2017 ජුලි 08 වන සෙනසුරාදා

දූෂණ මර්දන කමිටුවට ජනපතිෙගන් ප්‍රහාරයක්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

පළාත් පාලන මැතිවරණය නැවත වරක් මාස තුනක පමණ කාලයකට කල්දැමීමට රජය තීන්දු කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිවේදනය කළේය. ඒ අනුව ඡන්දය ලබන ඔක්තෝබර් මාසය දක්වා කල් යනු ඇතැයි දැනගන්නට තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් කල් ගොස් තිබෙන පළාත් පාලන ඡන්දය මේ ආකාරයට කල්දැමීම යහපාලන රජය ඡන්ද කාලයේ දුන් මැතිවරණ ප්‍රතිඥාවලට පටහැණිය. මෙවර ඡන්දය කල් දමා ඇත්තේ නීතිමය අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමේ අරමුණිනි. ඒ අතර පළාත් පාලන ඡන්දය කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද, මනාප ක්‍රමයට පවත්වන්නේද යන්න ගැන තවමත් එකඟතාවක් නැත. එ.ජා.පය සහ ජ.වි.පෙ. මෙන්ම සුළු ජාතික පක්ෂද මනාප ක්‍රමය ඉල්ලා සිටියි. එහෙත් ශ්‍රී.ල.නි.පය හදන්නේ සම්මත වී තිබෙන පනත ප්‍රාකාර කොට්ඨාස ක්‍රමයට ඡන්දය තියන්නටයි. එසේම දැනට සීමා නිර්ණය කර තිබෙන කොට්ඨාස අටදහස් ගණන හාරදහසකින් අඩුකිරීමටද ශ්‍රී.ල.නි.පය යෝජනා කර තිබේ. කෙසේ හෝ මේ ඡන්ද ප්‍රශ්නය දැන් ගැටගැසුණු නූල් බෝලයක් තත්ත්වයට පත්ව ඇත.

ඒකාබද්ධ විපක්ෂය ඡන්දය පමාකිරීම දේශපාලන අවියක් ලෙස යොදා ගැනීමට තීන්දු කළේ පසුගියදාය. දිගින් දිගටම පළාත් පාලන ඡන්දය නොපවත්වා කල් දමන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත්ව යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ කරමිනි. ඉදිරි පළාත් පාලන ඡන්දයේදී රජයේ දේශපාලන පක්ෂ පරාජය කරමින් විපක්ෂය විශිෂ්ට ජයක් ලබාගන්නා බව දන්නා නිසා විවිධ හේතු ඉදිරිපත් කරමින් ආණ්ඩුව ඡන්ද කල් දමන්නේ යැයි චෝදනා කළ රාජපක්ෂ මහතා මේ රජයට ව්‍යවස්ථා සංශෝධනයටවත් නිසි ජනවරමක් ලැබී නැතැයි අවධාරණය කළේය. 

ඒ අර්බුද මධ්‍යයේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධව හටගත් ගැටලුවද අර්බුදකාරී තැනකට තල්ලු වෙමින් පවතී. නිවාස හත් අටසීයකට වැඩි ප්‍රමාණයක් මේ නිසා හානියට පත්වන බවත් බණ්ඩාරවෙල නගරයෙන් කොටසක් ගිලා බසින්නට පුළුවන් බවත් කියමින් ප්‍රදේශවාසී ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළෝය. ඒ අතර අර්බුදය සමථයකට පත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද තීන්දු කළේය. ඒ අනුව සාකච්ඡාව පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායක ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම ව්‍යාපෘතිය නිසා ඌවේ ජනතාවට විඳින්නට සිදුව තිබෙන දුෂ්කරතා ගැන දීර්ඝව කරුණු දැක්වූහ. ජනතාවගේ ජීවිත මෙන්ම දේපල ද අනතුරට හෙළා තිබෙන ව්‍යාපෘතිය නිසා ඌව පළාතම ව්‍යසනයකට මුහුණ දී ඇතැයි සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිස පෙන්වා දුන්හ. මෙම රැස්වීමේ තවත් විශේෂත්වයක් වූයේ ප්‍රශ්නය බලපාන බණ්ඩාරවෙල ප්‍රදේශය නියෝජනය කරන එ.ජා.ප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ඊට ආරාධනා නොකිරීමයි. ඔහු ඒ ගැන දැඩි කනස්සල්ලට පත්ව ප්‍රකාශ කළේ කටයුතු මෙසේ සිදුවන නිසා තමන් මින් ඉදිරියට මැතිසබයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බවයි. එසේම එ.ජා.පය රටට වැඩක් කරන්න හදන විට ශ්‍රී.ල.නි.පයේ ලොක්කන් කකුල් මාට්ටු දමන බවටද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මහා සංඝරත්නයෙන් රජයට යෝජනා තුනක්

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උමා ඔය ප්‍රශ්නය ගැන සොයා බලා ඊට සුදුසු විසඳුම් සෙවීමට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට අමාත්‍ය කමිටුවක් පත් කළේය. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, චම්පික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ. පසුගිය සඳුදා ඔවුන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ගොස් එහි ජනතාව මුණගැසී අදාළ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට යොදාගෙන තිබිණි. ඒ අනුව අමාත්‍ය කමිටුව එහි එන බව කීවත් බණ්ඩාරවෙල ගියේ අමාත්‍ය මහින්ද අමරවීර පමණි. අමාත්‍යවරයා යන විට ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු ජනතාව එහි රැඳී උන්හ. ඔවුන් සමඟ කතාබස් කොට ඇමැතිවරයා ප්‍රදේශයේ හානි පරීක්ෂාවට ගියේය. 

එම ගමනේදී ජනතාව අමාත්‍ය අමරවීර මහතාට දැඩි ලෙස දොස් නගන්නට වූහ. අනතුරුව කැඩී බිඳී ගිය නිවාසයකට තමන් කැඳවාගෙන ගිය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිස උමා ඔය ව්‍යාපෘතිය නතර කරන බවට ප්‍රකාශයක් ලබාදෙන්නැයි තර්ජනාත්මකව කී බව අමාත්‍ය අමරවීර පසුව මාධ්‍යයට පැවසීය. එසේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තමන් නිවසක් තුළ රඳවාගෙන පිටතට යාමට ඉඩ නොදී ක්‍රියා කළ බවද ඇමැති අමරවීර ප්‍රකාශ කළේය. තමන්ට ඔවුන් තර්ජනය කොට නිවාස අඩස්සියේ මෙන් රඳවාගන්නට තැත් කළ බව කී අමාත්‍යවරයා තමන් විශේෂඥ උපදෙස් ලබාගෙන පසුව පිළිතුරක් දෙන බව කීවත් එය ඔවුන් පිළිනොගත් වගත් පැවසීය. මගේ බෙල්ල මිරිකල හරි එයාලගෙ ව්‍යාපෘතිය නවත්වන්න කියන එක කියවාගන්නයි ඒගොල්ල උත්සාහ කළේ එසේ කියමින් ජ.වි.පෙ පාක්ෂිකයන් තමන්ට නිවසින් පිටතට පැමිණීමට ඉඩ නොදුන් බවද අමාත්‍යවරයා සිද්ධිය විස්තර කරමින් කීය. ව්‍යාපෘතිය ගැන ඉදිරි තීන්දු ගැනීම විශේෂඥයන් විසින් කළ යුතු යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ජනතාවට සහන සැලසීමට අපේක්ෂා කරන වගද ප්‍රකාශ කළේය. උදේ පැවති නිරීක්ෂණ චාරිකාවට සහභාගි නොවූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සවස මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි අතර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද ඊට එක් විය.

මහින්ද අමරවීර ඇමැතිවරයා නිවාසයක් තුළ රඳවාගත් බවට චෝදනා ලත් ජ.වි.පෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද ඔහුට එල්ල කළ චෝදනාවට පසුව පිළිතුරු සැපයීය. සමන්ත එහිදී කියා සිටියේ මහින්ද අමරවීර මහතා රඳවාගෙන සිටි බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන වගත් ජනතාව විමසූ ප්‍රශ්නවලට උත්තර දීගත නොහැකි වූ ඇමැතිවරයා එතැනින් පැනගොස් අභූත චෝදනා කරන බවත් කීය. 

කලකිරුණු ශ්‍රීල.නි.ප. ලොක්කෝ චන්ද්‍රිකා රහසේ හමුවෙති

 

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරුවාදා පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර අමාත්‍ය මණ්ඩල හමුව කලකට පසු පැවැත්වුණ ඉතාමත් උණුසුම් අමාත්‍ය හමුවක් වූ බව වාර්තා වෙයි. මෙම උණුසුම හටගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් නිසාය. එතුමා කැබිනට්ටුවට ඉදිරිපත් කළේ කාලය ඉකුත්ව තිබෙන දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙසට වූ ඉල්ලීමකි. මෙම කමිටුව දින 100 ආණ්ඩු කාලයේ ස්ථාපිත කළ බවත් දැන් එහි කාලය හමාර වී ඇති නිසා තවත් කාලයකට කමිටුවේ කාලය දිගු කළ යුතු යැයි අගමැතිවරයා කී විට ජනාධිපතිවරයා ප්‍රශ්න කළේ ඔය කියන දූෂණ මර්දන කමිටුවෙන් මෙච්චර කාලයකට කරල තිබෙන්නේ මොනවාද? කියාය. එවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දූෂණ මර්දන කමිටුව විසින් කරන ලද පරීක්ෂණ සම්බන්ධව තොරතුරු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළේය. 

අගමැතිවරයාගේ විස්තරයෙන් පසු නැගී සිටි අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ දූෂණ මර්දන කමිටුවෙන් ඔය කියන ආකාරයේ පුළුල් පරීක්ෂණ සිදු වී නැති වගය. මේ කමිටුවට ලැබුණු පැමිණිලි අනුව ඉතාම පොඩි පොඩි චෝදනා තිබෙන අය කිහිප දෙනෙක් අල්ලල නඩු දාල තියෙනව. ඒත් ලොකු මිනිස්සු බේරිලා යැයි කියූ රාජිත එසේ බේරී සිටිනවා යැයි කී කිහිප දෙනකුගේ නම් ගම්ද ප්‍රකාශ කළේය. එවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රාජිතගේ කතාව අනුමත කරන්නා සේ අදහස් දක්වන්නට විය. මමත් මේ ගැන සොයල බැලුවා. අපිත් එක්ක ආණ්ඩුවෙ ඉන්න ෆවුසි, ඇමැතිතුමා පියංකර හිටපු ඇමැතිතුමා වගේ 76 දෙනකුට මෙතනින් චෝදනා නගල තියනව. හැබැයි ගිය ආණ්ඩුව කරපු වැරදිවලට වගකිවයුතු ප්‍රධාන පවුලෙ අය ගැන කිසිම පරීක්ෂණයක් අද වෙනතුරු ඇතිවෙලා නැහැ. සමහරු හිතනව ඇති මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න. මහින්ද ආවොත් මොකද වෙන්නෙ. යූ.ඇන්.පියේ ලොකු ලොක්කන්ට නම් මුකුත් වෙන එකක් නැහැ. මොකද එයාල මහින්ද රාජපක්ෂට වාහන දීල හෙලිකොප්ටර් දීල අවශ්‍ය පහසුකම් එහෙම දුන්නනේ. ඒත් මමත් අපේ සමහර ඇමැතිවරැත් ජීවිත පරදුවට තියලයි මේ ආණ්ඩුව පිහිටුවා ගත්තෙ... ඉතින් ඔය කමිටුවෙ කාලෙ දිගු කළත් අනාගතේ වෙන්නෙත් ඕකමයි... කියමින් ජනාධිපතිවරයා ඉතාමත් දැඩි ප්‍රකාශයක් කළේය. අනතුරැව අමාත්‍ය චම්පික රණවක අදහස් දක්වන්නට විය. ඔහු කීවේ මේ කරන හැම දෙයින්ම සිදුවන්නේ මහින්ද රාජපක්ෂ සුදනා වීම බවය. ස්වාමීන් වහන්සේලාද ඒ බව කියන්නට පටන්ගෙන ඇති බව පැවසූ චම්පික අමාත්‍යවරයා පැරණි පාලකයන් නැවත බලයට ආවොත් සරත් ෆොන්සේකා මහතාට සිදු වූ දේට වඩා බරපතළ දේ සිදුවන්නට ඉඩ ඇතැයි අනතුරු ඇඟවීය. අනතුරුව සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද, රාජිත සේනාරත්න අමාත්‍යවරයාද චම්පිකගේ අදහස් අනුමත කරමින් අදහස් දැක්වූහ.

අධිකරණ අමාත්‍යංශය නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය ගැන බොහෝ දෙනා චෝදනා මුඛයෙන් කතා කරන්නට වූහ. එවිට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තමන් නීතිපති අංශයට ඇඟිලි නොගසන බව කී විට සරත් ෆොන්සේකා මහතා කීවේ වත්මන් අධිකරණ ඇමැතිවරයා තබාගෙන ආණ්ඩුව ගෙන යා නොහැකි බවය.

පරීක්ෂණ කඩිනමින් කරන්න ජනපති අගමැති තීන්දුවක

එම අදහස් තමන්ද අනුමත කරන බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය එෆ්.සී.අයි.ඩිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරාගත යුතු යැයි කීය. හොරුන්ට දඬුවම් නැහැ... ඒ නිසා මම මේක මාස තුනක් තුළ හොඳට කරල පෙන්නන්නම්.

එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චූදිතයන්ට නඩු පැවරීමට තිබෙන අපහසුතා ගැන කරුණු කීය. මංගල සමරවීර අමාත්‍යවරයාද එහිදී අගමැතිවරයාට සහාය විය. මේ ආකාරයට දැඩි වාද විවාද මධ්‍යයේ උණුසුම් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසානයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙනම කුටියකට ගොස් පවතින නීති ප්‍රශ්න ගැන කතා කළහ. ඉතා සුහද කතාබහක් වූ මෙම සාකච්ඡාව අවසානයේ දැනට කෙරෙන පරීක්ෂණ 10ක් පමණ කඩිනම් කොට හමාර කරන්නටත් චූදිතයන්ට නඩු පවරන්නටත් තීන්දු කළ බව වාර්තා විය.

මෙවර අමාත්‍ය මණ්ඩලයේදී අර්බුදයක් බවට පත්ව ඇති මාලබේ සයිටම් ආයතනය ගැනද කතාබහ විය. එයද තරමක උණුසුම් කතාබහකි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් පසුගියදා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගියේ ඒකාබද්ධ විපක්ෂය නැගෙනහිර පවත්වන ප්‍රථම මහජන රැලියට සහභාගි වීම සඳහාය. රැලියට පෙර ඉරිදා සවස ත්‍රිමලයට ගිය රාජපක්ෂ මහතා සහ මැති ඇමැතිවරු පිරිසක් නවාතැන් ගත්තේ ත්‍රිමලය වෙරළ තීරයේ ඉතා සුන්දර ස්ථානයක පිහිටි ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට අයත් සංචාරක හෝටලයේය. රැලියට පැමිණි සියලු මන්ත්‍රීන්ට දිවා සහ රාත්‍රී ආහාර හා සෙසු පහසුකම් සැපයුණේද එමගිනි. සඳුදා සවස ත්‍රිමලය මැක්ෆයිසර් ක්‍රීඩාංගණයේ ජන රැලිය පැවැත්විණි. ඒ සඳහා සිංහල සහ මුස්ලිම් ජනතාව සෑහෙන පමණ සහභාගි වී සිටි අතර දෙමළ ජනතා සහභාගීත්වය තිබුණේ තරමක් අඩුවෙනි. කෙසේ හෝ තමන් ත්‍රි^මලයේදී ජන රැලියක් සඳහා අපේක්ෂා නොකළ තරම් සෙනගක් එහි පැමිණි බව හිටපු ජනාධිපතිවරයා වේදිකාවේ සිටි මන්ත්‍රී සගයන් සමඟ පැවසීය.

මෙම ජන රැලියේදී පැමිණ සිටි ජනතාව අමතා කතා කළ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති එකිනෙක නොපෑහෙන බැවින් ආණ්ඩුවට රටට වැඩක් කරගන්නට නොහැකි බවයි. තමන් රට කාබාසිනියා කළ බවත් ආර්ථිකය විනාශ කළ බවට චෝදනා කළ රජය අද ආර්ථික වශයෙන් රට අන්ත අගාධයකට ඇද දමා අන්තිමේදී පන්සල්වල පිං කැටයටත් තට්ටු කළ බව අවධාරණය කළේය.

පුංචි ඡන්දය නැත්නම් ව්‍යවස්ථා සභාවෙන් යන බව ඒකාබද්ධය කියයි

 

අද රට හැමතැනම හැමදාම උද්ඝෝෂණ. රට නිදහස් කරගත්ත රණවිරුවන්ට දඬුවම් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. අනෙක මේ ආණ්ඩුවෙ නායකයො වැහි වැහැල. කොච්චර නායකයො හිටියත් දවසින් දවස ජනතාව කබලෙන් ළිපටයි වැටෙන්නෙ. අපේ ආණ්ඩුව කාලෙ රටේ හැමතැනම සංවර්ධන වැඩ සිද්ධ වුණා. ඒත් මේ ආණ්ඩුව නැගෙනහිර තමන්නාන්සේලාට ගත වූ අවුරුදු දෙකහමාර තුළ කළ එක වැඩක් මට කියන්න කියමින් මහින්ද සිය කතාව හමාර කළේය.

ශ්‍රී.ල.නි.පයේ ඇමැති ධූර දරණ 18 දෙනකු සැප්තැම්බරයේදී රජයෙන් ඉවත් වන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා මාධ්‍යයට පැවසීමත් සමඟ තවත් දේශපාලන බෝම්බයක් පත්තු විය. මෙම කණ්ඩායම පසුගියදා රාජගිරියේ ප්‍රභූ අවන්හලකට රැස් වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට මන්ත්‍රීන් 10 දෙනකු පමණ එක්ව තිබේ. මෙසේ තනතුරු අතහරින මන්ත්‍රීන් මැතිසබයේ ස්වාධීනව අසුන් ගන්නා බවද ප්‍රකාශ කර තිබිණි. එහෙත් ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා කීවේ මේ ගැන තමන් හෝ ජනාධිපතිතුමා හෝ කිසිවක් නොදන්නා බවය. ඔවුන් සමඟ තමන් කතා කර බලන වගද අමරවීර මහතා සඳහන් කර තිබිණි.

මෙම ප්‍රශ්නය උද්ගතවීමත් සමඟ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියද, මන්ත්‍රීන් හා ඇමැතිවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. එම සාකච්ඡාව සඳහා ශ්‍රී.ල.නි.පයේ තනතුරු අත්හරිනවා යැයි කියන එ.ජා.පය සමඟ ගමනක් නැතැයි කියන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 6 දෙනකුට හිටපු ජනපතිනිය ඇරැයුම් කර තිබූ බවද සඳහන් වෙයි. මෙම සාකච්ඡාව එතුමියගේ කොළඹ නිවසේ පවත්වා ඇතත් එහි තොරතුරු අනාවරණය වී නැත.

ඒ අතර මෙසේ තනතුරු අතහරිනවා යැයි කියන ඇමැතිවරුන්ගේ කණ්ඩායමේ සගයෙක් දේශයට කීවේ කළින් 18 දෙනෙක් වූ මෙම කණ්ඩායම දැන් 22 ක් දක්වා වර්ධනය වී තිබෙන බවය. අද හෙටම එම කණ්ඩායමේ නියෝජිත පිරිසක් මහින්ද අමරවීර අමාත්‍යවරයා හමුවීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන්නේ යැයි ද හෙතෙම පැවසීය. මේ කතන්දර ප්‍රචාරය වෙද්දී ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේදී කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.පයෙන් නම් නාම යෝජනා නොලැබෙන බවය. ඒ සඳහා පක්ෂය තීන්දුවක් ගන්නා බවද දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය හා රජය අතර පවතින්නේ ප්‍රබල මත ගැටුමකි. එය තවත් පුළුල් වීම මේ සතියේ දක්නට ලැබිණි. අස්ගිරි මහා විහාරයේ සංවිධානයෙන් මහනුවරදී මහා සඟ සමුළුවක් කැඳවා තිබූ අතර ඒ සඳහා ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුද මෙරට ජ්‍යෙෂ්ඨ නායක හිමිවරු රැසක්ද මහනුවරට වැඩම කර සිටියහ. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස නාහිමි, රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන ප්‍රේමසිරි නාහිමි, නියංගොඩ විජිතසිරි හා දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමිවරුන් ප්‍රමුඛ දිවයිනේ නමගිය නායක ස්වාමීන් වහන්සේලා රැස්වීමට සහභාගි වූහ. පලිපානේ ශ්‍රී චන්දානන්ද අනුස්මරණ ශාලාවේ පැවති රැස්වීමට නායකත්වය දුන්නේ අස්ගිරි මහා නායක හිමිපාණන්ය.

තනතුරු අත්හරින කල්ලිය රාජගිරියේදී රහසේ රැස්වෙයි

එහිදී රජයට දැනුම් දීම සඳහා විශේෂ තීන්දු ගණනාවක්ම ගනු ලැබීය. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට වූ යෝජනාව, සයිටම් ප්‍රශ්නය ඉතා ඉක්මණින් විසඳාලීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරුදන්වූවන් පිළිබඳ පනත අත්හිටුවීම එම යෝජනා තුනයි. ජාතික හා ආගමික වශයෙන් බෞද්ධ ආගමිකයන්ට විඳින්නට සිදුව තිබෙන දුක්ගැහැට ගැන කරුණු දැක්වූ නායක හිමිවරු රජයට මේ ගැන දන්වා වහා පියවරක් ගන්නැයි බලකිරීමටද තීන්දු කළෝය.

මෙම රැස්වීමෙන් නිකුත් වූ සංඥාව සෑහෙන බරපතළය. මෙතෙක් කල් රජයට දුරස්ථව සිට සහාය පළකළ නාහිමිවරුන් ගණනාවක්ද සමුළුවට එක්ව සිටියහ. මේ සමුළුවේ තීන්දු ගැන පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්නගෙන් මාධ්‍යය ප්‍රශ්න කළ විට රාජිත ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් සෑදීම සඳහා ජනාධිපතිවරණයේදී ලක්ෂ 62ක ජනතාවක් ජනාධිපතිතුමාට ජනවරමක් ලබා දී ඇති බවය. රජය ක්‍රියා කරන්නේ එම ජනවරමට අනුව බව රාජිත කීය. එහෙත් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත වූ පනත ඉදිරිපත් නොකිරීමට තීන්දු කළ බව පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා විය. කෙසේ හෝ මහා සංඝරත්නය සහ රජය අතර විරසකභාවයක් හටගන්නට ඉඩ නොදී එම තත්ත්වය සමනය කරගැනීම සඳහා ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් සමඟ සාකච්ඡාවක් සැලැසුම් කළේය. ඒ අනුව අස්ගිරි සඟ සමුළුවෙන් පසුව මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ජනාධිපතිතුමා මහනුවර රජගෙදරට ඇරැයුම් කළේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කරැණු දක්වන්නටය. එහිදී ජනපතිවරයා ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ මහ සඟරුවනේ අනුශාසනා අනුව බව උන්වහන්සේලාට ප්‍රකාශ කළේය. බුදු සසුනට අසාධාරණයක් නොකරන බවටද සහතික කළේය. මේ ප්‍රකාශය ගැන උන්වහන්සේලා සතුට පළකළහ.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර