2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

කැබිනට් ප්‍රකාශකට වරදී :

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 397

මේ සතිය ආරම්භ වූයේ අර්බුදකාරී ඛනිජ තෙල් වැඩ වර්ජනයත් සමඟය. ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ගිය සඳුදා සිට වැඩවර්ජනය කැඳවා තිබිණි. ත්‍රිමලේ තෙල් ටැංකි 99 ඉන්දියානු ඔයිල් සමාගමට බදු පදනම යටතේ පවරාදීම, අබලන් තත්ත්වයේ පවත්නා සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කොට නැවත පිරිපහදු කටයුතු ඇරැඹීම හා හම්බන්තොටින් සිදුකිරීමට යෝජිත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තෙල් සංස්ථාවට පැවරීම මෙම ප්‍රධාන ඉල්ලීම් අතර විය.

මේ සතියේ ඒ ගැන වැඩවර්ජනයකට යාමට ඛනිජ තෙල් සංස්ථා සේවක එකමුතුව තීන්දු කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 25 දා සිට 29 දා දක්වා ඉන්දියාවේ කරන සංචාරයේදී එරට නායකයන් සමඟ මේ පැවරීම් ගැන මූලික එකඟතාවකට එන බවට පැතිර ගිය ආරංචිය නිසාය. එසේම ලබන මස 11 දිනට යෙදෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දෙදින ශ්‍රී ලංකා සංචාරයේදී මෙයට අදාළ ගිවිසුම්වලට අත්සන් කෙරෙනු ඇතැයිද මත පළ විය. මේ ගැන ඛනිජ තෙල් සංගම් විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට වාර ගණනාවක්ම අනතුරැ ඇඟවීය. ඒ අතර පසුගියදා චන්දිම අමාත්‍යවරයා සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හදිසියේම ඉන්දියාවට ගොස් ගිවිසුමට අදාළ සාකච්ඡාවක නිරත වූ බවටද වාර්තා ලැබිණි.

මේ සියලු කතා මැද ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතාද තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම ගැන සිය දැඩි විරෝධය පළ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවුරුදු සමයේ ඔහු මුණගැසීමට පැමිණි අමාත්‍යවරුන් ගණනාවකට ප්‍රකාශ කර තිබුණේ තමන් තෙල් ටැංකි සියල්ල බදු පදනමින් දීමට එකඟ නැති බවය. ඒ වෙනුවට තෙල් ටැංකි 99 අලුත්වැඩියාව මුලින් ඉන්දියාවට පවරා දෙරටේ හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය පවත්වාගත යුතුය යන්න ජනාධිපතිවරයාගේ අදහස වූ බව සඳහන් විය.

කෙසේ හෝ වෘත්තීය සමිති ඉල්ලීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ තැන, ගිය සඳුදා ඛනිජ තෙල් වෘත්තීය සංගම් වැඩ වර්ජනයක් කැඳවීය. ඒ සමඟ රට පුරා ඉන්ධන පෝලිම් සමඟ විශාල ඉන්ධන හිඟයක ලකුණු පහළ විය. එයින් ජනතාව පීඩාවට පත්වෙද්දී සඳුදා දහවල් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡාවකට කැඳවීය. එම සාකච්ඡාව පැය තුනකට වැඩි කාලයක් පැවති නමුත් සාර්ථක ප්‍රතිඵලයක් අත්පත් නොවීය. වෘත්තීය සමිති එකමුතුව දැඩි ලෙසම කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම කටයුත්ත අත්හිටුවන බවට ලිඛිත පොරොන්දුවක් තමන්ට අවශ්‍ය බවය. ඒ ගැන ඇතිවූ වාද විවාදවලින් පසුව රුස්වීම අතරමඟ නතර කළ අමාත්‍ය වීරක්කොඩි මහතා පිටව ගියේය. ඔහු ජනාධිපතිවරයා මුණගැසෙන්නේදැයි කළ විමසුමකට අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත් එදින සවස් වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමැතින් පිරිසක් ඛනිජ තෙල් වෘත්තීය සංගම් සාකච්ඡාව සඳහා කැඳවා තිබිණි. සඳුදා සවස 6.30ට පමණ අරලියගහ මන්දිරයේ පැවති මෙම කතාබහට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, ගයන්ත කරුණාතිලක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක, රන්ජිත් මද්දුම බණ්ඩාර, පී. හැරිසන්, තලතා අතුකෝරාළ, ලක්ෂ්මන් කිරිඇල්ල ආදීහු එක්වූහ.

තනතුරෙන් ඉවත් කළ ජනක තෙන්නකෝන් මහින්දට දුන් පොරොන්දුව

සාකච්ඡාව අරම්භයේදීම ඛනිජ තෙල් වෘත්තීය සංගම් එකමුතුවේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ ත්‍රිමලයේ තෙල් ටැංකි පද්ධතිය ඉන්දියාවට නොපවරන හැටියටයි. හම්බන්තොට ඉදිකරන තෙල් සංකීර්ණය සපුගස්කන්ද පිරිපහදුවද විදේශ ආයෝජකයන්ට නොපැවරිය යුතු යැයි ඔවුහු තර්ක කළෝය. යම් හෙයකින් එවැනි කාර්යයක් ගැන රජය ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්නේ නම් එම සාකච්ඡාවලට තෙල් වෘත්තීය සමිති කැඳවිය යුතු යැයි ඔවුහු අගමැතිගෙන් ඉල්ලීමක් කළෝය.

මෙහිදී කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ රජය මේ තෙල් ටැංකි පැවරීමක් ගැන කිසිදු අවසන් එකඟතාවකට පත්ව නැති බවය. රජය කරන්නේ නොයෙක් පාර්ශ්ව සමඟ මේ ගැන සාකච්ඡා කිරීම පමණක් යැයි ද අගමැතිවරයා සඳහන් කළේය. මෙවර වුවද අත්සන් කරන්නේ අවබෝධතා ලිවිල්ලක් මිස ගිවිසුමක් නොවන බව අගමැතිවරයා පැහැදිලි කළේය. එවැනි පැවරීමක් ගැන යෝජනාවක් පැමිණියහොත් ඒ බව වෘත්තීය සංගම් වෙතද දන්වන බව අගමැතිවරයා කීය. එවිට කරුණු දැක්වූ මුදල් ඇමැති රවී කරුණානායක ද කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව දැන් අතිවිශාල පාඩුවකට පවත්වාගෙන යන්නට සිදුවී තිබෙන වගය. කුමක් හෝ නව ආයෝජනයක් නොලැබේ නම් ඒ ණය බර ජනතාවගේ බදු මුදල්වලින් ගෙවන්නට සිදුවන්නේ යැයි ද රවී කීය. ඒ නිසා රජය දැන් මේ සිදුකරන්නට යන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ දේපොල විකිණීමක් නොව උපාය මාර්ගික ආයෝජනයක් යැයි මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. එවිට සෙසු ඇමැතිවරුද ඛනිජ තෙල් වෘත්තීය සංගම් හමුවේ මත දක්වන්නට වූහ. ඇතැම් ඇමැතිවරුන් ප්‍රකාශ කළේ පසුගිය රජය කාලයේ ඔවැනි විරෝධනා දක්වන්නට ඉඩක් තිබුණේද කියාය. එහෙත් ඒ කතා වැඩිදුර ගියේ නැත. වෘත්තීය සංගම් අවසාන වශයෙන් අගමැතිගෙන් ඉල්ලා සිටියේ සාකච්ඡාවේදී ලබාදුන් පොරොන්දු තම සංගමයට ලියුමක් මගින් ලබාදෙන ලෙසයි. එවිට අගමැති රනිල් කීවේ එම ලිපිය අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් ලබාදෙනු ඇත කියාය. ඒ සමඟ දීපව්‍යාප්තව පැවැත්වූ තෙල් වර්ජනය හමාර කරන්නට ඛනිජ තෙල් වෘත්තීය සංගම් තීන්දු කළේය.

ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ දිනවල සැරසෙන්නේ මැයි දිනයටයි. එ.ජා.ප.ය කැම්බල් පිටියටත්, ශ්‍රී.ල.නි.ප.ය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයටත්, ඒකාබද්ධ විපක්ෂය ගෝල්ෆේස් පිටියටත්, ජ.වි.පෙ බී.ආර්.සී. පිටියටත් තම තමන්ගේ අනුගාමිකයන් වැඩිපුර ගෙන්වාගෙන ඒ ඒ පක්ෂවල ශක්තිය පෙන්වීම සඳහා දැන් යුහුසුළුව ක්‍රියා කරමින් සිටී. ජනතාව ඇදගැනීමේ ලොකුම තරගය හටගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතරය. ඒ දෙපක්ෂයම තම තමන්ගේ රැස්වීම් සඳහා උපරිම ජන සහභාගීත්වයක් ලබාගන්නට කටයුතු සංවිධානය කරමින් සිටී. ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මැයි දින රැලි සංවිධානය ගැන පෞද්ගලිකවම සොයා බලමින් අවශ්‍ය සංවිධාන කටයුතු කරති.

මැයි දිනයට පෙර ශ්‍රී.ල.නි.ප.යේ සංවිධාන ශක්තිය තර කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් සිටින ආසන සඳහා නව ශ්‍රී.ල.නි.ප සංවිධායකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් මේ වන විට ආරම්භ කර තිබේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් වැන්නන්ගේ පවා සංවිධායක පදවි අහෝසි කර ඇත. එයට විරෝධය පා මධ්‍යම පළාත් සභා අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් ආණ්ඩුකාරවරියට භාර දුන්නේය.

ජනපති ඉදිරියේ ඇමැති පිරිසක් තෙල් ටැංකි පැවරීමට එරෙහි වෙති

ජනක බණ්ඩාර තෙන්නකොන් මන්ත්‍රීවරයා සංවිධායක පදවියෙන් ඉවත් කළදාට පසුදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතලේට ගියේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මෑණියන්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන්නටයි. එතැනට මහින්ද යන මොහොතේ ජනක බණ්ඩාර මන්ත්‍රීවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා ද පැමිණ සිටියහ. අවමංගල්‍ය උත්සවයක් යෙදී තිබුණද මහින්ද එහි පැමිණි සැණින් ප්‍රදේශවාසී පාක්ෂිකයන් විශාල පිරිසක් එහි පැමිණීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් අතරට ගොස් කතාබහකද නිරත විය. අනතුරුව ලක්ෂ්මන් වසන්ත පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම රෝහණ දිසානායක මහතාද ජනක තෙන්නකෝන් මහතා ඉවත් කිරීම අනුමත නොකරන බව පැවසීය. මෙයට මාස ගණනකට කළින් මේක කරන්න හැදුවෙ. එදත් අපි ඒකට විරුද්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න මුල්වුණ පවුලක කෙනෙක්නේ ඒකයි අපි විරැද්ධ වුණේ.. එලෙස පැවසුවේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරාය. මහින්ද රාජපක්ෂ මහතා ද කීවේ මෙය ඉතාමත් වැරදි දෙයක් වගය. රෝහණ දිසානායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ තමන්ද ආසන සංවිධායක පදවියෙන් ඉවත් වීමට තීන්දු කළා කියාය. ජනක ඇමැතිතුමා අපි එක්ක ප්‍රශ්න තිබුණ... ඒත් අස්කළ එකනම් වැරදියි. රෝහණ දිසානායක කීය. සියල්ල අසා සිටි ජනක තෙන්නකෝන් මහතා ද සිනාසෙමින් කතා කළේ සැහැල්ලුවෙනි. මේ පක්ෂයේ ආරම්භක කැඳවුම්කරැවන් අතරෙ ඩී.ඒ. රාජපක්ෂ මහත්මයත්, ටී.බී. තෙන්නකෝන් මගේ පියත් හිටිය. ඒ අයගෙ දරුවන්ගෙන් අපි තුන්දෙනයි අද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. දෙන්නෙක් රාජපක්ෂ පවුලෙ. තෙන්නකෝන් පවුලෙන් මම.. ඉතින් එහෙව් එකේ මම අස්කරපු එකත් හොඳයි. අපිට දැන් ඔබතුමා එක්ක බය නැතුව වැඩ කරන්න පුළුවන්. ඒක මම පොරොන්දු වෙනව... ජනකගේ මේ කතාවෙන් පසු මාතලේ ජනතාවගෙන් සමුගත් මහින්ද කොළඹ බලා පිටත් විය.

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී රැස්වූයේ මැයි දිනය ගැන සාකච්ඡා කරන්නයි. ශ්‍රී.ල.නි.ප.යේ සියලුම මැති ඇමැතින්ට මැයි දින උළෙලට සහභාගි වන ලෙස නිල වශයෙන්ම දන්වන්නැයි ජනාධිපතිවරයා පක්ෂ මහ ලේකම්වරයාට කීය. ගැටඹේ ක්‍රීඩාංගණයට දැවැන්ත ජනකායක් කැඳවා ශ්‍රී.ල.නි.ප. ශක්තිය පෙන්වීම සඳහා සියලු සංවිධායකයන් ක්‍රියා කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය. පෙළපාළියේ ගමන් මාර්ගය මෙන්ම පැමිණෙන ජනතාවට ලබාදෙන පහසුකම් සංවිධානය ගැනද දීර්ඝ ලෙස සාකච්ඡා කැරිණි. මධ්‍යම කාරක සභාව පැය දෙකක් පුරා මෙම කතාබහට වෙන්විය.

ඒකාබද්ධ විපක්ෂයද ගිය අඟහරුවාදා සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම රැස් කළේය. එම රුස්වීමේ අරමුණ වූයේද මැයි දින උත්සවය සංවිධානය ගැන කතා කිරීමයි. මෙම රැස්වීමට පෙර ජනාධිපතිවරයා විසින් නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අත මහින්ද රාජපක්ෂ කණ්ඩායමට සමගි වීම සඳහා යෝජනාවක් එවා තිබූ බව තිරය පිටුපස ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් එම යෝජනාව පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම සූදානම් නැති බව මහින්ද රාජපක්ෂ මහතා මුරුත්තෙට්ටුවේ හිමියන්ට දන්වා ඇතැයි ද තිරය පිටුපස ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මෙම පසුබිමේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රුස්විය. ඒ අය කතාබස් කළේ ද මැයි දිනය වෙනුවෙන් ජනතාව උපරිම සංඛ්‍යාවක් සහභාගී කිරීම ගැනයි. පෙළපාලියේ මාර්ගය මෙන්ම කථික ලැයිස්තුවද සකස් කිරීම මෙහිදී සිදුවිය. කොළඹ, කුරුණෑගල, ගම්පහ ආදී දිස්ත්‍රික්කවලින් වැඩි ජනගහණයක් ඒකාබද්ධ විපක්ෂ රැලියට සහභාගී කරවීමට අවශ්‍ය මූලික සංවිධාන කටයුතු මෙහිදී සිදුකැරිණි.

එ.ජා.ප.ය සමඟ සිටින තෙක් සාම කතා බැහැයි මහින්ද ශ්‍රීල.නි.ප.යට කියයි

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දිනය ඉහළින් සැමරීම සඳහා කටයුතු සංවිධානය කරමින් සිටී. පළමු වරට ජනතා විමුක්ති පෙරමුණ කොළඹ සහ යාපනේ මැයි රැලි දෙකක් පැවැත්වීම මෙවර මැයි දිනයේ විශේෂත්වයකි. ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ ජාතික සමගිය ගොඩනැගීම තේමා කරගනිමින් මෙම රැලිය සංවිධානය කරන බව ජ.වි.පෙ. ප්‍රකාශ කරයි. ජ.වි.පෙ. ප්‍රධාන මැයි රැලිය බී.ආර්.සී. පිටියේදීත්, යාපන මැයි රැලිය මුතුවේලු ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙයි. ඒ සඳහා ද යාපනයේ මැයි පෙළපාළියක් සංවිධානය කර තිබේ. මෙයින් ප්‍රධාන රුලියට ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතාද, යාපන රැලියට ජ.වි.පෙ. මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාද සහභාගී වන බව ජ.වි.පෙ. කියයි.

වෙසක් පෝයට පෙර සිදුකරනවා යැයි ජනපතිවරයා කියන ආණ්ඩුවේ වෙනස සමඟ ඇමැති මණ්ඩල සංශෝධනයක් අනිවාර්ය බව රජය කියයි. එහෙත් එ.ජා.ප.යේ බහුතර මතය වී ඇත්තේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුනොකළ යුතු බවය. රටේ විසඳිය යුතු ආර්ථික ප්‍රශ්න, කැලිකසළ වැනි බරපතළ සමාජ ප්‍රශ්න ගණනාවක් විසඳීමට තිබියදී අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කළහොත් එය ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් වන බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ මතය බව සඳහන්ය. එබැවින් මේ අවස්ථාවේ ඇමැති සංශෝධනයක් නොකළ යුතුය යන්න සිය මතය බව එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ජනාධිපතිවරයාට දන්වා තිබේ. කෙසේ වුවත් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන බවය.

මේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සිංහල අවුරුද්දට පසු රැස්වූ පළමු අමාත්‍ය මණ්ඩල රුස්වීම උණුසුම් වූයේ ඉන්දියානු රජයට ත්‍රි^මලයේ තෙල් ටැංකි සංකීර්ණය බද්දට පැවරීම හා ඛනිජ තෙල් සංස්ථාවේ ඔවුන් කරනු ලබන ආයෝජන සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රය සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය. ත්‍රි^මලය තෙල් ටැංකි සංකීර්ණය මෙම ගිවිසුම යටතේ බදු දීමට එකඟ නොවන බව ඇමැති මණ්ඩලයේ ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරැ ගණනාවක්ම ප්‍රකාශ කළෝය. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය දයාසිරි ජයසේකර වැන්නන් මෙහිදී තමන්ට යෝජිත ගිවිසුමට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් මත දක්වන්නට වූහ. එහෙත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ මෙබඳු උපාය මාර්ගික ආයෝජන රටට අවශ්‍ය බවය. මෙම වාදය අතරතුර ජනාධිපතිවරයා කිසිදු මත ප්‍රකාශනයක් නොකළද කතාව අවසානයේ ඔහු ප්‍රකාශ කර තිබුණේ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සංගම් සමඟ එළැඹගත් එකඟතා උල්ලංඝනය නොවන ලෙස ඉන්දියාව සමඟ ගිවිසුම්වලට එළැඹිය යුතු වගය.

රට පුරා දිගින් දිගටම පාලනයකින් තොරව හටගන්නා උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර මැඩපැවැත්වීමටත් රටේ විනය ඇතිකිරීමටත් යම් පියවරක් ගත යුතු බව අමාත්‍ය මණ්ඩලයට ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා අලුතින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අමාත්‍ය පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හමුදාපති පදවිය හෝ ත්‍රිවිධ හමුදා නායකත්වය භාරගෙන විශේෂ කණ්ඩායමක්ද ඇතිකොට මෙම කටයුතු මෙහෙයවිය හැක කියාය. ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට ඇමැතිවරැ සතුට පළ කරද්දී ෆොන්සේකා මහතාද තමන් එම වගකීම ඉටුකරන්නට භාරගන්නා බව ඇමැති මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ. අමාත්‍ය මණ්ඩල රුස්වීමෙන් පසුව සම කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට කීවේ ආණ්ඩුව කොන්ද කෙළින් කරන්නට හදන බවය. ඒ අනුව උද්ඝෝෂණවලට විරෝධතාවලට මුහුණදීමට සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් කටයුතු සංවිධානය කෙරෙන වග රාජිත සඳහන් කළේය. ෆොන්සේකා මහතාට හමුදාපති ලෙස හෝ ත්‍රිවිධ හමුදා ප්‍රධානී ලෙස සිය අමාත්‍ය ධූරයෙන් ඉවත්ව ක්‍රියා කරන්නට ඉඩ ලැබෙන බවත් ප්‍රකාශ කළේය. එහෙත් ඉන් සුළු වේලාවකට පසු ෆොන්සේකා මහතාගේ කාර්යාලය නිවේදනය කළේ සරත් ෆොන්සේකා මහතා මෙම වගකීම භාරගන්නේ අමාත්‍ය ධූරය දරමින් මිස ඉන් ඉවත්ව නොවන බවය.

ජ.වි.පෙ.න් මැයි රැළි දෙකක්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ විනය ඇතිකිරීම සඳහා ආරක්ෂක අංශයේ වගකීමක් පවරන්නට යන කතාව බෙහෙවින් ව්‍යාකූල පුවතක් බවට පත්ව ඇත. ඔහුට නැවත හමුදාපති හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය භාරගන්නට කී බව රාජිත සේනාරත්න ඇමැතිවරයා කියද්දී එස්.බී. දිසානායක ඇමැතිවරයා කියන්නේ ජනාධිපතිතුමා එසේ කීවේ විහිලුවට බවය. මහින්ද අමරවීර මහතාද සඳහන් කළේ ෆොන්සේකාට හමුදා වගකීම් නොපවරන බවය. ෆොන්සේකා මහතාද එවැන්නකට සූදානම් නැති බව කියා තිබේ. ඒ අතර ඔහු වෘත්තීය සංගම් සටන් ගැන අදහස් දක්වමින් කීවේ වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැන ක්‍රියා කළ යුතු වගය. එය එක්තරා අනතුරැ ඇඟවීමකි. කෙසේ හෝ ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වද ෆොන්සේකා මහතාගේ නව වගකීම ගැන නොයෙක් දේ කියන්නට පටන් ගැනීම හේතුවෙන් මේ කතාව ව්‍යාකූල වී තිබේ.

දොස්තර රාජිත සේනාරත්න මහතා කළ තවත් ප්‍රකාශයක් ආන්දෝලනයට පත්ව තිබේ. ඔහු පසුගිය මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ මුලින්ම පැවැත්වීමට නියමිත ඡන්දය ජනමත විචාරණයක් බවය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම පිණිස මෙම ජනමත විමසුම පැවැත්වෙන්නේ යැයි ද රාජිත කීය. පළාත් පාලන හා පළාත් සභා ඡන්ද සියල්ල පැවැත්වෙන්නේ ඉන් අනතුරැව බව කී සේනාරත්න ඇමැතිවරයා පළාත් පාලන ඡන්ද එක් දිනකදීත් පළාත් සභා ඡන්ද එක් දිනකදීත් පවත්වන්නට රජය තීරණය කළ බව වැඩිදුරටත් කීය.

එහෙත් ජනාධිපතිවරයා මුල සිටම කියා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනමත විමසුම් නොතබන බවය. රාජිතගේ ප්‍රකාශය නිකුත් කළදාට පසුදාම අමාත්‍ය මහින්ද අමරවීර රාජිතගේ ජනමත විමසුම් කතාව ප්‍රතික්ෂේප කළේ මාධ්‍ය හමුවේදීමය. ඔහු කීවේ ශ්‍රී.ල.නි.ප.ය නම් කිසිදු අවස්ථාවක ජනමත විමසුමක් ගැන සාකච්ඡා කොට තීන්දුවක් ගෙන නැති වගය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා ඉන්දියාව බලා පිටත්ව ගියේ රාජ්‍ය හා පෞද්ගලික කටයුතු ගණනාවක් වෙනුවෙනි. අඟහරුවාදා දිල්ලියට ගිය අගමැතිවරයා සමඟ අමාත්‍ය මලික් සමරවික්‍රම ද විය. අගමැතිවරයා ඉන්දීය අගමැති මෝදි මහතා, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ප්‍රමුඛ පිරිසක් හමුවීමට සැලැසුම් කර තිබිණි. දිල්ලියේ හයිද්‍රාබාද්  මන්දිරයේ පැවති අගමැති මෝදි හා රනිල් හමුවේදී දෙරට අතර ඉදිරි සංවර්ධන කටයුතු කරන ආකාරය ඇතුළත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරිණි. එහි දෙරටේ අනාගත ආයෝජන අවස්ථා ගැන සඳහන් කර ඒවා සඳහා දෙරටේ කැපවීම ප්‍රකාශ කරන බව සඳහන් කර තිබිණි. අමාත්‍ය මලික් සමරවික්‍රම හා ඉන්දීය විදේශ ඇමැතිනී සුශ්මා ස්වරාජ් ඊට අත්සන් තැබූහ. අනතුරුව සෝනියා ගාන්ධි මහත්මිය ප්‍රමුඛ ප්‍රභූන් මුණගැසුණ අගමැතිවරයාට රාජස්ථානයේ පැවැති මංගල්‍ය උත්සවයකටද ඇරුයුමක් ලැබී තිබිණි. ඒ සුප්‍රකට ටාජ් හෝටල් සමූහ ව්‍යාපාරයේ හිමිකරැ චෞද්රි මහතාගේ පුත්‍රයාගේ මංගල්‍ය උත්සවයටයි. පුරා දින තුනක් පැවැත්වුණ ටාජ් පුත්‍රයාගේ රාජකීය මංගල්‍යයටද අගමැතිවරයා සහභාගී විය.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
සේයාරුව I සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00