2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

බන්දුලට හර්ෂගෙන් ටියුෂන්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

  • විමල්ගේ වලිය දිගටම ඇදෙයි
  • දෙවියන්ගේ උසාවියට යන්න හදන කාදිනල්තුමා
  • සජබ පිරිසකගෙන් තිස්සට කොක්කක්
  • කථානායකයි හිටපු ඇමැතියි ටොයිලට් එකේ හැංගිලා!
  • මුස්ලිම් කොංග්‍රසයට මරික්කාර් දෙහි කපයි
  • විමලවීර දිසානායකගේ බර කිලෝ 100ක්ලු

 

තියේ දේශපාලන ආරවුල්, අර්බුද රැසක් ඔස්සේ ගලා ගියේය. විමල් වීරවංශ ගැටුම මෙන්ම ඉන්දියානු අර්බුදයද දික් ඇදෙමින් පැවැත්විණි. කොවිඩ් එන්නත දේශපාලනයට එන්නත් කරනු ලැබූ අතර විපක්ෂය අලුත් විරෝධතා කිහිපයක් සොයා ගැනීමට සමත් විය. එසේම විශේෂ සාකච්ඡා කිහිපයක්ද ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම විපක්ෂ අභ්‍යන්තරයේද පැවැති බව වාර්තා විය.

අමාත්‍ය විමල් වීරවංශ 14 වැනිදා නැවත සිය මතය තහවුරු කරමින් කුරුණෑගලදී කතාවක් කළේය. පවතින වත්මන් අභියෝගය නිසි ලෙස ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බව ඔහු කීය. සෑම අතින්ම ශක්තිමත් කිරීම යනු දේශපාලන අතින්ද ශක්තිමත් කිරීම බවද සඳහන් කළ අමාත්‍යවරයා මීට කලින් මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් පවතින පාලන තන්ත්‍රයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් දැරෑ බවද පෙන්වා දුන්නේය. මෙය එක්තරා ආකාරයකින් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් හා සමාන විය.

මෙම අර්බුදයේ විපුල ඵල නෙලා ගන්නට විපක්ෂය උත්සාහ කරමින් සිටියේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විමල් විපක්ෂය එක්වන්නට යන බවක් කීවේය. මේ ප්‍රකාශය හරහා විමල් ඇතුළු පිරිස ක්ෂණිකව කලබල වූහ. ඊට ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහුගේ හිතෛෂීහු කියන්නට වූහ. ඒ අනුව මුහුණු පොතට සටහනක් තැබීමට ඇමති වීරවංශ තීරණය කළේය. හිරුණිකාගේ නමද සඳහන් කරමින් තැබූ එම සටහනෙන් එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට තමන්ට කිසිදු අදහසක් නැති බව ඔහු කීවේය.

මේ අතර පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගල කාරියවසම් අඟහරුවාදා නැවත වීරවංශ ගැටුම කරළියට ගෙනාවේය. ෆේස්බුක් කුලී හේවායන් හරහා මඩ ගසා මේ ගමන යා හැකි යැයි විමල් වීරවංශ මහතා හිතුවද තමන් එසේ නොසිතන බව ඔහු පැවසීය. මේ අතර පොහොට්ටුවේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අඛණ්ඩව වීරවංශ ප්‍රහාර දියත් කරන බවද පෙනී ගියේය.

සමගි ජනබලවේගය සම්බන්ධ අලුත් කතාවක්ද ගෙවුණු සතියේ දේශපාලන ආරංචි මාර්ග අතර විය. මෙවර තිස්ස අත්තනායක මහතා අර්බුයකට පැටලී සිටියේය. ඊට හේතු වී ඇත්තේ තිස්ස අත්තනායක මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු අවසරයකින් තොරව ආණ්ඩු පක්ෂයට හා විවිධ මාධ්‍ය වෙත ලබාදෙන බව පසුපෙළින් නැගුණු චෝදනාවකි. පත්තර කතාවක්ද මේ පිටුපස වූ බව අසන්නට ලැබුණි. දේශපාලන ආරංචිවලට අනුව සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් විසින් පක්ෂ නායකත්වයට මේ පිළිබඳ දැනුම්දීමක් ද සිදුකර තිබේ.

කෙසේ නමුත් මේ වනවිට තිස්ස අත්තනායක මහතා පක්ෂ සංවිධාන කටයුතුවල වැඩි බරක් කරට ගෙන කටයුතු කරමින් සිටියි. සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පිට අලුතින් පත්වූ ආසන සංවිධායකවරුන්ට තිස්සගෙන් උපදෙස් රුසක් ලැබිණි. සියලුම ආසන සංවිධායකවරුන් මාර්තු 31 වැනිදාට පෙර තම මැතිවරණ කොට්ඨාස තුළ මහජන කාර්යාල විවෘත කළ යුතු බවත් මහජන දිනයක් පවත්වාගෙන යා යුතු බවත් මෙම උපදෙස් අතර ප්‍රමුඛ විය. එසේම ශාඛා සමිති ඇතුළු සංවිධාන ජාලය ස්ථාපිත කිරීම සම්බන්ධව සැලසුම් තිස්ස ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සකස් කරමින් සිටින බව කියැවුණි.

මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයද ගෙවුණු සතියේ රුස් විය. විසිවැනි සංශෝධනයට සහාය දැක්වූ තම පක්ෂ මන්ත‍්‍රීවරුන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ගත යුතු බව එහිදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළ බව දැනගන්නට ලැබුණි. ඒ අතර 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩදෙන බවට වූ පොරොන්දු මත බව විස්සට අත ඉස්සු මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතරදෙනා මාධ්‍ය වෙත කියා සිටියහ. ඒ අතර මෙම ප්‍රකාශ සම්බන්ධව සමගි ජනබලවේය කිපුණේය. මුස්ලිම් කොංග්‍රසය ආගම සහ දේශපාලනය පටලවාගෙන සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කීවේය. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රතිපත්තිමය තීන්දුවක් බවත් මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම් ජනතාව රවටන බවත් ඔහු කියා සිටියේය. නායකයන් වෙනමත් සාමාජිකයන් වෙනමත් කළ මේ කටයුත්ත නාට්‍යයක් බවද මරික්කාර් චෝදනා මුඛයෙන් කීවේය.

ආණ්ඩුවේ බර අවි ගැටුම් අතර සුළු අවිවලින් සිදුවූ කුඩා පරිමාණයේ ගැටුම් කිහිපයක්ද ගෙවුණු සතියේ ආරංචි විය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ හට නිලධාරියෙක් ප්‍රසිද්ධියේ බැණවැදී තිබුණේ 17 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීමේදීය. එම රුස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම පිළිබඳ එහි සභාපතිනිය වන ගීතා කුමාරසිංහ හට එම නිලධාරියා දෝෂදර්ශනය කර තිබුණි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද සිටි මෙම රුස්වීමේදී ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබඳ වාර්තාවක් කමිටුවට ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර හට සම්මුඛ සාකච්ඡාවකදී සුළු ප්‍රහාරයක් දියත් කර තිබුණි. නැගෙනහිර පළාතට කැබිනට් ඇමතිකමක් නොලැබීම සම්බන්ධව මෙහිදී ඔහු සිය කනගාටුව පළකර තිබේ. එසේම සරත් වීරසේකර මහතාගේ දේශපාලන බර කිලෝ එකක් නම් තමන්ගේ බර කිලෝ සීයක් බව රාජ්‍ය ඇමති විමලවීර දිසානායක සඳහන් කර ඇත. තවද පක්ෂය ගොඩනැගීමේදී ශාඛාවක්වත් බිහි නොකළ, පක්ෂයට සාමාජිකයෙක්වත් බඳවා නොගත් අයට අද කැබිනට් ඇමති ධූර ලබාදී ඇතැයිද ඔහු චෝදනා කළේය. මේ අතර ලන්සා පවුලද අර්බුදයකට පැටලී සිටියේය. පවුලේ දියණියක් සම්බන්ධව ඇ‍තිවූ ගැටුමක් දේශපාලනීකරණය වීම සමඟ මෙය එම අර්බුදය නිර්මාණය විය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ සහෝදරයා වන මීගමුව නගරාධිපති දයාන් ලන්සාගේ පවුල වටා මෙම කතාව නිර්මාණය වූ අතර ප්‍රදේශයේ තවත් දේශපාලකයකුගේ නමද ඊට ඈඳී තිබුණි.

ගෙවුණු සතියේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳවද තොරතුරු ලැබිණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රුස්වීමක් පැවැත්වීමට නියමිත වාර්තා විය. අමාත්‍ය විමල් වීරවංශ මෙම වාර්තා සම්බන්ධව ජනපතිගෙන් විමසූ විට වාර්තාවේ පිටපත් සකස්කර අවසන් වීමෙන් පසු විශේෂ කැබිනට් රුස්වීමක් පැවැත්වීමට කටයුතු කෙරෙන බව හෙළිදරව් වී තිබේ. කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතාද මේ පිළිබඳව තහවුරු කර ඇත.

මේ අතර පාස්කු වාර්තාව පිළිබඳ දිගින් දිගටම කතා කරමින් සිටින කාදිනල්තුමන් විශේෂ ප්‍රකාශයක් කර තිබුණි. බදාදා (17) කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙළ අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියලා තමන් දන්නේ නැති බවයි. අපේ සහෝදර සහෝදරියන් 269 දෙනෙකුගේ ජීවිතය මෙම දේවස්ථානයේදීම නැති කරපු ඒ මහා ආත්මාර්ථකාමීත්වයට මේ රට නැති කිරීමට ඉඩනොදී මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලා ඒකට අවශ්‍ය නීතිරීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව භාරදෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ගෙවුණු සතියේ දේශපාලන කරළිය උණුසුම් කළේය. කතානායකවරයා ඇ‍තුළු බොහෝ පිරිසක් එන්නත ලබාගත්හ. ප්‍රථමයෙන්ම එන්නත ලබාගත් පිරිස අතර එන්නත පිළිබඳ විවිධ කතා කියමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන්ද ඇතුළත් වීම සුවිශේෂී විය. මේ අතර සමගි ජනබලවේගයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි. එන්නත එලෙස ප්‍රතික්ෂේප කළ පිරිස අතර හරින් ප්‍රනාන්දු, මුජිබර් රහුමාන්, හේෂා විතාන, මනූෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක්  කියා සිටියේ අවම වශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදුකිරීමෙන් පසුව එන්නත ලබාගැනීමට කටයුතු කරන බවයි. ඒ අතර මහජනතාව කොරෝනා වෛරසයට නිරාවරණය වී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලින්ම එන්නත විදගැනීම යුක්ති සහගත නොවන හෙයින් ජනතාවට එන්නත ලබාදෙනතුරු තමාද එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය. මෙහිදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ, තමා මන්ත්‍රී වරප්‍රසාදක් ලෙස කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීම නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී 16 වැනිදා පෙරවරුවේ ආරම්භ විය. ඒ අනුව 16, 17, 18 සහ 19 යන දිනවලදී මෙම එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සිදුවිය. ආරම්භයේම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, තිස්ස අත්තනායක, දිලිප් වෙදආරච්චි යන මන්ත්‍රීවරු එන්නත ලබාගත්හ. ඒ අතර මෙරට සියලු ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ ලබාදීමට රජය කටයුතු කළ යුතු බව 16 වැනිදාම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණි.

සාමාන්‍යයෙන් දේශපාලනයේදී අසන්නට නොලැබෙන පුවතක් පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය අමාත්‍යංශයට කැඳවා ඔහුගෙන් උපදෙස් ලබාගැනීමට නිහතමානී වීම පිළිබඳ පුවතකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධව ආණ්ඩුවේ සිටියදී දැඩි අවධානයකින් කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතා එකල ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරියට ගෙනයමින් සිටී. දඹුල්ලේ සිදුකළ සංචාරකට පසු හර්ෂ ද සිල්වා මහතා අදාළ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අදහස් ලබාදීමට අවස්ථාවක් තමන්හට ලබාදෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙම සාකච්ඡාවට මඟ පෑදුණි.

ඉදිකිරීම්වලට සමගාමීව ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන ලෙසද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ඉල්ලා ඇත. මෙවැනි කෘෂි ගබඩා ජාලයක් රටේ ඇති කිරීමට සැලසුම් සකස් කර තිබූ බවද ඔහු කියා තිබේ. එහිදී මෙම ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් යාපනය, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල මෙවන් ගබඩා ඇතිකරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධව හර්ෂ ද සිල්වා හට අමාත්‍යවරයා ස්තූතිවන්ත වී ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලය තුළ සිදුවූ ඇමැතිකම් මාරු පිළිබඳව දේශපාලන කරළියේ විවිධ කතා නිර්මාණය වෙමින් තිබුණි. මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස 16 වැනිදා පත්වීම් ලැබීය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන හට ලැබුණේ තාවකාලික තනතුරක් වුවද එය පිළිබඳ අසතුටින් පසුවන අය ආණ්ඩුව තුළ සිටින බව දේශපාලන ආරංචි අනුව කියැවුණි. මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ද පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. එහෙම නම් දැන් මෛත්‍රීට මොනවා හරි ලැබෙයි යැයි මතයක් ද මේ සමඟ කරළියේ පැතිර ගියේය. පෙබරවාරි 18 වැනිදා තවත් ඇමැති මාරුවක් සිදුවිය. රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

ගෙවුණු තීරණාත්මක රුස්වීම වූයේ බ්‍රහස්පතින්දා දහවල් පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රුස්වීමයි. එය බොහෝ සෙයින් උණුසුම් විය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක හමුවට දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩිලාන් පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, සුමන්තිරන්, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ. දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටු වාර්තාව සභා ගත කිරීම මන්ත්‍රි සුමන්තිරන් සිදු කළ ප්‍රකාශයක් සමඟ සභාව උණුසුම් විය. මෙම වාර්තාවේ ඇතුළත් කරුණු ජනතාව දැනගත යුතු යැයි කියමින් ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු හඬ නගන්නට වූහ.

ආණ්ඩුවෙන් මීට පිළිතුරු බැන්දේ අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධනය. ඔහොම ඔයගොල්ලන්ට කියන්න අයිතියක් නෑ. මේක ජනාධිපතිතුමා පත්කළ කොමිෂන් සභාවක්. ඔයගොල්ලන්ගේ ආණ්ඩු කාලේ ඒ ජනාධිපති හැම කොමිෂන් සභා වාර්තාවක්ම සභාගත කළාද? මේවා බලහත්කාරයෙන් කරගන්න ලෑස්ති වෙන්න එපා යනුවෙන් ඔහු පැවසීය. තත්ත්වය තවත් උණුසුම් විය. එවර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ කීවේය.  අපි ඕවට බය නෑ. ඔයගොල්ලන්ට දින දෙකක් නෙවෙයි දින තුනක් දෙනවා මේ ගැන විවාද කරන්න. අපිට ඕන මේවා ජනතාවට කියන්න විවාද කරන්න. යනුවෙන් ඔහු පැවසීය.

අනතුරුව මතුවූ තවත් ගැටලුවක් වූයේ සුමන්තිනරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව ගැටලුවයි. මගේ ආරක්ෂාව අඩු කරලා තියෙනවා උද්ඝෝෂණ පෙළපාලියකට සහභාගි වුණා කියලා. මට ආරක්ෂාවට තර්ජනත් තියෙනවා. වව්නියාව පැත්තේ අවි ආයුධත් හම්බවුණා. ඒ සියල්ල ගැන තොරතුරු ලැබිලා තිබුණු නිසා වව්නියාව හරහා යද්දී දින දෙකක් පෙළපාලියට සහභාගි වුණේ නෑ. යනුවෙන් සුමන්තිරන් මන්ත්‍රීවරා කීය. එවිට සිනාසෙමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කීවේ සුමන්තිරන් මන්ත්‍රීතුමා අනතුර ගැන දැනගෙන සහභාගි වුණේ නෑ. හැබැයි එතුමා අපිට එන්න කියලා අපි ඒකට සහභාගි වුණා යනුවෙන්ය.

ආරක්ෂක තර්ජන ගැන කතා දුරදිග යන විට කතානායක මහින්ද යාපා මහතා අපූරු කතාවක් කීවේය. ආරක්ෂාවට තර්ජන, උද්ඝෝෂණවලට ප්‍රශ්න අද විතරක් නෙවෙයි එදත් තිබුණා. හම්බන්තොට වරාය චීනයට විකුණපු වෙලාවේ අපි උද්ඝෝෂණයකට ගියා. අපිට ආරක්ෂක අංශවලින් එළව එළවා පහර දුන්නා. මමයි කුමාර වෙල්ගම මන්ත්‍රීතුමයි දෙන්නම හැංගුණේ එකම ටොයිලට් එකේ. යනුවෙන් මහින්ද යාපා මහතා කතාව කියන්නට විය. ඔබතුමා හිටියේ කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා එක්ක නම් ඔබතුමාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. යනුවෙන් එවිට ඇමති ඩිලාන් පෙරේරා කීවේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කොවිඩ් එන්නත් කතාව සභාවට ගෙනාවේය. කරුණාකරලා ඔබතුමා නිවේදනයක් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට මේක විසඳගන්න කියලා. මේක ගහන්නේ අපේ ආරක්ෂාවටයි, මහජනතාවගේ ආරක්ෂාවටයි, අපේ කාර්ය මණ්ඩලවල ආරක්ෂාවටයි. සමහරු මේ ගැන එක එක විවේචන කරනවා. ඔබතුමා මේක අනිවාර්ය කරන්න. යනුවෙන් කීවේය. එවිට කතානායකවරයා කීවේ එන්නත් විදීම අනිවාර්ය කිරීමට හැකියාවක් නොමැති බවයි.

ජිනීවා සමුළුව ළං වන විට  උතුරේ බෙදී යමින් තිබූ දේශපාලන පක්ෂ අතර නැවත සංහිඳියාව වර්ධනය වන්නට විය. පසුගිය සති දෙක පුරා ඔවුහු විවිධ විරෝධතා සංවිධානය කළහ. පාගමන ඒ අතරින් විශේෂ විය. මේ අතර දෙමළ ජනතාවට ඇතිව තිබෙන ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම උදෙසා දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් යාපනයේ නල්ලූර් මාර්ගයේ පිහිටි පෞද්ගලික හෝටලයක විශේෂ හමුවක් පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා විය. දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානය නියෝජනය කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ සිවාජිලිංගම්, ඊළ තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිධරන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ රුසක් මෙම හමුවට සහභාගී වී සිටියහ.

මේ අතර කලකට ඉහත දී ආවා සංවිධානයේ අයකු ලෙස හඳුන්වා ගනිමින් කරළියට පැමිණි අරුන් සිද්ධාර්ථන් නැවත දේශපාලන කරළියට පැමිණියේය. ඔහු පසුගිය මැතිවරණයට ද යාපනයෙන් තරග කර තිබුණි. මෙවර ඔහු කී එක් කතාවක් පසුගිය සතියේ බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි  ඔහු සඳහන් කළේය. එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද ඔහු පැවසීය. විග්නේෂ්වරන්ට සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ඉන්දීය රෝ සංවිධානය බවද යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය ද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද අරුන් කියන්න විය. මේ අතර යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු පෙනී සිටිමින් ඔහු ගෙවුණු සතියේ මෙරට අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබල චරිත ගණනාවක් හමුවිය.

සතියේ සියලු සිදුවීම් මැද විමල් පොහොට්ටු ගැටුම ද අඛණ්ඩව විකාශනය විය. මේ අතර කලකට පසුව කුමාර වෙල්ගම ද කරළියේ චරිතයක් වන කතාවක් විමල් ගැන කීවේය. එක් රාජපක්ෂවරයකුට විමල් වීරවංශ මහතා සමඟ ඇරියස් එකක් ඇති බවද එනිසා ඔහු විසින්  මෙහෙයවන පිරිසක් විමල් වීරවංශට පහර ගසන බව ද කුමාර වෙල්ගම පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා අද සිටින තැනට ගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල මෙහෙයක් කළ බව එකල සමීපවම කටයුතු කළ තමන් හොඳින් දන්නා බව ද  ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

බ්‍රහස්පතින්දා පස්වරුවේ විමල්ගේ කණ්ඩායම තවත් විශේෂ හමුවක් ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූහ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක පක්ෂ නායකයෝ එම සාකච්ඡාවට සහභාගි වූහ. එහෙත් ආරම්භයේ දී වීරවංශ පාර්ශ්වයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සාකච්ඡාව මගහැර ඇතැයි තහවුරු නොකළ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජනබල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් මේ සඳහා එකතු වී ඇති අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරසිංහ  සහ ටිරාන් අලස් යන අය ද සුපුරුදු පරිදි මීට සහභාගී වී තිබේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ ඉදිරියේ සාකච්ඡා කරන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද අසන්නට ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණ ද කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ පිරිස අතරට එක්විය. සිය මන්ත්‍රීවරුන් කොවිඩ් එන්නත ලබාගන්නේ, රටේ සියලු ජනතාවට එන්නත ලබා දී සම්පූර්ණ කරන විටදී බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේය. කෙසේ වෙතත් ගෙවුණු සතියේ ජනතා විමුක්ති පෙරමුණ  දේශපාලන පළිගැනීම් කොමිසම පිළිබඳ අර්බුදය සිය ප්‍රධාන දේශපාලන මාතෘකාව බවට පත්කරගෙන තිබුණි. බ්‍රහස්පතින්දා කොළඹ හයිඩ් පිටියේදී කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහිව යන තේමාව යටතේ එම විරෝධතා රුලියක් ද ඔවුහු පැවැත්වූහ. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීහු රුසක් එක්ව සිටියහ.

එහිදී මෙම කොමිසමෙන් බලපෑමට ලක්ව ඇති ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය. "තමන්ගේ ඥාතීන්ට හා රාජපක්ෂ ගැත්තන්ට ඇති නඩු ඉවත්කර ගැනීම තමයි මෙම ජනාධිපති කොමිසම පත්කිරීමට එක හේතුවක් වුණේ. දැන් මේ කල්ලියට විරුද්ධව මහාධිකරණයේ නඩු 150ක් පමණ තිබෙනවා. මා ඇතුළු පුද්ගලයන්ට විරුද්ධව විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. ජනාධිපති කොමිසමට පුළුවන් වසර 7කට නොවැඩි කාලයකට ප්‍රජා අයිතිය අහෝසි කරන්න."

එක්සත් ජාතික පක්ෂය ද දේශපාලන පළිගැනීම් සම්බන්ධව කතාබහේ පාර්ශ්වකරුවෝ වී සිටිති. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවට ද හේතුව මෙය බව කියැවුණි. මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයාගේ නිවෙසේදී මෙම නායකයන් දෙදෙනා හමුවී ඇති අතර දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡාවට භාජනය වී ඇති බව සඳහන් වෙයි. 

මේ අතර හමුවේදී දේශපාලනික සාකච්ඡාවක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව තිස්ස අත්තනායක සඳහන් කර තිබුණි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය නැවත නිසි තැනට පත් කරගත යුතු බවට රට පුරාම දැන් අවශ්‍යතාවක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බදාදා මහනුවරදී කීවේය.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00