2020 ජුනි 06 වන සෙනසුරාදා

ගෝඨාභයගේ උපන් දිනය ඡන්දයට හරස් වුණාද?

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 255

තොණ්ඩමන්ගේ අවමඟුලට ඇඳිරි නීතිය ආ හැටි
ජීවිත අවදානමේ දාන ඡන්දයක් ජ.වි.පෙ.ට එපාලු
ඡන්ද කොමිසම ගේම් ගහන්නේ නැතැයි මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්
උසාවි තීන්දුවෙන් විපක්ෂ අරමුණ ඉටු වූ බව මද්දුමබණ්ඩාර කියයි
ජනපති බන්ධනාගාරය කණපිට පෙරළයි
රෝසිගෙන් දේශපාලන අඩව්වක්

ඉදිරි මහ මැතිවරණය පවත්වන්නේද නැතිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පසුගිය අඟහරුවාදා සවස ප්‍රකාශයට පත්විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් පාර්ශ්ව ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරනු ලැබීය. ඒ සමඟ මැතිවරණ කොමිසමට ඉදිරි මහ මැතිවරණය තැබීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබේ.

නඩු තීන්දුවට පෙරදා මාධ්‍ය හමුවක් තැබූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ තමන්ට හෝ මැතිවරණ කොමිසමේ කිසිදු සාමාජිකයකුට මහ මැතිවරණය කල් දැමීමේ කිසිදු වුවමනාවක් නැති බවය. මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වීමට අදාළ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යන බවද ඔහු කීය. පවතින කොරෝනා රෝග තත්ත්වය හමුවේ මහ මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට දින 60-70 අතර කාලයක් අවශ්‍ය බව පැවසූ ඔහු මැතිවරණ කාර්ය මණ්ඩලය පවා සෞඛ්‍යමය තත්ත්වයන් යටතේ රාජකාරියට හුරුකළ යුතු යැයි පැවසීය. එසේ නොමැතිව මැතිවරණ කොමිසම ඡන්දය කල්දැමීමට ගේම් ගසන්නේ නැතැයිද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

ඒ අතරතුර මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු දේශය සමඟ සඳහන් කළේ සෞඛ්‍යමය තත්ත්වයන් යටතේ මහ මැතිවරණය එක් දිනකදී පවත්වා හමාර කළ නොහැකිවීමට ඉඩ ඇති බවය. එසේ වුවහොත් ළඟ ළඟ දින දෙකකදී ඡන්දය පැවැත්වීමටත් ප්‍රතිඵල එකවර නිකුත් කිරීමටත් මැතිවරණ කොමිසම සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඡන්දයක් පැවැත්වීමේදී විනාඩියකට ඡන්ද දායකයන් 2-3ක් ඡන්දය භාවිත කරන බව වාර්තා වී තිබේ. සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය යටතේ එම වේගයෙන් ඡන්ද භාවිත කළ නොහැකි බැවින් ඡන්දය දින දෙකකදී පැවැත්වීම ගැන කොමිසමේ දැඩි අවධානය යොමුවූ බවද ඔහු පැවසීය.

මැතිවරණ පසුබිමේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා දැරූ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය තාවකාලික පදනමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට ජනාධිපතිවරයා තීන්දු කළේය. මහමැතිවරණය හමාරවන තෙක් ක්‍රියාත්මක භාරකාර ආණ්ඩු කාලය තුළ අගමැතිවරයා එම ඇමැති ධුරය දරනු ඇත. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා සිය පියා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් කළ යුතුයැයි යෝජනා විය. ඒ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසාන කටයුතු සිදුවන්නටත් පෙරදීය. කෙසේ හෝ ඔහුගේ නාමයෝජනාවෙන් පසු නුවරඑළියට ගෙන ආ සිය පියාගේ දේහය සමඟ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණු බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබිණි. මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමිසාරිස්වරයාට ලැබුණු එම පැමිණිල්ලෙන් කියැවුණේ ජීවන් තොණ්ඩමන් සිය පියාගේ දේහය ගම්පොළ සිට කොත්මලේ නිවසට ගෙන යන අතරතුර විවෘත ජීප් රියක නැගී ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදුණු බවය. එසේම ඔහු නිරෝධායන නීති අනුව සීමිත පිරිසක් සහභාගී කරගෙන අවමංගල්‍ය සිදුකරන ලෙස උපදෙස් දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද සැර භාෂාවෙන් ආමන්ත්‍රණය කළ බවට සමාජ මාධ්‍ය ජාලා පුවත් පළකර තිබිණි.

මේ ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයද දැඩි විරෝධය පළ කළේය. කෙසේ හෝ ජීවන් තොණ්ඩමන් සීමාව ඉක්මවා නිරෝධායන නීතිවලට අනුගත නොවෙමින් කරන කටයුතු පාලනය සඳහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාම නුවරඑළියට ගොස් ආරක්ෂක විධිවිධාන තරකළ අතර, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවා ප්‍රදේශයේ රැකවල් තර කැරිණි. ඒ සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවන ලෙස නියෝග කළෙන් පැවති තත්ත්වය තරමක් පාලනය විය. කෙසේ හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ සහභාගීත්වයෙන් ආරැමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව නෝර්වුඩ්හිදී සිදුෙකරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට එරෙහිව පැවරූ නඩු ඉවත දැමීමෙන් පසු ප්‍රධාන පක්ෂ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙන තෙක් බලා සිටී. මෙම සටහන ලියන මොහොතේ වාර්තාවූයේ රජය මහ මැතිවරණය ජූලි 25 දින පැවැත්වෙතැයි අපේක්ෂා කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාත් කීය. ඒ අතර විපක්ෂය පවසන්නේ අගෝස්තු මස මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. මෙයට පෙර මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දේශය පුවත් පත වෙත කියා සිටියේ මහමැතිවරණය පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කොට දින 60ත් - 70ත් අතරතුර බවයි. ඊට හේතුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශ අනුව ඡන්දය පැවැත්විය යුතු නිසාය. ඡන්ද පෙත්සම් තීන්දුවෙන් පසු ඡන්ද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද නැවතත් ඒ බව අනාවරණය කර තිබිණි. මෙම අනාවරණයන් අනුව නඩු තීන්දුව දුන් දිනයට සමපාතව ඡන්දය පැවැත්විය හැකි ආසන්න දිනය වන්නේ අගෝස්තු මස 08 වැනි සෙනසුරාදාය. එහෙත් ලබන 08 (සඳුදා) රැස්වීමට ඉඩ ඇති මැතිවරණ කොමිසම ඡන්ද දිනය නියම කරනු ඇත. රජයේ මුද්‍රණාලය දැනටමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ.

ආන්දෝලනාත්මක ඡන්ද නඩුව අවසානයේ එම නඩුවේදී ප්‍රධාන වශයෙන්ම අධිකරණය හමුවේ ප්‍රබල ලෙස කරුණු දැක්වූ දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අදහස් දැක්වීය. ඔහු කීවේ නඩු තීන්දුව කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන අතනොහරින බවයි. එසේම අධිකරණය පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට හේතු ප්‍රකාශ කළයුතු බවද පෙන්වා දුනි. තවත් පෙත්සම්කරුවකු වන සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේ තමන්ගේ පක්ෂයේ අරමුණ වූයේ ජූනි මස 20 දින ඡන්දය නොපවත්වා කල්දමා ගැනීම නිසා ඡන්ද පෙත්සම් හේතුවෙන් තමන්ගේ අරමුණ ඉටුවූ බවත් එය ජයග්‍රහණයක් බවත්ය. සමගි ජන බලවේගයේම සුජීව සේනසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කීවේ අධිකරණය තීන්දුව දී හමාර වුවත් දැන් ජනතාව ඡන්දයට සූදානම් දැයි මහ ජනතාවගේත් විමසා බැලිය යුතු වගය. මේ ආකාරයට ඡන්දය ගැන විපක්ෂයේ විවිධ මත පළවෙද්දී ආණ්ඩුව කියන්නේ විපක්ෂය පැරණි පාර්ලිමේන්තුව කැඳවා දේශපාලන විගඩමක් කිරීමට ගන්නා ලද උත්සාහය අධිකරණය විසින් වළක්වන ලද බවය. සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ජය ලබා ඇති බවත්, මැතිවරණ කොමිසම කඩිනමින් ඡන්දය පැවැත්විය යුතු වගත්ය.

කෙසේ වෙතත් ජූනි මස 20 දින ඡන්දය පැවැත්වීම ගැන විපක්ෂය මේ තරම් විරුද්ධ වූයේ මැතිවරණ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී තිබීම නිසා බව දන්නේ කිහිප දෙනෙකි. ගෝඨාභයගේ උපන්දිනය දා ඡන්දය තිබ්බොත් එය ඔහුට උපන්දින ත්‍යාගයක් වනු ඇතැයි ඇතැම් විපක්ෂ ප්‍රධානීන් සිය අභ්‍යන්තර සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබිණි. එහෙත් එදින ජනාධිපති ගෝඨාභයගේ උපන්දිනය බව නොදැන ඡන්දය පවත්වන්නට නියම කළේ මැතිවරණ කොමිසමයි. ඒ නිසා ඒ ගැන ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරන්නට කිසිවකුට හැකියාවක් නැත.

එ.ජා.ප.යේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ සතියේ කලකට පසු මාධ්‍ය ඇමැතුවේය. ඔහු ප්‍රකාශ කළේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ තරම් හොඳට පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවට ලබාදීමට එ.ජ.ප.ය මැලිනොවන බවය. රජය කොරෝනා පාලනය කළාට ආර්ථික පාලනයේදී දැඩි අසමත් බවක් පෙන්වා ඇතැයි කී අකිල මන්ත්‍රීවරයා රටේ ආර්ථිකය ජනතාවට සහන ලැබෙන ලෙස සංවිධානය කළ හැක්කේ එජාපයට පමණක් යැයිද කීය.

අකිල විරාජ් කෙරෝනා පාලනය ගැන රජයට ප්‍රශංසා කරද්දී නිහඬව සිටි බොහෝ දෙනෙක් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොරෝනා පාලනය සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කරද්දී පරල වී සිටිති. විශේෂයෙන් කොළඹ නගර සභාවේ මන්ත්‍රීන් ඇයට ඒ ගැන දැඩි ලෙස දොස් පවරා තිබේ. පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා නගර සභාවේ ප්‍රශ්න ගැන සාකච්ඡාවකට කොළඹ නාගරික මන්ත්‍රීන් සිරිකොතට කැඳවීය. එහෙත් නගරාධිපතිනි රෝසි ඊට පැමිණ සිටියේ නැත. එම රැස්වීමට පැමිණි නාගරික මන්ත්‍රීන් 60 දෙනාගෙන් 58 දෙනෙක්ම රෝසි සේනානායක මහත්මිය සමඟ සේවය කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළහ. ඇය නගරාධිපති තනතුරෙන් ඉවත්කොට දැනට නියෝජ්‍ය නගරාධිපති ධුරය දරන මොහොමඩ් ඉක්බාල් මහතා පත්කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටි බව කියැවුණි. එහෙත් පක්ෂනායක රනිල්  ඒ ගැන තීන්දුවක් ලබාදී නැත. ඒ ගැන පක්ෂයේ නීති අංශය සමඟ සාකච්ඡා කොට කරැණු අධ්‍යයනය කළයුතු බව රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නාගරික මන්ත්‍රීන්ට දන්වා තිබේ.

මෙම සිදුවීම ගැන පසුව ප්‍රකාශයක් කළ රෝසි සේනානායක මහත්මිය කීවේ කිසිවකුට තමන් නගරාධිපති ධුරයෙන් පන්නා දැමිය නොහැකි බවය. තමන් සිරිකොත රැස්වීමට නොපැමිණියේ ඒ මොහොතේම ජනාධිපතිතුමා සහ නගර සභා බලධරයන් අතර කොරෝනා මර්දනය ගැන පැවති සාකච්ඡාවකට සහභාගී වීමට නියම කර තිබූ නිසා යැයිද ඇය කීවාය. ඒ බව තමන් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාටද දැක්වූ බව ඇය සඳහන් කළාය. පක්ෂයට අලුතින් එක්වූ ප්‍රබලයකු තමන් මෙම පුටුවෙන් පැන්නීමට තැත් කරන්නේ යැයි චෝදනා කළ රෝසි තමන් මෙම වාරයෙන් පසු දේශපාලනයෙන් සමුගන්නා බවද කීය. එනිසා තමන් එ.ජා.ප.යේ රනිල් පිලට හෝ සජිත් පිලට ක්‍රියාකාරීව සහය නොදෙන්නේ යැයිද පැවසුවාය.

එහෙත් රෝසි සේනානයක මහත්මියගේ පුත්‍රයා සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කරයි. ඒ ගැන නගරාධිපතිනිය කියන්නේ තම පුතා එතැනින් තරග කළද තමන් දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයට කිසිදු සහයක් ලබාදෙන්නේ නැත කියාය. ඒ අතරතුර මේ දිනවල නගරාධිපතිනිය රජය සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන නිසා මෙයට පෙර සිට නගරාධිපති මුසම්මිල් ගිය පාරේම රෝසිත් ආණ්ඩුව දෙසට තල්ලුවෙමින් සිටින බවටද ඇතැම් විචාරකයෝ මත පළකරති. එහෙත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඒ ගැන විමසූ අයට කිසිදු මතයක් පළකර නැත.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රබලයන් ගණනාවක් මේ සතියේ සිට නිවසේදී හමුවිය. ඔවුන් පැමිණියේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දුන්දාට පසුදාය. ඒ අය හමුවේ නඩු තීන්දුව ගැන විග්‍රහ කළ රනිල් කීවේ තමන් එ.ජා.ප.යෙන් නඩුවක් නොපැවරුවේ මෙබඳු තීරණයක් ලැබෙන බව දන්නා නිසාය කියායි. එ.ජා.ප.ය මෙන්ම ජ.වි.පෙ.ද දෙමළ ජාතික සන්ධානයද (පක්ෂයක් ලෙස) මෙම සිද්ධිය ගැන නඩු පැවරුවේ නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය. එහෙත් සමගි ජන බලවේගය වෙනුවෙන් නඩු තීන්දුව ගැන ප්‍රකාශයක් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ නඩු තීන්දුව නිසා පාර්ලිමේන්තුව නැවත කැඳවා කොරෝනා පාලනයට සුදුසු තීන්දු ගන්නට උදව් කිරීමට සිටියද එම බලාපොරොත්තුව කඩවූ බවය. අගෝස්තු මාසයේ ඡන්දය පැවැත්වූවද ශ්‍රී ලංකාව මාස 6ක් පාර්ලිමේන්තුවක් නොපැවති රටක් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ඔහු කීය.

රජයට පසුගිය කාලයේ උදව්පදව් කළ අතුරලියේ රතන හිමියන් දැන් ආණ්ඩුව සමඟ විරසකය. උන්වහන්සේට පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබුණේද නැත. පසුගිය දිනවල රතන හිමියන් කළේ දිගින් දිගටම රජයට දැඩි ප්‍රහාර එල්ල කිරීමයි. රතන හිමියන් නිතරම ප්‍රකාශ කළේ ඊළඟ පාර්ලිමේන්තුවේ තීරක බලය තමන් තරග කරන දේශපාලන සන්ධානය සතුවන බවය. මේ සතියේ මාධ්‍ය හමුවක් තැබූ උන්වහන්සේ රජය විසින් මෙරටට ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් මිලට ගන්නට කර ඇති සැලසුමක් විවේචනය කළේ මේ ආණ්ඩුව මහ මෝඩ ආණ්ඩුවක් බව කියමිනි. කාට හෝ කොමිස් ගසන්නට වුවමනා නිසා ඕස්ට්‍රේලියාවෙන් රටට නොගැලපෙන හරක් ගේන්නට යන  බව රතන හිමියෝ කීහ. රතන හිමියන් සේම රජයට සහාය පළකරන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාද රජය විවේචනය කළේය. ඔහු කීවේ කොරෝනා පාලනය සඳහා පනවා තිබෙන නීති රජය හරියට ක්‍රියාත්මක නොකරන බවකි. මෙලෙස වැඩකරන්නට ගියහොත් රජය දිනෙන් දින පිරිහීමට ලක්වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

නඩු තීන්දුවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණද මහ මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටී. ඒ ගැන මාධ්‍ය හමුවේ අදහස දක්වන්නට මේ සතියේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැමිණියේය. සමස්ත මැතිවරණ ක්‍රියාවලියම සෞඛ්‍යාරක්ෂිතව කිරීමේ වැදගත්කම හා අසීරුව ඔහු පෙන්වා දුන්නේය. රටේ ජනතාවගේ ජීවිත අවදානමට ලක්කර මහ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු පැවසීය. ඡන්ද ප්‍රචාරණයට සමාන අවස්ථාවක් සෑම පක්ෂයකටම ලබාදීම වගකිවයුත්තන්ගේ යුතුකමය. කෙසේ වෙතත් බලයට පත්ව මාස 6ක් ඉක්ම යන්නටත් පෙර ආණ්ඩුව අප්‍රසාදයට පත්ව ඇති නිසා ජනතාව සිය පක්ෂයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ යැයි විජිත හේරත් අවධාරණයෙන් සඳහන් කර තිබිණි.

ඒ අතර සමගි ජන බලවේගය (ජනපති ගෝඨාභය අගමැති සජිත්) යනුවෙන් නම්කර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් සැලසුම් කර තිබේ. ප්‍රාදේශීය ජනහමු මෙන්ම නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඔස්සේ ජනතාවට නැවුම් බලාපොරොත්තු ලබාදීම සජිත් පිලේ අරමුණයි. ප්‍රතිපත්ති සම්පාදන කටයුතු දැන් පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, ඉමිටියාස් බකීර් මාකර්, චම්පික රණවක ආදී ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ සැණින් තම ප්‍රචාරක ව්‍යාපාරය අරඹන බව එම පක්ෂය කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාල මර්දනය සඳහා අතගසා තිබේ. පසුගියදා ඔහු බන්ධනාගාර නිලධාරින් සමඟ අධිකරණ අමාත්‍යංශ ප්‍රධානීන් කැඳවා පාතාලය සිරගෙදර සිට ක්‍රියාත්මක වන ආකාරය ගැන සැර කතාවක් කළේය. සිරගෙදර පාතාලය මෙන්ම ඉන් පිට පාතාලය මර්දනය කරන බවත් වැඩකරන්නට බැරි නිලධාරීන් හදන්නට තමන් දන්නා බවත් පැවසූ ජනාධිපතිවරයා සිරගෙදර සිට කුඩු පාතාලය ඇතුළු අපරාධ මෙහෙයවන ආකාරය ගැන සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කළේය. බන්ධනාගාර තුළ දුරකතන, කුඩු පමණක් නොව ඇතැම් දරුණු අපරාධකරුවන්ට සුඛෝපභෝගී පහසුකම්ද ලැබී ඇතැයි කී ජනාධිපතිවරයා වහාම ඒ තත්ත්වය නැති කළ යුතු බව පෙන්වා දුනි. ඒ සමඟ පාතාල මර්දන කටයුතු සඳහා වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පොලිස් ඒකකයක් ආරම්භ කළේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද වහාම රජයේ පූල් එකට මාරුකර, නව කොමසාරිස් ජනරාල්වරයකු පත්කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සඳහා ඉඩකඩ සලසමිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළකට පසු කරළියට පැමිණියේ අර්ජුන මහේන්ද්‍රන් ගැන කළ ප්‍රකාශයන් සමඟය. දැනට සිංගප්පූරුවේ සැඟව සිටින මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තමන් අත්සන් 21,000 ලිපිලේඛනවල යෙදූ බව කී ඔහුට සමාජ මාධ්‍යජාලාවලින් බරපතළ විවේචන එල්ල විය. ඒ අතරතුර ඔහු මේ සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු මුණගැසීමට වේලාවක් ලබාගෙන තිබිණි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර ඇතුළු පිරිස ජනාධිපති කාර්යාලයට ගියද ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාව නොලැබුණේ හදිසි කොරෝනා මර්දන රැස්වීමකට ජනාධිපතිවරයා සහභාගි වෙමින් සිටි නිසාය. අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අගමැති නිවසට පැමිණි සිරිසේන මහතා මහමැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන සාකච්ඡා කර ඇත. ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැස්වීම් සංවිධානය ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී කතාබස් කළ බව වාර්තා විය.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර