2021 ජනවාරි 09 වන සෙනසුරාදා

හෝටල් නිරෝධායනයට නාමල්ගෙන් බාල්දියක්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 322

  • පොහොට්ටුවට රිදුණු හිටපු ජනපතිගේ හින්දු සාකච්ඡාව
  • ශ්‍රීලනිපයයි කසාදයයි දෑවැද්දයි ගැන බැසිල් කියූ කතාව
  • එන්නත ගන්න කැබිනට් අනුමැතිය
  • දුමින්ද සිල්වාට පොදු සමාව ඉල්ලන ඇමැතිවරු
  • අසාද් සාලිගේ ප්‍රකාශයට දැඩි සමාජ විරෝධයක්
  • සජබ රැස්වීම උණුසුම් කළ චම්පිකගේ 43
  • අගමැති සහ ජයශංකර් වන් ටූ වන් සාකච්ඡාවක
  • හරීන් සහ රාජිතගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්

සංවාද විසංවාද මැද ගෙවුණු වසරේ පළමු දේශපාලන සතිය විසඳුම් නොලැබුණු අර්බුදය කිහිපයක් ඉතිරිව තබා ගෙවී ගියේය. නව වසරේ පාර්ලිමේන්තු කටයුතුද ඇරඹුණු අතර රතන හිමියන්ගේ දිවුරුම් දීමද සිදුවිය. භූමදාන අර්බුදය නව මාවතකට ප්‍රවේශ වූ අතර ඉන්දියාවෙන් අමුත්තෙක් පැමිණියේය. ශ්‍රීලනිප පොහොට්ටු සංවාදයද තරමක් දුරදිග යන බවද පෙනෙන්නට තිබුණි. සජබය සහ ජවිපෙ සුපුරුදු විරෝධය තීව්‍ර කරද්දී නැවත රන්ජන්ද කරළියේ වීර චරිතයකට පණ පොවන්නට විය. තවත් පක්ෂ විපක්ෂ අභ්‍යන්තර සාකච්ඡා රැසක් පැවැත්විණි.

ඉන්දියාවේ ද හින්දු පුවත්පතට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී කියැවුණු කරුණු පොහොට්ටුවේ ලොකු තැන්වලට ඇතිකළේ පීඩාවකි. ලංකාවේ ඇතුළත ප්‍රශ්න පිළිබඳව විදේශීය මාධ්‍ය සමඟ සාකච්ජා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේ එබැවිණි. යම් ප්‍රශ්නයක් තිබේ නම් එය සාකච්ජා මාර්ගයෙන් ආණ්ඩුව ඇතුළේම විසඳාගත හැකිව තිබූ බවද ඔහු ප්‍රසිද්ධියේ කීවේය.

ඒ අතර ශ්‍රීලනිප පිරිසක් සජබ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කළ බවට පැතිර යමින් තිබූ කතාවද දේශපාලන කරළියේ කතාබහට ලක්වූයේය. ඒ අතර සමගි ජන බලවේගය සමඟ එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම පක්ෂය විසින් ආරාධනා කළ බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පිළිගත්තේය.

තමන් විසින් මෙම ආරාධනාව සිදුකළ බව කී ඔහු පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොදුජන පෙරමුණ විසින් හූ තැබූ බවත් ඡන්දයෙන් පසු ඊට වඩා අපහාස කරමින් ඇති බවත් සඳහන් කළේය. එසේම පොහොට්ටුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට කිසිදු ඇමතිකමක් නොදී කෙනෙහෙලිකම් කරමින් ඇති බවත් කී කබීර් හෂීම් මහතා දැන් ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය රුකගෙන හොඳ දේශපාලන පක්ෂයක් සමඟ එකතු විය යුතු බවද කියා සිටියේය.

බැසිල් රාජපක්ෂගෙන්ද මෛත්‍රීගේ ප්‍රකාශ සම්බන්ධව මාධ්‍ය විමසා සිටියේ මේ අතරය. ඔහු ලබාදී තිබුණේ අපූරු පිළිතුරකි. කසාද බැන්දට පසු දෑවැද්දට ගෙනාපු දේ ගැන කතාකරන එක වැඩක් නැතැයිද රණ්ඩු වෙන්නේ නැතිව වැඩකටයුතු කළ යුතු යැයිද ඔහු කියා තිබුණි. එසේම මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය දැක්වූ සහයෝගය කිසිසේත් අවතක්සේරු නොකරන බවත් දේශපාලනයේ සදාකාලික හතුරෝත් මිතුරෝත් නැති බවත් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ජනවාරි 04 වැනි සඳුදා සවස පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවද සුවිශේෂී විය. විපක්ෂයේ කටයුතු සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගැනීම පිණිස පැවති මෙම හමුව සජබයට අලුතින් එක්වූ පාඨලී චම්පික රණවක හේතුවෙන් උණුසුම් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මතුකළ පැනයක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය මන්ත්‍රී කණ්ඩායම තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. චම්පික රණවක මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කොට ඇති 43 ව්‍යාපාරය කුමක්දැයි ඔහු ප්‍රශ්නය කර ඇත.

සමගි ජනබලවේගයට සෘජුව එක්වීමට අකමැතිවූවන් ඊට සම්බන්ධ කරගැනීම ඒ හරහා සිදුවන බව එවිට චම්පික රණවක මහතා පවසා ඇති බව කියැවේ. එවිට සරත් ෆොන්සේකා, ඉමිතියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පාඨලීගේ මෙම දේශපාලන ව්‍යාපාරයට සිය විරෝධය පළකර තිබේ. කුමන දේශපාලන ව්‍යාපාරයක් වුවද පක්ෂයට අනුබද්ධ සංවිධානයක් ලෙස පවත්වාගෙන යා යුතු බව ඔවුන් පවසා ඇත. මෙහිදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරා නිදහසට කරුණු කීමට උත්සාහ දරා ඇති මුත් මන්ත්‍රී කණ්ඩායමෙන් ඊට විරෝධයක් එල්ල වූ බව කියැවේ.

චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස්වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ ඇයිදැයි පිරිසක් විමසා ඇත. එසේම මැතිවරණ අවස්ථාවේදී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයකු නායකයා යැයි කිව්වොත් කුමක් වේදැයි සරත් ෆොන්සේකා මහතා විමසා ඇති බවද කියැවේ. ඒ අනුව අවසානයේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය ජයගෙන තිබේ. පක්ෂයේ වෙනම කණ්ඩායම් බිහිකිරීම පක්ෂ විරෝධී කටයුත්තක් බව ඔවුන්ගේ තීන්දුව වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා කියා ඇත්තේ මේ මොහොතේ පක්ෂය සමඟ එක් නොවන පිරිස් අනාගතයේ එක්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.
ජනවාරි 4 වැනිදා කැබිනට් මණ්ඩලය මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. සුවිශේෂී තීරණ කිහිපයක්ද මෙහිදී ගනු ලැබුවේය. කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් - 19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම් ගතවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එසේම විද්‍යුත් හා නව මාධ්‍යද ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි. කෙසේ වෙතත් සුපුරුදු පරිදි කැබිනට්ටුව උණුසුම් කළේ මුස්ලිම් භූමදානය ඉල්ලීමේ කතාවයි. මෙහිදී සුපුරුදු පරිදි ඇමැතිවරු විවිධ අදහස් පළ කරන්නට වූහ. කෙසේ වෙතත් අවසානයේදී ජනපති ප්‍රකාශ කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව විද්වත් කමිටුව විසින් ගත යුතු බවයි. ඒ අනුව විද්වත් කමිටු වාර්තාව ඉදිරිපත් වීමෙන් පසු භූමදානය සම්බන්ධයෙන් ආණ්ඩුව අවසන් තීන්දුව ගනු ඇති බව කියැවේ.

නව වසරේ ආණ්ඩුවේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද කැබිනට් රැස්වීමෙන් පසු පසුගිය සඳුදා (04) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීම නිමාවීමෙන් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොසිටීම සුවිශේෂී විය. ජනාධිපතිවරයාට විශේෂ රැස්වීමකට සහභාගී වීමට ඇති නිසාවෙන් මේ සඳහා සහභාගී නොවෙන බව කියැවුණි. එනිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මූලාසනය දැරුවේය.

මෙම හමුවේදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදේශීය ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ගෙන්වා ගතයුතු බවත් ඔවුන් නිරෝධායනය සඳහා හෝටල්වලින් සහන මිලක් ලබාදිය යුතු බවත් එසේ නොමැති නම් නිවෙස්වල නිරෝධායන සඳහා ඉඩ දිය යුතු බවත් ප්‍රකාශ කර ඇත. මෙම ගැටලුවට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාත් මැදිහත් වී ඇති බව කියැවේ. ඔහු යෝජනා කර ඇත්තේ, දැනට මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවත්වා රජය විසින් නොමිලේ සියලු ශ්‍රමිකයන් නිරෝධායනය කළ යුතු බවයි. ඊට අමතරව පසුගිය සමයේ යම් යම් හෝටල් මගින් නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අයකිරීම් ගැනද විමර්ශන කළයුතු බවද ඔහු අවධාරණය කර ඇත.

පසුව නාමල් රාජපක්ෂ විසින් මේ පිළිබඳ සමාජ මාධ්‍යයේ සටහනක්ද තබා තිබුණි. කෙසේ වෙතත් විදෙස් ග්‍රමිකයන් පිළිබඳ කතාව දුරදිග ගොස් ඇති බව ඇතැම් දේශපාලන ආරංචි අතර කියැවුණි. එක්තරා මාධ්‍ය වාර්තාවකට අනුව මෙහි අතුරු කතාවක්ද අසන්නට ලැබුණි. අප වෙත තහවුරු නොවූ මුත් ඒ කතාව මෙසේය. අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ තරුණ මැති ඇමතිවරුන් කිහිපදෙනකු ජනාධිපතිවරයා හමුවී ගොස් තිබේ. කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, රොෂාන් රණසිංහ ඇතුළු මැති ඇමතිවරු මෙම කණ්ඩායම් සාමාජිකයෝ වූහ. ඔවුන් ජනපතිට කියා ඇත්තේ වසංගතය සමයේ ලාභ ලැබීමේ අරමුණින් කටයුතු කරන ආණ්ඩුවේම හිතවතුන් කිහිපදෙනකු නිසාවෙන් ජනපතිද ආණ්ඩුවද පහසුතාවට පත්වන බවයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ කළ ඉල්ලීමක් මත ජනාධිපතිවරයා ඔහු ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනා  05 දා ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වෙන ස්ථානයට කැඳවා ආරක්ෂක ප්‍රධානීන් ඉදිරියේ කරුණු දක්වන්නට අවස්ථාව සලසා දී තිබේ. අදාළ වාර්තාවට අනුව එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. නිරෝධායනය සඳහා නොමිලේ හෝටල් දෙන බව ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් කියල තිබුණා. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ, එයාලා හෝටල්වලට ගෙවපු සල්ලි ආණ්ඩුවට අරගෙන කියලා. සමහර හෝටල් හිමියෝ නිරෝධායන මිනිසුන්ගෙන් හම්බකළා. මිනිස්සු ආණ්ඩුවට නොසෑහෙන්න බණිනවා. එසේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසද්දී, කිසිදු හෝටල් හිමියකු රජයට නොමිලේ හෝටල් ලබා නොදුන් බව යුද හමුදාපතිවරයා කියා තිබේ.

සතියේ පාර්ලිමේන්තු කතාද දේශපාලන කරළියේ උණුසුම වර්ධනය කළේය. වසරේ පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනයේම වූයේ කලබගෑනියකි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නය කිහිපයක් නිසා මෙම උණුසුම නිර්මාණය විය. යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම, තවමත් කොරෝනා එන්නතක් ලංකාවට ගෙන ඒමට පියවර නොගැනීම සහ රටේ ආර්ථික තත්ත්වය මුල්කරගෙන ඔහු ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩු පක්ෂය ඊට පිළිතුරු ලබාදීමත් සමඟම උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. ආණ්ඩු පක්ෂය කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කොට ඇති කරගත් එකඟතා මත පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවයි. අවශේෂ කරුණු පිළිබඳ සාකච්ජා කොට කාලය නාස්ති කළ යුතු නැතැයිද ඔවුහු කියා සිටියහ.

ඒ අතර පසුගිය වසරේ ඉතිරිව තිබූ එක් ගැටලුවක් පමණක් ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේදී මුළුමනින්ම විසඳුණි. ඒ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරයේ කතාවයි. පසුගිය 5 වැනිදා අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමත් සමඟ එම කතාව සම්පූර්ණයෙන්ම නිමාවිය. පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ දිවුරුම් දීම සිදුවිය. දිවුරුම් දීමෙන් අනතුරුව රතන හිමියෝ විපක්ෂයේ මුල්පෙළ කෙළවරේ පිහිටි 20 වැනි ආසනයේ අසුන්ගෙන සිටියහ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩු තවම විසඳී නොමැත.
ආර්. දුමින්ද සිල්වාගේ පොදු සමා කතාව සතිය පුරා රට තුළ අළු යට ගිනි මෙන් විය. සමාජ මාධ්‍ය තුළ මෙම සංවාද පෙනෙන්නට තිබුණි. ඊට අමතරව මෙම සංවාදයට ආණ්ඩුවේ දේශපාලන චරිත කිහිපයක මැදිහත් වීමද කැපී පෙනුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ පිළිබඳ කතා කිරීම විශේෂිත විය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අසාධාරණයක් සිදුව ඇති බවට සාක්ෂි පැහැදිලිව ඇති බැවින් ඔහුට ජනාධිපතිවරයා විසින් සාධාරණයක් ඉටු කරන්නේ නම් එය වැරදි යැයි කිසිවකුටත් කිව නොහැකි බව ඔහු පවසා තිබුණි.

පසුගිය බදාදා විමල් වීරවංශ අමාත්‍යවරයාද දුමින්ද සිල්වා පොදු සමා කතාවට මැදිහත් විය.

දුමින්ද සිල්වාගේ නඩුවට අදාළව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ බලපෑම් එල්ල වූවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬපට නිකුත් වුණා. ඒවායෙන් තේරුම් ගන්න පුළුවන් දුමින්ද සිල්වාගේ නඩුවට බලපෑම් එල්ලවූවා කියලා. ඌවතැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දුන්නා වගේ දුමින්ද සිල්වාටත් සමාව ලබාදීමට හැකියි කියලා අපි කියනවා* යනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේය.

සතියේ දේශපාලන උණුසුම අතිශයෙන් තීව්‍ර කළ ප්‍රකාශ වූයේ අසාද් සාලිගේ ප්‍රකාශයයි. මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලුදෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා කීවේය. ඒ වන්දිය අනිවාර්යයෙන්ම ගන්නා බවද ඔහු කියා තිබුණි. තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් හා සමාන වන බවත් ආදාහනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බවත් ඔහු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට ජාතික සංවිධානය සහ ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෝ දැඩි විරෝධයක් පෑහ.

ගෙවුණු සතියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුද්‍රිත මාධ්‍යයේ පුවත්පත් කර්තෘවරුන්ට විශේෂ ආරාධනයක් කළේය. නව වසර වෙනුවෙන් හමු වී කිරිබත් කෑල්ලක් කා සතුටු සාමීචියේ යෙදීමට ලැබුණු මෙම ආරාධනාව වෙනුවෙන් කතුවරු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා හමුවූහ. ජනවාරි 6 වැනිදා උදෑසන විපක්ෂනායක කාර්යාලයේ පැවැති මෙම හමුවට සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ රාජිත සේනාරත්න යන සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ද පැමිණ සිටියහ.

නව වසර වෙනුවෙන් සුභපතා ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස පක්ෂයේ නව ව්‍යවස්ථාව පිළිබඳ කරුණු කියන්නට වූහ. පක්ෂයේ නිලධාරීන්, සංවිධායකවරුන් පත්කිරීම පිළිබඳවද මෙහිදී කරුණු රැසක් හෙළිවිය. එසේම ජාතික සමගි සන්ධානය නිර්මාණය වන ආකාරය පිළිබඳවද කරුණු කීවේය. එසේම පක්ෂයේ තනතුරු හිතවත්කම්වලට සිදු නොකරන බවත් කුසලතාවයට මුල්තැන දෙමින් සිදුකරන බවත් කී සජිත් ප්‍රේමදාස මහතා සියලු පත්කිරීම් සාමූහික සිදුකරන බව පැහැදිලි කළේය. පසුගිය වසර පැවැති අභියෝග ගැන කතා කරන්නට වූ විපක්ෂ නායකවරයා කොවිඩ් වසංගත පාලනය ආණ්ඩුවට මීට වඩා හොඳින් කළ හැකිව තිබූ බව පැවසීය.

මෙහිදී කතුවරුන් අතරින් නැගුණු ප්‍රශ්නය කිහිපයකටද ප්‍රේමදාස මහතා පිළිතුරු බැන්දේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්නට ආරාධනා ලැබුණහොත් කුමක් කරන්නේ දැයි ඇසූවිට නෑ නෑ අපි පක්ෂයක් හදලා තියෙන්නේ සමගි ජනබලවේගය දේශපාලන අම්බලමක් නොවෙයි කියා හෙතෙම කීවේය. කැමති නම් ඕනෑම කෙනකුට තමන් හා එකතු විය හැකි බව මෙහිදී කියවිණි. මෙහිදී පළාත් සභා ක්‍රමය පිළිබඳ පැනයක්ද මතුවිය. දහතුන ධන කිරීමට හෝ සෘණ කිරීමට ඕනෑ නැතැයිද මේ තියෙන විදිහට තිබෙනු ඇතැයිද ප්‍රේමදාස මහතා කීවේය. එවිට කතුවරුන් අතරින් නැගුණේ ඒ කියන්නේ ඉඩම් බලතල පොලිස් බලතල දෙන්න කැමතිද? යන පැනයයි. මං කියන්නේ මේ තියෙන විදියට තියන්න කියලා යනුවෙන් ඊට පිළිතුරු ලැබුණි. මෙහිදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවද අවධාරණය විය.

ලංකාවට පැමිණි ඉන්දීය අමුත්තා හේතුවෙන්ද දේශපාලන කථිකාවක් පසුගිය සතියේ නිර්මාණය විය. තෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ජනපති අගමැති විපක්ෂනායක ඇතුළු බොහෝ දෙනෙකු හමුවූවේය. 

සුබ්‍රමනියම් ජයශංකර් මහතා ජනපති හමුවූයේ බදාදා දිනයේය. මෙම හමුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් එක්වූහ. මෙහිදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳවද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳවද, කොවිඩ් එන්නත පිළිබඳවද, ඉන්දු-ලංකා සංචාරක කර්මාන්තය සම්බන්ධවද සාකච්ඡා ඇතිවිය.

එන්නත් පිළිබඳ කතාබහේදී ජනපති ලලිත් වීරතුංග මහතා මෙරට එන්නත්කරණ කමිටුවේ සභාපති ලෙස ඉන්දීය විදේශ ඇමතිවරයාට හඳුන්වා දුන්නේය. ඉන්දීය එන්නත ලබාගැනීම සම්බන්ධව ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. එහිදී ඉන්දියාවේ එන්නත් විදේශයන්ට ලබාදීමේ ප්‍රමුඛතාව ලංකාවට ලබාදෙන බව සුබ්‍රමනියම් ජයශංකර් මහතා පොරොන්දු විය. එසේම ලලිත් වීරතුංග මහතාට මේ පිළිබඳ ගනුදෙනු කිරීමට විශේෂ නිලධාරියකු ඉන්දියාවට ගිය පසු පත්කරන බවට ඔහු පොරොන්දු විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ්‍රමනියම් ජයශංකර් මහතා වෙනුවෙන් පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රයක් අරලියගහ මන්දිරයේදී සංවිධානය කළේය. මීට සහභාගී වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් කිහිපදෙනෙක් පමණි. රාත්‍රී භෝජනය අතර වන් ටූ වන් සාකච්ඡාවක් ශ්‍රී ලංකා අගමැති සහ ඉන්දීය විදේශ ඇමැති අතර පැවතියේය. එහි සාකච්ඡා වූ කරුණු කරළියට නොආවේය.

විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද බදාදා (06) සිදුවිය. මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබාදුන් අනුග්‍රහය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවට ස්තූති කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පිරිස හමුවීමටද ඉන්දීය විදේශ ඇමතිවරයා කටයුතු කළේය. දහතුන්වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කරන ලෙසත් පළාත් සභා ජන්දය සඳහා බලපෑම් කරන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ පිරිස ඉන්දියාවෙන් ඉල්ලා තිබුණි.  මෙහිදී ඉන්දීය විදෙස් ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මහතා මෙරට දමිළ පක්ෂවලට අවවාදයක්ද දුන්නේය. ලංකාවේ දෙමළ පක්ෂ වෙන්වී කටයුතු කරනු වෙනුවට එකතු වී කටයුතු කිරීමට පුරුදු විය යුතු බව ඔහු කියා තිබුණි. මීට අමතරව මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමටද සුබ්‍රමනියම් ජයශංකර් මහතා කටයුතු කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත්, ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගය විසින් බ්‍රහස්පතින්දා විරෝධතාවයක් සංවිධානය කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට පැවති විරෝධයට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ ප්‍රබලයන් රැසක් සහභාගී වූහ.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කතා ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය. පාර්ලිමේන්තුවට ආහාර සපයන අංශයට සම්බන්ධ පුද්ගලයකුගේ දියණියකට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම සේවකයා සම්බන්ධව පාර්ලිමේන්තු ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සිදුවිය. සිකුරාදා වනවිට කොරෝනා රෝගය වැළඳුණු ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට දයාසිරි ජයසේකර මහතා ඉතිහාසයට එක්විය. රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට හික්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද වාර්තා විය.

 චමිඳු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00