2017 ජුනි 10 වන සෙනසුරාදා

රතන හාමුදුරුවන්ගෙන් ලොකු දෝස්මුරයක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 508

ගංවතුර නායයාම් නිසා රට තුළ හටගත් කම්පාව තවමත් හමාර නැත. ජලය බැස ගියත් ප්‍රශ්න ඉතිරි වී තිබේ. ගංවතුරේ දේශපාලනයද වෙනදා මෙන්ම මෙවරත් කැපී පෙනුණි. ඇතැම් දේශපාලනඥයන් සද්භාවයෙන් ජනතා හිතසුව පිණිස ක්‍රියා කරද්දී තවත් අය මනාප හෝ ලකුණු එක්රැස් කිරීමට මේ විපත උපයෝගී කරගත් බවට චෝදනා නැගිණි. ගාල්ලේදී ඇමැති ගයන්තගේ නම සහ ඡායාරූපය යෙදූ පාර්සලයක කෙසෙල් ගෙඩි 4ක් බෙදාදීමේ සිද්ධිය එලෙස ආන්දෝලනයට ලක්විය.

මේ ගැන දස අතින් විවේචන මතුවෙද්දී ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා තමන්ගේ කීර්තිනාමයට හානිකරන්නට දේශපාලන එදිරිවාදීන් මෙය කළ බව කියමින් සී.අයි.ඩී.යට ගියේය. ඒ අතර ගාල්ලේම තවත් ප්‍රදේශයක ස්වදේශ අමාත්‍යංශ තිළිණයක් යැයි කියමින් ආධාර බෙදූ බවද කියැවිණි. එහෙත් ආණ්ඩුවේම පාලිත තෙවරප්පෙරුම වැනි දේශපාලනඥයෝ තමන්ගේ නම ගම හෝ හංවඩුව ගසන්නේ නැතිව ගංවතුරට බැස ජනතාවට කළ මෙහෙවරට පැසසුම් ලැබිණි. තවත් ඇතැම් ඇමැතිවරු රූපවාහිනිය ඉදිරියේ ජල බෝතල් දෙකක් පරිත්‍යාග කරමින් ලොකු ලොකු දේශනා කරන ආකාරයද දැකගන්නට ලැබිණි.

 මෛත්‍රීට මාතර තානායමේ බුෆේ එකෙන් දවල් කෑම 

මෙවර ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට උතුරෙන්ද ආධාර රැගෙන විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් රත්නපුරය සහ ගාල්ල ප්‍රදේශයට යාම ආදර්ශවත් ක්‍රියාවකි. විපක්ෂනායකවරයාට අමතරව මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු මන්ත්‍රී පිරිසක් රත්නපුරයට ගොස් ජනතාව හමුවිය. අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර දකුණේ ජනතාව මෙබඳු විපතකට පත්වූ අවස්ථාවේ උතුරෙන් ආධාර රැගෙන ඒම ගැන අමාත්‍ය සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ පිරිස සම්පන්දන් මහතා ඇතුළු විපක්ෂයට ස්තූති කළේය. උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මෙහෙයවීමෙන් කළුතරටද ගංවතුර ආධාර තොගයක් උතුරෙන් ලබාදීමට පියවර ගැනිණි. උතුරේ සිට ලොරි 17කින් එක්රුස් කළ වියළි ආහාර ද්‍රව්‍ය කළුතරට ගෙන ආ අවස්ථාවේ කළුතර දිසාපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ආධාර තොගය භාරගත්හ. ඒ අතර ගංවතුර විපතින් හානියට පත් කළුතර ආසනයේ සංවර්ධන කටයුතු මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා භාරගෙන තිබිණි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගංවතුර  සහන කටයුතුවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. ඔහු සිය හිත මිතුරන්ගෙන් හා සිය සංවිධාන මඟින් එක්රැස් කළ ආහාර පාන පමණක් නොව වෛද්‍ය සේවාවන්ද හම්බන්තොට මාතර අවට ජනතාවට සැපයීය. ඒ අතර කුමාර වෙල්ගම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ආදී ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් දිවා රාත්‍රී ගංවතුර විපතින් හානියට පත් ජනතාව වෙනුවෙන් ආහාරද්‍රව්‍ය හා අනෙක් පහසුකම් සැපයීමේ නිරතවූහ.

ජනතා විමුක්ති පෙරමුණේ රතුතරුව සංවිධානය මේ සතියේත් වැඩි ප්‍රචාරයකින් තොරව විපතට පත් ජනතාවට සෑහෙන මෙහෙවරක් ඉටුකරනු දක්නට ලැබිණි. විපතට පත් දිස්ත්‍රික්ක සියල්ලේම පාහේ රතු තරුව සාමාජිකයන් වැඩට බැස සිටියහ. සහන කටයුතු සේම වෛද්‍ය කඳවුරුද කොළඹ කළුතර ගාල්ල මාතර ප්‍රදේශවල ජ.වි.පෙ. විසින් පවත්වන ලදී. ඒ අතර ජ.වි.පෙ. කතානායක කරු ජයසූරිය මහතා වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මේ මහා විපත ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවයි. ගංවතුර විපත් සහන වැඩපිළිවෙළ තදින් විවේචනය කරමින් ජ.වි.පෙ. මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රශ්න කර සිටියේ ගංවතුර ව්‍යසනයේදී රජය පත්කළේ ආපදා කළමනාකරණ ඇමැතිවරුන්ද නැතහොත් ආපදා ඇමැතිවරුන්ද කියාය කල්මරා වන්දි දීමෙන් විපතට පත් ජනතාව අන්ත අසරණ වන බැවින් වහා දෙන වන්දියක් ලබාදෙන්නැයි ඔහු සඳහන් කළේය. ඒ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගංවතුර විපත් ගැන කල්තබා අනාවැකි කියන (ඩොප්ලර්) රේඩාර් පද්ධතිය මිලට ගැනීමේදී දේශපාලන භවතකු අතින් බරපතළ වංචාවකට පාර කැපුණ බවයි. ඒ ගැන වහා පියවර ගත යුතු යයිද මන්ත්‍රීවරයා කීය.

 ජවිපෙ නායකයාගේ පුත්‍රයා විවාහ වෙයි 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගංවතුරින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා පසුගිය දින කිහිපයේ ප්‍රදේශ ගණනාවකටම ගියේය. මෙරට ඉතා පෞරාණික ඓතිහාසික සිද්ධස්ථානයක් වන පාහියන්ගල ලෙන් විහාර සංකීර්ණය නායයාමේ තර්ජනයකට මුහුණ දී තිබෙන නිසා ඒ ප්‍රදේශය පරීක්ෂා කොට අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. කළුතර දිස්ත්‍රික්කයේ විපතට පත් ප්‍රදේශවල සහන කටයුතු වෙනුවෙන් පැවති ශ්‍රමදානයකටද මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය. අනතුරුව ඔහු මාතර බලා පිටත්ව ගියේ දකුණේ ජනතාවට මෙම විපතින් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමටයි.

ජනාධිපතිවරයා මාතරට පැමිණියේ මධ්‍යාහ්නයේය. ඔහු මාතරට එනවිට බොහෝ මැති ඇමැතිවරු ගංවතුර සහන කටයුතුවල නිරතව උන්හ. හෙළිකොප්ටරයෙන් බට ජනාධිපතිවරයා එතැනින් කෙලින්ම ගියේ මාතර වෙරළ ආසන්නයේ පිහිටි තානායමටයි. එතැනට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ඒ මොහොතේ පැමිණියේය. මාතර තානායමේ එදින පැමිණෙන අමුත්තන් සඳහා බුෆේ ක්‍රමයට ආහාර පිරිනැමීමට සැලසුම් කර තිබිණි. ජනාධිපතිවරයාද පිඟානක් ගෙන පෝලිමේ ගොස් සිය දිවා ආහාරය බෙදා ගත්තේය. ආහාර අනුභවයෙන් පසු පැයක් පමණ තානායමේ විවේකයෙන් ගතකළ ජනාධිපතිවරයාට ඒ මොහොතේ දැනගන්නට ලැබුණේ මාතර නගරයේ වෙසෙන දකුණු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වන එච්.ජී. සිරිසේන මහතා හදිසියේම බරපතළ ලෙස රෝගාතුර වී රෝහල් ගතකළ බවය. එය දැනගත් වහාම ඔහු සිරිසේන මහතාගේ පුත් පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන අමතා පියාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය නම් විශේෂ හෙළිකොප්ටර යානයකින් ඔහු කොළඹට ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බව කීය. ඒ වනවිටත් විශේෂ ගිලන් රථයකින් සිරිසේන මහතා අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට රැගෙන යමින් තිබූ බැවින් අමාත්‍ය ලක්ෂ්මන් යාපාට කීවේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට පියවර ගන්නා හැටියටයි.

 ලක්ෂ්මන් යාපාගේ කාමර ප්‍රශ්නය දුරදිග යයි 

මාතර කච්චේරියේ එදින සවස 3.00 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගංවතුර විපත් සහන කමිටුව රැස්විය. මංගල සමරවීර, අනුර යාපා, ලක්ෂ්මන් යාපා, සාගල රත්නායක, බුද්ධික පතිරණ, නිරෝෂන් ප්‍රේමරත්න, ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර ආදී මැති ඇමැතිවරු ඊට එක්වූහ. එහිදී කරුණු දැක්වූ නිලධාරීන් මාතර ප්‍රදේශයේ විපතට පත් ජනතාවට නිවාස සෑදීමට රුපියල් මිලියන දස දහසක් පමණ වැයවෙතැයි පැවසීය. ඊට අවශ්‍ය පියවර ගන්නැයි ජනපතිවරයා උපදෙස් දුන්නේ ඉන්පසුවය. එවිට විපක්ෂ මන්ත්‍රී ඩලස් සඳහන් කළේ මෙබඳු ගංවතුර විපත් පාලනයට සැලසුමක් සකස් කරන ලෙසයි. ඩලස්ට ඊට පිළිතුරු දුන්නේ මංගල සමරවීර අමාත්‍යවරයාය. ඔහු කීවේ සැලසුමක් සකස් කිරීම ඉතා හොඳ බවත්, එවැනි කතා කියන්නට සමහරුන්ට මොෙළ් පෑදෙන්නේ විපක්ෂයට ගිය පසුව බවය. පසුගිය රජය බලයේ සිටි වසර 10 තුළ සැලසුම් හැදුවා නම් මෙබඳු දේ නොවන බවද මංගල කීය. මේ දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවන්නට යනවිට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර යාපා කීවේ “ඔන්න ඔන්න තවත් ආපදාවක් වෙන්න යනව. ඒ නිසා රැස්වීම නැවැත්තුවොත් හොඳ නැද්ද?” කියාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා පිටත්ව ගියේ පසුගිය සතියේය. ඔහු එරට සුප්‍රකට මේරිලන්ඩ් රෝහලේදී වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට මුහුණ දුන් අතර අගමැතිතුමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට වෛද්‍යවරුන් සහතික කර තිබිණි. ඒ අතර අගමැතිතුමාට සෙත්පතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සාගල රත්නායක ඇතුළු මැති ඇමැතින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විණි. ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන්ද විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්ද බෝධිපූජා කටයුතු මෙහෙයැවූහ.

වෛද්‍ය පරීක්ෂණවලින් පසු අග්‍රාමාත්‍යතුමා තමන්ගේ අමෙරිකානු චාරිකාව කල්තබා හමාරකොට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා විය. ඒ අතර ලංකාවේ සිදුව ඇති ගංවතුර හා නායයාමේ විපත නිසා හානියට පත් ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීමට කොපමණ මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යද යන්න ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත සපයන්නැයි අගමැතිතුමා අමෙරිකාවේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික සැලැසුම් අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය. ඒ හැර ශ්‍රී ලංකාවට ආධාර සපයන ලෝක බැංකුව මූල්‍ය අරමුදල එ.ජා. සංවර්ධන වැඩසටහන සමඟ මේ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද අගමැතිවරයා සැලසුම් කර තිබිණි. අගමැතිතුමාගේ උපදෙස් පරිදි රුපියල් කෝටි 200ක පමණ මුදලක් ආපදා සහ විපත් වෙනුවෙන් මුදා හැරීමට මහා භාණ්ඩාගාරය මේ සතියේ පියවර ගත් බවද වාර්තා විය. මෙම කටයුතු අතරතුර අගමැතිතුමා අමෙරිකාවේ පැවති ජගත් සමුද්‍රිය ආරක්ෂණ සමුළුවද ඇමතීය. එරටදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මෙන්ම එ.ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතාද මුණගැසුණි. එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න පශ්චාත් යුද සමයේ ජනතාවට යුක්තිය ඉටුකිරීම ගැන මෙන්ම නව ව්‍යවස්ථා සංශෝධනය ගැනද සාකච්ඡා විය. පසුගියදා මෙරට හටගත් ගංවතුර සහ නායයාමේ විපතින් පීඩාවට පත් ජනතාවට උදව් ආධාර ලබා දෙන මෙන්ද එ.ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් අගමැතිතුමා කළ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් පළවිය.

 රනිල්. එ.ජා. මහ ලේකම්ගෙන් උදව් පතයි 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේදිනවල ගතකරන්නේ ජපානයේය. එරටින් ලැබුණ ආරාධනාවක් මත ජපානයට ගිය මහින්ද එරට දේශපාලන නායකයන් ගණනාවක්ම මුණ ගැසුණි. පාලන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එරට මහලේකම් ටොශිනිරෝ නිතායි මහින්ද රාජපක්ෂ පිළිගත්තේ යුද්ධය හමාරකළ වීරයා බව කියමිණි. ප්‍රධාන ලේකම්වරයා සහ තවත් ප්‍රධානින් ගණනාවක් මුණගැසුණ මහින්ද ශ්‍රී ලංකාව ගැනත් දෙරටේ දේශපාලන සබඳතා ගැනත් කතා කළේය. ජපානයේදී ඔහුට මුණගැසුණ රජයේ ප්‍රධානීන්ගෙන් හා ශ්‍රී ලාංකික සංවිධානවල නියෝජිතයන්ගෙන් මහින්ද ඉල්ලා සිටියේ මේ දිනවල ශ්‍රී ලංකාවේ හටගෙන තිබූ ගංවතුර හා නාය යෑමේ විපතින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වන ලෙසයි. ඒ සඳහා ඔහුට හොඳ ප්‍රචාරයක්ද ලැබිණි. එරට බෞද්ධ විහාරස්ථාන ගණනාවක පැවති පිංකම්වලටද හිටපු ජනාධිපතිවරයා සහභාගි විය. ඒ අතර මෙරටින් ඔහුට ලැබුණ ඇතැම් දුරකතන ඇමතුම්වලින් විමසා සිටියේ මාධ්‍යයේ පළමු වාර්තා අනුව පක්ෂ සමගිය සඳහා ළඟදීම මහින්ද මෛත්‍රි මුහුණට මුහුණ හමුවක් සිදුවේද කියාය. එවිට සිනාසුන මහින්ද කීවේ තමන් එවැන්නක් නම් නොදන්නා බවය. ජනමාධ්‍ය අමාත්‍යංශය අලුතෙන් වැඩ පටන් ගෙන ඇති බව පෙනෙන්නට තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. මහින්ද පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද මහින්ද මෛත්‍රි හමුවක් ගැන පැතිරයන ප්‍රචාරය ප්‍රතික්ෂේප කළේය. ජපානයේදී දේශපලන ආගමික වැඩ සටහන්වලට අමතරව අපරටට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන කැලි කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධ ව්‍යාපෘතියක් පරික්ෂ කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ විය. 
රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් අමාත්‍යංශයේ වෙන් කාර්යාල කාමර විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතා විසින් අත්පත් කරගැනීම නිසා හටගත් ආරවුල මේ සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ පුවතක් විය. රාජ්‍ය අමාත්‍යවරයා දිවුරැම් දීමට පෙර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැති ලෙස ක්‍රියා කළේ එරාන් වික්‍රමරත්න මහතාය. ඔහු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරන ලෙස අභිනව මුදල් ඇමැතිවරයා කළ ඉල්ලීම නිසා එරාන් මුදල් රාජ්‍ය ඇමැති ලෙස පත්කොට ලක්ෂ්මන් යාපා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති තනතුරට පත් කළේය. එරාන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේදී භාවිත කළ කාර්යාල කාමර 9 රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා වෙත ලැබිය යුතු වුවත් එය ඔහුට ලැබුණේ නැත. විෂය භාර අමාත්‍ය කබීර් හෂීම්ගේ සේවකයන් එම කාමර 9න් 6ක් අල්ලා ගත් අතර රාජ්‍ය අමාත්‍යවරයාට ඉතිරි වූයේ කාමර 6කි. ඔහුගේ කාර්ය මණ්ඩලයට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කියමින් මෙම කාමර 6 පවරා ගැනීමට විරෝධය පළ කළ අමාත්‍ය යාපා සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. ඒ සමඟ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යව කබීර් හෂීම් කළ ක්‍රියාව ගැන සම්මුති ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප ඇමැතින් ගණනාවක්ට විරෝධය පලකර තිබිණි. මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, පයිසර් මුස්තාෆා, ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක ආදිහූ ඒ අතර වූහ. මෙම පසුබිමේ ජනාධිපතිවරයා හමුව අමාත්‍ය කබීර් හෂීම් ලක්ෂ්මන් යාපා මහතා සිය අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති ලෙස පත් කිරීම ගැන සිය නොයකුට පළකර තිබිණි. තමා එ.ජා.ප මහ ලේකම්ලෙස සතිපතා විශාල පිරිසක් මුණගැසෙණ බැවින් ඊට ඉඩකඩ ලබා ගැනීමට මෙම කාමර හය අවශ්‍ය බවද ඔහු කියා තිබිණි. ජනාධිපතිවරයා කබීර්ගේ ඉල්ලීම පිළිගන්නේ නැත. රාජ්‍ය ඇමැතිවරයාට ඉඩ දිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය විය. එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් සමඟ ඇමැති කබීර් පවසා තිබුණේ තමන්ගෙන් කාමර 6 නැවත ගතහොත් එ.ජා.ප මහ ලේකම් ධූරයද අත්හරින බවය.

 ජපාන පාලක පක්ෂ මහ ලේකම්ගෙන් මහින්දට ලොකු පිළිගැනීමක් 

ඒ අතර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ ලේකම්ටද මෙම ක්‍රියාව ගැන හතර අතින් විරෝධය එල්ල වන්නට විය. ඇතැම් මැති ඇමැතින් ප්‍රශ්න කළේ අමාත්‍යංශයේ කාමර ටික නොදෙන ඇමැති සමඟ රාජ්‍ය ඇමැති ඉදිරිපස වැඩකරන්නේ කෙසේද කියාය. අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මේ ගැන අමාත්‍ය කබීර් සමඟ සාකච්ඡා කළේය. වෙනත් සුදුසු ස්ථානයකින් අමාත්‍යවරයාට කාර්යාලයක් ලබාදෙන ලෙස කීවත් මේ සටහන  ලියන සිකුරාදා වනවිටත් ඒ ගැන තීන්දුවක් ගෙන තිබුණේ නැත. එම පසුබිමේ ජනාධිපති කාර්යාලය ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිතුමාගේ උපදෙසින් අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා මෙයට වඩා වැඩි රාජ්‍ය තන්ත්‍රික වගකීමක් පැවරීමටත් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ විෂයන් ගණනාවක් ගැසට් මගින්ම පවරා දීමටත් සැලසුම් කරමින් සිටින බවද වාර්තා විය. කෙසේ හෝ මෙම ප්‍රශ්නයට අමාත්‍යංශ විෂයන් වෙන් කිරීමට අදාළ ප්‍රශ්නත් ලබන ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි වහාම සාකච්ඡා කොට අවසන් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව දැනගන්නට තිබේ. එහෙත් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අමාත්‍යංශයේ වැඩකටයුතු භාර නොගැනීමට තීන්දු කර ඇත. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රීලනිප අමාත්‍යවරුන් ගණනාවක්ම අමාත්‍ය කබීර්ගේ ක්‍රියාව නිසා අසතුටින් සිටිති. සිය රාජ්‍ය ඇමැතිට කාර්යාල කාමර නොදෙන පක්ෂ මහලේකම් හා කැබිනට් ඇමැතිලා සමඟ සම්මුති ආණ්ඩු ගෙනයන්නේ කෙසේදැයි සාකච්ඡාවකට ජනාධිපතිවරයා මුණගැසීමටද ඔවුන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තාවේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වත්මන් සම්මුති ආණ්ඩුව ගෙන ඒමට බොහෝ වෙහෙස මහන්සි වු මූලික වූ චරිතයකි. උන්වහන්සේ පසුගිය බදාදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දුටුවේය. එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේලා මුල්වී සිදුකළ දේශපාලන පරිවර්තනයෙන් රටට කිසිම වැඩක් නොවූ බවය. ඒ ගැන තිබූ සියලු බලාපොරොත්තු සුන්වී ඇතිවගත් රතන හිමියෝ කීහ. මේ ආණ්ඩුව රටට හොඳ දෙයක් කරනු ඇත යන්න සිතිය නොහැකි බව පැවසූ උන්වහන්සේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය චීන රටට විශේෂ බදු සහන ලබාදීඹට රජයට ආදායම් ලැබෙන සෙස් බද්ද පවා ඉවත් කරන්නට චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇතැයි රතන හිමියෝ වැඩිදුරටත් කීහ. ඒ බව ජනාධිපතිවරයාද නොදන්නා බව පැවසූ උන්වහන්සේ ආණ්ඩුව තුළ සිටින ජාවාරම්කරුවන් තුන් හතර දෙනෙකුට ඕනෑ හැටියට මේ දේවල් සිදුවන්නේ යැයිද කීය. ඒවා කිසිවක් ක්‍රියාත්මක වන්නට ඉඩ නොදෙන බවකී උන්වහන්සේ මෙබඳු තත්ත්වයක් යට තව ලජ්ජා නැතුව ජීවත්වීමේ අර්ථයක් නැතැයිද කීහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත්‍රයා වන කසුන් දිසානායක මහතා මේ සතියේ විවාහ විය. කතෝලික චාරිත්‍රානුකූලව පැවති එම විවාහ මංගලෝත්සවය පැවතියේ මොරටුව ශුද්ධ වූ එම්මෑනුවෙල් පල්ලියේය. අනතුරුව අනුර දිසානායක මහතාගේ පවුලේ හිතවතුන් වෙනුවෙන් මංගල සාදය සංවිධානය කර තිබුණේ කැස්බෑව තොටුපොළ හෝටලයේය. ඒ සඳහා ජ.වි.පෙ. මන්ත්‍රීන් ඇතුළු හිතවතුන් පිරිසක්ද එක්ව සිටියහ.

♦ ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර
සේයාරැව l ගයාන් අමරසේක