්ගෙන ඇත. 

යම් හෙයකින් ෆොන්සේකා මහතා ඉවත් කළහොත් ඊට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක් කරන බවද වෛද්‍ය සංගමය පවසයි. එහෙත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ වසර 5ක නිල කාලය අවසානයේ තමන් මැදිහත් වී ෆොන්සේකා මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදුන් අතර දැන් එම කාලය හමාර වගය. වෛද්‍ය සංගමය ඇමැතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ වෛද්‍ය සංගමයට සභාපතිවරයකු පත් කරන්නට පවත්නා පනත අනුව ඇමැතිට බලය ඇතත් ඔහු ඉවත් කිරීමට පනතේ බලතල අනුව ඇමැතිට නොහැක කියාය. මේ ගැන වෛද්‍ය සංගමය හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශාල වාග් සටනක් හටගෙන තිබේ. ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මෙන්ම පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුවද ඇමැතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව සටන් කරන බව පවසති.

ඒ අතරතුර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලධාරීහු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මුණගැසීමට ඔහුගේ නිවසට ගියහ. වෛද්‍ය සංගමේ ප්‍රධානීන් වන දොස්තර අනුරුද්ධ පාදෙණිය, දොස්තර හරිත අලුත්ගේ ඇතුව පිරිස තමන් පැමිණියේ සයිටම් ආයතනය අහෝසි කරන තුරුවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට වෛද්‍ය සභාවේ සභාපති ධුරය හැර නොයන ලෙස ඉල්ලා සිටීමට යැයි කීහ. එසේම සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍ය සංගම් ඉල්ලීම නොතකමින් මහාචාර්ය ෆොන්සේකා මහතා ඉවත් කළහොත් ඊට එරෙහිව තම සංගමය දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කරන බවද සඳහන් කළේය.

පන්සල් පාලනයට ආණ්ඩුවට බලය නැතැයි අගමැති කියයි

මේ සියල්ලට සාවධානව කන් දුන් මහාචාර්ය ෆොන්සේකා මහතා තමන් දැන් සිටින්නේ විශ්‍රාමිකයකු යැයි සිතාගෙන බව පැවසීය. වළපයයි ගොඩපයයි සිටින තමාට නැවතත් මෙම තනතුර දරන්නට අවශ්‍ය නැතැයි කී මහාචාර්යවරයා තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරැවේ වැටෙන වර්ජනයකට නොයන ලෙස වෛද්‍ය සංගම් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ මෙන්න වැන්ඳ මම නිසා නම් වර්ජනයකට යන්න එපා කියමිනි. අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කීවේ මම දන්න සිංහලෙන් කියන්නෙ... මම නිසා නම් වර්ජනයකට යන්න එපා... ඊට වඩා හොඳයි මෙතනදිම මගේ බෙල්ල කපල දාන එක... මම කවදත් වෛද්‍ය වර්ජනවලට විරුද්ධයි.. කියූ මහාචාර්ය ෆොන්සේකා මහතා තමන්ගේ කීම නොඅසා වර්ජනයකට ගියහොත් තමන් හා එම සංගමය අතර තිබෙන සම්බන්ධය එතැනින්ම අවසන් වන බවද කියා සිටියේය.

මහාචාර්යවරයාගේ මෙම ඉල්ලීමට සවන් දුන් වෛද්‍ය සංගම් ප්‍රධානීන් ඒ අවස්ථාවේ ඊට කිසිම පිළිතුරක් දුන්නේ නැත. කෙසේ නමුත් සයිටම් ආයතනය අහෝසි කරන තෙක් තමන්ගේ අරගලය දිගටම ගෙන යාමට වෛද්‍ය සංගමය මෙන්ම සරසවි ශිෂ්‍ය සංගම්ද තීන්දු කර තිබේ.

මේ සතියේ වාර්තා වූ අනෙක් ආන්දෝලනාත්මක සිදුවීම දඹුලු රජමහා විහාරයේ පෞරාණික ලෙන් විහාරය තාවකාලිකව වසා දැමීමට ගත් තීන්දුවයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීරණය ගත් බව වාර්තා වේ. ඒ අනුව එහි සංරක්ෂණ කටයුතු කිරීම සඳහා නැවත දැනුම් දෙනතුරු ලෙන් විහාරය දෙස් විදෙස් සංචාරකයන්ට වසා තැබේ. එසේම ඉදිරියේදී දඹුල්ලේ ලෙන් විහාර නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙත ටිකට් පත් විකුණා මුදල් අය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදුකිරීමටද තීන්දු කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම තීරණය ගැන දඹුලු රජමහා විහාරය භාර අස්ගිරි පාර්ශ්වයේ සංඝරත්නය එදිනම මාධ්‍ය හමු තබා විරෝධය පළ කළහ. රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් සඳහන් කළේ රජයේ තීරණය සංඝ සභාව නොපිළිගන්නා බවය. ඒ ගැන උන්වහන්සේ මාධ්‍ය හමුවේ සැර කතාවක් කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේ සිව් දින රාජ්‍ය චාරිකාවක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා තරකර ගැනීමත් සාක් කලාපයේ දේශපාලන හා ආර්ථික ස්ථාවරය සම්බන්ධ එකඟතා ඇතිකර ගැනීමත් මෙම සංචාරයේ අරමුණ බව සඳහන්ය.

පසුගිය සති අන්තය ජනාධිපතිවරයා ගත කළේ තමන්ගේ ගම් ප්‍රදේශය වන පොළොන්නරැවේය. පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරයක් වන නිව් රත්න සහල් සමාගම ඉදිකළ සහල් කවර නිෂ්පාදන කම්හලක් ජනපතිවරයා විසින් විවෘත කරන ලදී. එහිදී ජනාධිපතිවරයා කතා කළේ රාජ්‍ය නායකයකු ලෙස තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති අභියෝග සම්බන්ධවයි. එක් පැත්තක නියඟය. තවත් පැත්තක ගංවතුර. තවත් තැනක කුණු. කඳු කඩා වැටෙනව නායයනවා. මේ සියල්ල සිදුවන විට බැණුම් අහන්න වෙන්නේ විවේචනයට ලක්වෙන්නේ ආණ්ඩුව. දේශපාලන කට කතා කයිවරැ ගැන මට හොඳ අවබෝධයක් තිබෙනව. බණ්ඩාරනායක මැතිතුමාට ඉන්දියාවේ ගාන්ධිතුමාට වගේ ලෝකය පිළිගත් නායකයන්ටත් අපට වඩා ගල්මුල් ආව. සමහරු මරල දැම්ම. මම තවම එතරම්ම දුක්විඳ නැහැ. මේ මොන අභියෝග තිබුණත් අපි දුක් විඳගෙන හරි රටට සේවය කරගෙන ඉදිරියටම යනවා. අවදානම් හා අභියෝග භාරගනිමින් මේ ගමන යා යුතුයි.ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

දොස්තර ළමයින්ට වැන්ද මහාචාර්යවරයා

ඒ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින්නට යනවා යැයි කියන ශ්‍රී.ල.නි.ප මැති ඇමැති කණ්ඩායමේ ඇතැමුන් සමඟ ද ජනපතිවරයා නිල නොවන මට්ටමින් අදහස් හුවමාරු කරගත් බව දැනගන්නට තිබේ. එහිදී ටී.බී. ඒකනායක රාජ්‍ය ඇමැතිවරයා වැනි කිහිප දෙනෙක් තමන් මෙම තීරණයට එළැඹීමට සාධාරණ හේතු ඇතැයි සඳහන් කළ බව වාර්තා වේ. මෙම කණ්ඩායමේ මන්ත්‍රීන් රාජ්‍ය ඇමැතින් පමණක් නොව කැබිනට් අමාත්‍යවරුන් හතර පස් දෙනෙක් සිටින බවද දැනගන්නට තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගත කළේ මන්නාරම ප්‍රදේශයේය. එහි පානීය ජලසම්පාදන ව්‍යාපෘතියක් අගමැතිවරයා විසින් විවෘත කරන ලදී. මෙහිදී රුස්ව සිටි ජනතාව අමතා කතා කළ අගමැතිවරයා වඩාත් උනන්දු වූයේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරැණු පැහැදිලි කරන්නටයි. අගමැතිවරයා නව ව්‍යවස්ථාව සම්පාදනය ගැන හටගෙන ඇති ප්‍රශ්න ගණනාවක්ද සිහිපත් කළේය. විධායක ජනපති ක්‍රමය අහෝසිය, ඡන්ද ක්‍රමය හෙවත් පළාත් සභා බලතල බෙදීම වැනි කාරණා ගැන යෝජනා රාශියක් ඉදිරිපත්ව ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා ඒවා ගැන සාකච්ඡා කොට පොදු තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන වග ප්‍රකාශ කළේය. අලුත් ව්‍යවස්ථාවෙන් බුදු දහම අනතුරේය කියල සමහරු කෑගහනව. එහෙත් ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමිකර දී තිබෙන තැන අහිමි කිරීමට කිසිම අදහසක් හෝ යෝජනාවක් නැතැයිද අගමැතිවරයා අවධාරණයෙන් පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මසක් තුළ බන්ධනාගාරගත කරන බව එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බවට පළ වූ වාර්තාවක්ද ආන්දෝලනාත්මක පුවත් මැවීය.

මේ ගැන වාර්තා වූ කතන්දර ගණනාවකි. පසුගිය සතියේ අගභාගයේ දිනක ශ්‍රී.ල.නි.පයේ තනතුරු අතහරින්නට සූදානම් මැති ඇමැතින් ගණනාවක් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ නිල නිවසට කැඳවා තිබිණි. මේ අයගේ ප්‍රශ්න ගැන කතා කරන අතරතුර රාජපක්ෂලා නැවත කරළියට නොඑන බවත් ඒ අයට විශාල නීති ප්‍රශ්න ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ගැන සමහරැන් බලාපොරොත්තු තබා සිටියත් ඔහු මසක් තුළ බන්ධනාගාර ගතවීමට නියමිත බවත් ඇමැති අමරවීර ප්‍රකාශ කළ බව රැස්වීමට පසුදාම හිමිදිරි පාන්දර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමතූ රැස්වීමට සහභාගි වූ එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් පැවසීය. අනතුරැව දුරකතනය අතට ගත් හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට ගිය තවත් කිහිප දෙනකුට කතා කොට මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීය. 

ඔවුන්ගෙන් තොරතුරු අනුව වහාම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා කතා කළ මහින්ද රාජපක්ෂ මහතා තමන් දැනගත් සියලු තොරතුරු ගෝඨාභයට දැනුම් දුන්නේ ඔහු ගත යුතු ඉදිරි පියවරයන් ගැනද උපදෙස් දෙමිනි. අනතුරුව ගෝඨාභයද ඒ ගැන මැති ඇමැතින් ගණනාවකගෙන් කරුණු විමසීය. එම තොරතුරැ ගැන ඔහු සෑහීමකට පත් වූ පසු ගෝඨාභය තීන්දු කළේ මේ ගැන මහා සංඝරත්නය දැනුවත් කළ යුතු වගය.

මුලින්ම මල්වතු හා අස්ගිරි විහාර වෙත ගොස් මහනායක හිමිවරුන් මුණගැසී පවත්නා තත්ත්වය ගැන ඒ හිමිවරුන් දැනුවත් කරන්නට ගත් තීන්දුව අනුව පසුදාම ගෝඨාභය මහනුවරට ගොස් මහනා - හිමිවරැන් බැහැදුටුවේය. රජයේ අමාත්‍යවරුන් මේ ආකාරයට තමන් අත්අඩංගුවට ගන්නට යන බව ප්‍රසිද්ධියේ කියා සිටීමෙන් නඩු කටයුතු සම්බන්ධව තිබෙන දේශපාලන බලපෑම් පැහැදිලිවන බව මහනාහිමිවරැන්ට දැක්වූ ගෝඨාභය අනුනායක හිමිවරැද සෙසු ආගමික පූජකවරුද මුණගැසුණේය. අවසානයේ මාධ්‍යයට ඔහු තමන්ගේ කතාව කීය. ඔහු සඳහන් කළේ රාජපක්ෂවරුනුත් වසර 80කට වැඩි කාලයක් මෙරට දේශපාලනය කළ වගය. නමුත් තමන්ලා දේශපාලනයෙන් හරිහම්බ කළේ නැති බව කී හෙතෙම මහින්ද අමරවීර අමාත්‍යවරයා තමන් මසක් තුළ බන්ධනාගාර ගතකරන බවට කළැයි කියන ප්‍රකාශය මහනාහිමිවරැන්ට දන්වන්නට පැමිණි බව කීය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රට නිදහස් කරන්නට ක්‍රියාකළ තමන්ට වත්මන් රජය මේ ආකාරයට සැලැකීම ගැන දැඩිලෙස කනගාටුවන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

දූෂණ විරෝධී කමිටුවේ වැඩ නීතිපතිට හා අල්ලස් කොමිසමට

රාජපක්ෂ මහතා මහනායක හිමිවරුන් මුණගැහෙන්නට ගිය අතරතුර ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් තිදෙනෙක් මහනුවර සිට තම තමන්ගේ දේශපාලන හිතවතුන් ගණනාවකට දුරකතනයෙන් කතාකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා මහනාහිමිවරුන්ට කී දෙයත් උන්වහන්සේලාගෙන් ලද ප්‍රතිචාරයත් විමසූහ. එහෙත් ඒ ගැන බොහෝ දෙනකු කරුණු දැනසිටියේ නැත.

මෙම ප්‍රකාශයෙන් සුළු වේලාවකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජංගම දුරකතනයට කෙළින්ම කතා කළේ මහින්ද අමරවීර අමාත්‍යවරයාය. “මට ආරංචියි ඔබතුමා අත්අඩංගුවට ගන්න යන බවට මම කිව්ව කියල ප්‍රකාශයක් කළබව. ඇයි ඔබතුමා එහෙම කිව්වේ” අමරවීර අමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශයට ගෝඨාභය ඍජු උත්තරයක් දුන්නේය. “මම කිව්වෙ ඔයා ළඟ මීටිමේ හිටපු අය අපට කිව්ව කතාව. මට මේක රාජපක්ෂ කෙනෙකුත් කිව්ව.” හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය. “ඒක වැරදි තොරතුරක්. ඔබතුමා මෙහෙම කිව්වම අපි ගොඩක් අපහසුතාවයට පත්වෙනවා... අමරවීර මහතා නැවත කීය. “මම කිව්වේ වෙනත් අය මට මෙහෙම කිව්ව කියලයි.* ගෝඨාභය නැවත පැහැදිලි කළේය. “ඒ වුණත් ඒක ප්‍රශ්නයක්... ඔබතුමා දන්නවා අපි ඒ කාලෙ ඉඳල රාජපක්ෂලට වැඩකළ අය ලක්ෂ්මන් රාජපක්ෂ මහත්තයගෙ කට්ටිය. එයාල වෙනුවෙන් කතා කරපු... එයාල වෙනුවෙන් වැඩකරපු මම ගැන ඔහොම ඔබතුමා කිව්වම ඒක මට ලොකු ප්‍රශ්නයක් මම කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ.” යනුවෙන් අමාත්‍ය අමරවීර මහතා දිගින් දිගට කරුණු කියන්නට පටන්ගත් විට ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ “ඔයා එහෙම කිව්වෙ නැත්නම් ඒකට කමක් නැහැ. එච්චරයිනේ.” කියාය. ඒ සමඟ එම දුරකනයෙ සංවාදය හමාරවිය. අනතුරැව මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අදහස් දක්වා තිබූ අතර ඔහු කීවේ දැන් තම නිවසේ රාජපක්ෂවරුන් හත්දෙනකුට නඩු රාශියක් පවරා ඇති බවය. ඉදිරියට තවත් දේ කරන බව ඇමැතිවරු කීම ගැන පුදුම වන බවද ඔහු පැවසීය.

අමාත්‍ය අමරවීර මහතා මාධ්‍යයට කීවේ රාජපක්ෂවරුන්ට දඬුවම් දීම සම්බන්ධව තමන් එකඟ නොවන බවයි. ඔවුන් අතින් වරදක් සිදුව ඇත්නම් සමාද දිය යුතුයැයි ද කීය. ඊට ද ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබිණ. ඔහු කීවේ වරදක් නොකළ තමන් ආණ්ඩුවෙන් කිසිදු සමාවක් අපේක්ෂා නොකරන බවය. තමන්ට අවශ්‍ය සාධාරණත්වය පමණක් යැයිද හිටපු ආරක්ෂක ලේකම්වරයා කීය. බලය තිබූ කාලයේ රජයේ දේපොල තමන් අත්පත් කරනොගත් බවත් අඩුම තරමින් පොල් ගසකවත් අයිතිය තමන්ට නැතිබවත් ඔහු මාධ්‍යයට කීය. මේ කතා අතරතුර අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාට ද කතා කළේය. ගෝඨාභය ගැන තමන් මෙබඳු කතාවක් නොකළ බව ඔහුට පැහැදිලි කළ මෙය ප්‍රචාරය කළේ අසවල් මන්ත්‍රීවරයා යැයි මන්ත්‍රීරයකුගේ නමක් ද සඳහන් කර තිබුණි. එවිට චමල් රාජපක්ෂ මහතා කියා තිබුණේ එම මන්ත්‍රීවරයා තමන්ට නම් එවැන්නක් නොකී බවයි. කෙසේ නමුත් ඇමැති අමරවීර මහතා එවැනි ප්‍රකාශයක් නොකළේ නම් කලබල විය යුතු නැතැයි හිටපු කතානායකවරයා පැවසීය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සතියේ ගනු ලැබූ ප්‍රධානම තීන්දුව රජය විසින් මෙතෙක් පවත්වාගෙන යන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය වසාදමන්නට ගත් තීරණයයි. පසුගිය සතියේ මෙම කාර්යාලයේ කාලය දීර්ඝ කරන්නට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් විය. එහෙත් ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟනොවූයේ මෙම කාර්යාලය මගින් මෙතෙක් කිසිදු වැඩක් පිළිවෙළට නොකළ බවට චෝදනා නගමිනි. මේ සතියේත් අදාළ මාතෘකාව සාකච්ඡාවට ගත් අතර එහිදී දූෂණ මර්දන කමිටුව මෙතෙක් කළ පරීක්ෂණ ගැන අගමැතිවරයා වාර්තාවන්ද ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට තිබේ. එහෙත් ඒ ගැන පසුව දීර්ඝ වාදයක් ඇතිවිය. 

තමන්ට රජයෙන් සමාවක් එපා යැයි ගෝඨාභය පවසයි

එවිට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දූෂණ මර්දන කමිටුව මෙතෙක් කළ පරීක්ෂණ අල්ලස් කොමිසමට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට අවශ්‍ය නීතිමය පියවර ගතහැකි බවය. පසුව ඒ ගැන තීන්දුවක් ගත් අතර වසර දෙකක් පමණ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටු කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බවට අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය. ඉන් පසු සාකච්ඡාවට ගෙන ඇත්තේ ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව හා ප්‍රමිති ස්වාධීන පනත ගැනයි. එය අදාළ පාර්ශව සමඟ සාකච්ඡාකොට මාස දෙකක් තුළ අමාත්‍ය මණ්ඩලයට ගෙනඒමට කැබිනට්ටුව විසින් ඇමැති කමිටුවකට පවරනු ලැබීය. මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් කමිටුව ක්‍රියා කරනු ඇත.

අනතුරුව මේ ගැන අංශ ගණනාවක විරෝධය පළවිය. දඹුලු විහාර අධිපති හිමියෝ මුලින්ම එම තීන්දුවට විරෝධය පළකළහ. විහාර දේවලගම් පනත යටතේ ක්‍රියාත්මක වන විහාරය මේ ආකාරයට වසාදමන්නට කිසිවකුට නීතිමය බලයක් නැතැයිද විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ පැවසූහ. අනතුරැව දඹුලු විහාරයේ භාරකාර හිමියන් ප්‍රකාශ කළේ දඹුලු ලෙන් විහාරය වසාදමා පුරාවිද්‍යාවට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට කිසිසේත්ම ඉඩනොදෙන බවයි. මේ කවුරුහරි හදන්නේ ටිකට් සල්ලිවලට තට්ටු කරන්න යැයිද උන්වහන්සේ කීය. අනතුරැව දඹුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුලු පන්සලට ගොස් එහි තත්ත්වය සොයා බැලීය. රජයේ මෙම තීරණයට ජනක සිය දැඩි විරෝධය පළකරද්දී දඹුල්ල වත්මන් ශ්‍රී.ල.නි.ප. සංවිධායක යු.ආර්. දයානන්ද සිරි මහතා පැවසුවේ දඹුලු විහාරය බේරාගැනීම සඳහා තමන් දැනට දරන ආසන සංවිධායක පදවියෙන් වුවද ඉවත්වීමට සූදානම් බවය. අමාත්‍ය එස්.බී. දිසානායක මහතාද මේ ගැන විවෘතව අදහස් දන්වා තිබිණි. ඔහු කීවේ දඹුලු විහාරයේ පාලනය අස්ගිරි පන්සලට භාරදිය යුතු බවයි. එයට ආණ්ඩුවේ පාර්ශ්ව මැදිහත් නොවිය යුතු යැයිද එස්.බී. කීය.

ගිය බදාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා යොවුන් භික්ෂු පෙරමුණේ සාමාජික හිමිවරුන් හා සෙසුපිරිස් අරලිය ගහ මන්දිරයට පැමිණියහ. එහිදී අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළේ රජයට පන්සල් පාලනයට බලයක් හෝ කිසිදු උවමනාවක් නැති බවය. දැන් බුදුදහම අනතුරේයයි කෑ ගහන පිරිස් රාජපක්ෂ පාලනය යටතේ මල්වතු විහාර පාර්ශවය දෙකඩ කරන්නට යනවිට කටවහගෙන සිටියේ කෙසේදැයි තමන් ප්‍රශ්න කරන වගද අගමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගිය බදාදා හැන්දෑවේ ජනපතිවරයාගේ පෞද්ගලික නිවසේදී පැවැත්වුණි. පැය ½කින් රැස්වීම හමාර කරමුයැයි ජනාධිපතිවරයා කීවත් අවසානයේ එය පැය 2 ½ක් දක්වා දීර්ඝ විය. රැස්වීම ආරම්භයේදී ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා හා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා අදහස් දක්වමින් කීවේ අගෝස්තුවලින් පසු තවදුරටත් මේ රජයේ එ.ජා.ප.ය සමඟ කටයුතු කළ නොහැකි බවය. 

මහින්ද අමරවීරගෙන් චමල් රාජපක්ෂට හදිසි ඇමතුමක්

“අපිට මේ ආණ්ඩුවට එකතුවෙන්න කියලා කිව්වේ ජනතාව. දැන් ඒ ජනතාවම කියනවා අපිට ඉවත්වෙන්න කියලා අපි අවුරුදු දෙකෙන් පස්සේ තීරණයක් ගත යුතුයි.” යැයි ජෝන් සෙනෙවිරත්න මහතා කීය. පසුව එය අනුමත කරමින් නියොජ්‍ය අමාත්‍ය නිමල් ලංසාද අදහස් ප්‍රකාශ කළ අතර ඒ වගේම පසුගිය දින තුළ සිදුකළ සාකච්ඡාවක් ගැනද ඔහු එහිදී කීය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එස්.බී. දිසානායක අමාත්‍යවරයාත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයාත් පවසා සිටියේ ජනාධිපතිවරයා නිවැරදි අවස්ථාවලදී තීරණය ගෙන ඇති බවත්. විශේෂයෙන්ම භාණ්ඩාගාර සිද්ධීන් පරීක්ෂණ අවසන්වීමට නියමිත නිසා ඉදිරියේදී එයින්ද ශ්‍රී.ල.නි.ප.යට වාසිවන බවත් කියාය.

මෙහිදී මධ්‍යස්ථ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසා ඇත්තේ මොනදේ කිව්වත් තවමත් මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රිය චරිතය බව කියාය එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියගේ උත්සාහය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්කිරීම බවද ඔහු එහිදී හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් මෙහිදී සරත් අමුණුගම අමත්‍යවරයා පවසා සිටියේ ආණ්ඩුවෙන් යන අයට යන්නට දිය යුතු බවය. ඒත් සමඟ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා අමුණුගම අමාත්‍යවරයාට පවසා සිටියේ යන අයට යන්න දීම නොව ඉන්න අය එකතු කළ යුතු බව කියාය. එහිදී එස්.බී. අමාත්‍යවරයා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා චමල්ටත්, ගෝඨාභයටත් අගමැතිකම ලබාදෙනවාට විරුද්ධ බව කියාය.

කයිවාරුකාරයන් ගැන ජනපතිගේ විග්‍රහය

මේ සියලු දේ අසා සිටි ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන දෙසැම්බරය තෙක් මාස කිහිපයක් ආණ්ඩුව සමඟත් ඔහුත් සමඟත් සිටින ලෙස කියාය. ඇතැම් අය ඉවත් විය හැකි වුවත් ඔවුන්ටද ඉන්නා ලෙසත් ඉදිරි මාස හයේදී තවත් අලුත් තීරණ ගෙන වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවය. ඊට සහයෝගය දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් දුමින්ද දිසානායක මහතාත් පවසා ඇත්තේ ඉවත් නොවී එකට වැඩ කරමු කියාය.   

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර