2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

අලි සබ්‍රි අමාරුවේ දැමූ අම්මාගේ ප්‍රශ්නය

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 919

  • පවිත්‍රාට එරෙහිව විශ්වාසභංග පසුපස කැබිනට් සංශෝධනයක්
  • ජනපති දිනකට පැය 16ක් වැඩ
  • ජනාධිපති කොමිසම සමඟ ගැටුණු සජබ මන්ත්‍රීලා උසාවියට
  • අලුත් ආණ්ඩුවේ පළමු අයවැයේ දේශීය ආකෘතියක්
  • කරැ ජයසූරියගේ වයස ගැන නවීන් කතා කරයි
  • කබීර් හෂීම්ගෙන් අයවැයේදී විශේෂ කතාවක්

කොවිඩ් මැද මන්දගාමී වූ දේශපාලන කරළියේ රැඟුම් යම් පමණකට සුපුරුදු රිද්මයට පැමිණීම පසුගිය සතියේ සිදුවිය. 2021 අයවැය ප්‍රමුඛ දේශපාලන සංවාද අතර අවශේෂ වශයෙන් තවත් දේශපාලන සංවාද විසංවාද කිහිපයක්ද නිර්මාණය විය. කොවිඩ් මර්දනය වෙනුවෙන් ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදී තිබූ අතර විපක්ෂය අරගල කිහිපයක් වෙනුවෙන් මාතෘකා සොයාගැනීමට සමත්කම් දැක්වීය.

2021 අයවැය විවාදය පිළිබඳ තීරණයක් ගැනීම වෙනුවෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රුස්වූහ. ඒ අනුව නොවැම්බර් 9 වැනි සඳුදා පැවති මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රුස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. කොවිඩ් හේතුවෙන් අයවැය විවාදය දවස් පහළොවකට දහසයකට සීමා කළ යුතු යැයි ආණ්ඩුව අදහස් කර තිබිණි.  ඒ අතර පාර්ලිමේන්තු කටයුතු කොවිඩ් මැද පවත්වාගෙන යාම, කාර්යමණ්ඩල ගැටලු ආදිය පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවිය. 

කෙසේ නමුත් රටේ ආර්ථිකයේ කඩාවැටීමක් පවතින නිසාවෙන් දින 28ක් අයවැය විවාදයට අවැසි බව විපක්ෂ සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුව පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තරයේ කියා සිටියේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත අයවැය විවාදය සීමා කළ යුතු බවය. මේ සමඟ රුස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. විපක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, අනුර කුමාර දිසානායක ආදී පිරිසක් සටනට මුලපුරා සිටියහ. අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය වෙනුවෙන් දින 7ක් ද කාරක සභා අවස්ථාවේදී දින 21ක් ද අවැසි බව විපක්ෂය එක හඬින් කියා සිටියේය. 

අයවැය විවාදයට දින 12ක් ලබා දිය හැකි බවත් එයින් වැඩි කාලයක් විපක්ෂයට ලබා දිය හැකි බවත් කී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සිය මතය වෙනස් නොකළේය. ඒ සමඟම සාකච්ඡාව විවාදයක් බවට පෙරළුණි. මේ අතර ආණ්ඩුව පාර්ශ්වයෙන් පිරිස මීට මැදිහත් වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ රටේ තීරණාත්මක අවස්ථාවලදී අයවැය විවාදය දින 12කට සීමා කිරීම මීට පෙරද සිදුවී ඇති බවය. කෙසේ නමුත් විපක්ෂයෙන් මීට එකඟතාව පළ නොවිණි. සෞඛ්‍ය උපදෙස් ගෙනහැර පාමින් ආණ්ඩුවේ පිරිස තර්ක කළ අතර &එන්න බය නම් ගෙදර ඉන්න* කියා විපක්ෂය කියන්නට විය. මේ අනුව 9 වැනිදා සවස 2ට පමණ ආරම්භ වූ මෙම රුස්වීමේදී නිසි එකඟතාවකට පැමිණීමට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට නොහැකි විය. 

අයවැය විවාදය පිළිබඳ අවසන් තීරණය ගැනීමේ අරමුණින් නැවත නොවැම්බර් 11 වැනිදා පක්ෂ නායකයෝ රැස්වූහ. පෙර මෙන්ම කඳවුරු දෙක සිය මතවල එළැඹ සිටියේය. මෙම විවාදය අවසානයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැදිහත් විය. දෙපාර්ශ්වයේම යෝජනා සලකා දින 20කට මෙම විවාදය  සීමා කිරීමට කථානායකවරයා යෝජනා කළේය. අවසානයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාගේ යෝජනාවට එකඟ වූහ. කෙසේ නමුත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තවත් ගැටලුවක් පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කළේය. ඒ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කාර්යමණ්ඩලය ප්‍රවාහනය, ආහාරපාන සැපයීම ඇතුළු ගැටලු නිසාවෙන් රාත්‍රී අට වනතුරු විවාදය පැවැත්වීමේ දුෂ්කරතාවයයි. ඒ අනුව පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට අවසානයේ තීරණය විය.

අයවැය විවාදය පිළිබඳ මෙලෙස මතගැටුම් නිර්මාණය වන විට 2021 අයවැය සකස් කිරීම ආණ්ඩුව අභ්‍යන්තරයේ සිදුවිය. මෙවර ජනාධිපති ලේකම් කාර්යාලය මෙම කටයුත්ත වෙනුවෙන් වැඩි බරක් යොදනු ලැබීය. ඒ අනුව ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මෙවර අයවැය සැකසීමේ පුරෝගාමීහු වූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් සහ යෝජනා එකතු කරමින් අයවැය කෙටුම්පත් කිරීම ඔවුහු සිදු කළහ. ඒ අනුව මෙවර සකස් වූයේ සංවර්ධනය අභිමුඛ අයවැයකි. සුපුරුදු ලෙස විශාල සහන පැකේජයක් මෙවර අයවැයේ අන්තර්ගත නොවිණි. කෙසේ වෙතත් කොවිඩ් ජයගැනීමත් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමත් දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කර ගැනීමත් මෙවර අයවැයේ මූලික පරමාර්ථය අතර විය. 

සතිය ආරම්භයේදීම සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් අර්බුදයකට මැදිවූහ. ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ ඉකුත් යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කිරීමය.  මෙම චෝදනාව යටතේ හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, මයන්ත දිසානායක, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ට එරෙහිව අභියාචනා අධිකරණයට රපෝර්තු කිරීමට කොමිසම තීරණය කරනු ලැබීය. මීට අදාළ සිදුවීම් පෙළ නිර්මාණය වූයේ ඉකුත් නොවැම්බර් 6 වැනිදාය. මෙම මන්ත්‍රීවරුන් පිරිස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරීත්වයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කළහ. පසුව ඉන් පිටතට පැමිණි ඔවුහු තරමක් උණුසුම් අදහස් දැක්වීමක් සිදු කළහ. කොමිසම තමන්ට සිදුවූ අපහාසයක් ලෙස දුටුවේ මෙම අදහස් දැක්වීමය.

ඒ අනුව පළමුව සිදුවූයේ  අදාළ මන්ත්‍රීවරුන් පිරිස සඳුදා (09) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට කැඳවීමය. එදින ඔවුන් සමඟ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ද ජනාධිපති කොමිසම හමුවට පැමිණ සිටියහ. එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ මතය ප්‍රකාශ කළ එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අ‍බේරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීමේදී එම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපති කොමිසම් සභාවේ ආධිපත්‍යය අපහාසයට සහ අවමානයට ලක්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවය. ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරුවරයා දැනුම් දුන්නේය. මෙම තීරණය දැනුම් දීමෙන් පසු පිටතට පැමිණි රංජිත් මද්දුමබණ්ඩාර මහතා අධිකරණයේදී මෙය බේරාගන්නා බව කියා සිටියේ දැඩි ස්වරයෙනි.

කැබිනට් හමුව පැවතියේ පසුගිය 10 වැනිදාය. මෙම කැබිනට් හමුවේ සාකච්ඡා වූ කරුණක් පසුව සතියේ කරළිය උණුසුම් කරන්නට විය. ඒ කොවිඩ් හමුවේ මියයන මුස්ලිම් ජනතාවගේ සිරුර අදාහනය කිරීම සම්බන්ධ කරුණයි. මේ හා සම්බන්ධව කරුණු කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට බඳුන් විය. කෙසේ වෙතත් මේ සම්බන්ධව කැබිනට් තීරණයක් ගැනීමට ජනපති හෝ අගමැති කටයුතු කළේ නැත. ජනාධිපතිවරයා ඍජුව කියා සිටියේ මේ සම්බන්ධව තීරණය ගත යුත්තේ සෞඛ්‍ය බලධාරීන් බවය. තමන්ට හෝ වෙනත් අයකුට මීට අදාළ තීරණය ගැනීමේ හැකියාවක් නැති බව ජනපති කියා සිටියේය. 

මේ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  තමන් මේ සම්බන්ධව අවධානය යොමු කිරීමට හේතුව පැහැදිලි කළේය. මුස්ලිම් ජනතාව සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති බව කියා සිටි ඔහු තමන් මේ සම්බන්ධව සිදු කරන්නේ බලපෑමක් නොවන බව පැහැදිලි කළේය. එසේම මුස්ලිම් ජනතාවගේ ආගමික සංස්කෘතික විශ්වාසය පිළිබඳව ද පැහැදිලි කළ හෙතෙම සුවිශේෂී කතාවක් කීවේය. මගේ අම්මා තාම ජීවතුන් අතර ඉන්නේ. එතුමිය මට කතා කරලා ඇහුවා පුතේ උඹ අධිකරණ ඇමැති, මමත් මැරුණොත් පුච්චනවාද කියලා. මට දෙන්න උත්තරයක් නැති වුණා. මේක සංවේදී කාරණාවක්. මම බල කරන්නේ නෑ. සලකා බලන්න කියලා ඉල්ලන්නේ. ආදී වශයෙන් ඔහු අදහස් දක්වා තිබුණි. මේ අනුව වියළි කලාපයේ මන්නාරම, වව්නියාව ආදී ප්‍රදේශවල සිරුරු භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ කතාබහක් ඇතිවිය. කෙසේ නමුත් මේ හා සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණයක් ගැනීම සිදු නොවුණි.

බදාදා වන විට සිංහල ජාතික සංවිධානය සහ භික්ෂූන් වහන්සේලා රුසක් මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානයට ඉඩකඩ ලබාදීමට යන බවට ආණ්ඩුව වෙත චෝදනා එල්ල කළහ. රටේ එක නීතියක් තිබිය යුතු බව උන්වහන්සේලා කියා සිටි අතර කොවිඩ් සිරුරු භූමදානය හරහා අනාගතයේ ගැටලු මතුවිය හැකි බවට වූ සෞඛ්‍ය සහ භූ විද්‍යාත්මක මත ගෙනහැර පෑහ. මෙම මත දැක්වීම උණුසුම් වීමට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නිකුත් කළ ලිපියක් හේතු විය. එයින් භූමදානයට අවසර දීම සම්බන්ධව ජනාධිපතිට ස්තූති කර තිබුණි. කෙසේ වෙතත් ආණ්ඩුව කියා සිටියේ මේ දක්වා අවසර ලබාදීමක් සිදු වී නොමැති බවය. මේ අතර අමාත්‍ය අලි සබ්‍රි ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යයේ දැඩි ප්‍රහාරයක් දියත් විය. අවසානයේ ඔහු සිය මුහුණුපොතට මෙවන් සටහනක් එක්කර තිබුණි. "සුළුතරය වූ පමණින්ම මතයක් සාවද්‍ය නොවේ. බහුතරය වූ පමණින්ම මතයක් නිවැරුදි ද නොවේ! මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදී ද නොවේ. ගිරිය පුප්පාගෙන  කෑගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවේ." යනුවෙනි.

මේ අතර බදාදා (11) සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීම තරමක් සුවිශේෂී විය. මෙහිදී  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව  විශ්වාසභංගයක් ගෙන ඒමට යෝජනා සම්මත කර ගත් බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. එසේම අදාළ විශ්වාසභංග යෝජනාවට සෙසු පක්ෂවල සහාය ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට ද තීරණය කර ඇති බව කියැවුණි. කෙසේ වෙතත් ඉතා කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත බාරදීමට නියමිතව ඇතැයි ද කියැවේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා මේ සම්බන්ධව කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු ඇත. මීට අමතරව අයවැය විවාදය පිළිබඳව ද මෙම කණ්ඩායම් හමුවේදී සාකච්ඡාවට ගෙන තිබේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය දේශපාලන වශයෙන් ඉදිරියේ දී කාර්යබහුල වන බව පෙනී යයි.

මේ අතර කැබිනට් සංශෝධනයක් පිළිබඳ සහ නව පත්කිරීම් පිළිබඳව ද විවිධ ආරංචි පසුගිය සතියේ පැතිර ගියේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද කැබිනට් මණ්ඩලයේ සීමාව 30කට සීමා වී තිබෙන නිසා තවත් අමාත්‍යවරුන් කිහිප දෙනකු පත් කිරීමට හැකියාව තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරිය සම්බන්ධව විස්වාභංගය පිටුපස මෙම සංශෝධන ආරංචිය ද වන බව ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සියලු ආරංචි, කතාබහ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දනය වෙනුවෙන් සිය කාලය සම්පූර්ණයෙන් කැප කරමින් සිටියේය. දිනකට පැය 16ත් 18ත් අතර කාලයක් අඛණ්ඩව ජනාධිපතිවරයා කොවිඩ් මර්දනය සහ ආර්ථිකය පවත්වාගෙන යාම සම්බන්ධව කටයුතු වෙනුවෙන් කාර්යබහුලව සිටින බව දැනගන්නට ලැබුණි. ජනාධිපතිවරයා දෛනිකව රුස්වෙන කොවිඩ් කාර්යසාධන බලකාය සමඟ එක්ව වැදගත් තීරණයක් මෙම සතියේද ගනු ලැබුවේය. කෙසේ නමුත් රට වසා දැමීම සම්බන්ධව විවිධ පාර්ශ්ව සිදු කරන ඉල්ලීම් ජනපති ප්‍රතික්ෂේප කළේය. දෛනික ආදායම් ලබන ජනතාවගේ ජීවනෝපාය පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අවධානය යොමුවී තිබුණි. ඒ අතර කොවිඩ් සඳහා වන එන්නතක් ගෙන්වීම සම්බන්ධව සාකච්ඡා පැවැත්විණි. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවන්නේ නම් එම එන්නත ගෙන්වීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව බ්‍රහස්පතින්දා (12) පාර්ලිමේන්තුවේදී සම්මත විය. උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 අයවැය කතාව ඉදිරිපත් කළේය. රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අයවැය කතාව සිදු කරමින් පැවසුවේය. තවද රට විශාල ණය උගුලක පැටලී, ණය සේවා පැහැර හරින රටක් වන බවට විපක්ෂය සහ ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදෙස් විශේෂඥයන් පුරෝකථනය කළ අඳුරු චිත්‍රය වෙනුවට සිය රජය විදෙස් ණය ඇතුළු සියලු ණය ගෙවූ බව අග්‍රාමාත්‍යවරයා  අවධාරණය කළේය. අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. 

විවිධ අදහස් දැක්වීම් සිදුවූ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා  විශේෂ කතාවක් සිදු කළේය. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු වසර 73ක කාලය තුළ මෙතෙක් ලබාගෙන ඇති වැඩිම ණය ප්‍රමාණය මෙම වසරේ දී ලබාගෙන ඇති බව  ඔහු පැවසීය. ඊට අමතරව රජයේ බදු ප්‍රතිපත්තිය ඉතා අවිධිමත් එකක් බවත් වෘත්තීය ප්‍රමිතියකින් තොර, නොගැලපෙන, ආධුනික, මනෝකල්පිත මූල්‍ය න්‍යායක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජයේ බදු ආදායම අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. මන්ත්‍රීවරයාට අනුව එම පාඩුව  රු. කෝටි 60,000ක පාඩුවකි. 

කෙසේ වෙතත් විපක්ෂයේ විරෝධය සටහන් කර ගැනීමෙන් අනතුරුව දෙවැනි වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන රුසක් ද ඊට එක් විය. ඒ අනුව 2020 විසර්ජන කෙටුම්පත තෙවැනි වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ඒ අනුව 2021 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 17 වැනි දින අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව අයවැය විවාදය දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වේ. බ්‍රහස්පතින්දා 2021 අයවැය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉඟියක් ලබා දුන්නේය. 2021 අයවැය කතාව ඔස්සේ ලබන නොවැම්බර් 17 වැනිදා සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇතිකිරීමේ යෝජනාව රට හමුවේ තබන බව ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීම ද සුවිශේෂී සිදුවීමක් විය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 2015 වසරේ නොවැම්බර් මස 13 වැනිදා එම කොමිෂන් සභාව ස්ථාපිත කර තිබුණි. එහි සභාපතිත්වය මහින්ද දේශප්‍රිය මහතා දැරෑ අතර සෙසු සාමාජිකයන් වූයේ මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන්ය. කෙසේ වෙතත් නිල කාලය අවසන් වුවද නව කොමිසමක් පත් කරන තුරු සභාපතිවරයාට කොමිෂන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව පවතී. දැනට ලැබූ ඇති තොරතුරු අනුව නව සභාපතිවරයා ලෙස වත්මන් කොමිෂන් සභාවේ නීති ලේකම් නිමල් ජී. පුංචිහේවා මහතා පත්වනු ඇති බව කියැවේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නව කොමිෂන් සභාවට සාමාජිකයන් පස් දෙනකු පත්වීමට නියමිත අතර ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට යෝජනා කරනු ඇත. පසුව සභාවේ නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු පත්වීම් සිදුවේ. 

ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ දෙස ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ අවධානයක් පසුගිය සතියේ පෙනෙන්නට තිබුණි. ඔවුහු පක්ෂ මූලස්ථානයේ 11 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවක දී ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් එල්ල කළහ. කොරෝනා වසංගතයේ වැරදිකරුවන් බවට ජනතාව පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ඔවුන්ගේ චෝදනාව විය. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සම්බන්ධව කරුණු පැහැදිලි කළේය. මෙවර වසංගතයේ ව්‍යාප්තියට වගකිව යුත්තේ ජනතාව නොව ආණ්ඩුව බව හෙතෙම අවධාරණය කළේය. නිසි වැඩපිළිවෙළක් නොවීම හරහා ජනතාව පීඩාවට පත්වී සිටින බව පැවසූ ඒ මහතා ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්ඩුව හිතවත් ව්‍යාපාරිකයන් සමඟ එක්ව කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන ඇති බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයේ නවීන් දිසානායක මහතා පසුගිය සතියේ හඬ අවදි කර තිබුණි. එක්සත් ජාතික පක්ෂය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට අවශ්‍ය බවත් එය කළ යුතු ආකාරය පිළිබඳ තමා කෘත්‍යාධිකාරී මණ්ඩලයට අදහස් පළ කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. "රනිල් වික්‍රමසිංහ මහතාට පස්සේ පක්ෂ නායකත්වය දරන්න ඕන කරු ජයසූරිය මහතා කියලා හැමෝම කිව්වා. එතකොට වයස ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මම එතකොට කිව්වා වත්මන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ නම. එතුමා අද ජනාධිපති වෙලා. අමෙරිකානුවන්ටත් ඔහුගේ වයස ප්‍රශ්නයක් නෑ." යනුවෙන් ද ඔහු පවසා තිබුණි. තවද එක්සත් ජාතික පක්ෂයෙන් තොර දේශපාලනයක් තමන්ට නැතැයි ඔහු පැවසීය. එසේම සමගි ජන බලවේගය සමඟ එකතු වෙනවා නම් එය සිදුවන්නේ පක්ෂයක් හැටියට ගන්නා තීන්දු තීරණ අනුව බවද දිසානායක මහතා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය සතියේ චෝදනාවක් එල්ල විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එල්ල කළ මෙම චෝදනාව බරපතළ චෝදනාවකි. රෝයල් පාර්ක් ඝාතනයේ වැරදිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් මන්ත්‍රී රන්ජන් පමේ චෝදනා එල්ල කළේය. මෙහිදී මරණ දඬුවම හිමිව තිබූ ජූඩ් ශ්‍රමන්ත නැමැති අයගේ මව්පියන් කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයන් බවට පෙන්වා දුන් රන්ජන් රාමනායක මහතා නිදහස ලැබූ සැණින් ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවට ගොස් එතැනින් මැලේසියාවට ගොස් අතුරුදන් වූ බවද ඔහු පැහැදිලි කළේය.

 චමිඳු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00