2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

ජනපති ව්‍යවස්ථා පන්තියක

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 288

  • මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන්ට 20 සිංහල පිටපත්
  • 20ට එරෙහි විමල්ගේ සටන ඉවරයි
  • 20 ගැන අමරපුර - රාමඤ්ඤ මහ නාහිමිවරුන් හා අනු නාහිමිවරුන් මත දෙකක
  • මිලින්ද මොරගොඩ දූත මෙහෙවරක
  • දේශපාලන පළිගැනීම් කොමිසමෙන් සජිත්ට නොතීසි
  • කරළිය කළඹන බදුයුදීන් සොයන පොලිස් මෙහෙයුම

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ගෙවුණු සතිය තරමක් ආන්දෝලනාත්මක විය. ඊට හේතු වූ ප්‍රමුඛ කරුණු දෙකකි. ඉන් පළමුවැන්න විස්ස සම්මත කර ගැනීමට ජන්ද ලබාගැනීම සම්බන්ධව දියත් වෙමින් තිබූ මෙහෙයුමයි. දෙවැන්න වූයේ පිළිගත් විවිධ සමාජ සංවිධාන සහ ආගමික නායකයන් තුළින් විස්ස පිළිබඳ මතු වූ අදහස්ය. 

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සිටියේ ආණ්ඩුව සමඟ නොරොක් වූ සිතිනි. ඊට ප්‍රමුඛ හේතුව වූයේ අභිනව ආණ්ඩුවේ ඔහුට කැබිනට් අමාත්‍ය ධූරයක් නොලැබීමය. මෙම කරුණු කාරණා ද හේතු කොටගෙන විජයදාස රාජපක්ෂ මහතා විස්ස ගැන ජනපතිට ලිපියක් යැවීය. විසිවැනි සංශෝධනය සිදු නොකළ යුත්තක් බවත් කරන්නට ඇත්තේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම බවත් ඔහු එහි දක්වා තිබුණි. 

මේ අතර හිටිහැටියේම රාමඤ්ඤ සහ අමරපුර යන ප්‍රධාන නිකායන් දෙකෙහි සංඝ සභාවේ ලේඛකාධිකාරී හිමිවරුන් දෙදෙනා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ. සමස්තය ලෙස එයින් ද විසිවැනි සංශෝධනය රටට නොගැලපෙන බවත් සංශෝධනය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවත් කියැවුණි. මෙය කිසිසේත්ම ආණ්ඩුවේ ප්‍රබලයන් අපේක්ෂා නොකළ තත්ත්වයක් විය. ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරීහු මෙම ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව සොයා බලන්නට වූහ.

පළමුවෙන්ම මෙම ප්‍රධාන නිකායන් දෙකෙහි ගිහි උපදේශකවරුන් සම්බන්ධ කරගෙන ඔවුහු තතු විමසා සිටියහ. අමරපුර සංඝ සභාවේ ප්‍රධාන ගිහි උපදේශකවරයා ලෙස කටයුතු කරමින් සිටියේ මිලින්ද මොරගොඩ මහතාය. නිකාය ආරක්ෂක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ප්‍රකට ව්‍යාපාරික අජිත් සොයිසා මහතාය. ජනාධිපති, අගමැති ඇතුළු පිරිස සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි ඔවුන්ගේ විමසූහ. එහෙත් ඔවුන් දෙදෙනා සහ දායක සභාවේ පිරිස මෙම ප්‍රකාශය පිළිබඳ නොදැන සිටියහ. අනතුරුව ඔවුහු මහ නාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ විමසූහ. 

මෙම කටයුත්තට මූලික වූ මිලින්ද මොරගොඩ මහතා  මහ නාහිමිවරුන්ගෙන් මේ පිළිබඳව විමසන විට මහ නාහිමිවරුන් ද සිදුවීම පිළිබඳව  දැන සිටියේ නැත. කෙසේ වෙතත් මහ නාහිමිවරුන් නොදැන කාරක සංඝ සභාව රැස් නොවෙන නිසාවෙන් මේ හා සම්බන්ධව අපේ දැනුවත්භාවයක් නොමැති බව පැවසූ මහ නාහිමිවරු අවශ්‍ය නම් ප්‍රකාශයක් කරන්නට වුවද සූදානම් බව පැවසූහ. මොරගොඩ මහතා ආණ්ඩුවේ ඉහළටම මෙම තොරතුරු සැල කර සිටියේය. 

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමියන් අසනීප තත්ත්වයෙන් පෙළෙන බැවින් වැඩ බලන මහා නායක ලෙස කටයුතු කරන අමරපුර මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත ගන්තුනේ අස්සජී හිමියෝ විශේෂ නිවේදනයක් නිකුත් කළහ. අමරපුර මහා සංඝ සභාව රුස්වී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතු යැයි තම පෞද්ගලික මතය බවත් උන්වහන්සේ එම නිවේදනයෙන් පෙන්වා දුන්හ. ඒ අතර රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියෝ ද ප්‍රකාශයක් සිදු කළහ. උන්වහන්සේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිකාය තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බව පැවසූහ.
මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රුගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය. එක් පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර වීම හේතුවෙන් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බව එහි  සඳහන් විය. සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රුස්වී නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථකථන සිදු කිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලනය සිය නිවේදනයේ සඳහන් කර තිබුණි.

සමගි ජනබලවේගය ද ගෙවුණු සතියේ නිවේදන නිකුත් කිරීමේ කාර්යයේ දී පසුබෑමක් නොපෙන්වීය. සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව  ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ සුවිශේෂී අවධානය යොමු වූ වී ඇති බවය. ගරුකටයුතු මහා සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුර පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක්  ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය තුළින් ගම්‍ය වන බවද එම නිවේදනයේ සඳහන් විය.

ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සමගි ජනබලවේගයට බලපෑම් කරන විශේෂ සිදුවීමක් සිදු විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විසි එක් දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් නොතීසි නිකුත් කරන ලෙස දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේය. එය සිදු වූයේ සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කොමිසමට කර ඇති පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය. කොමිසම හමුවේ  අදහස් දක්වමින් බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ පසුගිය රජයේ තමා දරණ ලද දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ධූරය ස්ථීර පත්වීමක් බවත්, එහෙත් හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සිය අත්සනින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් එම ස්ථිර පත්වීම අහෝසි කළ බවත්ය.

20 වැනි සංශෝධනය සම්බන්ධව මතුවෙමින් තිබූ විරෝධතා සහ විවිධ මත හමුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (ඉරිදා) විශේෂ හමුවකට මහනුවර බලා පිටත් වීමට නියමිතය. ඒ අනුව විසිවැනි සංශෝධනයේ සිංහල පිටපත් ද රුගෙන මහනුවරට පැමිණෙන ජනපතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් හමුවී 20 පිළිබඳව නාහිමිවරුන්ට ඇති ගැටලු විමසා බැලීමට බලාපොරොත්තුවෙන් සිටී. මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අසනීප තත්ත්වයෙන් පසුවන අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැකීමට ගියේය. ජනාධිපතිවරයා පැයක පමණ කාලයක් නාහිමියන් සමඟ කතා බස් කළේය. 

මේ වන විට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නඩු තීන්දුව දෙස සියලු දෙනා අවධානයෙන් බලා සිටිති. නිල වශයෙන් තවමත් තීන්දුව ප්‍රකාශයට පත් වී නැත. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන යම් ලේඛනයක් නම් දැකගත හැකිය. ඒ කෙසේ නමුත් අර්බුදයට තුඩු දී ඇති ද්විත්ව පුරවැසිභාවය වැනි කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇති බව දේශපාලන ආරංචි අතර කියැවේ. එසේම සංශෝධන හතරක් සඳහා ජනමත විචාරණ පැවැත්වීමට යෝජනා කර ඇති බව ද අසන්නට ලැබේ. එය එසේ වෙතත් මෙම තීන්දුව නිල වශයෙන් දැනගන්නට ලැබෙන්නේ 20 වැනි අඟහරුවාදා කතානායකවරයා තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. 

කෙසේ නමුත් විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් ලබන 20දා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයට පත් කළ යුතු වුවද, එම තීරණය මාධ්‍ය තුළ කලින් පළවීම පිළිබඳව සමගි ජනබලවේගය සිය නොසතුට පළ කළේය. විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ ඉරාන් වික‍්‍රමරත්න සඳුදා (12) මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. එම තීරණය මාධ්‍ය තුළ කලින් පළවීම මන්තී‍්‍රවරුන් පීඩාවට පත් කිරීමට කළ දෙයක් යැයි ද, ඒ පිළිබඳව පුදුම වන බවද ඔවුහු ප්‍රකාශ කළහ. 

ගෙවුණු සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා  සිය ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා අමතා මෙසේ කීවේය. "20 වැනි සංශෝධනය සම්බන්ධව එක එක්කෙනා ප්‍රශ්න කරනවා. මටත් මේකේ පැහැදිලි කරගත යුතු තැන් දෙක තුනක් තියෙනවා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයකුට කියන්න බැරිද මටයි ඔයාටයි පන්තියක් පවත්වන්න." ජනපති තමාට නීතිමය ක්ෂේත්‍ර පැහැදිලි කර ගනිමින් විස්ස පිළිබඳව ප්‍රශ්න කරමින් දැනගත යුතු කරුණු ඇති බව ලලිත් වීරතුංග මහතාට පැවසීය. වීරතුංග මහතා කටයුතු සංවිධානය බාරගත්තේය. 

ලලිත් වීරතුංග මහතා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයකු වන සංජීව ජයවර්ධන මහතා ඇමතුවේය. "ජනාධිපතිතුමා කැමතියි 20 ගැන තවදුරටත් දැනුවත් වෙන්න. බැරිද ජනාධිපති කාර්යාලයට ඇවිල්ලා අපිට පොඩි පන්තියක් පවත්වන්න." ජනාධිපති නීතිඥවරයා ඉතා සතුටින් ඇරුයුම බාරගත්තේය. ඒ අනුව පසුගිය අඟහරුවාදා සවස 4 සිට 6.30 දක්වා මෙම ව්‍යවස්ථා පන්තිය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. සංජීව ජයවර්ධන මහතා ගුරුවරයා වූ අතර ජනාධිපති සහ වීරතුංග මහතා අධ්‍යාපන ලබන්නෝ බවට පත් වූහ. ජනපතිවරයා සංශෝධනයේ සියලු කරුණු ප්‍රශ්න කරමින් තොරතුරු දැනගැනීමට උත්සුක විය. 

විගණන කොමිසම පිළිබඳව ජනපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කරන්නට විය. රාජ්‍ය සමාගම් විගණන නොකිරීම වරදක් නේද? යනුවෙන් ජනපති ප්‍රශ්න කළේය. ජනාධිපතිවරයා නීතිඥ සංජීව ජයවර්ධන මහතාට කීවේ ඊට ඇත්තේ සාපේක්ෂ පිළිතුරක් බවයි. එහි හොඳ සහ නරක දෙකම ඇති බව නීතිඥවරයා පැවසීය. මෙම වගන්තියෙහි හොඳ පැත්ත ජනපතිට පැහැදිලි කර ගැනීමට අවශ්‍ය විය.

නීතිඥවරයා උදාහරණයකින් මෙසේ කරුණු පැහැදිලි කරන්නට වූ අතර ජනාධිපතිවරයාට අලුත් කරුණු රුසක් ඒ හරහා දැනගත හැකි විය. 

“විදුලිබල මණ්ඩලයට අනුබද්ධ උප ආයතනයක් තියෙනවා, ලංකා ට්‍රාන්ස්පෝමර්ස් ලිමිටඩ් කියලා. මේක දකුණු ආසියාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රශස්ත නමක් තියෙන ආයතනයක්. දකුණු ආසියාවේ රටවල් රුසකින් මෙම ආයතනය හරහා ව්‍යාපෘති සිදු කරවා ගැනීමට විමසීම් ලැබෙනවා. අපිට ඩොලර් මිලියන ගණන් හොයන්න පුළුවන්. මේ ආයතනයේ නීති ප්‍රශ්නයක් තියෙනවා විගණන සම්බන්ධව. පිටරටකින් ටෙන්ඩරයක් ලබාගැනීමේ දී තියෙන කොන්දේසියක් තමා ස්වාධීන ආයතනයකින් විගණන සිදුවීම. ඒ කියන්නේ ලෝකය පිළිගත් පෞද්ගලික විගණන සමාගමකින් විගණන සිදුවිය යුතුයි කියන එක. ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා විගණනය කරන සමාගමකට ජාත්‍යන්තර ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් නෑ." 

කෙසේ වෙතත් මෙහි හොඳ නරක දෙකම ඇති බව ජනාධිපති නීතිඥවරයා ජනපතිවරයාට පැහැදිලි කර දුන්නේය. මේ ආදී පාඩම් රුසක් එදා ව්‍යවස්ථා පන්තියේ දී ජනාධිපති සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා උගත්හ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ද දේශපාලන ආරංචියක්  ගලා ආවේය. ඊට අනුව කියැවුණේ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වගකීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාගල රත්නායක මහතාට බාර දී ඇති බවය. සාගලa රත්නායක මහතාට ඒ සඳහා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ ද සහාය ලබාගන්නා ලෙස වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව කියැවේ. 

ගෙවුණු සතියේ රිෂාඩ් බදුයුදින් කතාවේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වූයේය. විටක කොවිඩ් වසංගතය ද පරදා බදුයුදින් වෙත ජනතා අවධානය යොමු වී තිබුණි. අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දෙනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය. එතැන් පටන් දිගහැරුණේ එම නාට්‍යයි.

2019 වසරේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සහ මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා මෙම නියෝගයට හේතු විය. වරෙන්තුවක් ලබාගැනීමට පොලිසිය අධිකරණය හමුවේ උත්සාහ කළද  වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය නැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දන්වනු ලැබීය. ඒ එම චෝදනාව පොදු දේපළ පනතට අයත් වූ නිසාවෙනි. ඒ අනුව නීතිපති නියෝග මත පොලිසීය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ විය.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් ගොනු කළහ. ඔහුට අයත් නිවාස කිහිපයක් පරීක්ෂා කරමින් පොලිස් කණ්ඩායම් හයක් මෙහෙයුම් දියත් කළද ඔහු සොයා ගැනීමට නොහැකි විය. සමාජය තුළ මීට මෙම නොහැකියාව පිළිබඳ අපහාස උපහාස මෙන්ම කලකිරීම් ද රුසක් මතුවූයේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් සිය නිල කාර්යාලය වෙත බ්‍රහස්පතින්දා කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටයුතු කරන ලෙසය. බදුයුදීන්ගේ සහෝදරයා සම්බන්ධව පොලීසියේ ක්‍රියාකලාප නිසාවෙන් නීතිපතිවරයා සිටියේ කලකිරීමෙනි.  කෙසේ වෙතත් සිකුරාදා මද්දහන වනතුරුත් බදුයුදීන් සොයා ගිය පොලිස් කණ්ඩායම්වලට ඔහුව අත්අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි. 

මේ අතර විස්ස පිළිබඳ ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලයට මූලික වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේ සටන අත හරින ලකුණු මතුවූයේය. ඒය පැහැදිලි වූයේ ඔහු කළ ප්‍රකාශයකිනි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට එම සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික මතයක් හෝ නොමැති බවත් කියා තිබුණි.
“මන්ත්‍රීවරු අකමැති නෑ. 20 වැනි සංශෝධනය කියන සමස්තයට නෙවෙයි යම්කිසි මන්ත්‍රීවරයෙක් හෝ කීපදෙනෙක්ගේ විරුද්ධත්වයක් තියෙනවා නම් තියෙන්නෙ ඒකෙ අන්තර්ගත සමහර කාරණා දෙක තුනකට තමයි. එහෙම නැතුව සමස්තයක් හැටියට රටේ ජනතාවගේ වරමින් ජනාධිපති ධූරයට පත්වෙච්ච ජනාධිපතිතුමාට මේ රටේ පොදු ජනතාව අදහස් කරන ආකාරයට මේ රට දියුණු කරන්න ඒ කාර්යක්ෂමව කටයුතු ඉදිරියට ගෙනියන්න බලය තිබිය යුතුයි කියන කාරණය ගැන කිසිම කෙනෙක්ගේ විවාදයක් නෑ" 

කෙසේ වෙතත් මෙම පසුබෑම බැසිල් පාර්ශවයේ විරෝධය හමුවේ සිදු වූ බව ඇතැම් තැනක කියැවුණි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා නමින් පවත්වාගෙන යන මුහුණ පොතේ ගිණුමක තිබූ ප්‍රකාශයක් ද දේශපාලන කරළිය උණුසුම් කළේය. විමල් වීරවංශ පිළිබඳ තරමක් සැර සඳහනක් ඇතුළත් වූ මෙම ප්‍රකාශය ආණ්ඩු හිතවතුන් අතර මුහුණුපොත් ගැටුමකට ද තුඩු දුන්නේය. කෙසේ වෙතත් මෙම ගිණුම සනත් නිශාන්ත නමින් පවත්වාගෙන යන්නේ ඔහුගේ හිතවතකු බව පසුව කියවුණි.

පාස්කු කොමිසම හරහා ඇති වූ දේශපාලන උණුසුම ගෙවුණු සතියේ සාමාන්‍යකරණය වී තිබුණි. එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හනුවේ කළ ප්‍රකාශ මාධ්‍යයේ ඉහළ අවධානයක් දිනා ගත්තේය. ප්‍රහාරයේ වගකීම ආණ්ඩු නියෝජනය කළ සියලු දෙනා භාරගත යුතු බව වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පැවසූ අතර සිරිසේන මහතා  සඳහන් කර තිබුණේ පාස්කු ප‍‍්‍රහාරයේ පූර්ව තොරතුර සම්බන්ධයෙන් තමන්ව ඊට පෙර එක ඇමතුමකින් හෝ දැනුම්වත් කළේ නම් ප‍්‍රහාරය අනිවාර්යයෙන් වළක්වාගන්නා බවයි. කෙසේ වෙතත් ප්‍රහාරයට පෙර උදෑසන බුද්ධි ප්‍රධානියා සිංගප්පූරුවේ සිටි හිටපු ජනපතිට ඇමතුමක් ගත් බව කොමිසමේ තාක්ෂණික සාක්ෂි ඉදිරිපත් කෙරිණි. මේ ආදී කොමිසමේ කතා රුසක් ද පසුගිය සතියේ කාගෙත් අවධානයට ලක්විය.

සිකුරාදා දිනයේ දී විශේෂ පක්ෂ නායක රුස්වීමක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන ආකාරය තීරණය කිරීම මෙම සාකච්ඡාවේ දී සිදුවිය. කල් ඇතිවම දේශපාලන පක්ෂ අතර මේ සම්බන්ධව පැවතියේ මත භේදයකි. මෙම කෙටුම්පත සඳහා දින 05ක විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර තිබූ අතර ඒ සඳහා දින 05ක විවාදයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ආණ්ඩුව කියා තිබුණි. එම නිසාම සිකුරාදා පක්ෂ නායක රුස්වීම තීරණාත්මක විය. 

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව තරමක් උණුසුම් වූ බව කියැවුණි. විපක්ෂය දිගින් දිගටම දීර්ඝ විවාදයක් ඉල්ලා සිටියේය. එහෙත් රට තුළ පවතින වර්තමාන තත්ත්වය ද හේතු කොටගෙන ආණ්ඩුවේ පක්ෂ නායකයෝ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ විසිවැනි සංශෝධනය පිළිබඳ විවාදය දින දෙකකට සීමා විය. එළඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින (20, 21) එම විවාද පැවැත්වෙනු ඇත. ඒ අනුව එළඹෙන සතියේ නැවත නැවතත් විස්ස පිළිබඳව සංවාද කරළියට එනු ඇත.

 චමිඳු නිසල්