2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

විමල් පිල හා බැසිල් පිල මුහුණුපොතේ සටනක

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 592

  • රනිල් - මෛත්‍රීපාල දෙදෙනාම පාස්කු කොමිසමේ
  • විජයදාසගේ හිතේ කනස්සල්ලක් නැතිලු
  • සජිත් මැතිසබයේ බඩු මිල විරෝධයක
  • චමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්
  • ජී.එල්. පීරිස්ගේ නිවෙසේ ජයටම පැවැති සාදය
  • රිෂාඩ් බදියුදීන්ගෙන් සජබට සහතිකයක්
  • ජවිපෙට එරෙහිව ජාතික ජන බලවේගයේ විරෝධතා

 

 

කොවිඩ් නැවත පැමිණීම දේශපාලන කරළියේ තිබුණු ඝෝෂාව තරමක් අවම කිරීමට සමත් විය. මුළු රටේම අවධානය නව කොරෝනා පොකුර දෙසට යොමුවෙද්දී මුළුමනින්ම නිහඬ නොවුණු විස්ස පිළිබඳව සංවාද කෙමෙන් ඉදිරියට ඇදුණි. පාස්කු ප්‍රහාරය සහ බදියුදීන් නැවත කරළියට පැමිණි අතර අලුත් දේශපාලන සංවාදයක් ද හටගැනිණි. පාර්ලිමේන්තු සතියක් වූ බැවින් තවත් කතිකා කිහිපයක් ද උණුසුම් පුවත් මැවූ අතර කොමිසම හමුවට ආ ගිය අය ද සැර කතා කිහිපයක් කීහ. 

ගෙවුණු සතියේ ආරම්භය කොවිඩ් නිසාවෙන් මුළුමනින්ම දේශපාලන පුවත් පිළිබඳව තිබූ අවධානය ජනතාවගෙන් ගිලිහුණි. කෙසේ නමුත් සතිය ආරම්භයේ දී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය අවසන් වී තිබුණි.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා අගමැති වෙත යැවූ 20 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලිපිය පිළිබඳව ඇතිවූයේ මතගැටුමකි. ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයාගේ අත්සනින් අගමැති වෙත යැවූ මෙම ලිපියෙන් කියා තිබුණේ විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනා සංශෝධනයට ඇතුළත් වී නොමැති බවය. එසේම විස්ස සම්බන්ධයෙන් අනාගතයේ ඇතිවන තත්ත්වයන්ට තම පක්ෂය වග නොකියන බව ද එහි සඳහන් වී තිබුණි. මේ අතර වීරවංශ මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධ විවේචන ද අසන්නට ලැබුණි. 

මෙම තත්ත්වයත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා අපහසුතාවයටත් කලකිරීමටත් ලක්වී සිටි බව දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවුණි. කෙසේවෙතත් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මෙම ලිපිය පිළිබඳ ප්‍රකාශයක් කළේය. "විමල් වීරවංශ මහතාගේ මේ ලිපිය ගැන අපි අදහස් කරනවා ජනමාධ්‍යවලට නිකුත් කරන්නෙ නැතුව පක්ෂ නායකයන් අතරම සාකච්ඡා කරලා විසඳාගත්තා නම් ඒක වඩාත් හොඳයි කියලා." යනුවෙන් ඔහු කීවේය. 

මේ අතර බැසිල්වාදී පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් බැසිල් රාජපක්ෂ ප්‍රතිරෑපය ඉහළ නැංවීම සහ ඔහුට එරෙහිව නැඟෙන ගැටලුවලින් ඔහුව ආරක්ෂා කළ යුතු බව තීරණය කළහ. ඇතැම්හු සිය සමාජ මාධ්‍ය ගිණුම් මගින් විවිධ පෝස්ටු පවා ජනගත කිරීමට උත්සුක වූහ. මෙලෙස කරළියට පැමිණියේ බැසිල් රාජපක්ෂ හා විමල් වීරවංශ අතර කලක පටන් පවතින ‘සීතල යුද්ධය’  යැයි ඇතැම් දේශපාලන දැනුම ඇත්තෝ කියන්නට වූහ.

මේ අතර සමගි ජනබලවේගය විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සංවිධානය කළ විරෝධතාව කොවිඩ් ආගමනය හේතුවෙන් හකුළා ගත්තේය. එහෙත් පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව හමුවේ සිය විරෝධය පළ කරන්නට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, එළවළු හා පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා ගැසට් පත්‍ර මගින් පාලන මිලක් නියම කිරීමෙන් ඔබ්බට ගොස් නිෂ්පාදකයන්, අතරමැදියන් හා පාරිභෝගිකයන් යන සියල්ලන්ම ආරක්‍ෂා වන පරිදි පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට ඔක්තෝබර් 9 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 

මේ අතර සමගි ජන බලවේගය සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය අතර යම් අරෝවක් පිළිබඳව ද දේශපාලන ආරංචි පැතිර ගියේය. සමගි ජන බලවේගයේ කටයුතු වෙනුවෙන් බදියුදීන් පාර්ශ්වය වෙනදා තරම් සම්බන්ධ නොවන බව ඒ අනුව කියැවිණි. ඒ අතර සමගි ජනබලවේගයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කංසා සම්බන්ධව විවාදයක් සඳහා මුලපිරුවේය. කංසා නීතිගත කිරීම සම්බන්ධව පවතින සමාජ සංවාදයට දැඩි ලෙස පහර ගැසූ හෙතෙම ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සතිය අවසානයේ රිෂාඩ් බදියුදීන් සමගි ජනබලවේගයේ කණ්ඩායම් හමුවට සහභාගී වූ බවත් තමන් ආණ්ඩුවට සහාය නොදෙන බවත් කියූ බවට ආරංචි ලැබුණි. 

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 5 සහ 6 දෙදින කොමිසම වෙත පැමිණ සිටියහ. පාස්කු ප‍්‍රහාරයේ පූර්ව තොරතුරු සම්බන්ධයෙන් තමන් ඊට පෙර එක ඇමැතුමකින් හෝ දැනුම්වත් කළේ නම් ප‍්‍රහාරය අනිවාර්යයෙන් වළක්වාගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ කීවේය. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම වෙත පැමිණි නමුත් පැය එකහමාරක කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා කොමිසමෙන් පිටව ගියේය.

රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා පොලීසිය විසින්  සාක්ෂි නොමැති බව පවසමින් මුදාහැරීම ගෙවුණු සතියේ දැවැන්තම දේශපාලන සිදුවීම විය. ඒ හරහා විශාල දේශපාලන කතිකාවක් නිර්මාණය විය. මෙම ගැටලුව හමුවේ ජනාධිපතිවරයා පවා ප්‍රකාශයක් නිකුත් කළේය. ආණ්ඩුවේ කතෝලික මැති ඇමැතිවරු, කාදිනල් හිමියන් හමුවේ කරුණු පැහැදිලි කළහ. ජනාධිපති කාදිනල් හිමියන් අමතා තමා කිසිදාක දේශපාලන ඩීල්වලට හසු නොවන බව කීවේය. ජනාධිපති මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට අවසානයේ තීරණය කළේය. කෙසේ නමුත් මෙම නිදහස් කිරීම පිළිබඳව ඉහළ නිලධාරීන් නොදන්නා බවට යම් යම් ආරංචි මේ වන විට ලැබෙමින් තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන ඇතුළු බොහෝ පිරිසකගෙන් ආණ්ඩුවට විරෝධතා එල්ල විය. පැවිදි හඬ සංවිධානය ඒ අතරින් කැපී පෙනුණි. ඊට අමතරව  රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් වත්මන් ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙසට බල කරමින් පුද්ගලයෙක් ඔක්තෝබර් 08 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට එලෙස විරෝධතාවයක නිරත වුණේ සයින්දමරදුහි පදිංචි පුද්ගලයෙකි. කෙසේවෙතත් පසුව පොලීසිය ඔහුව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.‍

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධයක් ඇති බවට තහවුරු නොවීම හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් වී ඇතැයි පසුගිය 6 වැනිදා ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේය. රියාජ් බදියුදීන් සැකකරුවකු පමණක් බවත් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමක් කළ බවත් එහිදී සාක්ෂි අනාවරණය වී නැති බවත් ඇමැතිවරයා පැවැසීය. කෙසේ නමුත් අදාළ පරීක්ෂණ අවසන් වී නැති අතර ඉදිරියට සිදු කරන බවත් සාක්ෂි ලැබෙන පරිදි ඔහු නැවත අත්අඩංගුවට පත් විය හැකි බවත් ඔහු කියා සිටියේය. සැකකරු අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේ සහ ඔහු මුදාහල අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන විමර්ශනයක් ආරම්භ කරන බවද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන කොමිසම හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි දුන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කළේ සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවකින් පළායෑමට රිෂාඩ් බද්යුදීන්ගේ  සහෝදරයකු උපකාර කළ බවට යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලැබුණු බවය.

ජාතික ජනබලවේගය ගෙවුණු සතියේ වැඩි බරක් දී තිබුණේ කෝප් කමිටුවේ සජීවී විකාශය අත්හිටුවීම, 20 හරහා විගණන කොමිසම අහෝසි කිරීම ආදී කරුණු වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමටය. සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නට විය. 20 වැනි සංශෝධනය බලාත්මක වීම හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රශ්න කිරීමට තිබෙන හැකියාව නැති වී යන බව ඔහු කියා සිටියේය. 

මේ අතර ජාතික ජනබලවේගයට සමාන්තරව සිටින සංවිධාන සහ ක්‍රියාකාරීන් 20ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව ජවිපෙට යම් විරෝධතාවක් ගොනු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර නැති විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වීම ඊට හේතුව වී තිබුණි.  ඔවුන්ට අනුව විධායකය අත බලය ඒකරාශී කරන, එය පරීක්ෂාවට ලක්කිරීමේ යාන්ත්‍රණය බිඳ දමන හා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හෑල්ලුවට ලක් කරන මෙම සංශෝධනය  ජනතා විමුක්ති පෙරමුණ නීතිය හමුවේ අභියෝගයට ලක් නොකිරීම පුදුම සහගතය.

ගෙවුණු සතියේ ආණ්ඩුව පාර්ශ්වයේ තීරණාත්මක හමු කිහිපයක් ද පැවැත්වුණි. අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවෙසේ පැවති සාදය ඒ අතරින් ප්‍රධාන එකක් විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී තිබූ මෙම සාදයට ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඇරුයුම් ලැබූහ. ආණ්ඩුවේ අභ්‍යන්තර සමගියට පාර කැපීමක් මේ හරහා බලාපොරොත්තු වූවාක් මෙනි. මෙහිදී බොහෝ කතාබහ ඇතිවූ අතර බොහෝ මැති ඇමැතිවරු කා බී සතුටු වූහ. එසේම සිකුරාදා අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වුණි. මීට අමතර අභිනවයෙන් පත්වූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු ගෙවුණු සතියේ අගමැතිවරයා හමුවූහ. කෙසේවෙතත් මේ සියල්ලේම අරමුණ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳ වූ න්‍යාය පත්‍රයක් බව පෙනී යයි. 

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කිරීම පිළිබඳව පසුගිය සතියේ යම් දේශපාලන ආන්දෝලනයක් ඇතිවිය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔක්තෝබර් 8 වැනිදා මේ පිළිබඳව අදහස් පළ කළේය. "එම්.ආර්.අයි. එකේ ඉතාමත් දුර්වල තත්ත්වයක් තිබුණේ. ඔහු ඒක හොඳට දියුණු කළා. හැබැයි ඔහු වෛද්‍යවරයෙක් හැටියට ප්‍රකාශ නිකුත් කළා. ඒ නිසා ඔහු ඒ ප්‍රකාශය කළාම ආණ්ඩුව පෙන්නුවේ ඔක්කොම කොරෝනා දැන් ඉවරයි කියලා. පී.සී.ආර්. ටෙස්ට්වලට තිබුණු ටෙන්ඩර් පවා ආණ්ඩුව කැන්සල් කළා. ඒ රජයෙන්ම අද ඔහුව දඩයම් කරලා තියෙනවා" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මෙම ගැටලුවට ආණ්ඩුව පසුව පිළිතුරු බැන්ඳේය. ඒ අනුව වෛද්‍ය පර් යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පුහුණුවකට විදේශගත වූ ප්‍රධානියා නැවත පැමිණීමෙන් පසු එම තනතුරට පත් කර ඇතැයි රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. තවද වෛද්‍ය පර් යේෂණ ආයතනයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා තනතුරෙන් ඉවත් කිරීමක් සිදු කර නොමැති බවත් ඒ මහතා වෛද්‍ය පර් යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බවත් ඇමැතිනිය සඳහන් කළාය.

තරමක් නිහඬව සිටි විජේදාස රාජපක්ෂ නැවත කරළියට පිවිසීම ද ගෙවුණු සතියේ වූ විශේෂිත සිදුවීමකි. ඔක්තෝබර් 06 වැනිදා කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු විස්ස පිළිබඳව කතා කළේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව ඔහු කීවේය. “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්තමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“ යනුවෙන් ඔහු පවසා තිබුණි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න දෙකකට විජේදාස මහතා අපූරු පිළිතුරක් ලබා දී තිබුණි. ඇමැතිධූරය ලැබුණෙත් නෑ, ඒ ගැන හිතේ කනස්සල්ලක් තියෙනවා වගේ? යැයි මාධ්‍යවේදීන් ඇසූ විට “ඒ වෙලාවේ පොඩි කනස්සල්ලක් තිබුණා. දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත්ත එක ගැන.“ යනුවෙන් පැවසූ හෙතෙම විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද? යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ විට කිසිම බලාපොරොත්තුවක් නෑ යනුවෙන් පිළිතුරු බැන්ඳේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අවුලට ගෙවුණු සතියේ ද විසඳුම් ලැබුණේ නැත. නමුත් ඉල්ලා අස්වීමක් පිළිබඳව එජාප පාර්ශ්වයෙන් විශේෂිත පුවතක් අසන්නට ලැබුණි. ඒ අනුව හිටපු අමාත්‍යවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වීමය. මේ බව දන්වමින් ඔහු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඔහු එහි සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වූ රුවන් විජේවර්ධන මහතා තම නායකත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සුදුසු නොවන බැවින් එම තීරණය ගත් බවය.

මේ අතර එජාපයේ රවී කරුණානායක මහතාගේ නිහැඬියාව පිළිබඳව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වය සඳහා පැවැති තරගයෙන් පරාජයට පත්වූ පසු ඔහු පක්ෂයේ කටයුතු කිසිවකටත් සම්බන්ධ වී නොමැති බව වාර්තා වේ. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂය යළි ගොඩනැගීම සඳහා පත්කොට තිබෙන ප්‍රතිසංවිධාන කමිටුවට පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ද පත්ව සිටී. එහෙත් මේ දක්වා ඔහු එම කටයුතුවලට ද සම්බන්ධ කර ගැනීමට නොහැකිව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සියලු දේශපාලන කරුණු පරදවමින් ගෙවුණු සතිය භයානක කොවිඩ්-19 විසින් අත් කරගත් බව කනගාටුවෙන් වුවද කිව යුතුය. කොවිඩ් දේශපාලනීකරණය වීම ඇරැඹුණේ යාන්තමිනි. එහෙත් ඉදිරි සතිවල කොවිඩ් දේශපාලනයක් රට තුළ ඇතිවීමට ඉඩ තිබේ. කෙසේ නමුත් කොවිඩ් උවදුර නැවත මතුවීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ 8  වැනිදා විශේෂ ප්‍රකාශයක් කළේය.

කොවිඩ්-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක, ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අප එය මර්දනය කළ බව ජනාධිපති පවසා තිබුණි. එසේම අද වන විට කොවිඩ්-19 නැවත අප රට තුළ හිස ඔසවා ඇති බවත්, පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරාගැනීම සඳහා සියලු කටයුතු සිදු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. තවද මෙම අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශ්වයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරුවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00