2017 ජුනි 24 වන සෙනසුරාදා

අස්ගිරියේ සැර කතාවෙන් ආණ්ඩුව රත්වෙයි

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 979

සම්මුතිවාදී ආණ්ඩුව ගෙවා දමන්නේ ඉතා දුෂ්කර අවධියකි. දිනෙන් දින ගැටගැසෙන දේශපාලන ප්‍රශ්නවලට අමතරව ස්වභාව ධර්මයෙන්ද රටට උදව්වක් නැත. එක පැත්තකින් ඩෙංගු උණ සහ වෛරස රෝගය පැතිරයාමෙන් සිදුවන මරණ ගණන ඉහළ යමින් තිබේ. අගනුවර කැලි කසළ ප්‍රශ්නය නොවිසඳීමෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති. අන්තිමේ උණ රෝගය ගැන බලන්නටත් කැළි කසළ ප්‍රශ්නය විසඳන්නටත් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මැදිහත් වන්නට සිදුවිය. ඒ ඒ විෂයයන් භාරව පත් කළ දේශපාලන ලොක්කන් අතින් යුතුකම් ඉටුනොවන බවට තවත් සාක්ෂි කුමටද, පළාත් පාලන ආයතන අක්‍රීය වී වසර දෙකක්ම ඡන්ද කල් දමමින් විවිධ හේතු පෙන්වමින් ප්‍රශ්නය ඇදගෙන යාමෙන් ප්‍රාදේශීය පාලනයද අවුල් වී තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සෙසු රේඛීය අමාත්‍යංශ සමඟ සහයෝගයෙන් මෙම ප්‍රශ්න විසඳීමට උදව් වනවා තබා තමන් කැඳවන රැස්වීම්වලටවත් නොපැමිණෙන බවට පසුගියදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ගණනාවක්ම චෝදනා කළහ. නගරයේ කැළි කසළ ප්‍රශ්නය උග්‍ර වූයේ පළාත් සභාවේ රාජකාරි හරි හැටි සිදුනොවීම නිසා බවටද ඔවුහු චෝදනා නැගූහ. අවසානයේ පසුගිය ඉරිදා මහ ඇමැතිවරයා සිය නිලධාරීන්ට කැලි කසළ ප්‍රශ්නය කඩිනමින් විසඳන්නැයි උපදෙස් දුන් බව දැනගන්නට තිබේ.

විග්නේෂ්වරන් පත්තු කළ අලුත්ම ගින්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කොළඹ කැලි කසළ ප්‍රශ්නය විසඳීම ගැන සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ අමාතවරුන් ගණනාවක් සමඟ කොළඹ කොටුව, පිටකොටුව ආදී ප්‍රදේශවල චාරිකා කරමින් නගරය පුරා කසළ ගොඩගැසී ඇති ස්ථාන පරීක්ෂා කළේය. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, රවි කරුණානායක හා සාගල රත්නායක යන මහත්වරුද අගමැතිවරයා සමඟ වූහ. පාරිසරික පවිත්‍රතාව රැකෙන ලෙස ප්‍රදේශයේ කැලි කසළ ඉවත් කරන්නැයි අගමැතිවරයා කොළඹ නාගරික කොමසාරිස්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට උපදෙස් දුන්නේය.

පසුගිය සති කිහිපය පුරාම දේශපාලන ක්ෂේත්‍රයේ පුවත් මැවූ කබීර් හෂීම්, ලක්ෂ්මන් යාපා නිල කාමර ප්‍රශ්නය මේ සතියේ විසඳුණි. අමාත්‍ය හෂීම්ගේ කාර්යාලය පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉහළ මහලක් හා තවත් කාමර කිහිපයක් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාට වෙන්කර දීමෙන් පසුව පසුගිය සඳුදා ඔහු චාරිත්‍රානුකූලව වැඩ භාරගත්තේය. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවනද සෙසු ආගමික නායකයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රශ්නය හටගත් අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාපා, දයාසිරි ජයසේකර, ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, ඉන්දික බණ්ඩාරනායක, එරාන් වික්‍රමරත්න, මන්ත්‍රී පියංකර ජයරත්න ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. අමාත්‍ය ලක්ෂ්මන් යාපා වැඩ භාරගැනීමෙන් අනතුරැව ඔහුට සුබ පතමින් කතා කළ අමාත්‍ය කබීර් හෂීම් බොහෝ කාලයක් තිස්සේ තමන් සහ ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා එකට වැඩ කළ මිතුරන් යැයි කීය. ඒ නිසා ඉදිරියටත් සහයෝගයෙන් එක්ව වැඩ කරන්නට අවස්ථාව තිබෙන බවද ඔහු පැවසීය. ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා කතා කරමින් උගතකු වන කබීර් අමාත්‍යවරයා සමඟ ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනයට සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට අදහස් කරන්නේ යැයි ප්‍රකාශ කළේය. 

මෙම කෙටි කතාවලින් පසුව අමුත්තන් තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියදී ලක්ෂ්මන් යාපා මහතාගේ ජංගම දුරකතනයට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තවත් සුළු මොහොතකින් පැමිණෙන බවය. ඉන් සුළු වේලාවකට පසු ජනාධිපතිවරයා ඒ ස්ථානයට ළඟා විය. තේ පැන් කුටියේ අසුන් ගත් ජනාධිපතිවරයා එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගැන කතාබහ කළේය. එවිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හටගෙන ඇති බරපතළ ගැටලු ගණනාවක් අමාත්‍ය ලක්ෂ්මන් යාපා ජනපතිට පැවසීය. අපොයි මෙතන මාධ්‍ය මහත්වරු ඉන්නව. එයාල ඉඳිද්දි මේව ගැන කතා කරන්න අමාරුයි කියා මාධ්‍යවේදීන් කුටියෙන් එළියට යවා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාද එහි ගෙන්වා ගත්තේය. අනතුරුව මෙම අමාත්‍යංශය යටතේ ඇති ප්‍රධානම ආයතනය වන ශ්‍රීලන්කන් එයාර් සමාගමේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළෝය. ඉන් පසු ගංවතුර විපතින් පීඩාවට පත් ජනතාවට කරන ලද සේවාවන් අමාත්‍ය ලක්ෂ්මන් යාපා විස්තර කළේය. සියල්ල අවසානයේ තේ පානය හමාරකොට නැගී සිටි ජනාධිපතිවරයා ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා අමතා &ඔන්න මම ආවා. පණිවුඩය දුන්නා.. දැන් එයාලට පණිවුඩය පැහැදිලි ඇතිනේ කියමින් පිටත්ව යාමට සමුගත්තේය.

මෙවර පාර්ලිමේන්තු රැස්වීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් දෙක ඒකාබද්ධ රැස්වීමක් පවත්වන්නට තීන්දු කළේය. ඒ අනුව එ.ජා.ප.ය සහ ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරන මන්ත්‍රී සහ ඇමැතිවරු පසුගිය සඳුදා සවස ජනාධිපති කාර්යාලයට රැස්වූහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හමුව කැඳවා තිබිණි. සම්මුති ආණ්ඩුවේ ඉදිරි ගමන මෙන්ම අලුත් ව්‍යවස්ථා සම්පාදනය ගැනද මෙහිදී සාකච්ඡා කෙරෙන බව කළින් ආරංචි වී තිබිණි. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන්නට සූදානම් බවද කියැවිණි. එහෙත් කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි මැති ඇමැති සංඛ්‍යාව සෑහෙන තරම් අඩු බව පෙනුණි. ඒ ගැන ප්‍රශ්න කළ පක්ෂ නායකයන්ට දැනගන්නට ලැබුණේ මැති ඇමැතින් සෑහෙන පිරිසක් විවිධ හේතු මත විදේශ සංචාරවලට ගොස් ඇති බවය. එනිසා ජනාධිපතිවරයා කරන්නට සැරසී සිටි ප්‍රකාශය සිදුකළේ නැත. එය ගණපූර්ණය සම්පූර්ණ වූ දිනක කරන්නට කල් තැබීය.

කැලි කසළ ප්‍රශ්නය ජනපති අගමැති අතට ගනිති

 

අනතුරුව සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන කතාබහ ඇතිවිය. සමෘද්ධි දීමනා බෙදීමේදී ඇතිවන විෂමතා ගැන මුලින්ම කරුණු සඳහන් විය. අනතුරැව තරමක් අර්බුදකාරී වූ සුරාබදු පනත් සංශෝධනය ගැන මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා ක‍ලෝය. මෙයට පෙර හිටපු මුදල් අමාත්‍යවරයා ඉහළ දමනු ලැබූ සුරාබදු අනුපාතය අඩු කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබූ බව කියැවේ. ව්‍යාපාරවලින් අය කරන සුරා බද්ද අඩු කිරීම සම්බන්ධව මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මුලින්ම සිය විරෝධය පළ කළේය. ඔහු කීවේ මෙය ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එකඟ නොවන බවය. තවත් කිහිප දෙනෙක්ද ඒ ගැන අදහස් දැක්වීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා ඊට තමන්ගේ එකඟත්වයක් නැති බව ඇඟවූහ. ඒ අතරතුර සභාවේ සිටි සියලු මුස්ලිම් මැති ඇමැතිවරු දවසේ නෝම්බි හමාර කිරීම සඳහා දේවස්ථානවලට යා යුතු බව දන්වා ඉවත්ව යන්නට වූහ. ඒ සමඟ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හමාර විය.

රැස්වීම හමාර වෙද්දී ජනාධිපතිවරයා ඇමැතිවරැන් කිහිප දෙනකුට විශේෂ සාකච්ඡාවක් සඳහා තමන් හමුවන ලෙස දැන්වීය. අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති මංගල සමරවීර හා ඇමැති සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට එලෙස නතරවන ලෙස කී ජනාධිපතිවරයා ඔවුන් සමඟ ඇතුළු කුටියක සෑහෙන වේලාවක් වෙනම සාකච්ඡාවක් පවත්වා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාකිස්තානයේ ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් විශේෂ ආරාධනයක් ලැබුණේ මේ වසරේ එහි ආරාධිත දේශනය පවත්වන හැටියටයි. එරට හමුදා ප්‍රධානීන් පුහුණු කරන උසස්ම ආරක්ෂක විද්‍යා පීඨය වන ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් කර තිබූ ඇරුයුමේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමේ අත්දැකීම යන මැයෙන් පාකිස්තාන ආරක්ෂක සිසුන්ට සිය දේශනය පවත්වන හැටියටයි. මෙම ආරාධනාව භාරගත් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ විද්වත් මණ්ඩලයකට විශේෂ අධ්‍යයනයක් සිදුකොට මෙම දේශනයේ පිටපත සකස් කරන්නැයි දැන්වීය. ඒ අනුව කතා පිටපත සකස් කැරිණි. සංචාරයට දින ගණනාවකට පෙර කොළඹ සිටින පාකිස්තානයේ වැඩ බලන මහ කොමසාරිස්වරයා රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙම දේශනය සඳහා පාකිස්තාන ආරක්ෂක සරසවිය මගින් ආරාධනා කර ඇතැයි විදේශ අමාත්‍යංශයට නිල වශයෙන්ම දැනුම් දුන්නේය. අනතුරුව වැඩ බලන මහ කොමසාරිස්වරයා ඇමතූ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා රාජපක්ෂ මහතාට මෙම දේශනය සඳහා ආරාධනා කිරීම ගැන මහ කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කර ඇතැයි කියැවිණි. හිටපු ජනපතිවරයාට, මෙබඳු වැදගත් දේශනයකට ආරාධනා කිරීම රජය පැත්තෙන් හොඳ මදි බව රවි කියා ඇත. තවත් නොයෙක් හේතු දක්වමින් මෙයට රජය සතුටු නැති බව වැඩ බලන මහ කොමසාරිස්ට දැන්වූ විට ඔහුගේ කෙටි පිළිතුර වී ඇත්තේ මෙම තෝරාගැනීම සිදුකර ඇත්තේ අදාළ ආරක්ෂක සරසවිය පෞද්ගලික බැවින් එය ඔවුන්ගේ පෞද්ගලික ආරාධනාවක් බවය. එය රජයේ නිල ආරාධනාවක් නොවන නිසා තමන්ට කළ හැක්කක් නැතැයි මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයාට කියා ඇතැයි දැනගන්නට තිබේ.

මේ කුමන ගැටලු තිබුණත් අදාළ සරසවිය රාජපක්ෂ මහතාට කර තිබූ ඇරුයුම වෙනස් වූයේ නැත. ඒ අනුව ගිය සඳුදා ඔහු පාකිස්ථානය බලා පිටත්ව ගියේ මහාචාර්ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රී පිරිසක්ද සමඟය. මහින්දට පාකිස්තානයේදී හොඳ පිළිගැනීමක් ලැබුණ බවද වාර්තා වෙයි. ඔහු එරට සෙනෙට් සභා සභාපතිවරිය මුලින්ම හමුවිය. අනතුරුව පාකිස්තාන ජාතික ආරක්ෂක සරසවියේ දේශනයට සහභාගි විය. එරට ආරක්ෂක විද්‍යාලයේ සභාපති ලුතිතන් ජනරාල් රිස්වාන් අක්තාර් රාජපක්ෂ මහතා පිළිගෙන දේශනය සඳහා ඇරුයුම් කළේය. පාකිස්තාන ආරක්ෂක සිසුන්ට අමතරව එරට සියලුම හමුදා ප්‍රධානීන්ද ඊට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළ ආකාරය හා ඊට එල්ල වූ බාධක ගැනත් රාජපක්ෂ මහතා කළ දේශනයට සවන් දුන් ඔවුහු පුරා පැය 2ක්ම මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඒ ගැන ප්‍රශ්න නැගූහ. ඔහු ඒවාට ගත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග විස්තර කළේය. ඉන් පසු හමුදා ප්‍රධානීන් හා මෙරට සිටි මහ කොමසාරිස්වරුන් සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද විය. එම භෝජන සංග්‍රහයේදී කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකට කොළඹදී මුහුණදුන් එවකට මෙරට සිට පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බසීර් වලි මොහොමඩ් මහතා රාජපක්ෂ මහතා ත්‍රස්තවාදයට එරෙහිව කළ සටන මහත් සේ අගයමින් කතා කළේය. පසුදා රාජපක්ෂ මහතා පාකිස්තාන ජනාධිපතිවරයා මුණගැසුණු අතර විදේශ සංචාරයක නිරත අගමැති නවාස් ෂෙරීෆ් මහතාද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනැමීය.

මහින්දගේ පාකිස්තාන ගමනට රවිගෙන් විරෝධය

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව දෙමළ ජාතික සන්ධානය හා පළාත් සභාවේ සෙසු පක්ෂ ගණනාවක මන්ත්‍රීන් 21 දෙනකුගේ අත්සනින් භාරදුන් විශ්වාසභංග යෝජනාව මේ සතියේ ඉවත් කරගැනිණි. එයට හේතුව වූයේ පැවති ප්‍රශ්න සම්බන්ධව දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්දන් හා මහ ඇමැති විග්නේෂ්වරන් අතර එකඟතාවයක් ඇතිවීම බව උතුරෙන් වාර්තා වෙයි. පළාත් ඇමැතිවරැන් දෙදෙනකුට දූෂණ චෝදනා එල්ල වූ අවස්ථාවේ මහ ඇමැතිවරයා එම චූදිත ඇමැති දෙදෙනා ඉවත් කොට සෙසු ඇමැතිවරුන් දෙදෙනාද අනිවාර්ය නිවාඩු යැවීය. එහෙත් පක්ෂ නායක සම්බන්දන් මහතා එම තීන්දුව පිළිගත්තේ නැත. ඔහු කීවේ දූෂණ චෝදනා ඔප්පු වූ අය පමණක් ඉවත් කරන හැටියටයි. එහෙත් මහ ඇමැතිගේ තර්කය වූයේ සෙසු දෙදෙනාටත් දූෂණ චෝදනා එල්ල වී ඒවා විභාග කෙරෙන බැවින් ඔවුන්ද අනිවාර්ය නිවාඩු යවන ලද බවය. මෙම කාරණය පිළිබඳ සාකච්ඡා ලිපි හුවමාරු ගණනාවක්ම සිදුවිය. 

දෙමළ සන්ධානයේ නායකයන්ද මේ ගැන බෙදී සිටියහ. සම්පන්දන් මහතා මධ්‍යස්ථව සිටියදී මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා මහ ඇමැතිවරයාට දැඩි ලෙස විරෝධය පළ කළෝය. ඔවුන්ගේ විරෝධය ගැන විග්නේෂ්වරන් කීවේ කොළඹින් කෙරෙන කුමන්ත්‍රණයකින් තමන් පන්නන්නට හදනවා කියායි. ඔහු එම ප්‍රකාශයෙන් ඉලක්ක කළේ සුමන්තිරන් මන්ත්‍රීවරයා බව දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයෝ පවසති. උතුරේ රදගුරුතුමා හා යාපනයේ ප්‍රධාන හින්දු පූජකතුමාද ප්‍රශ්නය සමථයකට පත් කරගන්නා ලෙස තරයේ දැනුම් දීම නිසා විග්නේෂ්වරන් ප්‍රධාන ඇමැතිවරයාට තරමක් පසුබසින්නට සිදුවිය. ඒ අතර ඔහුගේ කාර්යාලයට ඇතුළු වූ සොරැන් පිරිසක් දූෂණ චෝදනාවලට ලක් වූ ඇමැතිවරුන්ගේ පරීක්ෂනයට අදාළ ලිපිගොනු පැහැරගෙන ඇතැයි වාර්තා විය. කෙසේ හෝ බදාදා වන විට මහ ඇමැතිට එරෙහි විශ්වාසභංගය ඉවත් කරගන්නා බව දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට දැනුම් දුන්නේය.
මහ ඇමැතිවරයා දූෂණ චෝදනා නොලත් ඇමැතින්ගේ නිවාඩු අවලංගු කරන්නටද එකඟ වූ බව වාර්තා විය. එහෙත් තිරය පිටුපස සාකච්ඡාවලදී මහ ඇමැතිවරයා අනාවරණය කර ඇත්තේ උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ සිවඥානම් මහතා ඉවත් කළ යුතු බවය. ඒ සඳහා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉඩකඩ තිබේද කියා සොයා බලන බව මහ ඇමැතිවරයා උතුරේ මාධ්‍යයට කියා තිබිණි. පළාත් සභා සභාපතිවරයකු අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු නමුත් සිවඥානම් මහතා එම සම්මතය බිඳ දමා බලලෝභීව ක්‍රියාකර ඇති බැවින් ඔහුට එරෙහිව පියවර ගත යුතුය යන්න මහ ඇමැතිගේ මතය බව පෙනේ. ඒ නිසා දැනට නිවී තිබෙන්නා සේ පෙනෙන උතුරැ පළාත් සභාවේ දේශපාලන ගින්න නැවතත් පත්තු වීමට ඉඩ ඇතැයි උතුරෙන් වාර්තා වෙයි. ලබන පළාත් සභා මැතිවරණය තෙක් එම ආරවුල පවතිනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. 

සතියේ වඩාත් ආන්දෝලනාත්මක පුවත වූයේ අස්ගිරි මහා නායක මාහිමිපාණන් සහ අස්ගිරි කාරක මහා සංඝ සභාව විසින් රජයට නිකුත් කරන ලද අවවාදාත්මක ප්‍රකාශයයි. එය මහා සංඝරත්නයෙන් නිකුත් වූ රතු නිවේදනයක් ලෙසද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ප්‍රකාශය නිකුත් කළ මහා සංඝ සභා රැස්වීම පැවතීයේ අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගශීලී හැසිරීම් රටාව සහ ප්‍රකාශන ශෛලිය තමන්වහන්සේලා අනුමත නොකළත් උන්වහන්සේගේ මතවාදය කිසිසේත්ම බැහැර නොකරන බව අස්ගිරි සංඝ සභා නිවේදනයේ සඳහන් විය. ජාතිවාදී හැඟීම් අවුස්සන දේශපාලන නායකයන්ගෙන් නිකුත් වන ආවේගශීලී ප්‍රකාශ ගැන කිසිම පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කරන්නට දරන උත්සාහය තමන්වහන්සේලා හෙළාදකින බවද එම ප්‍රකාශයේ සඳහන්ය. ප්‍රධාන කරැණු 8කින් සමන්විත අස්ගිරි නිවේදනයේ භික්ෂූන් වහන්සේ නමක් චීවරධාරියකු ලෙස හැඳින්වීම, උතුරු නැගෙනහිර පුරාවස්තු කොල්ලය, ඉඩම් කොල්ලය වැනි සංහිඳියාවට මුවා වී කරන ජාතික සම්පත් ව්‍යසනය නවත්වන්නට ජනපතිවරයා ප්‍රමුඛ රජය වහා මැදිහත් විය යුතු බව පවසන අස්ගිරි සංඝ සභාව, මේ අසාධාරණ තත්ත්වය යටතේ ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන අසල හෝටල් ඉදිකරමින් ඒවායේ පූජනීයත්වයට හානිවන ලෙස ක්‍රියා කරන බවද මේ ප්‍රකාශනය නිකුත් කරමින් පැවති මාධ්‍ය හමුවේදී අස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි නායක හිමිපාණන්ද, මැදගම ධම්මානන්ද අස්ගිරි මහා විහාරීය ලේඛකාධිකාරී හිමියෝද පැවසූහ.

මැති ඇමැතිලා රට ගිහින්ලු: ජනපති ප්‍රකාශය නවතී

මෙම තත්ත්වය මෝරාගොස් ඉදිරියේදී රට තුළ යම් අසහනකාරී තත්ත්වයක් හටගතහොත් එහි පූර්ණ වගකීම රජය භාරගත යුතු බවද අස්ගිරි සංඝ සභාව සඳහන් කරයි.

කෙසේ හෝ මෙම දැඩි ප්‍රකාශයට දින කිහිපයක් තුළ රජයෙන් පිළිතුරක් සපයන බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න නීය. ඒ අතර මේ මාධ්‍ය හමුවේදී මහනා හිමියන් ප්‍රමුඛ සංඝ සභාවේ චෝදනාවලට ලක් වූ දේශපාලනඥයන් අතරින් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වහාම අස්ගිරි සංඝ සභාවෙන් සමාව ගන්නා බව ප්‍රකාශ කළේය. ඒ අතර ගිය බදාදා ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිය නීතිඥයන් සමඟ පැමිණ කොටුව මහේස්ත්‍රාත් උසාවියට භාර වූහ. නඩු ගණනාවකට චෝදනා ලැබ තිබූ උන්වහන්සේ ඇප මත මුදාහරින්නට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

දැනට වසර 2කට ආසන්න කාලයක් තිස්සේ ඇදීයමින් තිබෙන මාලබේ සයිටම් අරගලය තවමත් හමාර නැත. මේ සතියේ සයිටම් විරෝධී වෛද්‍ය ශිෂ්‍යයෝ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාපැන මහා කලබගෑනියක් කළෝය. සිය ගණනක් ආරක්ෂක අංශ සාමාජිකයෝ පැමිණ බලය යොදවා සිසු විරෝධතාකරැවන් පලවාහරිනු ලැබීය. ඔවුනට සෞඛ්‍ය ඇමැතිවරයා හෝ සෞඛ්‍ය බලධරයන් මුණගැසුණේද නැත. දේශපාලන වාග් සටනක් බවට පත්ව නොවිසඳී ඇති ඇදීයන සයිටම් ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වීමෙන් පීඩාවට පත්වන්නේ නිතිපතා අගනුවරට රැස්වන මහජනතාවය. සතියකට වරක් දෙකක් තිබෙන උද්ඝෝෂණ නිසා කොළඹට එන ජනතාව විශාල කරදරයක පැටලෙයි. රජයට මේ කිසිවක් ගණනක් නැතුවාසේය. සයිටම් ප්‍රශ්නය දැන් ඔඩුදිවූ අරගලයකි. ඒ නිසා වහා මෙය නොවිසඳුවොත් එය ප්‍රචණ්ඩත්වය කරා යොමුවීමට ඉඩ තිබේ.

සයිටම් විරෝධය ප්‍රචණ්ඩ වෙයි

බස් ගාස්තු වැඩි කරන්නට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීන්දුව හැර සතියේ ඇමැති මණ්ඩල රුස්වීමේ ලොකු කලබගෑනියක් සිදුනොවුණත් කැබිනට්ටුව හමාර වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා ශ්‍රීලන්කන් එයාර් ආයතනයේ හටගෙන තිබෙන පරිපාලන හා ආර්ථික අර්බුද ගැන සාකච්ඡා කරන්නට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් කාර්යාලයට කැඳවා තිබිණි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙන්ම ප්‍රධාන විධායකවරයාද එහි පැමිණ සිටියහ. එහිදී කබීර් හෂීම්, දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා යන ඇමැතිවරැ අධ්‍යක්ෂ මණ්ඩලයේ අර්බුද ගැන ප්‍රශ්න කළෝය. අධික සේවක බඳවාගැනීම්, ප්‍රධාන විධායක හා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉහළ වැටුප් ගැන මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ බෙදීම ගැනත් මෙහිදී සාකච්ඡා කළහ. අමාත්‍ය රාජිත, සරත් ෆොන්සේකා යන මහත්වරැ ශ්‍රීලන්කන් එයාර් ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රශ්න කළහ. දූෂිතයන්ට එරෙහිව ක්‍රියා නොකිරීම ගැනද විමසූහ. අවසානයේ ජනාධිපතිවරයා කීවේ පවතින තත්ත්වය ගැන තමන්ට වාර්තාවක් සපයන ලෙසයි. ශ්‍රීලන්කන් එයාර් අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් දෙකට බෙදී කටයුතු කරන්නට ගියහොත් මුළු අධ්‍යක්ෂ මණ්ඩලයම ඉවත් කොට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන බවද ජනපතිවරයා පැවසීය.


ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
සේයාරුව I රොමේෂ් ධනුෂ්ක සිල්වා