2020 ජුලි 04 වන සෙනසුරාදා

ප්‍රසන්නලාගේ මෛත්‍රී විරෝධයට අමරවීරගෙන් උත්තර

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 610

  • චිකාගෝ පාතාලයට ගෝඨාභයගෙන් සැර පිළිතුරක්
  • පීචං මන්ත්‍රීලා ගැන චන්ද්‍රිකා කී කතාව
  • මංගල සජිත් පිලෙන් ගියේ ඇතුළෙ ගෝරි නිසාලු
  • මනාප අංක ප්‍රදර්ශන තහනමට පක්ෂ නායක විරෝධය
  • සම්පන්දන්ලා රජය සමඟ කතාවට ජනවරමක් පතයි
  • කොරෝනා මර්දනය කළේ ඡන්ද කොමිසම යැයි ජ.වි.පෙ. කියයි

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සීමිත මට්ටමකින් ආරම්භ වුවද තවමත් දැඩි ඡන්ද උණුසුමක් දක්නට නැත. මහ මැතිවරණයට තවත් මාසයක් පමණ තිබේ. මැතිවරණ කොමිසම පෝස්ටර, බැනර් සහ කාර්යාල සම්බන්ධ නීතිරීති දැඩිව ක්‍රියාත්මක කිරීම ගැන බොහෝ අපේක්ෂකයන් දැඩි ලෙස දොස් කියන්නට පටන්ගෙන ඇත. තමන්ගේ පක්ෂ කාර්යාලවල පවා අපේක්ෂක නම හා අංකය ප්‍රදර්ශනය නොකළ යුතු යැයි පනවා ඇති නීතියට බොහෝ දෙනා විරෝධය පළ කරති. මෙය කලින් මැතිවරණවලදී දක්නට නොලැබුණු තත්ත්වයක් බව අපේක්ෂකයෝ පවසති. ඇතැම් පක්ෂ මේ නීතියට එරෙහිව අධිකරණයට යාමට ඇති ඉඩකඩ ගැන ද සොයා බලමින් සිටී. තමන්ගේ මනාප අංකය දිස්ත්‍රික්කයක් පුරා ප්‍රදර්ශනය නොකර ඡන්දය කළ නොහැකි බැවින් ඊට සහනයක් සලසන ලෙස පක්ෂ සියල්ලේම පාහේ ලේකම්වරැ මැතිවරණ කොමිසමට කියා ඇතත් තවමත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ සතියේ සෑම පාර්ශ්වයක්ම අවධානය දැක්වූ තවත් කරුණක් වන්නේ අමෙරිකානු එම්.සී.සී. ගිවිසුමයි. එහි අවසන් වාර්තාව කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ සාමාජිකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී මෙම ගිවිසුම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පොදු නීතියට එකඟ නොවන බවත්, තවත් බොහෝ නීතිමය දෝෂ සහිත නිසා එයට අත්සන් නොකළ යුතු බවත් නිර්දේශ කර ඇත. අමෙරිකාවට අවශ්‍ය නම් මෙය රටට ගැලපෙන ලෙස සංශෝධනය කරන හැටියට ඉල්ලන්න යැයි කොමිසම රජයට කියා තිබේ. එසේම මෙහි මූලික කෙටුම්පත පසුගිය රජය අනුමත කළ පසු ඒ සඳහා අමෙරිකාව මූලික ගෙවීමක් කර ඇතැයි ද හෙළිදරව් කෙරිණි. කෙසේ හෝ ජනාධිපතිවරයාට බාරදුන් වාර්තාව රටට දැනගන්නට ප්‍රසිද්ධ කරන ලෙස ඔහු නියම කළේය. අනතුරැව මෙය කැබිනට්ටුවට ඉදිරිපත් කළ අතර එහිදී තීන්දු කළේ රටේ නීතියට පටහැනි එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකළ යුතු බවය. ඒ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

එම්.සී.සී. ගිවිසුමේ මූලික අනුමැතියෙන් පසු ඊට මුදලක් ගිය රජය අමෙරිකාවෙන් ලබාගත් බවට වන චෝදනාවට මුලින් උත්තර දුන්නේ අමෙරිකානු තානාපති කාර්යාලයයි. ඔවුන් කීවේ එලෙස කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට නොගෙවූ බවය. ඉන්පසු එ.ජා.ප. නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගුණරුවන් වාර්තාව හොර උපාධි සහතිකයක් වාගේ යැයි කියමින් හාස්‍යජනක ලෙස ප්‍රතික්ෂේප කර දැමීය. ඒ සමඟ එ.ජා.පය මේ ගැන නිවේදනයක් ද නිකුත් කර තිබිණි. එමගින් ද මුදල් ලබාගැනීමේ කතාව ප්‍රතික්ෂේප කර ඇත. මහ මැතිවරණ සමයේදීත් ජනාධිපතිවරණ කාලයේ මෙන්ම මෙම ගිවිසුම ගැන රටට බොරැ කියන රජය ජනතාව රවට්ටන්නේ යැයි ද එ.ජා.ප. නිවේදනයේ දැක්වේ. මෙම ගිවිසුම ගැන පසුගිය රජයට නිකරැණේ චෝදනා නොකර එය අත්සන් කරන්නේ ද නැත්ද යන්න වහා කිවයුතු යැයි එ.ජා.පය කියයි. එ.ජා.පයේ එම චෝදනාවට උත්තර දුන්නේ රජයේ ප්‍රබලයකු වන හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලය. ඔහු කීවේ එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට කැබිනට්ටුවට තීන්දු කර එය රටට ප්‍රකාශ කර තිබියදී යූ.ඇන්.පීය එල්ලෙන්නට වැලක් සොයමින් සිටින බවය. රජයේ පාර්ශ්ව ගණනාවක් මෙයට විරැද්ධව සිටියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද සිටිනුයේ රටට අහිතකර මෙම ගිවිසුම කිසිසේත්ම අත්සන් නොකළ යුතුය යන ස්ථාවරයේ බව රජයේ ආරංචි මාර්ග කියයි.

සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අගරදගුරු හිමියන් ගැන කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට දසතින් විරෝධය නැගුණි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකයන්ගෙන් සමහරෙක් කීවේ හරීන්ට එරෙහිව වහා විනය පියවර ගත යුතු බවය. සජිත් මේ ගැන කුමක් හෝ කර ප්‍රශ්නය විසඳන ලෙස හරීන්ට වාර ගණනාවක් දැන්වුවද ඔහු නැවත නැවතත් එම කතාව මතක් කරමින් තත්ත්වය බැරෑරුම් කළේය. මහා සංඝරත්නය ද කතෝලික ජනතාව ද සමගි බලවේගයේම කතෝලික මන්ත්‍රීවරුන් ද හරීන්ට දැඩි විරෝධය දක්වද්දී ඔහුට හොඳ කීවේ මංගල සමරවීර පමණි. කෙසේ හෝ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා මෙම අර්බුදය සමථයට මැදිහත් වූයේ පෙරහර හමාරවෙමින් තිබියදීය. ඔහු කෙසේ හෝ හරීන් කැමති කරවාගෙන අගරදගුරු මැඳුරට ගොස් අගරදගුරු හිමියන් මුණගැසුණේය. හරීන් ප්‍රනාන්දු ද අගරදගුරු හිමියන්ට නමස්කාර කර මොනවාදෝ කියනු පෙනුණි. පිරිස ඡායාරූපයකට ද පෙනී සිටියහ. අනතුරැව සජිත් ප්‍රේමදාස කීවේ තිබුණු මතගැටුම් සමනය කරගත් බවයි. අගරදගුරැ හිමියන් ඒ ගැන සුබදායක ප්‍රතිචාර දැක්වූ බවද සජිත් කීය. බොහෝ දෙනා සිතුවේ ප්‍රශ්නය එයින් හමාර බවය.  

එහෙත් හරීන් ප්‍රනාන්දු තවමත් මෙම ප්‍රශ්නයේ එල්ලී සිටියි. මෙම හමුවෙන් පසු පැවති ජනහමු කිහිපයකදීත් මාධ්‍ය විමසුම් ගණනාවකදීත් ඔහු කීවේ තමන් සිටිනුයේ මුලින් සිටි ස්ථාවරයේම බවයි. තමන් උන්වහන්සේට මේ සිද්ධිය ගැන කනගාටුව පළ කළ අතර අගරදගුරු හිමියන් ද තමන්ගේ පාර්ශ්වයෙන් අඩුපාඩු සිදුවූ බව පිළිගෙන කනගාටුව පළ කළ බව හරීන් කීය. එහෙත් තමන් මින් ඉදිරියට උන්වහන්සේ ගැන කිසිවක් නොකියන බවත් සඳහන් කළේය. හරීන් මේ ගැන කුමක් කීවද අගරදගුරු මැඳුරෙන් මෙම හමුව ගැන ප්‍රකාශයක් නිකුත් නොවීය. හරීන් දෙවැනි වතාවටත් මෙම ප්‍රශ්නය දේශපාලන වේදිකාවට ගෙන ආපසු ඒ ගැන ප්‍රතිචාර දක්වන ලෙස අගරදගුරු හිමියන්ට ඉල්ලීම් ලැබෙමින් පවත්නා බව අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ 75 වැනි ජන්ම දිනය ගිය සතියට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඇය හොරගොල්ලේ සහ අනුරාධපුරයේ චාම් ආගමික උත්සව දෙකක් පැවැත්වූවාය. 1994 සිට 2005 දක්වා වසර 11 ක් ජනාධිපති ධූරය දැරූ චන්ද්‍රිකා මැතිනියගේ ජන්ම දිනයදා ඇය හමුවට පැමිණ සිටියේ පැරැණි දේශපාලන සගයන්ගෙන් මංගල සමරවීර පමණක් බව වාර්තා විය. දේශපාලනයේ දී නැගෙන හිරුට වඳින්නටත් බසින හිරැට පිටුපාන්නටත් දක්ෂ සමාජය 1994 දී නූතන විහාරමහාදේවිය ලෙසත් හැඳින්වූ චන්ද්‍රිකා අනුරාධපුරයේදී සිය සීමිත හිතවතුන් පිරිස සමඟ වතාවත් සිදුකොට මාධ්‍යයට ද පුවතක් ලබා දුන්නාය. තමන් මේ රටේ සර්වබලධාරී ජනාධිපති ධූරය දරා විශ්‍රාම ගත් පසු පාර්ලිමේන්තුවට නැවත පැමිණ පීචං මන්ත්‍රී කෙනෙක් ලෙස සිටින්නට අදහසක් නැතැයි ඇය කීවාය. එම ප්‍රකාශයෙන් ඇය ප්‍රහාරයක් එල්ල කළේ තම පක්ෂයේම හිටපු නායකයන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේනටය. ජනාධිපති වීමෙන් පසු අගමැති වීමේ ආශාවක් ද නැතැයි කී චන්ද්‍රිකා අද මෙම තනතුරු දරන ඇතැම් නායකයන් හරියට ඇවිදගන්නවත් බැරිව කොරගසන බවත් ඔවුන් ගෙවල්වලට වී විශ්‍රාම සුවයෙන් සිටිය යුතු බවත් වැඩිදුරටත් කීය. චන්ද්‍රිකා මැතිනිය මෙලෙස අනුන් ගැන උපහාසයෙන් කතා කළ නමුත් එතුමිය තමන්ගේ පාලන කාලයේ රෝදපුටුවෙන් ගමන් කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ බව අමතක කිරීම සාධාරණ නැත. සිරිමාවෝ මැතිනිය මෙරට ගරැකටයුතු නායිකාවක් බව අවිවාදිතය. එහෙත් තමන් අන්‍යයන් ගැන දොස් පරොස් කියන්නට පෙර තමන්ට බලය තිබූ කාලයේ කළ කී දෑ ගැන මෙනෙහි කොට කතා කරන්නේ නම් එය යුක්ති සහගතය.

ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද අමරවීර මහතා පසුගියදා මැතිවරණ රැලි ගණනාවකදී කියා තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය ධූරයට ද සුදුසු බවය. මෙම කතාව මතුවන්නට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පොළොන්නරුවේ අලවා තිබූ පෝස්ටරයක් නිසාය. එහි සඳහන්ව තිබුණේ මීළඟ අගමැති පොළොන්නරැවෙන් කියාය. සමහර පොහොට්ටු ලොක්කන් මෙයට විරෝධය දක්වා තිබිණි. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමරවීර මහතා කියා සිටියේ රටට ඒ හැටි වැඩක් නොකළ ගම්පහ පැත්තේ එක්තරා දේශපාලනඥයකු ශ්‍රී.ල.නි.පයට ගෑවුණු කෙනකුට ඡන්දය දෙන්නට එපා යැයි කියමින් රට වටේ යන බවය. එහෙත් ඒ ප්‍රකාශ නිසා ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයන්ට හානියක් නොවන බව පැවසූ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී.ල.නි.ප. ඡන්ද අත්‍යවශ්‍ය වූ බවද කීය. එම ඡන්ද නොලැබුණේ නම් සමහරවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති විය හැකිව තිබූ බවද ඔහු කීය. එය පොහොට්ටුවේ සමහරැ අමතක කළ බවද ඔහු පැවසීය. කෙසේවෙතත් තමන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම පිණිස සේවය කරන්නේ යැයි ද ඔහු සඳහන් කළේය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු උපදෙස් මත මේ දිනවල පාතාලය මර්දනයටත්, බන්ධනාගාරවල අපචාර මර්දනයටත් ඍජු වැඩසටහනක් දියත් කර තිබේ. පසුගිය මාස දෙකක පමණ කාලය තුළ බන්ධනාගාරගතව සිටින පාතාල ලොක්කන්ගේ සියලු බලහත්කාරකම් මර්දනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද උපයෝගී කර ගැනිණ. එසේම බන්ධනාගාරයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මෙම අපරාධවලට අනුබල දෙන නිලධරයන් හා අනුග්‍රාහකයන් අත්අඩංගුවට ගත් අතර පාතාලයේ බල අපරාධකරැවන් තුන් හතර දෙනෙක් පොලිස් වෙඩි ප්‍රහාරවලින් මරණයට ද පත්වූහ. ගතවූ සති 6 තුළ පාතාලයට සම්බන්ධ කෙරැම්කාරයන් 100 ක් පමණ අවිආයුධ ද සහිතව අත්අඩංගුවට ගනු ලැබූහ. හෝමාගම දී ටී-56 ගිනිඅවි 12 ක් සමඟ ආයුධ තොගයක් අල්ලා ගැනිණ. 

ජනාධිපති ගෝඨාභය මහතා කොරෝනාව මර්දනයෙන් පසු පාතාලය මර්දනය සඳහා සිය දැඩි අවධානය යොමුකර තිබේ. ඔහු ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ මහ මැතිවරණ පසුබිමේ පාතාල මර්දන ක්‍රියාකාරකම් දැඩි කරන ලෙසය. මොරටුවේ හෝටලයකට පාතාලකරැවන් සිදුකළ චිකාගෝ පන්නයේ වෙඩි තැබීමෙන් පසු මෙම පාතාල මර්දන ක්‍රියාකාරකම් වේගවත් වූ අතර සතිපතා රැස්වන රජයේ ආරක්ෂක මණ්ඩලය එහි ප්‍රගතිය විමර්ශනය කරමින් සිටිති.
හිටපු ඇමැති මංගල සමරවීර මහතා මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තද, යම් දේශපාලන භූමිකාවකට පණ පොවමින් සිටියි. සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයේ ප්‍රමුඛතම සාමාජිකයකු වූ මංගල සමරවීර මෙතෙක් තරමක් නිහඬව සිටියද, දැන් නැවතත් ඔහු අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ. ඔහු පසුගියදා රෑපවාහිනී නාළිකාවකට තමන් මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වීමට තුඩු දුන් හේතු පැහැදිලි කර තිබිණි. සජිත්ගේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ගැටුම් සහ මතභේද තමන්ට පාර්ලිමේන්තු දේශපාලනය තිත්ත කළ බව මංගල එහිදී කීය. පක්ෂ දේශපාලනය නිසා තමන්ට නිදහස් අදහස් කතා කරන්නට බැරි නම් ඒ දේශපාලනයෙන් වැඩක් නැතැයි මංගල පැවසීය. තමන්ගේ ප්‍රකාශ මැතිවරණ ජයග්‍රහණයට බාධාවක් බව ඔවුන් පෙන්වා දුන් අතර දැන් තමන් නැති නිසා ඡන්දය ජයගත හැකි බවද අවධාරණය කළේය. නාමයෝජනා ලබා දී දින කිහිපයකින් පක්ෂය තුළ මෙම මතගැටුම් හටගත්තේ යැයි මංගල වැඩිදුරටත් පෙන්වා දුනි.

උතුරේ දේශපාලනය ද තවමත් ඒ හැටි උණුසුමක් නැත. දෙමළ ජාතික සන්ධානයට අභියෝග කළ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ ඡන්ද ව්‍යාපාරය ද ඒ හැටි ප්‍රගතියක් ලබා නැත. දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවකදී කියා ඇත්තේ තමන් කැමති වුවත් අකමැති වුවත් දැන් ජනාධිපතිවරයා සමඟත් අනාගත ආණ්ඩුව සමඟත් කටයුතු කළ යුතු නිසා ඔවුන් සමඟ සාකච්ඡාවකට යෑමට ජනවරමක් ලබාගත යුතු බවය. තමන් යාපන අර්ධද්වීපයට පැමිණ ඒ ගැන ජනතාව දැනුම්වත් කර ජනවරමක් ඉල්ලා සිටින බැවින් ඉහළ ජයග්‍රහණයක් ලබාගත හැකි වෙතැයි ඔහු විශ්වාසය පළ කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය මට්ටමින් තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර තිබේ. ටිල්වින් සිල්වා පක්ෂ මහලේකම්වරයා අනුරාධපුරයේත්, අනුර දිසානායක පක්ෂ නායකවරයා බස්නාහිර පළාතේත්, සුනිල් හඳුන්නෙත්ති මහතා මාතරදීත් තමන්ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු අරඹා තිබේ. අනුරාධපුරයේ දී ටිල්වින් සිල්වා මහතා තරයේම කියා තිබුණේ කොරෝනා මර්දනය ජනාධිපති ගෝඨාභයගේ ජයග්‍රහණයක් යැයි සමහරුන් කියතත් එය සත්‍යයක් නොවන බවයි. මෙරට සෞඛ්‍ය සේවය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරැව සංවිධානය ඊට කළ මෙහෙවර දැවැන්ත යැයි ද එය කොරෝනා මර්දනයට මහත් පිටුවහලක් වී යැයි ද ඔහු කීය. ඒ අතරතුර බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවටත් බේරාගත්තේ ජනාධිපති නොව මැතිවරණ කොමිසම බවය. ඔවුන් සිය බලතල යොදා මහ ඡන්දය කල් නොදැමුවේ නම් මේ වන විට රටම මළගෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණු බවද ඔහු සඳහන් කර තිබුණේ විශේෂ මාධ්‍ය හමුවකදීය.

පොහොට්ටුවේ ඡන්ද අපේක්ෂක තිලංග සුමතිපාල හිටපු කීර්තිමත් ක්‍රිකට් නායකයකු වන කුමාර් සංගක්කාර ගැන කරන ලද ප්‍රකාශයක් ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම පොදු ජනතාවගේ ද විරෝධයට ලක්ව තිබේ. ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධූරයට කුමාර් සංගක්කාර තරග කරන බවට ආරංචියක් පැතිර ගියේය. ඒ අතර මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් පිල 2011 දී ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට චෝදනාවක් නැගීය. ඉන්පසු අයි.සී.සීය ද මේ ගැන විමර්ශනයකට සැරසෙද්දී සංගක්කාර ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන අංශයට කැඳවා ප්‍රශ්න කරමින් පරීක්ෂණයක් ආරම්භ කළේය. මේ සියලු කටයුතු සිදුවන්නේ සංගක්කාර නම් මෙරටින් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයාගේ අයි.සී.සී. දොර වසා දැමීමට යැයි චෝදනාවක් එල්ල වී තිබියදී මෙම පුටුවට යන්නට ඇස ගසාගෙන සිට, දැන් ඒ සියල්ල අහිමිව සිටින හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සංගක්කාර ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ඔහුට කොහොමවත් අයි.සී.සී. සභාපති ධූරයට යා නොහැකි යැයි ද ඊට හේතුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ විධායක සභිකයකු ලෙස ක්‍රියා කර නැති නිසා යැයි ද කීය. එසේ කියමින් සංගක්කාර හොඳ ක්‍රීඩකයකු යැයි ද තිලංග කියා තිබිණි. එහෙත් මේ අවස්ථාවේ සංගක්කාර වැනි රටට විශිෂ්ට සේවාවක් ඉටුකළ ක්‍රිකට් තරුවක නුසුදුසුකම් ප්‍රසිද්ධියේ කතා කිරීම මහජන නියෝජිතයකු ලෙස තිලංග නොකළ යුතුව තිබූ දෙයක් බව පවසමින් සමාජ මාධ්‍යජාලාවල තිලංගට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ සේයාරැව මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගන්නැයි කියමින් නියෝගයක් පනවා තිබේ. එසේම රාජ්‍ය නිලධාරීන් ඡන්ද වැඩට ගාවා නොගෙන නීතිය අනුව ක්‍රියා කරන හැටියට ද උපදෙස් දී ඇත. ඡන්ද අපේක්ෂකයන් තමන්ගේ සේයාරැව වෙනුවට මෙතෙක් කල් තමන් ඉටුකළ සේවාවන් හා කරන ලද වැඩ ගැන ජනතාවට කියා ඡන්ද ලබාගන්නට උගත යුතු යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ සතියේ ආරම්භ කළහ. රට පුරා කොරෝනා නිරෝධායන නීති ක්‍රියාත්මක වන බැවින් සීමිත පිරිසක් ආසන මට්ටමින් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත්, පසුව කෙටි මහජන රුස්වීම් පැවැත්වීමත් පොහොට්ටුවේ සැලසුමයි. සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා තමන්ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු මේ වන විටත් අරඹා ඇත. ලබන සතියේ ඔවුන්ගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය. කොළඹ, කොළොන්නාව, වව්නියාව, වැලිඔය, මන්නාරම ආදී ප්‍රදේශවලට මේ සතියේ ගිය සජිත් ප්‍රේමදාස මහතා තම පාලනයක් යටතේ උතුරටත් දකුණටත් සමානව සලකන ආණ්ඩුවක් බිහිකරන බවට ප්‍රතිඥා දුනි. 

ක්‍රිකට් තරු දේශපාලන වේදිකාවට ගොඩවීම සිදුවන්නේ කලාතුරකිනි. මෙයට පෙර අර්ජුන රණතුංග, සනත් ජයසූරිය වැනි කීර්තිමත් ක්‍රීඩකයන් ඡන්ද වේදිකාවට ගොඩවූයේ මැතිවරණ තරග කිරීම පිණිසය. එවන් කීර්තිමත් ක්‍රිකට් තරුවක් වූ මුත්තයියා මුරලිදරන් පසුගියදා මස්කෙළිය නගරයේ පැවති පොහොට්ටුවේ ප්‍රචාරක රැස්වීමක් ඇමතීය. ඔහු මෙම රැස්වීමේදී ඉල්ලා සිටියේ නුවරඑළියට පොහොට්ටුවෙන් තරග වදින සිය සොහොයුරැ මුත්තයියා ප්‍රභාකරන් ජයග්‍රහණය කරවන ලෙසය.
එහිදී ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැද මුරලි කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වියත් මගට සම්බන්ධ වී ඔහු වැඩ කළ හැකි නායකයකු වශයෙන් හඳුනාගත් බවත්ය. ජනාධිපති ඡන්දයෙන් පසු ඔහු තමන්ට දේශපාලනයට ආරාධනා කළ බවද මුරලි පැවසීය. අනතුරුව උතුරේ ආණ්ඩුකාර ධූරය ලබාදුන් නමුත් තමන් පෞද්ගලික හේතු මත එය ද ප්‍රතික්ෂේප කළ බවත් කීය. මුලින්ම නුවරඑළිය දිසාවෙන් ඡන්දයට ඉදිරිපත් වන්නැයි නැවතත් එතුමා පෙරුත්ත කළ පසු තමන් දේශපාලනයට අකැමැති නමුත් තම සහෝදරයා ඊට ඉදිරිපත් කරන්නට සූදානම් යැයි පැවසූ බව මතක් කළේය. ඔහු පිටුපසින් සිට ඔහුගේ ජයග්‍රහණයට උදව් කරන බවට වූ පොරොන්දුව නිසා තමන් මෙම ඡන්ද වේදිකාවට පැමිණ වගත් මුත්තයියා මුරලිදරන් කීය. මෙවර තමන් පොහොට්ටුව වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයේ පංගුකාරයෙක් වී රටට යහපතක් කිරීමට මිස පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් නොවේ යැයි ද මුරලිදරන් පැවසීය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. කොරෝනාවේ දෙවැනි රුල්ලක් ඇතිවිය හැකි බවත් එයින් රට ගලවා ගැනීමේ සැලසුම ඇත්තේ තමා සහ එ.ජා.පය සතුව බවත් රනිල් මෙහිදී කීය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද කොරෝනා දෙවැනි රුල්ලක් ගැන අනතුරු අඟවා ඇතැයි පැවසූ හිටපු අගමැතිවරයා එ.ජා.පය දිනවා ජනතාව නව කොරෝනා රුල්ලෙන් බේරිය යුතු යැයි ද කීය. ඒ අතර මෙතෙක් සජිත් පිලට සමීපව කටයුතු කළ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය නැවතත් රනිල් සමඟ එක්ව සිටී. ඇය රනිල් හා රවි සමඟ මාධ්‍ය හමුවකට ද එක්වූවාය. එහෙත් ඇයගේ පුත්‍රයා සමගි ජනබලවේගයෙන් කොළඹට තරග වදින අපේක්ෂකයෙකි. 

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර