2020 ජුලි 25 වන සෙනසුරාදා

ජොන්ස්ටන්ගේ කතාවට ඇතුළෙන්ම විරෝධය

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 448

  • අගමැතිගේ හෙලිකොප්ටර් බිල පක්ෂයෙන් ගෙවයි
  • නාමයෝජනා මණ්ඩලයේ බූරුවෙක් ගැන බැසිල් කියූ කතාව
  • රිෂාඩ්ට උණුවෙන විමල්ට උණු නොවන දේශප්‍රියගේ ආසනය
  • රනිල් රටපුරා ජන හමුවල
  • රට ගිනි තබන්නේ වැඩ බැරි අය බව සජිත් පවසයි
  • කුරුණෑගල රාජසභාවෙන් කොළඹ කැළඹෙයි
  • හඳුන්නෙත්ති ගොඩදාන්න ජවිපෙ ලොකු සටනක

 

 

මහමැතිවරණය දියුණු තියුණු වෙමින් පවතින මේ අවස්ථාවේ සතියේ දේශපාලන කරළිය රත්කළ ප්‍රධාන මාතෘකාව කුරැණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීමට අදාළ සිදුවීමයි. ගිය සතියේ ජූලි 14 වැනි දින කවුරුත් නොදැන කුරුණෑගල නගර මධ්‍යයේ තිබුණු රාජසභා මණ්ඩපය ලෙස ජනතාව හඳුන්වන මෙම පෞරාණික ගොඩනැගිල්ලෙන් කොටසක් නගරසභා බලධාරීන් විසින් කඩා බිඳ දැමූ බවට චෝදනා එල්ල වූයේය. මේ සමඟ කොළඹ දේශපාලනයත් රත්විය. පැය කිහිපයක් තුළ මෙය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්වූ අතර ආණ්ඩුව මෙම වැරැද්ද පිළිබඳ කිසිවෙකුට චෝදනා නොකර මේ හා සම්බන්ධව විමර්ශන සිදුකරන බව කීවේය. කෙසේ වෙතත් විපක්ෂයෙන් ඒ ගැන ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් එල්ල විය.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයේ මෙවැනි දෙයක් සිදුවීම අගමැතිවරයාටද දැඩිව බලපාන්නකි. ඒ නිසාම අගමැතිවරයා වහාම නියෝග කළේ විද්වත් කමිටුවක් නම් කොට මේ සම්බන්ධ වාර්තාවක් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙසටයි. මේ අතර ඇවිලී ගිය රාජසභා මණ්ඩප විරෝධය මතින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය, රතන හිමිගේ අපේ ජන බල පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් කුරැණෑගලට ගොස් අදාළ ස්ථානය පරීක්ෂා කර විරෝධතා ගොනුකරන්නට වූහ. දේශපාලන වේදිකාවේ මෙන්ම මාධ්‍යවලද මේ හා සම්බන්ධ මතදැක්වීම් රුසක් වූ අතර සමගි ජන බලවේගය උද්ඝෝෂණ කිහිපයක්ද සංවිධානය කළේය.

මේ අතර කුරුණෑගල මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින දේශපාලන බලවතා වන ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේ නගරාධිපතිවරයා නිදොස් බවයි. මෙය එජාප ආණ්ඩු කාලයේ හෝටලයකට බදු දුන් ගොඩනැගිල්ලක් වන අතර බුවනෙකබා රජුගේ ඉදිකිරීමක් යැයි කීමට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නොමැති බව ඔහු කීවේය. එම නිසා නගරාධිපතිවරයාගේ මයිල් ගසකටවත් අත තබන්නට තමන් ඉඩ නොදෙන බව ඔහුද ප්‍රකාශ කළේය. ජොන්ස්ටන්ගේ මේ කතාවට ආණ්ඩුවේ සහ විපක්ෂයේත් දැඩි විරෝධයක් එල්ල වූයේය. ආණ්ඩුවේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආදී ප්‍රබලයන් වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දියයුතු බවත් තමන් ඒවා වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසූහ.

මේ අතර කුරැණෑගල ගලේ බණ්ඩාර දේවාලයට ගිය විපක්ෂයේ නලීන් බණ්ඩාර, අශෝක් අබේසිංහ, ජේ.සී. අලවතුවල ආදීහු පුරාවිද්‍යා ස්ථාන විනාශ කළ අයට විරුද්ධව පොල් ගැසූහ. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක මයන්ත දිසානායක පොලිස් මූලස්ථානයටද ගියේය. ඔහු පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙම සිදුවීමෙන් ලබාගත හැකි දේශපාලන වාසිය සම්බන්ධව නායකයන් අතර සාකච්ඡාද පවත්වා තිබුණි.

වයඹ පළාත තුළ මෙම සිදුවීම දේශපාලන කුණාටුවක් බවට පත්වෙමින් තිබුණි. අග්‍රාමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පංච පුද්ගල කමිටුව අදාළ ස්ථානයද නිරීක්ෂණය කළේය. මේ අතර මෙම කමිටුවට පොලිස්පතිවරයාට සහ රාජ්‍ය නිලධාරීන් පිරිසකට ගිය අඟහරුවාදා නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් කැඳවීමක් ලැබුණි. පිරිස රැස්වූ විට නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් විමසුවේ  මීට වගකිවයුත්තන් නීතියේ රැහැනට කොටුකර ගත නොහැකි වූයේ ඇයිද යන්නයි. නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තිබෙන බව සහ මෙම ස්ථානය පුරාවිද්‍යා ආඥා පනත යතතේ ගැසට් කළත් නැතත් නීතිමය පියවර ගතහැකි බව ඔහුගේ මතය විය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මතයද එයම විය.

ඒ අනුව පසුගිය අඟහරැවාදා අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබූ මෙම කමිටුවේ පළමු වාර්තාව අගමැතිවරයා වෙත බාරදෙනු ලැබුවේ බදාදා දිනයේය. එහි ප්‍රධාන නිර්දේශ පහක් වූ අතර මෙම විනාශයට වගකිවයුතු පුද්ගලයන්ට සහ ආයතනවලට නීතිය ක්‍රියාත්මක කිරීම ඉන් ඉන් ප්‍රධාන නිර්දේශක් වූයේය. නැවත සංරක්ෂණයට අවශ්‍ය මුදලද ඔවුන්ගෙන් අය කරගතයුතු බව එහි දක්වා තිබුණි. මේ සියල්ල සිදුවන අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයද මෙම සිදුවීම වෙත යොමුවී තිබුණේය. ඒ අනුව ජනාධිපතිවරයාද මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකර තිබුණි. අනතුරුව ජනාධිපතිවරයා කියා තිබුණේ මෙය අග්‍රාමාත්‍යවරයා යටතට වැටෙන විෂයක් නමුත් තමා රාජ්‍ය නායකයා ලෙස පුරාවස්තු විනාශයට විරුද්ධ පුද්ගලයකු බවයි. ඒ නිසාවෙන් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය ලවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතුව ඇති පැරණි ගොඩනැගිලි සැලැස්මට අනුව ගොඩනැගිල්ල සැකසීමට ජනාධිපති තීරණය කළේය. ඒ අනුව මේ වනවිටත් අදාළ සංරක්ෂණ කටයුතු ඉංජිනේරු බලකාය මගින් සැලසුම් කරමින් පවතී.

පැරණි ගොඩනැගිල්ල කඩාදැමීම සම්බන්ධ වරද කුමක්ද ඊට වගකිවයුත්තන් කවුද යන්න අධිකරණය විසින් තීරණය කළ යුතුය. කෙසේ වෙතත් සමස්ත සිදුවීම ආණ්ඩුවට වාසිදායක නොවන්නකි. මේ සම්බන්ධව නිසි පියවරක් ගන්නා තුරු ආණ්ඩුව කොතරම් නිදහසට කරැණු කීවද ජනතාව ඒවා නොතකන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

සමගි ජනබලවේගයේ වර්තමාන අපේක්ෂකයන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික ඇතුළු පිරිසකට දේශපාලන පළිගැනීම් සම්බන්ධව සොයා බලන ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කිරීම පසුගිය සතියේ සිදු විය. මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය සිටින්නේ දැඩි ගැටලුවකයි. ඒ අනුව මැතිවරණ කොමිසමට නැවත පැමිණිලි කිරීමට ඔවුන් කටයුතු කරන්න බවට ආරංචි ලැබුණි. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹ දී කියා තිබුණේ තමන් ළඟ ඇත්තේ පිරිසුදු සිංහල ලේ බවය. එහෙත් තමන්ගේ ආණ්ඩුවක් තුළ ජාතිවාදය ආගම්වාදය නැති බවත් ජාතිවාදය නමැති පිදුරු ගොඩට ගිනි තබන්නේ වැඩ බැරි අය බවත් ඔහු තවදුරටත් කියා තිබුණි. ඒ අනුව  කොළඹින් වැඩිම මනාප සජිත්ට ලබා ගැනීමේ සැලසුම සමගි ජනබලවේගය දියත් කර තිබේ. කොළඹ සෙසු අපේක්ෂකයන් ඒ සම්බන්ධව නැවත නැවත දැනුවත් කිරීමට මැතිවරණ සංවිධායකයෝ කටයුතු කරමින් සිටිති. 

සෙවනගල පැවති පොහොට්ටු ජනහමුවකදී ජගත් පුෂ්පකුමාරට එල්ල වූ විරෝධයද සතිය මුලදී තවත් දේශපාලන ආන්දෝලනයක් නිර්මාණය කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කීවේ පොහොට්ටු ශ්‍රීලනිපය කියා දැන් භේදයක් නැති බවත් සැවොම සහෝදරත්වයෙන් ගමන් යන බවත්ය. එහෙත් ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා තිබුණේ හඳට බල්ලෝ බිරුවාට හඳ කඩාපත් නොවන බවයි. කෙසේ නමුත් ජගත් පුෂ්පකුමාර මෙම සිද්ධියත් සමඟ හොඳහැටි කලකිරී සිටියේය.

ගිය සතියේ රිෂාඩ් බදියුදීන් මාතෘකාව නැවත කරළියට පැමිණියේය. ඊට හේතුව වූයේ  රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපියයි. බදියුදීන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අගොස්තු 10 වැනිදා දක්වා කල් දමන්නැයි, මැතිවරණ කොමිසම එම ලිපියෙන් පොලීසියට දැනුම් දී තිබිණ. මේ සම්බන්ධ විරෝධතාව ගොනුකිරීමේ ප්‍රමුඛයා වූයේ විමල් වීරවංශය. අපිව හිරේ දානකොට දේශප්‍රියගේ උණු නොවිච්ච ආසනය රිෂාඩ් බදියුදීන් කටඋත්තරයක් දෙන්න කියලා කියනකොට උණු වෙන්නේ කොහොමද? කියා ඔහු අසා තිබුණි. අනික් අතට මෙවන් ලිපියක් පොලීසියට යැවීමට කොමිසමට බලයක් නැති බවටද විවාදයක් ඇතිවිය.

එහෙත් අවසානයේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේ මැතිවරණ ව්‍යාපාරයට බාධාවක් නොවන සේ ක්‍රියා කළ යුතුය කියන ඉල්ලීම තමන් පොලීසියට ඉදිරිපත් කළවිට පොලීසිය ඊට එකඟව ක්‍රියාකර තිබෙන බවය. කෙසේ නමුත් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් සභාපතිවරයාගේ කටයුතු සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි විවේචන මතුකර තිබේ.

‍මනාප සටන ඇවිලෙන අතරතුර තවත් අපූරැ සිදුවීම් රුසක් සිදු විය. පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුවල අශ්වයන් සහ බූරැවන් සිටින බව කියා තිබුණේ පොහොට්ටුවේම සුරූපී අපේක්ෂිකාවකි. පසුව ඇය ඇගේ කතාව හොඳ දැයි බැසිල් රාජපක්ෂගෙන් විමසා ඇත්තේ කෙටි පණිවිඩයක් යවමිනි. බැසිල් ඊට ලබා දී ඇත්තේ අපූරැ පිළිතුරකි. අපේක්ෂකයන් අතර අශ්වයෝ බූරැවෝ නැති වුණාට නාමයෝජනා මණ්ඩලයේ නම් බූරුවෙක් ඉදලා තියෙනවා. ඒකයි ඔයා වගේ අයට නාමයෝජනා දීලා තියෙන්නේ* කියා බැසිල් ඇයට පිළිතුරු යවා ඇත. මේ කතාව බැසි හෙළි කළේ ගාල්ලේදීය. එහිදී ඔහු තවත් සැර කතාවක් කීවේය. පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා කියා එදා අත අද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම සම්බන්ධව තමන් සතුටු වන බව ඔහු කීවේය.

රාජ්‍ය සම්පත් මැතිවරණය සඳහා යොදාගැනීම සම්බන්ධව ආණ්ඩුවේ ඇතැමුන්ට චෝදනා එල්ල වෙමින් තිබේ. කෙසේවෙතත් මෙවන් චෝදනා එල්ල විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කල් ඇතුව දැන අවබෝධයෙන් කටයුතු කර ඇත. මැතිවරණ කටයුතු වෙනුවෙන් රට වටා යාමට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් තමාට අවැසි බවත් එය ලබාගත යුත්තේ පක්ෂ අරමුදලින් මුදල් ගෙවා බවත් හෙතෙම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ට කියා ඇත්තේ කල් ඇතිවය. දැන් ඔහු ඒ ගෙවීම් සතිපතා සිදු කරමින් සිටියි. ඒ අතර රාජ්‍ය සම්පත් මැතිවරණයට භාවිත කරන මැති ඇමැතිවරැන්ට තරවටු කිරීමට ද රාජපක්ෂ මහතාට හැකි වී තිබේ. 

පවතින කෝවිඩ් අවධානය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල ජනහමුවලට සහභාගී වන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ජනතාව හමුවී කතාබහකරයි. පසුගිය දිනවල නුවරඑළිය, මාතලේ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, මාතර ආදී ප්‍රදේශවල ජනපතිවරයා සංචාරය කළේය. එම සංචාරවලදී ජනතාව මතුකළ ප්‍රධානතම ගැටලුව වූයේ පානීය ජලය පිළිබඳ ගැටලුවයි. ඊට අමතර මාර්ග සංවර්ධනය රැකිරක්ෂා පිළිබඳ ගැටලුද සමහරැ මතු කළහ. ඒ අනුව ජනපතිගේ ප්‍රමුඛ අවධානය බොහෝ ප්‍රදේශවල ඇති පානීය ජල ගැටලු පිළිබඳ යොමුවිය. මාතලේ සංචාරයේදී සුළු අපනයන බෝග මිල සම්බන්ධව ගැටලු ජනතාව ජනපති හමුවේ මතු කළහ. ගම්මිරිස් කොකෝවා ආදියට මිලක් නොවීම සම්බන්ධව ජනතාව මතුකළ ගැටලුවලට ජනපතිවරයා විසඳුම් ලබාදීමට පොරොන්දු විය. නුවරඑළියේ ගොවීන්ද මීට සමාන ගැටලු ජනපතිට ඉදිරිපත් කර තිබුණි.

නුවරඑළියේදී ජනපති පිළිගැනීමට පැමිණ සිටියේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. ග්‍රෙගරි වැව අසල වූ මෙම පිළිගැනීමේදී මුරලි සහ ජනපති අතර සංවාදයක්ද ඇතිවිය. වතුකරයේ ජනතාව වෙනුවෙන් යමක් කරන ලෙස ජනපති ඉල්ලූ අතර මුරලි කීවේ දැනටමත් තමන් සුභසාධන කටයුතු අරඹා ඇති බවය. මුරලිගේ සහෝදරයකු වන ඡන්ද අපේක්ෂක මුත්තයියා ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබූ අතර වතුකරයේ නායකයෙක් ලෙස ගොඩනැගෙන්නට මේ වනවිට ඔහු දැවැන්ත වැඩපිළිවෙළක් අරඹා තිබේ. කෙසේ වෙතත් වතුකරයේ දේශපාලනය වෙනදාට වඩා වෙනස් ස්වභාවයක් ගෙන ඇති බව පෙනී යයි. නව මුහුණු කිහිපයක් නුවරඑළියේ මැතිවරණ කරළියේ ඉදිරියට එමින් සිටිති.

ජාතික ජනබලවේගය ද පසුගිය සතිය තුළ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වේගවත් කරමින් සිටිනු දක්නට ලැබිණි. ඒ අතර ඇත්ත මිනිස්සු යන තේමාව ඔස්සේ ඔවුන් සිය අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන්නට උස්සුක වනු දක්නට ලැබුණි. මේ අතර මාතර දී සුනිල් හඳුන්නෙත්ති මහතාට සහාය වීමට මෙරට ප්‍රකට යූටියුබ්කරැවෙක් ජන හමුවකට සහභාගි වූයේය. එහි වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් සංසරණය විය. කෙසේවෙතත් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැවීමට ජවිපෙ හිතෛශීන් දැඩි උත්සාහයක නිරත වන බව පෙනී යයි. මෙවර මැතිවරණයේ දී කලාකරැවන්ට වැඩි බරක් තබා ලොකු වැඩක් ගැනීම මාලිමාවේ ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසක් වී ඇති බව අපට දැනගන්නට ලැබුණි. කෙසේවෙතත් ජවිපෙ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රචාරක උපක්‍රමවල වෙනසක් වී ඇති බව පැහැදිලිය.

ජූලි 22 වැනි බදාදා මැතිවරණ කොමිසමෙන් විශේෂ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබුණි. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් හරහා අග්‍රාමාත්‍යවරයා වෙත ලැබුණු මෙම ලිපියේ අන්තර්ගතය වූයේ උතුරු මැද පළාතේ එක්තරා දිස්ත්‍රික්කයක උග්‍රවී ඇති මනාප සටන පිළිබඳ දැනුවත් කිරීමකි. එක්තරා තරැණ අපේක්ෂකයකු තමන් දැරූ අමාත්‍යාංශයේ සම්පත් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණයේ නියුතු වෙමින් සිටින බවද එහි දක්වා තිබුණි. මෙම තත්ත්වය මත තවදුරටත් කටයුතු කිරීම අපහසු බවත් පාලනයක් නොවුණහොත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ විකල්පයකට යාමට සිදුවන බවත් එහි සඳහන් විය. කෙසේ වෙතත් විකල්පය කුමක්ද යන්න මෙම ලිපියේ සඳහන් නොවුණි. ඇතැම් විට විකල්පය එම දිස්ත්‍රික්කයේ මැතිවරණය නැවැත්වීමද? යන්න පිළිබඳ සැකයක්ද මතුවී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා වහාම හිටපු ඇමති රොෂාන්ට ඇමතුමක් ගත්තේය. මනාප පොරයක් ඇතිකර නොගන්නා ලෙසත් තමන් කළ කී දෑ කියා ජනතාවගෙන් මනාප ඉල්ලාගන්නා ලෙසත් කී මහින්ද රාජපක්ෂ මහතා ඔහුට දෝෂාරෝපණයක් සිදුකර දේශපාලන අනතුරැ ඇඟවීමක් ද කළේය. කෙසේ නමුත් මෙම දිස්ත්‍රික්කයේ මනාප සටන උග්‍රවී ඇත්තේ ජාතික දේශපාලනයේ ජාතික දේශපාලන ප්‍රබලයන් රුසක් මනාප සටනට බැස ඇති හෙයිනි. මෙවර මැතිවරණයේ මනාප සටන් දැඩිව පවතින දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත්තේ අම්පාර, යාපනය, මාතර, කෑගල්ල, මහනුවර, ගාල්ල යන දිස්ත්‍රික්කයි. ගාල්ල, මහනුවර දිස්ත්‍රික්කවල මැතිවරණ කොමිසමේ අනතුරු ඇඟවීම මත මේ වනවිට මනාප පොරය තරමක් අඩුවී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ සතියේ විශේෂ තීරණයක් ගෙන තිබුණි. ඔහු මෙවර යූ ටියුබ් නාලිකාවල පටන් මාධ්‍ය ආයතන රැසකට සම්මුඛ සාකච්ඡා ලබාදී තිබේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර, අනුරාධපුර, රත්නපුර ආදී දිස්ත්‍රික්කවල ජනහමු සඳහාද සහභාගී විය. ඒ අතර බොහෝ විහාරස්ථාන වෙත ගොස් නාහිමිවරැන් මුණගැසීමටද වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබිණි.

වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ ප්‍රතිවාදියා වන සමගි ජනබලවේගයේ නායක  හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර තවමත් මාධ්‍ය වෙත සම්මුඛ නොවීම විශේෂිතය. කෙසේ නමුත් සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය අවසන් දින දහය තුළ තීරණාත්මක ලෙස වෙනසක් කරන්නට යන බව දැනගන්නට ලැබුණි. එහෙත් එම තීරණාත්මක වෙනස්කම් මොනවාද යන්න ඔවුන් තවමත් එළිපිටම කියා නැත. කෙසේ වෙතත් පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස මහතා, රත්නපුරය, බදුල්ල, මොණරාගල ආදී ප්‍රදේශවල ප්‍රධාන ජනහමු සඳහා සහභාගී විය.

පසුගිය සතියේ උතුරේ දේශපාලනයේද විශේෂිත සිදුවීමක් සිදුවිය. සම්පන්දන් හමුවීමට යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් ඇතුළු පිරිසක් ගියහ. එය රහස් සාකච්ඡාවක් වූ අතර එහි තොරතුරු මාධ්‍යයට ආවරණය නොවුණි. පසුව මාධ්‍යවේදීන් මේ සම්බන්ධව සම්පන්දන්ගෙන් විමසූ නමුත් ඔහු එම ප්‍රශ්නය සීරුවට මගහැර ගියේය.

 චමිඳු නිසල් ද සිල්වා