2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

වෙසක් පෝයට කලින් පෙරැළියක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 411

සිංහල අවුරුද්ද නිමිත්තෙන් දේශපාලනය හා දේශපාලනඥයන් නිවාඩු ගෙන තිබියදී අවුරුදු දා සිදුවූ මීතොටමුල්ල මහ විපත නිසා මුළු රටටම විවේක සුවය අමතක කරන්නට සිදුවිය. ආණ්ඩුවේ මැති ඇමැතින් 30 දෙනෙකුට වඩා විදේශ චාරිකාවල නිරත වෙමින් සිටියහ. එහෙත් මෙරට රැඳී සිටිමින් අවුරුදු ගත කළ දේශපාලනඥයන් පක්ෂ භේදයෙන් තොරව මීතොටමුල්ලේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන්නට තැත් කරනු පෙනිණි. එහෙත් ප්‍රධාන පක්ෂවල මැති ඇමැතින්ගේ මත ගැටුම්ද බොහෝ විට වාර්තා විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 14දා උදෑසන අවුරුදු චාරිත්‍ර සිදුකළේ කොළඹ 7 මහගම සේකර මාවතේ සිය නිල නිවසේ සිටයි. පවුලේ අය සමඟ චාම් ලෙස අවුරුදු චාරිත්‍ර කළ ජනාධිපතිවරයා එදින සවස් කාලයේ ඔහුට සුබ පතන්නට පැමිණි පිරිස්ද මුණ ගැසුණේය. ඒ අතර ආරක්ෂක අංශ විසින් මීතොටමුල්ල ඛේදවාචකය වාර්තා කරනු ලැබීය. ඒ සමඟ අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අමාත්‍යය චම්පික රණවක ආදී බොහෝ දෙනෙක් ඇමතූ ජනාධිපතිවරයා මේ සිද්ධිය ගැන උපදෙස් දුන් අතර කළයුතු කටයුතු සැලැසුම් කරන්නට පියවර ගත්තේය. බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා රෝහල්ගතව සිටියදී ඔහුටද මේ සඳහා මැදිහත් වන්නැයි ජනපතිවරයා කීය.

 මීතොටමුල්ලටත් ජනපතිගෙන් කොමිසමක් 

ජපානයේ නිල චාරිකාවක නිරත වෙමින් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එහි සිට මීතොටමුල්ල ඛේදවාචකයට පිළියම් සෙවීම පිණිස වහා මැදිහත්ව ක්‍රියාකරන්නැයි දුරකතන මගින් අමාත්‍ය සාගල රත්නායකට උපදෙස් දී තිබිණි. එදින මරික්කාර් මන්ත්‍රීවරයා ඇමතූ අගමැතිවරයා ජනතාවට අවශ්‍ය සහන සැලැසීම ගැනත් විපතට පත්වූවන් බේරාගැනීම ගැනත් උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා වෙත නියෝග කළේ වහාම සිය නිලධාරීන් රැගෙන මීතොටමුල්ලට ගොස් සහන සේවා කටයුතු ආරම්භ කරන හැටියටයි. ඒ අනුව මුලින්ම ආරක්ෂක හමුදා රැගෙන එහි ගියේ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාය. රාත්‍රිය වනවිට පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද එහි පැමිණියේය. ඒ වනවිටත් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රමුඛ පිරිස් සහන කටයුතු ආරම්භ කර තිබිණි. 

 මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හදිසි හමුවක් 

ඉතා දුෂ්කර දුක්ඛිත ජීවිතයක් ගත කළ මීතොටමුල්ල අවට ජනතාව මේ විපත නිසා බෙහෙවින් කෝපයට පත්ව සිටියහ. මේ අය එම කුණුකන්දේ නවතා තිබූ රියැදුරු රහිත බැකෝ යන්ත්‍රයකට ගිනි තබා විනාශ කළේ සිය කෝපය පිටකර ගන්නටයි. එහි ජනතාවගේ දුක සැප බලන්නට සාගල රත්නායක, එස්.එම්. මරික්කාර්, ඒ.එච්.එම්. ෆවුසි, දිනේෂ් ගුණවර්ධන, විජිත හේරත් ආදී විවිධ දේශපාලන පක්ෂවල මැති ඇමැතිවරු මීතොටමුල්ලට පැමිණියහ. ඒ අය අතරින් ආණ්ඩුවේ මැති ඇමැතින්ට ජනතාවගේ ප්‍රබල විරෝධතාවලට මුහුණදෙන්නට සිදුවිය. මීතොටමුල්ල බොහෝ මැති ඇමැතින්ට තහනම් කලාපයක් විය. ඒ නිසා මුලදී කුණුකන්ද ගැන වගකිවයුතු ප්‍රබලයෝ බොහොමයක් එහි ආවේ නැත. එහි පැමිණි ෆවුසි අමාත්‍යවරයා විරෝධතා නිසා ආපසු හැරී ගියේය. එහෙත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතා නියෝජිතවරියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එහි දක්නට නොවීය. මරික්කාර් මන්ත්‍රීවරයා විපතට පත් ජනතාවට ආහාර පාන හා ජලය ඖෂධ ආදී මූලික අවශ්‍යතා සැපයීමට පියවර ගනිමින් රජයේ නිලධාරීන්ගෙන් උදව් පතමින් සිටියේය.

අවුරුදු නිවාඩුව නිසා රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් දුරකතනයට සම්බන්ධ කර ගැනීම පවා අපහසු විය. කඩා වැටුණු කුණුකන්දේ සුන්බුන් ඉවත් කිරීමට බැකෝ යන්ත්‍රවල අඩුව තදින් දැනිණි. මේ ගැන විවිධ දේශපාලන නායකයන්ට ඉල්ලීම් ඉදිරිපත් විය. කතානායක කරු ජයසූරිය මහතා පවා තමන්ගේ සබඳතා පාවිච්චි කොට මීතොටමුල්ලේ කටයුතු සඳහා බැකෝ යන්ත්‍ර ගණනාවක් හදිසියේම සපයාදීමට වෙහෙස මහන්සි විය. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය පහත් බිම් සංවර්ධන මණ්ඩලය ආදී ආයතනවලින් ජයසූරිය මහතා සහනය ලබා ගත්තේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කතානායකවරයා අමතා මෙම කටයුතු සඳහා අවශ්‍ය උදව් උපකාර කරන ලෙස ඉල්ලීමක් කළේය. අවසානයේ හදිසි විදුලිය සැපයුම් අවශ්‍යතා සඳහා විදුලි ජනක යන්ත්‍ර කිහිපයක් සපයාදීමටද ජයසූරිය මහතා මැදිහත් විය.

 මහින්ද රාජපක්ෂ විපත් සහන වැඩට විදෙස්ගත ලාංකිකයන්ගෙන් උදව් පතයි 

ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයකට ජපානයේ සිට වියට්නාමය වෙත පැමිණියේය. ඔහු නිරන්තරයෙන් මීතොටමුල්ල තත්ත්වය විමසා බලමින් සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේ තමන්ගේ වියට්නාම චාරිකාව කෙටිකර ඉක්මනින් ශ්‍රී ලංකාවට පිටත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය. ඒ අනුව අගමැතිවරයාගේ වියට්නාම සංචාරයේ දින ගණන දවසකින් අඩු කෙරිණි. අගමැතිවරයා ජපානයෙන් වියට්නාමය බලා පිටත්ව යාමට පෙර ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ මහතා මීතොටමුල්ල විපත ගැන සිය දැඩි ශෝකය පළකොට මෙබඳු විපත් කළමනාකරණය ගැන අත්දැකීම් ඇති විශේෂඥයන් පිරිසක් වහාම ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාරද රැගෙන පිටත් කරන ලෙස ජපාන රජයේ බලධරයන්ට උපදෙස් දී තිබිණි. ඒ අනුව ජපාන නියෝජිත පිරිසක් කොළඹට පැමිණෙති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීතොටමුල්ල සිද්ධිය වූ අවුරුදු දා රැඳී සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. අවුරුද්දට රාජපක්ෂ මහතා මුණගැසී බුලත් දෙන්නට පැමිණි පිරිස් හමුවෙමින් සිටියදී මාධ්‍යවේදියෙක් ඔහුට මේ විපත ගැන දන්වා සිටියේය. ආගමික වතාවත් ගණනාවකට සහභාගීවීමට නියමිතව තිබුණත් ඒවා පසෙක තබා රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීන්ට උපදෙස් දුන්නේ විදේශගත පාක්ෂික හිතවතුන්ගේ ආධාරද ලබාගෙන වහාම මේ ජනතාවට උදව්දීමට පියවර ගන්නා ලෙසයි. ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතාද ඒ ගැන දැනුම්වත් කෙරිණි.

මීතොටමුල්ලේ අනතුරට පසුදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් අලුත් අවුරුද්දට මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට ගියෝය. ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු මන්ත්‍රීන් 20ක් පමණ මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. තංගල්ලේදී මේ මන්ත්‍රීන් සාකච්ඡා කළ ප්‍රධානතම මාතෘකාව වූයේද මීතොටමුල්ල සිද්ධියයි. එහිදී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පසුගිය රජය කාලයේත් ඉන්පසුවත් දිනේෂ් ගුණවර්ධන, තමා, බෙනට් කුරේ ඇතුළු පිරිසක් මේ ප්‍රශ්නය විසඳීමට උත්සාහ කළ බවය. පසුගිය රජය කාලයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුත්තලම අරුක්කාලෙයි ප්‍රදේශයට දුම්රිය ගැල් මගින් කුණු ප්‍රවාහනය කොට මේ කුණුකන්ද ඉවත් කරන්නට ලෝක බැංකු ආධාරද ඇතිව උත්සාහ කළ බව ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා කීය. එහෙත් වත්මන් රජයේ සමහර ඇමැතිවරුන් වසර දෙකහමාරකට පසු පසුගිය රජයට මේ ගැන විහිළු සහගත චෝදනා නගන්නට පටන්ගෙන ඇතැයිද කී මන්ත්‍රීවරයා පුත්තලම කුණු ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාවද තමන් ළඟ ඇතැයි කීය. එය රටට ඉදිරිපත් කරන ලෙස එවිට මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මේ රජයට කුණුකන්ද ඇද ගන්නට නොහැකි වූයේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හා මහ ඇමැතිවරයෙක් කුණු ව්‍යාපෘතියේ ටෙන්ඩර් කොන්ත්‍රාත් ගැන ආරවුලක් ඇති කරගත් නිසා යැයිද මෙහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

 අගමැතිගෙන් මන්ත්‍රී මරික්කාර්ට දුරකතන ඇමැතුම් 15ක් 

අනතුරුව ලබන මැයි දිනය සාර්ථක කරගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කරන වැඩකටයුතු ගැන සාකච්ඡා කෙරිණි. ඒකාබද්ධ විපක්ෂය වට්ටන අරමුණින් රජය ගෝල්පේස් පිටිය මැයි දිනයට තමන්ට ලබාදුන්නේ යැයි මෙහිදී ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රී පිරිසක් සඳහන් කළෝය. එහෙත් එය අභියෝගයක් ලෙස භාරගෙන හැකිතාක් ඉහළ ජන සහභාගීත්වයකින් යුතුව ගාලු මුවදොර රැළිය සාර්ථක කරගත යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් කීවේ පාප් වහන්සේ ගාලුමුවදොර පැමිණි වෙලාවේවත් මෙම පිට්ටනිය පුරවන්නට ජනතාව නොපැමිණි නමුත් ඒකාබද්ධ විපක්ෂය මේ අභියෝගය භාරගත යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීතොටමුල්ල සිද්ධිය ගැන සාකච්ඡා කිරීමට රජයේ නිලධාරීන් හා මැති අමැතින් ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබිණි. ඒ වනවිටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 15 වතාවක් පමණ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අමතා නිතිපතා මෙහි කළයුතු සහන කටයුතු ගැන උපදෙස් ලබාදී තිබිණි. ඒ අතර ජනපතිවරයාගේ රැස්වීමේදීද විපතට පත්වූ අයට සහන සැලැසීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවිය. නිවාස විනාශ වී අවතැන් කඳවුරුවල සිටි ජනතාවට නිවාස හා සෙසු මූලික පහසුකම් සැලැසීම සඳහා අඩුම තරමින් රුපියල් ලක්ෂ 40ක් වත් වටිනා නිවසක් ලබාදිය යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මරණ සඳහාද සාධාරණ වන්දියක් ගෙවන ලෙස මුදල් අමාත්‍යංශයට උපදෙස් නිකුත් කෙරිණි. මුදල් ප්‍රශ්න ගැන නොසිතා අවශ්‍ය තීරණ ගන්නා හැටියටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ඒ වනවිටත් පළාතේ මන්ත්‍රී මරික්කාර් රජය විසින් කොළොන්නාව ප්‍රදේශයේ ඉදිකර තිබූ නව නිවාස ව්‍යාපෘති 2ක නිවාස 500ක් පමණ විපතට පත්වූ ජනතාව වෙනුවෙන් වෙන්කර ගැනීමට ඉල්ලීමක් කර තිබිණි. ඔහු ඒ බව මෙම රැස්වමේදී ජනාධිපති ප්‍රමුඛ මැති ඇමැතින් හමුවේ ඉදිරිපත් කළේය. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට ගිය මූලික වියදමවත් ගෙවා නිවාස ලබාගන්නා ලෙස අමාත්‍ය චම්පික රණවක පැවසීය. ඒ අනුව නිවාස 500 විපතට පත් ජනතාව සඳහා වෙන්කෙරිණි.

 සම්පන්දන්ලා මුල්වරට ජ.වි.පෙ. මූලස්ථානයට යති 

එහෙත් ඉන්පසුදා මුදල් අමාත්‍යංශය මේ ගැන නිකුත් කළ නිවේදනයක් නිසා තවත් අවුලක් හටගත්තේය. එම නිවේදනයෙන් කියැවුණේ එක් මරණයක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් හා දේපළ හානියකට රුපියල් ලක්ෂ 25ක් ගෙවන්නට රජය තීරණ්‍ය කළ බවය. මේ බව දැනගත් විපතට පත් ජනතාව මෙන්ම මහජන නියෝජිතයෝද බෙහෙවින් කලබලයට පත්වූහ. ජනාධිපතිවරයාම ලක්ෂ 40කටවත් නිවසක් සපයන්නැයි නියෝග කර තිබියදී මුදල් අමාත්‍ය රවි කරුණානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම සඳහා ඇමරිකාවට ගොස් සිටිමොහොතේ මෙම නිවේදනය නිකුත්ව තිබිණි. මේ ගැන ප්‍රශ්න කරන්නට පිරිසක් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සොයන්නට විය. ඒ අතර නිවේදනයේ සඳහන් වන්දි ගණන් පිළිබඳ අවසන් තීරණය පසුව ගනු ලබන බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නැවතත් ප්‍රකාශ කළේය. ඒ සමඟ වන්දි ගණන් පිළිබඳ අර්බුදය කල් ගියේය.

ජනතා විමුක්ති පෙරමුණද මීතොටමුල්ලේ ජනතාවගේ දුක සැප සොයා බලන්නට මන්ත්‍රීන් පිරිසක් එහි යැවීය. විජිත හේරත්, පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල ඇතුළු කණ්ඩායමක් ඊට අයත් වූහ. ඔවුන් විපතට පත්වූවන්ගේ අවමංගල්‍ය උත්සවවලට පවා බාධාවකින් තොරව සම්බන්ධ වූහ. සෙසු දේශපාලන පක්ෂවල මැති ඇමැතින්ට එල්ල වූ විරෝධය සහ හූ හඬ ජ.වි.පෙ. සාමාජිකයන්ට නොලැබුණේ ඔවුන් විපක්ෂයේ සිට මේ ගැන හඬ නැගූ නිසා විය හැකි යැයි මත පළවිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර යාපා ඇතුළු පිරිස සමඟ මාධ්‍ය හමුවකට එක්විය. එහිදී මේ විපතේ වගකීම කාටවත් පවරන්නේ නැතිව රජය භාරගන්නා බව අමාත්‍ය අනුර යාපා රජය වෙනුවෙන් පැවසීය. නිවාස 98ක් සඳහා මුලින්ම වන්දි ගෙවන බව ජනාධිපතිවරයා කීය. වාද භේදවලින් තොරව මෙම ප්‍රශ්නය සඳහා කාගේත් උදව් අවශ්‍ය බව අගමැතිවරයා පැවසීය. අනතුරුව සාගල රත්නායක අමාත්‍යවරයා හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මීතොටමුල්ල විපතට පත් ජනතාව හමුවීමට ගියේය. බොහෝ දේශපාලනඥයන්ට එහිදී විරෝධය එල්ල වුවත් එහි ජනතාව අගමැති හමුවේ සාවධානව සිය ප්‍රශ්න ඉදිරිපත් කළෝය. අගමැතිවරයා එම ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 ජෝන් - රෝස් හබයෙන් රෝස් යයි 

මීතොටමුල්ල ඛේදවාචකය සිදුවන්නට පෙරදා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී අමුතුම අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණ. මෙම අවුරුදු උළෙලේ විශේෂාංගවලට දේශපාලන නම් ගම් ඈඳා තිබිණි.

කනාමුට්ටිය බිඳීමේ තරගය මහ බැංකුව බිඳීම යනුවෙන් නම් කැරිණි. බැලුන් පිපිරවීම ගූගල් වයිෆයි බැලුන් තරගය විය. කඹ ඇඳීම ආණ්ඩුව සහ විපක්ෂය ලෙස බෙදී සිදුකළේය. රත්තරන් අශ්වයාට ඇස් තැබීම, ලැම්බෝගිනි සෙවීම වැනි තරගද මේ අවුරුදු උත්සවයේ පැවැතුණි. තරගයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු මේ තරග ජයග්‍රහණයක කළ අයට සෙල්ලම් කාර්, සෙල්ලම් හෙලිකොප්ටර්, සෙල්ලම් ලැම්බෝගිනි ආදිය තෑගි ලෙස පිරි නැමුවේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පසුගියදා හදිසියේ කොළඹදී රැස්වූයේ මීතොටමුල්ලේ සිද්ධිය ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්නටයි. එහිදී මන්ත්‍රීන් බහුතරයකගේ අදහස වූයේ මේ සිද්ධිය ජාතික විපතක් ලෙස සලකා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමයි. ඒ ගැන වූ යෝජනාව දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් භාරදීමට තීරණය කෙරිණි. නැවත පාර්ලිමේන්තුව රැස්විය යුත්තේ මැයි මස මුල් සතියේ වුවත් මේ විපත ගැන කතා කරන්නට ලබන සතියේ වහා මැතිසබය කැඳවන්නැයි දිනේෂ්ගේ ලිපිය මගින් ඉල්ලා තිබිණි. මෙම සිද්ධියට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මගින් සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වාර්තාවක්ද දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළේය. එහෙත් ජනමත විමසුමකට තුඩුදෙන සංශෝධන යෝජනා කිසිවකට එකඟ නොවිය යුතු බවට මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ අතර එම කරුණු ලිඛිතවම රජයට ලබාදීමටද තීන්දු විය.

සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විශේෂ ගමනක් ගියහ. ඒ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානටයි. දෙමළ සන්ධාන නායකයන් ජ.වි.පෙ. මූලස්ථානයට ගියේ ඉතිහාසයේ මුල් වරටය. අනුර කුමාර දිසානායක මහතා විදේශගත වීමට පෙර පැවති මෙම හමුවේදී වඩාත්ම අවධානයට ලක්ව ඇත්තේ යෝජිත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය යන්න පක්ෂ දෙකම ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් බව පසුව ප්‍රකාශ විය.

ජනතා විමුක්ති පෙරමුණ රටේ පවත්නා කාලීන දේශපාලන තත්ත්වය ගැන ඒ ඒ පක්ෂ සමග සාකච්ඡා මාලාවක් පවත්වන්නට ගෙන ඇති තීරණය අනුව දෙමළ සන්ධානයට සාකච්ඡාව සඳහා ඇරියුම් කර තිබුණි. විධායක ජනාධිපතික්‍රමය හා ඡන්දක්‍රමය වෙනස්කිරීම ආදි මාතෘකාද සාකච්ඡාවේදී අවධානයට ලක්විය. දෙමළ සන්ධානය වෙනුවෙන් සම්පන්දන් මහතාට අමතරව මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන් මහත්වරුද ජ.වි.පෙ. වෙනුවෙන් අනුර දිසානායක මහතාට අමතරව ටිල්වින් සිල්වා, විජිත හේරත් හා ලාල්කාන්ත යන මහත්වරුද සාකච්ඡාවට එක්වූහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා හදිසියේම නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට විශේෂ සාකච්ඡාවක් සඳහා තමන් හමුවන්නැයි ඇරයුම් කළේය. ඒ අනුව මුරුත්තෙට්ටුවේ හිමියෝ පසුගිය අඟහරුවාදා සවස තනිවම වැඩමකොට ජනාධිපතිවරයා මුණ ගැසුණාහ. දැඩි මහින්දවාදී හිමිනමක් වන මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ ජනාධිපතිවරයා ඉතා වැදගත් දේශපාලන කාරණා ගණනාවක් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහෙත් එහි තොරතුරු ඉතා රහසිගතව තබාගන්නටද තීන්දු කර ඇත. මෙම සාකච්ඡාවට සහභාගිවන්නට පෙර මුරුත්තෙට්ටුවේ හිමියන් තමන් අදාළ සාකච්ඡාවට යන බව මහින්ද රාජපක්ෂ මහතාට දන්වා තිබිණ. සාකච්ඡාව හමාර වූ පසු රාජපක්ෂ මහතා මුණගැසී එහි ප්‍රතිඵල ගැන හිටපු ජනාධිපතිවරයාට වාර්තා කිරීමට උන්වහන්සේ රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවද කියැවුණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්පතින්දා මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් ජනාධිපති මැඳුරට කැඳවා තිබිණි. මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් ඇමතූ ජනාධිපතිවරයා කීවේ තමන් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට දුන් ප්‍රතිඥාව ඉටුකරන බවය. එසේම ජාතික ආර්ථිකය දැන් හරි මාවතට පිවිස වර්ධනය වෙමින් ඇතැයිද ඔහු පැවසීය. සති දෙකක් තුළ ආණ්ඩුවේ මුහුණුවර වෙනස් කිරීම සඳහා රාජ්‍ය ආයතනවල වෙනස්කම් රැසක් කරනා බවද ජනාධිපතිවරයා කීය. එයින් වක්‍රව අදහස් වූයේ කල්ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය සති දෙකක් තුළ සිදුවන බවයැයි සමහරු මත පළ කළද ජනාධිපතිවරයා කීවේ වෙසක් පෝයට පෙර වෙනස්කම් ගණනාවක් සිදුවිය හැකි බවය. සයිටම් ආයතනය ගැනත්, මීතොටමුල්ල කුණුකන්ද ගැනත් මාධ්‍ය ප්‍රධානීහු ප්‍රශ්න කළහ. කුණු කන්දේ විපත ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කර බවකී ජනාධිපතිවරයා සයිටම් ආයතන කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ආයතනයක් කරන වගද පැවසීය.

කටානේ දේශපාලන බලවතිය වන රෝස් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්‍රීවරිය හා ජෝන් අමරතුංග අමාත්‍යවරයා අතර ගුවන් තොටුපොළ ටැක්සි සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන තිබේ. මේ ටැක්සි ව්‍යාපාරය දැනට රෝස් ප්‍රනාන්දු මහත්මිය යටතේ පවතින බව කියවේ. ජෝන් අමරතුංග මහතාගේ හිතවත් ටැක්සිකරුවන් කිහිප දෙනෙකුටත් එහි අවස්ථාව ලබාගන්නට උත්සාහ කිරීමෙන් දෙදෙනා අතර ආරවුල හටගැනිණි. මෙය මහා වාග් සටනක් බවට පත්වී ජෝන් හා රෝස් දෙදෙනාම කැත්තට පොල්ල මෙන් සටනට බැස්සහ. අවසානයේ මේ ගැන එ.ජා.ප මූලස්ථානයට රෝස් ප්‍රනාන්දු මහත්මිය විසින් පැමිණිලි කරන ලදී. ඇය ඊට ඉක්මන් විසඳුමක් අපේක්ෂා කළද එය නොලැබුණ බැවින් රෝස් ප්‍රනාන්දු ඇමැති ජෝන්ට විරෝධය දක්වමින් කටාන ආසන සංවිධාන ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළාය. ඒ ගැන ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර