2017 මැයි 06 වන සෙනසුරාදා

මහින්දට මැයි දිනේ ප්‍රතිඵල එන්න පටන් අරන්ලු

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 676

රටේ සෑම කෙනකුගේම දැඩි අවධානය දිනාගත් මැයි දිනයක් පසුගියදා නිමාවට පත්විය. දේශපාලන පක්ෂවල පැවති උනන්දුව නිසාම මැයි දිනය වඩාත් උණුසුම් ස්වභාවයක්ද ගත්තේය. එ.ජා.ප.යට ශ්‍රී.ල.නි.පයේ මෛත්‍රී පිලට මෙන්ම මහින්ද පාර්ශ්වයටද මැයි දිනය වඩාත් තීරණාත්මක විය. මෙයිනුත් වඩාත් ප්‍රබල අභියෝගය ජයගත යුතුව තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ හේතු ගණනක් නිසාය. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තමන්ට මැයි දිනය සඳහා කොළඹින් හොඳ ක්‍රීඩාංගණයක් ලබාදී නැතැයි චෝදනා නැගූ බැවින් අගමැතිගේ උපදෙස් මත ඔවුනට දිවයිනේ ලොකුම ක්‍රීඩාංගණය වන ගාලු මුවදොර ලබාදීම නිසා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වඩාත් කලබල වී සිටියේය. මේ අයට ගෝල්ෆේස් පිටියට ප්‍රමාණවත් ජනතාවක් කැඳවා ගත හැකිද යන්න උද්ගතව තිබූ ප්‍රශ්නය විය.

ඒ නිසා මෙවර මැයි දිනය සංවිධානය ගැන මහින්ද රාජපක්ෂ මහතාම පෞද්ගලිකව මැදිහත් වූ අතර සෙසු පක්ෂ නායකයන්ද සංවිධානය සඳහා කැපවූහ. මෙම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මැයි දිනයේ දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කළ රැස්වීමකට පැමිණි විශාලම ජනකායක් ගාලු මුවදොරට ඇදගන්නට ඒකාබද්ධ විපක්ෂය සමත් විය. එහෙත් ඉන් දිනකට පසු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ එස්.බී. දිසානායක මහතා කීවේ ගාලු මුවදොරට පැමිණියේ විසිපන්දහසක් තිස් දහසක් තරම් පිරිසක් බවය. චම්පික රණවක අමාත්‍යවරයා කීවේ මහින්ද රාජපක්ෂ මහතා මෙයට පෙරත් ඔය අන්දමේ සෙනඟ කොළඹට ගෙන ආ නමුත් ඔවුන්ට රටේ සැබෑ ජනපදනමක් නැති වගය.

 සියවස් දෙකකින්වත් ආණ්ඩුව පෙරළනවා බොරු යැයි අගමැති කියයි 

මැයි දිනය දා වේලාසනින්ම සිය උත්සව කටයුතු ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයයි. බොරැල්ල කැම්බල් උද්‍යානයට පාක්ෂිකයෝ මැයි පළමුවැනිදා දහවල් 2.30 පමණ වන විට විශාල ලෙස එක්රොක් වූහ. පෙළපාළිය ආවේ මරදානෙනි. පෙළපාළිය එන අතරමගදී රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකයා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පෙළපාළිය නරඹමින් ඊට ආචාර සමාචාර දැක්වූහ. දිවයිනේ සිව් දිගින් පැමිණි පිරිස එක්රොක් වෙද්දී කැම්බල් පිටියේදී සවස 2.30න් පසු රැස්වීම ආරම්භ විය. රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පක්ෂය වෙනුවෙන් මැයි දින යෝජනා 6ක් ඉදිරිපත් කළේය. සෙසු කථිකයන්ද තමන්ට පැවරුණ විෂයයන් ගැන හරබර කතා ඉදිරිපත් කරනු දක්නට ලැබිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවේදී දැඩි ලෙස අවධාරණය කළේ රටේ ආර්ථික ප්‍රශ්න හා ඉදිරි මැතිවරණ සම්බන්ධ කාරණාය. අනෙක් ප්‍රධාන පක්ෂවලින් එල්ල කළ චෝදනාවලට වඩා මහින්ද රාජපක්ෂලාගේ ඒකාබද්ධ විපක්ෂය නැගූ චෝදනාවලට පිළිතුරු දීමට අගමැතිවරයා සිය කතාවෙන් වැඩි කොටසක් කැප කළේය. පෝය දෙක තුනකින් ආණ්ඩුව වෙනස් කරන බව රාජපක්ෂලා කීවත් ඔවුන් කියන පෝය දිනය තවත් ශත වර්ෂ දෙකකින්වත් උදා නොවන වග අගමැතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම විපක්ෂය කෑගසන ඡන්ද කල්යෑම ගැන අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා කැම්බල් පිටියට මෙවර පැමිණි ජනගඟ දුටුවිට එ.ජා.ප.යට ඕනෑම මැතිවරණයකට මුහුණ දී ජයගත හැකි බව රටට පෙන්වා දී ඇතැයිද කීය. මර්දනයෙන් තොරව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය නොගොස් සංවර්ධන ව්‍යාපෘති දියත් කරන වග අගමැතිවරයා සිහිපත් කළේය. ඉන් ප්‍රධානම ව්‍යාපෘතිය හම්බන්තොට වරාය සඳහා චීන ආයෝජන ලබාගැනීම යැයි ද කීය. රජය ගෙවීමට තිබෙන ණය කන්ද ගැන පැවසූ අගමැතිවරයා ජනතාවට බරක් නොවන ලෙස මේ ණය පියවන්නේ යැයි ද සඳහන් කළේය.

එ.ජා.ප. මැයි දින රැලියේදී වඩාත් සැර කතා කළේ එ.ජා.ප.යට එක්ව මැතිවරණ තරග කළ සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න හා චම්පික රණවක යන අමාත්‍යවරුය. ඔවුන් සිය කාලයෙන් වැඩි කොටසක් වැය කළේ පසුගිය රාජපක්ෂ රජය කළ කී දෑ විවේචනය කරන්නටයි. රාජිත කීවේ තම රජය රාජක්ෂලාගේ හොරකම් හෙළිකර දඬුවම් දෙන වගය. ඡන්ද පැරදිච්ච ඒකාබද්ධ කල්ලියට රටේ තැනක් නැතැයිද ඔහු පැවසීය. යහපාලන රජයේ සිටින රාජපක්ෂලා රකින අය නම් ගම් සහිතව හෙළිකරන්නේ යැයිද ඇමැතිවරයා කීය. චම්පික රණවක ඇමැතිවරයා සඳහන් කළේ පරාජිතයන්ගේ ගෝල්ෆේස් රැස්වීම පුස්සක් කියාය. කවුරුන් කෙසේ කීවත් ඉදිරි රජය පිහිටුවන්නේ වත්මන් දේශපාලන සන්ධානය වග ඇමැති රණවක කීය. පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද රාජපක්ෂ පරපුරට දැඩි ලෙස පහර දෙමින් කීවේ රාජපක්ෂලා බලය තිබූ කාලයේ නන් දොඩවමින් රට විනාශ කළ වගයි. ඔවුන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයිද හෙතෙම පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පැවති ශ්‍රී.ල.නි.ප මැයි රැලිය හා පෙළපාළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඉතා සංවිධානාත්මක ලෙස පැවති ජන රැලිය සඳහා සහභාගී වන ඈත දුෂ්කර පළාත්වල පාක්ෂිකයන් මැයි දිනයට පෙරදාම මහනුවරට පැමිණ නවාතැන් ගෙන සිටීම කැපී පෙනුණි.

 පවුලේ අය දේශපාලනයට නොගෙනෙන බවට ජනපතිගෙන් ප්‍රතිඥා 

මාතරින් අමාත්‍ය ලක්ෂ්මන් යාපා සමඟ පැමිණි දහස් ගණනක පිරිස් පාසල් ගණනාවක නවාතැන් ගෙන සිටියහ. ඒ හැර සංවිධාන කටයුතු වෙනුවෙන් කලින් දා මහනුවරට පැමිණි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගෙන් පළාතේ හෝටල් පිරී ගොස් තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින පෙරවරුවේ මහනුවරට පැමිණ දළදා මාලිගාව ඇතුළු පූජා ස්ථානවලට ගොස් ආගමික කටයුතු සිදු කළේය. පෙරවරු දහය එකොළහ වන විට මැයි දින පෙළපාළි සංවිධානය වෙද්දී මැති ඇමැතිවරුන් අමතමින් ඒ කටයුතු ගැන සොයා බැලූ ජනාධිපතිවරයා මෙම රැස්වීම් හා පෙළපාළි විනයගරුක ලෙස පවත්වන ලෙස උපදෙස් දුන්නේය.

ශ්‍රී.ල.නි.ප මැයි පෙළපාළිය පැවැත්වෙද්දී අනපේක්ෂිත ලෙස මහා වර්ෂාවක් කඩා වැටුණි. ඒ නිසා පෙළපාළිය තරමක් අවුල්සහගත වුවත් ඉක්මණින් වැසි තුරන් වූ නිසා යළිත් සුපුරුදු ලෙස කටයුතු සිදුවිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද, හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ද රැස්වීම සඳහා පැමිණ සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කළ කතාව වඩාත් ඉලක්ක ගතවූයේ ශ්‍රී.ල.නි.ප ගමන් මඟ කෙරෙහිය. තමන් ශ්‍රී.ල.නි.පයේ සභාපතිකම බලහත්කාරයෙන් ලබා නොගත් බව කී ජනාධිපතිවරයා පක්ෂයේ විනය කඩකරන සංවිධායකයන් ඉවත් කිරීම පක්ෂය දෙකඩ වීමට හේතුවක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ලෝකයේ කිසිම රටකට මේ රටේ භූමිය පවරන්නට තමන් සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා දොන් ජුවන් ධර්මපාල රට පාවා දුන්නාට පසු පෝර්ට්සිටිය චීන රජයට පවරමින් රට පාවා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යැයි චෝදනා නැඟීය. තමන් ජනාධිපති ධූරයට පත්වූයේ තමන්ගෙන් පසු පවුලේ වෙනත් කෙනකුට මෙම පුටුව පවරා දීමට නොවන වග කී ජනාධිපතිවරයා දැන් ශ්‍රී.ල.නි.පය තුළ කුමාරවරුන් නැතැයි සඳහන් කළේය.

 ආණ්ඩුවෙන් යන්න කතා කළ මුජිබර්ට රනිල්, රවි, මංගල දෙහි කපති 

මහනුවර ශ්‍රී.ල.නි.ප. රැලියේදී දක්නට ලැබුණ විශේෂ දේ බොහොමය. එම රැස්වීමේ සිටි ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ අමාත්‍යවරුන් බොහොමයක් රැස්වීම පැවැත්වෙන අතරතුර තමන්ගේ ජංගම දුරකතනයට ඇස් ඔබාගෙන සිටියේ ෆේස්බුක් මගින් හෝ වෙබ් අඩවි ගණනාවක් විසින් සජීවීව විකාශය කරන ලද ගෝල්ෆේස් පිටියේ මහජන රැස්වීමේ දර්ශන නරඹන්නටයි. මෙය බොහෝ ජනමාධ්‍යවලද අවධානයට ලක් වූ පුවතකි. එදින ගෝල්ෆේස් රැස්වීම සඳහා ජනතාව ඒකරාශි වෙමින් සිටියේ පෙරවරුවේ සිටයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එදින උදෑසන වෝටර්ස් එජ් හෝටලයේ සහ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මංගල උත්සව දෙකක සාක්ෂියට අත්සන් කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව දහවල් වන විට ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණි රාජපක්ෂ මහතා වෙනුවෙන් පාක්ෂික හිතවතුන් එහි අටවන මහලේ විශේෂ කුටියක් සූදානම් කර තිබුණේ මංගල්‍ය උත්සවයෙන් පසු පෙළපාළිය එහි සිට නැරඹීම සඳහාය. ඒ අනුව මහින්ද ඉහළ මාලයේ සිට පෙළපාළිය නරඹද්දී රැස්වීමට පැමිණි සමහර පාක්ෂිකයන් හෝටල් පරිශ්‍රය වෙතට පැමිණ මහින්ද මුණගැසීමට තැත් කිරීම නිසා පොඩි කලබගෑනියක් ද ඇති විය.

කෙසේ හෝ පස්වරු 5.00ට පමණ වෙඩි නොවදින විවෘත රථයක නැගුණු මහින්ද රාජපක්ෂ මහතා මහ සෙනග අතරින් ගාලු මුවදොර රැස්වීමට පැමිණියේය. මේ අවස්ථාවේ එහි විශාල තදබදයක් හටගත් අතර එහි සිටි හත් අටදෙනෙක් රෝහල්ගත කිරීමටද සිදුවිය. පසුව ඉන් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස මියගියහ. මෙරට මැයි දින රැස්වීමකට පැමිණි අයගෙන් කිහිප දෙනෙක් මරණයට පත්වූයේ පළමු වරට වීම විශේෂයකි. එසේ මියගිය තැනැත්තන් නියෝජනය කරන රත්නපුර හා මහනුවර ප්‍රදේශ නියෝජනය කළ රන්ජිත් සොයිසා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට මියගිය අයගේ පවුල්වලට අවශ්‍ය සියලු ආධාර උපකාර කරන ලෙස ඒ මොහොතේම දැන්වූ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ මූලික ආධාරයක් ලෙස මරණයට පත් එක් අයකු වෙත රුපියල් 50,000 බැගින් පිරිනමන ලෙස සංවිධායකයන්ට නියම කළේය.

 රාජිතගේ චෝදනාවලට ජෝන්ගෙන් හොඳ උත්තරයක් 

මෙම කලබල මධ්‍යයේ මහජන රැස්වීම ආරම්භ වූ අතර මහින්ද රාජපක්ෂ මහතා තම කතාවෙන් රජය නිර්දය ලෙස විවේචනය කළේය. “වෙන්දේසිකාර කොන්ත්‍රාත්කාර මේ ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය මෙවර අපි පවත්වනවා. අපට ගෝල්ෆේස් පුරවන්න කීවා. අපි ඒ අභියෝගය භාරගත්තා. දැන් කියනව ඡන්ද කල්  නොදමා වහාම ඡන්ද තියන්න කියල. මේක පුදුම ආණ්ඩුවක්. පැරදුණු මිනිස්සු කැබිනට් මණ්ඩලේට දාගෙන ආණ්ඩුව ගෙනියනව. රටේ ජාතික සම්පත් විකුණන මේ ආණ්ඩුවට රට කළමනාකරණය කෙසේ වෙතත් රටේ කැළිකසළ ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්. කුණු කඳු කඩා වැටිල මිනිස්සු මැරෙනව. ආණ්ඩුව මේව ගැන ලජ්ජා වෙන්න ඕනෑ..” මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණද වෙනදා මෙන්ම මෙවරද ඉතාමත් විධිමත් මැයි දින පෙළපාළියක් පවත්වා බී.ආර්.සී. පිටියේ මහජන රැලියක් පැවැත්වීය. මෙම ජන හමුවේදී ජනතා විමුක්ති පෙරමුණු නායකයන් රජයේ ක්‍රියාමාර්ග නිර්දය ලෙස විවේචනය කළේය. වත්මන් හවුල් ආණ්ඩුවට මෙරට කම්කරුවා ගැන කතා කරන්නට කිසිදු හිමිකමක් නැතැයි දිසානායක මහතා ප්‍රකාශ කළේය. වත්මන් රජයේ නායකයන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පවා අහෝසි කර දමා දැන් කම්කරු අයිතීන් රකින්නට කතා කිරීම මහා විහිළුවක් යැයි ජ.වි.පෙ. නායකයා වැඩිදුරටත් කීය. පැවති මහින්ද රාජපක්ෂ රජයත් මෙයට නොදෙවැනි ලෙස රට අගාධයට ඇදගෙන ගිය වග කී අනුර දිසානායක මහතා ජ.වි.පෙ. විනයගරුකව කම්කරු දිනය සමරමින් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න ගැන සමාජ අවධානය යොමුකරන විට ප්‍රධාන පක්ෂ ගණනාවක ඇතැමුන් මැයි පෙළපාළිවල මත්පැන් බී පිස්සු නටමින් රටත් ජනතාවත් රවටන බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සංස්කෘතියට වැදගත් ආදර්ශයක් එකතු කළේ කලකට පෙරය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලිය පවත්වන භූමිය එදිනම පිරිසුදු කොට කැළිකසළ ඉවත් කිරීම පුරුද්දක් වශයෙන් සිදුකළේය. කොළඹ කැළිකසළ ප්‍රශ්න උග්‍ර වූ සමයක ජ.වි.පෙ. දුන් ආදර්ශය සෙසු ප්‍රධාන පක්ෂ විසින්ද මෙවර අනුගමනය කෙරිණි. ඒ අනුව මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී.ල.නි.ප මැයි රැලිය හමාර වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප ප්‍රධානීහු ගැටඹේ ක්‍රීඩාංගණයට පැමිණ එය ශුද්ධ පවිත්‍ර කොට කැළිකසළ ඉවත් කිරීම විශේෂ සිද්ධියකි. එසේම කැම්බල් උද්‍යානයේදී එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් මැති ඇමැතිවරුන් විසින් එම උද්‍යානය තුළ එක්රොක් වී තිබුණ කැළිකසළ ඉවත් කරන ලදී. ඒකාබද්ධ විපක්ෂය ගාලු මුවදොර පිට්ටනිය පුරා විසිර තිබුණ කැළිකසළ ඉවත් කළේ එදිනම සන්ධ්‍යා කාලයේය. පක්ෂයේ ප්‍රධානීන් හා මන්ත්‍රීවරැන් ගණනාවක් එම ශ්‍රමදානයට එක්ව සිටිනු දක්නට  ලැබිණි.

 ජ.වි.පෙ. දුන් ආදර්ශය හැම පක්ෂයක්ම පිළිගනී 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය අඟහරුවාදා දහවල් රැස්වීය. පෙරදා පැවති මැයි දින සැමරුම් රැලිය පිළිබඳ ප්‍රගති සමාලෝචනයට මෙහි වැඩි කාලයක් වෙන් කර තිබිණි. මේ රැස්වීමේදී මුලින්ම කතා කළ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ එ.ජා.ප. මැයි රැලියට මහ සෙනගක් පැමිණ සිටියද රටේ ජනතාවට ඒ පණිවුඩය නිසි ලෙස ගෙන යන්නට ප්‍රචාරක අංශ අසමත් වූ බවය. “ඇත්තටම අපට අපේ සෙනග රටට පෙන්වන්න ඉහළින් පියාසර කරන ඩ්‍රෝන කැමරා දාන්න තිබුණ. ඒක කළේ නැහැ. ඒ නිසා කැම්බල් පිටියට ආපු පෙළපාළියවත් හරියට පෙන්නගන්න බැරිවුණා. අපි විපක්ෂයෙ ඉඳෙද්දි මීට වඩා හොඳට මැයි දිනේ ප්‍රචාරක වැඩ ටික කළා.. හර්ෂණ සඳහන් කළේය. එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් හර්ෂණ හා එකඟ වෙමින් ප්‍රචාරක අංශයේ දුර්වලතා ගැන දොස් කීහ.

ඉන්පසු වඩාත් අර්බුදකාරී ප්‍රශ්නයක් මතු කළේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතාය. ඔහු ප්‍රශ්න කළේ මේ ආණ්ඩුවට මේ විදියට වැඩක් කරගත නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යා යුතු බවය. එසේ කියූ මුජිබර් “අපි කවද්ද සර් ආණ්ඩුවෙන් යන්නේ” කියා මුලසුනෙන් විමසීය. ඒ සමඟ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා අවාසනාවන්ත ප්‍රහාරයකට ලක් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන තිදෙනාම මුජිබර්ගේ යෝජනාව තරයේ විවේචනය කළහ. මෙවැනි දේ නොකියන ලෙස අගමැතිවරයා පවසද්දී මංගල සහ රවී කීවේ “අපි ඉතාම අමාරුවෙන් ආණ්ඩු බලය ගත්තෙ විපක්ෂයට යන්න නෙවේ. ඔයාට ඕන නම් ඔයා විපක්ෂයට යන්න. හැබැයි පක්ෂය එතෙන්ට තල්ලු කරන්න බැහැ.” මංගල හා රවී සඳහන් කළෝය. අනතුරුව නැවතත් මංගල සමරවීර කීවේ “2014 දෙසැම්බර් මාසෙ තිබුණ රැස්වීම්වලදී මහින්ද රාජපක්ෂගෙ රැස්වීම්වල ඔය හිටිය වගේම සෙනග හිටිය... ඒත් ඡන්දෙ දිනුවද ඡන්දෙ දිනුවෙ අපි... ඒ නිසා සෙනග දැකල කලබල වෙන්න ඕන නැහැ.” මංගල පැහැදිලි කළේය. අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයන් කැඳවීමේදී රාජ්‍ය දේපොළ චීනයට - ඉන්දියාවට දෙනවා නොකිය හවුල් ව්‍යාපාර ආරම්භ කරනව කියල කියමුකො. එතකොට ජනතාවටත් ඒ පණිවුඩය යනවා” ඒ ප්‍රශ්නයට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පිළිතුරු දුන් අතර මන්ත්‍රීවරුන් ගණනාවක් කීවේ දේශපාලන වශයෙන් එසේ කීම හොඳ බවය. මැයි දිනය සාර්ථක වීම ගැන ජනතාවට කරුණු කීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි ද එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමේදී යෝජනා විය.

 බැසිල්ගෙන් හර්ෂට විශේෂ ස්තූතියක් 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකායේ පොලිස් භටයන් 42 දෙනෙක් සහ මෙහෙයුම් භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය බදාදා සවස සිට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය දන්වා තිබිණි. එදින සවස 5.00ට මෙම පණිවුඩය පොලීසියෙන් මහින්දගේ ආරක්ෂක අංශය වෙත ලැබුණ අතර රාත්‍රී 9.00 වන විට පොලිස් භටයන් ඉවත් විය යුතු බව පොලිස් මූලස්ථානයෙන් ලැබුණ නියෝගයේ සඳහන් විය. ඒ මොහොතේම මේ ගැන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් සමඟ අදහස් හුවමාරු කරගත් මහින්ද රාජපක්ෂ මහතා “සඳුදා මැයි දිනේ බදාදා වෙනකොට ප්‍රතිඵල ලැබෙන්න පටන් අරන්. මගේ ආරක්ෂක භටයො අයින් කළා...  නාමල්ට අධිචෝදනා දැම්ම. ආණ්ඩුව බය වෙච්ච තරම හිතාගන්න පුළුවන්.” යැයි කීය.

ආරක්ෂාව ඉවත් කිරීමෙන් හටගන්නා ගැටලු නිරාකරණයට හිටපු ජනාධිපතිවරයාට විකල්ප ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට දැන් ඔහුගේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෝ සැලැසුම් කරමින් සිටිති. ඒ අතර ප්‍රබල විදේශීය රටවල් ගණනාවක තානාපතිවරුන් මහින්ද හමුවීමට වේලාවල් වෙන්කරගත් බවද සඳහන්ය. පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මේ වනවිටත් මහින්ද මුණගැසී තිබේ.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ උණුසුම් මාතෘකාව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා මතු කළේය. ඒ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා මැයි දිනයේදී කළ කතාවක් සම්බන්ධයෙනි. “ජනාධිපතිතුමනි රාජිත රජයේ මාධ්‍ය ප්‍රකාශක. එයා මැයි දිනයේදී කිව්වා මම මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සෙරෙප්පු ලෙවකෑව කියල... එයා කොහොමද එහෙම කියන්නෙ අපි ඔක්කොම රාජපක්ෂලගෙ සෙරෙප්පු ලෙවකාපු කට්ටිය. මේ හුඟදෙනෙක් ඒ කැබිනට්ටුවෙ හිටිය. එයා ඔය විදියට ගියොත් මටත් උත්තර දෙන්න වෙනව.”

එහෙත් ජෝන් අමාත්‍යවරයාට උත්තර දෙන්නට රාජිත එහි නොවීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝන් සෙනෙවිරත්න මහතාට කනගාටුව ප්‍රකාශ කරමින් කීවේ ඒක වැරදියි මම කනගාටු වෙනව රාජිත ඇමැතිතුමාටත් ඒක කියන්නම් කියාය. එවිට එ.ජා.ප.යේ මංගල සමරවීර හා මලික් සමරවික්‍රම මහත්වරුද කීවේ මේ විදියට පක්ෂ සමගිය පවත්වාගෙන යාම අසීරු බැවින් සිදුවූ දේ ගැන කනගාටු වන වගයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට විශේෂ ස්තූතියක් පළ කළේය. ඒ මැයි දිනය දා පොදු විපක්ෂයේ ඉල්ලීම පරිදි ඔවුන්ට හර්ෂලාගේ ඇම්බියුලන්ස් සේවාවේ ඇම්බියුලන්ස් රථ දෙකක් ලබාදීම නිසාය. දහස් සංඛ්‍යාත ජනකායක් ඒකරාශි වන නිසා හදිසියේ අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගන්නට පොදු විපක්ෂය ඉල්ලූ ඇම්බියුලන්ස් රථ දෙක ලබාදීමට ආචාර්ය හර්ෂ ද සිල්වා ක්‍රියාකර තිබිණි. ඒ රථ දෙක ගාලු මුවදොර ප්‍රධාන වේදිකාව පසුපස නවතා තිබියදී රැස්වීම් භූමියේ දී රෝගී වූ පුද්ගලයන් ගණනාවක් හදිසියේ රෝහල්ගත කළේ මෙම රථ මගිනි. එහිදී මියගිය තැනැත්තන් පවා ජාතික රෝහලට ගෙන ගියේ හර්ෂලාගේ ඇම්බියුලන්ස් සේවාවේ රථ මගිනි. රැස්වීම හමාර වූ වහාම ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇමතූ බැසිල් ලබාදුන් අනුග්‍රහයට පොදු විපක්ෂයේ විශේෂ ස්තූතිය පිරිනමන බව කීය.

සිකුරාදා සයිටම් විරෝධී උද්ඝෝෂණයක් වෘත්තීය සමිති විසින් කැඳවා තිබිණි. ඒත් අපේක්ෂා කළ තරම් උද්ඝෝෂණය සාර්ථක වූයේ නැත. වෛද්‍යවරුන් සමහර බස් සංගම් හා දුම්රිය සමිති කිහිපයක් වර්ජනයට එක්වූ බව සඳහන්ය. එසේ වුවද උද්ඝෝෂණයෙන් දෛනික කටයුත්වලට බලපෑමක් එල්ලවූයේ නැත.

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර